Skip to content

පටුනට යන්න

9වෙනි පරිච්ඡේදය

“වේශ්‍යාකම වෙතින් පලා දුවන්න”

“වේශ්‍යාකම වෙතින් පලා දුවන්න”

“වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.”—කොලොස්සි 3:5.

1, 2. ඊශ්‍රායෙල්වරුන්ට හානියක් කරන්න බාලාම් උත්සාහ කළේ කොහොමද?

 මාළු අල්ලන කෙනෙක් ගැන හිතන්න. අල්ලන්න හිතාගෙන ඉන්න මාළුන්ට ගැළපෙන ඇමක් තමයි එයා බිලි කොක්කේ අමුණන්නේ. බිලි පිත්ත වතුරට දාලා මාළුවෙක් අහු වෙන කල් එයා බලාගෙන ඉන්නේ හරිම ඉවසීමෙන්. මාළුවෙක් ඇම ගිලපු ගමන්ම එයා බිලි පිත්ත ඇදලා ගන්නවා.

2 සාතනුත් එක එක විදිහේ ඇමවල් යොදාගෙන මිනිසුන්ව අල්ලාගන්නවා. උදාහරණෙකට පොරොන්දු දේශය අද්දරටම ඇවිත් හිටිය ඊශ්‍රායෙල්වරුන්ට වුණු දේ බලන්න. මෝවබ් දේශයේ රජ, බාලාම්ට කිව්වා ඊශ්‍රායෙල්වරුන්ට ශාපයක් කළොත් ලොකු මුදලක් ගෙවනවා කියලා. ඒක සාර්ථක වුණේ නැති නිසා බාලාම් හිතුවා ඊශ්‍රායෙල්වරුන්ව වරදක් කරන්න පොලඹවන්න ඕනෙ කියලා. ඒකට එයා ඇමක් විදිහට යොදාගත්තේ මෝවබ් ජාතික ස්ත්‍රීන්ව. එයා ඒ ස්ත්‍රීන්ව ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරට යැව්වා.—ගණන් කතාව 22:1-7; 31:15, 16; එළිදරව් 2:14.

3. ඊශ්‍රායෙල්වරුන් බාලාම්ගේ ඇමට අහු වුණේ කොහොමද?

3 බාලාම්ගේ ඇමට අහු වුණු ඊශ්‍රායෙල්වරු ‘මෝවබ් ජාතික ස්ත්‍රීන් එක්ක දුරාචාරයේ යෙදුණා.’ එයාලා සශ්‍රීකත්වයේ දෙවි වන පෙයෝර්හි බාල් ඇතුළු බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්නත් පටන්ගත්තා. ඒ නිසා පොරොන්දු දේශය අද්දරටම ඇවිත් ඉද්දී ඊශ්‍රායෙල්වරුන් 24,000කගේ ජීවිත අහිමි වුණා.—ගණන් කතාව 25:1-9.

4. ඊශ්‍රායෙල්වරුන් දහස් ගාණක් දුරාචාරයේ යෙදුණේ ඇයි?

4 බාලාම්ගේ ඇමට ඊශ්‍රායෙල්වරුන් අහු වුණේ ඇයි? එහෙම වුණේ එයාලා තමන්ගේ ආසාවන් ගැන විතරක්ම හිතුව නිසයි. යෙහෝවා දෙවියන් කරපු හැම දෙයක්ම එයාලා අමතක කළා. දෙවියන් එයාලව ඊජිප්තුවේ වහල්භාවයෙන් ගලවාගත්තා. පාළුකරයේදී කෑම දුන්නා. පොරොන්දු දේශයේ අද්දරටම ආරක්ෂිතව අරන් ආවා. (හෙබ්‍රෙව් 3:12) ඒත් අන්තිමේදී එයාලා වේශ්‍යාකම් කළා. පාවුල් ඒ ගැන කිව්වේ මෙහෙමයි. ‘ඔවුන්ගෙන් සමහරුන් වේශ්‍යාකම් කළා සේ අපත් වේශ්‍යාකම් නොකළ යුතුයි. එසේ කිරීමෙන් ඔවුන් මිය ගියෝය.’—1 කොරින්ති 10:8.

