Skip to content

පටුනට යන්න

9වෙනි පරිච්ඡේදය

“දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එකම විදිහටයි”

“දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එකම විදිහටයි”

චර්මච්ඡේදනය නොවුණ වෙනත් ජාතීන්ට ශුභාරංචිය කියයි

ක්‍රියා 10:1–11:30

1-3. පේතෘස් දැක්ක දර්ශනය මොකක්ද? අපි ඒක තේරුම්ගන්න ඕනෙ ඇයි?

 ක්‍රි.ව. 36 සරත් සමයේ දවසක දහවල් කාලයේදී යාච්ඤා කිරීම සඳහා පේතෘස් ඔහු ඉන්න නිවසේ පැතලි වහලට යනවා. ඔහු ඉන්නේ වරායක් ළඟ පිහිටි යොප්පාව කියන නගරයේ මුහුද අසල තිබෙන නිවසකයි. දවස් කිහිපයක් පුරා ඔහු නවාතැන් ගත්තේ මේ නිවසෙයි. ඒක අයිති සීමොන් කියන පුද්ගලයාටයි. ඔහු හම් පදම් කරන කෙනෙක්. ඒ වගේ කෙනෙක්ගේ නිවසේ පේතෘස් නවාතැන් ගැනීමෙන් පැහැදිලි වන්නේ ඔහු බොහෝ යුදෙව්වන්ට වඩා වෙනස්ව කටයුතු කළ බවයි. මොකද යුදෙව්වන් ඒ වගේ රැකියා කරපු අය සමඟ නවාතැන් ගන්න එච්චර කැමති වුණේ නැහැ. a නමුත් දැන් හැම කෙනෙක්ටම එකම විදිහට සලකන එකට ඇතුළත් වන්නේ මොනවාද කියලා පේතෘස් ඉගෙනගන්නයි යන්නේ.

2 යාච්ඤා කරමින් ඉද්දී පේතෘස් දර්ශනයක් දකිනවා. ඔහු දකින්නේ ඕනෑම යුදෙව්වෙක්ගේ සිත අවුල් කරවන දර්ශනයක්. අහසේ ඉඳන් ලොකු ඇතිරිල්ලක් වගේ දෙයක් බිමට පහත් වෙනවා. ඒ ඇතිරිල්ලේ නීතියෙන් අපවිත්‍රයි කියා සඳහන් වන එක එක විදිහේ සතුන් ඉන්නවා. උන්ව මරලා කන්න කියන හඬක් පේතෘස්ට ඇහෙනවා. “මං කවදාවත් පිළිකුල්, අපවිත්‍ර දෙයක් කාලා නැහැ” කියලා පේතෘස් කියනවා. නමුත් එක වතාවක් නෙවෙයි තුන් වතාවක්ම ඒ හඬ පේතෘස්ට මෙහෙම කියනවා. “දෙවියන් පවිත්‍ර කරලා තියෙන දේවල් අපවිත්‍රයි කියලා කියන එක නවත්තන්න.” (ක්‍රියා 10:14-16) තමන් දැක්ක දර්ශනය ගැන පේතෘස්ගේ මනසේ ප්‍රශ්න රැසක් මතු වෙන්න ඇති. නමුත් ඒවාට පිළිතුරු දැනගැනීමට ඔහුට වැඩි කාලයක් ගත වුණේ නැහැ.

3 පේතෘස් දැක්ක දර්ශනයේ තේරුම මොකක්ද? ඒක තේරුම්ගන්න එක ඉතා වැදගත්. මොකද ඒකෙන් අපට යෙහෝවා මිනිසුන් ගැන හිතන විදිහ ඉගෙනගන්න පුළුවන්. අපිත් දෙවියන් මිනිසුන් ගැන හිතන විදිහට හිතන්නේ නැත්නම් දේවරාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක් දෙන්න අපට බැරි වෙනවා. දැන් අපි පේතෘස් දැක්ක දර්ශනය තේරුම්ගන්න ඒකට සම්බන්ධ සිද්ධීන් මාලාව සලකා බලමු.

“නිතරම දෙවියන්ට කන්නලව් කරපු කෙනෙක්” (ක්‍රියා 10:1-8)

4, 5. කොර්නේලියස් කියන්නේ කවුද? ඔහු යාච්ඤා කරමින් ඉද්දී වුණේ මොකක්ද?

4 තමා නවාතැන් ගත් නිවසට කිලෝමීටර් 50ක් විතර උතුරින් පිහිටි සිසේරියේ මීට කලින් දවසේ සිද්ධ වුණ යම් දෙයක් පේතෘස් දැනන් හිටියේ නැහැ. එහේ හිටපු කොර්නේලියස් කියන පුද්ගලයාට දර්ශනයක් දකින්න දෙවියන් සලස්වා තිබුණා. කොර්නේලියස් කියන්නේ රෝම හමුදාවේ සෙබළු සීයක් භාරව සිටි නිලධාරියෙක්. b ඔහුට “දෙවියන් ගැන ලොකු භක්තියක් වගේම ලොකු ගෞරවයකුත් තිබුණා.” ඔහුගේ “ගෙදර හිටපු හැමෝමත් ඒ වගේ.” ඔහු පවුලේ අයට හොඳ ආදර්ශයක් තිබ්බා කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. ඔහු යුදෙව් ආගමට හැරුණු කෙනෙක් නෙවෙයි. ඔහු වෙනත් ජාතියකට අයිති, චර්මච්ඡේදනය නොවුණ කෙනෙක්. ඒ වුණත් දුප්පත් යුදෙව්වන්ගේ අවශ්‍යතා පිරිමහන්න ඔහු බොහෝ දේවල් පරිත්‍යාග කළා. මේ අවංක මිනිසා “නිතරම දෙවියන්ට කන්නලව් කරපු කෙනෙක්.”—ක්‍රියා 10:2.

