Skip to content

පටුනට යන්න

22වෙනි පරිච්ඡේදය

“යෙහෝවා කැමති දේ ඒ විදිහටම වෙන්න ඕනේ”

“යෙහෝවා කැමති දේ ඒ විදිහටම වෙන්න ඕනේ”

දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දෙන්න අදිටන් කරගත් පාවුල් යෙරුසලමට යයි

ක්‍රියා 21:1-17

1-4. පාවුල් යෙරුසලමට පිටත් වුණේ ඇයි? එහෙදී ඔහුට මොන දේවලට මුහුණ දෙන්න වෙයිද?

 මිලේටස් වරායේ නවතා තිබෙන නැවකට නඟින පාවුල් හා ලූක් ඉන්නේ ලොකු දුකකින්. ඔවුන් දැන් සූදානම් වන්නේ තමන් හුඟක් ආදරය කරන එෆීසයේ වැඩිමහල්ලන්ගෙන් සමු අරන් යෙරුසලමට යන්නයි. ඔවුන්ගේ ගමනට අවශ්‍ය හැම දේමත් සූදානම්. ඔවුන් මේ ගමන යන්නේ යුදයේ ඉන්න ක්‍රිස්තියානීන් වෙනුවෙන් එකතු කරපු සහනාධාර යෙරුසලමේ සිටින සහෝදරයන්ට භාර දෙන්නයි.

2 හමා එන සුළඟත් එක්කම පාවුල් හා පිරිස රැගත් නැව දැන් ටිකෙන් ටික වරායෙන් ඈත් වෙලා යනවා. තමන්ව ඇරලවන්න ආපු සහෝදරයන්ගේ දුක්බර මුහුණු දිහා ඔවුන් දෑස් අයාගෙන බලාගෙන ඉන්නවා. (ක්‍රියා 20:4, 14, 15) ඔවුන් අත් වනමින් එකිනෙකාගෙන් සමුගන්නවා. ක්‍රමක්‍රමයෙන් දියඹට ඇදී යන නැවත් එක්කම තමන්ගේ ප්‍රේමණීය සහෝදරයන් ඔවුන්ගේ දසුනින් නොපෙනී යනවා.

3 අවුරුදු තුනක් විතර පාවුල් එෆීසයේ වැඩිමහල්ලන් සමඟ එකතු වෙලා සේවය කරපු නිසා ඔවුන් අතරේ කිට්ටු බැඳීමක් තිබුණා. ඒ තරම් බැඳීමක් තිබුණ ඔවුන්ගෙන් පාවුල් සමුගන්නේ යෙරුසලමට යන්න කියලා දෙවියන් තම බලය මාර්ගයෙන් ඔහුට මඟ පෙන්වපු නිසයි. යෙරුසලමට ගියාම තමාට මුහුණ දීමට සිදු වන දේවල් ගැන පාවුල්ට යම් අවබෝධයක් තිබුණා. කලින් අවස්ථාවක ඔහු එෆීසයේ වැඩිමහල්ලන්ට කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “දැන් දෙවියන්ගේ බලයෙන් මට මඟ පෙන්නන්නේ යෙරුසලමට යන්න කියලයි. එහෙදී මට මොනවා වෙයිද කියලා මම දන්නේ නැහැ. ඒත් මම එහෙට යනවා. මං දන්නවා ඉස්සරහට මාව හිරේට දානවා කියලා. මට හුඟක් පීඩා විඳින්න වෙනවා කියලත් මං දන්නවා. මොකද මම යනයන හැම නගරයකදීම දෙවියන්ගේ බලයෙන් මට ඒ ගැන දැනුම් දෙනවා.” (ක්‍රියා 20:22, 23) පාවුල් තමන්ගේ ජීවිතය අනර්ඝ දෙයක් විදිහට සැලකුවා. නමුත් තම ජීවිතය රැකගන්නවාට වඩා ඔහුට වැදගත් වුණේ දෙවියන්ගේ කැමැත්ත කිරීමයි. යෙරුසලමට යන එක අවදානම් දෙයක් වුණත් ‘දෙවියන්ගේ බලයෙන් මඟ පෙන්නන’ දේට යටත් වෙමින් යෙරුසලම බලා කැමැත්තෙන්ම ඔහු පිටත් වෙලා ගියේ ඒ නිසයි.

