Skip to content

පටුනට යන්න

10වෙනි පරිච්ඡේදය

‘යෙහෝවා දෙවියන්ගේ පණිවිඩය හැමෝම අතරේ දිගටම පැතිරෙයි’

‘යෙහෝවා දෙවියන්ගේ පණිවිඩය හැමෝම අතරේ දිගටම පැතිරෙයි’

පේතෘස්ව හිරෙන් නිදහස් කරයි, විරුද්ධවාදිකම් මැදත් ශුභාරංචිය දිගින් දිගටම පැතිරෙයි

ක්‍රියා 12:1-25

1-4. පේතෘස් හිටපු තත්වය විස්තර කරන්න. ඔබ ඔහුගේ තත්වයේ හිටියා නම් ඔබට කොහොම හැඟෙයිද?

 විශාල යකඩ දොරටුවක් වහන ශබ්දය ඈතට ඇහෙනවා. රෝම සොල්දාදුවන් දෙන්නෙක් දම්වැල් දාපු පුද්ගලයෙක්ව සිරකුටියකට අරන් යනවා. ඔවුන් අරන් යන ඒ පුද්ගලයා කවුද? ඒ පේතෘස්. සිරකුටියේ ඉන්න ඔහු වටපිට බලද්දී ඔහුගේ නෙත ගැටෙන්නේ විශාල බිත්ති, යකඩ පොලු, මුරකරුවන් හා ඔහුගේ අත්වල දාපු දම්වැල් විතරයි. තමන්ට වෙන්න යන්නේ මොනවාද කියලා දැනගන්න ඔහුට පැය ගාණක්, සමහරවිට දවස් ගාණක් සිරකුටියට වෙලා බලන් ඉන්න වෙයි.

2 තමන්ට ලැබී තිබෙන තීන්දුව දැන් පේතෘස්ට ආරංචි වෙනවා. පළවෙනි හෙරොද් අග්‍රිපා රජ තීන්දු කර තිබෙන්නේ ඔහුව මරණයට පත් කරන්නයි. a රජු අදහස් කරන්නේ සෙනඟව සතුටු කරන්න, පාස්කු උත්සවයෙන් පස්සේ පේතෘස්ව සෙනඟ ඉදිරියට ගෙනැවිත් ඔහුට ලැබෙන දඬුවම සියල්ලන්ට දන්වන්නයි. ඇත්තෙන්ම පේතෘස්ට ලැබී තිබෙන තීන්දුව සැහැල්ලුවට ගන්න බැහැ. මොකද මීට ටික දවසකට කලින් හෙරොද්ම යේසුස්ගේ තවත් නියෝජිතයෙක් වුණ යාකොබ්ව මරණයට පත් කරලා තිබුණා.

3 පේතෘස්ව මරණයට පත් කරන්න නියමිත දවස හෙටයි. අඳුරු සිරකුටියක තම ජීවිතයේ අවසන් රාත්‍රිය ගත කරමින් ඉන්න පේතෘස් කල්පනා කරන්නේ මොනවා ගැනද? පේතෘස්ට විලංගු දාලා ඔහු යන්න අකමැති තැනකට ඒ කියන්නේ ඔහුව මරන්න අරන් යනවා කියලා මීට අවුරුදු ගාණකට කලින් යේසුස් කියපු වදන් ඔහුගේ මතකයට නැඟුණාද? (යොහ. 21:18, 19) යේසුස් කියපු ඒ අවස්ථාව දැන් උදා වෙලා කියලා සමහරවිට පේතෘස්ට සිතෙන්න ඇති.

4 පේතෘස්ගේ තත්වයේ දැන් ඔබ සිටිනවා කියා සිතන්න. ඔබට කොහොම හැඟෙයිද? ඒ වගේ තත්වයක ඉන්න හුඟදෙනෙක් බලාපොරොත්තු අත්හැරලා දායි. නමුත් යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ට එහෙම වෙයිද? මොන තත්වයකට මුහුණ දෙන්න වුණත් ඔවුන්ට නොසැලී ඉන්න පුළුවන් වෙයිද? පේතෘස් හා අනිත් ක්‍රිස්තියානීන් පීඩා හමුවේ වැඩ කරපු විදිහෙන් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

‘සභාවේ අය අත්හරින්නේ නැතුව දිගටම යාච්ඤා කළා’ (ක්‍රියා 12:1-5)

5, 6. (අ) හෙරොද් රජ ක්‍රිස්තියානි සභාවට විරුද්ධව වැඩ කළේ ඇයි? ඒ කොහොමද? (ආ) යාකොබ්ගේ මරණය සභාවට ප්‍රබල පහරක් වුණේ ඇයි?

