Skip to content

පටුනට යන්න

16වෙනි පරිච්ඡේදය

‘මැසිඩෝනියාවට එන්න’

‘මැසිඩෝනියාවට එන්න’

පැවරුමක් භාරගැනීමෙන් ආශීර්වාද ලබයි. පීඩා ප්‍රීතියෙන් විඳදරාගැනීම ආශීර්වාද රැසකට මඟ පාදයි

ක්‍රියා 16:6-40

1-3. (අ) පාවුල් හා ඔහු එක්ක ගිය අයට දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීම ලැබුණේ කොහොමද? (ආ) අප බලන්නේ මොන සිදුවීම් ගැනද?

 ෆිලිප්පිය මැසිඩෝනියාව කියන ප්‍රදේශයේ පිහිටි නගරයක්. ඒ නගරයේ ජීවත් වන ස්ත්‍රීන් පිරිසක් නගරයෙන් පිට තිබුණ ගැන්ගිටීස් ගඟ ළඟට ඇවිදගෙන එනවා. ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට යාච්ඤා කරන්න සුපුරුදු පරිදි ගංඉවුර ළඟ ඉඳගන්නවා. ඔවුන් කරන දේ යෙහෝවාගේ අවධානයට ලක් වෙනවා.—2 ලේක. 16:9; ගීතා. 65:2.

2 මේ අතරතුර ෆිලිප්පි නගරයට නැඟෙනහිරෙන් කිලෝමීටර් 800ක් විතර දුරින් තිබුණ ලිස්ත්‍රාවෙන් පුරුෂයන් කිහිපදෙනෙක් එනවා. දින කිහිපයක්ම ගමන් කරන ඔවුන්, රෝම මහාමාර්ගයක් වෙතට එනවා. ඒ මහාමාර්ගය දිව යන්නේ ආසියා ප්‍රදේශයේ ජනාකීර්ණම පැත්ත වෙතටයි. මේ ගමන යන පාවුල්, සීලස් හා තිමෝති අදහස් කරන්නේ ඒ මාර්ගයේ ගිහින් එෆීසය හා ඒ අවට පිහිටි තවත් නගරවලට යන්නයි. ඒ නගරවල ඉන්න දහස් ගණන් මිනිසුන්ට ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය මුල්ම වරට කියන්න ඔවුන් ඉන්නේ ලොකු ආශාවකින්. නමුත් ඒ ගමන පටන්ගන්නත් කලින් පුදුම දෙයක් සිදු වෙනවා. ඒ ප්‍රදේශයට යන්න එපා කියලා දෙවියන්ගේ බලයෙන් ඔවුන්ට මඟ පෙන්වීම් ලැබෙනවා. දෙවියන් ඒ මඟ පෙන්වීම දුන්නේ කොහොමද කියලා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. ආසියා ප්‍රදේශයේ ශුභාරංචිය දේශනා කිරීමෙන් ඔවුන්ව වැළැක්වුවේ ඇයි? යේසුස්ට ඕනෙ වුණේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් පාවුල්ව හා ඔහු එක්ක ගිය අයව කුඩා ආසියාව පහු කරලා ඊජියන් මුහුද හරහා ගිහින් ගැන්ගිටීස් ගංඉවුර වෙතට අරන් යන්නයි.

3 පාවුල් හා ඔහු එක්ක ගිය අය මැසිඩෝනියාවට ගිය ගමනේදී යේසුස් ඔවුන්ට මඟ පෙන්වපු විදිහෙන් අපට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒ නිසා දැන් අපි ක්‍රි.ව. 49දී විතර පටන්ගත්ත පාවුල්ගේ දෙවෙනි මිෂනාරි ගමනේ සිදු වුණ දේවල් කිහිපයක් බලමු.

“දෙවියන් අපිට මඟ පෙන්නනවා” (ක්‍රියා 16:6-15)

4, 5. (අ) බිතිනියට ළං වුණාම පාවුල්ට හා ඔහු එක්ක ගිය අයට මුහුණ දෙන්න වුණේ මොනවාටද? (ආ) එහෙදී ඔවුන් තීරණය කළේ මොකක් කරන්නද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?

