Skip to content

පටුනට යන්න

22වෙනි පරිච්ඡේදය

“යෙහෝවා දෙවිගේ කැමැත්ත සිදු වේවා”

“යෙහෝවා දෙවිගේ කැමැත්ත සිදු වේවා”

දෙවිගේ කැමැත්තට මුල් තැන දීමට අදිටන් කරගත් පාවුල් යෙරුසලමට යයි

ක්‍රියා 21:1-17

1-4. පාවුල් යෙරුසලම බලා පිටත්ව ගියේ ඇයි? එහිදී ඔහුට කුමන දේවලට මුහුණ දීමට සිදු වෙයිද?

මිලේටස් වරායේ නවතා තිබෙන නැවකට නැඟුණු පාවුල් හා ලූක් සිටින්නේ මහත් දුකින්. ඔවුන් දැන් සූදානම් වන්නේ තමන් බොහෝ සෙයින් ආදරය කරන එෆීසයේ වැඩිමහල්ලන්ගෙන් සමුගෙන යෙරුසලම බලා පිටත්ව යෑමටයි. ඔවුන්ගේ ගමනට අවශ්‍ය සියල්ලත් සූදානම්. ඔවුන් මේ ගමන යන්නේ යුදයේ සිටින ක්‍රිස්තියානීන් වෙනුවෙන් එකතු කළ සහනාධාර යෙරුසලමේ සිටින සහෝදරයන්ට භාර දීම සඳහායි.

2 හමා එන සුළඟත් සමඟම පාවුල් හා පිරිස රැගත් නැව දැන් කෙමෙන් කෙමෙන් වරායෙන් ඈත්ව යනවා. තමන්ව ඇරලවීමට පැමිණි සහෝදරයන්ගේ දුක්බර මුහුණු දෙස ඔවුන් දෑස් අයා බලා සිටිනවා. (ක්‍රියා 20:4, 14, 15) ඔවුන් අත් වනමින් එකිනෙකාගෙන් සමුගන්නවා. ක්‍රමක්‍රමයෙන් දියඹට ඇදී යන නැවත් සමඟ තම ප්‍රේමණීය සහෝදරයන් ඔවුන්ගේ දසුනින් නොපෙනී යනවා.

3 අවුරුදු තුනක පමණ කාලයක් පුරා පාවුල් එෆීසයේ වැඩිමහල්ලන් සමඟ එක්ව සේවය කළ නිසා ඔවුන් අතරේ කිට්ටු බැඳීමක් තිබුණා. එතරම් බැඳීමක් තිබූ ඔවුන්ගෙන් පාවුල් මෙසේ සමුගෙන යන්නේ යෙරුසලමට යන ලෙස දෙවි තම බලය මාර්ගයෙන් ඔහුට මඟ පෙන්වූ නිසයි. යෙරුසලමට ගිය විට තමාට මුහුණ දීමට සිදු වන දේවල් ගැන පාවුල්ට යම් අවබෝධයක් තිබුණා. කලින් අවස්ථාවක ඔහු එෆීසයේ වැඩිමහල්ලන්ට පැවසූ මේ දෙයින් ඒ බව පැහැදිලි වෙනවා. “දෙවිගේ බලයෙන් මට ලැබුණු මඟ පෙන්වීම්වලට එකඟව මම දැන් ගමන් කරන්නේ යෙරුසලමටයි. එහිදී මට මොනව වෙයිද කියා මම දන්නේ නැහැ. නමුත් මම නුවරක් නුවරක් පාසා ගමන් කරන විට මට ඉදිරියේදී සිරදඬුවම් සහ නොයෙකුත් පීඩා විඳින්න සිදු වන බව දෙවි තම බලයෙන් නිතරම මට දැනුම් දෙයි.” (ක්‍රියා 20:22, 23) පාවුල් තම ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සැලකුවා. නමුත් තම ජීවිතය රැකගන්නවාට වඩා ඔහුට වැදගත් වුණේ දෙවිගේ කැමැත්ත ඉටු කිරීමයි. යෙරුසලමට යෑම අවදානම් සහිත වුණත් ‘දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට’ යටත් වෙමින් යෙරුසලම බලා කැමැත්තෙන්ම ඔහු පිටත්ව ගියේ ඒ නිසයි.

4 අපත් දෙවිට කැප වන විට පොරොන්දු වන්නේ අපේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කරන බවයි. වෙනත් විදිහකින් පවසනවා නම් අන් සෑම දෙයකටම වඩා දෙවිගේ කැමැත්ත කිරීම එතැන් සිට අපේ ජීවිතයේ වැදගත්ම දෙය වෙනවා. ඒ සම්බන්ධයෙන් පාවුල් තැබූ ආදර්ශය සලකා බැලීමෙන් අපට බොහෝ දේ ඉගෙනගත හැකියි.