5 කොර්නේලියස් ඒ දර්ශනය දැක්කේ හවස තුනට විතර ඔහු යාච්ඤා කරමින් ඉද්දියි. ඒ දර්ශනය මාර්ගයෙන් දේවදූතයෙක් ඔහුට මෙහෙම කිව්වා. “දෙවියන් ඔයාගේ යාච්ඤා ගැනත් නැති බැරි අයට ඔයා කරන උදව් ගැනත් ගොඩක් සතුටු වෙනවා. ඔහු ඒ දේවල් අමතක කරන්නේ නැහැ.” (ක්‍රියා 10:4) දේවදූතයා ඔහුට ලබා දුන් මඟ පෙන්වීම්වලට අනුව පේතෘස්ව ගෙන්වගන්න ඔහු මිනිසුන් කිහිපදෙනෙක්ව පිටත් කර හැරියා. වෙනත් ජාතියකට අයිති, චර්මච්ඡේදනය නොවුණ අයට මීට කලින් විවෘත නොවුණු අවස්ථාවක් කොර්නේලියස්ට විවෘත වෙන්නයි යන්නේ. ඒ, ගැලවීමේ පණිවිඩයට සවන් දීමේ අවස්ථාවයි.

6, 7. (අ) දෙවියන් ගැන දැනගන්න අවංක ආශාවක් තියෙන අයගේ යාච්ඤාවලට දෙවියන් අද සවන් දෙනවා කියලා කියන්න පුළුවන් ඇයි? (ආ) ඒ වගේ අද්දැකීම්වලින් අප තේරුම්ගන්නේ මොනවාද?

6 දෙවියන් ගැන දැනගන්න අවංක ආශාවක් තිබෙන අයගේ යාච්ඤාවලට දෙවියන් අදත් සවන් දෙනවාද? ඇල්බේනියාවේ ජීවත් වන කාන්තාවකගේ අද්දැකීම බලන්න. දරුවන් ඇති දැඩි කිරීම ගැන ලිපියක් තියෙන මුරටැඹ සඟරාවක් ඇගේ නිවසට ආපු සාක්ෂිකරුවන් දෙන්නෙක් ඇයට දුන්නාම ඇය ඒක සතුටින් භාරගත්තා. c ඒ සාක්ෂිකරුවන් දෙන්නාට ඇය මෙහෙම කිව්වා. “මගේ දුවලා දෙන්නාව හොඳින් හදා වඩා ගන්න මට උදව් කරන්න කියලා මම මේ දැන් දෙවියන්ට යාච්ඤා කළා කියලා කිව්වොත් ඔයාලා සමහරවිට විශ්වාස කරන එකක් නැහැ. දෙවියන් තමයි ඔයාලව මෙහෙට එව්වේ. මට අවශ්‍යම දේ ඔයගොල්ලන් මට දුන්නේ ඒ නිසයි.” පස්සේ ඒ කාන්තාවත් ඇගේ දුවලා දෙන්නාත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා වගේම ඇගේ ස්වාමිපුරුෂයාත් පස්සේ කාලයක පාඩමට සහභාගි වුණා.

7 ඒ වගේ අද්දැකීම් අප අහන්නේ කලාතුරකින් නෙවෙයි. විවිධ රටවලින් ඒ වගේ අද්දැකීම් ගැන අපට නිතරම අහන්න ලැබෙනවා. ඒ නිසා ඒවා අහඹු සිදුවීම් කියලා කියන්න බැහැ. යෙහෝවා දෙවියන් ගැන දැනගන්න අවංක ආශාවක් තිබෙන අයගේ යාච්ඤාවලට දෙවියන් සවන් දෙන බව ඒ වගේ අද්දැකීම්වලින් අපට වැටහෙනවා. (1 රාජා. 8:41-43; ගීතා. 65:2) අප කරන දේශනා සේවයට දේවදූතයන්ගේ උපකාර ලැබෙන බවත් ඒකෙන් අපට තේරුම්ගත හැකියි.—එළි. 14:6, 7.

‘පේතෘස් ඒ දර්ශනයෙන් අදහස් කරපු දේ ගැන කල්පනා කරකර හිටියා’ (ක්‍රියා 10:9-23අ)

8, 9. දෙවියන් තමන්ගේ බලය මාර්ගයෙන් පේතෘස්ට දැන්නුවේ මොකක්ද? ඔහු ඒකට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?

