Skip to content

පටුනට යන්න

15වෙනි පරිච්ඡේදය

“සභා ශක්තිමත් කළා”

“සභා ශක්තිමත් කළා”

සභාවල ඉන්න අයගේ විශ්වාසය ශක්තිමත් කරන්න චාරිකා සේවකයන් හවුල් වෙයි

ක්‍රියා 15:36–16:5

1-3. (අ) පාවුල්ගේ අලුත් සහයකයා කවුද? ඔහු මොන වගේ කෙනෙක්ද? (ආ) අපි මේ පරිච්ඡේදයෙන් ඉගෙනගන්නේ මොනවාද?

 නගරයක් නගරයක් ගාණේ යන මේ ගමන හරිම දුෂ්කරයි. පාවුල්ගේ සහයට ඔහු එක්ක මේ ගමන යන්නේ අලුත් කෙනෙක්. ඔහුගේ නම තිමෝති. තිමෝති කඩිසර යෞවනයෙක්. බැලූ බැල්මට ඔහුගේ වයස අවුරුදු 18ත් 21ත් අතර වගේ. පාවුල් එක්ක යන මේ ගමනේදී ඔහුව ඔහුගේ නිවසින් තව තවත් ඈතට අරන් යනවා. ටිකෙන් ටික දවස ගෙවී යද්දී ඔවුන් ලිස්ත්‍රාවෙන් හා ඉකෝනියෙන් තවත් ඈතට යනවා. පාවුල් මේ යන්නේ ඔහුගේ දෙවෙනි මිෂනාරි ගමනයි. මේ ගමනේදී විවිධ උවදුරුවලට හා දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වෙනවා කියලා පාවුල් අද්දැකීමෙන්ම දන්නවා. නමුත් ඔහු එක්ක ඉන්න යෞවනයාට ඒ දේවල්වලට මුහුණ දෙන්න පුළුවන් වෙයිද?

2 පාවුල්ට තිමෝති ගැන ලොකු විශ්වාසයක් තිබුණා. සමහරවිට තිමෝතිටවත් තමන් ගැන ඒ තරම් විශ්වාසයක් තියෙන්න නැතුව ඇති. තමන්ගේ සහයට සුදුසු කෙනෙක් ඉන්න එකේ වැදගත්කම මෑතකදී වුණ දේවලින් පාවුල් හොඳින් තේරුම්ගත්තා. සභාවලට ගිහින් සහෝදරයන්ගේ විශ්වාසය ශක්තිමත් කරන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. ඒ නිසා මේ සේවය සාර්ථකව කරන්න නම් පාවුල්ටත් ඔහුගේ සහයකයාටත් ඔවුන් කරන කාර්යය ගැන නොසැලෙන අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඔවුන් දෙන්නා අතරේ එකඟතාවක් තියෙන එකත් වැදගත්. සමහරවිට පාවුල් මේ දේවල් ගැන කල්පනා කරන්න ඇත්තේ මෑතකදී ඔහු හා බානබස් අතරේ ඇති වුණ ප්‍රශ්නය නිසා වෙන්න පුළුවන්.

3 මේ පරිච්ඡේදයෙන් එකඟ නොවීමක් ඇති වුණාම අපි වැඩ කරන්න ඕනෙ හොඳම විදිහ ගැන ඉගෙනගත හැකියි. පාවුල් තමාගේ සහයට තිමෝතිව තෝරගත්ත හේතු ගැනත් අද දින චාරිකා සේවකයන් විදිහට වැඩ කරන අයගෙන් ඉටු වන වැදගත් කාර්යය ගැනත් අපිට මේ පරිච්ඡේදයෙන් දැනගත හැකියි.

“සහෝදරයන්ව හම්බ වෙලා එයාලා හොඳින් ඉන්නවාද කියලා බලමු” (ක්‍රියා 15:36)

4. දෙවෙනි මිෂනාරි ගමනේදී පාවුල් කරන්න හිටියේ මොනවාද?

