Skip to content

පටුනට යන්න

11වෙනි පරිච්ඡේදය

විවාහය රැකගන්න

විවාහය රැකගන්න

‘ප්‍රේමය සදාතනිකය.’—1 කොරින්ති 13:8.

1, 2. යුවළක් අතර ප්‍රශ්න ඇති වෙද්දී ඒකෙන් අදහස් වෙනවාද එයාලගේ විවාහය අසාර්ථකයි කියලා? පැහැදිලි කරන්න.

 විවාහය යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. ඒ තෑග්ග නිසා ජීවිතය සතුටින් ගෙවන්න පුළුවන්. හැබැයි විවාහ ජීවිතෙත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්නවලට විසඳුම් නැහැ කියලා යුවළකට හිතෙන්න පුළුවන්. මුලින් තිබුණු ආදරේ දැන් අඩු වෙලා කියලත් හිතෙන්න පුළුවන්.

2 යුවළක් අතරේ ප්‍රශ්න ඇති වෙද්දී ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එයාලගේ විවාහය අසාර්ථකයි කියලා. හුඟක් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීපු අයත් ඒවා විසඳගෙන එයාලගේ බැඳීම ශක්තිමත් කරගෙන තියෙනවා. ඒ කොහොමද කියලා අපි බලමු.

දෙවියන්ටත් එකිනෙකාටත් ළං වෙන්න

3, 4. යුවළක් අතරේ තියෙන බැඳීමට මොනවා වෙන්න පුළුවන්ද?

3 විවාහයෙන් එක් වෙන්නේ වෙනස් පෞද්ගලිකත්වයන් තියෙන, වෙනස් පසුබිම්වලින් ආපු දෙන්නෙක්. එයාලා හිතන විදිහ, වැඩ කරන විදිහ, ආස කරන දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එකිනෙකාව හොඳින් හඳුනාගන්නත්, තේරුම්ගන්නත් කාලයක් යයි.

4 හැබැයි දෙන්නා තම තමන්ගේ වැඩවලට වැඩි අවධානයක් දෙන්න ගියොත් නම් දෙන්නාගේ බැඳීම අඩු වෙයි. එක ගෙයි ජීවත් වෙන බෝඩිංකාරයෝ දෙන්නෙක් වගේ වෙයි. ඒ වගේ යුවළකට බැඳීම වැඩි කරගන්න පුළුවන් කොහොමද?

ශක්තිමත් විවාහ බැඳීමක් ඇති කරගන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙනවා

5. (අ) දෙන්නා අතරේ තියෙන බැඳීම ශක්තිමත් කරගන්න යුවළකට උදව් වෙන්නේ මොනවාද? (ආ) හෙබ්‍රෙව් 13:4 කියන විදිහට අපි විවාහය සලකන්න ඕනෙ කොහොමද?

5 එකිනෙකාටත් යෙහෝවා දෙවියන්ටත් ළං වෙන්න යුවළකට උදව් වෙන මඟ පෙන්වීම් දෙවියන් දීලා තියෙනවා. (ගීතාවලිය 25:4; යෙසායා 48:17, 18) ඔහු කියන්නේ “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතුයි” කියලයි. (හෙබ්‍රෙව් 13:4) යම් දෙයක් ගැන ලොකු අගයක් තියෙනවා නම් විතරයි අපි ඒකට ගරු කරන්න පෙලඹෙන්නේ. ඒ වගේ දේකට අපි කිසිම හානියක් වෙන්න දෙන්නේ නැහැ. විවාහයත් අපි ගෞරවයෙන් සලකනවාටයි දෙවියන් කැමති.

යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති කරගන්න

6. දෙවියන් විවාහය සලකන විදිහ ගැන මතෙව් 19:4-6 පදවලින් පැහැදිලි වෙන්නේ මොනවාද?