8 කොර්නේලියස් එවපු මිනිසුන් පේතෘස් සිටි නිවසට ආවාම පේතෘස් හිටියේ වහලේ උඩ. ඒ අවස්ථාවේදී ඔහු ‘ඒ දර්ශනයෙන් අදහස් කරපු දේ ගැන කල්පනා කරකරයි’ හිටියේ. (ක්‍රියා 10:17) නීතියෙන් අපවිත්‍රයි කියා සඳහන් කරපු සතුන්ව කන්න බැහැ කියා තුන් වතාවක්ම කියපු පේතෘස්, මේ මිනිසුන් එක්ක වෙනත් ජාතියකට අයිති කෙනෙක්ගේ නිවසට යන්න කැමති වෙයිද? ඒකට පිළිතුරු දැනගන්න ඊළඟට වුණ දේ බලන්න. දෙවියන් තම බලය මාර්ගයෙන් තම කැමැත්ත මොකක්ද කියා පේතෘස්ට මේ විදිහට දැන්නුවා. “මිනිස්සු තුන්දෙනෙක් ඔයාව හොයාගෙන ඇවිත්. ඉතින් දැන් නැඟිටලා පල්ලෙහට යන්න. සැක කරන්නේ නැතුව එයාලා එක්ක යන්න. මොකද එයාලව එව්වේ මමයි.” (ක්‍රියා 10:19, 20) මේ අවස්ථාවේ දෙවියන් තම බලය මාර්ගයෙන් දුන්න මඟ පෙන්වීම් පිළිගන්න, ඔහු කලින් දැක්ක දර්ශනය උපකාරවත් වුණ බවට සැකයක් නැහැ.

9 තමන්ව කැඳවගෙන එන්න කියලා දෙවියන් කොර්නේලියස්ට කිව්වා කියලා පේතෘස් දැනගත්තාම ඔහු කොර්නේලියස් එවපු මිනිසුන්ට නිවස ඇතුළට එන්න කියලා “එදා රෑ එහේ නවතින්න කිව්වා.” (ක්‍රියා 10:23අ) ඒකෙන් පැහැදිලි වන්නේ දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා තේරුම්ගත්ත මේ කීකරු නියෝජිතයා ඒ වෙද්දීත් තමන් හිතන විදිහ වෙනස් කරගනිමින් සිටි බවයි.

10. දෙවියන් තම සෙනඟට මඟ පෙන්වන්නේ කොහොමද? අපි හිතන්න ඕනෙ මොන ප්‍රශ්න ගැනද?

10 අද දක්වාම යෙහෝවා තම සෙනඟට මඟ පෙන්වන්නේ ඔවුන්ව ක්‍රමානුකූලව දැනුවත් කරමිනුයි. (හිතෝ. 4:18) දෙවියන් තම බලය මාර්ගයෙන් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට” මඟ පෙන්වීම් ලබා දෙනවා. (මතෙ. 24:45) සමහර අවස්ථාවලදී බයිබලයේ තිබෙන යම් කාරණා සම්බන්ධයෙන් අපේ අවබෝධය තව තවත් නිවැරදි වන්නෙත් සංවිධාන සැලැස්මේ යම් වෙනස්කම් වන්නෙත් ඒ නිසයි. ඒ හැම දෙයක්ම වන්නේ දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමෙන් නිසා මේ ප්‍රශ්න ගැන හිතන එක වැදගත්. ‘යම් වෙනස්කම් කරද්දී මම ඒකට ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් දෙන මඟ පෙන්වීම්වලට මම කැමැත්තෙන්ම කීකරු වෙනවාද?’

‘පේතෘස් කිව්වා එයාලව බව්තීස්ම කරන්න කියලා’ (ක්‍රියා 10:23ආ-48)

11, 12. සිසේරියට ආවාම පේතෘස් කළේ මොකක්ද? ඔහු හොඳින් තේරුම් අරන් තිබුණේ මොනවාද?

11 දර්ශනය දැක්ක දවසට පස්සේ දවසේ පේතෘස් කොර්නේලියස් එවපු මිනිසුන් තුන්දෙනා හා යොප්පාවේ සිටි යුදෙව් “සහෝදරයන් හයදෙනා” එක්ක සිසේරියට පිටත් වුණා. (ක්‍රියා 11:12) මේ අතරතුර පේතෘස් එන කල් බලාගෙන හිටපු කොර්නේලියස් ඔහුගේ නිවසට “නෑදෑයන්ටත් කිට්ටු යාළුවන්ටත්” එන්න කියලා තිබුණා. පේන විදිහට ඒ එක් කෙනෙක්වත් යුදෙව් ජාතිකයන් නෙවෙයි. (ක්‍රියා 10:24) සිසේරියට ආපු පේතෘස්, වෙනත් ජාතියකට අයිති, චර්මච්ඡේදනය නොවුණ කෙනෙක් වුණ කොර්නේලියස්ගේ නිවසට ඇතුල් වුණා. ඒ වගේ දෙයක් තමාට කරන්න වෙයි කියලා පේතෘස් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. ඔහු ඔවුන්ට කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “ඔයාලා හොඳටම දන්නවා වෙනත් ජාතියකට අයිති කෙනෙක්ව හම්බ වෙන්නවත් එයාත් එක්ක කතා කරන්නවත් යුදෙව් අයට තහනම් කියලා. ඒත් දෙවියන් මට පෙන්නුවා කිසිම කෙනෙක්ව අපවිත්‍ර එහෙමත් නැත්නම් පිළිකුල් කෙනෙක් විදිහට සලකන එක වැරදියි කියලා.” (ක්‍රියා 10:28) දෙවියන් දර්ශනයෙන් ඔහුට උගන්වන්න උත්සාහ කළේ කෙනෙක් කෑමට ගන්න ඕනෙ මොනවාද කියන එක ගැන නෙවෙයි කියලා පේතෘස් ඒ වෙද්දී තේරුම් අරන් හිටියා. ඇත්තටම දෙවියන් ඔහුට ඉගැන්නුවේ චර්මච්ඡේදනය නොවුණ වෙනත් ජාතියක කෙනෙක් ඇතුළුව “කිසිම කෙනෙක්ව” අපවිත්‍ර නැත්නම් පිළිකුල් කෙනෙක් විදිහට සලකන එක වැරදියි කියලයි.

