Skip to content

පටුනට යන්න

17වෙනි පරිච්ඡේදය

‘පාවුල් ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරලා දේවල් තර්කානුකූලව පැහැදිලි කළා’

‘පාවුල් ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරලා දේවල් තර්කානුකූලව පැහැදිලි කළා’

දක්ෂ විදිහට උගන්වන ආකාරය. බෙරීය වැසියන්ගේ කදිම ආදර්ශය

ක්‍රියා 17:1-15

1, 2. ෆිලිප්පියේ ඉඳන් තෙසලෝනිකයට ගියේ කවුද? ඔවුන් මොන වගේ දේවල් ගැන කල්පනා කරන්න ඇද්ද?

 කඳු හෙල් අතරේ මැනවින් නිමවා ඇති රෝම මහාමාර්ගයක් දිගේ දැන් පාවුල්, සීලස් හා තිමෝති තම ගමන අරඹනවා. වේගයෙන් පදවන අශ්ව රථවල ශබ්දයත් බර උසුලගෙන යන බූරුවන් නඟන හඬත් අවටින් ඇසෙනවා. සෙබළුන්, වෙළඳුන් හා විවිධ වෘත්තීන්වල නියැලෙන මිනිසුන් ඒ මඟේ යනවා. ටික වෙලාවකට කලින් ෆිලිප්පියෙන් පිටත් වුණ මේ තුන්දෙනා යන්නේ කිලෝමීටර් 130කටත් වඩා දුර ගමනක්. ඔවුන්ගේ ගමනාන්තය වෙරළබඩ තීරයේ පිහිටි තෙසලෝනික නගරයයි. මේ ගමන ඒ තරම් ලෙහෙසි එකක් නෙවෙයි. ෆිලිප්පියේදී කෝටුවලින් පහර කාපු පාවුල්ගේ හා සීලස්ගේ තුවාල තවමත් සුව වෙලා නැහැ. ඒ වේදනාවත් සමඟ මේ දිගු ගමන යන එක ඒ දෙන්නාට මොන තරම් අමාරුද!—ක්‍රියා 16:22, 23.

2 මේ දිගු ගමනේ වෙහෙස දුරු කරගන්න ඔවුන් එකිනෙකා එක්ක කතා කරකර යන්න ඇති. ඔවුන්ට කතා කරන්න රසවත් අද්දැකීම් ගොඩක් තිබුණා. ෆිලිප්පියේ හිරගෙයි භාරව හිටපු නිලධාරියා හා ඔහුගේ පවුලේ අය ශුභාරංචිය පිළිගත්ත විදිහ අනිවාර්යයෙන්ම ඔවුන්ට මතක් වෙන්න ඇති. මොන තරම් අභියෝග ආවත් දිගටම ශුභාරංචිය දේශනා කරන්න ඔවුන් අරන් තිබුණ අදිටන ඒ අද්දැකීම නිසා තව තවත් ශක්තිමත් වුණ බවට සැකයක් නැහැ. නමුත් තෙසලෝනික නගරයට ළං වෙද්දී මේ වගේ ප්‍රශ්න ඔවුන්ගේ මනසට නැඟෙන්න ඇති. මේ නගරයේ ඉන්න යුදෙව්වන් අපට කොහොම සලකයිද? ඔවුන් අපට හිරිහැර කරයිද? ෆිලිප්පියේදී වගේ අපට ගුටිබැට කන්න වෙයිද?

3. පාවුල් හිතට ධෛර්යය ගත්ත විදිහෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

3 පාවුල් පස්සේ කාලයක තෙසලෝනිකයේ ක්‍රිස්තියානීන්ට ලියපු ලිපියක සඳහන් මේ දෙයින් තේරෙනවා ඔහු තුළත් යම් චකිතයක් තිබුණා කියලා. “ඔයාලා දන්නවා ඔයාලා ළඟට එන්න කලින් ෆිලිප්පියේදී අපිට ගොඩක් පීඩාවලට, නින්දා අපහාසවලට මුහුණ දෙන්න වුණා කියලා. ඒත් දෙවියන්ගේ උදව්වෙන් හිතට ධෛර්යය අරගෙන දරුණු විරුද්ධවාදිකම් මැද්දේ අපි ඔයාලටත් ශුභාරංචිය ගැන කිව්වා.” (1 තෙස. 2:2) පාවුල්ට දැනුණ දේ ඔබට තේරුම්ගන්න පුළුවන්ද? ශුභාරංචිය දේශනා කරන එක ලොකු අභියෝගයක් කියලා ඔබට දැනිලා තියෙනවාද? එහෙනම් පාවුල්ගේ ආදර්ශය ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. (1 කොරි. 4:16) තමාට ඇති වුණ හැඟීම්වලින් ගොඩ එන්න ඔහු යෙහෝවා මත රඳා සිටියා. හිතට ධෛර්යය අරන් දිගටම දේශනා කරන්න ඔහුට හැකි වුණේ ඒ නිසයි.

