Skip to content

පටුනට යන්න

9වෙනි පරිච්ඡේදය

‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා’

‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා’

ශුභාරංචියට සවන් දීමේ ප්‍රස්තාව වෙනත් ජාතීන්ටත් විවෘත වෙයි

ක්‍රියා 10:1–11:30

1-3. පේතෘස් දුටු දර්ශනය කුමක්ද? එහි අර්ථය අප තේරුම්ගත යුත්තේ ඇයි?

ක්‍රිස්තු වර්ෂ 36 සරත් සමයේ එක් දිනක දහවල් කාලයේදී යාච්ඤා කිරීම සඳහා පේතෘස් වහල්තලයට පියමං කරනවා. ඔහු සිටින්නේ වරායක් ආශ්‍රිතව පිහිටි යොප්පාව නම් නුවරේ මුහුද අසල තිබෙන නිවසකයි. දවස් කිහිපයක් පුරා ඔහු නවාතැන් ගත්තේ මේ නිවසෙයි. මේ නිවස අයිති සීමොන් නම් පුද්ගලයාටයි. ඔහු සම් පදම් කරන්නෙක්. එවැනි කෙනෙකුගේ නිවසේ පේතෘස් නවාතැන් ගැනීමෙන් පැහැදිලි වන්නේ බොහෝ යුදෙව්වන්ට වෙනස්ව ඔහු කටයුතු කළ බවයි. මන්ද යුදෙව්වන් එවැනි රැකියාවල නියැලෙන අය සමඟ නවාතැන් ගැනීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. * කෙසේවෙතත් සියල්ලන්ටම එක හා සමානව සැලකීමට ඇතුළත් වන්නේ කුමක්ද කියා පේතෘස් ඉගෙනගන්නයි යන්නේ.

2 යාච්ඤා කරමින් සිටින පේතෘස් දර්ශනයක් දකිනවා. ඔහු දකින්නේ ඕනෑම යුදෙව්වෙකු පුදුමයට පත් වන දර්ශනයක්. අහසේ සිට පොළොව දෙසට විශාල ඇතිරිල්ලක් පහත් කරනු ලබනවා. එම ඇතිරිල්ල මත නීතිය මගින් අපවිත්‍රයයි සැලකූ සෑම ආකාරයකම සතුන් සිටිනවා. උන්ව මරාගෙන කන්න කියා පවසන හඬක් පේතෘස්ට ඇසෙනවා. “මම කවදාවත් කිසිම අපවිත්‍ර දෙයක්වත් දූෂිත දෙයක්වත් කාලා නැහැ” කියා පේතෘස් පවසනවා. නමුත් එක් වතාවක් නොව තුන් වතාවක්ම පේතෘස්ට මේ කාරණය මතක් කර දෙනු ලබනවා. “දෙවි පවිත්‍ර කර ඇති දේ අපවිත්‍රයි කියා තවදුරටත් කියන්න එපා.” (ක්‍රියා 10:14-16) තමන් දුටු දර්ශනය ගැන පේතෘස්ගේ මනසේ ප්‍රශ්න රැසක් මතු වෙන්න ඇති. නමුත් ඒවාට පිළිතුරු දැනගැනීමට ඔහුට වැඩි කාලයක් ගත වුණේ නැහැ.

3 පේතෘස් දුටු දර්ශනයේ අර්ථය කුමක්ද? එහි අර්ථය තේරුම්ගැනීම ඉතා වැදගත්. මන්ද එයින් අපට යෙහෝවා දෙවි මිනිසුන් ගැන දරන ආකල්පය ඉගෙනගත හැකියි. ඇත්තෙන්ම දෙවි මිනිසුන් ගැන දරන ආකල්පය අපත් ඇති කරගත්තේ නැත්නම් දේවරාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දැරීමට අපට නොහැකි වෙනවා. දැන් අපි පේතෘස් දුටු දර්ශනය තේරුම්ගැනීමට ඊට සම්බන්ධ රසවත් සිද්ධීන් මාලාව සලකා බලමු.

“නිරතුරුවම දෙවිට යාච්ඤා” කළ කෙනෙක් (ක්‍රියා 10:1-8)

4, 5. කොර්නේලියස් යනු කවුද? ඔහු යාච්ඤා කරමින් සිටියදී සිදු වුණේ කුමක්ද?

4 තමා නවාතැන් ගත් නිවසට කිලෝමීටර් 50ක් පමණ උතුරින් පිහිටි සිසේරිය නම් නුවරේ මීට පෙර දින සිදු වූ යම් දෙයක් පේතෘස් දැන සිටියේ නැහැ. එහි සිටි කොර්නේලියස් නම් පුද්ගලයාට දර්ශනයක් දැකීමට දෙවි සලස්වා තිබුණා. කොර්නේලියස් කියන්නේ රෝම හමුදාවේ සියයකින් යුත් කණ්ඩායමක් භාරව සිටි නිලධාරියෙක්. * ඔහුට දෙවි කෙරෙහි ‘මහත් භක්තියක්’ තිබුණා. ඔහු පවුලේ අයව හොඳින් රැකබලා ගත් කෙනෙක් කියාත් පැවසිය හැකියි. මන්ද “ඔහුද ඔහුගේ නිවසේ විසූ සියලුදෙනාද දෙවිට ගරුබියෙන්” කටයුතු කළ අය කියා වාර්තාවේ සඳහන් වෙනවා. ඔහු යුදෙව් ආගමට හැරුණු කෙනෙක් නොවෙයි. ඔහු චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත් නොවූ වෙනත් ජාතියකට අයත් කෙනෙක්. ඒ වුණත් දුප්පත් යුදෙව්වන්ගේ අවශ්‍යතා පිරිමැසීම සඳහා ඔහු බොහෝ දේවල් පරිත්‍යාග කළා. මේ අවංක මිනිසා ‘නිරතුරුවම දෙවිට යාච්ඤා කළ කෙනෙක්.’—ක්‍රියා 10:2.

