Skip to content

පටුනට යන්න

13වෙනි පරිච්ඡේදය

හැම උත්සවයක් ගැනම දෙවියන් සතුටු වෙනවාද?

හැම උත්සවයක් ගැනම දෙවියන් සතුටු වෙනවාද?

“ස්වාමීන්ට ප්‍රසන්න වන්නේ කුමක්ද කියා නිතරම සොයා බලා එය ඔබටම තහවුරු කරගන්න.”—එෆීස 5:10.

1. අපේ නමස්කාරය දෙවියන් පිළිගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? ඒ ඇයි?

 යේසුස් මෙහෙම කිව්වා. ‘සැබෑ නමස්කාරකයන් දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර කරන කාලය පැමිණෙනවා. පියාණන් තමන්ට නමස්කාර කිරීම සඳහා සොයමින් සිටින්නේ එවැනි අයවයි.’ (යොහන් 4:23; 6:44) අපි එක් එක් කෙනා ‘ස්වාමීන්ට ප්‍රසන්න කුමක්ද කියා නිතරම සොයා බලා එය තහවුරු කරගන්න’ ඕනේ. (එෆීස 5:10) හැබැයි සමහර වෙලාවට ඒක ලේසි නැහැ. මොකද සාතන් උත්සාහ කරන්නේ අපිව නොමඟ යවලා දෙවියන් අකමැති දෙයක් කරන්න අපිව පොලඹවන්නයි.—එළිදරව් 12:9.

2. සීනයි කන්ද ළඟදී මොනවාද වුණේ? පැහැදිලි කරන්න.

2 සාතන් අපිව රවට්ටන්න හදන එක විදිහක් තමයි හරි වැරැද්ද අතර වෙනස හඳුනාගන්න අමාරු කරන එක. උදාහරණෙකට බලන්න සීනයි කන්ද ළඟ කඳවුරු බැඳගෙන හිටිය ඊශ්‍රායෙල්වරුන්ට වුණේ මොකක්ද කියලා. ඒ වෙද්දී මෝසෙස් කන්ද මුදුනට ගිහිල්ලයි හිටියේ. එයා එන්න පරක්කු වුණු නිසා මිනිසුන් ආරොන්ට කිව්වා එයාලට දෙවි කෙනෙක්ව හදලා දෙන්න කියලා. ඒ නිසා ආරොන් රත්තරන්වලින් වස්සෙකුගේ හැඩයට සමාන රූපයක් හැදුවා. ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු නටමින් ඒ රූපයට නමස්කාර කරන්න පටන්ගත්තා. එයාලා ඒක පවත්වන්නේ “යෙහෝවා දෙවි වෙනුවෙන්” කියලා කිව්වත් දෙවියන් ඒක සැලකුවේ රූප නමස්කාරයක් විදිහට. ඒකෙන් හුඟදෙනෙක්ගේ ජීවිත අහිමි වුණා. (නික්මයාම 32:1-6, 10, 28) මොකක්ද පාඩම? “කිසිම අපවිත්‍ර දෙයකට අත නොගසන්න” අපි වගබලා ගන්න ඕනේ. සාතන්ට රැවටෙන්නේ නැතුව හරි වැරැද්ද ගැන දෙවියන් කියලා තියෙන දේ හොඳින් හිතට ගන්න ඕනේ.—යෙසායා 52:11; එසකියෙල් 44:23; ගලාති 5:9.

3, 4. ප්‍රසිද්ධ උත්සවවල මූලාරම්භය ගැන හොයලා බලන එක වැදගත් ඇයි?