‘පාවුල් ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරලා දේවල් තර්කානුකූලව පැහැදිලි කළා’ (ක්‍රියා 17:1-3)

4. පාවුල් සති තුනකට වඩා වැඩි කාලයක් තෙසලෝනිකයේ හිටියා කියලා කියන්න පුළුවන් ඇයි?

4 තෙසලෝනිකයේ ඉද්දී පාවුල් සබත් දවස් තුනක් සිනගෝගයේදී ශුභාරංචිය දේශනා කළා කියලා වාර්තාවේ සඳහන් වෙනවා. ඔහු ඒ නගරයේ හිටියේ සති තුනක් විතරයි කියලා ඒකෙන් අදහස් කරනවාද? නැහැ. මොකද තෙසලෝනිකයට ආපු ගමන්ම සිනගෝගයට යන්න ඔහුට අවස්ථාව ලැබුණා කියලා නිශ්චිතවම කියන්න බැහැ. ඒ වගේම තෙසලෝනිකයේ හිටිය කාලයේදී පාවුලුත් ඔහු සමඟ හිටිය අනිත් අයත් ඔවුන්ගේ වියහියදම් පියවගන්න රස්සාවක් කළා කියලත් ඔහු ලියපු ලිපිවල සඳහන් වෙනවා. (1 තෙස. 2:9; 2 තෙස. 3:7, 8) ඒ විතරක් නෙවෙයි පාවුල් තෙසලෝනිකයේ ඉද්දී ෆිලිප්පියේ සහෝදරයන් ඔහුට අවශ්‍ය දේවල් දෙවරක්ම තෙසලෝනිකයට එව්වා කියලා වාර්තාවේ සඳහන් වෙනවා. (ෆිලි. 4:16) ඒ හේතු නිසා ඔහු සති තුනකට වඩා වැඩි කාලයක් තෙසලෝනිකයේ ඉන්න ඇති කියලා හිතන්න පුළුවන්.

5. පාවුල් තමන් උගන්වපු දේවල් ඇත්තයි කියලා ඔප්පු කළේ කොහොමද?

5 පාවුල් හිතට ධෛර්යය අරන් සිනගෝගයේ අයට ශුභාරංචිය දේශනා කළා. සුපුරුදු පරිදි ඔහු “ශුද්ධ ලියවිල්ල පාවිච්චි කරලා එහේ හිටපු අයට දේවල් තර්කානුකූලව පැහැදිලි කළා. ක්‍රිස්තුස් වධ විඳින්න ඕනෙ කියලත් මරණයෙන් නැඟිටින්න ඕනෙ කියලත් එයා පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම ඒ දේවල් ශුද්ධ ලියවිල්ලෙන්ම ඔප්පු කරලා පෙන්නලා දෙන ගමන් එයා මෙහෙම කිව්වා. ‘මම ඔයාලට කියකිය හිටපු යේසුස් තමයි ඒ ක්‍රිස්තුස්.’” (ක්‍රියා 17:2, 3) පාවුල්ට ඕනෙ වුණේ ඔහුට සවන් දෙන අයගේ හිත ඇදිලා යන විදිහට කතා කරන්න නෙවෙයි. ඒ වෙනුවට ඔහු කියපු දේවල් ගැන හොඳට හිතලා බලලා තීරණයක් ගන්න ඔවුන්ට උදව් කරන්නයි. සිනගෝගයේ හිටිය අය ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් ගැන යම් අවබෝධයක් තියෙන, ඒකට ගරු කරපු අය බව ඔහු දැනන් හිටියා. නමුත් ඔවුන්ට ශුද්ධ ලියවිල්ල ගැන සම්පූර්ණ අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු ඔවුන්ට ශුද්ධ ලියවිල්ලෙන් කාරණා තර්කානුකූලව පැහැදිලි කරලා නාසරෙත් ඉඳන් ආපු යේසුස් පොරොන්දු වුණ ගැලවුම්කරු බව ඔප්පු කළා.

6. යේසුස් දේවල් තර්කානුකූලව පැහැදිලි කරලා දුන්නේ කොහොමද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?