“සයිප්‍රස් දූපත” පසු කරමින් (ක්‍රියා 21:1-3)

5. පාවුල් හා පිරිස තීර් බලා ගිය ගමන් මාර්ගය විස්තර කරන්න.

5 හොඳ කාලගුණික තත්වයක් පැවති නිසා පාවුල් හා පිරිස ගමන්ගත් නැව ගමන් මාර්ගයේ කිසි වෙනසක් නොකර “කෙළින්ම” කොස් නම් දූපත වෙතට එදින යාත්‍රා කළා. (ක්‍රියා 21:1) ඔවුන් ගමන් කරමින් සිටි එම නැව පසුවදා රෝඩ්ස් නම් දූපත වෙතට ගමන් කළ අතර එතැන් සිට කුඩා ආසියාවේ දකුණු වෙරළබඩ තීරයේ පිහිටි පටාරා නම් වරාය වෙතට යාත්‍රා කළා. එම වරායෙන් ගොඩ බැස්ස ඔවුන්, ෆිනීෂියාවේ පිහිටි තීර් බලා ගමන් කරන බඩු ගෙන යන නැවකට නැග්ගා. තීර් බලා යන ගමනේදී ‘ඔවුන් ගමන්ගත් නැවට වම් පැත්තෙන්’ පිහිටි “සයිප්‍රස් දූපත” ඔවුන් පසු කරගෙන ගියා. (ක්‍රියා 21:3) ඔවුන් සයිප්‍රස් දූපත පසු කරගෙන ගිය බව ලූක් විශේෂයෙන් සඳහන් කළේ ඇයි?

6. (අ) සයිප්‍රස් දූපත දැකීම පාවුල්ට දිරිගැන්වීමක් වන්න ඇත්තේ ඇයි? (ආ) දෙවි ඔබට ආශීර්වාද කර තිබෙන ආකාර හා උපකාර කර තිබෙන ආකාර ගැන සිතා බැලීමෙන් පසු ඔබට වැටහෙන්නේ කුමක්ද?

6 සයිප්‍රස් දූපත පසු කරගෙන යන විට තම පළමුවෙනි මිෂනාරි ගමනේදී එනම් අවුරුදු නවයකට පමණ පෙර බානබස්, යොහන් මාක් සමඟ තමා එහිදී ලැබූ අද්දැකීම් ගැන සමහරවිට පාවුල් ඔහු සමඟ ගිය අයට පවසන්න ඇති. උදාහරණයකට එහි සිටි මන්තර ගුරුකම්වල නියැලුණු එලිමස් නම් පුද්ගලයා ඔවුන්ගේ සේවයට විරුද්ධවාදිකම් එල්ල කළ ආකාරය ගැන ඔහු ඔවුන්ට පවසන්න ඇති. (ක්‍රියා 13:4-12) එවැනි විරුද්ධවාදිකම් මැද පවා ශුභාරංචිය එම දූපත පුරා ව්‍යාප්ත වී ඇති ආකාරය ගැන සිහිපත් කිරීමෙන් පාවුල් මහත් දිරිගැන්වීමක් ලබන්න ඇති. ඉදිරියේදී තමන්ට මුහුණ දීමට සිදු වන දේවලට නිර්භීතව මුහුණ දීමට ඔහු මහත් ශක්තියක්ද ලැබූ බවට සැකයක් නැහැ. යෙහෝවා දෙවි අපට ආශීර්වාද කර තිබෙන ආකාර හා විවිධ පීඩා විඳදරාගැනීමට උපකාර කර තිබෙන ආකාර ගැන සිතා බැලීමෙන් අපටත් මහත් දිරිගැන්වීමක් ලබන්න පුළුවන්. එවිට දාවිත් පැවසූ ලෙස, “ධර්මිෂ්ඨයාට දුක් කරදර බොහෝය. නමුත් ඒ සියල්ලෙන්ම යෙහෝවා දෙවි ඔහුව ගලවාගන්නේය” කියා අපටත් පැවසීමට හැකි වෙයි.—ගීතා. 34:19.

‘එහි සිටි ගෝලයන්ව අපි සොයාගත්තා’ (ක්‍රියා 21:4-9)

7. තීර් වෙතට පැමිණි පාවුල් හා පිරිස කළේ කුමක්ද?