5 කලින් පරිච්ඡේදයේ අප ඉගෙනගත්ත විදිහට කොර්නේලියස් හා ඔහුගේ පවුලේ අය යේසුස්ගේ අනුගාමිකයන් වුණ එක ක්‍රිස්තියානි සභාවට සුවිශේෂී අවස්ථාවක්. නමුත් යුදෙව් ක්‍රිස්තියානීන් යුදෙව් නොවන ක්‍රිස්තියානීන් එක්ක එකතු වෙලා නමස්කාර කරන එක ගැන ක්‍රිස්තියානි නොවන යුදෙව්වන් පුදුම වෙන්න ඇති.

6 මේක යුදෙව්වන්ව දිනාගන්න කදිම අවස්ථාවක් කියලා කපටි පාලකයෙක් වුණ හෙරොද් දැක්කා. ඒ නිසා ඔහු ක්‍රිස්තියානීන්ට පීඩා කරන්න පටන්ගත්තා. ක්‍රිස්තියානි සභාවේ පෙරමුණ අරන් වැඩ කරපු යාකොබ්, යේසුස්ව කිට්ටුවෙන් ඇසුරු කළ කෙනෙක් කියලා හෙරොද් රජ දැනන් ඉන්න ඇති. ඒ නිසා ඔහු “යොහන්ගේ සහෝදරයා වුණ යාකොබ්ව කඩුවෙන් මරලා දැම්මා.” (ක්‍රියා 12:2) ඒක ක්‍රිස්තියානි සභාවට මොන තරම් ප්‍රබල පහරක් වෙන්න ඇද්ද! යාකොබ්, යේසුස්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වුණ අවස්ථාව ඇතුළු අනිත් ගෝලයන් නොදැකපු ආශ්චර්යයන් දැක්ක යේසුස්ගේ ගෝලයන් තුන්දෙනාගෙන් කෙනෙක්. (මතෙ. 17:1, 2; මාක් 5:37-42) ඔහුටත් ඔහුගේ සහෝදරයා වුණ යොහන්ටත් තිබුණු උද්‍යෝගය නිසා යේසුස් ඔවුන් දෙන්නාව “ගිගුරුමකට සමාන පුතාලා” විදිහට හැඳින්වුවා. (මාක් 3:17) සභාවට අහිමි වුණේ මොන තරම් නිර්භීත, විශ්වාසවන්ත හා ප්‍රේමණීය නියෝජිතයෙක්ද!

7, 8. සිරභාරයේ හිටපු පේතෘස් වෙනුවෙන් අනිත් ක්‍රිස්තියානීන් කළේ මොකක්ද?

7 හෙරොද් රජු හිතුව විදිහටම යාකොබ්ව ඝාතනය කිරීම යුදෙව් ජනතාවගේ සතුටට හේතු වුණා. ඒකෙන් පන්නරයක් ලැබුණ හෙරොද් ඊළඟට පේතෘස්ව ඔහුගේ ගොදුර කරගත්තා. මුලින් කියපු විදිහට ඔහු පේතෘස්ව සිරභාරයට ගත්තා. කලින් අවස්ථාවකදී (5වෙනි පරිච්ඡේදයේ බලපු විදිහට) යේසුස්ගේ නියෝජිතයන්ව ආශ්චර්යවත් විදිහට සිරගෙයින් නිදහස් කරපු එක හෙරොද් රජුගේ මතකයේ තිබුණු බවට සැකයක් නැහැ. ඒ නිසා ඒ වගේ දෙයක් නැවත සිදු නොවීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ඔහු ගත්තා. ඔහු පේතෘස්ව දම්වැල්වලින් බැඳලා මුරකරුවන් දෙන්නෙක්ව ඔහුට දෙපැත්තෙන් තිබ්බා. මාරුවෙන් මාරුවට දිවා රෑ පුරා පේතෘස්ව මුර කරන්න මුරකරුවන් 16දෙනෙක්ව ඔහු යෙදෙව්වා. හදිස්සියේවත් පේතෘස් සිරගෙයින් පැන ගියොත් ඒ මුරකරුවන්ට මරණ දණ්ඩනය ලැබෙන්න නියමිතව තිබුණා. පේතෘස් ඉන්න ඒ තත්වය දැනගෙන හිටපු අනිත් ක්‍රිස්තියානීන්ට පේතෘස් වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද?