6 පාවුල් අනුගමනය කළේ යේසුස්ගේ ආදර්ශයයි. යේසුස් හැම දෙයක්ම ඉගැන්නුවේ ශුද්ධ ලියවිල්ල යොදාගෙනයි. උදාහරණයකට ශුද්ධ ලියවිල්ලට අනුව ක්‍රිස්තුස් හුඟක් දුක් විඳලා මිය යනවා කියලත් ඔහුව නැවත නැඟිට්ටවනවා කියලත් ඔහු ගෝලයන්ට පැහැදිලි කළා. (මතෙ. 16:21) තම නැවත නැඟිටීමෙන් පස්සේ යේසුස් ඔහුගේ ගෝලයන් ඉදිරියේ පෙනී සිටියා. තමා කලින් කියපු දේ ඇත්තයි කියලා ඔප්පු කරන්න ඒකම ප්‍රමාණවත් වුණත් යේසුස් එතනින් නතර වුණේ නැහැ. වාර්තාවේ මෙහෙම කියනවා.“ඔහු තමන් ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙලා තියෙන දේවල් එයාලට පැහැදිලි කළා. ඔහු මෝසෙස් කියපු දේවලින් පටන් අරන් අනාගතවක්තෘවරුන් කියපු හැම දෙයක්මත් එයාලට පැහැදිලි කළා.” ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් ඔහු කොයි තරම් හොඳින් පැහැදිලි කළාද කියනවා නම් ඔහුගේ ගෝලයන් මෙහෙම කිව්වා. “පාරේ ඇවිදගෙන යද්දී ඔහු අපිට ශුද්ධ ලියවිල්ලේ තියෙන හැම දේම කොච්චර හොඳට පැහැදිලි කරලා දුන්නාද! ඔහු කියන දේවල් අහගෙන ඉද්දී අපේ හිත් මොන තරම් සතුටින් පිරිලා ගියාද!”—ලූක් 24:13, 27, 32.

7. දේශනා සේවයේදී බයිබලය යොදාගෙන දේවල් පැහැදිලි කරන්න ඕනෙ ඇයි?

7 දේවවචනයේ සඳහන් පණිවිඩය හරිම බලවත්. (හෙබ්‍රෙ. 4:12) යේසුස්, පාවුල් හා අනිත් නියෝජිතයන් වගේ අදත් සැබෑ ක්‍රිස්තියානීන් හැමවිටම උගන්වන්නේ බයිබලය යොදාගෙනයි. දේශනා සේවයේදී අප අන් අයට යම් කාරණා ඔප්පු කරන්නේ බයිබල් පද පෙන්වලයි. ඉන්පසු අප ඒ පද තර්කානුකූලව ඔවුන්ට පැහැදිලි කරලා දෙනවා. එහෙම කරද්දී අපි ඉදිරිපත් කරන තොරතුරුවල පදනම බයිබලය බව ඔවුන්ට පැහැදිලි වෙනවා. අප ඉදිරිපත් කරන්නේ අපේ පණිවිඩයක් නෙවෙයි. ඒ නිසා අපි හැමවිටම බයිබලය යොදාගෙන දේවල් පැහැදිලි කරනවා නම් අපි කියන්නේ අපේම අදහස් නෙවෙයි දෙවියන්ගේ අදහස් බව සවන් දෙන අයට පැහැදිලි වෙයි. අපේ පණිවිඩය දේවවචනය මත පදනම් විශ්වාසවන්ත පණිවිඩයක් කියලත් අපි නිතරම මතකයේ තබාගත යුතුයි. එහෙම කරනවා නම් පාවුල් වගේ ලොකු විශ්වාසයකින් හා නිර්භීතකමකින් ශුභාරංචිය දේශනා කරන්න අපිට පුළුවන් වෙයි.

‘සමහර අය යේසුස්ගේ අනුගාමිකයන් වුණා’ (ක්‍රියා 17:4-9)

8-10. (අ) තෙසලෝනිකයේ හිටිය අය ශුභාරංචියට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද? (ආ) සමහර යුදෙව්වන් පාවුල්ට ඊර්ෂ්‍යා කළේ ඇයි? (ඇ) යුදෙව් විරුද්ධවාදීන් වැඩ කළේ කොහොමද?

