Skip to content

පටුනට යන්න

10වෙනි පරිච්ඡේදය

විවාහය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්

විවාහය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්

“තුන්පට ලණුවක් පහසුවෙන් දෙකට කැඩිය නොහැක.”—දේශනාකාරයා 4:12.

1, 2. (අ) විවාහ වෙන යුවළක් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? (ආ) මේ පරිච්ඡේදයෙන් අපි බලන්නේ මොනවා ගැනද?

 ලස්සන ඇඳුම්වලින් සැරසිලා ඉන්න මනාල යුවළක් ගැන හිතන්න. එයාලා යුග දිවියට පිය නඟන්නේ දහසකුත් බලාපොරොත්තු පොදිබැඳගෙන. හැමදාමත් සතුටින් පිරුණු යුග දිවියක් ගත කරන්න එයාලා සිහින මවනවා.

2 හැබැයි හුඟක් අයට ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙලා නැහැ. ඒක සැබෑ කරගන්න නම් යුවළක් දෙවියන්ගේ මඟ පෙන්වීම් හොයන්නම ඕනේ. මේ ප්‍රශ්නවලට උත්තර අපි බයිබලයෙන් බලමු. විවාහ වෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? විවාහ වෙන්න සුදුසු කෙනෙක්ව තෝරාගන්නේ කොහොමද? හොඳ සැමියෙක්, හොඳ බිරිඳක් වෙන්න පුළුවන් කොහොමද? පවුල් ජීවිතය හැමදාමත් සතුටින් ගත කරන්න පුළුවන් කොහොමද?—හිතෝපදේශ 3:5, 6 කියවන්න.

මං විවාහ වෙන්න ඕනෙද? නැද්ද?

3. සතුටින් ඉන්න නම් විවාහ වෙන්නම ඕනෙ කියලා ඔයාට හිතෙනවාද? පැහැදිලි කරන්න.

3 සතුටින් ඉන්න නම් විවාහ වෙන්නම ඕනෙ කියලා සමහරු හිතනවා. හැබැයි ඒක ඇත්තක් නෙවෙයි. එක අවස්ථාවකදී යේසුස් කිව්වා තනිකඩව ඉන්න එකත් දීමනාවක් කියලා. (මතෙව් 19:11, 12) තනිකඩව ඉන්න එකෙන් ප්‍රයෝජන ලැබෙනවා කියලා පාවුලුත් කිව්වා. (1 කොරින්ති 7:32-38) ඔයා විවාහ වෙනවාද, නැද්ද කියන එක තීරණය කරන්න ඕනෙ ඔයාමයි. පවුලේ අය සහ යාළුවන් බල කරන නිසාවත් සංස්කෘතිය නිසාවත් ඒ තීරණය ගන්න එපා.

4. ශක්තිමත් විවාහ බැඳීමක් පවත්වාගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

4 විවාහය දෙවියන්ගෙන් ලැබුණු තවත් තෑග්ගක් කියලත් විවාහ වෙන එකෙන් ප්‍රයෝජන ලැබෙනවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා. මුල් මිනිසා වුණු ආදම්ට යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි.” (උත්පත්ති 2:18) දෙවියන් ආදම්ට බිරිඳක් විදිහට ඒවව දුන්නා. ඒ දෙන්නා තමයි මුල්ම පවුල වුණේ. විවාහක යුවළක් දරුවන් හදන්න හිතනවා නම් එයාලව ඇති දැඩි කරන්න සුදුසු වාතාවරණයක් ඇති කරගන්න ඕනේ. හැබැයි විවාහ වෙන එකේ එකම අරමුණ දරුවන් හදන එක නෙවෙයි.—ගීතාවලිය 127:3; එෆීස 6:1-4.

5, 6. විවාහ යුවළකට “තුන්පට ලණුවක්” වගේ වෙන්න පුළුවන් කොහොමද?

5 සලමොන් මෙහෙම කිව්වා. ‘එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. මන්ද ඔවුන් දෙදෙනා වෙහෙස වී එකට වැඩ කරන විට හොඳ ප්‍රතිඵල ලැබේ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා ඔහුව නැඟිටුවයි. එහෙත් තනිව සිටින කෙනෙකු වැටුණොත් ඔහුට කුමක් සිදු වෙයිද? තුන්පට ලණුවක් පහසුවෙන් දෙකට කැඩිය නොහැක.’—දේශනාකාරයා 4:9-12.