8 කරන්න ඕනෙ මොනවාද කියලා ඔවුන් හොඳින් දැනගෙන හිටියා. ක්‍රියා 12:5 කියන්නේ “පේතෘස් හිරේ ඉද්දී සභාවේ අය අත්හරින්නේ නැතුව දිගටම එයා වෙනුවෙන් යාච්ඤා කළා” කියලයි. තම ප්‍රේමණීය සහෝදරයා වෙනුවෙන් ඔවුන් අත්හරින්නේ නැතුව මුළු හදවතින්ම දෙවියන්ට කන්නලව් කළා. යාකොබ්ගේ මරණය නිසා ඔවුන් සම්පූර්ණයෙන්ම අධෛර්යයට පත් වෙලා බලාපොරොත්තු ඇත්හැරියේවත් යාච්ඤා කරන එකෙන් පලක් නැහැ කියලා හිතුවේවත් නැහැ. ඔවුන් කරන යාච්ඤා දෙවියන්ගේ අරමුණට එකඟ නම් දෙවියන් අනිවාර්යයෙන්ම පිළිතුරු දෙන බව ඔවුන් හොඳින් දැන සිටියා. (හෙබ්‍රෙ. 13:18, 19; යාකො. 5:16) ඒක අද ඉන්න සැබෑ ක්‍රිස්තියානීනුත් හොඳින් සිතට ගත යුතු කාරණයක්.

9. පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ගෙන් අපට යාච්ඤාව ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 විවිධ පීඩාවලට මුහුණ දෙමින් සිටින සහෝදර සහෝදරියන්ව ඔබ දන්නවාද? සමහරවිට ඔවුන් දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දෙනවා ඇති. නැත්නම් ආණ්ඩුවලින් පනවා තිබෙන තහංචි මැද සේවය කරනවා ඇති. එහෙම නැත්නම් ඔවුන් ස්වාභාවික විපත්තිවලට මුහුණ දෙනවා ඇති. ඇත්තටම ඒ වගේ තත්වයන්ට මුහුණ දෙන අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් ලොකු උනන්දුවකින් දෙවියන්ට කන්නලව් කරන එක යහපත් දෙයක්! වැඩිදෙනාගේ අවධානයට ලක් නොවන දුෂ්කරතාවන්ට මුහුණ දෙන අයවත් ඔබ දන්නවා ඇති. සමහරවිට ඔවුන්ට පවුල් ප්‍රශ්න ඇති. නැත්නම් යම් හේතුවක් නිසා අධෛර්යයට පත් වෙලා ඇති. එහෙමත් නැත්නම් විශ්වාසයට හානියක් විය හැකි අභියෝගවලට මුහුණ දෙනවා ඇති. යාච්ඤා කරන්න කලින් ඒ වගේ තත්වයන්ට මුහුණ දෙන්නේ කවුද කියලා කල්පනා කරන්න. එතකොට ඔවුන්ගේ නම් සඳහන් කරමින් ‘යාච්ඤා අසන තැනැත්තාට’ ඔවුන් වෙනුවෙන් කන්නලව් කරන්න. (ගීතා. 65:2) ඔබටත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වුණොත් ඔබේ සහෝදර සහෝදරියන් ඔබ වෙනුවෙන් යාච්ඤා කරයි කියා ඔබ බලාපොරොත්තු වන්නේ නැද්ද?

දෙවියන්ට විශ්වාසවන්තව සිටීම නිසා සිරගත කර තිබෙන සහෝදරයන් වෙනුවෙන් අප දෙවියන්ට යාච්ඤා කරනවා

“මගේ පස්සේ එන්න” (ක්‍රියා 12:6-11)

10, 11. දේවදූතයා පේතෘස්ව සිරගෙයින් නිදහස් කරපු විදිහ විස්තර කරන්න.

10 ඊළඟ දවසේදී තමන්ට මුහුණ දෙන්න සිදු වන දේ ගැන පේතෘස් හිටියේ කනස්සල්ලෙන්ද? ඒ ගැන අපට හරියටම කියන්න බැහැ. නමුත් වාර්තාවේ කියන්නේ විමසිල්ලෙන් සිටි මුරකරුවන් දෙන්නා මැද පේතෘස් තද නින්දක සිටි බවයි. හෙට දවසේ මොකක් වුණත් යෙහෝවා දෙවියන්ගෙන් තමන්ව ඈත් කරන්න කිසිම දේකට බැරි බව මේ විශ්වාසවන්ත සේවකයා දැනන් හිටියා. (රෝම 14:7, 8) නමුත් ඊළඟට සිදු වුණේ පේතෘස් හීනෙකින්වත් නොසිතපු දෙයක්. එකපාරටම මුළු සිරකුටිය පුරාම දීප්තිමත් එළියක් විහිදුණා. දේවදූතයෙක් ඇවිත් ඔහු ළඟ හිටගත්තා. නමුත් ඒ දේවදූතයාව එතන සිටි මුරකරුවන්ට පෙනුණේ නැහැ. ඉක්මනින්ම ඒ දේවදූතයා පේතෘස්ව නින්දෙන් අවදි කළා. කීයටවත් කඩලා දාන්න බැරි දම්වැල් ඔහුගේ අත්වලින් ගැලවිලා වැටුණා.