5 කොර්නේලියස් එම දර්ශනය දුටුවේ සවස තුනට පමණ ඔහු යාච්ඤා කරමින් සිටියදීයි. එම දර්ශනය මාර්ගයෙන් දේවදූතයෙක් ඔහුට මෙසේ පැවසුවා. “දෙවි ඔබේ යාච්ඤා හා දයාන්විත ක්‍රියා ගැන සතුටු වෙනවා. ඔහු ඒ දේවල් අමතක කරන්නේ නැහැ.” (ක්‍රියා 10:4) දේවදූතයා තවදුරටත් ඔහුට ලබා දුන් මඟ පෙන්වීම්වලට අනුව පේතෘස්ව ගෙන්වාගැනීමට ඔහු මිනිසුන් කිහිපදෙනෙකුව පිටත් කර හැරියා. වෙනත් ජාතියකට අයත් කෙනෙකුට මීට පෙර විවෘත නොවූ ප්‍රස්තාවක් කොර්නේලියස්ට විවෘත වීමටයි යන්නේ. එය නම් ගැලවීමේ පණිවිඩයට සවන් දීමේ ප්‍රස්තාවයි.

6, 7. (අ) දෙවි ගැන දැනගැනීමට අවංක ආශාවක් තිබෙන අයගේ යාච්ඤාවලට අද දින දෙවි සවන් දෙන බව නිසැකවම පැවසිය හැක්කේ ඇයි? (ආ) එවැනි අද්දැකීම්වලින් අප තේරුම්ගන්නේ මොනවාද?

6 දෙවි ගැන දැනගැනීමට අවංක ආශාවක් තිබෙන අයගේ යාච්ඤාවලට අද දිනත් දෙවි සවන් දෙනවාද? ඇල්බේනියාවේ ජීවත් වන කාන්තාවකගේ අද්දැකීම සලකා බලන්න. දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් ලිපියක් ඇතුළත් මුරටැඹ සඟරාවක් ඇගේ නිවසට පැමිණි සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඇයට ඉදිරිපත් කළ විට ඇය එය සතුටින් භාරගත්තා. * එම සාක්ෂිකරුවන් දෙදෙනාට ඇය මෙසේ පැවසුවා. “මගේ දුවලා දෙන්නාව හොඳින් හදා වඩා ගන්න අවශ්‍ය උපකාර මට ලබා දෙන්න කියලා මම මේ දැන් දෙවිට යාච්ඤා කළා කියලා කිව්වොත් ඔයාලා සමහරවිට විශ්වාස කරන එකක් නැහැ. දෙවි තමයි ඔයාලව මෙහේට එව්වේ. මට අවශ්‍යම දේ ඔයගොල්ලන් මට දුන්නේ ඒ නිසයි.” පසුව එම කාන්තාවත් ඇගේ දූවරු දෙදෙනාත් බයිබලය පාඩම් කිරීමට පටන්ගත් අතර ඇගේ ස්වාමිපුරුෂයාත් පසු කාලයක ඊට සහභාගි වුණා.

7 එවැනි අද්දැකීම් අප ලබන්නේ කලාතුරකින් නොවෙයි. විවිධ රටවලින් එවැනි අද්දැකීම් ගැන අපට නිතරම අසන්න ලැබෙනවා. ඒ නිසා ඒවා අහඹු සිදුවීම් කියා කොහෙත්ම පැවසිය නොහැකියි. යෙහෝවා දෙවි ගැන දැනගැනීමට අවංක ආශාවක් තිබෙන අයගේ යාච්ඤාවලට දෙවි සවන් දෙන බව එවැනි අද්දැකීම්වලින් අපට වැටහෙනවා. (1 රාජා. 8:41-43; ගීතා. 65:2) අප කරන දේශනා සේවයට දේවදූතයන්ගේ උපකාර ලැබෙන බවත් ඉන් අපට තේරුම්ගත හැකියි.—එළි. 14:6, 7.

‘පේතෘස් ව්‍යාකූලව සිටියා’ (ක්‍රියා 10:9-23අ)

8, 9. දෙවි තම බලය මාර්ගයෙන් පේතෘස්ට දැන්වූයේ කුමක්ද? ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?