4 පාවුල්, බානබස්, යූදස් හා සීලස් චර්මච්ඡේදනය ගැන පාලක මණ්ඩලය දුන්න තීරණය අන්තියෝකියේ සභාවේ හිටපු අයට දැනුම් දීලා ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කරපු විදිහ ගැන අපි කලින් පරිච්ඡේදයෙන් ඉගෙනගත්තා. ඊට දවස් කිහිපයකට පස්සේ පාවුල් බානබස්ට මෙහෙම යෝජනා කළා. “අපි කලින් යෙහෝවාගේ පණිවිඩය දේශනා කරපු හැම නගරයකම ඉන්න සහෝදරයන්ව හම්බ වෙලා එයාලා හොඳින් ඉන්නවාද කියලා බලමු.” (ක්‍රියා 15:36) පාවුල් ඒ වගේ යෝජනාවක් කළේ හොඳ අරමුණක් ඇතුවයි. ක්‍රියා පොතේ සඳහන් වාර්තා බලද්දී ඒක හොඳින් පැහැදිලි වෙනවා. ඔහුට ඕනෙ වුණේ අලුතින් පිහිටවපු සභාවන්වලට ගිහින් සහෝදරයන්ව හමු වෙලා ඔවුන් එක්ක සුහද ඇසුරක් පවත්වන්න නෙවෙයි. පාලක මණ්ඩලය තීරණය කරපු දේවල් ගැන සහෝදරයන්ව දිගටම දැනුවත් කරන එක ඔහුගේ දෙවෙනි මිෂනාරි ගමනේ එක අරමුණක්. (ක්‍රියා 16:4) සහෝදර සහෝදරියන්ගේ විශ්වාසය තව තවත් ශක්තිමත් කරන එකත් ඔහුගේ අරමුණට ඇතුළත් වුණා. (රෝම 1:11, 12) පාවුල් ඇතුළු අනිත් නියෝජිතයන් වැඩ කරපු විදිහ අද දින යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ආදර්ශයට ගන්නේ කොහොමද?

5. අද දින පාලක මණ්ඩලය සභාවන්ට අවශ්‍ය මඟ පෙන්වීම් හා දිරිගැන්වීම් ලබා දෙන්නේ කොහොමද?

5 යේසුස් අද දින තමන්ගේ සභාවට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය මාර්ගයෙනුයි. මේ විශ්වාසවන්ත අභිෂේක ලත් පුරුෂයන් ලොව පුරා තිබෙන සෑම සභාවකටම අවශ්‍ය මඟ පෙන්වීම් හා දිරිගැන්වීම් ලබා දෙනවා. ඔවුන් ඒකට ඔන්ලයින් ප්‍රකාශන, මුද්‍රණය කරපු ප්‍රකාශන, ලිපි, රැස්වීම් හා වෙනත් මාධ්‍යයන් යොදාගන්නවා. ඊට අමතරව සෑම සභාවක් සමඟම කිට්ටු සම්බන්ධයක් තියාගන්නත් පාලක මණ්ඩලය පියවර ගන්නවා. ඔවුන් ඒක කරන්නේ චාරිකා සේවකයන්ට සභාවන් එක්ක යම් කාලයක් ගත කරන්න ඇති කරලා තියෙන සැලැස්මෙන්. ඒ සඳහා සුදුසුකම් තියෙන දහස් ගාණක් පුරුෂයන්ව චාරිකා සේවකයන් විදිහට ඔවුන් පත් කර තිබෙනවා.

6, 7. චාරිකා සේවකයන්ට තියෙන සමහර වගකීම් මොනවාද?

6 චාරිකා සේවකයන් ඔවුන් යන සභාවල සිටින සෑම කෙනෙක් ගැනම පෞද්ගලික සැලකිල්ලක් දක්වනවා. ඒ වගේම බයිබලය මත පදනම් තොරතුරු යොදාගෙන ඔවුන්ට දිරිගැන්වීම් ලබා දෙන්නත් උත්සාහ කරනවා. ඔවුන් එහෙම කරන්නේ පළවෙනි සියවසේ සිටි පාවුල් වගේ සහෝදරයන්ව ආදර්ශයට ගනිමිනුයි. පාවුල් තිමෝතිට දිරිගැන්වුවේ මෙහෙමයි. “දෙවියන්ගේ පණිවිඩය ගැන දේශනා කරන්න. හොඳ වාතාවරණයක් තිබුණත් නැතත් කල් දාන්නේ නැතුව, ලැබෙන හැම අවස්ථාවකදීම උද්‍යෝගයෙන් ඒ දේ කරන්න. හුඟක් ඉවසිලිවන්තව, දක්ෂ විදිහට උගන්වලා අවවාද කරන්න, තදින් අනතුරු අඟවන්න, උපදෙස් මඟ පෙන්වීම් ලබා දෙන්න. . . . අත්හරින්නේ නැතුව ශුභාරංචිය දේශනා කරන්න.”—2 තිමෝ. 4:2, 5.