“කොර්නේලියස් [පේතෘස්] එන කල් බලාගෙනයි හිටියේ. එයා එයාගේ නෑදෑයන්ටත් කිට්ටු යාළුවන්ටත් එන්න කියලා තිබුණා.”—ක්‍රියා 10:24

12 කොර්නේලියස්ගේ නිවසේ රැස්ව සිටි සියලුදෙනාම පේතෘස් කියන්න යන දේට සවන් දෙන්න ආශාවෙන් බලාගෙන හිටියා. “අපි හැමෝම දැන් දෙවියන් ඉස්සරහා එකතු වෙලා ඉන්නේ යෙහෝවා දෙවියන් ඔයා මාර්ගයෙන් කියන දේවල් අහගන්නයි” කියලා කොර්නේලියස් කිව්වේ ඒ නිසයි. (ක්‍රියා 10:33) යෙහෝවා දෙවියන් ගැන දැනගන්න ලොකු ආශාවකින් ඉන්න කෙනෙක් ඒ වගේ දෙයක් ඔබට කිව්වොත් ඔබට කොහොම හැඟෙයිද? පේතෘස් මේ ප්‍රබල වදන් පෙළත් එක්ක ඔහුගේ කතාව ඇරඹුවා. “දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එකම විදිහටයි කියලා මට දැන් හොඳටම තේරෙනවා. කෙනෙක් මොන ජාතියකට අයිති වුණත් එයාට දෙවියන් ගැන ගරුබියක් තියෙනවා නම්, එයා හරි දේ කරනවා නම් දෙවියන් එයාව පිළිගන්නවා.” (ක්‍රියා 10:34, 35) කෙනෙක්ට දෙවියන් තම අනුමැතිය ලබා දෙන්නේ ඔහුගේ රට ජාතිය, දුප්පත් පොහොසත්කම, පෙනුම වගේ දේවල් නිසා නෙවෙයි කියලා පේතෘස් හොඳින් අවබෝධ කරගත් බව ඔහු කියපු ඒ දෙයින් පැහැදිලියි. ඊටපස්සේ පේතෘස් යේසුස් කළ සේවය, ඔහුගේ මරණය හා නැවත නැඟිටීම ගැන පැහැදිලි සාක්ෂියක් දැරුවා.

13, 14. (අ) ක්‍රි.ව. 36දී කොර්නේලියස්ගේ නිවසේ සිදු වුණ දේ විශේෂයි කියන්නේ ඇයි? (ආ) මිනිසුන් දිහා පිටින් බලලා නිගමනවලට එන එකෙන් අපි වළකින්න ඕනෙ ඇයි?

13 මීට කලින් වුණේ නැති දෙයක් ඒ වෙලාවේ වුණා. “පේතෘස් ඒ දේවල් ගැන කතා කරකර ඉද්දීම” දෙවියන්ගේ බලය ‘වෙනත් ජාතීන්වලට’ අයිති ඒ අයට ලැබුණා. (ක්‍රියා 10:44, 45) බව්තීස්ම වෙන්න කලින් දෙවියන්ගේ බලය ලැබුණ බවට ශුද්ධ ලියවිල්ලේ සඳහන් වන එකම අවස්ථාව මේකයි. ඒකෙන් ඔවුන්ට දෙවියන්ගේ අනුමැතිය තිබෙන බව තේරුම්ගත්ත පේතෘස් ඔවුන්ව “බව්තීස්ම කරන්න කියලා” කියනවා. (ක්‍රියා 10:48) ක්‍රි.ව. 36 වෙනත් ජාතීන්ට අයිති ඒ අය යේසුස්ගේ අනුගාමිකයන් වෙනවාත් එක්කම ඒ වෙන කල් යුදෙව්වන්ට ලැබිලා තිබුණ විශේෂ අනුග්‍රහය අවසන් වුණා. (දානි. 9:24-27) වෙනත් විදිහකින් කියනවා නම් යේසුස් එක්ක හවුල් පාලකයන් වීමේ අවස්ථාව එදා සිට යුදෙව්වන්ට විතරක් නෙවෙයි චර්මච්ඡේදනය නොවුණු වෙනත් ජාතීන්ටත් හිමි වුණා. මේ විදිහට යේසුස් ගැන පැහැදිලි සාක්ෂියක් දෙන්න පේතෘස් පෙරමුණ අරන් කටයුතු කිරීමෙන් ඔහු තමාට දී තිබුණ “ස්වර්ග රාජ්‍යයේ යතුරු” තුනෙන් අවසන් යතුර භාවිත කළා.—මතෙ. 16:19.