5, 6. ඊශ්‍රායෙල්වරුන්ට වුණු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 එදා ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශය අද්දරටම ඇවිත් හිටියා වගේ අද අපි ඉන්නේ පාරාදීසය ළඟටම ඇවිත්. (1 කොරින්ති 10:11) මෝවබ්වරුන්ට වඩා අද ඉන්න මිනිසුන් පව්කාර ලිංගික ආශාවන්ගෙන් මත් වෙලයි ඉන්නේ. අපේ හිත්වලටත් ඒ ආශාවන් ලේසියෙන්ම ඇතුල් වෙන්න පුළුවන්. මොකද වේශ්‍යාකම කියන්නේ සාතන් පාවිච්චි කරන ප්‍රධාන උගුලක්.—ගණන් කතාව 25:6, 14; 2 කොරින්ති 2:11; යූද් 4.

6 මෙහෙම හිතන්න. ‘මං කැමති කොහොමහරි මගේ ආශාවන් ඉටු කරගෙන තාවකාලික වින්දනයක් ලබන්නද? නැත්නම් පාරාදීසයේ හැමදාමත් සතුටින් ඉන්නද?’ “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියලා දෙවියන් දීලා තියෙන අණට කීකරු වෙන එක හැම වෙලාවෙම ලේසි නැහැ. (1 කොරින්ති 6:18) ඒත් එහෙම කරන එක ප්‍රයෝජනවත් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?

වේශ්‍යාකම කියන්නේ මොකක්ද?

7, 8. වේශ්‍යාකම කියන්නේ මොකක්ද? ඒක බරපතළ වරදක් වෙන්නේ ඇයි?

7 ලිංගික කාරණා ගැන දෙවියන් දීලා තියෙන නීති මිනිසුන් තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ. බයිබලයේ වේශ්‍යාකම කියන වචනය පාවිච්චි කරන්නේ නීත්‍යනුකූලව විවාහ වෙලා ඉන්න පුරුෂයෙක් සහ ස්ත්‍රියක් අතර සිද්ධ වෙන ලිංගික සම්බන්ධකම් හැර අනිත් සියලුම ආකාරයේ ලිංගික සම්බන්ධකම් විස්තර කරන්න. මුඛය හරි ගුද මාර්ගය හරි ලිංගික ක්‍රියාවලට යොදාගන්න එක, හැඟීම් ඇවිස්සෙන විදිහට කෙනෙකුගේ ලිංගික අවයව අතගාන එක, සමලිංගික ක්‍රියාවන් සහ සතුන්ව ලිංගික ක්‍රියාවලට යොදාගන්න එක වේශ්‍යාකමට ඇතුළත්. *23වෙනි අමතර සටහන බලන්න.

8 ක්‍රිස්තියානියෙක් දිගටම වේශ්‍යාකම් කරනවා නම් එයාව සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කරනවා. (1 කොරින්ති 6:9; එළිදරව් 22:15) වේශ්‍යාකම් කරන කෙනෙක් තමන්ගේ ආත්ම ගෞරවයත් අනිත් අයට එයා ගැන තියෙන විශ්වාසයත් නැති කරගන්නවා. හිත වධ දෙන එක, අනවශ්‍ය ගැබ්ගැනීම්, පවුල් ප්‍රශ්න, ලෙඩ රෝග විතරක් නෙවෙයි මරණය වුණත් අද්දකින්න එයාට සිද්ධ වෙයි. (ගලාති 6:7, 8 කියවන්න.) ඒ දේවල් ගැන හොඳට හිතනවා නම් කිසිම කෙනෙක් වේශ්‍යාකම් කරන්න පෙලඹෙන්නේ නැහැ. හැබැයි හුඟදෙනෙක් තමන්ගේ ආශාවන් ගැන විතරක් හිතන නිසා කාමුක දර්ශන බලනවා. හුඟක් වෙලාවට ඒක තමයි වේශ්‍යාකමට මඟ පාදන මුල්ම පියවර වෙන්නේ.

කාමුක දර්ශන

9. කාමුක දර්ශන බලන එක භයානක දෙයක් වෙන්නේ ඇයි?

