Skip to content

පටුනට යන්න

20වෙනි පරිච්ඡේදය

විරුද්ධවාදිකම් මැද පවා දෙවිගේ පණිවිඩය ‘දිගටම පැතිර යයි’

විරුද්ධවාදිකම් මැද පවා දෙවිගේ පණිවිඩය ‘දිගටම පැතිර යයි’

ශුභාරංචිය තව තවත් ව්‍යාප්ත කිරීමට අපොලොස් හා පාවුල් දායක වූ අයුරු

ක්‍රියා 18:23–19:41

1, 2. (අ) එෆීසයේදී පාවුල්ට හා ඔහුගේ මිතුරන්ට මුහුණ දීමට සිදු වුණේ කුමන තත්වයකටද? (ආ) අප මෙම පරිච්ඡේදයෙන් ඉගෙනගන්නේ මොනවාද?

එෆීස නුවරේ මහ කෝලහලයක්! කෝපයට පත් පිරිසක් පාවුල්ගේ මිත්‍රයන් දෙදෙනෙකුව වට කරගන්නවා. වීථිවල, කඩසාප්පුවල සිටින ජනයා කෑගසමින් ඒ වෙතට එක් රොක් වෙනවා. කෝපයට පත් පිරිස පාවුල්ගේ මිතුරන් දෙදෙනාව ප්‍රසිද්ධ ස්ථානයක් වෙතට ඇදගෙන යනවා. පෙනෙන විදිහට ඔවුන් යන්නේ 25,000දෙනෙකුට පමණ රැස් විය හැකි නුවරේ තිබූ විශාල රංග භූමිය දෙසටයි. වැඩි වේලාවක් යන්න මත්තෙන් එය අතුරු සිදුරු නැතුව සෙනඟගෙන් පිරී යනවා. කෑ මොර ගසමින් බොහෝදෙනෙකු ඊට එක් රොක් වුණත් කෝලහලයට හේතුව කුමක්ද කියා ඔවුන්ගෙන් වැඩිදෙනෙක් දන්නේ නැහැ. ඔවුන් සිතන්නේ ඔවුන් නමස්කාර කළ ආටෙමිස් දේවතාවියට හා ඇගේ දේවස්ථානයට කුමක් හෝ දෙයක් සිදු වී ඇතැයි කියායි. ඒ නිසා “එෆීසයන්ගේ ආටෙමිස් දේවතාවිය සදා වැජඹේවා” කියා ඔවුන් කෑගසන්න පටන්ගන්නවා.—ක්‍රියා 19:34.

2 මැර පිරිසක් යොදාගෙන ශුභාරංචිය දේශනා කිරීම නතර කර දැමීමට නැවතත් සාතන් උත්සාහ දැරූ ආකාරය අප එම සිද්ධියෙන් දකිනවා. නමුත් දේශනා කිරීමේ කාර්යය නතර කර දැමීමට සාතන් යොදාගන්නේ එම ක්‍රමය පමණක් නොවෙයි. පළමුවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන් අතරේ තිබූ එක්සත්කම බිඳ දැමීමට හා ඔවුන් කරමින් සිටි වැඩය අඩපණ කිරීමට ඔහු යොදාගත් උපක්‍රම කිහිපයක් ගැන අප මේ පරිච්ඡේදයෙන් ඉගෙනගන්නවා. නමුත් ඒ සෑම උපක්‍රමයක්ම අසාර්ථක වුණා. වාර්තාවේ පවසන්නේ, “යෙහෝවා දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර ගියේය. එය යටපත් කිරීමට කිසිවෙකුට නොහැකි විය” කියායි. (ක්‍රියා 19:20) සාතන්ව එසේ පරාජය කිරීමට හැකි වීම ඔවුන් පෞද්ගලිකව ලැබූ ජයග්‍රහණයක් නොවෙයි. ඇත්තෙන්ම එය යෙහෝවා දෙවි ලැබූ ජයග්‍රහණයක්. යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව අද දින අපටත් සාතන්ව පරාජය කළ හැකියි. පළමුවෙනි සියවසේ ක්‍රිස්තියානීන් මෙන් අපත් යම් ගුණාංග වර්ධනය කරගත යුතුයි. අප එසේ කළොත් සාතන් මොන උපක්‍රම යෙදුවත් අපේ සේවය දිගටම කරගෙන යෑමට අපට හැකි වන බව ස්ථිරයි.

‘ශුද්ධ ලියවිල්ල ගැන මනා දැනුමක් තිබූ’ අපොලොස් (ක්‍රියා 18:24-28)

3, 4. අපොලොස්ගේ ඉගැන්වීම්වලට සවන් දීමෙන් අකිලා හා ප්‍රිසිලා තේරුම්ගත්තේ කුමක්ද? ඒ සඳහා ඔවුන් කළේ කුමක්ද?

3 පාවුල් තම තුන්වෙනි මිෂනාරි ගමන ආරම්භ කර එෆීසයට යමින් සිටියා. ඒ අතරතුර ඊජිප්තුවේ ඉතා ප්‍රසිද්ධ නුවරක් වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට යුදෙව්වෙක් එෆීසයට පැමිණියා. ඔහුගේ නම අපොලොස්. දක්ෂ ලෙස කතා කිරීමේ හැකියාව ඔහුට තිබූ අතර ‘ශුද්ධ ලියවිල්ල ගැන මනා දැනුමක්ද ඔහු සතුව තිබුණා.’ ඔහු තුළ ‘දෙවිගේ බලය ප්‍රබලව ක්‍රියාත්මක’ වුණා. ඔහු සිනගෝගවලදී මහත් උද්‍යෝගයෙන් හා නිර්භීතව යේසුස් ගැන යුදෙව්වන්ට දේශනා කළා.—ක්‍රියා 18:24, 25.