4 ආසියා පළාතට යන්න එපා කියලා කියපු නිසා පාවුල් හා ඔහු එක්ක ගිය අය උතුරට යන්න පටන්ගත්තා. ඔවුන්ගේ අදහස වුණේ බිතිනිය පළාතේ තිබුණ නගරවලට ගිහින් ශුභාරංචිය දේශනා කිරීමයි. එහෙට යන්න ඔවුන් ෆ්‍රිජිය හා ගලාතිය කියන ප්‍රදේශ මැදින් තිබුණ පාළු හා දුෂ්කර ගුරුපාරවල්වල දවස් ගාණක් ගමන් කළා. බිතිනියට ළං වුණාම එහෙට යන්න එපා කියලත් දෙවියන්ගේ බලයෙන් යේසුස් ආයෙත් මඟ පෙන්වුවා. (ක්‍රියා 16:6, 7) ඔවුන්ව දෙවතාවක්ම වැළැක්වුවේ ඇයි කියලා ඔවුන්ට තේරුම්ගන්න බැරි වුණා. තමන් කියන්න ඕනෙ පණිවිඩය මොකක්ද ඒක කියන්නේ කොහොමද කියලා ඔවුන් හොඳින් දැනගෙන හිටියා. නමුත් ඒක කියන්න ඕනෙ කොහෙද කියලා ඔවුන් හරියටම දැනගෙන හිටියේ නැහැ. මුලින්ම ඔවුන් ආසියා පළාතට යන්න උත්සාහ කළා. නමුත් එහෙට යන්න ඔවුන්ට අවසර ලැබුණේ නැහැ. ඊටපස්සේ බිතිනියට යන්න ඔවුන් උත්සාහ කළා. ඒකටත් ඔවුන්ට අවසර ලැබුණේ නැහැ. නමුත් යම් ප්‍රදේශයකට යන්න අවසර ලැබෙන කල් පාවුල් උත්සාහය අත්හැරියේ නැහැ. බිතිනියට යන එකෙන් ඔවුන්ව වැළැක්වුවාට පස්සේ කිලෝමීටර් 550ක් බටහිරට යන්න ඔවුන් තීරණය කළේ ඒ නිසයි. බැලූ බැල්මට ඒක කිසිම තේරුමක් නැති ගමනක් වගේ පේන්න ඇති. හමු වුණ හැම නගරයක්ම පසු කරගෙන ඔවුන් ත්‍රෝවසට ආවා. (ක්‍රියා 16:8) ඔවුන්ගේ අදහස වුණේ ත්‍රෝවසේ සිට මැසිඩෝනියාවට යාත්‍රා කරන්නයි. මේ වතාවේදී නම් ඔවුන් හිතපු ප්‍රදේශයට යන්න ඔවුන්ට අවසර ලැබුණා.

5 ත්‍රෝවසේදී පාවුල් එක්ක ගමනට එකතු වුණ ලූක් එහෙදී වුණ දේ මෙහෙම විස්තර කරනවා. “පාවුල් එදා රෑ දර්ශනයක් දැක්කා. එයා දැක්කා මැසිඩෝනියාවේ මිනිසෙක් ‘මැසිඩෝනියාවට ඇවිත් අපිට උදව් කරන්න’ කියලා එයාගෙන් බැගෑපත් වෙලා ඉල්ලනවා. එයා ඒ දර්ශනය දැක්කාට පස්සේ අපි තේරුම්ගත්තා මැසිඩෝනියාවට ගිහින් ශුභාරංචිය කියන්න දෙවියන් අපිට මඟ පෙන්නනවා කියලා. ඉතින් අපි ඒ වෙලාවෙම මැසිඩෝනියාවට යන්න සැලසුම් කළා.” a (ක්‍රියා 16:9, 10) දේශනා කරන්න ඕනෙ කොහෙද කියන ප්‍රශ්නයට අන්තිමේදී පාවුල්ට පිළිතුරක් ලැබුණා. ගමන අතරතුරේදී අධෛර්යය වෙලා ගමන නතර කරපු නැති එක ගැන පාවුල් මොන තරම් සතුටු වෙන්න ඇද්ද! ඔවුන් හතරදෙනා ඉක්මනින් මැසිඩෝනියාවට පිටත් වුණා.

“අපි නැවකට නැඟලා ත්‍රෝවසේ ඉඳන්” ගියා.—ක්‍රියා 16:11

6, 7. (අ) පාවුල්ගේ ගමන අතරතුරේ වුණ දේවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ආ) අපිට නිසැක වෙන්න පුළුවන් මොනවා ගැනද?

6 ඒ වාර්තාවෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? පාවුල් ආසියා පළාතට යන්න පිටත් වුණාට පස්සෙයි ඔහුට දෙවියන්ගේ බලයෙන් මඟ පෙන්වීමක් ලැබුණේ. ඒ වගේම ඔහු බිතිනියට ළං වුණාට පස්සෙයි ඔහුට යේසුස් මඟ පෙන්වීමක් දුන්නේ. මැසිඩෝනියාවට යන්න කියලා යේසුස් මඟ පෙන්වුවෙත් ඔහු ත්‍රෝවසට ආවාට පස්සෙයි. ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස්ගෙන් අදත් අපට ඒ විදිහට මඟ පෙන්වීම් ලැබෙන්න පුළුවන්. (කොලො. 1:18) උදාහරණයකට පුරෝගාමි සේවය කරන්න හෝ අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න අපේ හිතේ ආශාවක් ඇති. නමුත් ඒ ආශාව ඉටු කරගන්න යේසුස් අපට මඟ පෙන්වන්නේ අප යම් නිශ්චිත පියවර ගත්තාට පස්සෙයි. ඒකට හේතුව තේරුම්ගන්න මේ උදාහරණය ගැන හිතන්න. කාර් එකක් වමට හෝ දකුණට හරවන්න රියැදුරාට හැකියාව තියෙනවා. නමුත් ඔහුට ඒක කරන්න පුළුවන් වෙන්නේ කාර් එක නවත්තලා තියෙද්දී නෙවෙයි, ඒක ගමන් කරද්දියි. ඒ හා සමානව තවත් වැඩියෙන් සේවය කරන්න අපට තිබෙන සැලසුම්වලට යේසුස් මඟ පෙන්වීම් ලබා දෙන්නේ අපේ සැලසුම් ක්‍රියාත්මක කරන්න අප යම් පියවර අරන් ඒකට වෙහෙසක් දරලා තියෙනවා නම් විතරයි.