14 අද දෙවියන්ගේ රාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දරන අපි “දෙවියන් හැමෝටම සලකන්නේ එකම විදිහට” කියන කාරණය හොඳින් තේරුම් අරන් ඉන්නවා. (රෝම 2:11) “හැම පසුබිමකටම අයිති මිනිස්සු ගැලවීම ලබාගන්න එක” දෙවියන්ගේ කැමැත්ත බව අපි දන්නවා. (1 තිමෝ. 2:4) ඒ නිසා දේශනා සේවයේදී අපිට හමු වන අයගේ පෙනුම, තරාතිරම වගේ දේවල් බලලා ඒ අය ගැන යම් නිගමනවලට එන එකෙන් අප වළකිනවා. අපට ලැබී තිබෙන පැවරුම වන්නේ රට ජාතිය, පෙනුම, තරාතිරම හෝ ආගමික පසුබිම දෙස නොබලා හැම කෙනෙක්ටම දෙවියන්ගේ රාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දැරීමයි.

‘එයාලා දොස් කියන එක නවත්තලා දෙවියන්ට ප්‍රශංසා කළා’ (ක්‍රියා 11:1-18)

15, 16. යෙරුසලමේ හිටපු සමහර යුදෙව් ක්‍රිස්තියානීන් පේතෘස් එක්ක වාද කළේ ඇයි? පේතෘස් ඔවුන්ව නිවැරදි කළේ කොහොමද?

15 යෙරුසලමට ගිහින් සිසේරියේ වුණ දේවල් වාර්තා කරන්න පේතෘස් ලොකු උනන්දුවකින් ඉන්න ඇති. නමුත් ඔහු යෙරුසලමට යන්නත් කලින් එහේ හිටපු අයට ආරංචි වෙනවා වෙනත් ජාතීන්ට අයිති, චර්මච්ඡේදනය නොවුණ අය “දෙවියන්ගේ පණිවිඩය පිළි අරන්” කියලා. පේතෘස් යෙරුසලමට ආපු ගමන්ම “චර්මච්ඡේදනය වෙන එක අත්‍යවශ්‍ය දෙයක් කියලා හිතපු අය එයාට දොස් කියන්න පටන්ගත්තා.” ඒ අය මෙහෙම කිව්වා. “ඔයා චර්මච්ඡේදනය කරපු නැති අය ඉන්න ගේකට ගියා. ඒ මදිවට එයාලත් එක්ක එකට කෑම කෑවා.” (ක්‍රියා 11:1-3) ඔවුන්ට ප්‍රශ්නය වුණේ චර්මච්ඡේදනය නොවුණු අය යේසුස්ගේ අනුගාමිකයන් වුණ එක නෙවෙයි. ඔවුන් කිව්වේ ඒ අය චර්මච්ඡේදනය ඇතුළු නීතියේ සඳහන් අනිත් පිළිවෙත් රකින්න ඕනෙ කියලයි. යෙහෝවා ඔවුන්ගේ නමස්කාර පිළිගන්නේ ඔවුන් එහෙම කළොත් විතරයි කියලා ඔවුන් තදින්ම කිව්වා. ඒ දේවලින් පැහැදිලි වන්නේ මෝසෙස්ට දුන් නීතිය තවදුරටත් වලංගු නැති බව පිළිගන්න සමහර යුදෙව් ක්‍රිස්තියානීන්ට අමාරු දෙයක් වුණ බවයි.

16 පේතෘස් ඔවුන්ව නිවැරදි කළේ කොහොමද? සිදු වුණ දේට දෙවියන්ගේ අනුමැතිය තියෙනවා කියලා පෙන්වන්න පේතෘස් කාරණා හතරක් සඳහන් කළ බව ක්‍රියා 11:4-16 දක්වා තියෙන වාර්තාවෙන් පැහැදිලි වෙනවා. ඔහු කියපු කාරණා මේවායි. (1) දෙවියන් ඔහුට පෙන්වපු දර්ශනය (4-10). (2) දෙවියන්ගේ බලය මාර්ගයෙන් ඔහුට දුන් ආඥාව (11, 12). (3) කොර්නේලියස්ව හමු වීමට දේවදූතයෙක් ආපු එක (13, 14). (4) චර්මච්ඡේදනය නොවුණු වෙනත් ජාතීන්ටත් දෙවියන්ගේ බලය ලැබුණ එක (15, 16). ඒ කාරණා සඳහන් කළාට පස්සේ පේතෘස් මේ ප්‍රබල ප්‍රශ්නය ඔවුන්ගෙන් ඇහුවා. “ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන විශ්වාසය තිබ්බ අපිට [යුදෙව්වන්ට] නොමිලේ දුන්න තෑග්ගම දෙවියන් එයාලටත් [වෙනත් ජාතීන්ටත්] දුන්නා නම් දෙවියන් ගත්ත ඒ තීරණයට හරස් වෙන්න මම කවුද?”—ක්‍රියා 11:17.

17, 18. (අ) පේතෘස් ඉදිරිපත් කරපු කරුණුවලට සවන් දුන්නාට පස්සේ යුදෙව් ක්‍රිස්තියානීන්ට ගන්න වුණ තීරණය මොකක්ද? (ආ) අද දෙවියන්ගේ සේවකයන්ට එක්සත්ව ඉන්න එක අභියෝගයක් වෙන්න පුළුවන් ඇයි? අපි හිතලා බලන්න ඕනෙ මොන ප්‍රශ්න ගැනද?