3 නමස්කාරය පවිත්‍රව තියාගන්න පුළුවන් විදිහ ගැන යේසුස් නියෝජිතයන්ට ඉගැන්නුවා. ඔහු මැරුණාට පස්සෙත් නියෝජිතයන් යෙහෝවා දෙවියන්ගේ ප්‍රතිපත්ති ගැන අලුතින් ගෝලයන් වුණු අයට ඉගැන්නුවා. ඒත් නියෝජිතයන් මැරුණාට පස්සේ බොරු ගුරුවරු මිථ්‍යා විශ්වාසයන්, චාරිත්‍ර සහ උත්සව ක්‍රිස්තියානි සභාවට හඳුන්වලා දුන්නා. එයාලා ඒවාට ක්‍රිස්තියානි මුහුණුවරකුත් දුන්නා. (2 තෙසලෝනික 2:7, 10; 2 යොහන් 6, 7) බොරු ඉගැන්වීම්වලට සහ භූතවාදයට උල්පන්දම් දෙන ඒ සමහර උත්සව අදටත් මහා ඉහළින් සමරනවා. *එළිදරව් 18:2-4, 23.

4 මේ වෙද්දී ලෝකේ පුරාම විවිධ උත්සව, නිවාඩු දින මිනිසුන්ගේ ජීවිතවල හරිම වැදගත් දෙයක් වෙලා. හැබැයි යෙහෝවා දෙවියන්ගේ ප්‍රතිපත්ති ගැන දිගටම ඉගෙනගද්දී සමහර උත්සව ගැන ඔයා හිතන විදිහ වෙනස් කරගන්න ඕනෙ කියලා ඔයාට තේරෙයි. ඒ දේ කරන්න අනිවාර්යයෙන්ම දෙවියන් ඔයාට උදව් කරයි. හුඟක් ප්‍රසිද්ධ උත්සව කීපයක මූලාරම්භය ගැන අපි දැන් බලමු. දෙවියන්ට ඒ උත්සව ගැන හැඟෙන විදිහ තේරුම්ගන්න ඒක ඔයාට උදව් වෙයි.

නත්තල ඇරඹුණේ කොහොමද?

5. යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදා නෙවෙයි කියලා කියන්න තියෙන සාක්ෂි මොනවාද?

5 හුඟක් අය හිතනවා යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදා කියලා. හැබැයි යේසුස් ඉපදුණ දවස ගැනවත් මාසය ගැනවත් බයිබලයේ සඳහන් වෙලා නැහැ. ඒත් ඔහු ඉපදුණේ මොන වගේ කාලෙකද කියලා තේරුම්ගන්න බයිබලය උදව් වෙනවා. උදාහරණෙකට ලූක් පොතේ තියෙනවා යේසුස් ඉපදුණ දවසේ රෑ එඬේරු එළිමහනේ ඉඳන් සත්ව රැළවල් බලාගත්තා කියලා. (ලූක් 2:8-11) දෙසැම්බර් කියන්නේ බෙත්ලෙහෙම් නගරයට වහින, හිම වැටෙන අධික සීතල මාසයක්. ඒ වගේ කාලෙක එඬේරු රාත්‍රියේදී සත්ව රැළවල් එළියට ගේන්නේ නැහැ. යේසුස් ඉපදුණේ දෙසැම්බර් මාසයේ නෙවෙයි කියලා ඒකෙන් පැහැදිලියි. යේසුස් ඉපදිලා තියෙන්නේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලයේ කියලා බයිබලයේ තියෙන තොරතුරුවලින් වගේම ඉතිහාස වාර්තාවලින් හෙළි වෙනවා.

6, 7. (අ) නත්තල් චාරිත්‍රවල මූලාරම්භය මොකක්ද? (ආ) අපි අනිත් අයට තෑගි දෙන්න ඕනෙ ඇයි?

6 මිථ්‍යා ආගමික උත්සවවලින් තමයි නත්තල ඇරඹිලා තියෙන්නේ. කෘෂිකර්මයට අධිපති දෙවියන් විදිහට සලකන සැටර්න් දෙවියා වෙනුවෙන් පවත්වපු සැටනේලියා උත්සවය ඒ අතරින් එකක්. විශ්වකෝෂයක මෙහෙම කියනවා. “නත්තල හා බැඳි විනෝදකාමී චාරිත්‍ර රැසක් ඇරඹිලා තියෙන්නේ රෝමවරු දෙසැම්බර් මැද පවත්වපු සැටනේලියා නම් මංගල්‍යයෙන්. ඒකෙන් තමයි උත්සව පවත්වන එක, තෑගි දෙන එක, ඉටිපන්දම් පත්තු කරන එක වගේ දේවල් ඇවිත් තියෙන්නේ.” (The Encyclopedia Americana) පර්සියානුවන් මිත්‍රා කියන නමින් හැඳින්නුව හිරු දෙවිගේ උපන් දිනය සමරලා තියෙන්නෙත් දෙසැම්බර් 25වෙනිදා.