9 කාමුක දර්ශන බලද්දී ලිංගික හැඟීම් ඇවිස්සෙනවා. සඟරාවල, පොත්වල, සිංදුවල, ටීවී වැඩසටහන්වල වගේම ඉන්ටනෙට් එකේ කාමුක දර්ශන ඕන තරම් තියෙනවා. ඒවා බලන එකේ කිසිම හානියක් නැහැ කියලයි හුඟක් අය හිතන්නේ. හැබැයි ඒක හරිම භයානකයි. මොකද ඒකෙන් වෙන්නේ පව්කාර ලිංගික ආශාවන්වලට වහල් වෙලා පහත් ලිංගික ක්‍රියාවල යෙදෙන්න පෙලඹෙන එකයි. කාමුක දර්ශන නිසා කෙනෙක් ස්වයංවින්දනයට ඇබ්බැහි වෙන්නත් පුළුවන්. ඒ වගේම පවුල් ප්‍රශ්නවලටත් දික්කසාදයටත් ඒක හේතු වෙන්න පුළුවන්.—රෝම 1:24-27; එෆීස 4:19; 24වෙනි අමතර සටහන බලන්න.

ඉන්ටනෙට් පාවිච්චි කරද්දී පරෙස්සම් වෙන්න

10. යාකොබ් 1:14, 15 සඳහන් ප්‍රතිපත්තිය වේශ්‍යාකම වෙතින් පලා යන්න උදව් වෙන්නේ කොහොමද?

10 වේශ්‍යාකම් කරන්න කෙනෙක් පෙලඹෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න එක වැදගත්. ඒ ගැන යාකොබ් 1:14, 15 මෙහෙම කියනවා. “කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය. ඒ ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි. ඔහු පව් කරන විට එහි ප්‍රතිඵලය මරණයයි.” මනසට වැරදි සිතුවිල්ලක් එද්දිම ඒක අයින් කරලා දාන්න. ටීවී බලද්දී, ඉන්ටනෙට් එක පාවිච්චි කරද්දී එකපාරටම කාමුක දර්ශනයක් මතු වෙන්න පුළුවන්. ඒ වෙලාවෙම ටීවී චැනල් එක මාරු කරන්න. කොම්පියුටර් එක වහලා දාන්න. නැත්නම් පාලනය කරගන්න බැරි වෙන තරමටම ඔයාගේ හිතේ වැරදි ආශාවන් වර්ධනය වෙයි.—මතෙව් 5:29, 30 කියවන්න.

11. වැරදි ආශාවන් එක්ක සටන් කරද්දී අපිට උදව් කරන්න දෙවියන්ට පුළුවන් කියලා අපි දන්නේ කොහොමද?

11 අපිට වඩා වැඩියෙන් යෙහෝවා දෙවියන් අපි ගැන දන්නවා. පව්කාරකම උරුම වෙලා තිබුණත් පව්කාර සිතුවිලි ජය ගන්න අපිට පුළුවන් කියලා දන්න නිසයි ඔහු මෙහෙම කියලා තියෙන්නේ. “වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.” (කොලොස්සි 3:5) ඒක කරන එක ලේසි නැති වුණත් එහෙම කරන්න වෑයම් කරද්දී දෙවියන් ඉවසීමෙන් අපිට උදව් කරනවා. (ගීතාවලිය 68:19) කාමුක දර්ශන බලන්නත් ස්වයංවින්දනයේ යෙදෙන්නත් ඇබ්බැහි වුණු යෞවන සහෝදරයෙක්ගේ අද්දැකීම බලන්න. එයාගේ ඉස්කෝලේ ළමයි හිතුවේ ඒවා සාමාන්‍ය දේවල් කියලා. හැබැයි එයා මෙහෙම කිව්වා. “ඒ දේවල් කරපු නිසා මගේ හිත වධ දෙන්න ගත්තා. අන්තිමට මං අනාචාරයෙත් යෙදුණා.” එයා තේරුම්ගත්තා නරක ආශාවන් පාලනය කරගන්න ඕනෙ කියලා. යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් ඒ හැම නරක පුරුද්දක්ම එයා අත්හැරියා. ඔයාගේ හිතටත් වැරදි ආශාවන් එනවා නම් සිතුවිලි පවිත්‍රව තියාගන්න “සාමාන්‍යය ඉක්මවූ බලය” දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න.—2 කොරින්ති 4:7; 1 කොරින්ති 9:27.

12. අපේ “සිත ආරක්ෂා කරගන්න” ඕනෙ ඇයි?