17 පේතෘස් ඉදිරිපත් කළ ඒ කරුණුවලට සවන් දුන්නාට පස්සේ වාද කරමින් සිටි යුදෙව් ක්‍රිස්තියානීන්ට වැදගත් තීරණයක් ගන්න සිදු වුණා. ඒ, තමන් හිතන විදිහ වෙනස් කරගෙන අලුතින් බව්තීස්ම වුණ චර්මච්ඡේදනය නොවුණු වෙනත් ජාතීන්ව තමන්ගේ සහෝදර සහෝදරියන් විදිහට පිළිගන්නවාද නැද්ද කියන කාරණයයි. වාර්තාවේ කියන්නේ මෙහෙමයි. “ඒ දේවල් ඇහුවාට පස්සේ එයාලා [නියෝජිතයන් හා වෙනත් යුදෙව් ක්‍රිස්තියානීන්] පේතෘස්ට දොස් කියන එක නැවැත්තුවා. ‘වෙනත් ජාතීන්වල අයටත් පසුතැවිලි වෙලා ජීවනය ලබාගන්න දෙවියන් අවස්ථාව දීලා’ කියකිය එයාලා දෙවියන්ට ප්‍රශංසා කළා.” (ක්‍රියා 11:18) ඒ විදිහට ඔවුන් හිතන විදිහ නිවැරදි කරගත්ත නිසා ක්‍රිස්තියානි සභාවේ සාමය හා එක්සත්කම දිගටම පැවතුණා.

18 අදත් යෙහෝවාගේ සේවකයන් අතරේ “හැම ජාතියකම, හැම ගෝත්‍රයකම, හැම ජනවර්ගයකම සහ හැම භාෂාවක්ම කතා කරන අය” ඉන්න නිසා එක්සත්ව ඉන්න එක අභියෝගයක් විය හැකියි. (එළි. 7:9) බොහෝ සභාවන්වල විවිධ ජාතීන්ට, සංස්කෘතීන්ට හා පසුබිම්වලට අයත් අය ඉන්නවා. ඒ නිසා අප මේ ප්‍රශ්න ගැන හිතන එක වැදගත්. ‘මගේ පසුබිමට වඩා වෙනස් පසුබිමක් තියෙන අය ගැන හිතන විදිහ මම සම්පූර්ණයෙන්ම නිවැරදි කරගෙන තියෙනවාද? රට ජාතිය, ගෝත්‍රය හා තම සංස්කෘතිය ගැන ආඩම්බර වෙන එක වගේ සමාජයේ බෙදීම් ඇති කරන දේවල් මම මගේ සහෝදරයන්ට සලකන විදිහට බලපාලා තියෙනවාද? ඒ වගේ බලපෑම්වලට හසු නොවී ඉන්න මම අදිටන් කරගෙන ඉන්නවාද?’ මේ කාරණය සම්බන්ධයෙන් අප නිතරම සෝදිසියෙන් ඉන්න එක වැදගත්. චර්මච්ඡේදනය නොවුණු වෙනත් ජාතීන්ට විශේෂ වරප්‍රසාද විවෘත කර දීමට දෙවියන් පාවිච්චි කරපු පේතෘස්ම ඊට අවුරුදු කිහිපයකට පස්සේ ඒ උගුලට හසු වුණා. අනිත් අයගේ බලපෑමට හසු වුණ ඔහු, ක්‍රිස්තියානීන් වුණ “වෙනත් ජාතීන්වල අය එක්ක කෑම කන එක නවත්තලා එයාලාගෙන් ඈත් වෙලා හිටියා.” (ගලා. 2:11-14) එහෙනම් අපි අපි ගැනම සෝදිසියෙන් සිටීම මොන තරම් වැදගත්ද!

‘හුඟදෙනෙක් ස්වාමීන් ගැන විශ්වාසයක් ඇති කරගත්තා’ (ක්‍රියා 11:19-26අ)

19. අන්තියෝකියේ හිටපු යුදෙව් ජාතික ගෝලයන් ආරම්භ කළේ මොකක්ද? ඒකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද?

19 දෙවියන්ගේ මඟ පෙන්වීමට එකඟව යේසුස්ගේ අනුගාමිකයන් චර්මච්ඡේදනය නොවුණු, වෙනත් ජාතීන්ටත් දේශනා කළාද? ඒකට කෙටි කාලෙකට පස්සේ සිරියාවේ පිහිටි අන්තියෝකියේ සිදු වුණ දේ බලන්න. d ඒ නගරයේ යුදෙව්වන් විශාල පිරිසක් හිටියා. නමුත් එහේ සිටි යුදෙව්වන් හා යුදෙව් නොවන අය සාමයෙන් ජීවත් වුණා. ඒ නිසා වෙනත් ජාතීන්ට අයත් අයට ශුභාරංචිය දේශනා කිරීමට අන්තියෝකිය කදිම ස්ථානයක් වුණා. “ග්‍රීක භාෂාව කතා කරපු අයට” යුදෙව් ජාතික ගෝලයන් ප්‍රසිද්ධියේ දේශනා කිරීම ඇරඹුවේ අන්තියෝකියෙයි. (ක්‍රියා 11:20) ඔවුන් දේශනා කළේ ග්‍රීක භාෂාව කතා කරපු යුදෙව්වන්ට විතරක් නෙවෙයි. චර්මච්ඡේදනය නොවුණු වෙනත් ජාතීන්ටත් ඔවුන් දේශනා කළා. ඔවුන් කළ ඒ සේවයට යෙහෝවාගේ උපකාරය ලැබුණ නිසා “හුඟදෙනෙක් ස්වාමීන් ගැන විශ්වාසයක් ඇති කරගෙන ඔහුගේ අනුගාමිකයෝ වුණා.”—ක්‍රියා 11:21.