7 නත්තල සමරන හුඟක් අය ඒකේ මූලාරම්භය ගැන දන්නේ නැහැ. එයාලා නත්තල සමරන්නේ පවුලේ අයට සතුටු වෙන්න, තෑගි දෙන්න අවස්ථාවක් ලැබෙන නිසයි. අපේ පවුලේ අයට, යාළුවන්ට අපිත් ආදරෙයි. ඒ වගේම යෙහෝවා දෙවියනුත් “සතුටු සිතින් දෙන තැනැත්තාට” ප්‍රේම කරනවා. (2 කොරින්ති 9:7) අපි විශේෂ අවස්ථාවලදී විතරක් අනිත් අයට තෑගි දෙනවාට දෙවියන් කැමති නැහැ. ඔහුගේ සෙනඟ යාළුවන් එක්ක සතුටු වෙන්න, තෑගි දෙන්න විශේෂ දවස් වෙන් කරගන්නේ නැහැ. ඕනෙම වෙලාවක එයාලා ඒ දේ කරනවා. එහෙම කරන්නේ එයාලා එකිනෙකාට ආදරේ නිසයි.—ලූක් 14:12-14.

දෙවියන් කැමති අකමැති උත්සව ගැන තේරුම්ගන්න ඒවාවල මූලාරම්භය හොයලා බලන එක උදව් වෙනවා

8. ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් තෑගි අරන් ආවේ යේසුස් බිලිඳෙක්ව ඉද්දීද? පැහැදිලි කරන්න.

8 හුඟක් අය කියනවා යේසුස් බිලිඳෙක්ව ඉද්දී රජ තුන් කට්ටුවක් තෑගි ගෙනාපු නිසා නත්තල සමරද්දී අනිත් අයට තෑගි දෙන්න ඒක හොඳ පදනමක් කියලා. ඒ කාලෙදිත් විශේෂ පුද්ගලයන්ට තෑගි දෙන එක සිරිතක් වෙලා තිබුණා. (1 රාජාවලිය 10:1, 2, 10, 13) ඒත් ඔයා දන්නවාද යේසුස්ට තෑගි දීලා තියෙන්නේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් කියලා? එයාලා යෙහෝවා දෙවියන්ගේ සේවකයන් නෙවෙයි. අනික එයාලා තෑගි ගෙනත් තියෙන්නේ යේසුස් ගවඔරුවක බිලිඳෙක්ව ඉද්දී නෙවෙයි. ගෙදරක ‘දරුවෙක්ව’ ඉද්දියි.—මතෙව් 2:1, 2, 11.

උපන් දින ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

9. බයිබලයේ සඳහන් වෙන්නේ කාගේ උපන් දින උත්සව ගැනද?

9 දරුවෙක් මෙලොව එළිය දකින දවස හරිම සතුටුදායකයි. (ගීතාවලිය 127:3) හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි උපන් දිනය සමරන්න ඕනෙ කියලා. බයිබලයේ සඳහන් වෙන්නේ උපන් දින උත්සව පවත්වපු දෙන්නෙක් ගැන විතරයි. එක් කෙනෙක් ඊජිප්තුවේ පාරාවෝ. අනිත් කෙනා හෙරෝද් අන්තිපස් රජ. (උත්පත්ති 40:20-22; මාක් 6:21-29 කියවන්න.) ඒ දෙන්නාම යෙහෝවා දෙවියන්ගේ සේවකයන් නෙවෙයි. දෙවියන්ට සේවය කරපු අය උපන් දින සැමරුවා කියලා බයිබලයේ කොහේවත් සඳහන් වෙලා නැහැ.