7 අපි ගන්න පියවර සාර්ථක වෙන්නේ නැති වෙද්දී දෙවියන්ගේ මඟ පෙන්වීම් ලැබෙන්නේ නැහැ කියලා හිතලා අප අපේ සැලසුම් අත්හරින්න ඕනෙද? කොහොමටවත් නැහැ. අධෛර්යයට පත් වෙන අවස්ථා කිහිපයකටම මුහුණ දෙන්න පාවුල්ටත් සිදු වුණා. නමුත් යම් ප්‍රදේශයකට යන්න අවසර ලැබෙන කල්ම ඔහු උත්සාහය අත්හැරියේ නැහැ. “සේවය තව වැඩියෙන් කරන්න විශාල දොරක්” අපට විවෘත වෙන කල් අප උත්සාහය අත්හරින්නේ නැත්නම් අපටත් අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵල ලැබෙයි.—1 කොරි. 16:9.

8. (අ) ෆිලිප්පිය මොන වගේ නගරයක්ද? (ආ) ‘යාච්ඤා කරන තැනකට’ ගිහින් දේශනා කරපු නිසා පාවුල් ලබපු හොඳ ප්‍රතිඵල මොනවාද?

8 පාවුල් හා ඔහු එක්ක ගිය අය මැසිඩෝනියාවට ළං වුණා. ඔවුන් මුලින්ම ගියේ ෆිලිප්පියට. තමන් ලබාගෙන තිබුණ රෝම පුරවැසිභාවය ගැන එහේ වැසියන් හිටියේ ආඩම්බරයෙන්. එහේ හිටිය විශ්‍රාම ලත් රෝම සෙබළුන් ඒ නගරය සැලකුවේ පුංචි ඉතාලියක් විදිහට. ඇත්තෙන්ම ෆිලිප්පිය හරියට මැසිඩෝනියාවේ තිබුණ පුංචි රෝමයක් වගෙයි. සබත් දවසේදී පාවුල් හා ඔහු එක්ක ගිය අය නගරයේ දොරටුවෙන් පිටත තිබුණ කුඩා ගඟ ළඟට ගියා. ඔවුන් එතනට ගියේ ගඟ ළඟ “යාච්ඤා කරන්න තැනක්” b තියෙනවා කියලා හිතපු නිසයි. එතනට ගියාම ස්ත්‍රීන් කිහිපදෙනෙක් දෙවියන්ට නමස්කාර කරන්න එතන රැස් වෙලා ඉන්නවා ඔවුන් දැක්කා. ඔවුන් ඒ ස්ත්‍රීන් එක්ක කතාබහ කළා. ඒ ස්ත්‍රීන් අතරේ ලිදියා කියලා කෙනෙක් හිටියා. ඔවුන් කියන දේවල් අහගෙන ඉද්දී ඒ “දේවල් හොඳින් හිතට අරන් ඒවා පිළිගන්න යෙහෝවා එයාව පෙලඹුවා.” අහගෙන හිටපු දේවල් ඇගේ හදවතට කොයි තරම් කාවැදුණාද කියනවා නම් ඇයත් ඇගේ පවුලේ අයත් බව්තීස්ම වුණා. පාවුල්ට හා ඔහු සමඟ සිටි අයට නවාතැන් පහසුකම් දෙන්නත් ඇය කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. cක්‍රියා 16:13-15.

9. අද ඉන්න හුඟක් අය පාවුල්ව ආදර්ශයට අරන් තියෙන්නේ කොහොමද? ඔවුන්ට ලැබිලා තියෙන ආශීර්වාද මොනවාද?

