Skip to content

පටුනට යන්න

21වෙනි පරිච්ඡේදය

“මම සියලුදෙනාගේ ලෙයින් නිදහස්”

“මම සියලුදෙනාගේ ලෙයින් නිදහස්”

පාවුල් උද්‍යෝගයෙන් කළ සේවය හා වැඩිමහල්ලන්ට ලබා දුන් මඟ පෙන්වීම්

ක්‍රියා 20:1-38

1-3. (අ) යුතිකස් මිය ගිය රාත්‍රියේ සිදු වූ දේවල් විස්තර කරන්න. (ආ) පාවුල් කළ ආශ්චර්යය කුමක්ද? එම සිද්ධියෙන් අපට පාවුල් ගැන පැහැදිලි වන්නේ කුමක්ද?

දැන් මධ්‍යම රාත්‍රියයි. පාවුල් දැන් ඉන්නේ ත්‍රෝවස නුවරෙයි. ඔහු සහෝදර සහෝදරියන් විශාල පිරිසක් සමඟ උඩුමහල් කාමරයක රැස්ව සිටිනවා. එම ස්ථානය ආලෝකවත් කරමින් පහන් කිහිපයක්ම දැල්වෙමින් පවතිනවා. පහන්වලින් නැඟෙන දුම කාමරය පුරා පැතිර ගිහින්. කාමරය තුළ මඳ උණුසුම් ස්වභාවයක්ද පවතිනවා. පාවුල් ඔවුන් සමඟ ගත කරන අවසාන රාත්‍රිය මෙයයි. ඔහු ඔවුන්ව දිරිගන්වමින් දිගු වේලාවක් ඔවුන්ට කතා කරනවා. රැස්ව සිටින අය අතරේ යුතිකස් නම් තරුණයෙක් සිටිනවා. ඔහු පාවුල්ට සවන් දෙමින් සිටින්නේ එක් ජනේලයක් මත ඉඳගෙනයි. තද නින්දකට වැටෙන ඔහු, ඔහු ඉඳගෙන සිටි දෙවෙනි මහලේ ජනේලයෙන් එකපාරටම පහතට වැටෙනවා.

2 වැටී සිටින ඔහුව බැලීමට සහෝදරයන් විගස පහළට දිව යනවා. වෛද්‍යවරයෙක් වූ ලූක්ද ඔවුන් අතරේ සිටිනවා. ඔහුව ‘ඔසවා බලන විට ඔහු මිය ගොස්’ ඇති බව ඔවුන් තේරුම්ගන්නවා. (ක්‍රියා 20:9) එතැනට පැමිණෙන පාවුල්, මිය ගොස් සිටි යුතිකස්ව වැලඳගෙන, “දැන් කලබල වෙන්න එපා. ඔහු ජීවත් වෙනවා” කියා පවසනවා. පාවුල් ඒ අවස්ථාවේදී සිදු කරන්නේ මහත් ආශ්චර්යයක්! යුතිකස් නැවත ජීවත් වෙනවා.—ක්‍රියා 20:10.

3 සියලුදෙනාම මොන තරම් සතුටට පත් වන්න ඇද්ද! ඔවුන්ට දෙවිගේ බලයේ ප්‍රබලත්වය දැකගැනීමට හැකි වුණා. පාවුල් ඒ වන තුරු සහෝදරයන් සමඟ රැස්ව සිටියේ ඉතා වැදගත් අරමුණක් සඳහායි. එනම් ඔවුන්ගෙන් සමුගැනීමට පෙර ඔවුන්ව දිරිගන්වා සේවය දිගටම කරගෙන යෑම සඳහා ඔවුන්ව ශක්තිමත් කිරීමටයි. නමුත් යුතිකස්ගේ හදිසි මරණය නිසා සහෝදරයන් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන නොගන්න ඉඩ තිබුණා. සමහර අය අධෛර්යයට පත් වෙන්නත් ඉඩ තිබුණා. කෙසේවෙතත් යුතිකස්ව නැවත නැඟිටුවීමෙන් සහෝදරයන්ට පාවුල් සමඟ ගත කළ අවසන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වූ බවට සැකයක් නැහැ. පාවුල් කටයුතු කළ ආකාරයෙන් ඔහු අන් අයගේ ජීවිත ගැන සැලකිලිමත් වූ බව පැහැදිලියි. අන් අයගේ ජීවිත ගැන තමා වග කිව යුතුයි යන හැඟීම ඔහු තුළ තිබුණා. පසු අවස්ථාවක, “මම සියලුදෙනාගේ ලෙයින් නිදහස්” කියා ඔහු පැවසූ බව ඔබට මතක ඇති. (ක්‍රියා 20:26) ඒ සම්බන්ධයෙන් පාවුල් තැබූ ආදර්ශය දැන් අපි සලකා බලමු.