7 තීර්හි යේසුස්ගේ අනුගාමිකයන් සිටින බව පාවුල් හා පිරිස දැන සිටියා. තීර් වෙතට පැමිණි විට ‘එහි සිටි ගෝලයන්ව ඔවුන් සොයා ගියේ’ ඒ නිසයි. (ක්‍රියා 21:4) එහි සිටි සෙසු සහෝදර සහෝදරියන්ව ඔවුන්ට හමු වූ අතර තීර්හි නතර වී සිටි දවස් කිහිපය පුරා ඔවුන් එම සහෝදර සහෝදරියන් සමඟ සිටි බවට සැකයක් නැහැ. සහෝදර සහෝදරියන්ව ඇසුරු කිරීම මොන තරම් වැදගත්ද යන කාරණය පාවුල් හොඳින් දැන සිටියා. හැකි සෑම අවස්ථාවකදීම ඔවුන් සමඟ කාලය ගත කිරීමට ඔහු උත්සාහ කළේ ඒ නිසයි. අද දිනත් යෙහෝවා දෙවිට ප්‍රේම කරන, ඔහුට නමස්කාර කරන අය ලෝකයේ සෑම රටකම වගේ ජීවත් වෙනවා. ඒ නිසා අප කොහේ ගියත් අපව ආදරයෙන් පිළිගන්නා, සහෝදර සහෝදරියන් අපට හමු වෙනවා. එය ඇත්තෙන්ම ආශීර්වාදයක් නොවේද!

8. ක්‍රියා 21:4හි සඳහන් දෙයින් අදහස් නොවන්නේ කුමක්ද?

8 පාවුල් හා පිරිස තීර්හි ගත කළ දවස් හත ගැන ලූක් වාර්තා කරන විට ඔහු මෙවැනි දෙයක් පවසා තිබෙනවා. “ඔවුන් [තීර්හි සිටි සහෝදරයන්] පාවුල්ට නැවත නැවතත් පැවසුවේ යෙරුසලමට යෑම සුදුසු දෙයක් නොවන බවය. ඔවුන් එසේ පැවසීමට පෙලඹුණේ දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට අනාවරණය කළ දේ නිසාය.” (ක්‍රියා 21:4) ලූක් වාර්තා කර තිබෙන ඒ දෙය කියවන විට ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා. එනම් යෙරුසලමට යන ලෙස දෙවි පාවුල්ට කලින් දුන් මඟ පෙන්වීම දැන් දෙවි වෙනස් කර තිබෙනවාද? ඔහු දැන් පාවුල්ට කියා සිටින්නේ යෙරුසලමට නොයා යුතු බවද? කොහෙත්ම නැහැ. දෙවිගේ බලය මාර්ගයෙන් හෙළි කර තිබුණේ යෙරුසලමේදී පාවුල්ට පීඩාවලට මුහුණ දීමට සිදු වන බව මිස ඔහු යෙරුසලමට නොයා යුතු බව නොවෙයි. නමුත් යෙරුසලමට නොයන්න කියා සහෝදරයන් පාවුල්ගෙන් ඉල්ලා සිටියේ පාවුල් කෙරෙහි ඔවුන්ට තිබූ මහත් සැලකිල්ල නිසයි. එසේනම් ඔවුන් පාවුල්ගෙන් එවැනි ඉල්ලීමක් කිරීම පුදුමයට කරුණක් නොවෙයි. කෙසේවෙතත් යෙහෝවා දෙවිගේ කැමැත්තට එකඟව ක්‍රියා කිරීමට පාවුල් ගෙන තිබූ අධිෂ්ඨානය වෙනස් වුණේ නැහැ.—ක්‍රියා 21:12.

9, 10. (අ) යෙරුසලමට නොයන්න කියා සහෝදරයන් පාවුල්ගෙන් ඉල්ලා සිටි විට පාවුල්ට මතක් වන්න ඇත්තේ කුමන සිද්ධියද? (ආ) අද සිටින බොහෝදෙනෙකු තුළ තිබෙන ආකල්පය කුමක්ද? යේසුස් පැවසූ දෙය ඊට හාත්පසින්ම වෙනස් වන්නේ කෙසේද?