9 ලිදියා බව්තීස්ම වුණ අවස්ථාව හරිම ප්‍රීතිමත් අවස්ථාවක් වුණා කියලා කිසිම සැකයක් නැහැ. “මැසිඩෝනියාවට ඇවිත්” එහේ අයට උදව් කරන්න ලැබුණ පැවරුම භාරගත්ත එක ගැන පාවුල් මොන තරම් සතුටු වෙන්න ඇද්ද! ෆිලිප්පියේ හිටපු දේවගරුබියක් ඇති ස්ත්‍රීන්ගේ යාච්ඤාවලට පිළිතුරු දෙන්න යෙහෝවා තමන්ව හා තමන් සමඟ හිටපු අයව යොදාගත්ත එක ගැනත් පාවුල් සතුටු වෙන්න ඇති. අදත් බාල මහලු, විවාහක අවිවාහක සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් අවශ්‍යතාව වැඩි ප්‍රදේශවලට ගිහින් සේවය කරනවා. ඒ අයට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිදු වුණත් ලිදියා වගේ බයිබල් සත්‍යයන් පිළිගන්න අයව හමු වෙද්දී ඔවුන් අද්දකින සතුට නිසා ඒ දුෂ්කරතා දැනෙන්නේ නැති තරම්. අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න ඔබටත් යම් වෙනස්කම් කරගන්න පුළුවන්ද? එහෙම කරන එකෙන් හුඟක් ආශීර්වාද ලැබෙනවා. සහෝදර ඒරන්ගේ අද්දැකීම බලන්න. විසිගණන්වල ඉන්න මේ සහෝදරයා මධ්‍යම ඇමරිකාවේ රටකට ගිහින් සේවය කළා. ඒ ගැන ඔහු මෙහෙම කියනවා. “පිටරටකට ගිහිල්ලා සේවය කරපු නිසා හුඟක් පැතිවලින් දියුණු වෙන්න මට පුළුවන් වුණා. යෙහෝවා එක්ක මගේ බැඳීමත් ගොඩක් ශක්තිමත් වුණා. අපි කියන පණිවිඩය ගොඩක් අය අහනවා. මම දැන් බයිබල් පාඩම් අටක් කරනවා.” ඒ වගේ සේවයක් කරන හුඟක් අයගේ අද්දැකීමත් ඒකමයි!

අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න ඔබටත් පුළුවන්ද?

“සෙනඟ හුඟක් කේන්තියෙන් එයාලට බනින්න පටන්ගත්තා” (ක්‍රියා 16:16-24)

10. භූතයන් පාවුල්ට හා ඔහු සමඟ හිටපු අයට විරුද්ධවාදිකම් ඇති කළේ කොහොමද?

10 සාතන්ගේ හා ඔහුගේ භූත සේනාවගේ බලපෑම ප්‍රබලව තිබුණ ප්‍රදේශවලටත් ශුභාරංචිය පැතිරිලා ගිය එක ගැන සාතන් හිටියේ හුඟක් කේන්තියෙන්. එහෙමනම් පාවුල් හා ඔහු සමඟ හිටිය අයට විරුද්ධවාදිකම් එල්ල කරන්න භූතයන් මිනිසුන්ව පොලඹවපු එක පුදුමයක්ද! පාවුල් හා ඔහු එක්ක හිටපු අය හැම දවසකම යාච්ඤා කරන තැනට යද්දී භූතයෙක් වැහිලා හිටපු තරුණ සේවිකාවක් ඔවුන් පස්සේ ආවා. ඇයට පේන කියන්න හැකියාවක් තිබුණ නිසා ඇගේ ස්වාමිවරුන්ට ඇය හුඟක් මුදල් උපයලා දුන්නා. ඇය පාවුල් හා ඔහු එක්ක ගිය අය පස්සේ ගිහින් “මේ මිනිස්සු උසස්ම දෙවියන්ගේ සේවකයෝ. එයාලා ඔයාලට කියලා දෙන්නේ ගැලවීම ලබාගන්න විදිහ ගැනයි” කියලා කෑගගහා කිව්වා. එහෙම කියන්න ඇයට වැහිලා හිටපු භූතයා ඇයව පොලඹවන්න ඇති. ඒ, පාවුල් උගන්වපු දේවල් හා පේන කියන හැකියාවෙන් ඇය කියපු දේවල් එන්නේ එකම දෙවියන්ගෙන් කියලා පෙන්වන්න වෙන්න පුළුවන්. ඒකෙන් භූතයන් කරන්න උත්සාහ කළේ මිනිසුන්ගේ අවධානය ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ගෙන් වෙන පැත්තකට හරවන්නයි. නමුත් ඇයට වැහිලා හිටපු භූතයාව එළවලා පාවුල් ඇයව නිහඬ කළා.—ක්‍රියා 16:16-18.

11. තරුණියට වැහිලා හිටපු භූතයාව එළෙව්වාට පස්සේ වුණේ මොකක්ද?