4 අපත් දෙවියන්ට කැප වෙද්දී පොරොන්දු වන්නේ අපේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කරනවා කියලයි. වෙනත් විදිහකින් කියනවා නම් අනිත් හැම දෙයකටම වඩා දෙවියන්ගේ කැමැත්ත කරන එක අපේ ජීවිතයේ වැදගත්ම දේ වෙනවා. ඒ සම්බන්ධයෙන් පාවුල් තියපු ආදර්ශය සලකා බැලීමෙන් අපට හුඟක් දේවල් ඉගෙනගත හැකියි.

“සයිප්‍රස් දූපත” පසු කරමින් (ක්‍රියා 21:1-3)

5. පාවුල් හා පිරිස තීර්වලට ගිය ගමන් මාර්ගය විස්තර කරන්න.

5 හොඳ කාලගුණික තත්වයක් තිබුණ නිසා පාවුල් හා පිරිස ගමන් ගත්ත නැව ගමන් මාර්ගයේ කිසි වෙනසක් නොකර “කෙළින්ම” කොස් කියන දූපතට එදා යාත්‍රා කළා. (ක්‍රියා 21:1) ඔවුන් ගමන් කරපු ඒ නැව පහුවදා රෝඩ්ස් කියන දූපතට ගමන් කරලා එතන ඉඳන් කුඩා ආසියාවේ දකුණු වෙරළබඩ තීරයේ තිබුණ පටාරා කියන වරායට යාත්‍රා කළා. ඒ වරායෙන් ගොඩ බැස්ස ඔවුන්, බඩු ගෙනියන නැවකට නැග්ගා. ඒ නැව ගමන් කළේ ෆිනීෂියාවේ තිබුණ තීර්වලට. තීර් බලා යන ගමනේදී ඔවුන් ගමන්ගත් නැව “වම් පැත්තෙන්” පිහිටි “සයිප්‍රස් දූපත” පහු කරගෙන ගියා. (ක්‍රියා 21:3) ඔවුන් සයිප්‍රස් දූපත පහු කරගෙන ගියා කියලා ලූක් විශේෂයෙන් සඳහන් කළේ ඇයි?

6. (අ) සයිප්‍රස් දූපත දැකපු එක පාවුල්ට දිරිගැන්වීමක් වෙන්න ඇත්තේ ඇයි? (ආ) දෙවියන් ඔබට ආශීර්වාද කරලා තියෙන විදි හා උපකාර කරලා තියෙන විදි ගැන හිතලා බලද්දී ඔබට තේරෙන්නේ මොකක්ද?

6 සයිප්‍රස් දූපත පහු කරගෙන යද්දී පාවුල් සමහරවිට ඒ දූපත පෙන්නලා ඔහුත් සමඟ ගිය අයට ඊට අවුරුදු නවයකට විතර කලින් තමන්ගේ පළවෙනි මිෂනාරි ගමනේදී ලබපු අද්දැකීම් ගැන කියන්න ඇති. ඒ කාලේ තමන් බානබස් සහ යොහන් මාක් සමඟ යද්දී මන්තර ගුරුකම්වල නියැලුණු එලිමස් කියන කෙනා විරුද්ධවාදිකම් එල්ල කරපු විදිහ ගැනත් ඔහු ඔවුන්ට කියන්න ඇති. (ක්‍රියා 13:4-12) ඒ වගේ විරුද්ධවාදිකම් මැද වුණත් ශුභාරංචිය ඒ දූපත පුරා ව්‍යාප්ත වෙලා තියෙන විදිහ ගැන මතක් කරලා පාවුල් ලොකු දිරිගැන්වීමක් ලබන්න ඇති. ඉදිරියේදී තමන්ට මුහුණ දෙන්න වෙන දේවලට නිර්භීතව මුහුණ දෙන්න ඔහු මහත් ශක්තියක් ලැබුවා කියලත් සැකයක් නැහැ. යෙහෝවා අපට ආශීර්වාද කරලා තියෙන විදි හා විවිධ පීඩා විඳදරාගන්න උදව් කරලා තියෙන විදි ගැන හිතන එකෙන් ලොකු දිරිගැන්වීමක් ලබන්න පුළුවන්. එතකොට දාවිත් කියපු මේ දේ අපිටත් කියන්න පුළුවන්. “ධර්මිෂ්ඨයාට හුඟක් දුක් කරදරවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් යෙහෝවා දෙවියන් ඒ හැම දුකකින්ම ඔහුව ගලවගන්නවා.”—ගීතා. 34:19.