20, 21. බානබස් නිහතමානීව වැඩේ කළේ කොහොමද? සේවයේ හවුල් වෙද්දී අපිටත් ඒ දේ කරන්න පුළුවන් කොහොමද?

20 අන්තියෝකියේ සිටි බොහෝදෙනෙක් ශුභාරංචිය පිළිගත්ත නිසා ඔවුන්ට උපකාර කරන්න යෙරුසලමේ සභාවේ සිටි අය බානබස්ව අන්තියෝකියට යැව්වා. ශුභාරංචිය පිළිගත්ත අය කොතරම් ප්‍රමාණයක් එහේ හිටියාද කියනවා නම් ඔවුන්ට තනියම උදව් කරන්න බානබස්ට අමාරු වුණා. බානබස්ට උදව් කරන්න නියෝජිතයෙක් විදිහට වෙනත් ජාතීන් අතරට යන්න තෝරගෙන තිබුණ සාවුල් තරම් සුදුස්සෙක් තවත් ඉන්නවාද! (ක්‍රියා 9:15; රෝම 1:5) නමුත් සාවුල්ගේ උදව් ඉල්ලන්න බානබස් කැමති වෙයිද? ඔහු අන්තියෝකියට ආවොත් තමාට ඒකෙන් අවාසියක් වෙයි කියලා බානබස් හිතයිද? වාර්තාවේ කියන්නේ බානබස්ම ටාසස්වලට ගිහින් සාවුල්ව හෙව්වා කියලයි. සාවුල්ව හමු වුණාම අන්තියෝකියේ ඉන්න අයට උදව් කරන්න ඔහු සාවුල්ව එක්කගෙන ආවා. ඇත්තෙන්ම බානබස් මොන තරම් නිහතමානී කෙනෙක්ද! සභාවේ සිටි අයගේ විශ්වාසය ශක්තිමත් කරන්න ඔවුන් දෙන්නා අවුරුද්දක් එහේ සේවය කළා.—ක්‍රියා 11:22-26අ.

21 බානබස් වගේ අපටත් නිහතමානීව වැඩ කරන්න පුළුවන් කොහොමද? නිහතමානී කෙනෙක් හැම දෙයක්ම තමන්ට තනියම කළ හැකියි කියා සිතන්නේ නැහැ. අපි හැමෝටම විවිධ දක්ෂතාවන් හා හැකියාවන් තියෙනවා. උදාහරණයකට කෙනෙක්ට අවිධිමත්ව හෝ ගෙයින් ගෙට ගිහින් සාක්ෂි දරන්න හොඳ හැකියාවක් තියෙන්න පුළුවන්. නමුත් නැවත බැලීම් හා බයිබල් පාඩම් පටන්ගන්න ඔහුට ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ හා සමානව ඔබටත් සේවයේදී යම් පැතිවලින් දියුණු වෙන්න අවශ්‍ය බව හැඟෙනවා නම් අන් අයගෙන් උදව් ඉල්ලන එක හොඳ දෙයක් නෙවෙයිද? ඔබ ඒ විදිහට නිහතමානීව වැඩ කරනවා නම් සේවයේදී ඔබට හොඳ ප්‍රතිඵල ලබාගෙන සතුටකුත් අද්දකින්න පුළුවන්.—1 කොරි. 9:26.

‘සහෝදරයන්ට සහනාධාර යවයි’ (ක්‍රියා 11:26ආ-30)

22, 23. අන්තියෝකියේ සභාවේ හිටපු අය සහෝදරයන්ට ආදරේ පෙන්නුවේ කොහොමද? අද ඉන්න සැබෑ ක්‍රිස්තියානීනුත් ඒ හා සමාන ආදරයක් පෙන්වන්නේ කොහොමද?

