Skip to content

පටුනට යන්න

6වෙනි පරිච්ඡේදය

විනෝදයට තෝරාගන්න දේවල් ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

විනෝදයට තෝරාගන්න දේවල් ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

“සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න.”—1 කොරින්ති 10:31.

1, 2. විනෝද වෙන්න දෙයක් තෝරාගද්දී අපි පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

 ඔයාගේ අතේ පලතුරක් තියෙනවා කියලා හිතන්න. හැබැයි ඒක කන්න යද්දී ඔයා දකිනවා ඒකේ කොටසක් කුණු වෙලා කියලා. ඔයා මොකද කරන්නේ? කමක් නැහැ කියලා හිතලා ඒක කනවාද? නැත්නම් ඒක විසි කරනවාද? එහෙමත් නැත්නම් කුණු වෙලා තියෙන කොටස අයින් කරලා හොඳ කොටස කනවාද?

2 අපි විනෝදයට තෝරාගන්න දේවල්වලටත් ඒක අදාළයි. මොකද විනෝද වෙන්න තෝරාගන්න තියෙන සමහර දේවල කිසිම වරදක් තිබුණේ නැතත් හුඟක් දේවල අනාචාරය, ප්‍රචණ්ඩත්වය, භූතවාදය පිරිලා. විනෝදයට දෙයක් තෝරාගන්න කලින් ඔයා හිතනවාද “මොන දේ කළත් ඒකේ වරදක් නැහැ” කියලා? නැත්නම් ඔයාට හිතෙනවාද “විනෝදයට සුදුසු කිසිම දෙයක් නැහැ” කියලා? එහෙමත් නැත්නම් කිසිම වරදක් නැති ඇත්තටම සතුටු වෙන්න පුළුවන් දෙයක් ඔයා තෝරාගන්නවාද?

3. විනෝදයට දෙයක් තෝරාගන්න කලින් අපි කල්පනා කරන්න ඕනෙ මොනවා ගැනද?

3 අපි හැමෝටම යම් විවේකයක්, විනෝදයක් ඕනේ. හැබැයි ඒකට දෙයක් තෝරාගන්න කලින් ඒ දේ දෙවියන්ට කරන නමස්කාරයට බලපාන්නේ කොහොමද කියලා අපි කල්පනා කරන එක වැදගත්.

“සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න”

4. විනෝද වෙන්න දේවල් තෝරාගද්දී උදව් වෙන බයිබල් ප්‍රතිපත්තියක් කියන්න.

4 යෙහෝවා දෙවියන්ට අපේ ජීවිතය කැප කරද්දී අපි පොරොන්දු වෙනවා ඔහුට සේවය කරනවා කියලා. (දේශනාකාරයා 5:4 කියවන්න.) හැම දේම “දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන්” කරන්නත් අපි පොරොන්දු වෙනවා. (1 කොරින්ති 10:31) අපි ඒ දේ කරන්නේ රැස්වීම්වලට යද්දී, සේවයේ යද්දී විතරක් නෙවෙයි. විනෝද වෙන්න දෙයක් තෝරාගද්දීත් අපි ඒක මතක තියාගන්නවා.

5. දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ නමස්කාරයක්ද?

5 අපි කරන කියන හැම දේම අපි දෙවියන්ට කරන නමස්කාරයට බලපානවා. ඒ නිසයි පාවුල් කිව්වේ “ඔබේ ශරීර ජීවමාන, ශුද්ධ මෙන්ම දෙවිට පිළිගත හැකි පූජාවක් ලෙස ඔප්පු කරන්න” කියලා. (රෝම 12:1) යේසුස් මෙහෙම කිව්වා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. එලෙසම ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මාක් 12:30) අපිට ඕනෙ අපේ හොඳම දේ දෙවියන්ට දෙන්න. ඊශ්‍රායෙල්වරු සතෙක්ව පූජා කරද්දී නිරෝගී සතෙක්ව පූජා කරයි කියලා දෙවියන් බලාපොරොත්තු වුණා. සතාගේ මොකක් හරි අඩුවක් තිබුණොත් දෙවියන් ඒක පිළිගත්තේ නැහැ. (ලෙවී කතාව 22:18-20) ඒක අපි දෙවියන්ට කරන නමස්කාරයටත් අදාළයි. ඒ කොහොමද?