8 තෙසලෝනිකයේ හිටිය සමහර අය පාවුල් පැහැදිලි කළ දේවල් අහලා හරිම උනන්දුවෙන් ඒකට එකඟව පියවර ගත්තා. නමුත් තවත් අය පාවුල් කියපු දේවල් පිළිගන්න කැමති වුණේ නැහැ. යේසුස් කියපු මේ වදන්වල සත්‍යතාව ඒ අවස්ථාවේදී පාවුල් අද්දැක්කා. “දාසයෙක් එයාගේ ස්වාමියාට වඩා උසස් වෙන්නේ නැහැ. එයාලා මට පීඩා කළා නම් ඔයාලටත් පීඩා කරයි. එයාලා මං කියන දේ පිළිපැද්දා නම් ඔයාලා කියන දේත් පිළිපදියි.” (යොහ. 15:20) පාවුල් කියපු දේවලට හොඳ ප්‍රතිචාරයක් දක්වපු අය ගැන ලූක් මෙහෙම කියනවා. “ඒ දේවල් අහලා සමහර අය [යුදෙව්වන්] යේසුස්ගේ අනුගාමිකයන් වෙලා පාවුල් සහ සීලස්ට එකතු වුණා. ඒ වගේම දෙවියන්ට නමස්කාර කරපු ග්‍රීකවරුන් විශාල පිරිසකුත් සමාජයේ හොඳ පිළිගැනීමක් තිබුණ ස්ත්‍රීන් හුඟදෙනෙකුත් එයාලට එකතු වුණා.” (ක්‍රියා 17:4) ඒකෙන් පැහැදිලි වන්නේ ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් හොඳින් තේරුම්ගන්න පුළුවන් වුණ එක ගැන ඔවුන් සතුටු වුණා කියලයි.

9 නමුත් පාවුල් කියපු දේවල් පිළි නොගත්ත යුදෙව්වන්ට ඔහු ගැන ලොකු කේන්තියක් ඇති වුණා. “ග්‍රීකවරුන් විශාල පිරිසකුත්” පාවුල් කියපු දේවල් පිළිගන්නවා දකිද්දී ඔවුන් තුළ ඇති වුණේ මහත් ඊර්ෂ්‍යාවක්. ඔවුන් හිතුවේ ඒ ග්‍රීකවරුන් අයිති ඔවුන්ටයි කියලා. මොකද හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් දේවල් ග්‍රීකවරුන්ට උගන්වා යුදෙව් ආගමට හැරෙන්න ඔවුන්ට උදව් කළේ ඔවුනුයි. දැන් පාවුල් ඇවිත් යුදෙව් ආගමට හැරුණ ග්‍රීකවරුන්ව සිනගෝගයේදීම ඔහුගේ පැත්තට නම්මගන්නවා කියලා ඔවුන්ට හැඟුණා. ඔවුන් පාවුල් එක්ක කේන්තියෙන් හිටියේ ඒ නිසයි.

“එයාලට ඕනෙ වුණේ පාවුල්වයි, සීලස්වයි [මැර පිරිස] ඉස්සරහට අරන් එන්න.”—ක්‍රියා 17:5

10 ඊටපස්සේ වුණ දේ ලූක් මෙහෙම විස්තර කරනවා. “යුදෙව්වරුන්ට එයාලා ගැන ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඉතින් එයාලා වෙළඳපොළට වෙලා නිකරුණේ කාලය ගත කරපු මැර පිරිසක් එකතු කරගෙන නගරයේ ලොකු කලබලයක් ඇති කළා. ඊටපස්සේ ඒ අය ජේසන් කියන සහෝදරයාගේ ගෙදරට කඩන් පැන්නා. එයාලට ඕනෙ වුණේ පාවුල්වයි, සීලස්වයි සෙනඟ ඉස්සරහට අරන් එන්න. ඒ දෙන්නාව හොයාගන්න බැරි වුණාම එයාලා ජේසන්වයි, තවත් සහෝදරයන් කීපදෙනෙක්වයි නගරයේ පාලකයන් ඉස්සරහට ඇදගෙන ගිහින් කෑගගහා මෙහෙම කිව්වා. ‘මුළු පොළොවම කණපිට හරවපු මේ මිනිස්සු දැන් මෙහෙටත් ඇවිල්ලා. ඒ මදිවට මේ ජේසන් එයාලව එයාගේ ගෙදර නවත්තගෙන හිටියා. මෙයාලා හැමෝම සීසර්ගේ නියෝගවලට විරුද්ධව කැරලිගහනවා. මෙයාලා කියනවා යේසුස් කියලත් රජෙක් ඉන්නවා කියලා.’” (ක්‍රියා 17:5-7) පාවුලුත් අනිත් සහෝදරයනුත් මේ බිහිසුණු අද්දැකීමට මුහුණ දුන්නේ කොහොමද?

11. පාවුල්ට හා අනිත් සහෝදරයන්ට විරුද්ධව කළ චෝදනා මොනවාද? චෝදනා කළ අයගේ මනසේ තියෙන්න ඇත්තේ මොන නියෝගයද? (පාදසටහන බලන්න.)