‘අපි එහේ ඉන්න ගෝලයන්ව හොයාගෙන ගියා’ (ක්‍රියා 21:4-9)

7. තීර්වලට ආවාම පාවුල් හා පිරිස කළේ මොකක්ද?

7 තීර්වල යේසුස්ගේ අනුගාමිකයන් ඉන්නවා කියලා පාවුල් හා පිරිස දැනගෙන සිටියා. තීර්වලට ආවාම ඔවුන් ‘එහේ ඉන්න ගෝලයන්ව හොයාගෙන’ ගියේ ඒ නිසයි. (ක්‍රියා 21:4) එහේ හිටපු සහෝදර සහෝදරියන්ව ඔවුන්ට හමු වුණා වගේම තීර්වල නතර වෙලා හිටපු දවස් කිහිපය පුරා ඔවුන් ඒ සහෝදර සහෝදරියන් එක්ක හිටියා කියලා සැකයක් නැහැ. සහෝදර සහෝදරියන්ව ඇසුරු කරන එක මොන තරම් වැදගත්ද කියලා පාවුල් හොඳින් දැනගෙන සිටියා. පුළුවන් හැම අවස්ථාවකදීම ඔවුන් එක්ක කාලය ගත කරන්න ඔහු උත්සාහ කළේ ඒ නිසයි. අදත් යෙහෝවාට ආදරේ කරන, ඔහුට නමස්කාර කරන අය ලෝකයේ හැම රටකම වගේ ජීවත් වෙනවා. ඒ නිසා අප කොහේ ගියත් අපව ආදරයෙන් පිළිගන්න සහෝදර සහෝදරියන් අපට හමු වෙනවා. ඒක ඇත්තටම ආශීර්වාදයක් නෙවෙයිද!

8. ක්‍රියා 21:4 තියෙන දෙයින් අදහස් වෙන්නේ නැත්තේ මොකක්ද?

8 පාවුල් හා පිරිස තීර්වල ගත කරපු දවස් හත ගැන ලූක් වාර්තා කරද්දී ඔහු මෙහෙම කියනවා. “එයාලා [තීර්වල සහෝදරයන්] කීප සැරයක්ම පාවුල්ට කිව්වා යෙරුසලමට යන්න එපා කියලා. එයාලා එහෙම කිව්වේ දෙවියන්ගේ බලයෙන් එයාලට දැනගන්න ලැබුණ සමහර දේවල් නිසයි.” (ක්‍රියා 21:4) ලූක් වාර්තා කරලා තියෙන ඒ දෙය කියවද්දී ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා. යෙරුසලමට යන්න කියලා දෙවියන් පාවුල්ට කලින් දුන් මඟ පෙන්වීම දැන් වෙනස් කරලද? ඔහු දැන් පාවුල්ට කියන්නේ යෙරුසලමට යන්න එපා කියලද? කොහෙත්ම නැහැ. දෙවියන්ගේ බලය මාර්ගයෙන් හෙළි කරලා තිබුණේ යෙරුසලමේදී පාවුල්ට පීඩාවලට මුහුණ දෙන්න වෙනවා කියලා මිසක් යෙරුසලමට යන්න එපා කියලා නෙවෙයි. නමුත් යෙරුසලමට යන්න එපා කියලා සහෝදරයන් පාවුල්ගෙන් ඉල්ලුවේ පාවුල් ගැන ඔවුන්ට තිබුණ සැලකිල්ල නිසයි. එහෙමනම් ඔවුන් පාවුල්ගෙන් ඒ වගේ ඉල්ලීමක් කිරීම පුදුමයක් නෙවෙයි. කොහොමවුණත් යෙහෝවාගේ කැමැත්තට එකඟව වැඩ කරන්න පාවුල් ගෙන තිබුණ අධිෂ්ඨානය වෙනස් වුණේ නැහැ.—ක්‍රියා 21:12.

9, 10. (අ) යෙරුසලමට යන්න එපා කියලා සහෝදරයන් පාවුල්ට කියද්දී ඔහුට මතක් වෙන්න ඇත්තේ මොන සිද්ධියද? (ආ) අද ලෝකයේ ඉන්න හුඟදෙනෙක්ට තියෙන ආකල්පය මොකක්ද? යේසුස් කියපු දේ ඒකට හාත්පසින්ම වෙනස් වෙන්නේ කොහොමද?