6, 7. විනෝදයට තෝරාගන්න දේවල් දෙවියන්ට කරන අපේ නමස්කාරයට බලපාන්නේ කොහොමද?

6 “මා ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි” කියලා යෙහෝවා දෙවියන් කියනවා. (1 පේතෘස් 1:14-16; 2 පේතෘස් 3:11) ඔහු අපේ නමස්කාරය පිළිගන්නේ ඒක ශුද්ධව තිබුණොත් විතරයි කියලා ඒකෙන් පැහැදිලියි. (ද්විතීය කතාව 15:21) දෙවියන් අකමැති දේවල් ඒ කියන්නේ අනාචාරය, ප්‍රචණ්ඩත්වය, භූතවාදය වගේ දේවලට අපි සම්බන්ධ වුණොත් අපේ නමස්කාරය දෙවියන් පිළිගන්නේ නැහැ. (රෝම 6:12-14; 8:13) ඒ වගේ දේවල් ඇතුළත් දේකින් අපි විනෝද වෙනවාටවත් ඔහු කැමති නැහැ. අපි එහෙම කළොත් දෙවියන්ට කරන අපේ නමස්කාරය අපවිත්‍ර වෙනවා. ඔහු එක්ක අපිට තියෙන බැඳීමටත් හානියක් වෙනවා.

7 එහෙනම් විනෝදයට දේවල් තෝරාගද්දීත් දෙවියන්ව සතුටු කරන්න අපිට පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

නපුරට ද්වේෂ කරන්න

8, 9. විනෝදයට සුදුසු නැත්තේ මොන වගේ දේවල්ද? ඒ ඇයි?

8 විනෝදයට කරන්න දේවල් ඕන තරම් තියෙනවා. හැබැයි ඒවායින් වැඩි හරියක් ක්‍රිස්තියානීන් වන අපිට සුදුසු නැහැ. සුදුසු නැත්තේ මොන වගේ දේවල්ද කියලා අපි මුලින්ම තේරුම්ගමු.

9 අද තියෙන චිත්‍රපටිවල, වෙබ් අඩවිවල, ටීවී වැඩසටහන්වල, වීඩියෝ ක්‍රීඩාවල, සිංදුවල වැඩි හරියක් ඇතුළත් වෙලා තියෙන්නේ අනාචාරය, ප්‍රචණ්ඩත්වය, භූතවාදය වගේ දේවල්. හුඟක් වෙලාවට ඒවා ඉදිරිපත් කරන්නේ හාස්‍ය උපදවන, කිසිම හානියක් නැති දේවල් විදිහට. හැබැයි යෙහෝවා දෙවියන් අකමැති ඒ දේවල් අපි විනෝදයටවත් තෝරාගන්නේ නැහැ. (ක්‍රියා 15:28, 29; 1 කොරින්ති 6:9, 10) ඒකෙන් අපි පෙන්වන්නේ අපි නපුරට ද්වේෂ කරනවා කියලයි.—ගීතාවලිය 34:14; රෝම 12:9.

10. සුදුසු නැති දේවලින් දිගින් දිගටම විනෝද වෙද්දී මොනවා වෙන්න පුළුවන්ද?

10 සමහරු ප්‍රචණ්ඩත්වය, අනාචාරය, භූතවාදය ඇතුළත් දේවලින් විනෝද වෙනවා. එයාලා හිතන්නේ ‘මොකක්ද ඒකේ තියෙන හානිය, ඒවා බැලුවා කියලා මං ඒ දේවල් කරන්න යන්නේ නැහැනේ’ කියලයි. හැබැයි බයිබලයේ මෙහෙම කියනවා. “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය.” (යෙරෙමියා 17:9) අපි යෙහෝවා දෙවියන් අකමැති දේවලින් විනෝද වෙනවා නම් අපි ඇත්තටම ඒවා පිළිකුල් කරනවා කියලා කියන්න පුළුවන්ද? අපි දිගින් දිගටම ඒ වගේ දේවලින් විනෝද වෙද්දී අපි කරන්නේ වරදක් කියලා අපේ හෘදය සාක්ෂියටවත් දැනෙන එකක් නැහැ.—ගීතාවලිය 119:70; 1 තිමෝති 4:1, 2.