8 කොර්නේලියස් එවූ මිනිසුන් කිහිපදෙනා පේතෘස් සිටි නිවසට පැමිණෙන විට පේතෘස් සිටියේ වහල්තලය මතයි. තමන් දුටු දර්ශනය තේරුම්ගත නොහැකිව ඒ අවස්ථාවේ ඔහු සිටියේ ‘ව්‍යාකූලවයි.’ (ක්‍රියා 10:17) නීතිය මගින් අපවිත්‍රයයි සැලකූ සතුන්ව ආහාරයට ගැනීම තුන් වතාවක්ම ප්‍රතික්ෂේප කළ පේතෘස්, මේ මිනිසුන් සමඟ වෙනත් ජාතියකට අයත් කෙනෙකුගේ නිවසට යන්න කැමති වෙයිද? ඊට පිළිතුරු දැනගැනීම සඳහා ඊළඟට සිදු වූ දෙය සලකා බලන්න. දෙවි තම බලය මාර්ගයෙන් තම කැමැත්ත කුමක්ද කියා පේතෘස්ට මෙසේ දැන්වූවා. “මිනිස්සු තුන්දෙනෙක් ඔබව සොයාගෙන ඇවිත්. ඒ නිසා නැඟිට, පහළ තට්ටුවට ගොස් ඔවුන්ව සැක නොකර ඔවුන් සමඟ යන්න. ඔවුන්ව එවා තිබෙන්නේ මමයි.” (ක්‍රියා 10:19, 20) මේ අවස්ථාවේ දෙවි තම බලය මාර්ගයෙන් ලබා දුන් මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කිරීමට ඔහු කලින් දුටු දර්ශනය ඔහුට උපකාරවත් වූ බවට කිසිම සැකයක් නැහැ.

9 තමන්ව කැඳවාගෙන එන්න කියා දෙවි කොර්නේලියස්ට දැන්වූ බව පේතෘස් දැනගත් පසු ඔහු කොර්නේලියස් එවූ මිනිසුන් කිහිපදෙනාට නිවස ඇතුළට ආරාධනා කර, ‘ඔවුන්ට සංග්‍රහ කළා.’ (ක්‍රියා 10:23අ) ඉන් පැහැදිලි වන්නේ මේ කීකරු නියෝජිතයා දෙවිගේ කැමැත්ත ගැන තව තවත් දැනුවත් වන විට තම ආකල්ප ඊට එකඟව හැඩගස්වා ගනිමින් සිටි බවයි.

10. දෙවි තම සෙනඟට මඟ පෙන්වන්නේ කෙසේද? අප අපෙන්ම අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

10 අද දක්වාම යෙහෝවා දෙවි තම සෙනඟට මඟ පෙන්වන්නේ ඔවුන්ව ක්‍රමානුකූලව දැනුවත් කරමිනුයි. (හිතෝ. 4:18) දෙවි තම බලය මාර්ගයෙන් ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ මඟ පෙන්වීම් ලබා දෙනවා. (මතෙ. 24:45) සමහර අවස්ථාවලදී බයිබලයේ තිබෙන යම් කාරණා සම්බන්ධයෙන් අපේ අවබෝධය තව තවත් නිවැරදි වන්නෙත් සංවිධාන සැලැස්මේ යම් වෙනස්කම් සිදු වන්නෙත් ඒ නිසයි. ඒ දේවල් සියල්ල සිදු වන්නේ දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් නිසා මෙවැනි ප්‍රශ්න අපෙන්ම අසාගැනීම ඉතා වැදගත්. ‘යම් වෙනස්කම් සිදු කරන විට මම ඊට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? දෙවි තම බලය මාර්ගයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට මම කැමැත්තෙන්ම කීකරු වෙනවාද?’

‘ඔවුන්ව බව්තීස්ම කරන්න කියා පේතෘස් අණ කළා’ (ක්‍රියා 10:23ආ-48)

11, 12. සිසේරියට පැමිණි පේතෘස් කළේ කුමක්ද? ඔහු හොඳින් අවබෝධ කරගත්තේ කුමක්ද?

11 දර්ශනය දුටු දිනයට පසු දින පේතෘස් නවදෙනෙකු සමඟ එනම් කොර්නේලියස් එවූ මිනිසුන් තුන්දෙනා හා යොප්පාවේ සිටි යුදෙව් ‘සහෝදරයන් හයදෙනෙකු’ සමඟ සිසේරිය බලා පිටත් වුණා. (ක්‍රියා 11:12) මේ අතරතුර පේතෘස්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි කොර්නේලියස්, “තමාගේ නෑදෑයන්වද කිට්ටු මිත්‍රයන්වද” ඔහුගේ නිවසට කැඳවා තිබුණා. පෙනෙන විදිහට ඔහුගේ නිවසේ එක් රැස් වී සිටි අය යුදෙව් ජාතිකයන් නොවෙයි. (ක්‍රියා 10:24) සිසේරියට පැමිණි පේතෘස්, චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත් නොවූ වෙනත් ජාතියකට අයත් කෙනෙකු වූ කොර්නේලියස්ගේ නිවසට ඇතුල් වුණා. එවැනි දෙයක් කිසි දිනක තමාට කරන්න සිදු වෙයි කියා පේතෘස් හීනෙකින්වත් සිතන්න නැතුව ඇති. ඔහු ඔවුන්ට පැවසූ මේ දෙයින් ඒ බව පැහැදිලි වෙනවා. “වෙනත් ජාතියකට අයත් කෙනෙකු ළඟට යන්නවත් ඔහු සමඟ කතාබහ කරන්නවත් යුදෙව්වෙකුට සම්පූර්ණයෙන්ම තහනම් දෙයක් කියා ඔබ හොඳින් දන්නවා. නමුත් කිසිම මිනිසෙක් දූෂිතයි කියා හෝ අපවිත්‍රයි කියා හෝ කියන්න එපා කියා දෙවි මට දැන් පෙන්වා තිබෙනවා.” (ක්‍රියා 10:28) දර්ශනය මාර්ගයෙන් දෙවි ඔහුට ඉගැන්වීමට උත්සාහ කළේ කෙනෙකු ගත යුත්තේ කුමනාකාරයේ ආහාරද යන කාරණය නොවන බව පේතෘස් ඒ වන විට තේරුම්ගෙන සිටියා. ඇත්තටම දෙවි ඔහුට ඉගැන්වූයේ චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත් නොවූ වෙනත් ජාතියකට අයත් කෙනෙකු ඇතුළුව “කිසිම මිනිසෙක්” දූෂිතයි හෝ අපවිත්‍රයි කියා නොසැලකිය යුතුයි යන කාරණයයි.