9 යෙරුසලමට යන්න එපා කියලා සහෝදරයන් පාවුල්ගෙන් ඉල්ලද්දී යේසුස්ටත් ඒ වගේම තත්වයකට මුහුණ දෙන්න වුණා කියලා ඔහුට මතක් වෙන්න ඇති. යෙරුසලමට ගියාම තමන්ට බොහෝ දුක් විඳීමටත් මරණය අද්දැකීමටත් වෙනවා කියලා යේසුස් ගෝලයන්ට කියපු අවස්ථාවේදී ඔවුන් වැඩ කළෙත් තීර්වල හිටපු සහෝදරයන් හා සමානවයි. හැඟීම්බර කෙනෙක් වුණ පේතෘස් “ස්වාමීනි, ඔයා ගැනත් ටිකක් හිතන්න. ඒ වගේ දෙයක් ඔයාට කවදාවත් වෙන්නේ නැහැ” කියලා යේසුස්ට කිව්වා. පේතෘස් ඒ වගේ දෙයක් කිව්වේ හොඳ චේතනාවෙන් වුණත් දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා තේරුම්ගන්න ඒ අවස්ථාවේදී ඔහුට බැරි වුණා. “සාතන්, මගෙන් අහකට යන්න! මට බාධා කරන්න එපා. ඔයා හිතන්නේ දෙවියන් හිතන විදිහට නෙමෙයි මිනිස්සු හිතන විදිහටයි” කියලා යේසුස් පේතෘස්ට කිව්වේ ඒ නිසයි. (මතෙ. 16:21-23) යේසුස් තමා ගැන සිතනවා වෙනුවට දෙවියන් තමන්ගෙන් බලාපොරොත්තු වුණ දේ ඉටු කරන්න අදිටන් කරගෙන සිටියා. පාවුල්ට තිබුණෙත් ඒ හා සමාන ආකල්පයක්. තීර්වල හිටිය සහෝදරයන් පාවුල්ට යෙරුසලමට යන්න එපා කියලා කිව්වේ හොඳ චේතනාවෙන් වුණත් ඔවුනුත් දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා ඒ අවස්ථාවේදී වටහාගෙන තිබුණේ නැහැ.

යේසුස්ව අනුගමනය කරන කෙනෙක්ට කැප කිරීම් කරන්න වෙනවා

10 තමාගේ වාසිය ගැන හිතලා වැඩ කිරීමේ ආකල්පය අද ඉන්න හුඟක් අය තුළත් දකින්න තියෙනවා. නීති රෙගුලාසි නැති, තමන්ට කැමති විදිහට ජීවත් වෙන්න ඉඩ දෙන ආගම් අදහන්න හුඟක් අය කැමති ඒ නිසයි. නමුත් යේසුස් තම ගෝලයන්ට උනන්දු කළේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ආකල්පයක් ඇතුව ඉන්න කියලයි. ඔහු කිව්වේ “මගේ අනුගාමිකයෙක් වෙන්න කෙනෙක් කැමති නම් එයා තමන්ගේ ජීවිතේ දෙවියන්ට සම්පූර්ණයෙන්ම භාර දීලා, එයාගේ වධකණුව උස්සගෙන දිගටම මගේ පිටිපස්සෙන් එන්න ඕනෙ” කියලයි. (මතෙ. 16:24) යේසුස්ව අනුගමනය කරන එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. කෙනෙක්ට ජීවිතයේ ගන්න පුළුවන් ඥානවන්තම තීරණයත් ඒකයි. නමුත් යේසුස්ව අනුගමනය කරමින් ජීවත් වෙන එක ලෙහෙසි දෙයක් නෙවෙයි.

11. තීර්වල සහෝදරයන්ට පාවුල් ගැන තිබුණ සෙනෙහසත් ඔහුගේ සේවයට ඔවුන් දක්වපු සහයෝගයත් පැහැදිලි වුණේ කොහොමද?

11 පාවුල්ට, ලූක්ට හා පිරිසට තීර්වලින් පිටත්ව යන්න කාලය ආවා. ඒ අවස්ථාව ගැන සඳහන් වාර්තාව කියවද්දී තීර්වල සහෝදරයන්ට පාවුල් ගැන තිබුණ සෙනෙහස හා ඔහු කළ සේවයට ඔවුන් දක්වපු සහයෝගය මොන තරම්ද කියලා පැහැදිලි වෙනවා. වාර්තාවේ කියන්නේ පාවුල් හා පිරිස පිටත්ව යද්දී ඔවුන්ව ඇරලවන්න තීර්වල සහෝදර සහෝදරියන් හා දරුවන් වෙරළට ආවා කියලයි. සමුගැනීමට කලින් ඔවුන් හැමෝම වෙරළේ දණ ගසා දෙවියන්ට යාච්ඤා කළා. පස්සේ පාවුල්, ලූක් හා පිරිස නැවකට නැඟලා ටොලමැයිසය කියන නගරයට පිටත්ව ගියා. ඒ නගරයට ආවාම ඔවුන් එහේ ඉන්න සහෝදරයන් සමඟ දවසක් ගත කළා.—ක්‍රියා 21:5-7.