6 විවාහ සැලැස්ම ඇති කළේ යෙහෝවා දෙවියන්. යේසුස් මෙහෙම කියලා තියෙනවා. ‘දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා. “ඒ නිසා මිනිසෙක් පියාගෙන්ද මවගෙන්ද වෙන් වී බිරිඳට ඇලුම් වන්නේය කියාද ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය” කියාද ලියා තිබෙනවා. ඔවුන් එතැන් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙකු මෙන් වෙනවා. දෙවි ඔවුන්ව එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.’ (මතෙව් 19:4-6) දෙවියන් විවාහ සැලැස්ම ඇති කරද්දී ඔහුට ඕන වුණේ විවාහක යුවළයන් හැමදාම සතුටින් සමඟියෙන් පවුල් ජීවිතය ගෙවනවා දකින්නයි.

7. සැමියායි, බිරිඳයි අතරේ තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන්නේ මොනවාද?

7 මේ කාලේ විවාහක යුවළයන් ලොකු පීඩනයක් අද්දකිනවා. ඒ නිසා සමහර අයට හිතෙන්නේ එයාලගේ විවාහය රැකගන්න බැහැ කියලයි. හැබැයි හිතන විදිහ වෙනස් කරගෙන විවාහය රැකගන්න යෙහෝවා දෙවියන් විවාහය සලකන විදිහ තේරුම්ගන්න එක එයාලට උදව් වෙයි.—1 යොහන් 5:3.

8, 9. (අ) විවාහය සම්බන්ධයෙන් දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න ඕනෙ කොයි අවස්ථාවලදීද? (ආ) අපේ විවාහය ගැන අපිට ලොකු අගයක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

8 යෙහෝවා දෙවියන් මඟ පෙන්වීම් දෙන්නේ අපේම හොඳට. “විවාහය ගෞරවයෙන් සැලකිය යුතුයි” කියන මඟ පෙන්වීම ඒ අතරින් එකක්. (හෙබ්‍රෙව් 13:4; දේශනාකාරයා 5:4) අමාරුම අවස්ථාවලදීත් ඔහුගේ මඟ පෙන්වීම් පිළිපැද්දොත් අනිවාර්යයෙන්ම අපිට ප්‍රයෝජන ලැබෙනවා.—1 තෙසලෝනික 1:3; හෙබ්‍රෙව් 6:10.

9 විවාහය ගැන ලොකු අගයක් තියෙනවා නම් ඒකට හානියක් වෙන කිසිම දෙයක් අපි කියන්නෙවත් කරන්නෙවත් නැහැ. ඒ වෙනුවට විවාහ බැඳීම ශක්තිමත් කරගන්න අපි වෑයම් කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද?

විවාහය ගෞරවයෙන් සලකනවා කියලා කරන කියන දේවලින් පෙන්වන්න

10, 11. (අ) සමහර විවාහක යුවළයන් අද්දකින්නේ මොන වගේ ප්‍රශ්නද? (ආ) විවාහ වෙලා ඉන්න කෙනාට කතා කරන විදිහ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

10 විවාහ වෙලා ඉන්න කෙනාට පහර දෙන්න හොඳ නැහැ කියලා අපි දන්නවා. ඒත් පරෙස්සම් වුණේ නැත්නම් අපේ වචනවලින් අනිත් කෙනාට පහර දෙන්න ඉඩ තියෙනවා. බිරිඳක් මෙහෙම කියනවා. “මගේ මහත්තයා මට ගහන්නේ නැහැ. හැබැයි එයා කියන දේවල් නිසා මගේ හිත කැඩිලා යනවා. ‘ඔයා මහා වධයක්, ඔයා කිසි කමකට නැති කෙනෙක්’ වගේ දේවල් එයා කියද්දී මට දැනෙන්නේ පුදුම වේදනාවක්.” සැමියෙක් කිව්වේ මෙහෙමයි. “බිරිඳ මට කොයි වෙලෙත් අපහාස කරනවා. එයා මට කියන දේවල් ප්‍රසිද්ධියේ කියන්නත් ලැජ්ජයි. හුඟක් වෙලාවට මං එයා එක්ක කතා කරන්නෙත් නැහැ. පුළුවන් තරම් රෑ වෙලා තමයි මං ගෙදර එන්නේ. ඒක මට ලොකු සහනයක්.” ඒ විදිහට දුක් විඳින හුඟක් අය ඉන්නවා.