පාවුල් ‘මැසිඩෝනියාව බලා පිටත්ව යයි’ (ක්‍රියා 20:1, 2)

4. එෆීසයේදී පාවුල් මුහුණ දුන්නේ කුමන අමිහිරි අද්දැකීමකටද?

4 කලින් පරිච්ඡේදයේ ඉගෙනගත් ලෙස පාවුල් එෆීසයේදී අමිහිරි අද්දැකීමකට මුහුණ දුන්නා. ඔහු කළ දේශනා සේවය නිසා තම ව්‍යාපාරය කඩාකප්පල් වන බව සිතූ රිදීකරුවන්, එෆීස නුවරේ මහ කෝලහලයක් ඇති කළා. “කෝලහලයට සම්බන්ධ සියලුදෙනා විසිර ගිය පසු” සිදු වූ දෙය ලූක් මෙසේ විස්තර කරනවා. “පාවුල් ගෝලයන්ව කැඳවා ඔවුන්ව දිරිගැන්වීය. ඉන්පසු ඔහු ඔවුන්ගෙන් සමුගෙන මැසිඩෝනියාව බලා පිටත්ව ගියේය.”—ක්‍රියා 20:1.

5, 6. (අ) පාවුල් මැසිඩෝනියාවේ කොපමණ කාලයක් ගත කළාද? ඔහු එහිදී කළේ කුමක්ද? (ආ) පාවුල්ට සහෝදරයන් කෙරෙහි තිබුණේ මොන වගේ ආකල්පයක්ද?

5 මැසිඩෝනියාවට යන අතරමඟදී ඔහු ත්‍රෝවස්හි වරායෙන් ගොඩ බැස තීතස් එන තුරු එහි යම් කාලයක් බලා සිටියා. ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ කොරින්තියේ සිට පැමිණෙන තීතස්ව එහිදී හමු වීමටයි. (2 කොරි. 2:12, 13) නමුත් තීතස් නොපැමිණෙන බව පැහැදිලි වූ විට පාවුල් මැසිඩෝනියාව බලා පිටත්ව ගියා. එහි අවුරුද්දක් පමණ ගත කළ ඔහු, ‘බොහෝ දේවල් කතා කර සහෝදරයන්ව දිරිගැන්වූවා.’ * (ක්‍රියා 20:2) පසුව තීතස් මැසිඩෝනියාවට පැමිණියා. එහිදී ඔහු පාවුල්ව හමු වී පාවුල් කොරින්ති සභාවට යැවූ පළමුවෙනි ලිපියට ඔවුන් දැක්වූ හොඳ ප්‍රතිචාර ගැන විස්තර ඔහුට දැන්වූවා. (2 කොරි. 7:5-7) කොරින්තිවරුන්ට තවත් ලිපියක් ලිවීමට පාවුල් පෙලඹුණේ ඒ නිසයි.

6 එෆීසයේ හා මැසිඩෝනියාවේ සිටි සහෝදරයන්ව හමු වූ අවස්ථාවලදී පාවුල් ඔවුන්ව දිරිගැන්වූ බව වාර්තාවේ සඳහන් වෙනවා. සහෝදර සහෝදරියන් කෙරෙහි ඔහු කොතරම් සැලකිලිමත් වුණාද කියා ඉන් පැහැදිලියි. අන් අයව හෙළාදකිමින් කටයුතු කළ පරිසිවරුන්ට වඩා පාවුල් මොන තරම් වෙනස්ද! ඔහු තම සහෝදර සහෝදරියන්ව සැලකුවේ හවුල් වැඩකරුවන් ලෙසයි. ඔහු ඔවුන්ට ගෞරව කළා. (යොහ. 7:47-49; 1 කොරි. 3:9) ඔවුන්ට ඍජු උපදෙස් දීමට සිදු වූ අවස්ථාවලදී පවා ඔහු ඔවුන්ව හෙළා නොදැක ප්‍රේමණීයව ඔවුන් සමඟ කටයුතු කළේ ඒ නිසයි.—2 කොරි. 2:4.