එයාලා “නුවරට යන යකඩ දොරටුව ළඟට ආවාම ඒක ඉබේම ඇරුණා.”—ක්‍රියා 12:10

11 දේවදූතයා එක දිගටම “ඉක්මනින් නැඟිටින්න,” “ඇඳුම් ඇඳගෙන පාවහන් දාගන්න,” “ඔයාගේ පිට වස්ත්‍රය දාගන්න” වගේ කෙටි අණ කිහිපයක්ම පේතෘස්ට දුන්නා. පේතෘස් ඒවා ඉක්මනින් පිළිපැද්දා. ඊටපස්සේ දේවදූතයා “මගේ පස්සේ එන්න” කියලා පේතෘස්ට කියද්දී ඔහු ඉක්මනට දේවදූතයා පස්සේ ගියා. ඔවුන් සිරකුටියෙන් පිට වෙලා එළියේ හිටිය මුරකරුවන්වත් පසු කරගෙන විශාල යකඩ දොරටුව ළඟට හෙමිහිට ළඟා වුණා. මේ විශාල දොරටුවෙන් පිට වෙන්නේ කොහොමද කියලා පේතෘස් හිතුවා නම් ඒ සිතුවිල්ලත් වැඩි වෙලාවක් යන්න කලින් නැති වෙලා ගියා. මොකද ඔවුන් ඒ දොරටුව ළඟට ගියාම “ඒක ඉබේම ඇරුණා.” ඇසිපිය හෙළන සැණින් ඔවුන් ඒ දොරටුවෙන් පිට වෙලා වීථියක් ළඟට ආවා. එකපාරටම පේතෘස් එක්ක සිටි දේවදූතයා නොපෙනී ගියා. මෙතෙක් වුණ දේවල් ඇත්තටම සිදු වුණ බව පේතෘස් වටහාගත්තේ එතකොටයි. ඔහු දකින්නේ දර්ශනයක් නෙවෙයි. ඇත්තටම ඔහු සිරගෙයින් නිදහස් වෙලා.—ක්‍රියා 12:7-11.

12. දෙවියන් පේතෘස්ව ගලවගත්ත විදිහ ගැන කල්පනා කරන එක අපට සහනයක් වෙන්නේ කොහොමද?

12 තම සේවකයන්ව බේරගන්න යෙහෝවා දෙවියන්ට තියෙන අසීමිත බලය ගැන කල්පනා කරන එක මොන තරම් සහනයක්ද! පේතෘස්ව සිර කරගෙන හිටියේ එතෙක් ලොව පුරා තිබුණ අධිරාජ්‍යයන්වලින් බලවත්ම අධිරාජ්‍යයේ අනුබලය තිබුණ රජ කෙනෙක්. නමුත් කිසිම අපහසුතාවක් නැතුව ඒ තරම් බලවත් රජෙක්ගේ අතින් පේතෘස් ගැලවී ගියා. ඇත්ත, යෙහෝවා ඔහුගේ හැම සේවකයෙක් වෙනුවෙන්ම ඒ වගේ ආශ්චර්යයන් කරන්නේ නැහැ. උදාහරණයකට ඔහු යාකොබ්ව ආශ්චර්යවත් විදිහට බේරගත්තේ නැහැ. යේසුස් කියලා තිබුණ විදිහට පස්සේ කාලයකදී විරුද්ධවාදීන් පේතෘස්වත් මරලා දැම්මා. දෙවියන් ඒ අවස්ථාවේදී ඔහුව බේරගන්න මැදිහත් වුණේ නැහැ. මේ කාරණය තේරුම් අරන් ඉන්න සැබෑ ක්‍රිස්තියානීන් අසීරු තත්වයන්වලට මුහුණ දෙද්දී දෙවියන් ඔවුන්ව ආශ්චර්යවත් විදිහට ගලවගනියි කියලා බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් යෙහෝවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා අප මතක තියාගන්න ඕනේ. (මලා. 3:6) ඉතාමත් ළඟදී ඔහු තම පුත්‍රයා මාර්ගයෙන් ගණන් කළ නොහැකි සෙනඟක්ව දරුණුම සතුරා වන මරණයේ ග්‍රහණයෙන් බේරගන්නවා. (යොහ. 5:28, 29) දුෂ්කරතාවලට මුහුණ දෙද්දී දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඒ වගේ පොරොන්දු අපට ලොකු ශක්තියක්.

