Skip to content

පටුනට යන්න

11වෙනි පරිච්ඡේදය

‘ප්‍රීතියෙන් හා දෙවිගේ බලයෙන් ශක්තිමත් වී සිටි ගෝලයෝ’

‘ප්‍රීතියෙන් හා දෙවිගේ බලයෙන් ශක්තිමත් වී සිටි ගෝලයෝ’

විරුද්ධවාදීන් හා උදාසීන ප්‍රතිචාරයක් දැක්වූ අය සමඟ පාවුල් කටයුතු කළ ආකාරය

ක්‍රියා 13:1-52

1, 2. බානබස්ට හා සාවුල්ට ලැබුණු පැවරුමේ ඇති විශේෂත්වය කුමක්ද? ක්‍රියා 1:8හි සඳහන් වදන් ඉටු කිරීමට ඔවුන්ට ලැබුණු පැවරුම දායක වන්නේ කෙසේද?

අන්තියෝකියේ පිහිටි සභාවට අද ප්‍රීතිමත් දවසක්. රැස්ව සිටි සියලු අනාගතවක්තෘවරුන් හා ගුරුවරුන් අතරින් බානබස්ව හා සාවුල්ව විශේෂ කාර්යයක් සඳහා දෙවිගේ බලය මාර්ගයෙන් තෝරාගත්තා. * ඔවුන්ව තෝරාගත්තේ දුර ඈත ප්‍රදේශවලට ශුභාරංචිය රැගෙන යෑමටයි. (ක්‍රියා 13:1, 2) මීට කලිනුත් සුදුසුකම් ලත් පුරුෂයන්ව ශුභාරංචිය දේශනා කිරීම සඳහා වෙනත් ප්‍රදේශවලට යවනු ලැබුවා. නමුත් ඔවුන් ගිය ප්‍රදේශවල ඒ වන විටත් යේසුස්ව පිළිගෙන ඔහුගේ අනුගාමිකයන් වූ අය සිටියා. (ක්‍රියා 8:14; 11:22) මේ අවස්ථාවේදී බානබස්ව, සාවුල්ව හා ඔවුන්ගේ සහායට ගිය මාක් යන වාසගම දැරූ යොහන්ව යවන්නේ කවදාවත් ශුභාරංචියට සවන් දීමට අවස්ථාවක් නොලැබුණු මිනිසුන් බොහෝදෙනෙකු සිටින ප්‍රදේශවලටයි.

2 මීට අවුරුදු 14කට කලින් යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසුවේ, “ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි” කියායි. (ක්‍රියා 1:8) යේසුස් පැවසූ එම වදන් ඉටු කිරීම සඳහා බානබස්ට හා සාවුල්ට මිෂනාරිවරුන් ලෙස සේවය කිරීමට ලැබුණු මෙම විශේෂ පැවරුම දායක වූ බව නිසැකයි. *

“විශේෂ කාර්යයක්” සඳහා වෙන් කර තැබූ අය (ක්‍රියා 13:1-12)

3. පළමුවෙනි සියවසේදී දුර ගමන්බිමන් යෑම අපහසු දෙයක් වුණේ ඇයි?

3 යානවාහන නිපදවා තිබෙන අද කාලයේ දුර බැහැර ප්‍රදේශවලට යෑම එතරම් අපහසු කාර්යයක් නොවෙයි. පැයක් දෙකක් ඇතුළත සෑහෙන දුර ප්‍රමාණයක් යා හැකියි. නමුත් පළමුවෙනි සියවසේ තත්වය නම් ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඒ කාලයේ බොහෝදෙනෙක් ගමන්බිමන් ගියේ පයිනුයි. පාරවලුත් ඉතා දුෂ්කරයි. * දවසක් ඇතුළත ගමන් කළ හැකි වුණේ කිලෝමීටර් 30ක් පමණයි. ඒ දුර ප්‍රමාණය යෑමට සෑහෙන වෙහෙසක් දරන්නත් සිදු වුණා. ඒ අනුව බානබස් හා සාවුල් තමන්ට ලැබුණු පැවරුම මහත් උද්‍යෝගයෙන් භාරගත්තත් එය ඉටු කිරීම එතරම් ලෙහෙසි පහසු නොවන බව ඔවුන් තේරුම්ගන්න ඇති. ඒ සඳහා මහත් වෙහෙසක් දැරීමට හා කැප කිරීම් කිරීමට සිදු වන බවත් ඔවුන් වටහාගන්න ඇති.—මතෙ. 16:24.