11 “නගරයේ ලොකු කලබලයක් ඇති කළ” යුදෙව්වන්, පාවුල් හා සීලස් බරපතළ වරදක් කළා කියලා එහේ ඉන්න පාලකයන්ට පෙන්වන්න හැදුවා. ඔවුන් පාවුල්ට හා සීලස්ට විරුද්ධව බරපතළ චෝදනා දෙකක් ඉදිරිපත් කළා. තෙසලෝනිකයේ ඇති වුණ කලබලයට පාවුල්වත් ඔහු එක්ක හිටපු අනිත් අයවත් වග කිව යුතු නැහැ. නමුත් පාවුල් හා අනිත් සහෝදරයන් “මුළු පොළොවම කණපිට හරවලා” කියලා ඔවුන් චෝදනා කළා. නමුත් ඊටපස්සේ ඔවුන් ඊට වඩා බරපතළ චෝදනාවක් එල්ල කරනවා. ඔවුන් කියනවා පාවුල් හා ඔහුගේ සහයකයන් යේසුස් කියලත් රජෙක් ඉන්නවා කියලා කියමින් රෝම අධිරාජ්‍යයාගේ නියෝගවලට විරුද්ධව කැරලිගහනවා කියලා. a

12. තෙසලෝනිකයේ ක්‍රිස්තියානීන්ට විරුද්ධව කරපු චෝදනා බරපතළයි කියලා කියන්නේ ඇයි?

12 ආගමික නායකයන් යේසුස්ටත් ඒ හා සමාන චෝදනාවක් ඉදිරිපත් කළ බව ඔබට මතක ඇති. ඔවුන් ඔහුව පිලාත් ඉදිරියට අරන් ගිහින් මෙහෙම කිව්වා. “මේ මිනිහා අපේ රජට විරුද්ධව කැරලිගහන්න අපේ සෙනඟව උසිගන්වනවා. . . . ඒ වගේම එයාම කියනවා ක්‍රිස්තුස් කියන රජ එයා කියලා.” (ලූක් 23:2) අධිරාජ්‍යයාට විරුද්ධව කැරලිගහන බවට චෝදනා ලබපු කෙනෙක්ට විරුද්ධව තමන් යම් පියවරක් ගත්තේ නැති නිසා අධිරාජ්‍යයාගෙන් තමන්ට දඬුවමක් ලැබෙයි කියලා ඒ අවස්ථාවේදී පිලාත් බය වෙන්න ඇති. ඔහු යේසුස්ව මරන්න තීන්දු කළේ ඒ නිසා වෙන්න ඇති. තෙසලෝනිකයේ ක්‍රිස්තියානීන්ගේ ජීවිත තිබුණෙත් ඒ වගේම අනතුරකයි. පොතක සඳහන් මේ දෙයින් ඒක තහවුරු වෙනවා. “සාමාන්‍යයෙන් කෙනෙක් අධිරාජ්‍යයාට විරුද්ධව කැරලිගසා ඇති බවට පුංචි හරි කටකතාවක් පැතිරුණොත් ඒ කෙනාව අනිවාර්යයෙන්ම මරලා දානවා.”

13, 14. (අ) යුදෙව්වන් දරපු උත්සාහය අසාර්ථක වුණේ ඇයි? (ආ) යේසුස් කියපු විදිහට පාවුල් විමසිල්ලෙන් වැඩ කළේ කොහොමද? අපට ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

13 කලබලයක් ඇති කරලා යුදෙව්වන් කරන්න උත්සාහ කළ දේ සාර්ථක වුණේ නැහැ. තෙසලෝනිකයේ දේශනා කිරීමේ වැඩේ නතර කරන්න ඔවුන්ට බැරි වුණා. ඒකට එක හේතුවක් නම් පාවුල්ව හා සීලස්ව ඔවුන්ට හොයාගන්න බැරි වුණ එකයි. පේන විදිහට ක්‍රිස්තියානීන්ට විරුද්ධව ඔවුන් නඟපු චෝදනාවල සත්‍යතාව ගැන පාලකයන් තුළ සැකයකුත් තිබුණා. ඒ නිසා ඔවුන් තමන් ඉදිරියට ගෙනාපු ජේසන්ගෙන් හා අනිත් සහෝදරයන්ගෙන් “ඇපයක් අරගෙන” ඔවුන්ව නිදහස් කළා. (ක්‍රියා 17:8, 9) පාවුල් ඒ අවස්ථාවේදී වැඩ කළේ යේසුස් දුන්න මේ උපදෙසට එකඟවයි. “ඔයාලා සර්පයන් වගේ විමසිල්ලෙන් ඉන්න. ඒත් පරෙවියන් වගේ අහිංසක වෙන්න.” (මතෙ. 10:16) හිතට ධෛර්යය අරන් වැඩ කළත් අනවශ්‍ය විදිහට තම ජීවිතය අනතුරේ දාන එක ඥානවන්ත දෙයක් නොවන බව ඔහු තේරුම්ගත්තා. මොකද තමා වෙනත් ප්‍රදේශවලටත් ගිහින් දේශනා කළ යුතු බව ඔහු දැනන් හිටියා. අපට ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