11. විනෝද වෙන්න සුදුසු දෙයක් තෝරාගන්න ගලාති 6:7 උදව් වෙන්නේ කොහොමද?

11 ගලාති 6:7 මෙහෙම කියනවා. “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.” ඒකෙන් පැහැදිලි වෙනවා කෙනෙක් විනෝදයට දිගින් දිගටම නුසුදුසු දේවල් තෝරාගත්තොත් කාලයක් යද්දී ඒ දේවල් කරන්නත් පෙලඹෙයි කියලා. උදාහරණෙකට සමහර ක්‍රිස්තියානීන් විනෝද වෙන්න අනාචාරය ඇතුළත් දේවල් තෝරාගත්ත නිසා කාලයක් යද්දී අනාචාරයේ යෙදෙන්න පෙලඹිලා තියෙනවා. හැබැයි යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් පිළිපැද්දොත් ඒ වගේ අනතුරුවලින් බේරෙන්න අපිට පුළුවන්.

බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව තීරණ ගන්න

12. විනෝදය සම්බන්ධයෙන් හරි තීරණයක් ගන්න උදව් වෙන්නේ මොකක්ද?

12 සමහර දේවලට යෙහෝවා දෙවියන් කැමති නැහැ කියලා අපි හොඳින්ම දන්න නිසා අපි ඒ දේවල් විනෝද වෙන්න තෝරාගන්නේ නැහැ. හැබැයි දෙවියන් දේකට කැමතිද නැද්ද කියලා හරියටම තේරුම්ගන්න බැරි අවස්ථාවලදී අපි මොකද කරන්නේ? අපි විනෝදයට තෝරාගන්න ඕන දේවල් ගැන දෙවියන් ලැයිස්තුවක් දීලා නැහැ. ඔහු කැමති අපි හොඳට හිතලා තීරණ ගන්නවාටයි. (ගලාති 6:5 කියවන්න.) ඒකට උදව්වක් විදිහට දෙවියන් අපිට ප්‍රතිපත්ති දීලා තියෙනවා. ඕනම දෙයක් ගැන ඔහු හිතන විදිහ තේරුම්ගන්න ඒවා අපිට උදව් වෙනවා. ඒවා හිතට ගත්තොත් අපේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරන්නත් “දෙවිගේ කැමැත්ත” මොකක්ද කියලා තේරුම්ගන්නත් අපිට පුළුවන්.—එෆීස 5:17.

විනෝද වෙන්න සුදුසු දෙයක් තෝරාගන්න බයිබල් ප්‍රතිපත්ති උදව් වෙනවා

13. විනෝද වෙන්න එක් කෙනෙක් තෝරාගන්න දෙයක්, සුදුසු නැහැ කියලා තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි? විනෝදය සම්බන්ධයෙන් තීරණ ගද්දී ක්‍රිස්තියානීන් සැලකිලිමත් වෙන්න ඕනෙ මොනවා ගැනද?

13 අපි හැමෝම කැමති අකමැති දේවල් තියෙනවා. හැබැයි අපි කැමති දේකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. සුදුසුයි කියලා අපිට හිතෙන දෙයක් සුදුසු නැහැ කියලා තව කෙනෙක්ට හිතෙන්න පුළුවන්. කොහොමවුණත් ක්‍රිස්තියානීන් විදිහට අපි කොයි වෙලෙත් තීරණ ගන්න ඕනෙ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟවයි. (ෆිලිප්පි 1:9) දෙවියන් කැමති විදිහට විනෝද වෙන්න ඒ ප්‍රතිපත්ති අපිට උදව් වෙනවා.—ගීතාවලිය 119:11, 129; 1 පේතෘස් 2:16.