11 හිත පෑරෙන වචන නිසා ඇති වෙන වේදනාව සුව වෙන්න සෑහෙන කාලයක් යනවා. සැමියෙක්වත් බිරිඳක්වත් එහෙම කතා කරනවාට දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ. සමහරවිට ඔයාට හිතෙයි ඔයා කතා කරන්නේ කාරුණිකව කියලා. හැබැයි ඒ ගැන සැමියාගෙන් හරි බිරිඳගෙන් හරි අහලා බලන්න. ඔයා කතා කරන විදිහ නිසා එයාගේ හිත රිදෙනවා කියලා කිව්වොත් ඔයා වෙනස් වෙන්න කැමතිද?—ගලාති 5:15; එෆීස 4:31 කියවන්න.

12. විවාහක කෙනෙක්ට දෙවියන් එක්ක තියෙන බැඳීමට හානියක් වෙන්න පුළුවන් මොන දේ නිසාද?

12 ප්‍රසිද්ධියේ විතරක් නෙවෙයි කවුරුත් නැති තැනකදීත් ඔයාගේ සැමියාට හරි බිරිඳට හරි ඔයා කතා කරන විදිහ ගැන යෙහෝවා දෙවියන් සැලකිලිමත් වෙනවා. (1 පේතෘස් 3:7 කියවන්න.) යාකොබ් 1:26 මෙහෙම කියනවා. ‘තම නමස්කාරයට සම්බන්ධ සෑම කටයුත්තක්ම තමන් නිසි ලෙස ඉටු කරනවා කියා යමෙක් සිතුවත් දිව පාලනය කරගන්නේ නැත්නම් ඔහු කරන්නේ සිත රවටාගැනීමක්. ඒ මිනිසාගේ නමස්කාරය නිෂ්ඵලය.’

13. සැමියාට නැත්නම් බිරිඳට වේදනාවක් වෙන්න පුළුවන් තවත් දෙයක් මොකක්ද?

13 විරුද්ධ ලිංගයේ කෙනෙක් එක්ක වැඩි කාලයක් ගත කරන එක ගැනත් පරෙස්සම් වෙන්න ඕනේ. සමහරවිට ඔයා ඒ කෙනා එක්ක සේවයේ හවුල් වෙනවා ඇති. එයාගේ ප්‍රශ්නයක් විසඳගන්න උදව් කරනවා ඇති. ඒ දේ කරන්නේ හොඳ චේතනාවකින් වුණත් ඒ ගැන සැමියාට නැත්නම් බිරිඳට කොහොම හැඟෙයිද? බිරිඳක් මෙහෙම කියනවා. “මගේ මහත්තයා සභාවේ සහෝදරියක් එක්ක හුඟ වෙලාවක් ගත කරද්දී මට ලොකු දුකක් දැනෙනවා. එයාට මාව එච්චර වටින්නේ නැතුව ඇති කියලත් හිතෙනවා.”

14. (අ) උත්පත්ති 2:24න් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ආ) අපි හිතන්න ඕනෙ මොනවා ගැනද?

14 ක්‍රිස්තියානීන් විදිහට දෙමාපියන් සහ සභාවේ අය වෙනුවෙනුත් අපි ඉටු කරන්න ඕන වගකීම් තියෙනවා. ඒත් අපි වැඩියෙන්ම හිතන්න ඕනෙ සැමියාගේ නැත්නම් බිරිඳගේ අවශ්‍යතා ගැන. යෙහෝවා දෙවියන් කිව්වේ සැමියෙක් “තම බිරිඳට ඇලුම් වන්නේය” කියලයි. (උත්පත්ති 2:24) විවාහ වෙලා ඉන්න කෙනාගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන එක හුඟක් වැදගත්. මෙහෙම හිතන්න. ‘මං බැඳලා ඉන්න කෙනාට ඕන කරන කාලය, අවධානය මං දෙනවාද? මගේ ආදරේ එයාට දැනෙන්න සලස්වනවාද?’