“ඒ පේතෘස් කියලා දැක්කාම එයාලා පුදුම වුණා” (ක්‍රියා 12:12-17)

13-15. (අ) පේතෘස් ආවාම මරියාගේ නිවසේ රැස් වෙලා හිටපු අය කළේ මොනවාද? (ආ) ඒ සිද්ධියෙන් පස්සේ ක්‍රියා පොත අවධානය දෙන්නේ මොන තොරතුරුවලටද? නමුත් පේතෘස් ගැන අපට ස්ථිරවම කියන්න පුළුවන් මොනවාද?

13 දැන් කොහේ යන්නද කියලා අඳුරු වීථියේ සිටි පේතෘස් කල්පනා කළා. එතකොට ඒ ස්ථානයට නුදුරින් මරියා කියන සහෝදරියගේ නිවස තිබෙන බව ඔහුට මතක් වුණා. පේන විදිහට වැන්දඹුවක් වුණ ඇය යමක් කමක් තිබුණ කෙනෙක්. සභාවකට රැස් වෙන්න පුළුවන් විශාල නිවසක් ඇයට තිබුණා. ඇය, මාක් කියන වාසගම තිබුණ යොහන්ගේ අම්මා. පස්සේ කාලයක පේතෘස් මාක්ව තම පුතෙක් විදිහට සැලකුවා. මාක් ගැන මුල්ම වරට සඳහන් වන්නේ මේ අවස්ථාවෙයි. (1 පේතෘ. 5:13) ගොඩක් රෑ වෙලා තිබුණත් සභාවේ හුඟදෙනෙක් මරියාගේ නිවසේ ඉඳන් ලොකු ඕනෑකමකින් යාච්ඤා කරමින් හිටියේ. කිසිම සැකයක් නැහැ, ඔවුන් යාච්ඤා කළේ පේතෘස් වෙනුවෙනුයි. නමුත් දෙවියන් පේතෘස්ව ආශ්චර්යවත් විදිහට බේරගනියි කියලා ඔවුන් හිතන්න නැතුව ඇති.

14 පේතෘස් මරියාගේ නිවසේ ප්‍රධාන දොරටුව ළඟට ගිහින් දොරට තට්ටු කළා. ඒ දොරටුවෙන් මැද මිදුලකට ඇතුල් වෙන්න පුළුවන්. දොරට තට්ටු කළේ කවුද කියලා බලන්න රෝදා (ග්‍රීක භාෂාවෙන් තේරුම රෝස මල) කියන සේවිකාව නිවසෙන් එළියට ඇවිත් දොරටුව ළඟට ගියා. දොරටුව ළඟින් ඇහෙන්නේ පේතෘස්ගේ කටහඬ බව ඇය හඳුනගත්තත් ඇයට ඒක අදහාගන්න බැරි වුණා. ඇය මොන තරම් කලබලයට පත් වුණාද කියනවා නම් දොර ඇරලා පේතෘස්ව ඇතුළට ගන්නවා වෙනුවට නිවසට දුවගෙන ගිහින් දොරටුව ළඟ පේතෘස් ඉන්න බව දැනුම් දුන්නා. නමුත් ඔවුන් කිව්වේ ඇයට පිස්සු කියලයි. ඇය තරයේම කිව්වා දොරටුව ළඟ ඉන්නේ පේතෘස් කියලා. එතකොට සමහරදෙනෙක් කිව්වා ඒ පේතෘස් වෙනුවෙන් පෙනී ඉන්න දේවදූතයෙක් වෙන්න ඇති කියලා. (ක්‍රියා 12:12-15) ඒ හැම දෙයක්ම වෙන අතරතුරේ පේතෘස් දිගටම දොරට තට්ටු කරමින් සිටියා. අන්තිමේදී නිවසේ හිටිය අය දොරටුව ළඟට ගිහින් ඒක විවෘත කළා.