“කොර්නේලියස් තමාගේ නෑදෑයන්වද කිට්ටු මිත්‍රයන්වද තම නිවසට ආරාධනා කර ඔවුන් එන තුරු බලා සිටියේය.”—ක්‍රියා 10:24

12 කොර්නේලියස්ගේ නිවසේ රැස්ව සිටි සියලුදෙනාම පේතෘස් පැවසීමට යන දේට සවන් දීමට මහත් ආශාවෙන් බලා සිටියා. “දැන් දෙවි ඉදිරියෙහි මෙහි රැස්ව සිටින අපි සියලුදෙනාම සූදානම් වී සිටින්නේ යෙහෝවා දෙවි ඔබට අණ කළ සියල්ල ඇසීමටයි” කියා කොර්නේලියස් පැවසුවේ ඒ නිසයි. (ක්‍රියා 10:33) යෙහෝවා දෙවි ගැන දැනගැනීමට මහත් ආශාවකින් සිටින කෙනෙකු ඒ හා සමාන දෙයක් ඔබට පැවසුවොත් ඔබට කෙසේ හැඟෙයිද? පේතෘස් මෙම ප්‍රබල වදන් පෙළ සමඟින් ඔහුගේ කතාව ඇරඹුවා. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.” (ක්‍රියා 10:34, 35) කෙනෙකුට දෙවි තම අනුමැතිය ලබා දෙන්නේ ඔහුගේ රට ජාතිය, දුප්පත් පොහොසත්කම, පෙනුම යනාදි දේවල් මත නොවෙයි කියා පේතෘස් හොඳින් අවබෝධ කරගත් බව ඔහු පැවසූ ඒ දෙයින් පැහැදිලියි. එලෙස කතාව ඇරඹූ පේතෘස්, යේසුස් කළ සේවය, ඔහුගේ මරණය හා නැවත නැඟිටීම සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂියක් දැරුවා.

13, 14. (අ) ක්‍රිස්තු වර්ෂ 36දී කොර්නේලියස්ගේ නිවසේ සිදු වූ දෙයෙහි ඇති විශේෂත්වය කුමක්ද? (ආ) පිටාතර පෙනුම දෙස බලා යම් නිගමනවලට එළඹීමෙන් වැළකී සිටිය යුත්තේ ඇයි?

13 “පේතෘස් ඒ දේවල් ගැන කතා කරමින් සිටියදී” මීට පෙර සිදු නොවූ දෙයක් සිදු වුණා. එනම් පේතෘස්ට සවන් දෙමින් සිටි “වෙනත් ජාතීන්ට” අයත් ඔවුන් සියලුදෙනාටම දෙවිගේ බලය ලැබුණා. (ක්‍රියා 10:44, 45) බව්තීස්ම වීමට පෙර දෙවිගේ බලය ලැබුණු බවට ශුද්ධ ලියවිල්ලේ සඳහන් වන එකම අවස්ථාව මෙයයි. දෙවිගේ අනුමැතිය ඔවුන්ට තිබෙන බවට එය ලකුණක් බව වටහාගත් පේතෘස්, ‘ඔවුන්ව බව්තීස්ම කරන්න කියා අණ කළා.’ (ක්‍රියා 10:48) ක්‍රිස්තු වර්ෂ 36 ඒ සිදුවීමත් සමඟ වෙනත් ජාතීන්ටත් යේසුස්ගේ අනුගාමිකයන් වීමේ ප්‍රස්තාව විවෘත වූ අතර ඒ වන තෙක් යුදෙව්වන්ට තිබූ විශේෂ අනුග්‍රහය අවසන් වුණා. වෙනත් විදිහකින් පවසනවා නම් යේසුස් සමඟ හවුල් පාලකයන් වීමේ බලාපොරොත්තුව එතැන් සිට යුදෙව්වන්ට පමණක් නොව වෙනත් ජාතීන්ටත් හිමි වුණා. (දානි. 9:24-27) යේසුස් ගැන පැහැදිලි සාක්ෂියක් දීමට පේතෘස් එලෙස පෙරමුණ ගෙන කටයුතු කිරීමෙන් ඔහු තමාට දී තිබූ “ස්වර්ග රාජ්‍යයේ යතුරු” තුනෙන් අවසන් යතුර භාවිත කළා. (මතෙ. 16:19) එමගින් වෙනත් ජාතීන්ට අයත් අයටත් දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ විශේෂ වරප්‍රසාද භුක්ති විඳීමේ ප්‍රස්තාව විවෘත වුණා.