15. විරුද්ධ ලිංගයේ කෙනෙක්ට විවාහ වෙලා ඉන්න කෙනාට වඩා වැඩියෙන් ළං වෙන එක ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

15 විවාහ වෙලා ඉන්න කෙනාට වඩා වැඩියෙන් වෙන කෙනෙක්ට ළං වෙන්න ගියොත් විවාහ බැඳීමට ලොකු හානියක් වෙනවා. මොකද ඒකෙන් ඒ කෙනා ගැන ආලවන්ත හැඟීම් ඇති වෙන්න පුළුවන්. (මතෙව් 5:28) අන්තිමේදී විවාහ බැඳීම පලුදු වෙන දෙයක් වුණත් වෙන්න ඉඩ තියෙනවා.

“විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි”

16. විවාහය සම්බන්ධයෙන් බයිබලයේ දීලා තියෙන ආඥාව මොකක්ද?

16 බයිබලයේ මෙහෙම කියනවා. ‘විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි. වේශ්‍යාකමේ සහ අනාචාරයේ යෙදෙන හැමෝටම දෙවිගේ විනිශ්චය ලැබේ.’ (හෙබ්‍රෙව් 13:4) ‘විවාහයට කැළැලක් වීමට ඉඩ නොදෙන්න’ කියන එකෙන් අදහස් වෙන්නේ ලිංගික සම්බන්ධකම් විවාහ වෙලා ඉන්න දෙන්නාට විතරක් සීමා කරන්න ඕනෙ කියන එකයි. (හිතෝපදේශ 5:18) ඒ ආඥාවට කීකරු වෙන්න අපිට පුළුවන් කොහොමද?

17. (අ) අනාචාරයේ හැසිරෙන එක අද ඉන්න හුඟක් අය සලකන්නේ කොහොමද? (ආ) ක්‍රිස්තියානියෙක් ඒක සලකන්න ඕනෙ කොහොමද?

17 අද හුඟක් අය විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් පවත්වන එකේ වරදක් දකින්නේ නැහැ. හැබැයි යෙහෝවා දෙවියන් පැහැදිලිවම කියලා තියෙනවා වේශ්‍යාකම සහ අනාචාරයේ හැසිරෙන එක ඔහු පිළිකුල් කරනවා කියලා. (රෝම 12:9 කියවන්න; හෙබ්‍රෙව් 10:31; 12:29) විවාහයෙන් පිට කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්වුවොත් විවාහයට ලොකු කැළැලක් ඇති වෙනවා. එහෙම කරන කෙනෙක් පෙන්වන්නේ දෙවියන් දීලා තියෙන ආඥා ගැන එයාට කිසිම තැකීමක් නැහැ කියලයි. ඒකෙන් දෙවියන් එක්ක තියෙන එයාගේ බැඳීමටත් හානි වෙනවා. ඒ නිසා අනාචාරයට මඟ පාදන මුල්ම පියවර ගන්න එකෙන් ඒ කියන්නේ විවාහයෙන් පිට කෙනෙක් ගැන ආලවන්ත හැඟීමක් ඇති කරගන්න එක වගේ දේවලින් අපි වළකින්න ඕනේ.—යෝබ් 31:1.

18. (අ) අනාචාරය හරියට බොරු දෙවිවරුන්ට නමස්කාර කරනවා වගේ දෙයක් කියලා කියන්නේ ඇයි? (ආ) අනාචාරය ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

18 මෝසෙස්ට දීපු නීතියේ සඳහන් වුණා අනාචාරය බොරු දෙවිවරුන්ට නමස්කාර කරන එක තරම් බරපතළ පාපයක් කියලා. ඒ ඇයි? කෙනෙක් බොරු දෙවිවරුන්ට නමස්කාර කරනවා කියන්නේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න දීපු පොරොන්දුව කඩ කරනවා කියන එකයි. කෙනෙක් අනාචාරයේ යෙදෙනවා කියන්නේ විවාහ වුණු කෙනාට විශ්වාසවන්තව ඉන්න දීපු පොරොන්දුව කඩ කරනවා කියන එකයි. (නික්මයාම 19:5, 6; ද්විතීය කතාව 5:9; මලාකි 2:14 කියවන්න.) ඒ පාපයන් දෙකටම ලැබුණේ මරණ දඬුවම. (ලෙවී කතාව 20:2, 10) යෙහෝවා දෙවියන්ට අනාචාරය ගැන හැඟෙන විදිහ ඒකෙන් පැහැදිලි වෙනවා නේද?