7. වැඩිමහල්ලන්ට පාවුල්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

7 අද දිනත් සභාවල සිටින වැඩිමහල්ලන් හා සංචාරක සේවකයන් උත්සාහ කරන්නේ පාවුල්ගේ ආදර්ශය අනුගමනය කිරීමටයි. යම් සහෝදරයෙකුට අවවාදයක් දීමට සිදු වන අවස්ථාවකදී වුණත් ඔහුව හෙළාදකින අයුරින් ඔවුන් කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ඒ කාරණය හසුරුවන්නේ ඒ සහෝදරයාව ගොඩනංවන අයුරිනුයි. මන්ද සභාවේ සිටින සහෝදරයන්ව බිඳ දැමීම නොව ගොඩනැංවීම තම වගකීම බව ඔවුන් නිතරම මතකයේ තබාගන්නවා. බොහෝ කාලයක් පුරා සංචාරක සේවයේ නිරත වූ සහෝදරයෙකු පැවසූ මේ දේ සැලකිල්ලට ගන්න. “හරි දේ කරන්න බොහෝ සහෝදර සහෝදරියන් කැමතියි. හැබැයි ඒ දේ කරන්න ඔවුන්ට ලෙහෙසි නැහැ. මොකද අධෛර්යයට පත් වීම්, බිය හා තමන්ට හරි දේ කරන්න පුළුවන්කමක් නැහැයි කියන හැඟීම් සමඟ ඔවුන් සටන් කරනවා.” එසේනම් සහෝදර සහෝදරියන්ව දිරිගැන්වීමට වැඩිමහල්ලන් නිතරම උත්සාහ දැරීම මොන තරම් වැදගත්ද!—හෙබ්‍රෙ. 12:12, 13.

‘පාවුල්ට විරුද්ධව කුමන්ත්‍රණයක්’ (ක්‍රියා 20:3, 4)

8, 9. (අ) සිරියාව බලා නැවෙන් ගමන් කිරීම සඳහා පාවුල් යෙදූ සැලසුම් වෙනස් කිරීමට සිදු වුණේ ඇයි? (ආ) යුදෙව්වන් පාවුල්ට විරුද්ධව කුමන්ත්‍රණය කළේ ඇයි?

8 මැසිඩෝනියාවේ යම් කාලයක් ගත කළ පසු පාවුල් කොරින්තියට ගියා. * එහි මාස තුනක් ගත කළ පාවුල්ට, සෙන්ක්‍රෙයාය වෙතට ගොස් එතැනින් නැව් නැඟ සිරියාව බලා යෑමට වුවමනා වුණා. ඔහු අදහස් කළේ සිරියාවේ සිට යෙරුසලමට ගොස් සහෝදරයන් වෙනුවෙන් ලබා දී තිබූ සහනාධාර එහි සිටි විවිධ අගහිඟකම්වලින් පෙළුණු අයට ලබා දීමටයි. * (ක්‍රියා 24:17; රෝම 15:25, 26) නමුත් ඔහු යෑමට අදහස් කළ ගමන් මාර්ගය ඔහුට හදිසියේම වෙනස් කිරීමට සිදු වුණා. ඊට හේතුව ක්‍රියා 20:3හි මෙසේ සඳහන් කර තිබෙනවා. “යුදෙව්වරුන් තමාට විරුද්ධව කුමන්ත්‍රණය කරමින් සිටින බව ඔහුට ආරංචි විය.”

9 යුදෙව්වන් පාවුල්ට විරුද්ධව කුමන්ත්‍රණයක් යෙදීම පුදුමයක් නොවෙයි. ඔවුන් ඔහුව සැලකුවේ යුදෙව් ආගමට විරුද්ධව කටයුතු කරන කෙනෙකු ලෙසයි. සිනගෝගය භාරව සිටි නිලධාරියා වූ ක්‍රිස්පස් යේසුස්ගේ අනුගාමිකයෙකු වුණේ පාවුල් කොරින්තියට පැමිණි මුල් අවස්ථාවේදී ඔහු කළ ඉගැන්වීම්වලට සවන් දුන් නිසා කියා යුදෙව්වන් දැන සිටියා. (ක්‍රියා 18:7, 8; 1 කොරි. 1:14) ඔවුන් පාවුල් සමඟ කෝප වීමට තවත් හේතුවක් වුණේ පාවුල්ව ඇකේයා පළාතේ ආණ්ඩුකාරයා වූ ගලියෝ ඉදිරියට ගෙන ගියත් ඔහුට විරුද්ධව නඟා තිබූ චෝදනා ගලියෝ නිෂ්ප්‍රභ කිරීමයි. (ක්‍රියා 18:12-17) ඒ හේතූන් නිසා කොරින්තියේ සිටි යුදෙව්වන් පාවුල්ට විරුද්ධව කුමන්ත්‍රණයක් යෙදුවා. වෙනත් ප්‍රදේශයකට යෑම සඳහා නැව් නැඟීමට පාවුල් සෙන්ක්‍රෙයාය වරායට පැමිණෙන බව සමහරවිට ඔවුන් දැන සිටින්න ඇති. නැත්නම් ඔහු පැමිණෙයි කියා ඔවුන් සැක කරන්න ඇති. ඒ නිසා එහිදී ඔහුව අල්ලාගැනීමට ඔවුන් සැලසුම් යෙදුවා.

10. පාවුල් සෙන්ක්‍රෙයාය හරහා නොගියේ ඔහු බියගුලු කෙනෙකු වූ නිසාද? පැහැදිලි කරන්න.