14. (අ) අපි කාලය වැය කරන විදිහ ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි? (ආ) පාවුල් දීපු උපදෙස මොකක්ද?

14 යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරය තමයි අපේ ජීවිතයේ වටිනාම දේ. (මතෙව් 6:33 කියවන්න.) ඒ නිසා අපි විනෝදයට කොච්චර කාලයක් වැය කරනවාද කියන එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි පරෙස්සම් වුණේ නැත්නම් ඕනෑවට වඩා වැඩි කාලයක් විනෝදයට වැය වෙන්න පුළුවන්. පාවුල් දීපු මේ උපදෙස බලන්න. “ඔබ ඉතා සෝදිසියෙන් සිට අඥානයන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වගබලා ගන්න. අප නපුරු කාලයක ජීවත් වන නිසා ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.” (එෆීස 5:15, 16) ඒ නිසා විනෝද වෙන්න දේවල් සැලසුම් කරද්දී දෙවියන්ට කරන නමස්කාරයට බාධාවක් නොවන විදිහට ඒ දේවල් කරන්න වගබලා ගන්න ඕනේ.—ෆිලිප්පි 1:10.

15. දෙවියන් එක්ක තියෙන බැඳීමට හානියක් කරගන්නේ නැතුව විනෝද වෙන්න අපිට පුළුවන් කොහොමද?

15 විනෝදයට තෝරාගන්න යන දේකට යෙහෝවා දෙවියන් කැමති වෙයිද කියන එක ගැන පුංචිම හරි සැකයක් තියෙනවා නම් මොකද කරන්නේ? ටිකකට හිතන්න ඔයා කඳුකර පාරක ඇවිදිනවා කියලා. ඔයා ප්‍රපාතය තියෙන පැත්තේ අයිනෙන්ම අඩිය තියනවාද? නැහැ නේද? මොකද ඔයා දන්නවා ඒකෙන් ඔයාගේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන් කියලා. විනෝදයට දෙයක් තෝරාගද්දීත් ඒකෙන් අපිට අනතුරක් වෙයිද කියලා හිතන්න ඕනේ. බයිබලයේ කියනවා “ඔබේ පය නපුරෙන් ඉවත් කරගන්න” කියලා. (හිතෝපදේශ 4:25-27) ඒ නිසා විනෝදයට දෙයක් තෝරාගද්දී අපිට හානියක් වෙයි නැත්නම් දෙවියන් එක්ක තියෙන බැඳීමට හානියක් වෙයි කියලා පුංචිම හරි සැකයක් ආවොත් අපි ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ.

යෙහෝවා දෙවියන් හිතන විදිහට හිතන්න

16. (අ) යෙහෝවා දෙවියන් පිළිකුල් කරන සමහර දේවල් මොනවාද? (ආ) යෙහෝවා දෙවියන් පිළිකුල් කරන දේවල් අපිත් පිළිකුල් කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

16 “යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි, නපුරට ද්වේෂ කරන්න” කියලා බයිබලයේ කියනවා. (ගීතාවලිය 97:10) යෙහෝවා දෙවියන් කාරණා ගැන හිතන්නේ කොහොමද කියලා බයිබලයෙන් ඉගෙනගන්න පුළුවන්. දෙවියන් හිතන විදිහට හිතන්න ඔයා දැනටමත් ඉගෙනගෙන තියෙන දේවල් උදව් වෙන්නේ කොහොමද කියලා ටිකකට හිතන්න. උදාහරණෙකට “බොරු කියන දිව, අහිංසකයන්ගේ ලේ වගුරුවන අත්, දුෂ්ට ලෙස කුමන්ත්‍රණය කරන සිත සහ වැරදි කිරීමට ඉක්මන් වන පාද” ඔහු පිළිකුල් කරනවා කියලා අපි දන්නවා. (හිතෝපදේශ 6:16-19) ඒ වගේම ‘වේශ්‍යාකම, රූප වන්දනාව, භූතවාදය, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, කුඩුකේඩුකම, බේබදුකම, ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීම’ වගේ දේවලින් අපි වළකින්න ඕනෙ කියලත් අපි දන්නවා. (ගලාති 5:19-21) විනෝදයට දෙයක් තෝරාගන්න ඒ ප්‍රතිපත්ති උදව් වෙන්නේ කොහොමද? අපිට ඕනෙ අපි තනිවම ඉද්දීත් යෙහෝවා දෙවියන්ව සතුටු කරන්නයි. (2 කොරින්ති 3:18) මොකද අපි තනිවම ඉද්දී කරන දේවලින් අපි ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා පැහැදිලි වෙනවා.—ගීතාවලිය 11:4; 16:8.