4 ඔහුගේ ඉගැන්වීම්වලට අකිලා හා ප්‍රිසිලාත් සවන් දුන්නා. “යේසුස් ගැන ඉතා නිවැරදිව” ඔහු උගන්වන ආකාරය ගැන ඔවුන් දෙදෙනා බොහෝ සෙයින් සතුටු වන්න ඇති. නමුත් ‘ඔහු අවබෝධ කරගෙන සිටියේ යොහන් සිදු කළ බව්තීස්මය ගැන පමණයි’ කියා ඔවුන් තේරුම්ගත්තා. අපොලොස්ව ‘තම නිවසට ආරාධනා කර ඔහුට දෙවිගේ මාර්ගය ගැන වඩාත් නිවැරදි අවබෝධයක් ලබා දීමට’ ඔවුන් පියවර ගත්තේ ඒ නිසයි. (ක්‍රියා 18:25, 26) කූඩාරම් සෑදීම වැනි සුළු රැකියාවක නිරත වූ අකිලා හා ප්‍රිසිලා, අපොලොස් වැනි හොඳ අධ්‍යාපනයක් ලබා තිබූ දක්ෂ පුද්ගලයෙකුට වුණත් ශුද්ධ ලියවිල්ල ගැන පුළුල් අවබෝධයක් ලබා දීමට පසුබට වුණේ නැහැ. අපොලොස් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ක්‍රිස්තියානියෙකු වර්ධනය කරගත යුතු වැදගත්ම ගුණාංගයක් වන නිහතමානිකම ඔහු ඒ අවස්ථාවේදී විදහාපෙන්වූවා.

5, 6. දෙවි වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට අපොලොස්ට හැකි වුණේ කෙසේද? අපොලොස්ගේ ආදර්ශයෙන් අද දින අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

5 අකිලා හා ප්‍රිසිලා ලබා දුන් උපකාරය ඔහු පිළිගත් නිසා වඩා සාර්ථක දේවසේවකයෙකු වීමට ඔහුට හැකි වුණා. පසුව ඔහු ඇකේයාව නම් ප්‍රදේශයට ගොස් දෙවි ගැන විශ්වාසයක් තිබූ එහි සිටි අයට යේසුස්ගේ අනුගාමිකයන් වීමට “උපකාර” කළා. යේසුස් පොරොන්දු වූ ගැලවුම්කරු නොවන බව තරයේ කියා සිටි එහි සිටි යුදෙව්වන්ට ශුද්ධ ලියවිල්ල යොදාගෙන දක්ෂ ලෙස දේශනා කිරීමටත් ඔහුට හැකි වුණා. ඒ ගැන ලූක් වාර්තා කර තිබෙන්නේ, ‘ඔහු යේසුස් ඇත්තටම ක්‍රිස්තුස් බව ශුද්ධ ලියවිල්ලෙන් පෙන්වා දෙමින් යුදෙව්වරුන් වැරදි බව සියලුදෙනා ඉදිරියේ ඉතා ප්‍රබලව ඔප්පු කළා’ කියායි. (ක්‍රියා 18:27, 28) අපොලොස් නිහතමානීව කටයුතු කළ නිසා ක්‍රිස්තියානි සභාවට ඔහු මොන තරම් වටිනා සාමාජිකයෙක් වුණාද! “යෙහෝවා දෙවිගේ පණිවිඩය” යටපත් නොවී දිගටම පැතිර යෑමට පාවුල් කළ සේවය මෙන්ම අපොලොස් කළ සේවයත් දායක වූ බව නිසැකවම පැවසිය හැකියි.

6 අපොලොස්ගේ ආදර්ශයෙන් අද දින අපට ඉගෙනගත හැක්කේ මොනවාද? සෑම ක්‍රිස්තියානියෙකුම නිහතමානිකම වර්ධනය කරගැනීම ඉතා වැදගත්. අප සෑම කෙනෙකුටම විවිධ දක්ෂතාවන් තිබෙනවා. ඒවා සමහරවිට උපතින්ම අපට ලැබී තිබෙන හැකියාවන් විය හැකියි. නැත්නම් අප ලබා තිබෙන අද්දැකීම් හෝ අවබෝධය විය හැකියි. අපට ඒ මොන දේ තිබුණත් අප නිහතමානී නැත්නම් ඒවායින් කිසිම පලක් නැහැ. මන්ද නිහතමානී නැති පුද්ගලයෙකු තමන් සතු හැකියාවන්, අද්දැකීම් හෝ අවබෝධය ගැන ආඩම්බර වෙනවා. එය ඔහුගේ විනාශයට මඟ පාදනවා. (1 කොරි. 4:7; යාකො. 4:6) නමුත් අප නිහතමානී නම් අපට වඩා අන් අය උතුම් කියා නිතරම සිතනවා. (ෆිලි. 2:3) අන් අය අපව නිවැරදි කරන විට හෝ යම් කාරණා ගැන කියා දෙන විට අප ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දෙවි තම බලය මාර්ගයෙන් යම් කාරණා ගැන අපට තිබෙන අවබෝධය නිවැරදි කරන විට හෝ යම් මඟ පෙන්වීම් ලබා දෙන විට අප අපේම මතයේ එල්බගෙන සිටින්නේ නැහැ. අප එලෙස නිහතමානීව කටයුතු කරන විට යෙහෝවා දෙවිට හා යේසුස්ට අපෙන් ඉටු කරගත හැකි සේවය මොන තරම්ද!—ලූක් 1:51, 52.

7. පාවුල් හා අපොලොස් අපට තබන ආදර්ශය කුමක්ද?