12 බයිබලයේ මෙහෙම කියනවා. “සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. මන්ද ජීවනය නික්මෙන්නේ එයින්ය.” (හිතෝපදේශ 4:23) ‘සිතෙන්’ නියෝජනය වෙන්නේ අපේ ඇතුළාන්තය. යෙහෝවා දෙවියන් සෝදිසි කරන්නේ අපේ ඇතුළාන්තය ඒ කියන්නේ අපේ සිතුවිලි මොන වගේද කියලයි. අපි බලන දේවල් අපේ හිතට හොඳට හෝ නරකට තදින්ම බලපානවා. වැරදි චේතනාවකින් තරුණියක් දිහා බලන්නේ නැතුව ඉන්න යෝබ් ‘දෑස් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේ’ ඒ නිසයි. (යෝබ් 31:1) බලන දේවල් සහ හිතන දේවල් ගැන අපිත් පරෙස්සම් වෙන්න ඕනේ. ‘කිසි වැදගැම්මකට නැති දේවලින් මාගේ දෙනෙත් හරවාගන්න උදව් කරන්න’ කියලා අපිත් ගීතිකාකරු වගේ දෙවියන්ගෙන් ඉල්ලමු.—ගීතාවලිය 119:37.

දීනාගේ වැරදි තීරණය

13. දීනා යාළුවන් විදිහට තෝරාගත්තේ මොන වගේ අයවද?

13 අපේ යාළුවන් අපේ හොඳට හරි නරකට හරි බලපානවා. දෙවියන්ට ආදරේ අයව යාළුවන් කරගත්තොත් දෙවියන්ට කීකරු වෙන්න එයාලා ඔයාට උදව් කරයි. (හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33 කියවන්න.) යාළුවන්ව තෝරාගද්දී පරෙස්සම් වෙන එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න දීනාට වුණු දේ බලමු. දීනා යාකොබ්ගේ දුවෙක්. එයාගේ පවුලේ හැමෝම යෙහෝවා දෙවියන්ට නමස්කාර කරපු අය. හැබැයි දීනා යාළුවන් විදිහට තෝරාගත්තේ කානාන් දේශයේ තරුණියන්ව. එයාලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරපු අය නෙවෙයි. ලිංගික කාරණා ගැන දෙවියන්ගේ සෙනඟ හිතුව විදිහට වඩා හාත්පසින්ම වෙනස් විදිහටයි කානානිවරු හිතුවේ. එයාලා ප්‍රසිද්ධ වෙලා හිටියේ දුරාචාර ජීවිත ගත කරන අය හැටියට. (ලෙවී කතාව 18:6-25) ඒ තරුණියන්ව ආශ්‍රය කරද්දී ෂීකෙම් කියන තරුණයාව දීනාට මුණගැහුණා. කානානිවරු ෂීකෙම්ව සැලකුවේ එයාගේ පවුලේ ‘හැමෝටම වඩා ගෞරවාන්විත’ කෙනෙක් විදිහට. ඒත් එයා යෙහෝවා දෙවියන්ට ආදරේ කරපු කෙනෙක් නෙවෙයි.—උත්පත්ති 34:18, 19.

14. දීනාට මොකද වුණේ?

14 දීනා ගැන ෂීකෙම්ගේ හිත ඇදිලා ගියා. අන්තිමේදී එයා දීනාව ‘දූෂණය කළා.’ තමන්ට හරියි කියලා හිතෙන දේ තමයි එයා කළේ. (උත්පත්ති 34:1-4 කියවන්න.) පස්සේ දීනාටයි, පවුලේ අයටයි හුඟක් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා.—උත්පත්ති 34:7, 25-31; ගලාති 6:7, 8.

15, 16. ප්‍රඥාවන්තව වැඩ කරන්න අපිට පුළුවන් කොහොමද?

15 පාඩමක් ඉගෙනගන්න අත පුච්චගන්නම ඕනෙ නැහැ. බයිබලයේ මෙහෙම කියනවා. ‘ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.’ (හිතෝපදේශ 13:20) ඒක මොන තරම් ඇත්තක්ද කියලා දීනාගේ සිද්ධියෙන් පැහැදිලියි. ඒ නිසා බයිබලය හොඳින් අධ්‍යයනය කරලා “යහපත් ජීවිතයක් ගත කිරීමට ඇතුළත් වන සියල්ල” තේරුම් අරන් ඒ අනුව ජීවත් වෙන්න වෑයම් කරන්න. අනවශ්‍ය සිත්තැවුල් වළක්වගන්න ඒක උදව් වෙයි.—හිතෝපදේශ 2:6-9; ගීතාවලිය 1:1-3.