10 තම ආරක්ෂාව ගැන සැලකිලිමත් වූ නිසාත් තමන් රැගෙන යමින් සිටි සහනාධාර ආරක්ෂා කරගැනීම සඳහාත් පාවුල් සෙන්ක්‍රෙයාය වෙතට නොගොස් මැසිඩෝනියාව හරහා තම ගමන යෑමට තීරණය කළේ ඒ නිසයි. මුහුදෙන් නොගොස් ගොඩබිමෙන් යෑමට තිබෙන ඒ ගමන් මඟ අවදානම් සහිත නැහැයි කියා පැවසිය නොහැකියි. මන්ද ඒ කාලයේ මහාමාර්ගවල අවි ගත් සොරුන් තැනින් තැන රැක සිටියා. පාරවල් දෙපස තිබූ තානායම්ද අනාරක්ෂිතයි. නමුත් සෙන්ක්‍රෙයාය වෙතට ගොස් දැන දැනම අනතුරේ වැටෙනවාට වඩා ඒ අවදානම්වලට කෙසේ හෝ මුහුණ දීමට ඔහු තීරණය කළා. ඔහු මේ ගමන ගියේ තනිවමත් නොවෙයි. ඔහු සමඟ අරිස්තාකස්, ගායස්, සෙකන්දස්, සෝපතර්, තිමෝති, ත්‍රොෆිමස් හා තිකිකස් යන අයද සිටියා.—ක්‍රියා 20:3, 4.

11. ක්‍රිස්තියානීන් තම ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්නේ කෙසේද? යේසුස් ඒ සම්බන්ධයෙන් තැබූ ආදර්ශය කුමක්ද?

11 පාවුල් මෙන් අපිත් දේශනා සේවයේ යන විට අපේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. සමහර ප්‍රදේශවලට යන විට අප කණ්ඩායමක් හැටියට හෝ අඩුම තරමින් තව එක් කෙනෙකු සමඟ හෝ යන්නේ ඒ නිසයි. ඉන් අදහස් කරන්නේ ශුභාරංචිය දේශනා කිරීම නිසා ඇති විය හැකි විරුද්ධවාදිකම් මඟහැරීමට අප උත්සාහ කරන බව නොවෙයි. මන්ද ක්‍රිස්තියානීන් හැටියට අපට අනිවාර්යයෙන්ම පීඩාවන්ට හා විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වෙනවා කියා අපි දන්නවා. (යොහ. 15:20; 2 තිමෝ. 3:12) නමුත් දැන දැනම අපේ ජීවිත අවදානමේ දමන අයුරින් අප කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි කල්පනාකාරීව ක්‍රියා කරනවා. එක් අවස්ථාවක යෙරුසලමේ සිටි යුදෙව්වන් යේසුස්ට ගල් ගැසීමට තැත් කළ විට, ‘යේසුස් සැඟවී දේවමාලිගාවෙන් පිටතට ගියා.’ (යොහ. 8:59) පසු අවස්ථාවකදී ඔහුව මරා දැමීමට කුමන්ත්‍රණය කළ විට, ‘යේසුස් තවදුරටත් යුදෙව්වරුන් අතරේ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ. ඔහු එතැනින් පිටත් වී පාළුකරය අසල පිහිටි ප්‍රදේශයෙහි නැවතී සිටියා.’ (යොහ. 11:54) යේසුස් ඒ අවස්ථාවලදී තම ආරක්ෂාව ගැන හැකි උපරිමයෙන් සැලකිලිමත් වීම දෙවිගේ කැමැත්තට එකඟයි. ක්‍රිස්තියානීන් වන අපටත් පීඩාවලට මුහුණ දීමට සිදු වන බව දැන සිටියත් අප අනවශ්‍ය ලෙස අපේ ජීවිත අනතුරේ හෙළන්නේ නැහැ.—මතෙ. 10:16.

“සියලුදෙනාටම මහත් සැනසීමක්” (ක්‍රියා 20:5-12)

12, 13. (අ) යුතිකස්ගේ නැවත නැඟිටීම සහෝදරයන්ට බලපෑවේ කෙසේද? (ආ) අප ආදරය කරන කෙනෙක් මිය ගොස් සිටිනවා නම් අපට මහත් සැනසීමක් ලබා දෙන්නේ කුමන පොරොන්දුවද?

12 පාවුල් හා ඔහු සමඟ ගමන් කළ පිරිස මැසිඩෝනියාව ප්‍රදේශය පසු කරන තුරු කණ්ඩායමක් ලෙස ගමන් කර පසුව බෙදී වෙනත් පැතිවලට ගමන් කළා. නමුත් ඔවුන් නැවතත් ‘දවස් පහකින් * ත්‍රෝවස්හිදී හමු වූ’ බව ක්‍රියා 20:6හි පවසා තිබෙනවා. * මෙම පරිච්ඡේදයේ මුල සඳහන් කළ යුතිකස් නම් තරුණයාව නැවත නැඟිට්ටෙව්වේ එහිදීයි. ඔහු නැවත ජීවත් වන බව දැක එහි සිටි සියලු සහෝදරයන් “මහත් සැනසීමක්” ලැබුවා.—ක්‍රියා 20:12.