15 එතන ඉන්නේ “පේතෘස් කියලා දැක්කාම එයාලා පුදුම වුණා.” (ක්‍රියා 12:16) ඔවුන් කොයි තරම් සතුටු වුණාද කියනවා නම් තම අද්දැකීම කියන්න ඔවුන්ව නිහඬ කරන්න පේතෘස්ට සිදු වුණා. තමන්ව සිරගෙයින් දෙවියන් නිදහස් කරපු විදිහ ඔවුන්ට විස්තර කළාට පස්සේ යේසුස්ගේ ගෝලයෙක් වුණ යාකොබ්ට හා අනිත් සහෝදරයන්ට ඒ ගැන දන්වන්න කියලා පේතෘස් කිව්වා. ඊටපස්සේ හෙරොද්ගේ සෙබළුන් එන්න කලින් ඔහු එතනින් ගියා. අනතුරක් නැතුව දිගටම සේවය කරගෙන යන්න පුළුවන් ප්‍රදේශයකට පේතෘස් ගියා කියලා හිතන්න පුළුවන්. ක්‍රියා පොතේ පේතෘස් ගැන නැවත සඳහන් වන්නේ ක්‍රියා 15වෙනි පරිච්ඡේදයේ විතරයි. චර්මච්ඡේදනය ගැන මතු වුණ ප්‍රශ්නය විසඳන්න ඔහු තොරතුරු ඉදිරිපත් කරපු විදිහ ඒකේ සඳහන් වෙනවා. එතන ඉඳන් ක්‍රියා පොතේ කතා කරන්නේ පාවුල් කරපු සේවය හා ඔහුගේ සංචාරයන් ගැනයි. පේතෘස් කොහේ ගියත් තම සහෝදර සහෝදරියන්ගේ විශ්වාසය ශක්තිමත් කරන්න වෙහෙසුණු බව අපිට ස්ථිරයි. ඔහු මරියාගේ නිවසින් පිටත් වෙද්දී එහේ හිටිය අය ප්‍රීතියෙන් හිටියේ ඔහු ලබා දුන් දිරිගැන්වීම් නිසා බව නිසැකයි.

16. අනාගතයේදී අපිට ආශීර්වාද නොඅඩුව ලැබෙනවා කියලා කියන්න පුළුවන් ඇයි?

16 සමහර අවස්ථාවලදී යෙහෝවා තම සේවකයන් බලාපොරොත්තු වනවාටත් වඩා වැඩියෙන් උපකාර කරනවා. ඒකෙන් ඔවුන් අද්දකින්නේ මොන තරම් සතුටක්ද! පේතෘස් වෙනුවෙන් යාච්ඤා කරමින් සිටි සහෝදර සහෝදරියන්ටත් එදා රෑ දැනුණේ ඒ වගේ සතුටක්. අදත් යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාද අද්දකිද්දී අපටත් ලොකු සතුටක් දැනෙනවා. (හිතෝ. 10:22) ළඟදීම යෙහෝවාගේ හැම පොරොන්දුවක්ම ඉටු වෙන විදිහ අපට ඇස් දෙකෙන්ම දැකගත හැකියි. ඒක අප සිතින් මවාගෙන ඉන්න තත්වයට වඩා සිය දහස් ගුණයකින් ශ්‍රේෂ්ඨ වෙනවා කියලා නිසැකයි. ඒ නිසා අපි දිගටම විශ්වාසවන්තව ඉමු. එතකොට අනාගතයේදී යෙහෝවාගේ ආශීර්වාද අපට නොඅඩුව ලැබෙයි.

“යෙහෝවාගේ දූතයා හෙරොද්ට පහර දුන්නා” (ක්‍රියා 12:18-25)

17, 18. රැස්ව සිටි පිරිස හෙරොද් රජුට ප්‍රශංසා කළේ ඇයි?

17 පේතෘස් සිරගෙයින් පලා ගිහින් කියලා ආරංචි වුණාම හෙරොද් රජුට මොන තරම් කම්පනයක් ඇති වෙන්න ඇද්ද! අස්සක් මුල්ලක් නෑර පේතෘස්ව හොයන්න ඔහු ඉක්මනින්ම සෙබළුන් පිරිසක්ව පිටත් කරලා යැව්වා. ඊටපස්සේ පේතෘස්ව මුර කරන්න යොදවලා තිබුණ මුරකරුවන්ව කැඳවලා ඔහු ඔවුන්ගෙන් ප්‍රශ්න කළාට පස්සේ ඔවුන්ට “දඬුවම් කරන්න කියලා නියෝග කළා.” බොහෝදුරට ඔවුන්ට ලැබුණු දඬුවම මරණය විය හැකියි. (ක්‍රියා 12:19) ඒකෙන් පැහැදිලි වන්නේ හෙරොද් රජු කරුණාවන්ත, දයාවන්ත පාලකයෙක් නොවුණු බවයි. මේ දුෂ්ට මිනිසාට තමන් කළ දේවලට දඬුවම් ලැබුණාද?