16 බයිබලය අධ්‍යයනය කරන එක, තීරණයක් ගන්න කලින් යාච්ඤා කරන එක, විශ්වාසවන්ත නුවණැති දාසයාගෙන් ලැබෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න එක ප්‍රඥාවන්තව වැඩ කරන්න අපිට උදව් වෙනවා. (මතෙව් 24:45; යාකොබ් 1:5) අපිට පව්කාරකම උරුම වෙලා තියෙනවා කියලා අපි පිළිගන්නවා. (යෙරෙමියා 17:9) ඒත් වෙන කෙනෙක් කිව්වොත් වේශ්‍යාකමට මඟ පාදන්න ඉඩ තියෙන දෙයක් ඔයා අතින් වෙනවා කියලා ඔයා මොකද කරන්නේ? කේන්ති ගන්නවාද? නැත්නම් නිහතමානීව ඒක පිළිගන්නවාද?—2 රාජාවලිය 22:18, 19.

17. සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන උපදෙස් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා උදාහරණෙකින් පැහැදිලි කරන්න.

17 රැකියාව කරන තැන ඉන්න තරුණයෙක් සහෝදරියක් ගැන විශේෂ උනන්දුවක් පෙන්වනවා කියලා හිතන්න. දවසක් ඒ තරුණයා සහෝදරියගෙන් අහනවා එයාත් එක්ක ගමනක් යන්න එනවාද කියලා. බැලූ බැල්මට ඒ තරුණයා හොඳ කෙනෙක්. හැබැයි සාක්ෂිකරුවෙක් නෙවෙයි. දෙන්නා එකට කතා කරකර ඉන්නවා දකින සහෝදරියක් ඒ ගැන තරුණ සහෝදරියට අනතුරු අඟවනවා. එයා නිදහසට කරුණු කියයිද? නැත්නම් අනතුරු ඇඟවීම හිතට ගනියිද? ඒ සහෝදරිය යෙහෝවා දෙවියන්ට ආදරේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා දිගටම ඒ තරුණයා එක්ක ආශ්‍රය කරන්න හිතනවා නම් ඔයා එයාව දකින්නේ ‘වේශ්‍යාකම වෙතින් පලා යන’ කෙනෙක් විදිහටද? නැත්නම් ‘තමාගේම හිත ගැන විශ්වාස කරන’ කෙනෙක් විදිහටද?—හිතෝපදේශ 22:3; 28:26; මතෙව් 6:13; 26:41.

යෝසෙප්ගෙන් ඉගෙනගන්න

18, 19. යෝසෙප් වේශ්‍යාකම වෙතින් පලා ගියේ කොහොමද? එහෙම කරන්න එයාට පුළුවන් වුණේ ඇයි?

18 යෝසෙප්ගේ තරුණ කාලය ගෙවුණේ ඊජිප්තුවේ වහලෙක් විදිහට. එහෙ ඉද්දී එයාගේ ස්වාමියාගේ බිරිඳ ලිංගික සම්බන්ධකම් පවත්වන්න එන්න කියලා හැම දවසකම යෝසෙප්ට කරදර කළා. හැබැයි යෝසෙප් දැනන් හිටියා ඒක වැරදියි කියලා. යෙහෝවා දෙවියන්ට තිබුණු ආදරේ නිසා ඔහුට දුකක් දෙන්න එයා කැමති වුණේ නැහැ. ඒ ස්ත්‍රිය එයාව කැමති කරවගන්න කොච්චර උත්සාහ කළත් යෝසෙප් ඒකට ඉඩ දුන්නේ නැහැ. වහලෙක් නිසා එයාට එහෙන් යන්න අවසර තිබුණෙත් නැහැ. දවසක් ඒ ස්ත්‍රිය යෝසෙප්ව ළඟට ඇදලා ගන්න හැදුවාම යෝසෙප් එතැනින් පලා ගියා.—උත්පත්ති 39:7-12 කියවන්න.