6 ශක්තිමත් විවාහ බැඳීමක් තියෙන දෙන්නෙක් ඉන්නේ හොඳම යාළුවෝ වගේ. එයාලා එකිනෙකාව රැකබලා ගන්නවා, සනසනවා, සහයෝගයෙන් වැඩ කරනවා. පවුල් බැඳීම ශක්තිමත් කරගන්න ආදරය උදව් වෙනවා තමයි. හැබැයි සැමියායි, බිරිඳයි දෙන්නාම යෙහෝවා දෙවියන්ට නමස්කාර කරනවා නම් පවුල් බැඳීම ඊටත් වඩා ශක්තිමත් වෙනවා. දෙපට ලණුවකට වඩා “තුන්පට ලණුවක්” ශක්තිමත් වෙනවා වගේ යුවළක් යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් විවාහ ජීවිතයට අදාළ කරගද්දී එයාලගේ බැඳීම තවත් ශක්තිමත් වෙනවා.

7, 8. විවාහය ගැන බයිබලයේ දීලා තියෙන මඟ පෙන්වීම් කිහිපයක් සඳහන් කරන්න.

7 විවාහ යුවළක් එකිනෙකා ගැන සැලකිලිමත් වෙලා එකිනෙකාගේ ලිංගික අවශ්‍යතා ඉටු කරලා දෙනවා නම් ඒකෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන්. (හිතෝපදේශ 5:18) ඒත් ලිංගික අවශ්‍යතා ඉටු කරගන්න අරමුණින්ම විවාහ වෙන්න හැදුවොත් විවාහයට සුදුසු කෙනෙක්ව තෝරාගන්න බැරි වෙනවා. බයිබලයේ දිරිගන්වන්නේ ‘යොවුන් විය පසු කළාට’ පස්සේ විවාහ වෙන්න කියලයි. (1 කොරින්ති 7:36) මොකද ඒ කාලේ තමයි ලිංගික ආශාවන් තදින්ම දැනෙන්නේ. ඒ හැඟීම් පාලනය කරගන්න පුළුවන් වයසකට එන කල් හිටියොත් බුද්ධිමත් තීරණයක් ගන්න ඔයාට පුළුවන්.—1 කොරින්ති 7:9; යාකොබ් 1:15.

8 විවාහය කියන්නේ රෝස මල් යහනාවක් නෙවෙයි. බයිබලයේ කියන්නේ විවාහ වෙන අය “දුෂ්කරතාවලට මුහුණ දෙනවා” කියලයි. (1 කොරින්ති 7:28) සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අයටත් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා විවාහ වෙන්න කෙනෙක්ව තෝරාගද්දී ඒ හැම දෙයක් ගැනම හොඳට හිතලා තීරණයක් ගන්න.

විවාහ වෙන්න ඕනෙ කාත් එක්කද?

9, 10. යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්නේ නැති කෙනෙක් එක්ක විවාහ වුණොත් මොනවා වෙයිද?

9 ‘දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න’ කියලා බයිබලයේ කියනවා. (2 කොරින්ති 6:14) ඒ ප්‍රතිපත්තිය කොයි තරම් වටිනවාද කියලා තේරුම්ගන්න මෙහෙම හිතන්න. ගොවියෙක් ලොකු ශක්තිමත් සතෙක්වයි, පොඩි දුර්වල සතෙක්වයි එකම වියගහක බැන්දොත් මොනවා වෙයිද? ඒකෙන් ඒ සතුන් දෙන්නාටම ලොකු හානියක් වෙයි. යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන කෙනෙක් ඔහුට නමස්කාර කරන්නේ නැති කෙනෙක් එක්ක විවාහ වෙන එකත් හරියට ඒ වගේ දෙයක්. ඒ දෙන්නාට හුඟක් ප්‍රශ්න අද්දකින්න වෙයි. “අනිවාර්යයෙන්ම ස්වාමීන්ගේ අනුගාමිකයෙක්” එක්ක විවාහ වෙන්න කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—1 කොරින්ති 7:39.