12, 13. (අ) ෆිලිප් විශ්වාසවන්ත සේවකයෙක් කියලා කියන්න පුළුවන් ඇයි? (ආ) අද ඉන්න තාත්තලාට ඔහු හොඳ ආදර්ශයක් වෙන්නේ කොහොමද?

12 ඊටපස්සේ ඔවුන් සිසේරිය බලා ගමන් කළා. “හුඟක් උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරපු ෆිලිප්ගේ ගෙදර” තිබුණෙත් ඒ නගරයෙයි. a (ක්‍රියා 21:8) අවුරුදු 20කට විතර කලින්, ක්‍රිස්තියානි සභාව යෙරුසලමේ පිහිටවපු මුල් කාලයේදී සභාවේ ඉන්න අයට ආහාර බෙදා දීමේ කාර්යය අධීක්ෂණය කරන්න පත් කළ අයගෙන් එක් කෙනෙක් ෆිලිප්. ඔහු දිගු කාලයක් පුරා ලොකු උද්‍යෝගයකින් සේවයේ හවුල් වුණ කෙනෙක්. යෙරුසලමේ ඇති වුණ දරුණු පීඩා නිසා යේසුස්ගේ අනුගාමිකයන් විවිධ ප්‍රදේශවලට විසිර යද්දී ෆිලිප් සමාරියට ගිහින් දේශනා කළා. පස්සේ කාලයක ඔහු ඉතියෝපියානු නිලධාරියාට ශුභාරංචිය කියලා ඔහුව බව්තීස්ම කළා. (ක්‍රියා 6:2-6; 8:4-13, 26-38) එහෙමනම් ලොකු උද්‍යෝගයකින් ශුභාරංචිය දේශනා කරන කෙනෙක් විදිහට ෆිලිප් ප්‍රසිද්ධ වුණ එක පුදුමයක්ද! සිසේරියට ආපු පාවුල් හා පිරිස නවාතැන් ගත්තේ ඔහුගේ නිවසෙයි. ෆිලිප්ව හමු වුණ එක ගැන ඔවුන් මොන තරම් සතුටු වන්න ඇද්ද!

13 ලූක් ෆිලිප්ව “හුඟක් උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරපු” කෙනෙක් විදිහට හඳුන්වලා තියෙන එකෙන් මොකක්ද තේරෙන්නේ? අවුරුදු ගාණක් ගත වෙලා තිබුණත් ෆිලිප්ගේ උද්‍යෝගය කිසි ලෙසකින්වත් අඩු වෙලා තිබුණේ නැහැ කියලයි. ඔහුට අනාවැකි කියන දූවරු හතරදෙනෙක් ඉන්නවා කියලත් වාර්තාවේ සඳහන් වෙනවා. b (ක්‍රියා 21:9) ඔවුන් තම තාත්තාගේ ආදර්ශය අනුගමනය කරමින් සිටියා කියලා පැහැදිලියි. යෙහෝවා සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට හා ඔහුට සේවය කරන්න ආශාවක් ඇති කරගැනීමට ෆිලිප් තම පවුලේ අයට උදව් කළා කියලත් ඒකෙන් පැහැදිලි වෙනවා. අද ඉන්න තාත්තලා ෆිලිප්ව ආදර්ශයට ගැනීම මොන තරම් ඥානවන්ත දෙයක්ද! සේවයේ හවුල් වෙන්න ඔවුන් පෙරමුණ අරන් වැඩ කරනවා නම් ශුභාරංචිය දේශනා කරන්න දරුවන් තුළ ලොකු උද්‍යෝගයක් ඇති කරන්න ඔවුන්ටත් පුළුවන්.

14. සහෝදර සහෝදරියන් එක්ක කාලය ගත කිරීමෙන් පාවුල් ලබපු ප්‍රයෝජන මොනවාද? අපිටත් අපේ සහෝදරයන් එක්ක කාලය ගත කරන්න ලැබෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?