11 පහසුවෙන් මුදල් උපයපු මාර්ගය නැති වෙලා කියලා දැනගත්තාම ඇගේ ස්වාමිවරුන්ට හුඟක් කේන්ති ගියා. ඔවුන් පාවුල්ව හා සීලස්ව වෙළඳපොළට ඇදගෙන ගියා. රෝම පාලනය නියෝජනය කරපු ආණ්ඩුකාරයන් නඩු විභාග කළේ ඒ ස්ථානයේ සිටයි. එතනදී තරුණියගේ ස්වාමිවරු විනිසුරුවන්ගේ පටු අදහස් හා ජාතිවාදී හැඟීම් අවුස්සන්න මෙහෙම කිව්වා. ‘රෝමවරු විදිහට අපිට පිළිගන්න බැරි චාරිත්‍ර උගන්නලා මේ යුදෙව්වෝ අපේ නගරේ ලොකු කලබලයක් ඇති කරනවා.’ ඔවුන්ගේ උත්සාහය සාර්ථක වුණා. වාර්තාවේ කියන්නේ “[වෙළඳපොළේ] හිටපු සෙනඟ හුඟක් කේන්තියෙන් එයාලට [පාවුල්ට හා සීලස්ට] බනින්න පටන්ගත්තා” කියලයි. එතකොට “එයාලට කෝටුවලින් ගහන්න” කියලා ආණ්ඩුකාරයෝ අණ කළා. ඔවුන් දෙන්නාට ගැහුවාට පස්සේ ඔවුන්ව හිරගෙදරට ඇදගෙන ගියා. හිරගෙයි භාරකරු ඔවුන් දෙන්නාව හිරගෙදර ඇතුළෙම තිබුණ හිරකුටියකට දාලා ඔවුන්ගේ කකුල් දඬුකදේ ගැහුවා. (ක්‍රියා 16:19-24) ඔවුන් දෙන්නා හිටපු හිරකුටියේ දොර වැහුවාම කුටිය මොන තරම් අඳුරු වුණාද කියනවා නම් ඔවුන් දෙන්නාට එකිනෙකාව පේන්නවත් නැතුව ඇති. නමුත් යෙහෝවාගේ දෑස් ඔවුන් වෙතට යොමු වෙලා තිබුණා.—ගීතා. 139:12.

12. (අ) යේසුස්ගේ අනුගාමිකයන් පීඩා ගැන හිතුවේ කොහොමද? ඒ ඇයි? (ආ) සාතන් හා ඔහුගේ නියෝජිතයන් අදත් දෙවියන්ගේ සෙනඟට විරුද්ධව යොදාගන්න ක්‍රම මොනවාද?

12 “එයාලා . . . ඔයාලටත් පීඩා කරයි” කියලා අවුරුදු ගාණකට කලින් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කියලා තිබුණා. (යොහ. 15:20) ඒ නිසා පාවුල් හා ඔහු එක්ක ආපු අය මැසිඩෝනියාවට එද්දී තමන්ට පීඩාවලට මුහුණ දෙන්න වෙයි කියලා ඔවුන් හිතන්න ඇති. පීඩා එද්දී යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය ඔවුන්ට නැති වෙලා කියලා ඔවුන් හිතුවේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන සේවය ගැන සාතන් ඉන්නේ කේන්තියෙන් කියලා ඔවුන් තේරුම්ගත්තා. සාතන්ගේ නියෝජිතයන් අදත් දෙවියන්ගේ සෙනඟට විරුද්ධව යොදාගන්නේ එදා ෆිලිප්පි නගරයේදී යොදාගත්ත ක්‍රමයමයි. අපි ගැන අසත්‍ය තොරතුරු පාසැල්වල, රැකියා ස්ථානවල ප්‍රචාරය කරලා අපට විරුද්ධව වැඩ කරන්න ඔවුන් අනිත් අයව උසිගන්වනවා. සමහර රටවල ආගමික විරුද්ධවාදීන් උසාවිවලට ගිහින් අපට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරනවා. ඔවුන් කියන්නේ මෙහෙමයි. ‘සාක්ෂිකරුවන් උගන්වන්නේ පරම්පරා ගාණක් තිස්සේ අපි විශ්වාස කරපු දේවලට විරුද්ධ දේවල්. ඒවා අපට පිළිගන්න බැහැ. ඔවුන්ගේ ඉගැන්වීම් නිසා ලොකු කලබලයක් ඇති වෙනවා.’ තවත් සමහර රටවල සාක්ෂිකරුවන්ට පහර දීලා ඔවුන්ව හිරගෙවල්වලට දාලා තියෙනවා. ඒ හැම දෙයක්ම දිහා යෙහෝවා බලන් ඉන්නවා.—1 පේතෘ. 3:12.

‘පරක්කු කරන්නේ නැතුව බව්තීස්ම වුණා’ (ක්‍රියා 16:25-34)

13. “ගැලවීම ලබාගන්න මම මොනවාද කරන්න ඕනෙ” කියලා අහන්න හිරගෙයි භාරකරු පෙලඹුණේ ඇයි?