17. විනෝදයට දෙයක් තෝරාගන්න කලින් අපි හිතන්න ඕනෙ මොනවා ගැනද?

17 විනෝදයට දෙයක් තෝරාගන්න කලින් මේ පැති ගැන හිතන්න. ‘යෙහෝවා දෙවියන් එක්ක මට තියෙන බැඳීමට ඒක කොහොම බලපායිද? ඒක මගේ හෘදය සාක්ෂියට කොහොම බලපායිද?’ විනෝදයට දෙයක් තෝරාගද්දී උදව් වෙන තවත් ප්‍රතිපත්ති කීපයක් ගැන දැන් බලමු.

18, 19. (අ) පාවුල් දීපු උපදෙස මොකක්ද? (ආ) විනෝදයට දෙයක් තෝරාගද්දී උදව් වෙන ප්‍රතිපත්ති මොනවාද?

18 විනෝදයට දෙයක් තෝරාගද්දී අපි කරන්නේ අපේ මනස පුරවාගන්නේ මොන වගේ දේවලින්ද කියලා තේරීමක් කරන එකයි. පාවුල් මෙහෙම කිව්වා. “සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න.” (ෆිලිප්පි 4:8) අපි ඒ දේවලින් අපේ මනස පුරවාගන්නවා නම් ගීතිකාකරු කියපු මේ දේ අපිටත් කියන්න පුළුවන් වෙනවා. “යෙහෝවා දෙවියනි, මාගේ මුවින් පිට වන වචනද මාගේ සිතේ සිතුවිලිද සැමවිටම ඔබ ඉදිරියේ ප්‍රසන්නව තිබේවා!”—ගීතාවලිය 19:14.

19 මේ ගැන ටිකක් හිතන්න. ‘මං මනස පුරවාගන්නේ මොන දේවලින්ද? චිත්‍රපටියක් හරි වෙන වැඩසටහනක් හරි බැලුවාට පස්සේ ඒකෙන් බලාපොරොත්තු වුණු සහනය, සතුට මට ලැබුණාද නැත්නම් මගේ හෘදය සාක්ෂිය ඒ ගැන වධ දෙනවාද? (එෆීස 5:5; 1 තිමෝති 1:5, 19) පිරිසිදු හිතකින් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න මට පුළුවන්ද? බලපු දේ නිසා ප්‍රචණ්ඩකාරී, අනාචාරමය සිතුවිලි මගේ මනසට ඇතුල් වෙලාද? (මතෙව් 12:33; මාක් 7:20-23) විනෝද වෙන්න තෝරාගත්ත දේ නිසා මං “මේ සමාජයේ රැල්ලට” අහු වෙලා කියලා තේරෙනවාද?’ (රෝම 12:2) ඒ දේවල් ගැන අවංකවම හිතලා බලන එක අපිට උදව් වෙනවා යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න. ඒ නිසා ‘කිසි වැදගැම්මකට නැති දේවලින් දෙනෙත් හරවාගැනීමට උදව් කරන්න’ කියලා දෙවියන්ගෙන් ඉල්ලමු. *ගීතාවලිය 119:37.

අපි ගන්න තීරණ අනිත් අයටත් බලපානවා

20, 21. විනෝදයට දෙයක් තෝරාගද්දී අපි අනිත් අය ගැනත් හිතන්න ඕනෙ ඇයි?