14 යෙරුසලමට යන අතරේදී පාවුල් හා පිරිස ඔවුන් ගියගිය හැම තැනකදීම සහෝදර සහෝදරියන්ව හොයාගෙන ගිහින් ඔවුන් සමඟ කාලය ගත කළා. ඒ සහෝදරයනුත් හුඟක් සතුටින් ඔවුන්ව පිළිගෙන ඔවුන්ට ආගන්තුක සත්කාරය පෙන්වන්න ඇති. ඒ විදිහට එකට කාලය ගත කිරීමෙන් “එක් එක් කෙනාගේ විශ්වාසයෙන් දිරිගැන්වීමක් ලබන්න” ඔවුන්ට පුළුවන් වෙන්න ඇති. (රෝම 1:11, 12) දිරිගැන්වීමක් ලබන්න ඒ වගේ අවස්ථාවන් අපටත් උදා වෙනවා. උදාහරණයකට චාරිකා සේවකට හා ඔහුගේ භාර්යාවට අපේ නිවසට ආරාධනා කිරීමෙන් මොන තරම් දිරිගැන්වීමක් ලබාගන්න පුළුවන්ද! ඒකට අපට ලොකු නිවසක් අවශ්‍ය නැහැ. අපේ නිවස පොඩි එකක් වුණත් ඒ වගේ අවස්ථාවලින් හුඟක් ප්‍රයෝජන ලබාගන්න අපට පුළුවන්.—රෝම 12:13.

“මැරෙන්න වුණත් මං ලෑස්තියි” (ක්‍රියා 21:10-14)

15, 16. අගබස් කිව්වේ මොනවාද? ඔහු කියපු දේ ඇහුවාට පස්සේ එතන හිටිය අය කිව්වේ මොකක්ද?

15 පාවුල් ෆිලිප්ගේ නිවසේ නැවතිලා ඉන්න කාලයේදී හුඟක් අය ගෞරවයෙන් සලකපු කෙනෙක් වුණ අගබස් එතනට ආවා. ඔහු අනාගතවක්තෘවරයෙක් කියලා හැමෝම දැනගෙන සිටියා. ක්ලෝදියස්ගේ පාලන සමයේදී දරුණු සාගතයක් එනවා කියන අනාවැකිය කිව්වේ ඔහුයි. (ක්‍රියා 11:27, 28) ‘අගබස් ආවේ ඇයි? ඔහුට කියන්න තියෙන පණිවිඩය මොකක්ද’ කියලා ෆිලිප්ගේ නිවසේ හිටිය අය කල්පනා කරන්න ඇති. අගබස් පාවුල්ගේ ඉණපටිය, ඒ කියන්නේ මුදල් හා වෙනත් දේවල් තියාගන්න ඉණ වටා බැන්ද දිග රෙදි පටිය අරන් ඒකෙන් තමාගේ අත පය බැඳගත්තා. ඊටපස්සේ ඔහු මෙහෙම කිව්වා. “දෙවියන්ගේ බලය මෙහෙම දැනුම් දෙනවා. ‘යුදෙව්වරු මේ ඉණපටිය අයිති කෙනාව යෙරුසලමේදී මේ විදිහට බැඳලා වෙනත් ජාතීන්ට භාර දෙයි.’”—ක්‍රියා 21:11.

16 ඔහු කියපු ඒ අනාවැකියට අනුව පාවුල් අනිවාර්යයෙන්ම යෙරුසලමට යන බව පැහැදිලියි. එහේ ඉන්න යුදෙව්වන්ට ශුභාරංචිය කියන නිසා පාවුල්ව “වෙනත් ජාතීන්ට භාර දෙයි” කියලත් ඒ අනාවැකියෙන් හෙළි කළා. අගබස් කියපු ඒ දේ ෆිලිප්ගේ නිවසේ ඉන්න අයට බලපාපු විදිහ ලූක් මෙහෙම වාර්තා කරනවා. “ඒක ඇහුණාම අපියි, එතන හිටපු අයයි යෙරුසලමට යන්න එපා කියලා පාවුල්ට ආයේ ආයේ කිව්වා. ඒත් පාවුල් මෙහෙම කිව්වා. ‘ඔයාලා මෙහෙම අඬඅඬ හිටියොත් මාත් අධෛර්යය වෙයි. යෙරුසලමේදී විලංගු දාපු හිරකාරයෙක් වෙන්න විතරක් නෙමෙයි ස්වාමීන් වන යේසුස්ගේ නම වෙනුවෙන් මැරෙන්න වුණත් මං ලෑස්තියි.’”—ක්‍රියා 21:12, 13.