9 යෙරුසලමට නොයන්න කියා සහෝදරයන් පාවුල්ගෙන් ඉල්ලා සිටි විට යේසුස්ටත් ඒ හා සමාන තත්වයකට මුහුණ දීමට සිදු වූ බව ඔහුට මතක් වෙන්න ඇති. තමා යෙරුසලමට ගිය විට තමන්ට බොහෝ දුක් විඳීමටත් මරණය අද්දැකීමටත් සිදු වන බව යේසුස් තම ගෝලයන්ට පැවසූ අවස්ථාවේදී ඔවුන් ක්‍රියා කළෙත් තීර්හි සිටි සහෝදරයන් හා සමානවයි. හැඟීම්බර කෙනෙකු වූ පේතෘස්, “ස්වාමීනි, ඔබ ගැනත් ටිකක් හිතන්න. ඒ වගේ දෙයක් ඔබට කවදාවත් සිදු විය යුතු නැහැ” කියා යේසුස්ට පැවසුවා. පේතෘස් එවැනි දෙයක් පැවසුවේ හොඳ චේතනාවෙන් වුණත් දෙවිගේ කැමැත්ත කුමක්ද කියා තේරුම්ගැනීමට ඒ අවස්ථාවේදී ඔහු අපොහොසත් වුණා. “සාතන්! මගෙන් අහකට යන්න! මට බාධා කරන්න එපා. ඔබ සිතන්නේ මිනිසුන් සිතන විදිහටයි. දෙවි සිතන විදිහට නොවෙයි” කියා යේසුස් පේතෘස්ට පැවසුවේ ඒ නිසයි. (මතෙ. 16:21-23) යේසුස් තමා ගැන සිතනවා වෙනුවට දෙවි තමන්ගෙන් බලාපොරොත්තු වූ දේ ඉටු කිරීමට අදිටන් කරගෙන සිටියා. පාවුල්ට තිබුණෙත් ඒ හා සමාන ආකල්පයක්. තීර්හි සිටි සහෝදරයන් පාවුල්ට යෙරුසලමට නොයන්න කියා පැවසුවේ හොඳ චේතනාවෙන් වුණත් ඔවුනුත් දෙවිගේ කැමැත්ත කුමක්ද කියා ඒ අවස්ථාවේදී වටහාගෙන තිබුණේ නැහැ.

යේසුස්ව අනුගමනය කරන කෙනෙක් කැප කිරීම් කිරීමට සූදානම්

10 තමාගේ වාසිය ගැන සිතා කටයුතු කිරීමේ ආකල්පය අද සිටින බොහෝදෙනෙකු තුළත් දකින්න තිබෙනවා. නීති රෙගුලාසි නැති, තමන්ට රිසි සේ ජීවත් විය හැකි ආගම් ඇදහීමට බොහෝ අය කැමති වන්නේ නිසයි. නමුත් යේසුස් තම ගෝලයන්ට උනන්දු කළේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ආකල්පයක් ඇතුව සිටින්න කියායි. ඔහු පැවසුවේ, “යමෙකු මා අනුව එන්න කැමති නම් ඔහු තම ජීවිතය දෙවිට කැප කර තම වධකණුව රැගෙන දිගටම මා අනුව එන්න අවශ්‍ය” බවයි. (මතෙ. 16:24) ඇත්තෙන්ම යේසුස්ව අනුගමනය කිරීම ජීවිතය ගත කළ හැකි හොඳම ආකාරයයි. කෙනෙකුට ජීවිතයේ කළ හැකි ඥානවන්තම තේරීමත් එයයි. නමුත් යේසුස්ව අනුගමනය කරමින් ජීවත් වීම ලෙහෙසි දෙයක් නොවෙයි.

11. තීර්හි සහෝදරයන්ට පාවුල් කෙරෙහි තිබූ සෙනෙහසත් ඔහුගේ සේවයට ඔවුන් දැක්වූ සහයෝගයත් පැහැදිලි වුණේ කුමකින්ද?

11 පාවුල්, ලූක් හා පිරිසට තීර් වෙතින් පිටත්ව යෑමට කාලය පැමිණියා. ඒ අවස්ථාව ගැන සඳහන් වාර්තාව කියවන විට තීර්හි සිටි සහෝදරයන්ට පාවුල් කෙරෙහි තිබූ සෙනෙහස හා ඔහු කළ සේවයට ඔවුන් දැක්වූ සහයෝගය මොන තරම්ද කියා පැහැදිලි වෙනවා. වාර්තාවේ පවසන්නේ පාවුල් හා පිරිස පිටත්ව යන විට ඔවුන්ව ඇරලවීමට තීර්හි සිටි සහෝදර සහෝදරියන් හා දරුවන් වෙරළට පැමිණි බවයි. සමුගැනීමට පෙර ඔවුන් සියලුදෙනාම වෙරළෙහි දණ ගසා එක්ව දෙවිට යාච්ඤා කළා. පසුව පාවුල්, ලූක් හා පිරිස නැවකට නැඟ ටොලමැයිසය නම් නුවර බලා පිටත්ව ගියා. එම නුවරට පැමිණි ඔවුන්, එහි සිටි සහෝදරයන් සමඟ එක් දිනක් ගත කළා.—ක්‍රියා 21:5-7.

