Skip to content

පටුනට යන්න

17වෙනි පරිච්ඡේදය

හැමදාටම දෙවියන්ගේ ආදරය ලබන කෙනෙක් වෙන්න

හැමදාටම දෙවියන්ගේ ආදරය ලබන කෙනෙක් වෙන්න

‘ශුද්ධ වූ සත්‍ය ඉගැන්වීම් නමැති අත්තිවාරම මත ඔබේ විශ්වාසය ගොඩනඟාගන්න. දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න.’—යූද් 20, 21.

1, 2. හැමදාටම දෙවියන්ගේ ආදරය ලබාගන්න පුළුවන් කොහොමද?

 හැමෝම කැමතියි නිරෝගීව ඉන්න. ඒ නිසයි පෝෂ්‍යදායි කෑම කන්න, නිතිපතා ව්‍යායාම කරන්න, ශරීරය ගැන සැලකිලිමත් වෙන්න අපි වගබලා ගන්නේ. ලොකු වෑයමක් දරන්න ඕන වුණත් නිරෝගීව ඉන්න කැමති නිසා අපි දිගටම ඒ දේවල් කරනවා. දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්නත් අපි ඒ වගේම වෑයමක් දරන්න ඕනේ.

2 මේ වෙද්දී අපි යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගෙනයි ඉන්නේ. ඒත් ඔහු එක්ක තියෙන බැඳීම තව තවත් ශක්තිමත් කරගන්න වෑයම් කරන්න ඕනේ. “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” කියලා කිව්වාට පස්සේ ඒක කරන්න පුළුවන් විදිහ ගැන යූද් මෙහෙම කිව්වා. “සත්‍ය ඉගැන්වීම් නමැති අත්තිවාරම මත ඔබේ විශ්වාසය ගොඩනඟාගන්න.” (යූද් 20, 21) ඒක කරන්නේ කොහොමද?

දිගටම ඔයාගේ විශ්වාසය ගොඩනඟාගන්න

3-5. (අ) සාතන් කැමති යෙහෝවා දෙවියන්ගේ ප්‍රතිපත්ති ගැන ඔයා කොහොම හිතනවාටද? (ආ) දෙවියන් දීලා තියෙන නීති සහ ප්‍රතිපත්ති ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

3 යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්ති තරම් වටින තවත් ප්‍රතිපත්ති නැහැ කියලා ඔයා ඔයාටම තහවුරු කරගන්න ඕනේ. මොකද සාතන් උත්සාහ කරන්නේ දෙවියන්ගේ ප්‍රතිපත්ති අදාළ කරගන්න අපිට බැහැ කියලත් හරි වැරැද්ද මොකක්ද කියලා අපිම තීරණය කළොත් නියම සතුට ලබන්න පුළුවන් කියලත් හිතන්න අපිව පොලඹවන්නයි. සාතන් මුලින්ම ඒක කළේ ඒදන් උයනේදී. (උත්පත්ති 3:1-6) අදටත් ඒ දේ කරන්න හදනවා.

4 ඇත්තටම දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්ති පිළිපදින්න බැරි තරම් අමාරුද? නැහැ. හිතන්න ඔයා ඉන්නේ ලස්සන උයනක කියලා. ටික දුරක් යද්දී ඔයා ලොකු වැටක් දකිනවා. ඔයාට හිතෙයි ‘අපරාදෙනේ මෙතන වැටක් ගහලා තියෙන්නේ’ කියලා. ඒත් එකපාරටම වැටෙන් එහා පැත්තෙන් සිංහයෙක් ගොරවන හඬක් ඇහෙනවා. ඔයාට මොනවා හිතෙයිද? ඒ වැට තිබුණේ හොඳ වෙලාවට කියලා හිතෙයි නේද? යෙහෝවා දෙවියන්ගේ ප්‍රතිපත්තිත් හරියට ඒ වැට වගේ. සාතන් ඒ ගොරවන සිංහයා වගේ. බයිබලයේ මෙහෙම කියනවා. “සිහිකල්පනාව ඇතුව සිටින්න. සෝදිසියෙන් සිටින්න. ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි.”—1 පේතෘස් 5:8.