17, 18. දෙවියන්ගේ කැමැත්ත කරන්න තමන් අදිටන් කරගෙන තිබුණා කියලා පාවුල් පෙන්නුවේ කොහොමද? සහෝදරයන් ඒකට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?

17 ඔබට ඒ අවස්ථාව හිතින් මවාගන්න පුළුවන්ද? ලූක් ඇතුළුව අනිත් සහෝදරයන් පාවුල්ට කියනවා යෙරුසලමට යන්න එපා කියලා. සමහරදෙනෙක් අඬනවා. සහෝදරයන් තමන්ට පෙන්වන ආදරය, සැලකිල්ල දැක්කාම පාවුල්ටත් ලොකු දුකක් දැනෙන්න ඇති. “ඔයාලා මෙහෙම අඬඅඬ හිටියොත් මාත් අධෛර්යය වෙයි” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. සමහර බයිබල් පරිවර්තනවල ඒ පදය පරිවර්තනය කරලා තියෙන්නේ “ඔහුගේ හදවතට වේදනාවක් ගෙන දුන්නා” කියලයි. පාවුල්ට මොන තරම් දුකක් දැනුණත් තමන්ගේ අධිෂ්ඨානය ඔහු වෙනස් කළේ නැහැ. යෙරුසලමට යන්න එපා කියලා තීර්වල සහෝදරයන් පාවුල්ට කියපු අවස්ථාවේදී වගේ මේ අවස්ථාවේදීත් ඔහු සැලුණේ නැහැ. ඔවුන් මොන දේ කිව්වත්, කොයි තරම් ඇඬුවත් තම අධිෂ්ඨානය බිඳින්න ඒ කිසිම දෙයකට ඔහු ඉඩ දුන්නේ නැහැ. තමා යෙරුසලමට යා යුතු හේතුව ඔහු ඔවුන්ට ආදරයෙන් පැහැදිලි කරලා දුන්නා. යේසුස්ව ආදර්ශයට ගත්ත පාවුල්, මොන බාධාවක් ආවත් යෙරුසලමට යන්න අදිටන් කරගත්තා. (හෙබ්‍රෙ. 12:2) ඒ කියන්නේ පාවුල්ට මැරෙන්න ඕනෙ වුණා කියන එක නෙවෙයි. ඒ වෙනුවට යේසුස් ගැන සාක්ෂි දරන්න මැරෙන්න වුණත් ඔහු සූදානමින් හිටියා කියන එකයි. ඔහු ඒක සැලකුවේ ගෞරවයක් විදිහටයි. පාවුල් මොන තරම් නිර්භීතද!

18 පාවුල් කියපු දේට සහෝදරයන් ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද? ලූක් ඒ ගැන මෙහෙම කියනවා. “පාවුල් ගත්ත තීරණය වෙනස් කරන්න බැහැ කියලා තේරුණාම අපි පාවුල්ට බල කරන එක නැවැත්තුවා. අපි එයාට කිව්වා ‘යෙහෝවා කැමති දේ ඒ විදිහටම වෙන්න ඕනෙ’ කියලා.” (ක්‍රියා 21:14) පාවුල් තමන්ගේ ඉල්ලීමට එකඟව වැඩ කරන්න ඕනෙමයි කියලා සහෝදරයන් දිගටම කියා සිටියේ නැහැ. පාවුල් කියපු දේ අහලා ඔවුන් තම ආකල්ප නිවැරදි කරගත්තා. දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා ඔවුන් තේරුම්ගත්තා. කොයි තරම් අමාරු වුණත් ඔවුන් ඒකට යටත් වුණා. පාවුල් දැනගෙන හිටියා මේ ගමන අවසන් වන්නේ තම මරණයෙන් කියලා. ඒ නිසා සහෝදරයන්ට පාවුල් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දෙය වන්නේ ඔහුගේ අධිෂ්ඨානය බිඳලා දාන්නේ නැතුව ඔහුව ධෛර්යවත් කිරීමයි.

19. ඒ සිද්ධියෙන් අපි ඉගෙනගන්න වැදගත් පාඩම මොකක්ද?