7 පාවුල් දුන්න ඒ උපදෙස්වලට එකඟව වැඩ කරන චාරිකා සේවකයන් හා ඔවුන් විවාහක නම් ඔවුන්ගේ භාර්යාවන් සභාවල සිටින ප්‍රචාරකයන් එක්ක සේවයේ විවිධ අංගවල හවුල් වෙනවා. උද්‍යෝගයෙන් සේවයේ හවුල් වීමෙන් හා දක්ෂ විදිහට ඉගැන්වීමෙන් චාරිකා සේවකයන් තියන්නේ හොඳ ආදර්ශයක්. (රෝම 12:11; 2 තිමෝ. 2:15) අයහපත් කාලගුණික තත්වයන් මැද හා අනතුරුදායක ප්‍රදේශවල පවා සහෝදරයන් වෙනුවෙන් කැමැත්තෙන්ම සේවය කරන එකෙන් ඔවුන් තුළ තිබෙන ආදරය මොන තරම්ද කියලා පේනවා. (ෆිලි. 2:3, 4) බයිබලය පදනම් කරගෙන ඉදිරිපත් කරන දේශනවලින් සෑම සභාවකම සිටින අයට ඔවුන් උපදෙස්, අවවාද හා දිරිගැන්වීම් ලබා දෙනවා. ඒ වගේම බයිබලයේ සඳහන් කාරණා අදාළ වෙන විදිහත් පැහැදිලි කරලා දෙනවා. ඔවුන් වැඩ කරන විදිහ දිහා හොඳට බලන එකෙන් හා ඔවුන් තුළ තිබෙන විශ්වාසය ආදර්ශයට ගන්න එකෙන් සභාවේ ඉන්න හැම කෙනෙක්ටම ප්‍රයෝජන අත් වෙනවා කියලා නිසැකයි.—හෙබ්‍රෙ. 13:7.

‘හොඳටම කේන්ති ගිහින් ලොකු වාදයක් ඇති වුණා’ (ක්‍රියා 15:37-41)

8. පාවුල් කරපු යෝජනාවට බානබස් ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?

8 විවිධ ප්‍රදේශවලට ගිහින් ‘සහෝදරයන්ව හම්බ වෙන්න’ පාවුල් කරපු යෝජනාවට බානබස් කැමති වුණා. (ක්‍රියා 15:36) සහෝදරයන්ව ආයෙත් ගිහින් හම්බ වෙන්න ඔවුන් දෙන්නා යන එක හොඳයි කියලා ඔවුන්ට සිතෙන්න ඇති. මොකද මීට කලින් ගිය ගමන්වලදීත් ඔවුන් දෙන්නා සහයෝගයෙන් වැඩ කළා. යන්න සැලසුම් කළ ප්‍රදේශ ගැන හා එහේ ජීවත් වන අය ගැන ඔවුන් දෙන්නාට හොඳ අවබෝධයකුත් තිබුණා. (ක්‍රියා 13:2–14:28) නමුත් මේ අවස්ථාවේදී යම් ප්‍රශ්නයක් ඇති වුණා. ඒකට හේතු වුණ කාරණය ගැන ක්‍රියා 15:37 මෙහෙම කියනවා. “බානබස්ට ඕනෙ වුණා කොහොමහරි ඒ ගමනට මාක් කියලත් හඳුන්වපු යොහන්ව එක්කන් යන්න.” ඒකෙන් පැහැදිලි වන්නේ මාක්වත් මේ ගමනට අරන් යමු කියලා බානබස් නිකම් අදහසක් ඉදිරිපත් කළා කියන එක නෙවෙයි. එතන කියන විදිහට “බානබස්ට ඕනෙ වුණා කොහොමහරි” ඔහුගේ නෑදෑයෙක් වුණ මාක්ව ඒ ගමනට එක්කන් යන්න.

9. බානබස්ගේ අදහසට පාවුල් එකඟ වුණේ නැත්තේ ඇයි?

9 නමුත් පාවුල් ඒ ගැන කොහෙත්ම සතුටු වුණේ නැහැ. ඒ ගැන වාර්තාවේ කියන්නේ මෙහෙමයි. “ඒත් පාවුල් එයාව එක්කන් යන්න කොහොමටවත් කැමති වුණේ නැහැ. මොකද එයාලා පම්ෆිලියේ ඉද්දී මාක් සේවය නතර කරලා එයාලව අත්හැරලා ගිහින් තිබුණා.” (ක්‍රියා 15:38) පාවුල් හා බානබස් ගිය පළවෙනි සංචාරයේදී මාක් ඔවුන් එක්ක ගියා. නමුත් මාක් ඒ දෙන්නා එක්ක දිගටම හිටියේ නැහැ. පම්ෆිලියේ ඉද්දී ඔහු පැවරුම මඟ නතර කරලා ගෙදර ගිහින් තිබුණා. ඒකට හේතුව බයිබලයේ සඳහන් වන්නේ නැහැ. (ක්‍රියා 12:25; 13:13) කොහොමවුණත් ගමන අතරමඟදී මාක් ආයෙත් තම නිවසට පිටත්ව ගිය නිසා පාවුල් ඔහුව සැලකුවේ තම වගකීම් හරියට ඉටු නොකරන කෙනෙක් විදිහටයි. ඒ නිසා මේ පැවරුම ඉටු කරන්න ඇත්තටම ඔහුට සුදුසුකම් තිබෙනවාද කියලා පාවුල් තුළ සැකයක් තිබෙන්න ඇති.

10. පාවුල් හා බානබස් අතර ඇති වුණ එකඟ නොවීම කොයි තරම් දුර ගියාද? ඊටපස්සේ වුණේ මොකක්ද?

10 ඒ වුණත් බානබස් තදින්ම කිව්වේ මාක්ව මේ ගමනට අරගෙන යන්න ඕනෙ කියලයි. නමුත් පාවුල් කොහොමටවත් ඒකට එකඟ වුණේ නැහැ. ක්‍රියා 15:39 කියන්නේ “ඒ කාරණය ගැන කතා කරද්දී පාවුල්ටයි, බානබස්ටයි හොඳටම කේන්ති ගිහින් එයාලා අතරේ ලොකු වාදයක් ඇති වුණා. ඉතින් ඒ දෙන්නා වෙන් වුණා” කියලයි. බානබස් මාක් එක්ක තමන් උපත ලබපු සයිප්‍රසය කියන දූපතට නැවෙන් පිටත් වෙලා ගියා. පාවුල් ගැන වාර්තාවේ කියන්නේ මෙහෙමයි. “පාවුල් තෝරගත්තේ සීලස්ව. යෙහෝවාගේ මහත් කරුණාවත් රැකවරණයත් ලබා දෙන්න කියලා යාච්ඤා කළාට පස්සේ සහෝදරයන් ඒ දෙන්නාව පිටත් කරලා යැව්වා.” (ක්‍රියා 15:40) පාවුල් හා සීලස් “සිරියාව සහ සිලීසියාව මැදින් ගිහින් එහේ තිබුණ සභා ශක්තිමත් කළා.”—ක්‍රියා 15:41.

11. අපේ හිත රිද්දපු කෙනෙක් එක්ක දිගටම අමනාපයෙන් නොසිටින්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

11 ඒ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපි සියලුදෙනාටම අපේ පව්කාරකම සමඟ පොරබැදීමක් කරන්න වෙනවා. පාවුල් හා බානබස් ගැන ටිකක් හිතන්න. ඔවුන් දෙන්නා පාලක මණ්ඩලයේ නියෝජිතයන් විදිහට විශේෂ පැවරුමක් ලැබිලා තිබුණ අයයි. සමහරවිට පාවුල් පස්සේ කාලයකදී ඒ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වෙන්නත් ඇති. නමුත් මේ අවස්ථාවේදී ඒ දෙන්නාටම ඔවුන්ගේ කේන්තිය පාලනය කරගන්න බැරි වුණා. කොහොමවුණත් ඔවුන් අතරේ ඇති වුණ අමනාපය දිගටම තිබුණා කියලා කියන්න බැහැ. මොකද පාවුල් හා බානබස් ක්‍රිස්තුස්ව ආදර්ශයට ගන්න උත්සාහ කරපු නිහතමානී පුද්ගලයන්. කාලයක් යද්දී ඔවුන් එකිනෙකාට සමාව දීලා ආදරෙන් සැලකුවා කියලා කිසිම සැකයක් නැහැ. (එෆී. 4:1-3) පස්සේ කාලයක පාවුල් වෙනත් පැවරුම් ඉටු කරන්න මාක් එක්ක එකතු වෙලා වැඩ කළා. aකොලො. 4:10.

12. පාවුල් හා බානබස් වගේ අද ඉන්න වැඩිමහල්ලනුත් පෙන්වන්න ඕන ගුණාංග මොනවාද?

12 ඒ අවස්ථාවේදී පාවුල් හා බානබස් කේන්තියෙන් වැඩ කළත් සාමාන්‍යයෙන් ඔවුන් ඉක්මනින්ම කේන්ති ගන්න අය නෙවෙයි. බානබස් ප්‍රසිද්ධ වෙලා හිටියේ ආදරණීය හා පරිත්‍යාගශීලී කෙනෙක් විදිහටයි. යෝසෙප් කියන ඔහුගේ නමින් හඳුන්වනවා වෙනුවට “සැනසිල්ලේ පුතා” කියන තේරුම තියෙන බානබස් කියන වාසගමින් නියෝජිතයන් ඔහුව හැඳන්නුවේ ඔහු ඒ ගුණාංග හොඳින් පෙන්වපු නිසයි. (ක්‍රියා 4:36) පාවුල් නම් දරලා හිටියෙත් අනිත් අයට ලොකු සෙනෙහසක් දක්වන කෙනෙක් විදිහටයි. (1 තෙස. 2:7, 8) ඔවුන් දෙන්නාව ආදර්ශයට ගනිමින් චාරිකා සේවකයන් ඇතුළු සභාව රැකබලා ගන්න අනිත් පුරුෂයන් නිතරම නිහතමානීව වැඩ කරන්න උත්සාහ කරන්න ඕනේ. අනිත් වැඩිමහල්ලන්ට හා සභාවේ සහෝදර සහෝදරියන්ට ආදරයෙන් සලකන්නත් ඔවුන් වගබලා ගන්න ඕනේ.—1 පේතෘ. 5:2, 3.

“සහෝදරයන් නිතරම තිමෝතිගේ හොඳ කතා වුණා” (ක්‍රියා 16:1-3)

13, 14. (අ) තිමෝති කියන්නේ කවුද? පාවුල්ට තිමෝතිව මුලින්ම හමු වෙන්න ඇත්තේ කොයි අවස්ථාවේදීද? (ආ) පාවුල්ගේ අවධානය විශේෂයෙන්ම තිමෝතිට යොමු වුණේ ඇයි? (ඇ) තිමෝතිට ලැබුණු බැරෑරුම් වගකීම මොකක්ද?

13 පාවුල් තමන්ගේ දෙවෙනි මිෂනාරි ගමනේදී සභාවන් කිහිපයක්ම පිහිටුවලා තිබුණ රෝම පළාතක් වුණ ගලාතියට ගියා. ඒ පළාතට අයත් “දර්බයටත් ලිස්ත්‍රාවටත්” ඔහු ගියා කියලා වාර්තාවේ සඳහන් වෙනවා. “එහේ තිමෝති කියලා ගෝලයෙක් හිටියා. යුදෙව් ස්ත්‍රියක් වුණ එයාගේ අම්මා යේසුස්ගේ අනුගාමිකයෙක්. ඒත් තිමෝතිගේ තාත්තා ග්‍රීක ජාතිකයෙක්.”—ක්‍රියා 16:1. b

14 පාවුල් ලිස්ත්‍රාවට මුලින්ම ආපු අවස්ථාවේදී ඒ කියන්නේ ක්‍රි.ව. 47දී විතර තිමෝතිව හා ඔහුගේ පවුලේ අයව හඳුනගන්න ඇති. අවුරුදු දෙකකට හෝ තුනකට විතර පස්සේ ඔහු ආවාම ඔහුගේ අවධානය විශේෂයෙන් යොමු වුණේ තරුණ තිමෝති වෙතටයි. මොකද “සහෝදරයන් නිතරම තිමෝතිගේ හොඳ කතා වුණා.” තිමෝතිගේ හොඳ කතා වුණේ ඔහුගේ සභාවේ අය විතරක් නෙවෙයි. වාර්තාවේ කියන්නේ ලිස්ත්‍රාවේ හා ඊට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි ඉකෝනියේ සිටි සහෝදරයනුත් තිමෝතිගේ හොඳ කතා වුණා කියලයි. (ක්‍රියා 16:2) දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට එකඟව වැඩ කරපු වැඩිමහල්ලන්, තිමෝතිට බැරෑරුම් වගකීමක් භාර දුන්නා. ඒ, පාවුල් හා සීලස් යන ගමන්වලදී ඔවුන්ට සහය වෙන වගකීමයි.—ක්‍රියා 16:3.

15, 16. තිමෝති ගැන අනිත් අය හොඳ කතා වුණේ ඇයි?

15 තිමෝති තරුණ වයසේ ඉද්දීම අනිත් අය ඔහු ගැන හොඳ කතා වුණේ ඇයි? ඔහුට තිබුණ විශේෂ දක්ෂතාවන් හා ඔහුගේ පෙනුම නිසාද? නැත්නම් ඔහු බුද්ධිමත් කෙනෙක් වුණ නිසාද? සාමාන්‍යයෙන් මිනිසුන්ගේ සිත් නම් ඒ වගේ දේවල්වලට ඇදිලා යනවා. අනාගතවක්තෘ සාමුවෙලුත් එක අවස්ථාවකදී පෙනුම දිහා විතරක් බලලා වැරදි නිගමනයකට ආවා කියලා ඔබට මතක ඇති. නමුත් දෙවියන් ඒ අවස්ථාවේදී මේ වැදගත් කාරණය සාමුවෙල්ට මතක් කළා. “දෙවියන් දේවල් දිහා බලන්නේ මිනිස්සු බලන විදිහට නෙමෙයි. මිනිස්සු දකින්නේ කෙනෙක්ගේ පිටින් පේන්න තියෙන දේ විතරයි. ඒත් යෙහෝවා වන මම ඒ කෙනාගේ හිතේ තියෙන දේ දකිනවා.” (1 සාමු. 16:7) ඉතින් තිමෝති ගැන අනිත් ක්‍රිස්තියානීන් හොඳ කතා වුණේ ඔහුගේ පෙනුම, දක්ෂතා නිසා නෙවෙයි ඔහුට තිබුණු හොඳ ගුණාංග නිසයි.

16 පස්සේ කාලෙක ෆිලිප්පිවරුන්ට ලියපු ලිපියේ පාවුල් තිමෝතිට තිබුණු හොඳ ගුණාංග ගැන සඳහන් කළා. තමන් ගැන හිතන්නේ නැතුව අනිත් අයට පෙන්වපු ආදරේ, සැලකිල්ල හා ඔහුගේ පැවරුම ඉටු කරන්න ඔහුට තිබුණ උනන්දුව ගැනත් පාවුල් ඒකේ විස්තර කළා. (ෆිලි. 2:20-22) “කිසි කුහකකමක් නැති අවංක විශ්වාසයක්” තියෙන කෙනෙක් විදිහටත් තිමෝති නම් දැරුවා.—2 තිමෝ. 1:5.

17. අද ඉන්න යෞවන යෞවනියන්ට තිමෝතිව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

17 තිමෝතිව ආදර්ශයට ගන්න හුඟක් යෞවන යෞවනියන් දෙවියන්ට ප්‍රිය ගුණාංග වර්ධනය කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා තරුණ වයසේදීම යෙහෝවා ඉදිරියෙත් ඔහුගේ සෙනඟ අතරෙත් හොඳ නමක් දිනාගන්න ඔවුන්ට හැකි වෙලා තිබෙනවා. (හිතෝ. 22:1; 1 තිමෝ. 4:15) ඔවුන් ශුභාරංචිය ප්‍රකාශ කරන අය විදිහට සුදුසුකම් ලබලා, යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වෙනවා. කිසි කුහකකමක් නැති අවංක විශ්වාසයක් ඔවුන්ට තියෙනවා වගේම දෙබිඩි ජීවිතයක් ගත කරන එකෙනුත් ඔවුන් වළකිනවා. (ගීතා. 26:4) ඒ නිසා තිමෝති වගේ ඔවුන්ටත් සභාවේ විවිධ කාර්යයන් කරන්න හැකි වී තිබෙනවා. ඔවුන්ගේ ආදර්ශය යෙහෝවාට ආදරේ කරන ලොව පුරා සිටින සාක්ෂිකරුවන්ට මොන තරම් දිරිගැන්වීමක්ද!