5 අපි සාතන්ගේ ගොදුරක් වෙනවාට දෙවියන් කැමති නැහැ. ඔහුට ඕනෙ අපිට හොඳම දේ දෙන්න. ඒ නිසයි අපේ ආරක්ෂාවත් සතුටත් වෙනුවෙන් නීති සහ ප්‍රතිපත්ති ඔහු දීලා තියෙන්නේ. (එෆීස 6:11) බයිබලයේ මෙහෙම කියනවා. ‘කිසි අඩුවක් නැති නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය ගැන හොඳින් සෝදිසි කර බලා දිගටම ඒ අනුව ජීවත් වන තැනැත්තා ඒවා පිළිපැදීමෙන් මහත් සන්තෝෂයක්ද අද්දකියි.’—යාකොබ් 1:25.

6. නියම සතුට ලැබෙන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න එකෙන් විතරයි කියලා තහවුරු කරගන්න පුළුවන් කොහොමද?

6 යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් අදාළ කරගද්දී ඔහුත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගෙන සතුටින් ඉන්න පුළුවන්. උදාහරණෙකට ඔහුට යාච්ඤා කරන එකෙන් අපිට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. (මතෙව් 6:5-8; 1 තෙසලෝනික 5:17) නමස්කාර කරන්න සහ එකිනෙකාව දිරිගන්වන්න එකට රැස් වෙන එකෙනුත් සේවයේ උපරිමයෙන් හවුල් වෙන එකෙනුත් අපි ලොකු සතුටක් ලබනවා. (මතෙව් 28:19, 20; ගලාති 6:2; හෙබ්‍රෙව් 10:24, 25) විශ්වාසය ශක්තිමත් කරගන්න ඒ දේවල් කොච්චර උදව් වෙනවාද! ඒ ගැන හොඳට හිතද්දී නියම සතුට ලැබෙන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න එකෙන් විතරයි කියලා ඔයාටම තහවුරු වෙයි.

7, 8. ඉදිරියේදී මුහුණ දෙන්න වෙන අභියෝග ගැන ළත වෙන එකෙන් වළකින්න පුළුවන් කොහොමද?

7 අභියෝගවලට මුහුණ දෙද්දී විශ්වාසවන්තව ඉන්න බැරි වෙයි කියලා ඔයාට බයක් දැනෙනවාද? එහෙනම් දෙවියන් කියලා තියෙන මේ දේ ඔයාට සහනයක් වෙයි. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ කියා දෙන්නෙත් මමය. අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැලි මෙන්ද වන්නේය.’—යෙසායා 48:17, 18.

8 අපි දෙවියන්ට කීකරු වෙනවා නම් අපේ සමාදානය හිඳෙන්නේ නැති ගඟක් වගෙත් අපේ ධර්මිෂ්ඨකම මුහුදේ රැලි වගෙත් හැමදාටම තියෙයි. මොන දේට මුහුණ දුන්නත් විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන්. මොකද දෙවියන් මෙහෙම කියලා තියෙනවා. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය. ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.”—ගීතාවලිය 55:22.

අවබෝධයෙන් වැඩ කරන්න ලොකු උත්සාහයක් දරන්න

9, 10. අවබෝධයෙන් වැඩ කරනවා කියන්නේ මොකක්ද?

9 යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගත්තොත් “අවබෝධයෙන් ක්‍රියා කරන” කෙනෙක් වෙන්න ඔයාට පුළුවන්. (හෙබ්‍රෙව් 6:1) අවබෝධයෙන් වැඩ කරනවා කියන්නේ මොකක්ද?