13 එවැනි ආශ්චර්යයන් අද දින සිදු වන්නේ නැහැ. නමුත් මිය ගිය අයව නැවත නැඟිටුවන බවට බයිබලයේ දී තිබෙන පොරොන්දුව අපට “මහත් සැනසීමක්.” විශේෂයෙන්ම අප ආදරය කරන කෙනෙක් මිය ගොස් සිටිනවා නම් එම පොරොන්දුව මගින් අපට ලැබෙන්නේ මොන තරම් සහනයක්ද! (යොහ. 5:28, 29) ඒ අවස්ථාවේදී යුතිකස්ව නැවත නැඟිට්ටෙව්වත් පව්කාර ස්වභාවය උරුම කරගෙන සිටි ඔහු, පසු කාලයකදී නැවත මිය ගියා. (රෝම 6:23) නමුත් පාරාදීස පොළොවේදී නැවත නැඟිටුවන අයට මේ පොළොව මත සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව තිබෙනවා. ස්වර්ගයේ ජීවත් වීමට නැවත නැඟිටුවන යේසුස්ගේ හවුල් පාලකයන්ට අමරණීයත්වය ලැබෙනවා. (1 කොරි. 15:51-53) එසේනම් අභිෂේක ලත් කෙනෙකු වුණත් ‘වෙනත් බැටළුවන්ට’ අයත් කෙනෙකු වුණත් “මහත් සැනසීමක්” ලබන්න අපට හොඳ හේතු තිබෙනවා.—යොහ. 10:16.

“ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස්” (ක්‍රියා 20:13-24)

14. තමාව හමු වීමට පැමිණි එෆීසයේ වැඩිමහල්ලන්ට පාවුල් පැවසුවේ මොනවාද?

14 පාවුල් හා ඔහු සමඟ ගමන් කළ පිරිස ත්‍රෝවස් සිට අසොස් බලා පිටත් වුණා. එතැනින් ඔවුන් මිතුලේන නම් නුවරටත් එතැනින් කියොස් දූපතටත් ඉන්පසු සාමොස් දූපතටත් ගියා. ඔවුන් එතැනින් මිලේටස් නුවර බලා පිටත් වුණා. පාවුල්ට වුවමනා වුණේ පෙන්තකොස්ත උත්සවයට කලින් කෙසේ හෝ යෙරුසලමට යෑමටයි. එෆීසය හරහා නොයන්න ඔහු තීරණය කරන්න ඇත්තේ ඒ නිසයි. නමුත් එෆීසයේ වැඩිමහල්ලන් සමඟ කතා කිරීමට ඔහුට අවශ්‍ය වුණා. ඒ නිසා මිලේටස් නුවරට පැමිණ තමාව හමු වන්න කියා පාවුල් ඔවුන්ට දන්වා යැව්වා. (ක්‍රියා 20:13-17) ඔහුව හමු වීමට ඔවුන් පැමිණි විට ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා. “ආසියා පළාතට පය තැබූ මුල් දවස පටන් මම සිටියේ ඔබ සමඟයි කියා ඔබ හොඳින්ම දන්නවා. මම ස්වාමීන් වෙනුවෙන් ඉතා නිහතමානීව දාසයෙක් මෙන් කඳුළු සලමින් සේවය කළා. යුදෙව්වන් මට විරුද්ධව මොන තරම් පීඩා හා ප්‍රශ්න ඇති කළාද! නමුත් ඔබට ප්‍රයෝජනවත් වන හැම දෙයක්ම මම නොසඟවා කියා දුන්නා. මම ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස් ඔබට දිගටම ඉගැන්නුවා. මම යුදෙව්වරුන්ට හා ග්‍රීකවරුන්ට සම්පූර්ණ සාක්ෂියක් දැරුවා. පසුතැවිලි වී දෙවි වෙතට හැරෙන්නත් අපේ ස්වාමීන් වන යේසුස් කෙරෙහි විශ්වාසය ඇති කරගන්නත් අවශ්‍ය බව මම ඔවුන්ට කිව්වා.”—ක්‍රියා 20:18-21.

15. ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය දේශනා කිරීම වැදගත් වන්නේ ඇයි?