10. උපන් දින සමරන එක මුල් ක්‍රිස්තියානීන් සැලකුවේ කොහොමද?

10 විශ්වකෝෂයක කියනවා මුල් ක්‍රිස්තියානීන් ‘උපන් දින සමරන එක සැලකුවේ මිථ්‍යා චාරිත්‍රයක් විදිහට කියලා.’ (The World Book Encyclopedia) උපන් දින චාරිත්‍ර පදනම් වෙලා තියෙන්නේ බොරු ඉගැන්වීම් මත. උදාහරණෙකට දරුවෙක් ඉපදෙන දවසට යම් දෙවි කෙනෙකුගේ උපන් දිනය යෙදිලා තියෙනවා කියලත් ඒ දෙවියා දරුවාගේ ජීවිත කාලය පුරාවටම එයාව ආරක්ෂා කරනවා කියලත් ග්‍රීකවරුන් විශ්වාස කළා. ඒ වගේම අතීතයේ ඉඳලාම උපන් දිනය ජ්‍යෝතිඃ ශාස්ත්‍රය හා හඳහන් බැලීම වගේ මිථ්‍යා දේවල් එක්ක බැඳිලා තියෙනවා.

11. ත්‍යාගශීලීව කටයුතු කරන එක ගැන දෙවියන් හිතන්නේ කොහොමද?

11 හුඟක් අය හිතනවා උපන් දිනයේදී අනිත් අය තමන්ට ආදරෙන් සලකන්න ඕනෙ කියලා. හැබැයි අපි අපේ පවුලේ අයට, යාළුවන්ට හැම දවසකම ආදරෙන් සලකන්න ඕනේ. හැම වෙලේම ත්‍යාගශීලීව කටයුතු කරයි කියලා යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා. (ක්‍රියා 20:35 කියවන්න.) අපිට ජීවිතය දීපු එක ගැන උපන් දිනය දවසේදී විතරක් නෙවෙයි හැම දවසකම අපි දෙවියන්ට ස්තුති කරනවා.—ගීතාවලිය 8:3, 4; 36:9.

සැබෑ ක්‍රිස්තියානීන් අනිත් අය එක්ක දේවල් බෙදාගන්නේ ඒ අයට තියෙන ආදරේ නිසයි

12. උපන් දවසට වඩා මැරෙන දවස හොඳයි කියන්නේ ඇයි?

12 දේශනාකාරයා 7:1 මෙහෙම කියනවා. “හොඳ නමක් අනර්ඝ තෙල්වලට වඩා වටින්නේය. උපන් දවසට වඩා මිය යන දවස හොඳය.” බයිබලයේ එහෙම කියන්නේ ඇයි? අපි ඉපදෙන දවසේදී අපි කිසිම හොඳ දෙයක්වත් නරක දෙයක්වත් කරලා නැහැ. හැබැයි අපි යෙහෝවා දෙවියන්ට සේවය කරද්දී, අනිත් අය වෙනුවෙන් දේවල් කරද්දී අපිට “හොඳ නමක්” හැදෙනවා. ඒ විතරක් නෙවෙයි අපි මැරුණාට පස්සෙත් අපි කරපු ඒ දේවල් දෙවියන් අමතක කරන්නේ නැහැ. (යෝබ් 14:14, 15) යෙහෝවා දෙවියන්ගේ සෙනඟ යේසුස්ගේ උපන් දිනයවත් තමන්ගේ උපන් දිනයවත් සමරන්නේ නැහැ. යේසුස් අපිට සිහි කරන්න කියලා අණ කරලා තියෙන්නේ ඔහුගේ මරණය විතරයි.—ලූක් 22:17-20; හෙබ්‍රෙව් 1:3, 4.

අලුත් අවුරුදු උත්සවයේ මූලාරම්භය මොකක්ද?

13, 14. අලුත් අවුරුදු උත්සවය හා බැඳි චාරිත්‍රවලින් ක්‍රිස්තියානියෙකු සම්පූර්ණයෙන්ම ඈත් විය යුත්තේ ඇයි?