18 පේතෘස්ට නියම කරපු දඬුවම ක්‍රියාත්මක කරන්න නොහැකි වීම නිසා හෙරොද් රජුට ලොකු ලැජ්ජාවක් දැනෙන්න ඇති. නමුත් ඔහුට ඇති වුණ ඒ හැඟීම වැඩි කල් යන්න කලින් නැති වුණා. මොකද ඔහුගේ සතුරන් සාම යෝජනාවක් ඔහුට ඉදිරිපත් කළාම ප්‍රසිද්ධියේ විශාල පිරිසක් අමතන්න ඔහුට අවස්ථාව ලැබුණා. ඒ වගේ අවස්ථාවක් ලැබෙන කල් ඔහු නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඇති. ඒ අවස්ථාවට සහභාගි වෙන්න “හෙරොද්, රාජකීය ඇඳුම්වලින් සැරසිලා” හිටියා කියලා ලූක් වාර්තා කරනවා. යුදෙව් ඉතිහාසඥයෙක් වුණ ජොසීෆස් කියන්නේ හෙරොද්ගේ ඇඳුම් රිදීවලින් නිමවා තිබුණ නිසා ආලෝකය ඔහු මතට වැටුණාම ඔහු දීප්තියෙන් බැබළුණු බවයි. මේ ආඩම්බර පාලකයා රැස්ව සිටි අයව ප්‍රසිද්ධියේ ඇමතුවා. මුණිච්චාවට ඔහුට ගැතිකම් පෙන්වපු සෙනඟ ඔහු කරපු කතාව ගැන මෙහෙම කිව්වා. “මේ නම් මිනිසෙක්ගේ කටහඬක් වෙන්න බැහැ. මේක දෙවි කෙනෙක්ගෙම කටහඬක් වෙන්න ඕනේ.”—ක්‍රියා 12:20-22.

19, 20. (අ) හෙරොද් රජුට යෙහෝවා දඬුවම් කළේ ඇයි? (ආ) එකපාරටම හෙරොද්ට වුණ දෙයින් අපි තේරුම්ගන්නේ මොකක්ද?

19 ඇත්තටම ඒ වගේ ප්‍රශංසාවක් ලබන්න වටින එකම තැනැත්තා දෙවියන්. ඒ නිසා තමන් දෙවි කෙනෙක්ට සමාන නොවන බව පවසමින් සෙනඟව නිවැරදි කරන්න ඔහුට ඕනෑ තරම් අවස්ථාව තිබුණා. ඒ වෙනුවට ඔහු තමන්ට ලැබුණ ගෞරවය ගැන සතුටු වුණා. ඔහු කළ වරද කොතරම් බරපතළද කියනවා නම් “යෙහෝවාගේ දූතයා හෙරොද්ට පහර දුන්නා. ඒ නිසා එයාගේ ඇඟ පුරාම පණුවෝ ගහලා අන්තිමේදී එයා මැරුණා.” (ක්‍රියා 12:23) ඒ අහංකාර පාලකයාට අත් වුණේ හරිම පහත් මරණයක්. හිතෝපදේශ පොතේ සඳහන් “විනාශයට මුල උඩඟුකමයි” කියන කියමන සත්‍යයක් බව ඒ සිද්ධියෙන් ඔප්පු වුණා. (හිතෝ. 16:18) ඉතිහාසඥ ජොසීෆස් කිව්වේ හෙරොද් රජුට එකපාරටම දරුණු රෝගයක් වැලඳුණු බවයි. තමන්ට ඒ වගේ රෝගයක් වැලඳුණේ සෙනඟගේ ප්‍රශංසාව භාරගත්ත නිසා කියලා රජු පවා හිතුවා කියලා ජොසීෆස් සඳහන් කරනවා. ජොසීෆස්ගේ වාර්තාවට අනුව හෙරොද් රජ ඒ රෝගයෙන් දවස් පහක් පීඩා විඳලා මිය ගියා. b