15 මිනිසුන්ට ශුභාරංචිය දේශනා කිරීමට අද දින අප විවිධ ක්‍රම යොදාගන්නවා. පාවුල් මෙන් අපිත් මිනිසුන් වැඩියෙන් ගැවසෙන ස්ථානවලට එනම් බස් නැවතුම්පොළවල්වලට, වීථිවලට හා වෙළඳපොළවල්වලට ගොස් ශුභාරංචිය දේශනා කරනවා. නමුත් අප ශුභාරංචිය දේශනා කරන ප්‍රධාන ක්‍රමය වන්නේ ගෙයින් ගෙට යෑමයි. යෙහෝවා දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන දෙවි කෙනෙක්. ඒ නිසා අපට පවරා තිබෙන ප්‍රදේශයේ තිබෙන සෑම නිවසකටම නිතිපතා යෑමෙන් ශුභාරංචියට හොඳින් සවන් දීමට සෑම කෙනෙකුටම අප ප්‍රස්තාව ලබා දෙනවා. නිවෙස්වලදී අපට හමු වන නිහතමානී අයට ඔවුන් සිටින තත්වයට අනුව ඔවුන්ට උපකාර කිරීමටත් එමගින් අපට හැකි වෙනවා. ගෙයින් ගෙට සේවයේ හවුල් වීමෙන් අපටත් මහඟු ප්‍රයෝජන අත් කරගත හැකියි. දෙවි කෙරෙහි අපට තිබෙන විශ්වාසය තව තවත් ශක්තිමත් වන අතර අපේ විඳදරාගැනීමේ හැකියාවද දියුණු වෙනවා. සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමට තිබෙන එක් ලක්ෂණයක් වන්නේ, “ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස්” අප මහත් උද්‍යෝගයෙන් කරන සේවයයි.

16, 17. විවිධ අභියෝග මැද පවා පාවුල් අදිටන් කරගෙන සිටියේ කුමක් කිරීමටද? අද දින ක්‍රිස්තියානීන් ඔහුව ආදර්ශයට ගන්නේ කෙසේද?

16 නැවත යෙරුසලමට ගිය විට තමාට කුමන අනතුරුවලට මුහුණ දීමට සිදු වෙයිද කියා හරියටම දන්නේ නැති බව පාවුල් එෆීසයේ වැඩිමහල්ලන්ට පැවසුවා. “කොහොමවුණත් මට වැදගත් වන්නේ මගේ ජීවිතය නොවෙයි. මගේ එකම ආශාව නම් අවසානය දක්වා මා යා යුතු ගමනත් ස්වාමීන් වන යේසුස්ගෙන් මට ලැබුණු පැවරුමත් සාර්ථකව නිම කිරීමයි. ඒ පැවරුම නම් දෙවිගේ මහත් කරුණාව පිළිබඳ ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දීමයි” කියා ඔහු තවදුරටත් ඔවුන්ට පැවසුවා. (ක්‍රියා 20:24) පාවුල්ට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. සමහර අවස්ථාවලදී දුර්වල සෞඛ්‍ය තත්වයන්ට හෝ දැඩි විරුද්ධවාදිකම්වලට ඔහු මුහුණ දුන්නා. නමුත් තම පැවරුමට බාධා කිරීමට ඔහු ඒ කිසිම දෙයකට ඉඩ දුන්නේ නැති බව ඔහු පැවසූ දේවලින් පැහැදිලි වෙනවා.

17 අද දින ක්‍රිස්තියානීන්ද විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. සමහරක් අයට තම නමස්කාර කටයුතු කිරීමට සිදු වී තිබෙන්නේ ආණ්ඩු මගින් පනවා තිබෙන තහංචි මැදයි. තවත් සමහරක් අය දැඩි විරුද්ධවාදිකම්වලට මුහුණ දෙනවා. තවත් අය විවිධාකාර ලෙඩ රෝගවලින් පෙළෙනවා. යෞවනයන්ට ඔවුන්ගේම වයසේ අයගෙන් එල්ල වන විවිධ පීඩනවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ කුමන තත්වයට මුහුණ දීමට සිදු වුණත් පාවුල් මෙන් අපිත් නොසැලී, යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටිනවා. “දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්” ලබා දීමට අපි අදිටන් කරගෙන සිටිනවා.

“ඔබ ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් සිටින්න” (ක්‍රියා 20:25-38)

18. තමා සියලුදෙනාගේ ලෙයින් නිදහස් කියා පැවසීමට පාවුල්ට හැකි වුණේ කෙසේද? ඔහුව ආදර්ශයට ගැනීමට නම් එෆීසයේ වැඩිමහල්ලන් කළ යුතුව තිබුණේ කුමක්ද?