22 “අන්තියෝකියේදී තමයි ගෝලයන්ව ක්‍රිස්තියානීන් විදිහට මුලින්ම හඳුන්වන්න පටන්ගත්තේ. ඒ දේ වුණේ දෙවියන්ගේ මඟ පෙන්වීමට එකඟව.” (ක්‍රියා 11:26ආ) ක්‍රිස්තුස්ව ආදර්ශයට ගත්ත ඒ අයව ක්‍රිස්තියානීන් විදිහට හඳුන්වපු එක කොයි තරම් ගැළපෙනවාද! ක්‍රිස්තියානි සභාවට එකතු වෙන්න පටන්ගත්ත වෙනත් ජාතීන් හා සභාවේ සිටි යුදෙව් ජාතික ක්‍රිස්තියානීන් අතරේ කිට්ටු බැඳීමක් ඇති වෙලා තිබුණාද? ක්‍රි.ව. 46දී දරුණු සාගතයක් ඇති වුණ වෙලාවේ වුණ දේ බලන්න. e අතීතයේදී සාගතයක් ඇති වුණාම ඒක තදින්ම බලපෑවේ දුප්පත් අයට. මොකද ඔවුන් ගාව ඉතුරු කරපු සල්ලිවත් ආහාර පානවත් තිබුණේ නැහැ. මේ සාගතය ඇති වුණාමත් වුණේ ඒකමයි. යූදා දේශයේ ජීවත් වුණ යුදෙව් ක්‍රිස්තියානීන්ගෙන් වැඩිදෙනෙක් දුප්පත් අය. ඒ නිසා ආහාර පාන වගේ මූලික අවශ්‍යතාවල හිඟයක් ඔවුන්ට තිබුණා. අන්තියෝකියේ සභාවේ සිටි වෙනත් ජාතීන්ට අයත් ක්‍රිස්තියානීන් ඇතුළු සභාවේ සිටි අයට ඒ ගැන ආරංචි වුණාම ඔවුන් “යුදයේ ඉන්න සහෝදරයන්ට සහනාධාර යවන්න” තීරණය කළා. (ක්‍රියා 11:29) ඇත්තටම ඔවුන් අතරේ මොන තරම් කිට්ටු බැඳීමක් තිබුණාද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.

23 අදත් දෙවියන්ගේ සෙනඟ අතරේ ඒ හා සමාන බැඳීමක් තියෙනවා. වෙනත් රටවල හෝ අපේම රටේ වෙනත් ප්‍රදේශවල ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට යම් උදව් අවශ්‍ය වුණාම ඔවුන්ට ඕනෙම විදිහකින් උදව් කරන්න අප සූදානමින් ඉන්නවා. සුළිසුළං, භූමිකම්පා, සුනාමි වගේ ස්වාභාවික විපත් ඇති වෙද්දී ශාඛා කමිටු ඉක්මනින්ම සහන සේවා කමිටු සංවිධානය කරලා විපතට පත් වන අපේ සහෝදර සහෝදරියන්ට අවශ්‍ය උදව් ලබා දෙනවා. ඒ හැම දෙයකින්ම පැහැදිලි වන්නේ සැබෑ ක්‍රිස්තියානීන් වන අප අතරේ තිබෙන බැඳීම මොන තරම්ද කියායි.—යොහ. 13:34, 35; 1 යොහ. 3:17.

24. පේතෘස් දැක්ක දර්ශනය අපි හොඳින් තේරුම් අරන් ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

24 පළවෙනි සියවසේදී පේතෘස් යොප්පාවේදී දැක්ක දර්ශනය සැබෑ ක්‍රිස්තියානීන් වන අප තේරුම් අරන් ඉන්න එක මොන තරම් වැදගත්ද කියලා මේ පරිච්ඡේදයෙන් අප දැනගත්තා. අප නමස්කාර කරන්නේ හැම කෙනෙක්ටම එකම විදිහට සලකන දෙවි කෙනෙක්ටයි. අපි රට ජාතිය, උස් පහත් භේද නොබලා සියලුම ජනයාට දෙවියන්ගේ රාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දරනවා දකින්නයි ඔහු කැමති. එහෙනම් ශුභාරංචියට සවන් දෙන්න කැමති ඕනෑම කෙනෙක්ට ඒකට අවස්ථාව දෙන්න අපි අදිටන් කරගමු.—රෝම 10:11-13.

අපේ සහෝදරයන්ට අවශ්‍ය ඕනෙම උදව්වක් කරන්න අපි සූදානමින් ඉන්නවා

a සමහර යුදෙව්වන් හම් පදම් කරන අයව පහත් කරලා සැලකුවා. හම් පදම් කරන අය නිතරම සතුන්ගේ මළ සිරුරු හා හම් ඇල්ලුව නිසා ඔවුන් අපවිත්‍ර අය කියා යුදෙව්වන් සිතුවා. ඔවුන්ව සැලකුවේ දේවමාලිගාවට ඇතුල් වීමට සුදුසු නැති පිරිසක් විදිහට. ඔවුන් ඒ රැකියාව කළේ නගරයක නම් ඔවුන්ගේ රැකියා ස්ථානය හෝ නිවස ඒ නගරයට රියන් 50ක් ඒ කියන්නේ අඩි 70ක් විතර දුරින් තියෙන්න ඕනෙ වුණා. පේතෘස් නවාතැන් ගත් සීමොන්ගේ නිවස “මුහුද ළඟ” තිබුණේ ඒ නිසා වෙන්න පුළුවන්.—ක්‍රියා 10:6.

cදරුවන් ඇති දැඩි කිරීමට විශ්වාසවන්තම උපදෙස්” කියන ලිපිය 2006 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ 4-7 දක්වා පිටුවල සඳහන් වෙනවා.

d සිරියාවේ පිහිටි අන්තියෝකිය” කියන කොටුව බලන්න.

e ක්ලෝදියස්ගේ පාලන සමයේදී (ක්‍රි.ව. 41-54) ඇති වුණ “දරුණු සාගතය” ගැන යුදෙව් ඉතිහාසඥයෙක් වුණ ජොසීෆස් සඳහන් කළා.