7 නිහතමානීව කටයුතු කිරීම සභාවේ එක්සත්කමටද දායක වෙනවා. ඒ කාලයේ කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ගෙන් සමහරදෙනෙක්, “මා පාවුල්ගේ පැත්තේ” කියාද තවත් සමහරදෙනෙක්, “මා අපොලොස්ගේ පැත්තේ” කියාද පවසමින් පැති ගනිමින් සිටියා. සභාවේ කැපීපෙනෙනම පුද්ගලයා වීමට පාවුල්ට හෝ අපොලොස්ට ආශාවක් තිබුණා නම් ඇති වී තිබූ ඒ වාතාවරණය නිසා ඔවුන් තුළ තරඟකාරී ස්වභාවයක් හෝ ඊර්ෂ්‍යාසහගත හැඟීම් ඇති වීමට ඉඩකඩ තිබුණා. එවැනි දෙයක් සිදු වුණා නම් මුල් ක්‍රිස්තියානි සභාව තුළ බෙදීම් ඇති කිරීමට ආශාවෙන් බලා සිටි සාතන් මොන තරම් සතුටට පත් වෙයිද! නමුත් පාවුල් හා අපොලොස් නිහතමානී පුද්ගලයන් වූ නිසා තමන් කරන සේවය අනික් කෙනා කරන සේවයට වඩා උසස් කියා කිසිවිටක සිතුවේ නැහැ. ඇත්තෙන්ම අපොලොස් කළ සේවය පාවුල් අවංකවම අගය කළ අතර සේවය හා සම්බන්ධ විවිධ පැවරුම් ඔහුට ලබා දුන්නා. අපොලොස්ද පාවුල් ලබා දුන් මඟ පෙන්වීම් යටහත්පහත්ව පිළිගත්තා. (1 කොරි. 1:10-12; 3:6, 9; තීත. 3:12, 13) නිහතමානීව කටයුතු කරමින් සභාවේ එක්සත්කම රැකගත් ඔවුන් දෙදෙනා අපට තබන්නේ මොන තරම් කදිම ආදර්ශයක්ද!

‘ඉතා පැහැදිලිව හා නිවැරදිව කාරණා අවබෝධ කර දෙයි’ (ක්‍රියා 18:23; 19:1-10)

8. එෆීසයට යෑම සඳහා පාවුල් තෝරාගත්තේ කුමන ගමන් මාර්ගයද? ඒ ඇයි?

8 පොරොන්දු වූ ලෙස පාවුල් එෆීසයට පැමිණියා. * (ක්‍රියා 18:20, 21) ඔහු එෆීසයට යෑමට තෝරාගත් ගමන් මාර්ගය ගැන සලකා බැලීම වැදගත්. සිරියාවේ අන්තියෝකියේ සිටි ඔහුට ඒ අසල පිහිටි සිලූෂියට ගොස් එතැනින් නැවකට නැඟ කෙළින්ම එෆීසය බලා ගමන් කිරීමට හැකිකම තිබුණා. නමුත් එම ගමන් මාර්ගයේ නොගොස් “කඳුකරය හරහා” යෑමට ඔහු තීරණය කළා. (ක්‍රියා 18:23; 19:1 බලන්න.) ඒ සඳහා ඔහුට කිලෝමීටර් 1,600ක පමණ දුරක් යෑමට සිදු වන්න ඇති කියා එක් පොතක සඳහන් වෙනවා. එෆීසයට කෙළින්ම යෑමට ක්‍රමයක් තිබියදී දුෂ්කර මාර්ගයකින් එහි යෑමට පාවුල් තීරණය කළේ ඇයි? ඔහු තෝරාගත් ගමන් මඟට අනුව සහෝදර සහෝදරියන් සිටි විවිධ ප්‍රදේශ පසු කරගෙන යෑමට ඔහුට සිදු වෙනවා. ඔවුන් ‘සියලුදෙනාවම ශක්තිමත් කිරීමත්’ ඔහුගේ ගමනේ අරමුණට ඇතුළත් වුණා. (ක්‍රියා 18:23) පළමුවෙනි හා දෙවෙනි මිෂනාරි ගමන්වලදී මෙන් තුන්වෙනි මිෂනාරි ගමනේදීත් පාවුල්ට සෑහෙන වෙහෙසක් දරන්න සිදු වෙයි. විවිධ අසීරුතාවන්ට මුහුණ දීමටත් ඔහුට සිදු වෙයි. නමුත් ඒ සෑම අභියෝගයක්ම ඔහු ඉතා සතුටින් භාරගත්තා. අද දින සිටින සංචාරක සේවකයන්ට හා ඔවුන්ගේ භාර්යාවන්ට තිබෙන්නෙත් ඒ හා සමාන ආකල්පයක්. ඇත්තෙන්ම ඔවුන්ගේ සේවය අගය කිරීම වටිනවා.