14 අද දින දෙවිගේ රාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දරන අපි, ‘දෙවි සියලුදෙනාටම එක හා සමානව සලකනවා’ යන කාරණය හොඳින් තේරුම්ගෙන සිටිනවා. (රෝම 2:11) “සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීම” දෙවිගේ අරමුණ බව අපි දන්නවා. (1 තිමෝ. 2:4) ඒ නිසා දේශනා සේවයේදී අපිට හමු වන අයගේ පෙනුම, තරාතිරම් යනාදි දේවල් මත ඒ අය ගැන යම් නිගමනවලට එළඹීමෙන් අප වැළකී සිටිනවා. අපට ලැබී තිබෙන පැවරුම වන්නේ රට ජාතිය, පෙනුම, තරාතිරම් හෝ ආගමික පසුබිම දෙස නොබලා සියලුම ජනයාට දෙවිගේ රාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දැරීමයි.

‘සිදු වූ දේ පිළිගත් ඔවුන්, දෙවිට ප්‍රශංසා කළා’ (ක්‍රියා 11:1-18)

15, 16. යෙරුසලමේ සිටි සමහරක් යුදෙව් ක්‍රිස්තියානීන් පේතෘස් සමඟ වාද කළේ ඇයි? පේතෘස් ඔවුන්ව නිවැරදි කළේ කෙසේද?

15 සිසේරියේ සිදු වූ දේවල් යෙරුසලමට ගොස් වාර්තා කිරීමට පේතෘස් මහත් උනන්දුවෙන් සිටින්න ඇති. නමුත් චර්මච්ඡේදනය නොවූ වෙනත් ජාතීන්ට අයත් අය “දෙවිගේ පණිවිඩය පිළිගත් බව” පේතෘස් යෙරුසලමට යෑමට පෙර එහි සිටි සහෝදරයන්ට ආරංචි වුණා. “චර්මච්ඡේදනය නොවූ කෙනෙකුගේ නිවසකට ගොස් ඔහු සමඟ ආහාර ගත්” නිසා ඒ ගැන අමනාපයෙන් සිටි “චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට පක්ෂව සිටි අය” පේතෘස් යෙරුසලමට පැමිණි විට ‘ඔහු සමඟ වාද කරන්න පටන්ගත්තා.’ (ක්‍රියා 11:1-3) ඔවුන්ට ප්‍රශ්නය වුණේ චර්මච්ඡේදනය නොවූ අය යේසුස්ගේ අනුගාමිකයන් වීම නොවෙයි. ඔවුන් පවසා සිටියේ යේසුස්ගේ අනුගාමිකයන් වන චර්මච්ඡේදනය නොවූ වෙනත් ජාතීන්ට අයත් අය චර්මච්ඡේදනය වීමේ පිළිවෙත ඇතුළු නීතියේ සඳහන් අනිකුත් පිළිවෙත් රැකිය යුතු බවයි. යෙහෝවා දෙවිට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කළ හැක්කේ එසේ කිරීමෙන් පමණක් බවත් ඔවුන් තරයේ කියා සිටියා. ඒ දේවලින් පැහැදිලි වන්නේ මෝසෙස්ට දුන් නීතිය තවදුරටත් වලංගු නැති බව පිළිගැනීම යුදෙව් ජාතියට අයත් යේසුස්ගේ සමහරක් අනුගාමිකයන්ට අමාරු දෙයක් වූ බවයි.

16 පේතෘස් ඔවුන්ව නිවැරදි කළේ කෙසේද? සිදු වූ දෙයට දෙවිගේ අනුමැතිය තිබෙනවා කියා පෙන්වීමට පේතෘස් කාරණා හතරක් ගෙනහැර දැක්වූ බව ක්‍රියා 11:4-16 දක්වා සඳහන් වාර්තාවෙන් අපට පැහැදිලි වෙනවා. ඔහු ගෙනහැර දැක්වූ කාරණා මේවායි. (1) දෙවි ඔහුට දැකීමට සැලැස්වූ දර්ශනය (4-10). (2) දෙවිගේ බලය මාර්ගයෙන් ඔහුට දුන් ආඥාව (11, 12). (3) කොර්නේලියස්ව හමු වීමට දේවදූතයෙක් පැමිණීම (13, 14). (4) චර්මච්ඡේදනය නොවූ වෙනත් ජාතීන්ටත් දෙවිගේ බලය ලැබීම (15, 16). එම කාරණා ගෙනහැර දැක්වීමෙන් පසුව පේතෘස් මෙම ප්‍රබල ප්‍රශ්නය ඔවුන්ගෙන් ඇසුවා. “ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබූ අපට [යුදෙව්වන්ට] නොමිලේ ලබා දුන් දීමනාවම දෙවි ඔවුන්ටත් [වෙනත් ජාතීන්ටත්] දුන්නා නම් දෙවිට හරස් වෙන්න මම කවුද?”—ක්‍රියා 11:17.