10 සමහර අයට හිතිලා තියෙනවා තනිකඩව ඉන්නවාට වඩා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්නේ නැති කෙනෙක් එක්ක හරි විවාහ වෙන එක හොඳයි කියලා. හැබැයි එහෙම කළොත් හුඟක් වේදනාකාරී අද්දැකීම්වලට මුහුණ දෙන්න වෙයි. යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන අයට ජීවිතේ වැඩියෙන්ම වටින්නේ ඔහුට කරන සේවයයි. විවාහ වෙන කෙනා එක්ක එකතු වෙලා ඒ දේ කරන්න ඔයාට බැරි වුණොත් ඔයාට කොහොම හැඟෙයිද? දෙවියන්ට ආදරේ කරන්නේ නැති කෙනෙක් එක්ක විවාහ වෙනවා වෙනුවට තනිකඩව ඉන්න හුඟදෙනෙක් තීරණය කරලා තියෙනවා.—ගීතාවලිය 32:8 කියවන්න.

11. විවාහ වෙන්න සුදුසු කෙනෙක්ව තෝරාගන්න පුළුවන් කොහොමද?

11 කෙනෙක් යෙහෝවා දෙවියන්ට සේවය කරන නිසාම එයා විවාහයට සුදුසුයි කියන්න බැහැ. ඒ නිසා විවාහය ගැන තීරණයක් ගන්න කලින් ඔයා ඇත්තටම ඒ කෙනාට ආදරෙයිද කියලත් එයාත් එක්ක පෑහිලා ඉන්න පුළුවන් වෙයිද කියලත් හිතලා බලන්න. දෙවියන්ට මුල් තැන දෙන, ඔයාගේ අනාගත ඉලක්කවලට ගැළපෙන කෙනෙක්ව හමු වෙන කල් ඉවසන්න. විවාහය සම්බන්ධයෙන් විශ්වාසවන්ත දාසයා අපිට දීලා තියෙන ප්‍රකාශනවල තියෙන තොරතුරු ගැනත් හොඳට හිතන්න.—ගීතාවලිය 119:105 කියවන්න.

12. යෝජිත විවාහයන් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?

12 සමහර සංස්කෘතීන්වල දෙමාපියන් තමයි දරුවන්ට විවාහ වෙන්න කෙනෙක්ව තෝරලා දෙන්නේ. බයිබල් කාලවල හිටපු දෙමාපියනුත් එහෙම කරලා තියෙනවා. ඔයාත් ඔයාගේ දරුවාට විවාහ වෙන්න කෙනෙක්ව හොයනවා නම් ඔයා හොයන්න ඕනෙ මොන වගේ කෙනෙක්වද කියලා තේරුම්ගන්න බයිබලයේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි. උදාහරණෙකට ආබ්‍රහම් එයාගේ පුතා වුණු ඊසාක්ට බිරිඳක්ව හොයද්දී එයා අවධානය දුන්නේ සල්ලිවලටවත් සමාජ තත්වයටවත් නෙවෙයි. ඒ කෙනා යෙහෝවා දෙවියන්ට ඇත්තටම ආදරේද කියන එකටයි.—උත්පත්ති 24:3, 67; 25වෙනි අමතර සටහන බලන්න.

විවාහයට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

13-15. (අ) හොඳ සැමියෙක් වෙන්න සූදානම් වෙන්න පුළුවන් කොහොමද? (ආ) හොඳ බිරිඳක් වෙන්න සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

13 විවාහ වෙන්න ඔයා කැමති නම් විවාහයට ඔයා සූදානම්ද කියලා හිතලා බලන්න. ඔයාට හිතෙයි ඔයා ඒකට සූදානම් කියලා. ඒත් විවාහයට සූදානම් වෙනවා කියන එකෙන් ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද කියලා අපි බලමු.

විවාහය ගැන දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් හොයලා බලන්නත් ඒවා ගැන හිතන්නත් කාලය ගන්න