 

9. ගෝලයන් කිහිපදෙනෙකුව නැවත බව්තීස්ම කිරීමට සිදු වුණේ ඇයි? ඔවුන්ගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

9 එෆීසයට පැමිණි පාවුල්ට, යොහන්ගේ * ගෝලයන් දොළොස්දෙනෙකු පමණ හමු වුණා. ඔවුන්ව යොහන් විසින් බව්තීස්ම කර තිබුණත් දෙවිගේ අලුත් සැලැස්මට අනුව එම බව්තීස්මය තවදුරටත් වලංගු වුණේ නැහැ. ඔවුන්ට දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා යේසුස්ව පිළිගෙන බව්තීස්ම වීමේ වැදගත්කම පාවුල් ඔවුන්ට පැහැදිලි කළ විට ඔවුන් අපොලොස් මෙන් නිහතමානීව හා මහත් උනන්දුවෙන් ඒවා පිළිගත්තා. පසුව ඔවුන් යේසුස්ව පිළිගෙන බව්තීස්ම වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට දෙවිගේ බලය ලැබුණු අතර විවිධ ආශ්චර්යයන් කිරීමට හැකිකමද ලැබුණා. දිනෙන් දින ඉදිරියට ගමන් කරන දෙවිගේ සංවිධානය මාර්ගයෙන් දෙවි අලුත් දේවල් එළිදරව් කරනවා. ඒ දේවලට එකඟව ජීවිත සකස් කරගැනීමෙන් බොහෝ ආශීර්වාද ලබාගත හැකි බව ඉන් පැහැදිලියි.—ක්‍රියා 19:1-7.

10. සිනගෝගයේ සිට උගන්වනවා වෙනුවට සම්මන්ත්‍රණ ශාලාවට ගොස් ඉගැන්වීමට පාවුල් තීරණය කළේ ඇයි? එයින් අද දින අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

10 පාවුල් මාස තුනක් පුරා දෙවිගේ රාජ්‍යය පිළිබඳ කාරණා ඉතා නිර්භීතව සිනගෝගයේදී ඉගැන්වූවා. ඔහු ඒ කාරණා කොතරම් ‘පැහැදිලිව හා නිවැරදිව අවබෝධ කර දුන්නත්’ සමහරුන් තුළ තිබූ මුරණ්ඩුකම නිසා ඒවා විශ්වාස කිරීමට ඔවුන් කැමති වුණේ නැහැ. “‘ස්වාමීන්ගේ මාර්ගය’ ගැන අපහාසාත්මක දේවල්” පවසන එවැනි අයට දිගින් දිගටම උගන්වමින් තම කාලය නාස්ති කරනවා වෙනුවට පාවුල් පාසැලක තිබූ සම්මන්ත්‍රණ ශාලාවකට ගොස් දේශනා කිරීමට පටන්ගත්තා. (ක්‍රියා 19:8, 9) ඒ නිසා දෙවි එළිදරව් කරන අලුත් දේවලට එකඟව තම ජීවිත සකස් කරගැනීමට කැමති අයට සිනගෝගයට යනවා වෙනුවට එම සම්මන්ත්‍රණ ශාලාවට යෑමට සිදු වුණා. අපත් දේශනා සේවයේ යන විට අප පවසන පණිවිඩයට සවන් දීමට එතරම් කැමැත්තක් නැති අයව හෝ අප සමඟ වාදයකට පැටලීමට කැමැත්තක් දක්වන අයව හමු වෙනවා. එවැනි අවස්ථාවලදී ඔවුන් සමඟ දිගින් දිගටම කතා කරමින් අපේ කාලය නාස්ති කරනවා වෙනුවට එතැනින් ඉවත්ව යෑම කළ හැකි ඥානවන්තම දෙයයි. මන්ද අප පවසන පණිවිඩයට සවන් දීමට කැමැත්තෙන් සිටින නිහතමානී අය තව බොහෝදෙනෙක් සිටිනවා.

11, 12. (අ) අවශ්‍යතාවට අනුව සකස් වීම සම්බන්ධයෙන් පාවුල් හොඳ ආදර්ශයක් තැබුවේ කෙසේද? (ආ) සාක්ෂිකරුවන් ඔහුව ආදර්ශයට ගෙන තිබෙන්නේ කෙසේද?

11 පාවුල් එම සම්මන්ත්‍රණ ශාලාවේ සෑම දිනකම උදේ 11 සිට පස්වරු හතර පමණ වන තෙක් මිනිසුන්ට උගන්වන්න ඇති. (ක්‍රියා 19:9) දේශනා කිරීම සඳහා පාවුල් යොදාගත් එම වේලාව දවසේ උෂ්ණත්වය වැඩිම පැය කිහිපයයි. සාමාන්‍යයෙන් මිනිසුන් යම් විවේකයක් ගැනීමට හෝ කෑම ගැනීම සඳහා තම වැඩ නතර කළේ එම පැය කිහිපය අතරතුරෙයි. ටිකක් සිතන්න, පාවුල් සෑම දවසකම එසේ කළා නම් ඔහු එෆීසයේ සිටි අවුරුදු දෙක පුරා පැය 3,000කට වඩා වැඩි කාලයක් ඉගැන්වීම් කටයුතු සඳහා යොදවන්න ඇති. * දේශනා කිරීමේ කාර්යය ඉටු කිරීම සඳහා පාවුල් මහත් වෙහෙසක් දැරූ බවත් හැකි තරම් මිනිසුන් ප්‍රමාණයකට දේශනා කිරීම සඳහා ඔහු සුදුසුම වේලාව තෝරාගත් බවත් ඉන් අපට පැහැදිලි වෙනවා. එසේනම් දෙවිගේ පණිවිඩය යටපත් නොවී දිගින් දිගටම පැතිර යෑම පුදුමයක්ද! වාර්තාවේ පවසන්නේ, ‘ආසියා ප්‍රදේශයේ යුදෙව්වරුන් සහ ග්‍රීකවරුන් යන දෙපාර්ශ්වයම දෙවිගේ පණිවිඩය ගැන දැනුවත් වුණා’ කියායි.—ක්‍රියා 19:10.