12, 13. (අ) ෆිලිප් විශ්වාසවන්ත සේවකයෙක් කියා පැවසිය හැක්කේ ඇයි? (ආ) අද දින පියවරුන්ට ඔහු ආදර්ශයක් වන්නේ කෙසේද?

12 ඉන්පසු ඔවුන් සිසේරිය බලා ගමන් කළා. “ශුභාරංචිය දේශනා කිරීමට ප්‍රසිද්ධ වූ ෆිලිප්” ජීවත් වුණෙත් එම නුවරෙයි. * (ක්‍රියා 21:8) අවුරුදු 20කට පමණ පෙර එනම් ක්‍රිස්තියානි සභාව යෙරුසලමේ පිහිටෙවූ මුල් කාලයේදී සභාවේ සිටි අයට ආහාර බෙදා දීමේ කාර්යය අධීක්ෂණය කිරීම සඳහා නියෝජිතයන් පත් කළ අයගෙන් එක් කෙනෙක් ෆිලිප්. ඔහු, දිගු කාලයක් පුරා මහත් උද්‍යෝගයෙන් සේවයේ හවුල් වූ කෙනෙක්. යෙරුසලමේ ඇති වූ දරුණු පීඩා නිසා යේසුස්ගේ අනුගාමිකයන් විවිධ ප්‍රදේශවලට විසිරී ගිය විට ෆිලිප් සමාරියට ගොස් එහි සිටි අයට දේශනා කළා. පසු කාලයක ඔහු ඉතියෝපියානු නිලධාරියාට ශුභාරංචිය ප්‍රකාශ කර ඔහුව බව්තීස්ම කළා. (ක්‍රියා 6:2-6; 8:4-13, 26-38) එසේනම් මහත් උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරන කෙනෙකු ලෙස ෆිලිප් ප්‍රසිද්ධව සිටීම පුදුමයක්ද! සිසේරියට පැමිණි පාවුල් හා පිරිස නවාතැන් ගත්තේ ඔහුගේ නිවසෙයි. ෆිලිප්ව එලෙස හමු වීමට ලැබීම ගැන ඔවුන් මොන තරම් සතුටට පත් වන්න ඇද්ද!

13 ලූක් ෆිලිප්ව “ශුභාරංචිය දේශනා කිරීමට ප්‍රසිද්ධ වූ” කෙනෙකු ලෙස හැඳින්වීමෙන් පැහැදිලි වන්නේ අවුරුදු ගණනාවක් ගත වී තිබුණත් ෆිලිප් තුළ තිබූ උද්‍යෝගය කිසි ලෙසකින්වත් අඩු වී නොතිබුණු බවයි. ඔහුට අනාවැකි කියන දූවරු හතරදෙනෙකු සිටි බවත් වාර්තාවේ සඳහන් වෙනවා. * (ක්‍රියා 21:9) ඔවුන් තම පියාගේ ආදර්ශය අනුගමනය කරමින් සිටියා කියා පැහැදිලියි. යෙහෝවා දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට හා ඔහුට සේවය කිරීමේ ආශාවක් වර්ධනය කරගැනීමට ෆිලිප් තම පවුලේ අයට උපකාර කර තිබෙන බවත් ඉන් පැහැදිලි වෙනවා. අද දින සිටින පියවරුන්ද ෆිලිප්ව ආදර්ශයට ගැනීම මොන තරම් ඥානවන්ත දෙයක්ද! සේවයේ හවුල් වීමට ඔවුන් පෙරමුණ ගෙන කටයුතු කරනවා නම් ශුභාරංචිය දේශනා කිරීම සඳහා තම දරුවන් තුළ මහත් උද්‍යෝගයක් ඇති කිරීමට ඔවුන්ටත් හැකියි.

14. සෙසු සහෝදර සහෝදරියන් සමඟ එක්ව කාලය ගත කිරීමෙන් ලැබූ ප්‍රයෝජන මොනවාද? අද දින අපටත් උදා වන ඒ හා සමාන අවස්ථාවන් මොනවාද?