18 ඉන්පසු පාවුල් තමා කටයුතු කළ ආකාරය පෙන්වා දෙමින් එෆීසයේ වැඩිමහල්ලන්ට යම් උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දුන්නා. තමාව හමු වන අවසාන අවස්ථාව මෙය විය හැකි බව දැන්වූ පාවුල්, ඔවුන්ට මෙසේ පැවසුවා. “මම සියලුදෙනාගේ ලෙයින් නිදහස්. . . . දෙවිගේ කැමැත්ත ගැන මම ඔබට කිසිම දෙයක් නොසඟවා හැම දෙයක්ම හොඳින් අවබෝධ කර දුන්නා.” පාවුල් මෙන් සියලුදෙනාගේ ලෙයින් නිදහස් වීමට නම් එෆීසයේ වැඩිමහල්ලන් කළ යුතුව තිබුණේ මොනවාද? පාවුල් ඒ ගැන මෙසේ පැවසුවා. “දෙවි තම බලයෙන් ඔබව පත් කර තිබෙන්නේ ඔහුගේ සභාව රැකබලා ගැනීමටයි. ඒ සභාව ඔහු මිල දී ගත්තේ තමාගේ පුත්‍රයාගේ රුධිරයෙන් කියා අමතක කරන්න එපා. ඒ නිසා ඔබ ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් සිටින්න.” (ක්‍රියා 20:26-28) “රෞද්‍ර වෘකයන්” හා සමාන පිරිසක් සභාවට ඇතුල් වී “ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑම” සඳහා ‘උගන්වා ඇති හැම දෙයක්ම විකෘති කර පෙන්වන’ බව පාවුල් ඔවුන්ට අනතුරු ඇඟෙව්වා. එසේනම් සභාව හොඳින් රැකබලා ගැනීම සඳහා වැඩිමහල්ලන් කළ යුත්තේ කුමක්ද? පාවුල් පැවසුවේ, “හොඳ සිහිකල්පනාවෙන් සිටින්න. මම අවුරුදු තුනක් තිස්සේ දිවා රෑ කඳුළු සලමින් ඔබට කොතරම් උපදෙස් හා අවවාද ලබා දුන්නාද! ඒවා කවදාවත් අමතක කරන්න එපා” කියායි.—ක්‍රියා 20:29-31.

19. පළමුවෙනි සියවසේ අගභාගය වන විට සිදු වුණේ කුමක්ද? එහි ප්‍රතිඵලය කුමක්ද?

19 පළමුවෙනි සියවසේ අගභාගයේදී පමණ “රෞද්‍ර වෘකයන්” ක්‍රිස්තියානි සභාව තුළට ඇතුල් වෙන්න පටන්ගත්තා. නියෝජිත යොහන් ක්‍රි.ව. 98දී පමණ මෙවැනි දෙයක් පැවසුවා. “ඇත්තෙන්ම දැනටමත් ක්‍රිස්තු-විරෝධීන් බොහෝදෙනෙකු සිටින බව පැහැදිලියි. . . . ඔවුහු අප අතරෙහි සිටියත් අපව අත්හැර ගියෝය. මන්ද ඔවුහු අප මෙන් නොවෙති. ඔවුහු අප මෙන් ක්‍රියා කළා නම් අප සමඟ රැඳී සිටිනු ඇත.” (1 යොහ. 2:18, 19) තුන්වෙනි සියවස වන විට ඒ කැරලිකරුවන් පූජක පංතියක් ඇති කරගත්තා. ක්‍රිස්තියානියයි කියාගත් මේ කණ්ඩායම කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා විසින් හතරවෙනි සියවසේදී ආගමක් ලෙස නීත්‍යනුකූලව ස්ථාපිත කරනු ලැබුවා. ඔවුන් සාදාගත් මේ ආගමට මිථ්‍යා චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධ කරගනිමින් ඒවාට “ක්‍රිස්තියානි” ස්වරූපයක් ලබා දුන්නා. උගන්වා ඇති සෑම දෙයක්ම එසේ ඔවුන් ‘විකෘති කර පෙන්වූවා.’ පළමුවෙනි සියවසේ ඇති වූ ඒ කැරැල්ලේ බලපෑම අදටත් ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වල ඉගැන්වීම් තුළින් හා චාරිත්‍ර වාරිත්‍ර තුළින් පැහැදිලිව දකින්න තිබෙනවා.

20, 21. පාවුල් ආත්මපරිත්‍යාගශීලී ස්වභාවයක් පෙන්වූයේ කෙසේද? සභාවල වැඩිමහල්ලන්ට ඔහුව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

20 පසු කාලයකදී ක්‍රිස්තියානි සභාවෙන් අයුතු ප්‍රයෝජන ගත් අයට වඩා පාවුල් කටයුතු කළ ආකාරය මොන තරම් වෙනස්ද! සභාවේ අයට බරක් නොවී තම අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා පාවුල් වෙහෙස මහන්සි වී වැඩ කළා. සහෝදරයන් වෙනුවෙන් ඔහු තම කාලය හා ශක්තිය වැය කළේ පෞද්ගලික වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අරමුණින් නොවෙයි. ඔහු එෆීසයේ වැඩිමහල්ලන්ගෙන්ද ඉල්ලා සිටියේ, ‘උපකාර අවශ්‍ය අයට වෙහෙස මහන්සිය නොබලා උපකාර කිරීමට’ සැදී පැහැදී සිටින්න කියායි. ‘“ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියා ස්වාමීන් වන යේසුස් පැවසූ දේ නිතරම මතක තබාගන්න’ කියාත් ඔහු ඔවුන්ට පැවසුවා.—ක්‍රියා 20:35.