19 යෝසෙප් අසභ්‍ය දේවල් ගැන හරි ඒ ස්ත්‍රිය ගැන හරි හීන මවමින් හිටියා නම් තත්වය ඊට වඩා වෙනස් වෙන්න තිබුණා. යෝසෙප් දැනන් හිටියා දෙවියන් එක්ක තියෙන බැඳීම තරම් වටින දෙයක් තවත් නැහැ කියලා. ඒ නිසයි එයා ස්ත්‍රියට මෙහෙම කිව්වේ. ‘මගේ ස්වාමියා, ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැර අනික් හැම දෙයක්ම මට භාර දී තිබෙනවා. එහෙනම් මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?’—උත්පත්ති 39:8, 9.

20. දෙවියන් යෝසෙප් ගැන සතුටු වුණා කියලා අපි දන්නේ කොහොමද?

20 පවුලේ අය ළඟ හිටියේ නැති වුණත් යෝසෙප් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. ඒ නිසා දෙවියන් එයාට ආශීර්වාද කළා. (උත්පත්ති 41:39-49) යෝසෙප් ගැන යෙහෝවා දෙවියන් හුඟක් සතුටු වුණා. (හිතෝපදේශ 27:11) වේශ්‍යාකම වෙතින් පලා යන එක ලේසි නැති වෙන්න පුළුවන්. ඒත් ඒ දේ කරන්න මේ මඟ පෙන්වීම උදව් වෙයි. “යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි, නපුරට ද්වේෂ කරන්න. ඔහුට විශ්වාසවන්තව සිටින අයව ඔහු ආරක්ෂා කරන්නේය. දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව ගලවාගන්නේය.”—ගීතාවලිය 97:10.

21. යෞවන සහෝදරයෙක් යෝසෙප් වගේ ක්‍රියා කළේ කොහොමද?

21 යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ‘දුෂ්ට දේ පිළිකුල් කරනවා’ කියලත් ‘යහපත් දේට ඇලුම් කරනවා’ කියලත් හැම දවසකම පෙන්වනවා. (ආමොස් 5:15) මොන වයසක හිටියත් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඔයාට පුළුවන්. යෞවනයෙක්ගේ අද්දැකීම බලන්න. යෞවනියක් එයාට කියලා තියෙනවා ගණිත විභාගෙදී උදව් කළොත් ලිංගික සම්බන්ධකම් පවත්වන්න එන්නම් කියලා. යෝසෙප් වගේම විශ්වාසවන්තව හිටිය යෞවනයා ඒ ගැන මෙහෙම කියනවා. “මං කෙළින්ම කිව්වා මට බැහැ කියලා. දෙවියන්ට විශ්වාසවන්තව හිටිය නිසා මගේ ආත්ම ගෞරවයට හානියක් වුණේ නැහැ.” වේශ්‍යාකම් කරලා “තාවකාලික සැපක්” ලැබුවත් අන්තිමට ඒකෙන් ඉතුරු වෙන්නේ වේදනාව විතරයි. (හෙබ්‍රෙව් 11:25) ඒත් දෙවියන්ට කීකරු වෙද්දී හැමදාම සතුටින් ඉන්න පුළුවන්.—හිතෝපදේශ 10:22.

දෙවියන්ගෙන් උදව් ලබාගන්න

22, 23. අපේ අතින් බරපතළ වරදක් වෙලා තිබුණත් යෙහෝවා දෙවියන්ගෙන් උදව් ගන්න පුළුවන් කොහොමද?

22 වේශ්‍යාකම කියන උගුලට අපිව අහු කරගන්න සාතන් වෑයම් කරනවා. ඒ වගේම අපි හැමෝටම වැරදි සිතුවිලි ඇති වෙන්න පුළුවන්. (රෝම 7:21-25) යෙහෝවා දෙවියන් ඒ හැම දෙයක්ම දන්නවා. අපිව හැදුවේ “දූවිල්ලෙන්” කියලා ඔහු අමතක කරන්නේ නැහැ. (ගීතාවලිය 103:14) ඒ නිසා වේශ්‍යාකම කියන බරපතළ වරද කරන්න පෙලඹුණු ක්‍රිස්තියානියෙක් අවංකවම පසුතැවෙනවා නම් එයාට සමාව දෙන්නත් ඒකෙන් ගොඩ එන්න උදව් කරන්නත් යෙහෝවා දෙවියන් කැමතියි.—ගීතාවලිය 86:5; යාකොබ් 5:16; හිතෝපදේශ 28:13 කියවන්න.