14 යෙරුසලම බලා ගමන් කරමින් සිටි පාවුල් හා පිරිස ඔවුන් ගිය ගිය සෑම තැනකම සිටි සහෝදර සහෝදරියන්ව සොයා ඔවුන් සමඟ කාලය ගත කළා. එම සහෝදරයන්ද මහත් සතුටින් ඔවුන්ව පිළිගෙන ඔවුන්ට ආගන්තුක සත්කාරය පෙන්වන්න ඇති. එලෙස එක්ව කාලය ගත කිරීමෙන් “එකිනෙකාව දිරිගැන්වීමට” ඔවුන්ට හැකි වෙන්න ඇති. (රෝම 1:11, 12) මහත් දිරිගැන්වීමක් ලබන්න ඒ හා සමාන අවස්ථාවන් අපටත් උදා වෙනවා. උදාහරණයකට සංචාරක සේවකයෙකුට හා ඔහුගේ භාර්යාවට අපේ නිවසට ආරාධනා කිරීමෙන් මොන තරම් දිරිගැන්වීමක් ලබාගත හැකිද! එසේ කිරීමට අපට විශාල නිවසක් තිබෙන්න අවශ්‍ය නැහැ. අපේ නිවස කොතරම් කුඩා එකක් වුණත් එවැනි අවස්ථාවලින් මහඟු ප්‍රයෝජන ගැනීමට අපට හැකියි.—රෝම 12:13.

“මැරෙන්න වුණත් මම සූදානම්” (ක්‍රියා 21:10-14)

15, 16. අගබස් පැවසුවේ කුමක්ද? ඊට සවන් දුන් අය ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

15 පාවුල් ෆිලිප්ගේ නිවසේ නැවතී සිටි කාලයේදී බොහෝදෙනා ගෞරවයෙන් සැලකූ අගබස් නම් තැනැත්තාද එහි පැමිණියා. ඔහු අනාගතවක්තෘවරයෙක් බව සියලුදෙනාම දැන සිටියා. ක්ලෝදියස්ගේ පාලන සමයේදී මහත් සාගතයක් පැමිණෙන බවට අනාවැකි පැවසුවේ ඔහුයි. (ක්‍රියා 11:27, 28) ‘අගබස් පැමිණියේ ඇයි, ඔහුට පැවසීමට තිබෙන පණිවිඩය කුමක්ද’ කියා ෆිලිප්ගේ නිවසේ සිටි සියලුදෙනා කල්පනා කරන්න ඇති. අගබස්ට පැවසීමට තිබෙන දේ දැනගැනීමට ඔවුන් මහත් උනන්දුවෙන් සිටි බවටද සැකයක් නැහැ. අගබස් පාවුල්ගේ ඉණපටිය, එනම් මුදල් හා වෙනත් දේවල් තබාගැනීම සඳහා ඉණ වටා බැන්ද දිගු රෙදි පටිය ගෙන තමාගේ අත් පා එයින් බැඳගත්තා. ඉන්පසු ඔහු මෙසේ පැවසුවා. “දෙවි තම බලය මාර්ගයෙන් පවසන්නේ මෙයයි. ‘යුදෙව්වරුන් මෙම ඉණපටිය අයිති පුද්ගලයාව යෙරුසලමේදී මෙයාකාරයෙන් බැඳ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ට භාර දෙයි.’”—ක්‍රියා 21:11.

16 ඔහු පැවසූ එම අනාවැකියට අනුව පාවුල් අනිවාර්යයෙන්ම යෙරුසලමට යන බව පැහැදිලියි. එහි සිටින යුදෙව්වන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාවුල්ව ‘වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ට භාර දෙන’ බවත් එම අනාවැකිය මගින් එළිදරව් කළා. අගබස් එළිදරව් කළ එම තොරතුරු ෆිලිප්ගේ නිවසේ සිටි අයට බලපෑ ආකාරය ලූක් මෙසේ වාර්තා කර තිබෙනවා. “අපට ඒ දේ ඇසුණු විට අපත් එහි සිටි අයත් පාවුල්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියේ යෙරුසලමට නොයන ලෙසය. එවිට පාවුල් මෙසේ කීවේය. ‘මෙහෙම අඬඅඬා හිටියොත් මමත් අධෛර්යය වෙයි. භය වෙන්න එපා. ස්වාමීන් වන යේසුස්ගේ නාමය වෙනුවෙන් යෙරුසලමේදී මගේ අත් පාවලට විලංගු දමනවාට පමණක් නොවෙයි මැරෙන්න වුණත් මම සූදානම්.’”—ක්‍රියා 21:12, 13.