17, 18. (අ) පේතෘස් ඉදිරිපත් කළ කරුණුවලට සවන් දුන් පසු යුදෙව් ක්‍රිස්තියානීන්ට ගැනීමට තිබූ තීරණය කුමක්ද? (ආ) අද දින දෙවිට නමස්කාර කරන අය අතරේ එක්සත්කම පවත්වාගැනීම අභියෝගයක් විය හැක්කේ ඇයි? අප අපෙන්ම අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

17 පේතෘස් ඉදිරිපත් කළ ඒ කරුණුවලට සවන් දීමෙන් පසුව වාද කරමින් සිටි යුදෙව් ක්‍රිස්තියානීන්ට යම් වැදගත් තීරණයක් ගැනීමට සිදු වුණා. එනම් තම මතය වෙනස් කර අලුතින් බව්තීස්ම වූ චර්මච්ඡේදනය නොවූ වෙනත් ජාතීන්ට අයත් අයව තමන්ගේ සෙසු සහෝදර සහෝදරියන් ලෙස පිළිගන්නවාද නැද්ද යන කාරණයයි. වාර්තාවේ පවසන්නේ, “ඒ දේවල් ඇසූ පසු ඔවුහු [නියෝජිතයන් හා වෙනත් යුදෙව් ක්‍රිස්තියානීන්] සිදු වූ දේ පිළිගෙන, දෙවිට ප්‍රශංසා කරමින්, ‘දෙවි වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ටත් පසුතැවිලි වී ජීවනය ලබාගැනීමේ ප්‍රස්තාව උදා කර ඇති බව අපට පැහැදිලියි’ කියා පැවසූ” බවයි. (ක්‍රියා 11:18) ඔවුන් ඔවුන්ගේ ආකල්ප එලෙස නිවැරදි කරගත් නිසා ක්‍රිස්තියානි සභාවේ සාමය හා එක්සත්කම දිගටම පැවතුණා.

18 අද දින යෙහෝවා දෙවිට නමස්කාර කරන අය අතරේ “සියලු ජාතීහුද ගෝත්‍රද ජනයාද සියලු භාෂා කතා කරන අයද” සිටින නිසා එක්සත්කම පවත්වාගැනීම අභියෝගයක් විය හැකියි. (එළි. 7:9) බොහෝ සභාවන්වල විවිධ ජාතීන්ට, සංස්කෘතීන්ට හා විවිධ පසුබිම්වලට අයත් අය සිටිනවා. ඒ නිසා අප අපෙන්ම මෙවැනි ප්‍රශ්න අසාගැනීම ඉතා වැදගත්. ‘මගේ පසුබිමට වඩා වෙනස් පසුබිමක් තිබෙන අය ගැන මා දරන ආකල්ප මම සම්පූර්ණයෙන්ම නිවැරදි කරගෙන තිබෙනවාද? රට ජාතිය, ගෝත්‍රය හා තම සංස්කෘතිය ගැන ආඩම්බර වීම වැනි අද සමාජයේ බෙදීම් ඇති කරන දේවල් මගේ සහෝදරයන්ට මම සලකන ආකාරයට බලපා තිබෙනවාද? එවැනි බලපෑම්වලට හසු නොවී සිටීමට මම අදිටන් කරගෙන සිටිනවාද?’ මේ කාරණය සම්බන්ධයෙන් අප නිතරම සෝදිසියෙන් සිටීම ඇත්තෙන්ම වැදගත්. චර්මච්ඡේදනය නොවූ වෙනත් ජාතීන්ට අයත් අයට විශේෂ වරප්‍රසාද විවෘත කර දීමට දෙවි යොදාගත් පේතෘස්ද ඊට අවුරුදු කිහිපයකට පසු එම උගුලට හසු වුණා. වාර්තාවේ සඳහන් වන්නේ අනික් අයගේ බලපෑමට හසු වූ ඔහු, ක්‍රිස්තියානීන් බවට පත් වී සිටි වෙනත් ජාතීන්ට අයත් අයගෙන් ‘ඈත් වී ඔවුන් සමඟ තවදුරටත් ඇසුරු කිරීම නතර කළ’ බවයි. (ගලා. 2:11-14) එසේනම් අප අප ගැනම සෝදිසියෙන් සිටීම මොන තරම් වැදගත්ද!

‘බොහෝදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන් වුණා’ (ක්‍රියා 11:19-26අ)

19. අන්තියෝකියේ සිටි යුදෙව් ජාතික ගෝලයන් ආරම්භ කළේ කුමක්ද? එහි ප්‍රතිඵලය වුණේ කුමක්ද?

19 එම සිදුවීමෙන් කෙටි කලකට පසුව සිරියාවේ පිහිටි අන්තියෝකියේ සිදු වූ දෙය සලකා බලන්න. * එම නුවරේ යුදෙව්වන් විශාල පිරිසක් සිටියා. නමුත් එහි සිටි යුදෙව්වන් හා යුදෙව් නොවන අය සාමයෙන් ජීවත් වුණා. ඒ නිසා වෙනත් ජාතීන්ට අයත් අයට ශුභාරංචිය දේශනා කිරීමට අන්තියෝකිය කදිම ස්ථානයක් වුණා. “ග්‍රීක බස කතා කළ ජනතාවට” යුදෙව් ජාතික ගෝලයන් ප්‍රසිද්ධියේ දේශනා කිරීම ඇරඹුවේ අන්තියෝකියෙයි. (ක්‍රියා 11:20) ඔවුන් දේශනා කළේ ග්‍රීක බස කතා කළ යුදෙව්වන්ට පමණක් නොවෙයි. චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත් නොවූ වෙනත් ජාතීන්ට අයත් අයටත් ඔවුන් දේශනා කළා. ඔවුන් කළ ඒ සේවයට යෙහෝවා දෙවිගේ උපකාරය ලැබුණු අතර ‘බොහෝදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන් වුණා.’—ක්‍රියා 11:21.