14 සැමියාගේ සහ බිරිඳගේ වගකීම් ගැන බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙනවා. ඒ නිසා කෙනෙක් විවාහ වෙන්න කලින් තමන්ගේ වගකීම් මොනවාද කියලා හරියටම තේරුම්ගන්න එක වැදගත්. විවාහ වෙන්න හිතන පුරුෂයෙක් ‘පවුලේ මූලිකයා විදිහට වැඩ කරන්න මං සූදානම්ද’ කියලා හිතලා බලන්න ඕනේ. සැමියෙක් බිරිඳටත් දරුවන්ටත් අවශ්‍ය දේවල් සපයලා එයාලව ආදරෙන් රැකබලා ගනියි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පවුලේ නමස්කාරය වරද්දන්නේ නැතුව කරයි කියලත් බලාපොරොත්තු වෙනවා. බයිබලයේ කියන්නේ පවුලේ අය ගැන සැලකිලිමත් වෙන්නේ නැති පුරුෂයෙක් “දෙවිට සේවය නොකරන කෙනෙකුටත් වඩා නරකයි” කියලයි. (1 තිමෝති 5:8) බයිබලයේ මෙහෙමත් කියනවා. “නිවසින් පිටත ඔබට ඇති වැඩකටයුතු සැලසුම් කර ඔබේ කෙත සකසන්න. ඉන්පසුව ඔබේ පවුල ගොඩනැඟීමටත් සැලසුම් යොදන්න.” (හිතෝපදේශ 24:27) ඒ කියන්නේ දෙවියන් සැමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන වගකීම් ඉටු කරන්න ඔයාට පුළුවන්ද කියලා විවාහ වෙන්න කලින් හොඳට හිතන්න ඕනෙ කියන එකයි.

15 විවාහ වෙන්න කලින් ස්ත්‍රියක් හිතන්න ඕනෙ බිරිඳක් විදිහටත් මවක් විදිහටත් ඉටු කරන්න ඕන වගකීම් භාරගන්න තමන් සූදානම්ද කියලා. සැමියාවත් දරුවන්වත් ආදරෙන් බලාගන්න කරන්න පුළුවන් දේවල් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 31:10-31) අද හුඟක් අය කල්පනා කරන්නේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන කෙනා තමන්ට හොඳ සහකරුවෙක් නැත්නම් සහකාරියෙක් වෙයිද කියන එක ගැන විතරයි. හැබැයි හොඳ සහකරුවෙක් නැත්නම් සහකාරියක් වෙන්න තමන්ට පුළුවන් වෙයිද කියන එක ගැනත් අපි හිතලා බලයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා.

16, 17. විවාහ වෙන්න කලින් ඔයා කල්පනා කරන්න ඕනෙ මොනවා ගැනද?

16 යෙහෝවා දෙවියන් සැමියෙක්ගෙන්, බිරිඳකගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා ඔයා විවාහ වෙන්න කලින් හොඳට හිතන්න. දෙවියන් පවුලේ මූලිකයා විදිහට පුරුෂයාව පත් කරලා තිබුණත් පවුලේ අයගේ හිත රිදෙන දේවල් කියන්න, පහර දෙන්න එයාට අවසර නැහැ. එයා අනුගමනය කරන්න ඕනෙ යේසුස්ගේ ආදර්ශය. යේසුස් හැම වෙලේම තමන් යටතේ හිටපු අයට සැලකුවේ ආදරෙන්, කරුණාවෙන්. (එෆීස 5:23) සැමියා ගන්න තීරණවලට එකඟ වෙලා සහයෝගයෙන් වැඩ කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා ස්ත්‍රියක් කල්පනා කරන්න ඕනේ. (රෝම 7:2) අසම්පූර්ණ පුරුෂයෙක්ගේ මූලිකත්වය යටතේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලත් හොඳට හිතන්න ඕනේ. එහෙම කරන්න තමන් සූදානම් නැහැ කියලා ස්ත්‍රියකට හිතෙනවා නම් විවාහ වෙන එක කල් දාන්න තීරණය කරන්න එයාට පුළුවන්.

17 සැමියෙක් සහ බිරිඳක් තමන්ගේම සතුටට වඩා හිතන්න ඕනෙ අනිත් කෙනාගේ සතුට ගැනයි. (ෆිලිප්පි 2:4 කියවන්න.) බයිබලයේ මෙහෙම කියනවා. ‘එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි. භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි.’ (එෆීස 5:21-33) තමන්ට ආදරයෙන්, ගෞරවයෙන් සලකනවාට හැම සැමියෙක්ම සහ බිරිඳක්ම කැමතියි. ඒත් විශේෂයෙන්ම සැමියා තමන්ට ආදරෙයි කියලා බිරිඳටත් බිරිඳ තමන්ට ගරු කරනවා කියලා සැමියාටත් දැනෙන්න ඕනේ.