17, 18. දෙවිගේ කැමැත්ත කිරීමට තමා ගෙන තිබූ අදිටන පාවුල් පෙන්වූයේ කෙසේද? සහෝදරයන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

17 ඔබට එම අවස්ථාව සිතින් මවාගත හැකිද? යෙරුසලමට නොයන්න කියා ලූක් ඇතුළුව එහි සිටි අනිකුත් සහෝදරයන් පාවුල්ගෙන් ඉල්ලා සිටිනවා. සමහරදෙනෙක් හඬා වැලපෙනවා. තමා වෙනුවෙන් සහෝදරයන් පෙන්වන ප්‍රේමණීය සැලකිල්ල දැක පාවුල්ටත් මහත් දුකක් දැනෙන්න ඇති. “මෙහෙම අඬඅඬා හිටියොත් මමත් අධෛර්යය වෙයි” කියා ඔහු ඔවුන්ට පැවසුවේ ඒ නිසයි. ඇතැම් බයිබල් පරිවර්තනවල එම පදය පරිවර්තනය කර තිබෙන්නේ “ඔහුගේ හදවතට වේදනාවක් ගෙන දුන්නා” කියායි. පාවුල්ගේ හදවතට මොන තරම් දුකක් දැනුණත් තමා ගෙන තිබූ අධිෂ්ඨානය ඔහු වෙනස් කළේ නැහැ. යෙරුසලමට නොයන්න කියා තීර්හි සිටි සහෝදරයන් පාවුල්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මෙන් මේ අවස්ථාවේදීත් ඉල්ලීම්, හඬා වැලපීම් නිසා ඔහු සැලුණේ නැහැ. තම අධිෂ්ඨානය බිඳ දැමීමට ඔහු එවැනි කිසිම දෙයකට ඉඩ දුන්නේ නැහැ. තමා යෙරුසලමට යා යුතු හේතුව ඔහු ඔවුන්ට ප්‍රේමණීයව පහදා දුන්නා. යේසුස්ව ආදර්ශයට ගත් පාවුල්, කුමන බාධාවක් පැමිණියත් යෙරුසලමට යෑමට අදිටන් කරගත්තා. (හෙබ්‍රෙ. 12:2) ඉන් අදහස් කරන්නේ පාවුල්ට මිය යන්න වුවමනාවක් තිබුණා කියා නොවෙයි. ඒ වෙනුවට යේසුස් ගැන සාක්ෂි දැරීම නිසා මිය යන්න වුණත් ඔහු සූදානමින් සිටි බවයි. ඔහු එය සැලකුවේ ගෞරවයක් ලෙසයි. ඇත්තෙන්ම පාවුල් මොන තරම් නිර්භීතද!

18 පාවුල් පැවසූ දේට සහෝදරයන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ලූක් ඒ ගැන මෙසේ වාර්තා කර තිබෙනවා. “ඔහු ගත් තීරණය වෙනස් කළ නොහැකි බව තේරුම්ගත් අපි, ‘යෙහෝවා දෙවිගේ කැමැත්ත සිදු වේවා’ කියා පවසමින් නිහඬ වුණෙමු.” (ක්‍රියා 21:14) තම ඉල්ලීමට එකඟව පාවුල් ක්‍රියා කළ යුතුමයි කියා එම සහෝදරයන් දිගින් දිගටම පවසා සිටියේ නැහැ. පාවුල් පැවසූ දේට සවන් දුන් පසු ඔවුන් තම ආකල්ප නිවැරදි කරගත්තා. දෙවිගේ කැමැත්ත කුමක්ද කියා ඔවුන් තේරුම්ගත් අතර කොතරම් අපහසු වුණත් ඊට යටත් වීමට ඔවුන් කැමති වුණා. තමා ආරම්භ කළ මේ ගමන අවසන් වන්නේ තම මරණයෙන් බව පාවුල් දැන සිටියා. ඒ නිසා සහෝදරයන්ට පාවුල් වෙනුවෙන් කළ හැකි හොඳම දෙය වන්නේ ඔහු ගෙන තිබූ අදිටන බිඳ දැමීමට උත්සාහ කිරීම නොව ඔහුව ධෛර්යවත් කිරීමයි.

19. එම සිදුවීමෙන් අපට ඉගෙනගත හැකි වැදගත් පාඩම කුමක්ද?