20 දුෂ්ට මිනිසුන් මොන තරම් වැරදි කළත් ඔවුන් සාර්ථකයි කියලා සමහර අවස්ථාවලදී දකින්න ලැබෙනවා. ඇත්තෙන්ම අප ඒ ගැන පුදුම විය යුතු නැහැ. මොකද “මේ මුළු ලෝකයම යක්ෂයාගේ බලපෑමට අහු වෙලා ඉන්නවා” කියලා බයිබලයේ පැහැදිලිවම කියලා තියෙනවා. (1 යොහ. 5:19) ඒ වුණත් සමහර අවස්ථාවලදී දුෂ්ට දේවල් කරන මිනිසුන්ට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැති වෙද්දී දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන්. නමුත් යුක්තියට ප්‍රිය කරන යෙහෝවා අනිවාර්යයෙන්ම දුෂ්ටයන්ට විරුද්ධව පියවර ගන්නවා කියලා මේ වගේ වාර්තාවලින් අපට සිහිගන්වනවා. (ගීතා. 33:5) ඒක අපට සහනයක් නෙවෙයිද! ඇත්තෙන්ම දෙවියන් යුක්තිය ඉටු කරන දවස වැඩි ඈතක නැහැ.

21. ක්‍රියා 12වෙනි පරිච්ඡේදයෙන් අපට කාවද්දන්නේ මොනවාද? ඒක අපට සහනයක් වෙන්නේ ඇයි?

21 “යෙහෝවා දෙවියන්ගේ පණිවිඩය හැමෝම අතරේ දිගටම පැතිරිලා අනුගාමිකයන්ගේ ගාණ තව තවත් වැඩි වුණා.” (ක්‍රියා 12:24) ක්‍රියා 12වෙනි පරිච්ඡේදයේ සඳහන් වාර්තාව අවසන් වන්නේ ඒ දිරිගන්වනසුලු වචනවලින්. මෑත කාලවලදීත් ශුභාරංචිය මේ තරම් ව්‍යාප්ත වී තිබෙන්නේ දෙවියන්ගේ ආශීර්වාදය නිසා බව ඒකෙන් අපට සිහිගන්වනවා! ක්‍රියා 12වෙනි පරිච්ඡේදය එක නියෝජිතයෙක්ගේ මරණය හා තවත් නියෝජිතයෙක් සිරගෙයින් ආශ්චර්යවත් විදිහට නිදහස් වුණ විදිහ විස්තර කරන වාර්තාවක් විතරක් නෙවෙයි. ඒ පරිච්ඡේදයෙන් ක්‍රිස්තියානි සභාව නැත්තටම නැති කරලා දාන්න හා දෙවියන්ගේ සේවකයන් උද්‍යෝගයෙන් කරන සේවය නතර කරලා දාන්න සාතන් දරන උත්සාහයන් යෙහෝවා නිෂ්ඵල කරන විදිහ කාවද්දනවා. සාතන් දරපු උත්සාහයන් එදා අසාර්ථක වුණා වගේ අදත් ඔහු යොදන සෑම උපායක්ම නිෂ්ඵල වන බව ස්ථිරයි. (යෙසා. 54:17) නමුත් යෙහෝවා හා යේසුස් සමඟ අප කරන කාර්යය කවදාවත් නිෂ්ඵල වන්නේ නැහැ. ඒක දැනගෙන ඉන්න එක අපට මහත් දිරිගැන්වීමක්. “යෙහෝවා දෙවියන්ගේ පණිවිඩය” සියල්ලන්ට දේශනා කරන්න ලැබුණ එක මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!

a පළවෙනි හෙරොද් අග්‍රිපා රජ” කියන කොටුව බලන්න.

b එක වෛද්‍යවරයෙක් හා තවත් ලේඛකයෙක් කියන්නේ ජොසීෆස් හා ලූක් විස්තර කර තිබෙන රෝග ලක්ෂණ වටපණු රෝගය වැලඳුණු කෙනෙක්ගේ රෝග ලක්ෂණවලට බොහෝදුරට සමාන බවයි. ඒ වගේ කෙනෙක්ගේ බඩවැල් පණුවන්ගෙන් පිරී යන නිසා බඩවැල්වල අවහිරතා ඇති වෙලා මරණයට පවා පත් වෙන්න පුළුවන්. රෝගය උග්‍ර වන අවස්ථාවලදී රෝගියා පණුවන්ව වමාරන අතර රෝගියා මිය යන විට පණුවන් ශරීරයෙන් ඉවතට පැමිණෙනවා. පොතක සඳහන් වන්නේ “වෛද්‍යවරයෙක් වුණ ලූක් ඉතා නිවැරදිව හෙරොද්ගේ බිහිසුණු මරණය විස්තර කර තිබෙනවා” කියායි.