“සහෝදරයෙනි, මේ කර්මාන්තයෙන් අපි කොතරම් දියුණු වෙලා තිබෙනවාද කියා ඔබ හොඳින් දන්නවා.”—ක්‍රියා 19:25

12 අද දින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද මිනිසුන් සිටින ඕනෑම ස්ථානයකට, ඕනෑම වේලාවක ගොස් දේශනා කිරීමට සැදී පැහැදී සිටිනවා. ඔවුන්ගේ ආශාව අවංක හදවත් ඇති අයව කෙසේ හෝ සොයාගැනීමයි. වීථිවල, කඩසාප්පුවල හා වෙළඳපොළවල්වල අපට හමු වන අයට අප සාක්ෂි දරන්නෙත් ලිපි හා දුරකථනය මාර්ගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කරන්නෙත් ඒ නිසයි. මිනිසුන් නිවෙස්වල සිටින වේලාවන්වලට අනුව අප ගෙයින් ගෙට සේවයේ යන වේලාවන් සකස් කරන්නෙත් අවංක හදවත් ඇති අයට උපකාර කිරීම අපේ ආශාව නිසයි.

භූත බලපෑම් මැද පවා ‘දෙවිගේ පණිවිඩය දිගටම පැතිරෙයි’ (ක්‍රියා 19:11-22)

13, 14. (අ) දෙවි පාවුල්ට බලය ලබා දුන්නේ කුමන දේවල් කිරීමටද? (ආ) සීවාගේ පුත්‍රයන් කළ වරද කුමක්ද? අද දිනත් බොහෝදෙනෙකු ඒ හා සමානව ක්‍රියා කරන්නේ කෙසේද?

13 එෆීස නුවරේ දෙවිගේ පණිවිඩය දිගටම පැතිර යෑමට දෙවි පාවුල් මාර්ගයෙන් සිදු කළ ‘පුදුම කරවන බලවත් ක්‍රියාද’ දායක වූ බව වාර්තාවෙන් පැහැදිලියි. (ක්‍රියා 19:11, 12) උදාහරණයකට පාවුල් භාවිත කළ රෙදිකඩ හා වැඩවල නියැලෙන විට ඔහු පළඳින වස්ත්‍ර අසනීප වී සිටි අය ළඟට ගෙන ගිය පමණින් ඔවුන්ගේ රෝග සුව වුණා. භූතයන් වැහී සිටි අයගෙන් භූතයන් පිට වී ගියා. * සාතන්ගේ භූත සේනාව පරාජය කිරීමට හැකි වූ එවැනි ආශ්චර්යවත් ක්‍රියා නිසා පාවුල් මිනිසුන් අතරේ තවත් ප්‍රසිද්ධියට පත් වුණා. ඒ ප්‍රසිද්ධිය හොඳ අතට මෙන්ම නරක අතටත් බලපෑවා.

14 පාවුල් සිදු කළ ආශ්චර්යයන් ‘තැනින් තැන සංචාරය කරමින් භූතයන් දුරු කළ යුදෙව්වන් පිරිසක්ද’ කිරීමට උත්සාහ කළා. ඔවුන්ගෙන් සමහරදෙනෙක් යේසුස්ගේ හා පාවුල්ගේ නම් භාවිත කරමින් භූතයන්ව දුරු කිරීමට තැත් කළා. එසේ කිරීමට උත්සාහ කළ සීවා නම් පූජකයාගේ පුත්‍රයන් හත්දෙනෙකුට සිදු වූ දෙය ලූක් විස්තර කර තිබෙනවා. ඔවුන් භූතයෙකු වැහී සිටි පුද්ගලයෙකුව සුව කිරීමට උත්සාහ කළ විට එම භූතයා, “මම යේසුස් ගැනත් පාවුල් ගැනත් දන්නවා. ඒත් ඔබ කවුද” කියා ඇසුවා. ඉන්පසු ආවේශ වූ එම මිනිසා මෘගයෙකු මෙන් ඔවුන්ගේ ඇඟට පැන ඔවුන්ව තුවාල කළා. මහත් සේ භයට පත් වූ ඔවුන් ඇඳුම්ද නැතුව එතැනින් පලා දිව්වා. (ක්‍රියා 19:13-16) පාවුල්ට සැබවින්ම දෙවිගේ බලය තිබෙන බවත් එම යුදෙව්වන් ප්‍රෝඩාකාරයන් බවත් එම සිද්ධියෙන් මිනිසුන්ට පැහැදිලි වුණා. “යෙහෝවා දෙවිගේ පණිවිඩය” දිගටම පැතිර යෑමට එය ප්‍රබලව බලපෑවා. අද දිනත් බොහෝදෙනා සිතන්නේ දෙවිගේ අනුමැතිය ලබාගැනීමට යේසුස්ගේ නාමයෙන් අයැදීම හෝ තමන් “ක්‍රිස්තියානියෙකු” කියා පැවසීම පමණක් ප්‍රමාණවත් කියායි. නමුත් යේසුස් පැහැදිලිවම පැවසුවේ යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගත හැක්කේ දෙවිගේ කැමැත්ත කරන අයට පමණක් බවයි.—මතෙ. 7:21-23.

15. එෆීසයේ වැසියන් ගත් ක්‍රියාමාර්ගය අද දින අපට අනුගමනය කළ හැක්කේ කෙසේද?