13 අලුත් අවුරුදු උත්සවය හා බැඳි චාරිත්‍ර පදනම් වෙලා තියෙන්නේ මිථ්‍යා විශ්වාසයන් මතයි. ඒ ගැන විශ්වකෝෂයක මෙහෙම කියනවා. “රෝම පාලකයෙක් වුණු ජූලියස් සීසර් ක්‍රි.පූ. 46දී අලුත් අවුරුදු උත්සවය ජනවාරි 1වෙනිදාට යෙදුවා. රෝමවරුන් ඒ දිනය කැප කරලා තිබුණේ දොරටුවලට හා යම් දේවල ආරම්භයට අධිපති විදිහට සලකපු ජේනස් නම් දෙවියාට. එක මුහුණකින් ඉදිරියත් අනිත් මුහුණින් පිටුපසත් බලන් හිටියා කියලා සලකපු ජේනස් දෙවියාව සිහි කරන අරමුණින් තමයි අවුරුද්දේ මුල් මාසයට ජනවාරි කියන නම යොදලා තියෙන්නේ.”—The World Book Encyclopedia.

14 අලුත් අවුරුදු උත්සවය පවත්වන දිනය හා ඒ හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුණත් යම් පොදු ලක්ෂණ තියෙනවා. ඈත අතීතයේ ඉඳන් යුරෝපයේ රටවල අලුත් අවුරුද්ද ආරම්භ වන වෙලාව වැදගත් අවස්ථාවක් විදිහට සලකලා මත්පැන් පානය කරමින්, අධික ලෙස විනෝද වෙමින් උත්සව පවත්වනවා. පොතක සඳහන් වෙනවා “යුරෝපීය නොවන රටවලත් අලුත් අවුරුද්දක් ආරම්භ වන අවස්ථාව වැදගත් අවස්ථාවක් ලෙස සලකමින් අධික ලෙස විනෝද වෙමින් උත්සව පවත්වනවා” කියලා. (Standard Dictionary of Folklore, Mythology, and Legend) ඒ වගේම අලුත් අවුරුද්ද ලබද්දී රතිඤ්ඤා, මල්වෙඩි වගේ දේවල් පත්තු කරනවා. ඒ වගේ චාරිත්‍ර ආරම්භ වෙලා තියෙන්නේ භූතයන්ව පන්නා දැමීමේ අරමුණෙන්. ඒ නිසා අපි රෝම 13:13 තියෙන මේ ප්‍රතිපත්තිය මතක තියාගන්න එක වැදගත්. “මිනිසුන් දිවා කාලයේදී හැසිරෙන ආකාරයට අපිද විනීතව හැසිරෙමු. එහෙයින් ඝෝෂාකාරී උත්සව, බේබදුකම, අනාචාරය, නින්දිත ක්‍රියා, අඬදබර සහ ඊර්ෂ්‍යාව වැනි දේවලින් ඈත් වී සිටිමු.”—1 පේතෘස් 4:3, 4; ගලාති 5:19-21.

අවමංගල්‍ය හා බැඳි චාරිත්‍ර

15. අවමංගල්‍ය හා බැඳි හුඟක් චාරිත්‍රවලින් සැබෑ ක්‍රිස්තියානීන් වැළකිලා ඉන්නේ ඇයි?