13 එදා වුණ දේවල් පාවුල්ට හා සීලස්ට අමිහිරි අද්දැකීමක් වුණා කියලා කිසිම සැකයක් නැහැ. ඔවුන්ට ඇති වුණ කම්පනයෙන් ගොඩ එන්න යම් වෙලාවක් ඔවුන්ට අවශ්‍ය වෙන්න ඇති. නමුත් පේන විදිහට මධ්‍යම රාත්‍රිය වෙද්දී ඔවුන් යථා තත්වයට ඇවිත් තිබුණා. මොකද වාර්තාවේ කියන්නේ ඔවුන් “යාච්ඤා කරකර දෙවියන්ට ප්‍රශංසා ගී ගයමින් හිටියා” කියලයි. ඒ වෙලාවේ ලොකු භූමිකම්පාවක් ඇති වෙලා මුළු හිරගෙදරම දෙදරුම් කෑවා. නින්දෙන් අවදි වුණ හිරගෙයි භාරකරු, හිරගෙයි දොරවල් ඇරිලා තියෙනවා දැකලා හිරකරුවන් පැනලා යන්න ඇති කියලා බය වුණා. හිරකරුවන්ව හොඳින් මුර කරපු නැති නිසා තමන්ට දඬුවම් ලැබෙයි කියලා හිතලා භාරකරු “කඩුව ඇදලා අරන් එයාටම ඇනගන්න ලෑස්ති වුණා.” නමුත් “ඕක නවත්තන්න! අපි හැමෝම මෙතන ඉන්නවා” කියලා පාවුල් කෑගහලා කිව්වා. එතකොට හිරගෙයි භාරකරු “මහත්වරුනි, ගැලවීම ලබාගන්න මම මොනවාද කරන්න ඕනෙ” කියලා ඇහුවා. ඇත්තටම ඔහුට ගැලවීම ලබාගන්න පුළුවන් යේසුස් මාර්ගයෙන් මිසක් පාවුල් හා සීලස් මාර්ගයෙන් නෙවෙයි. ඒ නිසා ඔවුන් ඔහුට මෙහෙම කිව්වා. “ස්වාමීන් වන යේසුස්ව විශ්වාස කරන්න. එතකොට ඔයාටත් . . . ගැලවීම ලැබෙයි.”—ක්‍රියා 16:25-31.

14. (අ) හිරගෙයි භාරකරුට පාවුල් හා සීලස් උදව් කළේ කොහොමද? (ආ) පීඩා සතුටින් විඳදරාගත්ත එකෙන් පාවුල් හා සීලස් ලබපු ආශීර්වාදය මොකක්ද?

14 හිරගෙයි භාරකරු ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ අවංක චේතනාවෙන්ද? ඔව්. පාවුලුත් ඒක දැනන් හිටියා. හිරගෙයි භාරකරු වෙනත් ජාතියක කෙනෙක් නිසා ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් ගැන ඔහුට දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වෙන්න කලින් ශුද්ධ ලියවිල්ලේ සඳහන් මූලික ඉගැන්වීම් ගැන අවබෝධයක් ලබාගෙන ඒවා පිළිගන්න අවශ්‍ය වුණා. පාවුල් හා සීලස් කාලේ අරන් ඔහුට ‘යෙහෝවා දෙවියන්ගේ පණිවිඩය ගැන කිව්වේ’ ඒ නිසයි. ඔවුන් ඔහුට ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල් හුඟක් උනන්දුවෙන් පැහැදිලි කරකර හිටපු නිසා පහර කෑමෙන් ඇති වෙලා තිබුණ තුවාලවල වේදනාව ඔවුන්ට අමතක වෙන්න ඇති. නමුත් ඔවුන්ට ඇහුම්කන් දීගෙන ඉද්දී හිරගෙයි භාරකරු ඔවුන්ගේ පිටේ තිබුණ තුවාල බරපතළ ඒවා කියලා දැකලා ඒවා වතුරෙන් හෝදලා පිරිසිදු කළා. පස්සේ ඔහු හා ඔහුගේ පවුලේ හැමෝම ‘පරක්කු කරන්නේ නැතුව බව්තීස්ම වුණා.’ පීඩා ආවත් ඒවා සතුටින් විඳදරාගත්ත එකෙන් පාවුල් හා සීලස් ලැබුවේ මොන තරම් ලොකු ආශීර්වාදයක්ද!—ක්‍රියා 16:32-34.

15. (අ) අද ඉන්න හුඟක් අය පාවුල්ව හා සීලස්ව ආදර්ශයට අරන් තියෙන්නේ කොහොමද? (ආ) අපේ ප්‍රදේශයේ ඉන්න අයගේ නිවෙස්වලට නැවත නැවත යන එක වැදගත් ඇයි?