15 සීවාගේ පුත්‍රයන්ට සිදු වූ දේ ආරංචි වූ විට එෆීසයේ වැසියන් තුළ දෙවි කෙරෙහි මහත් බියක් ඇති වුණා. එෆීසය හදිහූනියම්, කොඩිවින, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ප්‍රසිද්ධ නුවරක්. මන්තර ගුරුකම් ඇතුළත් බොහෝ පොත් පත්ද එහි වැසියන් සතුව තිබුණා. නමුත් මෙම සිද්ධිය ආරංචි වූ විට මන්තර ගුරුකම්වල නියැලෙමින් සිටි ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ඒවා අත්හැර යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වුණා. ඔවුන් ළඟ තිබූ පොත් පත් පවා ඔවුන් ප්‍රසිද්ධියේ පුළුස්සා දැමුවා. ඒවා ඉතා මිල අධික පොත් පත්. * එෆීස වැසියන් ගත් ඒ ක්‍රියාමාර්ගය නිසා සැබෑ දෙවි වන යෙහෝවාට ලැබුණේ මොන තරම් විශිෂ්ට ජයග්‍රහණයක්ද! ලූක් වාර්තා කරන්නේ, “යෙහෝවා දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර ගියේය. එය යටපත් කිරීමට කිසිවෙකුට නොහැකි විය” කියායි. (ක්‍රියා 19:17-20) අද දින අපටද ඔවුන් තබන්නේ කදිම ආදර්ශයක්. අප ජීවත් වන ලෝකයෙත් භූතවාදී දේවල් බහුලව දක්නට තිබෙනවා. ඊට සම්බන්ධ කුමක් හෝ දෙයක් අප ළඟ තිබෙනවා නම් එෆීසයේ වැසියන් මෙන් අප ඒවා ඉක්මනින්ම ඉවත් කිරීමට පියවර ගත යුතුයි. භූතවාදී දේවලට කිසිම ආකාරයකින් සම්බන්ධ වීමට අප තුළ කිසිම කැමැත්තක් නැති නිසා ඒවා කොතරම් මිල අධික හෝ වටිනා දේවල් වුණත් අප ඒවා ඉවත් කළ යුතුයි.

මහා “උද්ඝෝෂණයක්” (ක්‍රියා 19:23-41)

අවංක හදවත් ඇති අයව කෙසේ හෝ සොයාගැනීම අපේ ආශාවයි

16, 17. (අ) දෙමේත්‍රියස් මහා උද්ඝෝෂණයක් ඇති කළේ කෙසේද? (ආ) එෆීසයේ වැසියන් උමතුවෙන් ක්‍රියා කළේ කෙසේද?

16 “ඒ කාලයේදී ‘ස්වාමීන්ගේ මාර්ගයට’ විරුද්ධව උද්ඝෝෂණයක් ඇති විය” කියා වාර්තාවේ සඳහන් වෙනවා. වාර්තාව සෝදිසි කර බලන විට එය සුළු උද්ඝෝෂණයක් නොවූ බව පැහැදිලියි. * (ක්‍රියා 19:23) එම උද්ඝෝෂණයට මුල් වුණේ දෙමේත්‍රියස් නම් රිදීකරුවායි. ඔහු අනිකුත් රිදීකරුවන් ළඟට ගොස් පවසා සිටියේ ඔවුන් මහත් දියුණුවක් අද්දකින ව්‍යාපාරය දැන් කඩාකප්පල් වීමට යන බවයි. ඊට හේතුව පාවුල් දේශනා කරන පණිවිඩය පිළිගන්නා අය රූපවලට තවදුරටත් වන්දනාමාන නොකිරීම බව ඔහු ඔවුන්ට පෙන්වා දුන්නා. ඉන්පසුව ඔවුන්ගේ නුවර, රට ජාතිය කෙරෙහි ඔවුන්ට තිබෙන හැඟීම් අවුස්සමින් ඔහු පවසා සිටියේ ඔවුන්ගේ ආටෙමිස් දේවතාවියට හා ඇගේ ලෝක ප්‍රසිද්ධ දේවස්ථානයට මහත් නින්දාවක් සිදු වී ඇති බවයි. ඒ ගැන කිසිවක් නොකළොත් ඇයට හිමි වී ඇති නමස්කාරය හා මහත් ගෞරවය “නැති වෙලාම යයි” කියා ඔහු පැවසුවා. (ක්‍රියා 19:24-27) ශුභාරංචියේ ව්‍යාප්තිය නතර කිරීමට සාතන් යෙදූ ඒ උපක්‍රමය සාර්ථක වුණාද?

17 දෙමේත්‍රියස් පැවසූ දේවලට සවන් දුන් රිදීකරුවන් “එෆීසයේ වැසියන්ගේ ආටෙමිස් දේවතාවිය සදා වැජඹේවා” කියා පවසමින් කෑගසන්න පටන්ගත්තා. වැඩි වේලාවක් යන්න මත්තෙන් මුළු නුවරේම වැසියන් ඊට එකතු වූ අතර මේ පරිච්ඡේදයේ මුල සඳහන් කළ මහ කෝලහලය හටගත්තා. * තමාගේ ආරක්ෂාව ගැනවත් නොසිතූ පාවුල්ට අවශ්‍ය වුණේ රංග භූමියට ගොස් රැස්ව සිටි සෙනඟට තිබූ වැරදි වැටහීම නිවැරදි කිරීමටයි. නමුත් එසේ කිරීමෙන් ඔහුගේ ජීවිතයට අනතුරක් විය හැකි නිසා ඔහු සමඟ සිටි ගෝලයන් එතැනට නොයන්න කියා ඔහුට පෙරැත්ත කළා. ඒ අතරතුර රංග භූමියේ රැස්ව සිටි සෙනඟ අතරේ සිටි යුදෙව්වෙක් වූ ඇලෙක්සැන්ඩර් සෙනඟව ඇමතීමට උත්සාහ කළා. සමහරවිට ඔහුට වුවමනා වන්න ඇත්තේ පාවුල්ගේ පණිවිඩය පිළිගෙන ක්‍රිස්තියානීන් බවට පත් වන අය යුදෙව්වන්ට වඩා වෙනස් බව සෙනඟට පෙන්වා දීමටයි. නමුත් එතරම් ඝෝෂාවක් මැද සෙනඟ ඇමතීමට ඔහු දැරූ උත්සාහය සාර්ථක වුණේ නැහැ. ඔහු යුදෙව්වෙකු බව තේරුගත් විගස “එෆීසයේ වැසියන්ගේ ආටෙමිස් දේවතාවිය සදා වැජඹේවා” කියා සෙනඟ නැවත කෑගසන්න පටන්ගත්තා. ඔවුන් එසේ මහත් හඬින් පැය දෙකක් පමණ කෑගැසුවා. අද දිනත් ආගමේ නාමයෙන් සිදු කරන උද්ඝෝෂණවල තත්වයත් ඒ හා සමානයි. බොහෝදෙනෙකු එවැනි දේවලට සහභාගි වන්නේ වැඩිදුර සිතන්නේ බලන්නේ නැතුවයි. එවැනි අවස්ථාවල ඔවුන් උමතුවෙන් සිටින නිසා ඔවුන්ට යම් කාරණයක් ගැන පැහැදිලි කර දීමට නොහැකි තරම්.—ක්‍රියා 19:28-34.