18. විවාහ වෙන අරමුණින් කෙනෙක්ව ඇසුරු කරද්දී පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

18 විවාහ වෙන අරමුණින් දෙන්නෙක් ඇසුරු කරන කාලය ඒ දෙන්නාට එකිනෙකාව හොඳින් හඳුනාගන්න පුළුවන් ප්‍රීතිමත් කාලයක්. ඒ කාලෙදි දෙන්නාට දෙන්නා ගැළපෙනවාද කියලා දෙන්නාම අවංකවම හිතලා බලන්න ඕනේ. එකිනෙකාගේ හිතේ තියෙන දේ සහ එකිනෙකා එක්ක අදහස් හුවමාරු කරගන්න ඕන විදිහ තේරුම්ගන්න උත්සාහ කරන්නත් ඕනේ. දෙන්නෙක් කිට්ටුවෙන් ඇසුරු කරලා එයාලා අතර තියෙන බැඳීම වැඩි වෙද්දී එකිනෙකාට ආකර්ෂණය වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි හැඟීම් ප්‍රකාශ කරද්දී, ආදරය පෙන්වද්දී දෙන්නාම පරෙස්සම් වෙන්න ඕනේ. මොකද හැඟීම් පාලනය කරගත්තේ නැත්නම් අනාචාරයට මඟ පාදන දෙයක් දෙන්නා අතින් වෙන්න පුළුවන්. එකිනෙකාට ඇත්තටම ආදරය කරන දෙන්නෙක් තමන්ගේ හැඟීම් පාලනය කරගන්නවා. දෙන්නා අතරේ තියෙන බැඳීමටත් යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීමටත් හානියක් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ.—1 තෙසලෝනික 4:6.

දෙන්නෙක් විවාහ වෙන අරමුණින් ඇසුරු කරද්දී එකිනෙකා එක්ක අදහස් හුවමාරු කරගන්න ඕන විදිහ තේරුම්ගන්න උත්සාහ කරන්න ඕනේ

ශක්තිමත් විවාහ බැඳීමක් පවත්වාගන්නේ කොහොමද?

19, 20. ක්‍රිස්තියානීන් විවාහය සලකන්න ඕනෙ කොහොමද?

19 නවකතාවල, චිත්‍රපටිවල කතාව අවසන් වෙන්නේ ආදරය ජය ගත්ත දෙන්නෙක්ගේ විවාහ උත්සවයකින්. ඒත් සැබෑ ජීවිතයේ විවාහය කියන්නේ අවසානය නෙවෙයි, පටන්ගැන්මයි. මොකද දෙවියන් විවාහය ඇති කළේ හැමදාටම තියෙන්න ඕනෙ බැඳීමක් විදිහට.—උත්පත්ති 2:24.

20 හුඟක් අය අද හිතන්නේ විවාහය කියන්නේ තාවකාලික බැඳීමක් කියලා. ඒ නිසයි ප්‍රශ්න ඇති වෙද්දී විවාහ වෙලා ඉන්න කෙනාව දාලා යන්න හරි දික්කසාද වෙන්න හරි සමහරු ඉක්මන් වෙන්නේ. ඒත් මතකද ලේසියෙන් කඩන්න බැරි තුන්පට ලණුවක් ගැන බයිබලයේ තියෙන උදාහරණේ? මොන ප්‍රශ්න ආවත් යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් විවාහ බැඳීම රැකගන්න පුළුවන් කියන එක ඒ උදාහරණෙන් අපිට තේරුම්ගන්න පුළුවන්. යේසුස් කිව්වේ ‘දෙවි ඔවුන්ව එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි’ කියලයි.—මතෙව් 19:6.

21. සැමියාටයි, බිරිඳටයි එකිනෙකාට ආදරෙන් සලකන්න උදව් වෙන්නේ මොනවාද?