10 වයසට යද්දී කෙනෙක්ට ඉබේම අවබෝධයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම වැඩ කරන්න පුළුවන් වෙන්නේ යෙහෝවා දෙවියන්ව හොඳම යාළුවා කරගෙන ඔහු හිතන විදිහට හිතන්න පුරුදු වුණොත් විතරයි. (යොහන් 4:23) බයිබලයේ මෙහෙම කියනවා. ‘තමාගේ ආශාවන්ට අනුව ක්‍රියා කරන අයගේ මනස් යොමු වී තිබෙන්නේ වැරදි දේවලට. දෙවිගේ බලයේ උපකාරයෙන් ක්‍රියා කරන අය මනස් යොමු කරන්නේ දෙවි ප්‍රිය කරන දේවලට.’ (රෝම 8:5) අවබෝධයෙන් වැඩ කරන අය මුල් තැන දෙන්නේ දෙවියන්ට සේවය කරන එකට මිසක් ධන සම්පත් හොයන එකටවත් විනෝද වෙන එකටවත් නෙවෙයි. දෙවියන් සතුටු වෙන විදිහට තීරණ ගන්නයි එයාලා උත්සාහ කරන්නේ. (හිතෝපදේශ 27:11; යාකොබ් 1:2, 3 කියවන්න.) ඒ වගේ අය හරි දේ මොකක්ද කියලා අවබෝධ කරගෙන දිගටම ඒ දේ කරන්න අදිටන් කරගෙන ඉන්නවා. අනිත් අයගේ බලපෑම් නිසා වැරදි දේවල් කරන්නේ නැහැ.

11, 12. (අ) “වටහාගැනීමේ හැකියාව” ගැන පාවුල් කිව්වේ මොකක්ද? (ආ) අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් මලල ක්‍රීඩකයෙක් වගේ කියලා කියන්න පුළුවන් ඇයි?

11 පාවුල් මෙහෙම කියලා තියෙනවා. “ගන ආහාර ලබා දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයටය. ඔවුහු තම වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.” (හෙබ්‍රෙව් 5:14) “පුහුණු වී සිටිති” කියලා ඒ පදයේ කියන්නේ ඇයි?

12 හිතන්න දක්ෂ මලල ක්‍රීඩකයෙක් ගැන. ඉපදුණු ගමන්ම කෙනෙක්ට ඒ දක්ෂතා ලැබෙන්නේ නැහැ. අඩුම ගානේ අත පය හරියට හසුරුවාගන්නවත් එයාට බැහැ. ඒක ඉගෙනගන්නත් එයාට කාලයක් යනවා. ටිකෙන් ටික ලොකු වෙද්දී හොඳ පුහුණුවක් ලබාගත්තොත් තමයි දක්ෂ මලල ක්‍රීඩකයෙක් වෙන්න එයාට පුළුවන් වෙන්නේ. ඒ වගේ, අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්නත් යම් කාලයක් යනවා. ඒකට හොඳ පුහුණුවකුත් ඕන වෙනවා.

13. යෙහෝවා දෙවියන් හිතන විදිහට හිතන්න උදව් වෙන්නේ මොනවාද?

13 දෙවියන් හිතන විදිහට හිතන්න පුළුවන් කොහොමද කියලා අපි මේ පොතෙන් දැනගත්තා. දෙවියන්ගේ ප්‍රතිපත්ති හුඟක් වටිනවා කියලත් අපි තේරුම්ගත්තා. ඒ නිසා ඕනම තීරණයක් ගන්න කලින් අපි මෙහෙම හිතමු. ‘හරි තීරණයක් ගන්න මට උදව් වෙන්නේ මොන ප්‍රතිපත්තිද? ඒවා අදාළ කරගන්න පුළුවන් කොහොමද? දෙවියන් කැමති මං මොනවා කරනවාටද?’—හිතෝපදේශ 3:5, 6; යාකොබ් 1:5 කියවන්න.

14. විශ්වාසය ශක්තිමත් කරගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

14 දෙවියන් ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න එක හැමදාම කරන්න ඕන දෙයක්. ශක්තිය ලබාගන්න පෝෂ්‍යදායි කෑම උදව් වෙනවා වගේ විශ්වාසය ශක්තිමත් කරගන්න දෙවියන් ගැන ඉගෙනගන්න එක උදව් වෙනවා. දෙවියන් ගැන මූලික සත්‍යයන් අපි ඉගෙනගත්තා. හැබැයි ගැඹුරු කාරණා වටහාගන්නත් අපි දිගටම වෑයම් කරන්න ඕනේ. ඒකේ වැදගත්කම කාවද්දන්නයි ‘ගන ආහාර දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයටය’ කියලා පාවුල් කිව්වේ. ඉගෙනගන්න දේවල් අදාළ කරගද්දී ප්‍රඥාවන්තව වැඩ කරන්න අපි පුරුදු වෙනවා. බයිබලයෙත් කියන්නේ “වැදගත්ම දේ නම් ප්‍රඥාවය” කියලයි.—හිතෝපදේශ 4:5-7; 1 පේතෘස් 2:2.