18, 19. (අ) නගරාධිපති සෙනඟව නිහඬ කළේ කෙසේද? (ආ) සමහර අවස්ථාවලදී බලධාරීන් සාක්ෂිකරුවන්ට උපකාර කර තිබෙන්නේ කෙසේද? බලධාරීන් තුළ අප ගැන හොඳ ආකල්පයක් ඇති කිරීමට අපට හැක්කේ කෙසේද?

18 පැය දෙකක් පමණ කෑගසමින් සිටි සෙනඟව නිහඬ කිරීමට හැකි වුණේ නගරාධිපතිටයි. ඔහු සාධාරණව කටයුතු කළ බුද්ධිමත් පුද්ගලයෙක්. ඔහු සෙනඟට පවසා සිටියේ එම ක්‍රිස්තියානීන් ආටෙමිස් දේවතාවියට හා ඇගේ දේවස්ථානයට හිමි වී තිබෙන ගෞරවයට කිසිම හානියක් සිදු නොකරන බවයි. ඔහු තවදුරටත් පැවසුවේ පාවුල්වත් ඔහුගේ මිත්‍රයන්වත් ආටෙමිස්ගේ දේවස්ථානයට විරුද්ධව කිසිම වරදක් නොකර තිබෙන බවයි. කෙසේවෙතත් යම් කෙනෙකුට විරුද්ධව යම් චෝදනාවක් තිබෙන නම් මිනිසුන්ව රැස් කර මහ කෝලහලයක් ඇති කරනවා වෙනුවට එහි ඇත්ත නැත්ත සොයා බැලීමට නිසි සැලැස්මක් තිබෙන බවත් ඔහු මතක් කර දුන්නා. ඒ සැලැස්මට අනුව ක්‍රියා නොකිරීම රෝම නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව පවසමින් ඔහු ඔවුන්ට අවවාද කළා. ඒ දේවල් පැවසූ ඔහු, සෙනඟව විසුරුවාහැරියා. උදහස් වී ක්‍රියා කිරීමට සෙනඟට වැඩි වේලාවක් ගත නොවූ ලෙසම සන්සුන් වී එතැනින් ඉවත්ව යෑමටත් වැඩි වේලාවක් ගත වුණේ නැහැ.—ක්‍රියා 19:35-41.

19 සන්සුන්ව, දුර දිග බලා කටයුතු කරන නිලධාරියෙකු යේසුස්ගේ අනුගාමිකයන්ට උපකාර කළ මුල්ම අවස්ථාව මෙය නොවෙයි. අවසාන කාලයේදීත් එවැනි උපකාර ලැබෙන බව නියෝජිත යොහන් දුටු දර්ශනයකින්ද පැහැදිලි වෙනවා. ඒ දර්ශනයට අනුව ගංගාවක් තරම් විශාල පීඩා රැල්ලක් යේසුස්ගේ අනුගාමිකයන්ට විරුද්ධව සාතන් ගෙනාවත් පොළොව එම පීඩා රැල්ල ගිල දැමුවා. එයින් අදහස් කළේ නීතිය හා සාමය රැකීමට කටයුතු කරන මිනිස් සමාජයේ තිබෙන යම් ආයතන හෝ සංවිධාන යේසුස්ගේ අනුගාමිකයන්ගේ උපකාරයට පැමිණෙන බවයි. (එළි. 12:15, 16) දැනටමත් එය සත්‍යයක් බව ඔප්පු වී තිබෙනවා. නමස්කාර කටයුතුවල හවුල් වීමට හා ශුභාරංචිය අන් අය සමඟ බෙදාගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට තිබෙන අයිතිය ආරක්ෂා කිරීමට බොහෝ අවස්ථාවලදී සාධාරණව කටයුතු කරන විනිසුරුවන් පියවර ගෙන තිබෙනවා. ඔවුන්ගේ සිත් දිනාගැනීමට අපේ යහපත් හැසිරීම බලපෑ හැකි බවත් අප මතක තබාගත යුතුයි. එෆීසයේ සිටි සමහරක් නිලධාරීන් පාවුල්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වූ බවත් වාර්තාවේ සඳහන් වී තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ පාවුල්ගේ ආදර්ශවත් හැසිරීම නිසා ඒ නිලධාරීන්ට පාවුල් ගැන හොඳ ආකල්පයක් තිබූ බවයි. (ක්‍රියා 19:31) අපත් නිතරම අවංකව හා අනුන්ට ගරු කරමින් කටයුතු කරනවා නම් බලධාරීන් තුළ අප ගැන හොඳ ආකල්පයක් ඇති කිරීමට හැකි වෙනවා. අප බලාපොරොත්තු නොවන ආකාරයේ ප්‍රයෝජන ඉන් අත් විය හැකියි.