21 හැමෝටම හොඳ ගුණාංග වගේම අඩුපාඩුකම් තියෙනවා. ඒත් අපි වැඩියෙන්ම පෙලඹෙන්නේ අනිත් අයගේ අඩුපාඩුකම් දිහා බලන්න. අපි විවාහ වෙලා ඉන්න කෙනාගේ අඩුපාඩුකම් දිහාම බලන්න ගියොත් අපේ සතුට නැති වෙයි. හොඳ ගුණාංග ගැන හිතන්න උත්සාහ කළොත් සතුට රැකගන්න පුළුවන්. අඩුපාඩුකම් ගණන් නොගෙන ඉන්න අමාරුයි කියලා හිතෙනවාද? එහෙනම් යෙහෝවා දෙවියන් ගැන හිතන්න. ඔහු තමයි අපේ අඩුපාඩුකම් ගැන හොඳටම දන්නේ. ඒත් ඔහු බලන්නේ අපේ හොඳ ගුණාංග දිහායි. බයිබලයේ මෙහෙම කියනවා. ‘යෙහෝවා දෙවියනි, ඔබ අපේ වැරදි දෙසම බලා සිටිනවා නම් ඔබ ඉදිරියේ සිටිය හැක්කේ කාටද?’ (ගීතාවලිය 130:3) යෙහෝවා දෙවියන්ව ආදර්ශයට අරන් එකිනෙකාගේ හොඳ ගුණාංගවලට අවධානය දෙන්නත් සමාව දෙන්නත් සැමියායි, බිරිඳයි හැමදාම උත්සාහ කරන්න ඕනේ.—කොලොස්සි 3:13 කියවන්න.

22, 23. විවාහක යුවළයන්ට ආබ්‍රහම් සහ සාරා හොඳ ආදර්ශයක් වෙන්නේ කොහොමද?

22 කාලයක් යද්දී විවාහක යුවළක් අතර තියෙන බැඳීම වැඩි වෙන්න පුළුවන්. ආබ්‍රහම් සහ සාරා ඒකට හොඳ ආදර්ශයක්. යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට ඌර් දේශය අත්හැරලා යන්න කියද්දී සාරාට අවුරුදු 60ක් විතර ඇති. සැප පහසු නිවස අත්හැරලා කූඩාරම්වල ජීවත් වෙන එක එයාට කොච්චර අමාරු වෙන්න ඇද්ද! ඒත් සාරා ආබ්‍රහම්ගේ තීරණයට එකඟ වෙලා එයාට සහයෝගය දුන්නා. ඒකෙන් පැහැදිලි වෙනවා සාරා ආබ්‍රහම්ට හොඳ බිරිඳක්, හොඳ යාළුවෙක් වුණා වගේම එයාට ඇත්තටම ගෞරවයෙන් සැලකුවා කියලා.—උත්පත්ති 18:12; 1 පේතෘස් 3:6.

23 හොඳ බැඳීමක් තියෙන යුවළයන් අතරත් එකඟ නොවීම් ඇති වෙනවා. එක අවස්ථාවකදී සාරා කියපු දේකට ආබ්‍රහම් එකඟ වුණේ නැහැ. ඒත් යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට කිව්වා සාරාට “සවන් දෙන්න” කියලා. ආබ්‍රහම් සාරාට සවන් දීපු නිසා ප්‍රශ්නේ විසඳුණා. (උත්පත්ති 21:9-13) විවාහ වෙලා ඉන්න කෙනා එක්ක එකඟ නොවීමක් ඇති වෙද්දී කලකිරෙන්න එපා. ඒ වගේ වෙලාවකදී වුණත් වැදගත්ම දේ වෙන්නේ එකිනෙකාට ආදරයෙන්, ගෞරවයෙන් සලකන්න උත්සාහ කරන එකයි.

විවාහ ජීවිතය සම්බන්ධයෙන් දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් මුල ඉඳලාම හිතට ගන්න

24. දෙවියන්ව ගෞරවයට පත් වෙන විදිහේ විවාහ බැඳීමක් ඇති කරගන්න පුළුවන් කොහොමද?

24 සතුටින් පවුල් ජීවිතය ගෙවන සැබෑ ක්‍රිස්තියානීන් හුඟදෙනෙක් ඉන්නවා. ඔයා විවාහ වෙන්න හිතනවා නම් ගැළපෙන කෙනෙක්ව තෝරාගන්න එක හුඟක් වැදගත් කියලා මතක තියාගන්න. මොකද ඒ තීරණය ඔයාගේ මුළු ජීවිත කාලයටම බලපානවා. ඒ නිසා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. ඔහු දෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න. එහෙම කරද්දී විවාහයට ගැළපෙන කෙනෙක්ව තෝරාගන්නත් ඒකට හොඳින් සූදානම් වෙන්නත් දෙවියන්ව ගෞරවයට පත් වෙන ශක්තිමත් විවාහ බැඳීමක් ඇති කරගන්නත් ඔයාට පුළුවන් වෙයි.