14 අදත් ක්‍රිස්තියානි කියලා කියාගන්න ආගම්වල නායකයන් සාක්ෂිකරුවන්ට විරුද්ධව මැර පිරිස් උසිගන්වලා තියෙනවා. සාක්ෂිකරුවන් රටේ නීතිය කඩ කරනවා, ආණ්ඩුවට විරුද්ධව කැරලිගහනවා කියලා චෝදනා කරලා සාක්ෂිකරුවන්ට විරුද්ධව පියවර ගන්න ඔවුන් පාලකයන්ට බලපෑම් කරලා තියෙනවා. එදා වගේ අදත් විරුද්ධවාදීන් අපිට විරුද්ධ වෙන්නේ ඊර්ෂ්‍යාව නිසයි. කොහොමවුණත් සැබෑ ක්‍රිස්තියානීන් වන අපි ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරන අය නෙවෙයි. කේන්තියෙන් හා අසාධාරණව වැඩ කරන අය එක්ක ප්‍රශ්නවලට පැටලෙන්නේ නැතුව ඉන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. අපිට ඕනෙ අපේ සේවය සාමකාමීව කරන්න. දේශනා කරන ප්‍රදේශයක ප්‍රශ්නයක් ඇති වුණොත් අපි ඉක්මනින්ම එතනින් යන්නෙත් ඒ නිසයි. නමුත් පස්සේ කාලයක සන්සුන් වාතාවරණයක් ඇති වුණාම අපි නැවත ඒ ප්‍රදේශයට ගිහින් දේශනා කරනවා.

ඔවුන් අනිත් අයට වඩා “සාධාරණව හිතපු කට්ටියක්” (ක්‍රියා 17:10-15)

15. බෙරීය වැසියන් ශුභාරංචියට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?

15 තෙසලෝනිකයේ ඇති වුණ කලබලකාරී වාතාවරණය නිසා එහේ සහෝදරයෝ ඊට කිලෝමීටර් 65ක් විතර දුරින් පිහිටි බෙරීය නගරයට පාවුල්ව හා සීලස්ව පිටත් කර හැරියා. එහෙට ගියාම පාවුල් එහේ සිනගෝගයට ගිහින් ශුභාරංචිය දේශනා කළා. එහේ හිටපු අය ගැන ලූක් මෙහෙම වාර්තා කරලා තියෙනවා. “එහේ හිටපු අය තෙසලෝනිකයේ හිටපු අයට වඩා සාධාරණව හිතපු කට්ටියක්. මොකද එයාලා හරිම උනන්දුවෙන්, විවෘත මනසකින් පණිවිඩයට ඇහුම්කන් දුන්නා. ඒ වගේම එයාලට අහන්න ලැබුණ දේවල් ඇත්තද කියලා හොයලා බලන්න එයාලා හැම දවසකම ශුද්ධ ලියවිල්ල හොඳින් අධ්‍යයනය කළා.” (ක්‍රියා 17:10, 11) ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන ඒ වගේ අයට දේශනා කරන්න ලැබුණ එක ගැන පාවුල් මොන තරම් සතුටු වන්න ඇද්ද! නමුත් බෙරීය වැසියන් ගැන ලූක් එහෙම කිව්වේ තෙසලෝනිකයේ දෙවියන්ගේ පණිවිඩය පිළිගත්ත අයව හෙළා දකින්න නෙවෙයි. පස්සේ කාලයක පාවුල් තෙසලෝනිකයේ අයට කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “අපි අත්හරින්නේ නැතුව දිගටම දෙවියන්ට ස්තුති කරනවා. මොකද අපි ඔයාලට දෙවියන්ගේ පණිවිඩය ගැන කියද්දී ඔයාලා ඒක පිළිගත්තේ මිනිස්සුන්ගෙන් ලැබුණ දෙයක් විදිහට නෙමෙයි. දෙවියන්ගෙන්ම ලැබුණ දෙයක් විදිහට. ඇත්තටම ඒක දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩයක් තමයි. ඒ පණිවිඩය ඔයාලාගේ හිත්වලට තදින්ම බලපාලා තියෙනවා කියලා ඔයාලා වැඩ කරන විදිහෙන් පේනවා.”—1 තෙස. 2:13.