20. (අ) පළමුවෙනි සියවසේදී මෙන් අද දිනත් ‘දෙවිගේ පණිවිඩය යටපත් නොවී සියලුදෙනා අතරේ පැතිර’ යන ආකාරය ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? (ආ) ඔබේ අදිටන කුමක්ද?

20 පළමුවෙනි සියවසේ ‘යෙහෝවා දෙවිගේ පණිවිඩය යටපත් නොවී සියලුදෙනා අතරේ පැතිර’ ගිය ආකාරය සලකා බැලීමෙන් අප ලැබුවේ මොන තරම් දිරිගැන්වීමක්ද! අද දිනත් යෙහෝවා දෙවි අපට ඒ හා සමාන ජයග්‍රහණ අත් කර දීමට පියවර ගෙන තිබෙනවා. එවැනි ජයග්‍රහණවලට යම් ආකාරයකින් හෝ හවුල් වීමට ඔබත් කැමතිද? එසේනම් අප සලකා බැලූ ආදර්ශවලින් ඉගෙනගන්න. දිගටම නිහතමානීව කටයුතු කරන්න. දිනෙන් දින ඉදිරියට ගමන් කරන දෙවිගේ සංවිධානය මාර්ගයෙන් දෙවි එළිදරව් කරන දේවලට එකඟව ඔබේ ජීවිතය සකස් කරගන්න. වෙහෙස මහන්සි නොබලා දිගටම දෙවිගේ සේවයේ හවුල් වන්න. සාතන්ට හා භූතයන්ට සම්බන්ධ දේවලින් සම්පූර්ණයෙන්ම ඈත්ව සිටින්න. ඔබේ හැසිරීම ආදර්ශවත්ව තබාගැනීමෙන් අන් අයට දෙවි ගැන හොඳ සාක්ෂියක් දැරීමට උත්සාහ දරන්න.

^ 8 ඡේ. ආසියා පළාතේ අගනුවර වූ එෆීසය” නමැති කොටුව බලන්න.

^ 9 ඡේ. එනම් පාළුකරයේදී මිනිසුන්ව බව්තීස්ම කළ යොහන්ගේ.

^ 11 ඡේ. පාවුල් පළමුවෙනි කොරින්ති පොත ලිව්වෙත් එෆීසයේ සිටි කාලයෙයි.

^ 13 ඡේ. මෙහිදී “රෙදිකඩ” කීමෙන් අදහස් කළේ දහඩිය මුහුණට වැටීම වැළැක්වීම සඳහා පාවුල් නළලේ බැන්ද රෙදි පටිය විය හැකියි. “වැඩවල නියැලෙන විට ඔහු පළඳින වස්ත්‍ර” කියා පැවසීමෙන් පැහැදිලි වන්නේ දේශනා කිරීමේ කාර්යයේ නිරත නොවූ අවස්ථාවලදී, සමහරවිට උදේ පාන්දර ඔහු කූඩාරම් සෑදීමේ වැඩයේ නිරත වන්න ඇති බවයි.—ක්‍රියා 20:34, 35.

^ 15 ඡේ. ලූක් පවසන්නේ එම පොත් පත්වල වටිනාකම රිදී කාසි 50,000ක් වූ බවයි. සමහරවිට එම රිදී කාසිය ඩිනාරි කාසියක් විය හැකියි. එසේනම් ඒ කාලයේ කම්කරුවෙකුට එම මුදල උපයන්න සතියේ සෑම දවසකම වැඩ කළත් ඔහුට දින 50,000ක් එනම් අවුරුදු 137ක් පමණ වැඩ කරන්න සිදු වෙනවා. නවීන කාලයට අනුව එම පොත් පත්වල වටිනාකම රුපියල් කෝටි ගණනක් වෙනවා.

^ 16 ඡේ. පාවුල් කොරින්තිවරුන්ට ලියූ ලිපියේ “ඇත්තටම අපගේ ජීවිත පවා තිබුණේ ඉතා අවදානම් තත්වයක” කියා පැවසීමට හේතුව මෙම සිද්ධිය කියා සමහරුන් පවසනවා. (2 කොරි. 1:8) නමුත් එය ස්ථිරවම පැවසිය නොහැකියි. සමහරවිට ඔහු එසේ ලිව්වේ ඔහු මුහුණ දුන් ඊට වඩා දරුණු අවස්ථාවක් මනසේ තබාගෙන විය හැකියි. ‘එෆීසයේ දරුණු වනසතුන් සමඟ සටන් වැදීමට’ සිදු වූ බවත් ඔහු එක් අවස්ථාවක පැවසුවා. (1 කොරි. 15:32) මෙය ඇත්තටම රංග භූමියකදී වනසතුන් සමඟ කළ සටනක් විය හැකියි. නැත්නම් පැමිණි විරුද්ධවාදිකම්වලට මුහුණ දීම සතුන් සමඟ කිරීමට සිදු වන සටනකට ඔහු සමාන කළා විය හැකියි.

^ 17 ඡේ. විවිධ කර්මාන්තවල නියැලුණු අය යම් සංගම් පිහිටුවාගෙන සිටියා. සමාජයට සෑහෙන බලපෑමක් කිරීමට එවැනි වෘත්තීය සංගම්වලට හැකි වුණා. මෙම සිද්ධියෙන් අවුරුදු සියයකට පමණ පසු එෆීසයේ බේකරි කර්මාන්තයේ නියැලුණු අයගේ සංගමය මේ හා සමාන කෝලහලයක් නුවරේ ඇති කළා.