15 අවමංගල්‍ය හා බැඳි චාරිත්‍ර ගැන අපි හුඟක් සැලකිලිමත් වෙන්න ඕනේ. මිය ගිය අය කොහේ හරි ජීවත් වෙනවා කියන විශ්වාසය පදනම් කරගෙනයි ඒ හුඟක් චාරිත්‍ර ඇරඹිලා තියෙන්නේ. සමහරු ෆොටෝ අනිත් පැත්ත හරවනවා. මුහුණ බලන කණ්ණාඩි රෙද්දකින් වහනවා. දේහයේ හිස බටහිර පැත්තට හරවලා තියනවා. පහන්, ඉටිපන්දම් නිවෙන්න නොදී තියනවා. නිදි මරනවා. කෙනෙක් මැරිලා දවස් 6කට පස්සේ නිවසේ ආගමික වතාවත් පවත්වනවා. 7වෙනි දවසේදී පූජ්‍ය පක්ෂයට හරි වෙන අයට හරි දානයක් දෙනවා. මාස තුනෙනුත් අවුරුද්දෙනුත් එහෙම කරනවා. පස්සේ වාර්ෂිකවත් ඒ දේවල් කරනවා. “දාන දීමේ චාරිත්‍රය කරන්නේ මැරුණු කෙනා වධ විඳිමින් සිටිනවා නම් ඒ තත්වයෙන් මිදීමට අවශ්‍ය උපකාර ලබා දෙන්නයි” කියලා පොතක සඳහන් වෙනවා. (The People of Ceylon) මැරුණු අයට වෙන දේ අපි හොඳින්ම දන්න නිසා ඒ වගේ මිථ්‍යා චාරිත්‍රවලින් අපි සම්පූර්ණයෙන්ම වැළකිලා ඉන්න ඕනේ.—දේශනාකාරයා 9:5, 10.

දෙවියන්ව ගෞරවයට පත් කරන විවාහ උත්සවයන්

16, 17. විවාහ උත්සවයක් සැලසුම් කරද්දී අපි හිතන්න ඕනෙ මොනවා ගැනද?

16 විවිධ රටවල විවාහ උත්සව සමරන්නේ එක එක විදිහට. සාමාන්‍යයෙන් විවාහයට සම්බන්ධ චාරිත්‍රවල මූලාරම්භය ගැන මිනිසුන් හිතන්නේ නැහැ. ඒ නිසා ඒවාට මිථ්‍යා මූලාරම්භයක් තියෙනවා කියලා එයාලා දන්නෙත් නැතුව ඇති. ඒත් ක්‍රිස්තියානි යුවළක් උත්සාහ කරන්නේ තමන්ගේ විවාහ උත්සවය යෙහෝවා දෙවියන් සතුටු වෙන විදිහට සැලසුම් කරන්න. ඒ නිසා විවාහ චාරිත්‍රවල මූලාරම්භය ගැන හොයලා බලන එක හරි තීරණ ගන්න එයාලට උදව් වෙයි.—මාක් 10:6-9.

17 සමහර විවාහ චාරිත්‍රවලින් යුවළට ‘වාසනාව’ ගෙන දෙනවා කියලා සමහරු හිතනවා. (යෙසායා 65:11) ඒ අතරින් එක චාරිත්‍රයක් තමයි විවාහ යුවළට වී, පොරි, හාල් වගේ දේවල් ඉහින එක. ඒ දේවලින් ඒ යුවළට දරුපල, සතුට සහ දීර්ඝායුෂ ලැබෙනවා කියලත් නපුරෙන් ආරක්ෂා වෙනවා කියලත් විශ්වාස කරනවා. හැබැයි අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ කිසිම චාරිත්‍රයකට හවුල් නොවී ඉන්න ක්‍රිස්තියානීන් වගබලා ගන්නවා.—2 කොරින්ති 6:14-18 කියවන්න.

18. විවාහ උත්සවයක් සැලසුම් කරද්දී අදාළ කරගන්න පුළුවන් තවත් ප්‍රතිපත්ති මොනවාද?

18 ක්‍රිස්තියානි යුවළක් උත්සාහ කරන්නේ විවාහ උත්සවය ගෞරවනීය විදිහට වගේම අමුත්තන්ටත් සතුටු වෙන්න පුළුවන් විදිහට සැලසුම් කරන්නයි. විවාහ උත්සවයේ කතාවක් දෙද්දී අසභ්‍ය විහිළු එහෙමත් නැත්නම් විවාහ යුවළ හරි අමුත්තන් හරි අපහසුතාවට පත් වෙන දේවල් අපි කියන්නේ නැහැ. (හිතෝපදේශ 26:18, 19; ලූක් 6:31; 10:27) විවාහ උත්සවය සමරන්න ඕනෙ “තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ” අරමුණින් නෙවෙයි. (1 යොහන් 2:16) විවාහ උත්සවයක් සැලසුම් කරද්දී කවදාවත් ඒ ගැන පසුතැවෙන්න වෙන්නේ නැති විදිහට හැම දේම කරන්න වගබලා ගන්න ඕනේ.—28වෙනි අමතර සටහන බලන්න.