16. බෙරීය වැසියන් අනිත් අයට වඩා “සාධාරණව හිතපු කට්ටියක්” කියලා කියපු එක නිවැරදි ඇයි?

16 බෙරීය වැසියන් වඩා සාධාරණව හිතන කට්ටියක් කියලා පාවුල් කිව්වේ ඇයි? පාවුල්ගෙන් ඔවුන්ට අහන්න ලැබුණු තොරතුරු අලුත් දේවල් වුණත් ඔවුන් ඒවා ගැන සැක කරලා ඒවා හෙළා දැක්කේ නැහැ. පාවුල් කියපු දේවල් ඔවුන් නිකම්ම පිළිගත්තෙත් නැහැ. ඒ වෙනුවට ඔහු කියපු දේවලට ඔවුන් හොඳින් ඇහුම්කන් දීලා ඔහු පැහැදිලි කළ දේවල් සත්‍යයද කියලා ශුද්ධ ලියවිල්ලෙන් හොඳින් හොයලා බැලුවා. ඔවුන් සබත් දවස්වලදී විතරක් නෙවෙයි හැම දවසකම “හරිම උනන්දුවෙන්” ශුද්ධ ලියවිල්ල හොඳින් අධ්‍යයනය කළා. ඔවුන් නිහතමානීව තමන් ඉගෙනගත්ත දේවලට එකඟව අවශ්‍ය වෙනස්කම් කළා. ප්‍රතිඵලයක් විදිහට ‘හුඟදෙනෙක් අනුගාමිකයන් වුණා.’ (ක්‍රියා 17:12) එහෙනම් බෙරීය වැසියන් අනිත් “අයට වඩා සාධාරණව හිතපු කට්ටියක්” කියලා ලූක් කියපු එක පුදුමයක් නෙවෙයි!

17. බෙරීය වැසියන් තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද? අපි කොතරම් කාලයක් දෙවියන්ට සේවය කළත් ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කරන්න පුළුවන් කොහොමද?

17 තමන් දක්වපු ප්‍රතිචාරය දෙවියන්ගේ වචනයේ සඳහන් කරයි කියලා බෙරීය වැසියන් හිතන්නවත් නැතුව ඇති. නමුත් ඔවුන්ගේ ආදර්ශයෙන් අද ඉන්න ක්‍රිස්තියානීන්ට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන් නිසා දෙවියන් ඒක ශුද්ධ ලියවිල්ලට ඇතුළත් කළා. සවන් දෙන අය තමන් කියන පණිවිඩය ශුද්ධ ලියවිල්ලෙන් සෝදිසි කරලා ඒක පිළිගන්නවා දකින්නයි පාවුල් කැමති වුණේ. ඇත්තෙන්ම බෙරීය වැසියන් කළෙත් ඒ දේමයි. යෙහෝවා සතුටු වන්නෙත් අවංක හදවත් ඇති අය එහෙම කරද්දියි. අද අපිත් අපට සවන් දෙන අයට දිරිගන්වන්නේ අපේ පණිවිඩය ඇත්තද කියලා ශුද්ධ ලියවිල්ලෙන් හොයලා බලලා ඒ දැනුමට එකඟව ඔවුන්ගේ විශ්වාසය ගොඩනඟන්න කියලයි. වෙනත් විදිහකින් කියනවා නම් සාධාරණව හිතලා ස්ථිර පදනමක් මත ඔවුන් තම විශ්වාසය ගොඩනඟනවාටයි අපි ආස. ඒකෙන් අදහස් කරන්නේ කෙනෙක් දෙවියන්ගේ සේවකයෙක් වුණාට පස්සේ ඔහු තවදුරටත් එහෙම කරන්න අවශ්‍ය නැහැ කියන එකද? එහෙම කියන්න බැහැ. මොකද දෙවියන් අපට දිගටම උගන්වනවා. ඔහු උගන්වන දේවල් පිළිගෙන ඉක්මනින් ඒවා අපේ ජීවිතවලට අදාළ කරගන්න නම් කලින්ට වඩා වැඩියෙන් ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කරන එක අත්‍යවශ්‍යයි. අප දිගටම එහෙම කරනවා නම් දෙවියන්ට පුළුවන් ඔහු කැමති විදිහට අපව සකස් කරලා ඔහුගේ කැමැත්ත ඉටු කරන්න අපව පුහුණු කරන්න. (යෙසා. 64:8) ඒකේ ප්‍රතිඵලයක් විදිහට දෙවියන් වෙනුවෙන් හොඳ සේවයක් කරලා දෙවියන්ගේ අනුමැතිය ලබාගන්නත් අපිට පුළුවන් වෙනවා.