23 අපි ගැන හුඟක් සැලකිලිමත් වෙන වැඩිමහල්ලන්වත් ‘තෑග්ගක්’ විදිහට දෙවියන් දීලා තියෙන්නේ ආයෙත් ඔහුට ළං වෙන්න අපිට උදව් කරන්නයි.—එෆීස 4:8, 12; යාකොබ් 5:14, 15; හිතෝපදේශ 15:32.

ඥානවන්තව වැඩ කරන්න

24, 25. වේශ්‍යාකමට වැටෙන්නේ නැතුව ඉන්න ඥානවන්තව වැඩ කරන එක උදව් වෙන්නේ කොහොමද?

24 හොඳ තීරණ ගන්න නම් යෙහෝවා දෙවියන්ගේ නීති පිළිපදින එකේ වටිනාකම අපි තේරුම්ගන්න ඕනේ. හිතෝපදේශ 7:6-23 සඳහන් තරුණයා ඒ දේ තේරුම් අරන් හිටියේ නැති නිසා ඥානවන්තව වැඩ කළේ නැහැ. ඒ හින්දා තමයි වේශ්‍යාකම කියන උගුලට එයා අහු වුණේ. ඥානවන්තව වැඩ කරනවා කියන්නේ හොඳට හිතලා බලලා වැඩ කරන එක විතරක් නෙවෙයි. යෙහෝවා දෙවියන් හිතන විදිහ තේරුම් අරන් ඔහු කියන විදිහට ජීවත් වෙන එකත් ඒකට ඇතුළත්. එහෙම ජීවත් වෙද්දී අපේ හිත පවිත්‍ර වෙනවා. ඒකේ වටිනාකම ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “යමෙකු තම සිත පවිත්‍ර කරගන්නේ නම් ඔහු තම ජීවිතයට ඇලුම් කරයි. වටහාගැනීමේ හැකියාව රක්ෂා කරගන්නා යහපත් දේ සොයාගනියි.”—හිතෝපදේශ 19:8.

25 යෙහෝවා දෙවියන්ගේ ප්‍රතිපත්තිවල වටිනාකම ඔයා තේරුම් අරන්ද ඉන්නේ? ඒවාට කීකරු වුණොත් සතුටක් ලැබෙයි කියලා ඔයාට විශ්වාසද? (ගීතාවලිය 19:7-10; යෙසායා 48:17, 18) ඒ ගැන සැකයක් තියෙනවා නම් දෙවියන් ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල් මතක් කරගන්න. “යෙහෝවා දෙවියන් යහපත්” කෙනෙක් කියලා ඔයාම ‘රස බලලා දැනගන්න.’ (ගීතාවලිය 34:8) ඔයා ඒ දේ කරන තරමටම ඔයාගේ හිතේ දෙවියන් ගැන තියෙන ආදරේ වැඩි වෙයි. දෙවියන් ආස කරන දේවල්වලට ඔයාත් ආස කරන්න. ඔහු පිළිකුල් කරන දේවල් පිළිකුල් කරන්න. සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වෙන, ඔබින දේවලින් මනස පුරවාගන්න. (ෆිලිප්පි 4:8, 9) එහෙම කරද්දී යෝසෙප් කළා වගේ යෙහෝවා දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්න ඔයාටත් පුළුවන්.—යෙසායා 64:8.

26. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ මොනවා ගැනද?

26 ඔයා තනිකඩ කෙනෙක් වුණත් විවාහකයෙක් වුණත් යෙහෝවා දෙවියන් කැමති ඔයා සතුටින් ජීවත් වෙනවාටයි. විවාහ ජීවිතය සතුටින් ගත කරන්න උදව් වෙන තොරතුරු ගැන අපි ඊළඟ පරිච්ඡේද දෙකෙන් බලමු.

^ මේ ගැන කතා කරන එක ලේසි නැති වුණත් දෙවියන් අකමැති දේවලින් වළකින්න නම් වේශ්‍යාකමට ඇතුළත් දේවල් ගැන අපි පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ.