Skip to content

පටුනට යන්න

10වෙනි පරිච්ඡේදය

‘යෙහෝවා දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර යයි’

‘යෙහෝවා දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර යයි’

මරණය අබියසට පැමිණි පේතෘස්ගේ දිවි රැකෙයි, පීඩා මැද ශුභාරංචිය දිගින් දිගටම පැතිරෙයි

ක්‍රියා 12:1-25

1-4. පේතෘස් සිටි තත්වය විස්තර කරන්න. ඔබ ඔහුගේ තත්වයේ සිටියා නම් ඔබට කෙසේ හැඟෙයිද?

විශාල යකඩ දොරටු වසා දමන මහත් ශබ්දයක් ඇසෙනවා. රෝම සොල්දාදුවන් දෙදෙනෙක් විලංගු දැමූ පුද්ගලයෙකුව සිරකුටියකට රැගෙන යනවා. ඔවුන් රැගෙන යන එම පුද්ගලයා කවුද? ඒ පේතෘස්. සිරකුටියේ සිටින ඔහු වටපිට බලන විට ඔහුගේ නෙත ගැටෙන්නේ විශාල බිත්ති, යකඩ පොලු, මුරකරුවන් හා ඔහුගේ දෑත්වල දමා තිබෙන විලංගු පමණයි. තමන්ට අත් වන ඉරණම කුමක්ද කියා දැනගැනීමට ඔහුට පැය ගණනාවක්, සමහරවිට දවස් ගණනාවක් එම සිරකුටියට වී බලා සිටීමට සිදු වෙයි.

2 තමන්ට ලැබී තිබෙන තීන්දුව දැන් පේතෘස්ට ආරංචි වෙනවා. පළමුවෙනි හෙරොද් අග්‍රිපා රජ තීන්දු කර තිබෙන්නේ ඔහුව මරණයට පත් කිරීමටයි. * රජු අදහස් කරන්නේ සෙනඟව සතුටු කිරීම සඳහා පාස්කු උත්සවයෙන් පසුව පේතෘස්ව සෙනඟ ඉදිරියට ගෙනැවිත් ඔහුට ලැබෙන දඬුවම සියල්ලන්ට දැන්වීමටයි. ඇත්තෙන්ම පේතෘස්ට ලැබී තිබෙන තීන්දුව සැහැල්ලුවට ගත නොහැකියි. මන්ද මීට ටික දවසකට පෙර හෙරොද් විසින්ම යේසුස්ගේ තවත් නියෝජිතයෙකු වූ යාකොබ්ව මරණයට පත් කරනු ලැබුවා.

3 පේතෘස්ව මරණයට පත් කිරීමට නියමිත දවස හෙටයි. අඳුරු සිරකුටියක තම ජීවිතයේ අවසන් රාත්‍රිය ගත කරමින් සිටින පේතෘස් කල්පනා කරන්නේ මොනවා ගැනද? පේතෘස්ව බැඳ ඔහු යන්න අකමැති තැනකට එනම් මරණයට පත් කිරීමට ඔහුව ගෙන යන බව යේසුස් පැවසූ වදන් ඔහුගේ මතකයට නැඟුණාද? (යොහ. 21:18, 19) යේසුස් පැවසූ එම අවස්ථාව දැන් උදා වී ඇති බව සමහරවිට පේතෘස්ට සිතෙන්න ඇති.

4 පේතෘස්ගේ තත්වයේ දැන් ඔබ සිටිනවා කියා සිතන්න. මේ අවස්ථාවේ ඔබට කෙසේ හැඟෙයිද? එවැනි තත්වයකට මුහුණ දීමට සිදු වුණොත් බොහෝදෙනෙකු සියලු බලාපොරොත්තු අත්හැර දමයි. නමුත් යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ට එවැනි දෙයක් සිදු වෙයිද? කුමන තත්වයකට මුහුණ දෙන්න සිදු වුණත් ඔවුන්ට නොසැලී සිටීමට හැකි වෙයිද? පේතෘස් හා සෙසු ක්‍රිස්තියානීන් පීඩා හමුවේ කටයුතු කළ ආකාරයෙන් අපට බොහෝ දේ ඉගෙනගත හැකියි.

ඔවුන් ‘මහත් උනන්දුවෙන් දෙවිට යාච්ඤා කරමින් සිටියා’ (ක්‍රියා 12:1-5)

5, 6. (අ) හෙරොද් රජ ක්‍රිස්තියානි සභාවට විරුද්ධව කටයුතු කළේ ඇයි? ඒ කෙසේද? (ආ) යාකොබ්ගේ මරණය සභාවට ප්‍රබල පහරක් වුණේ ඇයි?

5 කලින් පරිච්ඡේදයේ අප ඉගෙනගත් ලෙස කොර්නේලියස් හා ඔහුගේ පවුලේ අය යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වීම ක්‍රිස්තියානි සභාවට විශේෂ සිදුවීමක් වුණා. නමුත් යුදෙව් ක්‍රිස්තියානීන් යුදෙව් නොවන අය සමඟ එක්ව නමස්කාර කටයුතුවල හවුල් වීම ගැන යුදෙව් ජනතාව එතරම් සතුටු වුණේ නැහැ.

6 යුදෙව්වන්ව දිනාගැනීමට මෙය කදිම අවස්ථාවක් බව කපටි පාලකයෙක් වූ හෙරොද් දුටුවා. ඒ නිසා ඔහු ක්‍රිස්තියානීන්ට පීඩා කිරීමට පටන්ගත්තා. ක්‍රිස්තියානි සභාවේ පෙරමුණ ගෙන කටයුතු කළ කෙනෙකු වූ යාකොබ්, යේසුස්ව කිට්ටුවෙන් ඇසුරු කළ කෙනෙකු බව හෙරොද් රජ බොහෝදුරට දැන සිටින්න ඇති. ඒ නිසා ඔහු ‘යොහන්ගේ සහෝදරයා වූ යාකොබ්ව කඩුවෙන් මරා දැමුවා.’ (ක්‍රියා 12:2) එය ක්‍රිස්තියානි සභාවට මොන තරම් ප්‍රබල පහරක් වන්න ඇද්ද! යාකොබ්, යේසුස්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වූ අවස්ථාව ඇතුළු අනික් ගෝලයන් නොදුටු ආශ්චර්යයන් සියැසින් දුටු යේසුස්ගේ ගෝලයන් තුන්දෙනාගෙන් එක් කෙනෙක්. (මතෙ. 17:1, 2; මාක් 5:37-42) ඔහු තුළත් ඔහුගේ සහෝදරයා වූ යොහන් තුළත් තිබූ උද්‍යෝගය නිසා යේසුස් ඔවුන් දෙදෙනාව “ගර්ජනාවේ පුත්‍රයන්” ලෙස හැඳින්වූවා. (මාක් 3:17) සභාවට අහිමි වුණේ මොන තරම් නිර්භීත, විශ්වාසවන්ත හා ප්‍රේමණීය නියෝජිතයෙක්ද!

7, 8. සෙසු ක්‍රිස්තියානීන් සිරභාරයේ සිටි පේතෘස් වෙනුවෙන් කළේ කුමක්ද?

7 හෙරොද් රජු සිතූ ලෙසම යාකොබ්ව ඝාතනය කිරීම යුදෙව් ජනතාවගේ සතුටට හේතු වුණා. ඉන් පන්නරයක් ලැබූ ඔහුගේ ඊළඟ ගොදුර වුණේ පේතෘස්. මුල් ඡේද කිහිපයේ විස්තර කළ ලෙස ඔහු පේතෘස්ව සිරභාරයට ගත්තා. කලින් අවස්ථාවකදී (පස්වෙනි පරිච්ඡේදයේ සලකා බැලූ ලෙස) යේසුස්ගේ නියෝජිතයන්ව ආශ්චර්යවත් ලෙස සිරගෙයින් නිදහස් කළ ආකාරය හෙරොද් රජුගේ මතකයේ තිබූ බවට සැකයක් නැහැ. ඒ නිසා එවැනි දෙයක් නැවත සිදු නොවීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ඔහු ගත්තා. ඔහු පේතෘස්ව දම්වැල්වලින් බැඳ මුරකරුවන් දෙදෙනෙකුව ඔහුට දෙපසින් සිටුවා තැබුවා. මාරුවෙන් මාරුවට දිවා රෑ පුරා පේතෘස්ව මුර කිරීම සඳහා මුරකරුවන් 16දෙනෙකුව ඔහු යෙදෙව්වා. හදිස්සියේවත් පේතෘස් සිරගෙයින් පැන ගියොත් එම මුරකරුවන්ට මරණ දණ්ඩනය ලැබීමට නියමිතව තිබුණා. පේතෘස් සිටින එම තත්වය දැන සිටි සෙසු ක්‍රිස්තියානීන්ට පේතෘස් වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද?

8 කළ යුත්තේ කුමක්ද කියා ඔවුන් හොඳින් දැන සිටියා. ක්‍රියා 12:5හි පවසන්නේ, “පේතෘස් සිරභාරයේ සිටියදී සභාව ඔහු වෙනුවෙන් මහත් උනන්දුවෙන් දෙවිට යාච්ඤා කරමින් සිටි” බවයි. තම ප්‍රේමණීය සහෝදරයා වෙනුවෙන් ඔවුන් මහත් උනන්දුවෙන් හා මුළු හදවතින්ම දෙවිට කන්නලව් කළා. නියෝජිත යාකොබ්ගේ මරණය නිසා ඔවුන් සම්පූර්ණයෙන්ම අධෛර්යයට පත් වී බලාපොරොත්තු අත්හැර දමා සිටියේවත් යාච්ඤා කිරීමෙන් කිසිම පලක් නැහැ කියා සිතුවේවත් නැහැ. ඔවුන් කරන යාච්ඤා දෙවිගේ අරමුණට එකඟ නම් දෙවි අනිවාර්යයෙන්ම පිළිතුරු දෙන බව ඔවුන් හොඳින් දැන සිටියා. (හෙබ්‍රෙ. 13:18, 19; යාකො. 5:16) එය අද දින සිටින සැබෑ ක්‍රිස්තියානීන්ද හොඳින් සිතට ගත යුතු කාරණයක්.

9. යාච්ඤාව සම්බන්ධයෙන් පළමුවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන්ගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

9 විවිධ පීඩාවලට මුහුණ දෙමින් සිටින සහෝදර සහෝදරියන්ව ඔබ දන්නවාද? සමහරවිට ඔවුන් දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දෙමින් සිටිනවා විය හැකියි. නැත්නම් ආණ්ඩු මගින් පනවා තිබෙන තහංචි මැද සේවය කරනවා විය හැකියි. එසේත් නැත්නම් ඔවුන් ස්වාභාවික විපත්තිවලට මුහුණ දෙමින් සිටිනවා විය හැකියි. ඇත්තෙන්ම එවැනි තත්වයන්ට මුහුණ දෙමින් සිටින අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මහත් උනන්දුවෙන් දෙවිට කන්නලව් කිරීම යහපත් දෙයක්! වැඩිදෙනාගේ අවධානයට ලක් නොවන ආකාරයේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන සමහරදෙනෙකුව සමහරවිට ඔබ දන්නවා විය හැකියි. ඔවුන්ගේ පවුලේ යම් ප්‍රශ්න තිබෙනවා විය හැකියි. නැත්නම් යම් හේතුවක් නිසා ඔවුන් අධෛර්යයට පත්ව සිටිනවා විය හැකියි. එසේත් නැත්නම් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට හානියක් විය හැකි යම් අභියෝගවලට ඔවුන් මුහුණ දෙමින් සිටිනවා විය හැකියි. යාච්ඤා කිරීමට පෙර එවැනි තත්වයන්ට මුහුණ දී සිටින්නේ කවුද කියා කල්පනා කර බලන්න. එවිට ඔවුන්ගේ නම් සඳහන් කරමින් ‘යාච්ඤා අසන තැනැත්තාට’ ඔවුන් වෙනුවෙන් කන්නලව් කිරීමට ඔබට පුළුවන්. (ගීතා. 65:2) ඔබටත් යම් දවසක දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වුණොත් සෙසු සහෝදර සහෝදරියන් ඔබ වෙනුවෙන් යාච්ඤා කරයි කියා ඔබ බලාපොරොත්තු වන්නේ නැද්ද?

දෙවිට විශ්වාසවන්තව සිටීම නිසා සිරගත කර තිබෙන සහෝදරයන් වෙනුවෙන් අප දෙවිට යාච්ඤා කරනවා

“මා පස්සේ එන්න” (ක්‍රියා 12:6-11)

10, 11. දේවදූතයා පේතෘස්ව සිරගෙයින් නිදහස් කළ ආකාරය විස්තර කරන්න.

10 ඊළඟ දිනයේදී තමන්ට මුහුණ දීමට සිදු වන දේ ගැන පේතෘස් සිටියේ මහත් කනස්සල්ලකින්ද? ඒ ගැන අපට හරියටම යමක් පැවසිය නොහැකියි. කෙසේවෙතත් වාර්තාවේ පවසන්නේ විමසිල්ලෙන් සිටි මුරකරුවන් දෙදෙනා මැද පේතෘස් තද නින්දක සිටි බවයි. හෙට දවසේ කුමක් සිදු වුණත් යෙහෝවා දෙවිගෙන් තමන්ව ඈත් කිරීමට ඊට නොහැකි බව මේ විශ්වාසවන්ත සේවකයා දැන සිටියා. (රෝම 14:7, 8) නමුත් ඊළඟට සිදු වුණේ පේතෘස් හීනෙකින්වත් නොසිතූ දෙයක්. එකපාරටම මුළු සිරකුටිය පුරාම දීප්තිමත් ආලෝකයක් විහිදී ගියා. දේවදූතයෙක් පැමිණ ඔහු ළඟ සිටගත්තා. නමුත් ඒ දේවදූතයාව එතැන සිටි මුරකරුවන්ට පෙනුණේ නැහැ. ඉක්මනින්ම ඒ දේවදූතයා පේතෘස්ව නින්දෙන් අවදි කළා. කොහොමටවත් කඩා දැමිය නොහැකියි කියා සිතූ දම්වැල් එවිට ඔහුගේ දෑත්වලින් ගැලවී වැටුණා.

“නුවරට යන යකඩ දොරටුව අසලට පැමිණි විට එය ඉබේම විවෘත විය.”—ක්‍රියා 12:10

11 ‘ඉක්මනින් නැඟිටින්න. ඔබේ පාවහන් දමාගෙන සූදානම් වන්න. ඔබේ පිට වස්ත්‍රය දමාගන්න’ කියා දේවදූතයා මඟ පෙන්වීම් කිහිපයක්ම පේතෘස්ට ලබා දුන්නා. පේතෘස්ද ඒවා ඉක්මනින් පිළිපැද්දා. ඉන්පසු දේවදූතයා, “මා පස්සේ එන්න” කියා පේතෘස්ට පැවසූ විට ඔහු විගස දේවදූතයා පසුපස ගියා. ඔවුන් සිරකුටියෙන් පිට වී පිටත සිටි මුරකරුවන්වද පසු කරගෙන විශාල යකඩ දොරටුව වෙතට හෙමිහිට ළඟා වුණා. මේ විශාල දොරටුවෙන් පිට වෙන්නේ කෙසේද කියා පේතෘස් සිතුවා නම් එම සිතුවිල්ලත් වැඩි වේලාවක් යන්න මත්තෙන් පහව ගියා. ඔවුන් එම දොරටුව අසලට පැමිණි විට ‘එය ඉබේම විවෘත වුණා.’ ඇසිපිය හෙළන සැණින් ඔවුන් එම දොරටුවෙන් පිට වී වීථියක් වෙතට පැමිණියා. එවිට පේතෘස් සමඟ සිටි දේවදූතයා නොපෙනී ගියා. මෙතෙක් සිදු වූ දේවල් සැබවින්ම සිදු වූ බව වීථියේ තනිව සිටි පේතෘස් වටහාගත්තේ එවිටයි. එය දර්ශනයක් නොවෙයි. ඇත්තටම පේතෘස් සිරගෙයින් නිදහස් වී සිටියා.—ක්‍රියා 12:7-11.

12. දෙවි පේතෘස්ව ගලවාගත් ආකාරය ගැන කල්පනා කර බැලීමෙන් අපට සහනයක් ලබාගත හැක්කේ කෙසේද?

12 තම සේවකයන්ව බේරාගැනීමට යෙහෝවා දෙවි සතු අසීමිත හැකියාව ගැන කල්පනා කර බැලීමෙන් අපට ලැබෙන්නේ මොන තරම් සහනයක්ද! පේතෘස්ව සිර කරගෙන සිටියේ එතෙක් ලොව පුරා තිබූ අධිරාජ්‍යයන්වලින් බලවත්ම අධිරාජ්‍යයේ අනුබලය තිබූ රජ කෙනෙකුයි. නමුත් කිසිම අපහසුතාවකින් තොරව එතරම් බලවත් රජ කෙනෙකුගේ අතින් පේතෘස් ගැලවී ගියා. කෙසේවෙතත් යෙහෝවා දෙවි ඔහුගේ සෑම සේවකයෙකු වෙනුවෙන්ම එවැනි ආශ්චර්යවත් දේවල් කරන්නේ නැහැ. උදාහරණයකට ඔහු යාකොබ්ව ආශ්චර්යවත් ලෙස බේරාගත්තේ නැහැ. යේසුස් කලින් අවස්ථාවක පැවසූ ලෙස පසු කාලයකදී පේතෘස්වද මරා දැමුවා. දෙවි ඒ අවස්ථාවේදීත් ඊට මැදිහත් වී කටයුතු කළේ නැහැ. මේ කාරණය තේරුම්ගෙන සිටින සැබෑ ක්‍රිස්තියානීන් වන අප, යම් අසීරු තත්වයන්වලට මුහුණ දෙන විට දෙවි අපව ආශ්චර්යවත් ලෙස ගලවාගනියි කියා බලාපොරොත්තු වන්නේ නැහැ. කෙසේවෙතත් යෙහෝවා දෙවි කිසිදාක වෙනස් නොවන දෙවි කෙනෙකු බව අප අමතක කරන්නේ නැහැ. (මලා. 3:6) ඉතාමත් ළඟදී ඔහු තම පුත්‍රයා මාර්ගයෙන් ගණන් කළ නොහැකි සෙනඟක්ව දරුණුම සතුරා වන මරණයේ ග්‍රහණයෙන් මුදවාගන්නවා. (යොහ. 5:28, 29) දුෂ්කරතාවලට මුහුණ දෙන විට දෙවිට විශ්වාසවන්තව සිටීමට එවැනි පොරොන්දු අපට මහත් ශක්තියක්.

‘ඒ පේතෘස් බව දැක ඔවුන් පුදුම වුණා’ (ක්‍රියා 12:12-17)

13-15. (අ) පේතෘස් පැමිණි විට මරියාගේ නිවසේ රැස්ව සිටි අය ක්‍රියා කළේ කෙසේද? (ආ) එම සිද්ධියෙන් පසුව ක්‍රියා පොත අවධානය දෙන්නේ කුමන තොරතුරුවලටද? නමුත් පේතෘස් සම්බන්ධයෙන් අපට ස්ථිරවම පැවසිය හැක්කේ කුමක්ද?

13 දැන් කොහේ යන්නද කියා අඳුරු වීථියේ සිටි පේතෘස් කල්පනා කළා. එවිට එම ස්ථානයට නුදුරින් මරියා නම් සහෝදරියගේ නිවස පිහිටා තිබෙන බව ඔහුට සිහිපත් වුණා. වැන්දඹුවක් වූ ඇය පෙනෙන විදිහට යමක් කමක් තිබූ කෙනෙක්. සභාවකට රැස් විය හැකි විශාල නිවසක් ඇය සතුව තිබුණා. ඇය, මාක් යන වාසගම දැරූ යොහන්ගේ මවයි. පසු කාලයක පේතෘස් තම පුතෙකු ලෙස සැලකූ මාක් ගැන පළමු වරට සඳහන් වන්නේ මේ අවස්ථාවෙයි. (1 පේතෘ. 5:13) බොහෝ රෑ බෝ වී තිබුණත් සභාවේ බොහෝදෙනෙක් ඒ අවස්ථාවේ සිටියේ මරියාගේ නිවසේ යාච්ඤා කරමිනුයි. කිසිම සැකයක් නැහැ, ඔවුන් යාච්ඤා කරමින් සිටියේ පේතෘස් වෙනුවෙනුයි. නමුත් දෙවි පේතෘස්ව එලෙස ආශ්චර්යවත් ආකාරයකින් ගලවාගනියි කියා ඔවුන් සිතන්න නැතුව ඇති.

14 පේතෘස් මරියාගේ නිවසේ ප්‍රධාන දොරටුව අසලට ගොස් දොරට තට්ටු කළා. එම දොරටුවෙන් නිවසේ ඉදිරි මළුවට ඇතුල් විය හැකියි. දොරට තට්ටු කළේ කවුද කියා බැලීමට රෝදා (ග්‍රීක බසින් එහි තේරුම රෝස මල) නම් සේවිකාව නිවසෙන් පිටතට පැමිණ දොරටුව වෙතට ගියා. දොරටුව දෙසින් ඇසෙන්නේ පේතෘස්ගේ කටහඬ බව ඇය හඳුනාගත්තත් ඇයට එය අදහාගත නොහැකි වුණා. ඇය කොතරම් කලබලයට පත් වුණාද කියනවා නම් දොර විවෘත කර පේතෘස්ව ඇතුළට ගන්නවා වෙනුවට නිවස තුළට දිව ගොස් දොරටුව අසල පේතෘස් සිටින බව එහි සිටි අයට දැන්වූවා. නමුත් ඔවුන් පැවසුවේ ඇයට පිස්සු හැදී තිබෙන බවයි. ඇය තරයේ කියා සිටියේ පේතෘස් සැබවින්ම දොරටුව අසල සිටින බවයි. එවිට එහි සිටි සමහරදෙනෙක් පැවසුවේ ඒ පේතෘස් වෙනුවෙන් පෙනී සිටින දේවදූතයෙකු විය හැකියි කියායි. (ක්‍රියා 12:12-15) ඒ සෑම දෙයක්ම සිදු වන අතරතුරේ පේතෘස් දිගටම දොරට තට්ටු කරමින් සිටියා. අන්තිමේදී නිවස තුළ සිටි අය දොරටුව වෙතට ගොස් එය විවෘත කළා.

15 එවිට එතැන සිටින්නේ, ‘පේතෘස් බව දැක ඔවුන් පුදුමයට පත් වුණා.’ (ක්‍රියා 12:16) පේතෘස්ව දුටු ඔවුන් නැඟූ ප්‍රීති ඝෝෂාව කොතරම්ද කියනවා නම් තම අද්දැකීම පැවසීම සඳහා ඔවුන්ව නිහඬ කිරීමට පේතෘස්ට සිදු වුණා. තමන්ව සිරගෙයින් දෙවි නිදහස් කළ ආකාරය ඔවුන්ට විස්තර කළ පසු යේසුස්ගේ ගෝලයෙකු වූ යාකොබ්ට හා අනෙකුත් සහෝදරයන්ට ඒ ගැන දන්වන්න කියා පැවසූ පේතෘස්, හෙරොද් රජුගේ සෙබළුන් පැමිණීමට පෙර එතැනින් පිටත්ව ගියා. පේතෘස් තම සේවය විශ්වාසවන්තව දිගටම කරගෙන යෑමට එතරම් අනතුරක් නැති ප්‍රදේශයකට යන්න ඇති. ක්‍රියා පොතෙහි පේතෘස් ගැන නැවත සඳහන් වන්නේ ක්‍රියා 15වෙනි පරිච්ඡේදයේ පමණයි. චර්මච්ඡේදනය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කිරීමට ඔහු තොරතුරු ඉදිරිපත් කළ ආකාරය එහි සඳහන් වෙනවා. මෙතැන් සිට ක්‍රියා පොත අවධානය දෙන්නේ නියෝජිත පාවුල් කළ සේවය හා ඔහු කළ සංචාරයන් වෙතටයි. කෙසේවෙතත් අපට එක් දෙයක් ගැන ස්ථිර විය හැකියි. එනම් පේතෘස් කොහේ ගියත් තම සහෝදර සහෝදරියන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමට බොහෝ සෙයින් වෙහෙසුණු බවයි. ඔහු මරියාගේ නිවසින් පිටත් වූ විට එහි සිටි අය මහත් ප්‍රීතියෙන් සිටියේ ඔහු ලබා දුන් දිරිගැන්වීම් නිසා බව නිසැකයි.

16. අනාගතයේ බොහෝ ආශීර්වාද අපට ලැබෙන බවට ස්ථිර විය හැක්කේ ඇයි?

16 සමහර අවස්ථාවලදී යෙහෝවා දෙවි තම සේවකයන්ට ඔවුන් බලාපොරොත්තු වනවාටත් වඩා වැඩියෙන් උපකාර සපයනවා. එයින් ඔවුන් අද්දකින ප්‍රීතිය මොන තරම්ද! පේතෘස් වෙනුවෙන් යාච්ඤා කරමින් සිටි සහෝදර සහෝදරියන්ටත් එදින රාත්‍රියේ දැනුණේ ඒ හා සමාන ප්‍රීතියක්. අද දිනත් යෙහෝවා දෙවිගේ ආශීර්වාද අප අද්දකින විට අපටත් මහත් ප්‍රීතියක් දැනෙනවා. (හිතෝ. 10:22) ඉතාමත් ළඟදී යෙහෝවා දෙවිගේ සෑම පොරොන්දුවක්ම ඉටු වන ආකාරය අපට සියැසින් දැකගත හැකියි. එය අද දින අප සිතින් මවාගෙන සිටින තත්වයට වඩා සිය දහස් ගුණයකින් ශ්‍රේෂ්ඨ වන බව නිසැකයි. ඒ නිසා අපි දිගටම විශ්වාසවන්තව සිටිමු. එසේ සිටියොත් අනාගතයේ බොහෝ ආශීර්වාද අපට ලැබෙන බව නිසැකයි.

‘දෙවිගේ දූතයෙක් ඔහුට පහර දුන්නා’ (ක්‍රියා 12:18-25)

17, 18. රැස්ව සිටි පිරිස හෙරොද් රජුව ප්‍රශංසාවට ලක් කළේ කුමක් නිසාද?

17 පේතෘස් සිරගෙයින් පලා ගොස් ඇති බව ආරංචි වූ විට හෙරොද් රජුට මොන තරම් කම්පනයක් ඇති වෙන්න ඇද්ද! සෑම අස්සක් මුල්ලක් නෑරම පේතෘස්ව සෙවීමට ඔහු විගස සෙබළුන් පිරිසක්ව පිටත් කර යැව්වා. ඉන්පසු පේතෘස්ව මුර කිරීමට යොදවා තිබූ මුරකරුවන්ව ඔහු තමන් ඉදිරියට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කළ පසු ඔවුන්ට ‘දඬුවම් නියම කළා.’ බොහෝදුරට ඔවුන්ට ලැබුණු දඬුවම මරණය විය හැකියි. (ක්‍රියා 12:19) ඉන් පැහැදිලි වන්නේ හෙරොද් රජු කරුණාවන්ත, දයාවන්ත පාලකයෙකු නොවූ බවයි. මේ දුෂ්ට මිනිසාට තමන් කළ දේවලට දඬුවම් ලැබුණාද?

18 පේතෘස්ට නියම කළ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම නිසා හෙරොද් රජුට මහත් ලැජ්ජාවක් දැනෙන්න ඇති. නමුත් ඔහුට ඇති වූ ඒ හැඟීම වැඩි කල් යෑමට මත්තෙන් පහව ගියා. මන්ද ඔහුගේ සතුරන් සාම යෝජනාවක් ඔහුට ඉදිරිපත් කළ විට ප්‍රසිද්ධියේ විශාල පිරිසක් ඇමතීමට ඔහුට අවස්ථාව උදා වුණා. තමන්ට එවැනි අවස්ථාවක් ලැබෙන තුරු ඔහු නොඉවසිල්ලෙන් බලා සිටින්න ඇති. ඒ අවස්ථාවට සහභාගි වීම සඳහා ‘හෙරොද් රජ රාජකීය වස්ත්‍රවලින් සැරසී සිටිය’ බව ලූක් වාර්තා කර තිබෙනවා. යුදෙව් ඉතිහාසඥයෙක් වූ ජොසීෆස් පවසන්නේ හෙරොද්ගේ වස්ත්‍ර රිදීවලින් නිමවා තිබූ අතර ආලෝකය ඔහු මතට වැටුණු විට ඔහු පැළඳ සිටි වස්ත්‍ර නිසා ඔහු දීප්තියෙන් බැබළුණු බවයි. එලෙස සැරසී සිටි මේ ආඩම්බර පාලකයා රැස්ව සිටි ඒ සියල්ලන්ව ප්‍රසිද්ධියේ ඇමතුවා. මුණිච්චාවට ඔහුට ගැතිකම් පෙන්වූ එතැන රැස්ව සිටි පිරිස ඔහු කළ කතාව ගැන මෙසේ පැවසුවා. “මෙය නම් මිනිසෙකුගේ කටහඬක් වෙන්න බැහැ. මෙය දෙවි කෙනෙකුගේ කටහඬක් විය යුතුයි.”—ක්‍රියා 12:20-22.

19, 20. (අ) හෙරොද් රජුට යෙහෝවා දෙවි දඬුවම් කළේ ඇයි? (ආ) හෙරොද් රජුට එක සැණින් සිදු වූ දෙයින් අප වටහාගන්නේ කුමක්ද?

19 ඇත්තෙන්ම එවැනි ප්‍රශංසාවක් ලබන්න වටින එකම තැනැත්තා දෙවි පමණයි. ඒ නිසා තමන් දෙවි කෙනෙකුට සමාන නොවන බව පවසමින් එසේ පැවසූ සෙනඟව නිවැරදි කරන්න ඔහුට ඕනෑ තරම් අවස්ථාව තිබුණා. ඒ වෙනුවට ඔහු කළේ එම ගෞරවය තමන්ට ලැබීම ගැන සතුටු වීමයි. ඔහු කළ වරද කොතරම් බරපතළද කියනවා නම්, ‘දෙවිගේ දූතයෙක් විගස ඇවිත් ඔහුට පහර දුන්නා. එවිට ඔහුගේ සිරුර පුරාම පණුවන් ගසා ඔහු මිය ගියා.’ (ක්‍රියා 12:23) ඒ අහංකාර පාලකයාට අත් වුණේ ඉතාමත් පහත් මරණයක්. හිතෝපදේශ පොතේ සඳහන්, “විනාශයට මුල උඩඟුකමය” යන කියමන සත්‍යයක් බව එම සිද්ධියෙන් මනාව ඔප්පු වුණා. (හිතෝ. 16:18) ඉතිහාසඥ ජොසීෆස්ද පැවසුවේ හෙරොද් රජුට එකපාරටම දරුණු රෝගයක් වැලඳුණු බවයි. තමන්ට එවැනි රෝගයක් වැලඳුණේ සෙනඟගේ ප්‍රශංසාව තමන් ලබාගත් නිසා කියා රජු සිතූ බව ජොසීෆස් තවදුරටත් පැවසුවා. ජොසීෆස්ගේ වාර්තාවට අනුව හෙරොද් රජ එම රෝගයෙන් දවස් පහක් පීඩා විඳ මිය ගියා. *

20 දුෂ්ට මිනිසුන් මොන තරම් වැරදි දේවල් කළත් ඔවුන් වැජඹෙමින් ජීවත් වන බව සමහර අවස්ථාවලදී දකින්න ලැබෙනවා. ඇත්තෙන්ම අප ඒ ගැන පුදුම විය යුතු නැහැ. මන්ද “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙන බව” බයිබලයේ පැහැදිලිවම පවසා තිබෙනවා. (1 යොහ. 5:19) ඒ වුණත් සමහර අවස්ථාවලදී දුෂ්ට දේවල් කරන මිනිසුන්ට කිසිම දඬුවමක් නොලැබෙන විට දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට යම් කනස්සල්ලක් ඇති විය හැකියි. නමුත් යුක්තියට ප්‍රිය කරන යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම දුෂ්ටයන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා බව මෙවැනි වාර්තාවලින් අපට සිහිගන්වනවා. (ගීතා. 33:5) එය අපට සහනයක් ගෙන දෙන්නේ නැද්ද! ඇත්තෙන්ම දෙවි යුක්තිය ඉටු කරන දවස වැඩි ඈතක නොවෙයි.

21. ක්‍රියා 12වෙනි පරිච්ඡේදයෙන් අපට කාවද්දන්නේ කුමන කාරණයද? එය අපට සහනයක් ගෙන දෙන්නේ ඇයි?

21 “යෙහෝවා දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර ගියේය.” (ක්‍රියා 12:24) ක්‍රියා 12වෙනි පරිච්ඡේදයේ සඳහන් වාර්තාව අවසන් වන්නේ ඒ දිරිගන්වනසුලු වදන් සමඟිනුයි. මෑත කාලවලදීත් ශුභාරංචිය මෙතරම් දුරට ව්‍යාප්ත කිරීමට හැකි වී තිබෙන්නේ දෙවිගේ ආශීර්වාදය නිසා බව ඉන් අපට සිහිගන්වන්නේ නැද්ද! ක්‍රියා 12වෙනි පරිච්ඡේදය එක් නියෝජිතයෙකුගේ මරණය හා තවත් නියෝජිතයෙකු සිරගෙයින් ආශ්චර්යවත් ලෙස නිදහස් වූ ආකාරය විස්තර කරන වාර්තාවක් පමණක් නොවෙයි. එම පරිච්ඡේදයෙන් ක්‍රිස්තියානි සභාව නැත්තටම නැති කර දැමීමට හා දෙවිගේ සේවකයන් උද්‍යෝගයෙන් කරන සේවය නතර කර දැමීමට සාතන් දරන උත්සාහයන් යෙහෝවා දෙවි නිෂ්ඵල කරන ආකාරය ප්‍රබල අයුරින් කාවද්දනවා. සාතන් දැරූ උත්සාහයන් එදා අසාර්ථක වුණා වගේ අදත් ඔහු යොදන සෑම උපායක්ම නිෂ්ඵල වන බව ස්ථිරයි. (යෙසා. 54:17) නමුත් යෙහෝවා දෙවි හා යේසුස් සමඟ අප කරන කාර්යය කවදාවත් නිෂ්ඵල වන්නේ නැහැ. එය දැන සිටීම අපට මහත් දිරිගැන්වීමක්. “යෙහෝවා දෙවිගේ පණිවිඩය” සියල්ලන්ට දේශනා කිරීමට අපට ලැබී තිබෙන පැවරුම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!

^ 2 ඡේ. පළමුවෙනි හෙරොද් අග්‍රිපා රජ” නමැති කොටුව බලන්න.

^ 19 ඡේ. එක් වෛද්‍යවරයෙකු හා තවත් ලේඛකයෙකු පවසන්නේ ජොසීෆස් හා ලූක් විස්තර කර තිබෙන රෝග ලක්ෂණ වටපණු රෝගය වැලඳුණු කෙනෙකුගේ රෝග ලක්ෂණවලට බොහෝදුරට සමාන බවයි. එවැනි කෙනෙකුගේ බඩවැල් අධික පණුවන්ගෙන් පිරී යන නිසා බඩවැල්වල අවහිරතා ඇති වී මරණයට පවා පත් විය හැකියි. රෝගය උග්‍ර වන අවස්ථාවලදී රෝගියා පණුවන්ව වමාරන අතර රෝගියා මිය යන විට පණුවන් ශරීරයෙන් ඉවතට පැමිණෙනවා. එක් පොතක සඳහන් වන්නේ, “වෛද්‍යවරයෙකු වූ ලූක් ඉතා නිවැරදිව හෙරොද්ගේ බිහිසුණු මරණය විස්තර කර තිබෙනවා” කියායි.