20 බයිබලයේ කියන මේ දේත් අපි මතක තියාගන්න ඕනේ. “ඕනෑම දෙයක් කිරීමට අවසර තිබුණත් ඒ සෑම දෙයකින්ම ප්‍රයෝජනයක් ලැබෙයි කියා කිව නොහැක. එලෙසම ඕනෑම දෙයක් කිරීමට අවසර තිබුණත් ඒ සෑම දෙයකින්ම අන් අය දිරිගැන්වීමක් ලබන බව කිව නොහැක. සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි.” (1 කොරින්ති 10:23, 24) තීරණ ගන්න අපිට නිදහස තියෙන එක ඇත්ත. හැබැයි අපි තීරණ ගද්දී අනිත් අයට ඒක බලපාන්න පුළුවන් විදිහ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

21 යම් වැඩසටහනක් බලන එකේ වරදක් නැහැ කියලා ඔයාට හිතෙයි. හැබැයි තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක බලන එක වැරදියි කියලා. එතකොට ඔයා මොකද කරන්නේ? ඒක බලන්න ඔයාට අයිතියක් තිබුණත් සමහරවිට ඔයා ඒක නොබලා ඉන්න තීරණය කරයි. මොකද ඔයාගේ ‘සහෝදරයාට විරුද්ධව වරදක්’ කරන්න ඔයා කැමති නැහැ. ඔයා දන්නවා ඒක හරියට “ක්‍රිස්තුස්ට විරුද්ධ” වෙනවා වගේ දෙයක් කියලා. (1 කොරින්ති 8:12) අපේ සහෝදරයෙක්ට හානියක් වෙන කිසිම දෙයක් කරන්න අපි පොඩ්ඩක්වත් කැමති නැහැ.—රෝම 14:1; 15:1; 1 කොරින්ති 10:32.

22. කෙනෙක් ඔයා හිතන විදිහට වඩා වෙනස් විදිහට හිතද්දී ඔයා ඒ ගැන සාධාරණව හිතන්න ඕනෙ ඇයි?

22 කෙනෙක් සුදුසුයි කියලා හිතන දෙයක් සුදුසු නැහැ කියලා ඔයාට හිතුණොත් මොකද කරන්නේ? ඔයා එයාට ආදරෙන්, ගෞරවයෙන් සලකනවා නම් ඔයාගේ මතය පිළිගන්න කියලා එයාට බල කරන්නේ නැහැ. හිතන්න ඔයා වාහනයක් එළවනවා කියලා. සමහරු ඔයාට වඩා වැඩි වේගයකිනුත් තවත් අය අඩු වේගයකිනුත් වාහන එළවනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එයාලා නරක රියදුරන් කියලා. ඒ වගේ තමයි විනෝදයට තෝරාගන්න දේවල් සම්බන්ධයෙනුත් ඔයා දරන මතයට වඩා වෙනස් මතයන් අනිත් අයට තියෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එයාලා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නේ නැහැ කියලා.—දේශනාකාරයා 7:16; ෆිලිප්පි 4:5.

23. විනෝදය සම්බන්ධයෙන් හොඳ තේරීමක් කරන්න අපිට පුළුවන් කොහොමද?

23 අපි අපේ හෘදය සාක්ෂිය බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පුහුණු කරන්න ඕනේ. ඒ වගේම අපේ සහෝදරයන් ගැන ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට විනෝදය සම්බන්ධයෙන් හොඳ තේරීමක් කරලා සතුටක් ලබන්න අපිට පුළුවන්. මොකද ඒකෙන් ‘ප්‍රශංසාවත් ගෞරවයත් ලැබෙන්නේ යෙහෝවා දෙවිටයි.’

^ හිතෝපදේශ 3:31; 13:20; එෆීස 5:3, 4; කොලොස්සි 3:5, 8, 20 පදවලින් අපිට තවත් ප්‍රතිපත්ති හොයාගන්න පුළුවන්.