15 තමන් අරන් තියෙන ස්ථාවරය නිසා මේ කාලයෙත් සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ව සිරගත කර තිබෙනවා. පාවුල් හා සීලස් වගේ ඔවුනුත් හිරේ ඉන්න අයට දේශනා කරලා හොඳ ප්‍රතිඵල ලබලා තියෙනවා. උදාහරණයකට දේශනා සේවය තහනම් කරපු රටක කාලයක් සාක්ෂිකරුවන්ගෙන් සියයට 40ක්ම යෙහෝවා ගැන ඉගෙනගෙන තිබුණේ හිරේ ඉද්දියි. (යෙසා. 54:17) ගැලවීම ලබාගන්න පුළුවන් කොහොමද කියලා හිරගෙයි භාරකරු ඇහුවේ භූමිකම්පාව ඇති වුණාට පස්සේ කියලා ඔබට මතක ඇති. ඒ වගේ අදත් අපේ පණිවිඩය අහන්න අකමැති වුණ සමහර අය වේදනාකාරී අද්දැකීමකට මුහුණ දුන්නාට පස්සේ ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන්න ඉඩ තිබෙනවා. ඒ නිසා අපේ ප්‍රදේශයේ ඉන්න අයගේ නිවෙස්වලට නැවත නැවත යන එක මොන තරම් වැදගත්ද! එහෙම කරද්දී අප පෙන්වන්නේ අපේ පණිවිඩය පිළිගන්න ඔවුන් සූදානමින් ඉන්න වෙලාවට ඔවුන්ට උදව් කරන්න අප කැමැත්තෙන් ඉන්නවා කියලයි.

“දැන් එයාලා හදන්නේ හොරෙන්ම අපිව හිරෙන් එළියට දාන්නද?” (ක්‍රියා 16:35-40)

16. පාවුල්ට හා සීලස්ට පහර දුන්න දවසට පහුවදා තත්වය වෙනස් අතකට හැරුණේ කොහොමද?

16 පාවුල්ට හා සීලස්ට පහර දුන්න දවසට පස්සේ දවසේ ආණ්ඩුකාරයන් ඔවුන් දෙන්නාව නිදහස් කරන්න කියලා අණ කළා. නමුත් පාවුල් මෙහෙම කිව්වා. “අපි රෝම පුරවැසියෝ. ඒත් අපි වැරදිකරුවන් කියලා ඔප්පු කරන්නෙවත් නැතුව හැමෝම ඉස්සරහා එයාලා අපිට ගහලා, හිරේට දැම්මා. දැන් එයාලා හදන්නේ හොරෙන්ම අපිව හිරෙන් එළියට දාන්නද? එහෙම කරන්න දෙන්න බැහැ. එයාලටම ඇවිත් අපිව නිදහස් කරන්න කියලා කියන්න.” පාවුල් හා සීලස් රෝම පුරවැසියන් කියලා දැනගත්තාම ආණ්ඩුකාරයන් “හොඳටම බය වුණා.” මොකද රෝම පුරවැසියන් විදිහට ඔවුන් දෙන්නාගේ අයිතීන් ආණ්ඩුකාරයන් නොසලකාහැරලා තිබුණා. d තත්වය දැන් වෙන පැත්තකට හැරුණා. ඔවුන් දෙන්නාට ප්‍රසිද්ධියේ පහර දුන්න නිසා ආණ්ඩුකාරයන්ට ඔවුන්ගෙන් සමාව ඉල්ලන්න වුණා. ඔවුන් පාවුල් හා සීලස් ළඟට ඇවිත් ෆිලිප්පියෙන් පිට වෙලා යන්න කියලා ඔවුන් දෙන්නාට බැගෑපත් වුණා. ඒ නගරයෙන් යන්න ඔවුන් දෙන්නා තීරණය කළා. නමුත් ඊට කලින් ඔවුන් දෙන්නා එහේ අලුතින් යේසුස්ගේ අනුගාමිකයන් වුණ අය ළඟට ගිහින් ඔවුන්ව දිරිගැන්වුවා. ඒ වෙන කොට ෆිලිප්පියේ හිටියේ ක්‍රිස්තියානීන් කුඩා කණ්ඩායමක්. පස්සේ ඔවුන් දෙන්නා ෆිලිප්පියෙන් පිට වෙලා ගියා.

17. පාවුල් හා සීලස් විඳදරාගත්ත විදිහෙන් ෆිලිප්පියේ ක්‍රිස්තියානීන් මොන වැදගත් දේ තේරුම්ගන්න ඇද්ද?

17 පාවුල් හා සීලස් තමන් රෝම පුරවැසියන් බව කලින්ම දන්වා තිබුණා නම් ඔවුන්ට පහර කෑම්වලින් බේරෙන්න ඉඩ තිබුණා. (ක්‍රියා 22:25, 26) නමුත් ඔවුන් එහෙම කළා නම් ෆිලිප්පියේ යේසුස්ගේ අනුගාමිකයන්ට ඔවුන් ගැන කොහොම හැඟෙයිද? ක්‍රිස්තුස් වෙනුවෙන් දුක් විඳින එක මඟහරින්න ඔවුන් තමන්ට තිබුණ අයිතිවාසිකම් පාවිච්චි කළා කියා ඔවුන් හිතන්න ඉඩ තිබුණා. විශේෂයෙන්ම රෝම පුරවැසිභාවය නැති ක්‍රිස්තියානීන්ගේ විශ්වාසයට ඒක බලපාන්න ඉඩ තිබුණා. මොකද ඔවුන්ට ඒ වගේ තත්වයක් මඟහරින්න නීතියේ පිහිට පතන්න හැකියාව තිබුණේ නැහැ. නමුත් තමන්ට නියම වුණ දඬුවමට යටත් වීමෙන් යේසුස්ගේ අනුගාමිකයන්ට පීඩා ආවත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කියලා පාවුල් හා සීලස් ආදර්ශයෙන් පෙන්නුවා. දඬුවම ලැබුණාට පස්සේ තමන් රෝම පුරවැසියන් බව පැවසීමෙන් ඒ දෙන්නා හෙළි කළා ආණ්ඩුකාරයන් වැඩ කළේ නීතියට විරුද්ධව කියලා. එහෙම කරපු නිසා සමහරවිට ෆිලිප්පියේ අනිත් ගෝලයන්ට අකාරුණිකව සලකන එකෙන් ආණ්ඩුකාරයන් වැළකෙන්න ඇති. ඉදිරියේදීත් ඒ වගේ තත්වයකට මුහුණ දෙන අයට නීතියේ ආරක්ෂාව පතන්න ඒක උදව් වෙන්න ඇති.