20, 21. බානබස් නිහතමානීව කටයුතු කළේ කෙසේද? සේවයේ හවුල් වන විට අපටත් ඒ හා සමානව කටයුතු කළ හැක්කේ කෙසේද?

20 අන්තියෝකියේ සිටි බොහෝදෙනෙකු ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දැක්වූ නිසා ඔවුන්ට උපකාර කිරීම සඳහා යෙරුසලමේ සභාවේ සිටි අය බානබස්ව අන්තියෝකියට යැව්වා. ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දැක්වූ අය කොතරම් ප්‍රමාණයක් එහි සිටියාද කියනවා නම් තනියම ඔවුන්ට උපකාර කිරීම බානබස්ට අපහසු කාර්යයක් වුණා. මේ අවස්ථාවේදී බානබස්ට උපකාර කිරීමට විශේෂ අරමුණක් සඳහා තෝරාගෙන සිටි සාවුල් තරම් සුදුස්සෙක් තවත් සිටිනවාද! (ක්‍රියා 9:15; රෝම 1:5) නමුත් සාවුල්ගේ උපකාර පතන්න බානබස් කැමති වෙයිද? ඔහු අන්තියෝකියට පැමිණියොත් තමාට ඉන් අවාසියක් වෙයි කියා බානබස් සිතයිද? වාර්තාවේ පවසන්නේ බානබස්ම ටාසස් බලා ගොස් සාවුල්ව සෙවූ බවයි. ඔහුට සාවුල්ව හමු වූ විට අන්තියෝකියේ සිටින අයට උපකාර කිරීම සඳහා ඔහු සාවුල්ව අන්තියෝකියට රැගෙන ආවා. ඇත්තෙන්ම බානබස් මොන තරම් නිහතමානී කෙනෙක්ද! සභාවේ සිටි අයගේ විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා ඔවුන් දෙදෙනා අවුරුද්දක් පුරා එහි සේවය කළා.—ක්‍රියා 11:22-26අ.

21 බානබස් මෙන් අපටත් නිහතමානීව කටයුතු කළ හැක්කේ කෙසේද? නිහතමානී කෙනෙක් සෑම දෙයක්ම තමන්ට තනියම කළ හැකියි කියා සිතන්නේ නැහැ. අපි හැමෝටම විවිධ දක්ෂතාවන් හා හැකියාවන් තිබෙනවා. උදාහරණයකට යම් කෙනෙකුට සඟරා, පොත් පත් නිවැසියන්ට ඉදිරිපත් කිරීමට හොඳ හැකියාවක් තිබෙන්න පුළුවන්. නමුත් නැවත බැලීම් හා බයිබල් පාඩම් ආරම්භ කිරීම ඔහුට තරමක් අපහසු දෙයක් විය හැකියි. ඒ හා සමානව ඔබටත් සේවයේදී යම් පැතිවලින් දියුණු වීමට අවශ්‍ය බව හැඟෙනවා නම් අන් අයගෙන් උපකාර පැතීම හොඳ දෙයක් නොවේද? ඔබ එලෙස නිහතමානීව කටයුතු කරනවා නම් සේවයේදී ඔබට හොඳ ප්‍රතිඵල ලබාගත හැකි අතර ප්‍රීතියද අද්දැකිය හැකියි.—1 කොරි. 9:26.

යුදයේ සිටි සහෝදරයන්ට ‘සහනාධාර යවයි’ (ක්‍රියා 11:26ආ-30)

22, 23. අන්තියෝකියේ සභාවේ සිටි අය සහෝදර ප්‍රේමය පෙන්වූයේ කෙසේද? අද දින සිටින සැබෑ ක්‍රිස්තියානීන්ද ඒ හා සමාන ප්‍රේමයක් පෙන්වන්නේ කෙසේද?