15. දෙවියන්ටත් සහෝදරයන්ටත් ඇත්තටම ආදරේ කරන එක වැදගත් වෙන්නේ ඇයි?

15 නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගන්න නම් ශරීරය ගැන දිගටම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේ, අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්න නම් දිගටම වෙහෙසෙන්න ඕනේ. ඒ නිසයි පාවුල් මෙහෙම කිව්වේ. ‘ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම්වලට ඔබ ඇලී සිටිනවාද කියා නොකඩවා සෝදිසි කරන්න. ඔබ කුමනාකාරයේ පුද්ගලයන්ද කියා නිරතුරුවම පරීක්ෂා කරන්න.’ (2 කොරින්ති 13:5) විශ්වාසය ශක්තිමත්ව තියාගන්න එක විතරක් මදි. දෙවියන් ගැන, සහෝදරයන් ගැන තියෙන ආදරේ දිගටම වැඩි කරගන්නත් ඕනේ. පාවුල් මෙහෙම කිව්වේ ඒ නිසයි. ‘මට දැනුම තිබුණත් කඳු ඉවත් කිරීමට තරම් ප්‍රබල විශ්වාසයක් තිබුණත් මා තුළ ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත.’—1 කොරින්ති 13:1-3.

බලාපොරොත්තුව ගැන නිතරම හිතන්න

16. සාතන් කැමති අපි කොහොම හිතනවාටද?

16 සාතන් කැමති යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න අපිට බැහැ, අපේ ප්‍රශ්නවලට විසඳුමක් නැහැ වගේ අධෛර්යය කරවන සිතුවිලිවලින් අපි යටපත් වෙනවා දකින්නයි. අපේ සහෝදරයන්ව විශ්වාස කරනවාටවත් අපි සතුටින් ඉන්නවාටවත් සාතන් කැමති නැහැ. (එෆීස 2:2) සාතන් දන්නවා හානිකර සිතුවිලිවලින් අපිටත් දෙවියන් එක්ක තියෙන අපේ බැඳීමටත් හානියක් වෙනවා කියලා. හැබැයි ඒ වගේ සිතුවිලිවලින් ගොඩ එන්න උදව්වක් විදිහට දෙවියන් අපිට ලස්සන බලාපොරොත්තුවක් දීලා තියෙනවා.

17. බලාපොරොත්තුව ගැන නිතරම හිතන එක වැදගත් වෙන්නේ ඇයි?

17 බයිබලයේ බලාපොරොත්තුව සමාන කරලා තියෙන්නේ හේවායෙක් පළඳින ‘හිස්වැස්මකට.’ (1 තෙසලෝනික 5:8) ඔළුව ආරක්ෂා කරගන්න හිස්වැස්ම උදව් වෙනවා වගේ හානිකර සිතුවිලිවලින් යටපත් නොවී මනස ආරක්ෂා කරගන්න “ගැලවීම පිළිබඳ බලාපොරොත්තුව” උදව් වෙනවා.

18, 19. බලාපොරොත්තුව යේසුස්ට උදව් වුණේ කොහොමද?

18 බලාපොරොත්තුව යේසුස්ට හයියක් වුණා. ඔහු පොළොවේ ජීවත් වුණු අන්තිම රැයේදී කිට්ටුම යාළුවෙක් ඔහුව පාවලා දුන්නා. තව කෙනෙක් ඔහුව අඳුරන්නේ නැහැ කිව්වා. අනිත් අය ඔහුව දාලා ගියා. ඔහුගේම රටේ අය ඔහුව කණුවක ඇණ ගහන්න කියලා බල කළා. හැම දේම දරාගන්න ඔහුට උදව් වුණු දේ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “ඔහු තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව නිසා ලැජ්ජාව නොතකා වධකණුවක මරණය පවා වින්දේය. එතැන් පටන් ඔහු දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තේ අසුන්ගෙන ඇත.”—හෙබ්‍රෙව් 12:2.