18. (අ) සභාව රැකබලා ගන්න අය පාවුල්ව ආදර්ශයට ගන්නේ කොහොමද? (ආ) ‘ශුභාරංචිය වෙනුවෙන් කතා කරලා දේශනා කරන්න තියෙන අයිතිය නීත්‍යනුකූලව තහවුරු කරන්නේ’ කොහොමද?

18 අද ක්‍රිස්තියානි සභාව රැකබලා ගන්න අය තමන් සභාවට තියන ආදර්ශය ගැන සැලකිලිමත් වෙනවා. සහෝදරයන්ගෙන් වැඩිමහල්ලන් යම් දේවල් බලාපොරොත්තු වෙනවා නම් වැඩිමහල්ලනුත් කැමැත්තෙන්ම ඒවා කරනවා. පාවුල්ට වගේ අපටත් නීතිමය අයිතිවාසිකම් තියෙන්න පුළුවන්. නමුත් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙද්දී ආරක්ෂාව ලබාගන්න ඒ අයිතිවාසිකම් පාවිච්චි කරන්න සුදුසු වෙන්නේ මොන අවස්ථාවේදීද හා ඒ වෙනුවෙන් පියවර ගන්නේ කොහොමද කියලා අප හොඳින් හිතලා බලනවා. සමහර අවස්ථාවලදී අපේ නමස්කාරය බාධාවක් නැතුව කරගෙන යන්න අප ප්‍රාදේශීය මට්ටමින්, දේශීය මට්ටමින් නැත්නම් ජාත්‍යන්තර මට්ටමින් නීතියේ පිහිට පතනවා. අප එහෙම කරන්නේ සමාජයේ විප්ලවයක් ඇති කරන්න නෙවෙයි. ඒ වෙනුවට ඉහත සිදුවීමෙන් අවුරුදු දහයකට විතර පස්සේ පාවුල් ෆිලිප්පිවරුන්ට කියපු විදිහට අපිටත් ඕනෙ ‘ශුභාරංචිය වෙනුවෙන් කතා කරලා දේශනා කරන්න තියෙන අයිතිය නීත්‍යනුකූලව තහවුරු කරන්නයි.’ (ෆිලි. 1:7) අපට නීතියේ පිහිට ලැබුණත් නැතත් අපේ අධිෂ්ඨානය වෙන්නේ පාවුල් හා ඔහුගේ සහයකයන් වගේ දෙවියන් මඟ පෙන්වන ඕනෑම තැනකට ගිහින් ‘ශුභාරංචිය කියන’ එකයි.—ක්‍රියා 16:10.

a ක්‍රියා පොතේ ලේඛකයා වුණ ලූක්” කියන කොටුව බලන්න.

b හමුදාවේ හුඟක් අය ෆිලිප්පි නගරයේ ජීවත් වුණ නිසා එහේ හිටිය යුදෙව්වන්ට සිනගෝගයක් හදන්න ඔවුන් අවසර දෙන්න නැතුව ඇති. එහෙම නැත්නම් සිනගෝගයක් හදන්න අවශ්‍ය අවම යුදෙව් පුරුෂයන් සංඛ්‍යාව ඒ කියන්නේ යුදෙව්වන් දහදෙනෙක්වත් ඒ නගරයේ ඉන්න නැතුව ඇති.

c දම් පාට රෙදි විකුණපු ලිදියා” කියන කොටුව බලන්න.

d රෝම නීතියට අනුව රෝම පුරවැසියෙක්ට විරුද්ධව යම් චෝදනාවක් එල්ල වුණොත් ඔහුට දඬුවමක් නියම කරන්න කලින් හරි විදිහට නඩුව විභාග කරන්න ඕනෙ වුණා. ඔහුව වැරදිකරුවෙක් විදිහට ඔප්පු කළොත් විතරයි ඔහුට ප්‍රසිද්ධියේ දඬුවම් කරන්න අවසර තිබුණේ.