22 ‘ගෝලයන්ව ක්‍රිස්තියානීන් කියා මුලින්ම හැඳින්වීමට පටන්ගත්තේ අන්තියෝකියෙයි. එසේ වූයේ දෙවිගේ මඟ පෙන්වීමට එකඟවයි.’ (ක්‍රියා 11:26ආ) ක්‍රිස්තුස්ව ආදර්ශයට ගන්නා ඔවුන්ව, ක්‍රිස්තියානීන් ලෙස හැඳින්වීම මොන තරම් යෝග්‍යද! ක්‍රිස්තියානි සභාවට එකතු වීමට පටන්ගත් වෙනත් ජාතීන්ට අයත් අය හා සභාවේ සිටි යුදෙව් ජාතික ක්‍රිස්තියානීන් අතරේ කිට්ටු බැඳීමක් ඇති වී තිබුණාද? ක්‍රිස්තු වර්ෂ 46දී මහත් සාගතයක් ඇති වූ විට සිදු වූ දෙය සලකා බලන්න. * එදා වේල සොයාගන්නා දුප්පත් අයට එම සාගතය ප්‍රබල අයුරින් බලපෑවා. යූදා දේශයේ ජීවත් වූ යුදෙව් ක්‍රිස්තියානීන්ගෙන් බහුතරයක් දුප්පත් අය නිසා ආහාර පාන වැනි මූලික අවශ්‍යතාවල හිඟයක් ඔවුන් අතර තිබුණා. ඔවුන්ට යම් දේවල් අවශ්‍ය බව අන්තියෝකියේ සභාවේ සිටි වෙනත් ජාතීන්ට අයත් ක්‍රිස්තියානීන් ඇතුළු සභාවේ සිටි අයට ආරංචි වූ විට යම් “සහනාධාර” යූදා දේශයට යැවීමට ඔවුන් පියවර ගත්තා. (ක්‍රියා 11:29) ඇත්තෙන්ම ඔවුන් අතරේ මොන තරම් කිට්ටු බැඳීමක් ඇති වී තිබුණාද කියා එයින් පැහැදිලි වෙනවා.

23 අද දින සිටින දෙවිගේ සෙනඟ අතරෙත් ඒ හා සමාන බැඳීමක් තිබෙනවා. වෙනත් රටවල හෝ අපේම රටේ වෙනත් ප්‍රදේශවල සිටින අපේ සහෝදර සහෝදරියන්ට යම් උපකාර අවශ්‍ය වූ විට ඔවුන්ට අවශ්‍ය ඕනෑම උපකාරයක් සැපයීමට අප සූදානමින් සිටිනවා. සුළිසුළං, භූමිකම්පා, සුනාමි වැනි ස්වාභාවික විපත් ඇති වන විට ශාඛා කමිටු විසින් සහන සේවා කමිටු සංවිධානය කර විපතට පත් වන අපේ සහෝදර සහෝදරියන්ට අවශ්‍ය උපකාර ඉක්මනින් ලබා දෙනවා. ඒ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ සැබෑ ක්‍රිස්තියානීන් වන අප අතරේ තිබෙන බැඳීම මොන තරම්ද කියායි.—යොහ. 13:34, 35; 1 යොහ. 3:17.

24. පේතෘස් දුටු දර්ශනයේ අර්ථය අප හොඳින් තේරුම්ගෙන සිටින බව පෙන්විය හැක්කේ කෙසේද?

24 මීට අවුරුදු 1,900කට පෙර යොප්පාවේදී පේතෘස් දුටු දර්ශනයේ අර්ථය සැබෑ ක්‍රිස්තියානීන් වන අප තේරුම්ගෙන සිටීම මොන තරම් වැදගත්ද කියා මේ පරිච්ඡේදයෙන් අප දැනගත්තා. අප නමස්කාර කරන්නේ සියල්ලන්ටම එක හා සමානව සලකන දෙවි කෙනෙකුටයි. රට ජාතිය, උස් පහත් භේද නොබලා සියලුම ජනයාට දෙවිගේ රාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දැරීම ඔහුගේ කැමැත්තයි. එසේනම් ශුභාරංචියට සවන් දීමට කැමති ඕනෑම කෙනෙකුට ඒ සඳහා අවස්ථාව සලසා දීමට අදිටන් කරගනිමු.—රෝම 10:11-13.

අපේ සහෝදරයන්ට යම් උපකාර අවශ්‍ය වූ විට අවශ්‍ය ඕනෑම උපකාරයක් සැපයීමට අප සූදානමින් සිටිනවා

^ 1 ඡේ. සමහර යුදෙව්වන් සම් පදම් කරන්නන්ව සැලකුවේ පහත් අය ලෙසයි. ඔවුන් නිතරම සතුන්ගේ මළ සිරුරු හා සම් පරිහරණය කළ නිසා ඔවුන් අපවිත්‍ර අය කියා ඔවුන් සිතුවා. ඒ නිසා ඔවුන් දේවමාලිගාවට ඇතුල් වීමට සුදුසු නැති පිරිසක් ලෙස ගණන් ගනු ලැබුවා. ඔවුන් යම් නුවරක තම රැකියාවේ නිරත වී සිටියා නම් ඔවුන්ගේ රැකියා ස්ථානය හෝ නිවස තිබිය යුත්තේ එම නුවරින් රියන් 50ක් එනම් අඩි 70ක් පමණ දුරිනුයි. පේතෘස් නවාතැන් ගත් සීමොන්ගේ නිවස “මුහුද අසල” පිහිටා තිබීමට හේතුව එය විය හැකියි.—ක්‍රියා 10:6.

^ 6 ඡේ.දරුවන් ඇති දැඩි කිරීමට විශ්වාසවන්තම උපදෙස්” නමැති ලිපිය 2006 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ 4-7 දක්වා පිටුවල සඳහන් වෙනවා.

^ 19 ඡේ. සිරියාවේ පිහිටි අන්තියෝකිය” නමැති කොටුව බලන්න.

^ 22 ඡේ. ක්ලෝදියස්ගේ පාලන සමයේදී (ක්‍රි.ව. 41-54) ඇති වූ “මහත් සාගතය” ගැන යුදෙව් ඉතිහාසඥයෙක් වූ ජොසීෆස්ද සඳහන් කළා.