සව්දිය පිරීම

19, 20. සව්දිය පිරීම ඇරඹුණේ කොහොමද?

19 විවාහ උත්සව ඇතුළු විවිධ උත්සවවලදී සව්දිය පිරීම අද හරිම ජනප්‍රිය දෙයක්. සව්දිය පිරීමේදී එක් කෙනෙක් සුභ දේවල් ප්‍රාර්ථනා කරන අතරේ ඒකට හවුල් වෙන අය තමන්ගේ වීදුරු ඔසවනවා.

20 ‘පරිශුද්ධ පානයක් දෙවිවරුන්ට ඔප්පු කිරීමේ’ මිථ්‍යා චාරිත්‍රයක් අතීතයේදී තිබිලා තියෙනවා. පේන විදිහට ඒ චාරිත්‍රයෙන් තමයි සව්දිය පිරීමේ චාරිත්‍රය ඇරඹිලා තියෙන්නේ කියලා එක පොතක කියනවා. (International Handbook on Alcohol and Culture) ඒ දේ කරලා තියෙන්නේ දෙවිවරුන්ගෙන් ‘දීර්ඝායුෂ’ හරි ‘නිරෝගි සුවයක්’ හරි ඉල්ලන්නයි. හැබැයි එහෙම කරලා යෙහෝවා දෙවියන්ගෙන් ආශීර්වාද ලබාගන්න බැහැ.—යොහන් 14:6; 16:23.

“යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි, නපුරට ද්වේෂ කරන්න”

21. ක්‍රිස්තියානියෙක් වැළකිලා ඉන්න ඕනෙ තව මොන වගේ උත්සවවලින්ද?

21 උත්සවයකට යනවාද නැද්ද කියලා තීරණය කරන්න කලින් ඒ උත්සවය අතරතුරේදී මොන වගේ දේවල් වෙයිද කියලා හිතන්න. උදාහරණෙකට සමහර උත්සවයන් අතරතුරේදී හැඟීම් ඇවිස්සෙන නැටුම්, අධික මත්පැන් පානය සහ අනාචාරයට මඟ පාදන දේවල් තියෙන්න පුළුවන්. සමලිංගික ඇසුරට සහ ජාතිවාදී හැඟීම්වලට දිරි දෙන දේවලුත් සිද්ධ වෙන්න පුළුවන්. අපි ඒ වගේ උත්සවවලට සහභාගි වුණොත් යෙහෝවා දෙවියන් පිළිකුල් කරන දේවල් අපි පිළිකුල් කරනවා කියලා කියන්න පුළුවන්ද?—ගීතාවලිය 1:1, 2; 97:10; 119:37.

22. උත්සවයකට සහභාගි වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න උදව් වෙන්නේ මොනවාද?

22 දෙවියන්ව අගෞරවයට පත් වෙන කිසිම උත්සවයකට අපි සහභාගි වෙන්නේ නැහැ. බයිබලයේ කියන්නේ “ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත් සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න” කියලයි. (1 කොරින්ති 10:31; 29වෙනි අමතර සටහන බලන්න.) හැම උත්සවයක්ම අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධයි කියලවත් අනාචාරයට, ජාතිවාදයට දිරි දෙනවා කියලවත් කියන්න බැහැ. බයිබල් ප්‍රතිපත්ති කඩ වෙන්නේ නැති උත්සවවලට සහභාගි වෙනවාද නැද්ද කියලා අපි එක් එක් කෙනා තීරණය කරන්න ඕනේ. ඒත් අපේ තීරණය අනිත් අයට කොහොම බලපායිද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.