18, 19. (අ) පාවුල් බෙරීය නගරයෙන් පිටත්ව ගියේ ඇයි? අත් නෑර සේවය කිරීම සම්බන්ධයෙන් ඔහු අපට තියන්නේ මොන වගේ ආදර්ශයක්ද? (ආ) ඊළඟට ඔහු යන්නේ කොහෙද?

18 බෙරීය නගරයේ වැඩි කාලයක් ඉන්න පාවුල්ට බැරි වුණා. මොකද වාර්තාවේ මෙහෙම කියනවා. “පාවුල් බෙරීය නගරයෙත් දෙවියන්ගේ පණිවිඩය ගැන දේශනා කරනවා කියලා තෙසලෝනිකයේ හිටිය යුදෙව්වරුන්ට ආරංචි වුණාම එයාලා එහෙටත් ආවා. එයාලා ආවේ එහේ ඉන්න අයවත් උසිගන්වලා කලබලයක් ඇති කරන්නයි. එතකොට සහෝදරයෝ ඉක්මනටම පාවුල්ව මුහුදු වෙරළ පැත්තට පිටත් කරලා යැව්වා. ඒත් සීලස් සහ තිමෝති බෙරීය නගරයේම නැවතිලා හිටියා. පාවුල්ව ඇරලවන්න ගිය අය ඇතන්ස් වෙන කල්ම පාවුල් එක්ක ආවා. එයාලා සමුගන්න කලින් පාවුල් එයාලට කිව්වා පුළුවන් තරම් ඉක්මනට සීලස්වයි, තිමෝතිවයි එයා ළඟට එවන්න කියලා.” (ක්‍රියා 17:13-15) ශුභාරංචිය දේශනා කරන එක නවත්තන්න විරුද්ධවාදීන් මොන තරම් උත්සාහයක් දැරුවාද කියලා ඒ වාර්තාවෙන් පැහැදිලි වෙනවා. පාවුල්ව තෙසලෝනිකයෙන් පන්නලා දාලා සෑහීමට පත් නොවුණ ඔවුන්, බෙරීයටත් ආවා. ඔවුන්ට වුවමනා වුණේ එහෙත් කලබලයක් ඇති කරලා ශුභාරංචිය දේශනා කරන වැඩේ නතර කරන්න. නමුත් ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වුණා. මොකද දේශනා කරන්න තමන්ට විශාල ප්‍රදේශයක් තිබෙන බව පාවුල් දැනන් හිටියා. ඒ නිසා එක ප්‍රදේශයක ප්‍රශ්නයක් ඇති වුණාම ඔහු වෙනත් ප්‍රදේශයකට ගිහින් දිගටම දේශනා කළා. අදත් විරුද්ධවාදීන් අපේ සේවය නවත්තන්න කොතරම් උත්සාහ කළත් අප පාවුල් වගේ අපේ සේවය දිගටම කරනවා. එහෙම කරලා විරුද්ධවාදීන්ගේ උත්සාහයන් අසාර්ථක කරන්න අපිට පුළුවන් වෙනවා.

19 නිර්භීතව දේශනා කරන එකේ හා ශුද්ධ ලියවිල්ල පාවිචිචි කරලා තර්කානුකූලව දේවල් පැහැදිලි කරන එකේ වැදගත්කම ගැන තෙසලෝනිකයේදී හා බෙරීය නගරයේදී ලැබුණ අද්දැකීම්වලින් පාවුල්ට තවත් තහවුරු වන්න ඇති. ඒ වාර්තාව සලකා බැලීමෙන් අපටත් ඒ කාරණය තහවුරු වෙනවා. පාවුල් ඊළඟට යන්නේ ඇතන්ස් නගරයට. එහෙදී ඔහු මුහුණ දෙන අභියෝග ගැන ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.

a සීසර් ඒ දවස්වල මේ වගේ නියෝගයක් දීලා තිබුණා කියලා පොතක සඳහන් වෙනවා. “සිටින රජු වෙනුවට අලුත් රජෙක් පත් වෙනවා කියලවත් තියෙන රාජ්‍යය වෙනුවට අලුත් රාජ්‍යයක් පිහිටුවනවා කියලවත් අනාවැකි පළ කරන්න එපා.” නියෝජිතයන් ඒ නියෝගය කඩ කරනවා කියලා පෙන්වන්න ඕනෙ නිසා විරුද්ධවාදීන් සමහරවිට ඔවුන් දේශනා කරපු පණිවිඩය ගැන වැරදි අදහසක් ඉදිරිපත් කරන්න ඇති. “ ක්‍රියා පොතේ සඳහන් සීසර්වරු” කියන කොටුව බලන්න.