“හැමෝගෙම විශ්වාසය ශක්තිමත් වුණා” (ක්‍රියා 16:4, 5)

18. (අ) සංචාරක සේවකයන් විදිහට පාවුල් හා තිමෝති ඉටු කරපු විශේෂ පැවරුම් මොනවාද? (ආ) සභාවල හිටපු අය ඒකෙන් ලබපු ප්‍රයෝජන මොනවාද?

18 පාවුල් හා තිමෝති අවුරුදු ගාණක් එකට සේවය කළා. පාලක මණ්ඩලය නියෝජනය කරමින් සංචාරක සේවකයන් විදිහට ඔවුන් විවිධ පැවරුම් කළා. වාර්තාවේ කියන්නේ “එයාලා නගරයෙන් නගරයට ගිහින් යෙරුසලමේ හිටපු නියෝජිතයන් සහ වැඩිමහල්ලන් තීරණය කරපු දේ ගැන ඒ නගරවල හිටපු සහෝදරයන්ව දැනුවත් කළා” කියලයි. (ක්‍රියා 16:4) පේන විදිහට යෙරුසලමේ සිටි නියෝජිතයන් හා වැඩිමහල්ලන් ලබා දුන්න මඟ පෙන්වීම්වලට අනුව සභාවල හිටපු අය වැඩ කළා කියලා කියන්න පුළුවන්. මොකද මඟ පෙන්වීම්වලට කීකරු වීමේ “ප්‍රතිඵලයක් විදිහට සභාවල හිටපු හැමෝගෙම විශ්වාසය ශක්තිමත් වුණා. ඒ වගේම එයාලාගේ ගාණත් දවසෙන් දවස වැඩි වුණා” කියලා වාර්තාවේ සඳහන් වෙනවා.—ක්‍රියා 16:5.

19, 20. “පෙරමුණ අරගෙන වැඩ කරන අයට” කීකරු වෙන එක වැදගත් ඇයි?

19 “පෙරමුණ අරගෙන වැඩ කරන අය” ලබා දෙන මඟ පෙන්වීම්වලට කීකරු වීමෙන් යෙහෝවා දෙවියන්ගේ සෙනඟ අදත් හුඟක් ප්‍රයෝජන ලබනවා. (හෙබ්‍රෙ. 13:17) මේ ලෝකය ඉක්මනින්ම වෙනස් වෙන නිසා කල් දාන්නේ නැතුව “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දෙන උපදෙස් හා මඟ පෙන්වීම්වලට එකඟව වැඩ කරන එක හරිම වැදගත්. (මතෙ. 24:45; 1 කොරි. 7:29-31) එහෙම කරද්දී යෙහෝවාගෙන් අපිව ඈත් කරන්න කිසිම දෙයකට ඉඩ නොදී ඉන්න වගේම ලෝකේ තියෙන දේවලින් කිලුටු වෙන්නේ නැතුව ඉන්නත් අපිට පුළුවන් වෙනවා.—යාකො. 1:27.

20 අද දින පාලක මණ්ඩලය ඇතුළුව සභාව රැකබලා ගන්න පුරුෂයන් පාවුල්, බානබස්, මාක් හා පළවෙනි සියවසේ හිටිය අනිත් අභිෂේක ලත් වැඩිමහල්ලන් වගේ පව්කාරකම උරුම කරගෙන ඉන්න අයයි. (රෝම 5:12; යාකො. 3:2) නමුත් පාලක මණ්ඩලය දේවවචනයට තදින් ඇලී ඉන්න නිසාත් නියෝජිතයන්ගේ ආදර්ශය කිට්ටුවෙන් අනුගමනය කරන නිසාත් ඔවුන් ගැන විශ්වාසය තැබිය හැකියි. (2 තිමෝ. 1:13, 14) ඔවුන් කරන විශ්වාසවන්ත සේවය නිසා සභාවල සිටින අයගේ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙලා තියෙනවා.