කියන කරන දේවලින් යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්න

23, 24. සත්‍යයේ නැති පවුලේ අයට යම් උත්සවයකට සහභාගි වෙන්නේ නැත්තේ ඇයි කියලා පැහැදිලි කරන්න ඔයාට පුළුවන් කොහොමද?

23 යෙහෝවා දෙවියන්ව අගෞරවයට පත් වෙන උත්සවවලට සහභාගි නොවී ඉන්න ඔයා දැනටමත් තීරණය කරලා ඇති. හැබැයි ඔයාගේ පවුලේ අය සාක්ෂිකරුවන් නෙවෙයි නම් එයාලට හිතෙන්න පුළුවන් ඔයා සහභාගි නොවෙන්නේ එයාලත් එක්ක එකතු වෙන්න අකමැති නිසයි කියලා. මොකද උත්සව දවස් තමයි පවුලේ අයට එකතු වෙන්න තියෙන එකම අවස්ථාව කියලා එයාලට හිතෙනවා ඇති. ඒ නිසා ඔයාගේ ආදරේ එයාලට දැනෙන්න සලස්වන්න කරන්න පුළුවන් දේවල් ගැන හොඳට හිතන්න. (හිතෝපදේශ 11:25; දේශනාකාරයා 3:12, 13) උත්සව දවසකදී වෙනුවට වෙනත් අවස්ථාවලදී එයාලත් එක්ක කාලය ගත කරන්න සැලසුම් කරන්න ඔයාට පුළුවන්.

24 උත්සවයකට ඔයා සහභාගි වෙන්නේ නැත්තේ ඇයි කියලා පවුලේ කෙනෙක් ඇහුවොත් මොකද කරන්නේ? අපේ ප්‍රකාශනවලත් jw.org වෙබ් අඩවියෙත් තියෙන තොරතුරු හොඳට අධ්‍යයනය කරලා ඒකට උත්තරේ දෙන්න. හැබැයි වාද කරන්නවත් ඔයා කියන දේ පිළිගන්න එයාට බල කරන්නවත් එපා. ඒ වෙනුවට හොඳට හිතලා බලලා තමයි ඔයා ඒ තීරණය ගත්තේ කියලා එයාට සන්සුන්ව පෙන්වලා දෙන්න. බයිබලයේ මෙහෙම කියනවා. “නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි.”—කොලොස්සි 4:6.

25, 26. දෙවියන්ගේ ප්‍රතිපත්ති ගැන ඇල්මක් ඇති කරගන්න දරුවන්ට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

25 උත්සවයකට සහභාගි වෙන්නේ නැත්තේ ඇයි කියන එක ගැන අපි හැමෝම හොඳින් අවබෝධ කරගන්න එක වැදගත්. (හෙබ්‍රෙව් 5:14) අපිට ඕනෙ හැම වෙලේම යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්නයි. ඔයා දෙමාපියෙක් නම් බයිබලයේ තියෙන ප්‍රතිපත්ති ගැන හොඳින් තේරුම්ගන්නත් ඒවා ගැන ලොකු අගයක් ඇති කරගන්නත් දරුවන්ට උදව් කරන්න. යෙහෝවා දෙවියන් ඇත්ත පුද්ගලයෙක් කියලා තේරුම්ගන්න දරුවන්ට උදව් කළොත් ඔහුව සතුටු කරන්න එයාලත් උත්සාහ කරයි.—යෙසායා 48:17, 18; 1 පේතෘස් 3:15.

26 අපි යෙහෝවා දෙවියන්ට පවිත්‍රව වගේම අවංකව නමස්කාර කරන්න ඕනේ. (යොහන් 4:23) ඒත් හුඟක් අය හිතන්නේ වංකකමින් පිරුණු මේ ලෝකේ අවංකව ඉන්න බැහැ කියලයි. ඒක ඇත්තක්ද? ඊළඟ පරිච්ඡේදයෙන් අපි ඒ ගැන බලමු.

^ ඒ වගේ උත්සව ගැන තවත් තොරතුරු දැනගන්න ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොත සහ jw.org කියන වෙබ් අඩවිය බලන්න.