19 ඒ සිදුවීමෙන් අපට වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. දෙවියන්ට සේවය කරන්න විවිධ කැප කිරීම් කරන අයට එහෙම කරන්න එපා කියලා කියන්න හොඳ නැහැ. සමහරවිට ඔවුන් පාවුල් තරම් ලොකු කැප කිරීම් කරන්නේ නැතුව ඇති. ඔවුන් කරන කැප කිරීම් සුළු ඒවා වුණත් විශාල ඒවා වුණත් අප ඒ දේ මතක තියාගන්න එක වැදගත්. දරුවන් දුර බැහැර ප්‍රදේශවලට යද්දී දෙමාපියන්ට ඒක ලොකු දුකක්. නමුත් ඔවුන් එහෙම කරන්නේ වැඩි සේවයක් කරන්න කියලා දන්න නිසා දෙමාපියන් එහෙම කරන්න එපා කියලා ඔවුන්ව අධෛර්යයට පත් කරන්නේ නැහැ. එංගලන්තයේ ජීවත් වන ෆිලිස්ගේ අද්දැකීම බලන්න. තම එකම දුව මිෂනාරි සේවය සඳහා අප්‍රිකාවට යද්දී ඇයට හැඟුණු විදිහ ඇය මෙහෙම විස්තර කරනවා. “මගේ දුව ගැන මට ආඩම්බරයි. හැබැයි එයා ඉන්නේ මම ඉන්න තැනට ගොඩක් ඈතින් කියලා මතක් වෙද්දී මට ලොකු දුකක් දැනුණා. ඒ ගැන මම ගොඩක් යාච්ඤා කළා. දුව ගත්ත තීරණය වෙනස් කරන්න මම කවදාවත් උත්සාහ කළේ නැහැ. දෙවියන් කරන සේවයට නිතරම මුල් තැන දෙන්න කියලා එයාට ඉගැන්නුවේ මමමයි. එයා දැන් අවුරුදු 30ක් පුරා එහේ සේවය කරනවා. මගේ දුව විශ්වාසවන්තව කරන සේවය ගැන මම හැම දවසකම දෙවියන්ට ස්තුති කරනවා.” එහෙනම් අපත් විවිධ කැප කිරීම් කරන අපේ සහෝදර සහෝදරියන්ව අධෛර්යයට පත් කරනවා වෙනුවට ඔවුන්ව දිරිගැන්වීම මොන තරම් වැදගත්ද!

කැප කිරීම් කරන අයව දිරිගන්වන්න

“සහෝදරයෝ අපිව හරිම ආදරෙන් පිළිගත්තා” (ක්‍රියා 21:15-17)

20, 21. සහෝදර සහෝදරියන් එක්ක කාලය ගත කරන්න පාවුල් කැමති වුණා කියලා අපි දන්නේ කොහොමද? ඔහු එහෙම කළේ ඇයි?

20 පාවුල් හා පිරිස යෙරුසලමට ගිය ගමන අතරතුර සහෝදර සහෝදරියන් සමඟ කාලය ගත කරන්න අවස්ථාවන් හොයාගත්තා කියලා ඔබට මතක ඇති. තීර්වල සහෝදරයන් සමඟ දවස් හතකුත් ටොලමැයිසයේ සහෝදරයන් සමඟ දවසකුත් සිසේරියේ ෆිලිප්ගේ නිවසේ දින කිහිපයකුත් ඔවුන් ගත කළා. ඔවුන් සිසේරියෙන් යද්දී එහේ ඉන්න ගෝලයන් කිහිපදෙනෙකුත් ගමනට එකතු වුණා. තමාට සහයෝගය දෙන සහෝදරයන් සමඟ මේ ගමන යන්න ලැබීම පාවුල්ට ලොකු දිරිගැන්වීමක් වෙන්න ඇති. යෙරුසලමට ආවාම ඔවුන් මුල්ම ගෝලයන්ගෙන් කෙනෙක් වුණ නාසන් කියන කෙනාගේ නිවසට ගියා. “අපි යෙරුසලමට ආවාම සහෝදරයෝ අපිව හරිම ආදරෙන් පිළිගත්තා” කියලා ලූක් වාර්තා කරනවා.—ක්‍රියා 21:17.

21 ඒ තොරතුරුවලින් පැහැදිලි වන්නේ සහෝදර සහෝදරියන් සමඟ කාලය ගත කරන්න පාවුල් කැමති වුණා කියලයි. ඒකෙන් ඔහු ලොකු දිරිගැන්වීමක් ලැබුවා. තමාව මරලා දාන්න උත්සාහ කළ විරුද්ධවාදීන්ට නිර්භීතව මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය පාවුල්ට ඒකෙන් ලැබුණා කියලා කිසිම සැකයක් නැහැ.