19 පාවුල් හා සම්බන්ධ එම සිදුවීමෙන් අපට වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. එනම් දෙවිට සේවය කිරීම සඳහා විවිධ කැප කිරීම් කරන අයට එසේ නොකරන්න කියා අප කිසිවිටක නොපැවසිය යුතු බවයි. සමහරවිට ඔවුන් පාවුල් තරම් ලොකු කැප කිරීම් නොකරනවා වෙන්න පුළුවන්. ඔවුන් කරන කැප කිරීම් සුළු ඒවා වුණත් විශාල ඒවා වුණත් අප එම කාරණය මතක තබාගැනීම ඇත්තෙන්ම වැදගත්. තම දරුවන් තමන්ගෙන් ඈත්ව දුර බැහැර ප්‍රදේශවලට යන විට එය දෙමාපියන්ට ගෙන දෙන්නේ මහත් දුකක්. නමුත් ඔවුන් එසේ කරන්නේ දෙවිට වැඩි සේවයක් කිරීම සඳහා බව දන්නා දෙමාපියන් එසේ නොකරන්න කියා පවසමින් ඔවුන්ව කිසිවිටක අධෛර්යයට පත් කරන්නේ නැහැ. එංගලන්තයේ ජීවත් වන ෆිලිස්ගේ අද්දැකීම සලකා බලන්න. තම එකම දියණිය මිෂනාරි සේවය සඳහා අප්‍රිකාවට පිටත්ව ගිය විට ඇයට හැඟුණු ආකාරය ඇය මෙසේ විස්තර කරනවා. “මගේ දුව ගැන මට ආඩම්බරයි. හැබැයි එයා ඉන්නේ මම ඉන්න තැනට ගොඩක් ඈතින් කියලා මට මතක් වෙද්දී මට ලොකු දුකක් දැනුණා. ඒ ගැන මම දෙවිට ගොඩාක් යාච්ඤා කළා. දුව ගත්ත තීරණය වෙනස් කරන්න මම කවදාවත් උත්සාහ කළේ නැහැ. දෙවිට කරන සේවයට නිතරම මුල් තැන දෙන්න කියලා එයාට ඉගැන්නුවේ මමමයි. එයා දැන් අවුරුදු 30ක් පුරා එහෙ සේවය කරනවා. මගේ දුව විශ්වාසවන්තව කරන සේවය ගැන මම හැම දවසකම දෙවිට ස්තුති කරනවා.” එසේනම් අපත් විවිධ කැප කිරීම් කරන අපේ සහෝදර සහෝදරියන්ව අධෛර්යයට පත් කරනවා වෙනුවට ඔවුන්ව දිරිගැන්වීම මොන තරම් වැදගත්ද!

කැප කිරීම් කර තිබෙන අයව දිරිගන්වන්න

‘සහෝදරයන් අපව සාදරයෙන් පිළිගත්තා’ (ක්‍රියා 21:15-17)

20, 21. සහෝදර සහෝදරියන් සමඟ කාලය ගත කිරීමට පාවුල් කැමති වූ බව පැහැදිලි වන්නේ කුමන තොරතුරුවලින්ද? ඔහු එසේ කළේ ඇයි?

20 පාවුල් හා පිරිස යෙරුසලම බලා ගිය ගමන අතරතුර සහෝදර සහෝදරියන් සමඟ කාලය ගත කිරීමට අවස්ථාවන් සොයාගත් බව ඔබට මතක ඇති. තීර්හි සිටි සහෝදරයන් සමඟ දවස් හතක්ද ටොලමැයිසය නුවරේ සහෝදරයන් සමඟ දවසක්ද සිසේරියේ ෆිලිප්ගේ නිවසේ දින කිහිපයක්ද ඔවුන් ගත කළා. සිසේරියෙන් පිටත්ව තම ගමන දිගටම යෑමට ඔවුන් සූදානම් වුණා. ඔවුන් සිසේරියෙන් පිටත්ව යන විට එහි සිටි ගෝලයන් කිහිපදෙනෙක්ද ගමනට එක් වුණා. තමාට පූර්ණ සහයෝගය ලබා දුන් සහෝදරයන් සමඟ මේ ගමන යෑමට ලැබීම පාවුල්ට මහත් දිරිගැන්වීමක් වන්න ඇති. යෙරුසලමට පැමිණි ඔවුන්, මුලින්ම ගෝලයන් වූ අයගෙන් එක් කෙනෙක් වූ නාසන් නම් සහෝදරයාගේ නිවසට ගියා. ඒ ගැන ලූක් මෙසේ වාර්තා කර තිබෙනවා. “අප යෙරුසමට ගිය විට සහෝදරයෝ අපව සාදරයෙන් පිළිගත්තෝය.”—ක්‍රියා 21:17.

21 ඒ තොරතුරුවලින් පැහැදිලි වන්නේ සහෝදර සහෝදරියන් සමඟ කාලය ගත කිරීමට පාවුල් මහත් සේ කැමති වූ බවයි. එමගින් ඔහු ලැබුවේ මහත් දිරිගැන්වීමක්. තමාව මරා දැමීමට උත්සාහ කළ විරුද්ධවාදීන්ට නිර්භීතව මුහුණ දීමට අවශ්‍ය ශක්තියද පාවුල් එමගින් ලැබූ බවට කිසිම සැකයක් නැහැ. අපත් සහෝදර සහෝදරියන් සමඟ කාලය ගත කිරීමෙන් ලබන්නේ මොන තරම් දිරිගැන්වීමක්ද!