21 ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වල සිටින පූජකයන් කටයුතු කරන්නේ පාවුල් ලබා දුන් ඒ උපදෙස්වලට හාත්පසින්ම වෙනස් ආකාරයටයි. ඔවුන් තම සාමාජිකයන්ගෙන් සූරා කනවා. ඊට වෙනස්ව ‘දෙවි තම සභාව රැකබලා ගැනීමට පත් කර තිබෙන’ අද දින සිටින වැඩිමහල්ලන් පාවුල් මෙන් ආත්මපරිත්‍යාගශීලී ස්වභාවයක් පෙන්වනවා. ඔවුන් තම වගකීම් ඉටු කරන්නේ වාසි ප්‍රයෝජන තකා නොව කැමැත්තෙන්මයි. අහංකාර ලෙස කටයුතු කරන අයට හා තනතුරු පසුපස ලුහුබඳින අයට ක්‍රිස්තියානි සභාවේ කිසිම ඉඩක් නැහැ. ‘තමාටම ගෞරවය සොයන’ අය කවදාවත් සාර්ථක වන්නේ නැහැ. අවසානයේදී ඔවුන්ගේ සැබෑ ස්වභාවය එළිදරව් වෙනවා. (හිතෝ. 25:27) අහංකාර ලෙස කටයුතු කරන කෙනෙකුට අවසානයේදී හිමි වන්නේ අගෞරවය පමණයි.—හිතෝ. 11:2.

‘සියලුදෙනා හඬා වැලපුණා.’—ක්‍රියා 20:37

22. සහෝදරයන් පාවුල්ට මහත් සේ ප්‍රේම කළේ ඇයි?

22 පාවුල් සහෝදරයන්ට බොහෝ සෙයින් ප්‍රේම කළ නිසාත් ඔහු ඔවුන් කෙරෙහි පෙන්වූ සැලකිල්ල නිසාත් සහෝදරයන්ද ඔහුට මහත් සේ ප්‍රේම කළා. පිටත්ව යෑමට වේලාව පැමිණි විට “සියලුදෙනා හඬා වැලපෙමින් පාවුල්ව ආදරයෙන් සිඹ වැලඳගත්තෝය” කියා වාර්තාවේ සඳහන් වීමෙන් ඒ බව පැහැදිලියි. (ක්‍රියා 20:37, 38) පාවුල් හා සමානව සභාව රැකබලා ගැනීම සඳහා තම කාලය, ශක්තිය හා තමන් සතු වෙනත් දේවල් ලබා දෙන වැඩිමහල්ලන්ව අපත් අවංකව අගය කරන අතර ඔවුන්ට මහත් සේ ප්‍රේම කරනවා. අන් අයගේ ජීවිත වෙනුවෙන් කළ හැකි සියල්ල පාවුල් කළ බව ඔහුගේ ආදර්ශය සලකා බැලීමෙන් අපට පැහැදිලියි. “මම සියලුදෙනාගේ ලෙයින් නිදහස්” කියා පාවුල්ට අවංකවම පැවසීමට හැකි වුණේ ඒ නිසයි.—ක්‍රියා 20:26.

^ 8 ඡේ. බොහෝවිට රෝමවරුන්ට පාවුල් තම ලිපිය ලිව්වේ ඔහු කොරින්තියට ගිය මේ අවස්ථාවේදී විය හැකියි.

^ 12 ඡේ. ෆිලිප්පියේ සිට ත්‍රෝවස් බලා යෑමට ඔවුන්ට දවස් පහක් ගත වුණා. කලින් අවස්ථාවකදී එම ගමන සඳහා ගත වුණේ දවස් දෙකක් පමණයි. මේ අවස්ථාවේදී ඊට වඩා වැඩි කාලයක් ගත වුණේ තද සුළං පැවති නිසා විය හැකියි.—ක්‍රියා 16:11.

^ 12 ඡේ. ක්‍රියා 20:5, 6හි “අප,” “අපි” යන යෙදුම් භාවිත කර තිබීමෙන් පැහැදිලි වන්නේ යම් කාලයක් ෆිලිප්පියේ නතර වී සිටි ලූක්, පාවුල් සමඟ ගමන් කිරීමට එතැන් සිට එකතු වූ බවයි.—ක්‍රියා 16:10-17, 40.