19 විශ්වාසවන්තව ඉද්දී පියාණන්ව ගෞරවයට පත් වෙනවා කියලත් සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු වෙනවා කියලත් යේසුස් දැනන් හිටියා. ඒ වගේම ළඟදීම තමන්ට පියාණන් ළඟට යන්න ලැබෙනවා කියලත් ඔහු දැනන් හිටියා. යේසුස්ට තිබුණ බලාපොරොත්තුව ඕනෙම පීඩාවක් දරාගන්න ඔහුට උදව් වුණා. අපිත් අපේ බලාපොරොත්තුව ගැන නිතරම හිතනවා නම් ඕනම පීඩාවක් දරාගන්න අපිටත් පුළුවන් වෙයි.

20. හිතේ සතුට රැකගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

20 ඔයා විඳදරාගන්න දේවලුත් ඔයාගේ විශ්වාසයත් දෙවියන් දකිනවා. (යෙසායා 30:18; මලාකි 3:10 කියවන්න.) ඔහු පොරොන්දු වෙලා තියෙනවා ‘සිතේ ආශාවන්’ ඉටු කරනවා කියලා. (ගීතාවලිය 37:4) ඒ නිසා නිතරම බලාපොරොත්තුව ගැන හිතන්න. සාතන්ට ඕනෙ දෙවියන්ගේ පොරොන්දු කවදාවත් ඉටු වෙන්නේ නැහැ කියලා ඔයා හිතනවා දකින්න. ඒකට ඉඩ දෙන්න එපා. බලාපොරොත්තුව මනසින් බොඳ වෙලා කියලා දැනුණොත් දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. ෆිලිප්පි 4:6, 7 කියන මේ දේ අමතක කරන්න එපා. ‘කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. යාච්ඤාවෙන් හා කන්නලව්වලින් සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.’

21, 22. (අ) පොළොව සම්බන්ධයෙන් දෙවියන්ට තියෙන අරමුණ මොකක්ද? (ආ) ඔයා බලාපොරොත්තුවෙන් ඉන්නේ මොනවා කරන්නද?

21 අනාගතයේදී අද්දකින්න ලැබෙන දේවල් ගැන නිතරම හිතන්න. ළඟදීම පොළොවේ හැමෝම යෙහෝවා දෙවියන්ට නමස්කාර කරයි. (එළිදරව් 7:9, 14) සාතන්වත්, භූතයන්වත් එදාට නැහැ. කිසිම නපුරු දෙයක් සිද්ධ වෙන්නෙත් නැහැ. එදාට ඔයා ලෙඩ වෙන්නෙවත් මැරෙන්නෙවත් නැහැ. හැම දවසකම නැඟිටිද්දී ලොකු ප්‍රබෝධයක් දැනෙයි. හැමෝම එකතු වෙලා මුළු පොළොවම පාරාදීසයක් කරයි. හැම කෙනෙක්ටම ඇති තරම් කෑමත් ඉන්න ආරක්ෂිත තැනකුත් ලැබෙයි. හැමෝම එකිනෙකාට ආදරෙන් සලකයි. කාලයක් යද්දී “දෙවිගේ දරුවන්” විදිහට කියා නිම කරන්න බැරි නිදහසක් හැමෝටම අද්දකින්න ලැබෙයි.—රෝම 8:21.

22 යෙහෝවා දෙවියන්ව ඔයාගේ හොඳම යාළුවා කරගන්නවාටයි ඔහු කැමති. ඒ නිසා ඔහුට කීකරු වෙන්නත් ඔහු එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් ඔයාට පුළුවන් හැම දේම කරන්න. එතකොට හැමදාමත් දෙවියන්ගේ ආදරේ ලබන්න ඔයාට පුළුවන්!—යූද් 21.