19. අනාචාරයේ යෙදෙන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

19 අද අපි ඉන්නේ මෝසෙස්ගේ නීතිය යටතේ නෙවෙයි. ඒත් අනාචාරය ගැන දෙවියන්ට හැඟෙන විදිහ වෙනස් වෙලා නැහැ. ඒ නිසා බොරු නමස්කාරයෙන් වැළකිලා ඉන්නවා වගේ අනාචාරයෙනුත් අපි වැළකිලා ඉන්න ඕනේ. (ගීතාවලිය 51:1, 4; කොලොස්සි 3:5) එහෙම කළේ නැත්නම් යෙහෝවා දෙවියන්ටත් අපේ විවාහයටත් ලොකු අගෞරවයක් වෙනවා.—26වෙනි අමතර සටහන බලන්න.

විවාහ බැඳීම ශක්තිමත් කරගන්න

20. ප්‍රඥාවන්තව වැඩ කරන එකෙන් විවාහ ජීවිතයට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

20 බයිබලයේ මෙහෙම කියනවා. “ප්‍රඥාවෙන් නිවසක් ගොඩනැඟෙයි. වටහාගැනීමේ හැකියාවෙන් එය ස්ථිරව පිහිටුවනු ලැබේ.” (හිතෝපදේශ 24:3) නිවසක් ජීවත් වෙන්න ආස හිතෙන ආරක්ෂිත තැනක් වෙන්නේ ඒක ගොඩනඟන විදිහ මතයි. ඒ වගේ විවාහ ජීවිතය සතුටින් පිරුණු සුරක්ෂිත එකක් වෙන්නේ කෙනෙක් ප්‍රඥාවන්තව වැඩ කළොත් විතරයි.

21. විවාහ බැඳීම ශක්තිමත් කරගන්න දැනුම උදව් වෙන්නේ කොහොමද?

21 ප්‍රඥාවෙන් ගොඩනඟන නිවසක් ගැන බයිබලයේ මෙහෙමත් කියනවා. “දැනගැන්ම නිසා එහි කාමර ඉතා අනර්ඝ මෙන්ම ප්‍රසන්න වූ සෑම දෙයකින්ම පිරී තිබේ.” (හිතෝපදේශ 24:4) ඒ කියන්නේ බයිබලයෙන් දැනගන්න දේවල් විවාහය සාර්ථක කරගන්න උදව් වෙනවා කියන එකයි. (රෝම 12:2; ෆිලිප්පි 1:9) ඒ නිසා බයිබලයත් අපේ ප්‍රකාශනත් කියවද්දී ඒ තොරතුරු අදාළ කරගන්න පුළුවන් විදි ගැන දෙන්නාත් එක්ක කතා කරන්න. එකිනෙකාට ආදරයෙන්, ගෞරවයෙන්, කරුණාවෙන් සලකන්න පුළුවන් කොහොමද කියලත් හිතන්න. බැඳීම ශක්තිමත් කරන ගුණාංග වර්ධනය කරගන්නත් විවාහ වෙලා ඉන්න කෙනා අකමැති දේවල් නොකර ඉන්නත් යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න.—හිතෝපදේශ 15:16, 17; 1 පේතෘස් 1:7.

පවුලේ නමස්කාරය කරන්න කලින් දෙවියන්ගේ මඟ පෙන්වීම් ඉල්ලලා යාච්ඤා කරන්න

22. විවාහ වෙලා ඉන්න කෙනාට ආදරයෙන්, ගෞරවයෙන් සලකන්න ඕනෙ ඇයි?

22 විවාහ වෙලා ඉන්න කෙනාට ආදරයෙන්, ගෞරවයෙන් සලකන්න අපි උපරිමය කරන්න ඕනේ. විවාහ බැඳීම ශක්තිමත් කරගන්න ඒක උදව් වෙනවා. වැදගත්ම දේ වෙන්නේ එහෙම කරද්දී යෙහෝවා දෙවියනුත් අපි ගැන සතුටු වෙන එකයි.—ගීතාවලිය 147:11; රෝම 12:10.