4. (අ) බානබස්ව හා සාවුල්ව විශේෂ කාර්යයක් සඳහා තෝරාගත්තේ කෙසේද? සභාවේ සිටි අය ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) අපට ඔවුන්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

4 දෙවි තම බලය මාර්ගයෙන් මේ පැවරුම සඳහා විශේෂයෙන්ම බානබස්ව හා සාවුල්ව තෝරාගත්තේ ඇයි? (ක්‍රියා 13:2) ඊට හේතුව බයිබලයේ සඳහන් වී නැහැ. නමුත් එක් දෙයක් පැහැදිලියි. එනම් ඔවුන් දෙදෙනාව තෝරාගත්තේ දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් බවයි. ඒ තේරීම සම්බන්ධයෙන් අන්තියෝකියේ සභාවේ සිටි කිසිම අනාගතවක්තෘවරයෙකු හෝ ගුරුවරයෙකු තම අකමැත්ත පළ කළ බවට කිසිම සාක්ෂියක් නැහැ. ඒ වෙනුවට ඔවුන් තම උපරිම සහයෝගය ඔවුන් දෙදෙනාට ලබා දුන්නා. වාර්තාවේ පවසන්නේ සෙසු සහෝදරයන්, ‘නිරාහාරව සිට යාච්ඤා කර ඔවුන් පිට අත් තබා, ඔවුන්ව පිටත් කර යැවූ’ බවයි. (ක්‍රියා 13:3) ටිකක් සිතන්න, සහෝදරයන් ඔවුන් දෙදෙනාට ඊර්ෂ්‍යා නොකර ඔවුන්ට ලැබුණු පැවරුම ඉටු කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දුන් විට සාවුල්ට හා බානබස්ට ඒ ගැන කෙසේ හැඟෙන්න ඇද්ද! සභාවේ වැඩිමහල්ලන් ලෙස සේවය කිරීමේ පැවරුම ඇතුළුව විවිධ පැවරුම් ලබන අයට අපත් පූර්ණ සහයෝගය ලබා දීම වැදගත් දෙයක් නොවේද? ඔවුන්ට ඊර්ෂ්‍යා කරනවා වෙනුවට ‘ඔවුන් කරන සේවය නිසා ඔවුන්ට ඉමහත් ප්‍රේමයකින් ගෞරවය දැක්වීමට’ අපි අදිටන් කරගනිමු.—1 තෙස. 5:13.

5. සයිප්‍රසය නම් දූපතේ දේශනා කිරීම කොතරම් දුෂ්කර කාර්යයක් වන්න ඇද්ද?

5 දෙවිගෙන් ලැබුණු පැවරුම ඉටු කිරීම සඳහා පිටත්ව ගිය බානබස් හා සාවුල්, අන්තියෝකියට නුදුරින් පිහිටි සිලූෂියේ තිබූ වරායට පයින් ගමන් කළා. එතැනින් නැවකට නැඟුණු ඔවුන්, සයිප්‍රසය නම් දූපත බලා පිටත්ව ගියා. එය කිලෝමීටර් 200ක පමණ දුර ගමනක්. * බානබස් කියන්නේ සයිප්‍රසයෙන් පැමිණි කෙනෙක්. සයිප්‍රසයට ගොස් ශුභාරංචිය දේශනා කිරීමට ඔහු මහත් උද්‍යෝගයෙන් සිටින්න ඇති. ඒ දූපතේ නැඟෙනහිර වෙරළබඩ තීරයේ පිහිටි නුවරක් වූ සලමිසයට ගොඩ බැස්ස ඔවුන්, කාලය නාස්ති නොකර විගස ‘යුදෙව්වරුන්ගේ සිනගෝගවල දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කිරීමට’ පටන්ගත්තා. * (ක්‍රියා 13:5) ඔවුන් දෙදෙනා සයිප්‍රසයේ එක් කොනක සිට අනික් කොන දක්වා ගමන් කරමින් සෑම ප්‍රධාන නුවරකම ශුභාරංචිය දේශනා කළා. ඒ සඳහා සමහරවිට ඔවුන්ට කිලෝමීටර් 220ක් පමණ පයින් ගමන් කිරීමට සිදු වන්න ඇති.

6, 7. (අ) සර්ජියස් පාවුලස් යනු කවුද? දෙවිගේ පණිවිඩය ඇසීමෙන් ඔහුව වැළැක්වීමට බාර්-යේසුස් උත්සාහ කළේ ඇයි? (ආ) බාර්-යේසුස්ට එරෙහිව සාවුල් නැඟී සිටියේ කෙසේද?

6 ඒ කාලයේ සයිප්‍රසයේ සිටි බොහෝදෙනෙක් අසත්‍යය උගන්වන ආගම්වල ග්‍රහණයට හසු වී සිටියා. සයිප්‍රසයේ බටහිර වෙරළබඩ තීරයේ පිහිටි පාෆස් නම් නුවරට පැමිණි විට ඒ බව බානබස්ට හා සාවුල්ට හොඳින් වැටහුණා. එහිදී ඔවුන්ට, ‘බාර්-යේසුස් නම් මිනිසෙකුව හමු වුණා. යුදෙව් ජාතිකයෙක් වූ ඔහු, විවිධ මන්තර ගුරුකම් කරන බොරු අනාගතවක්තෘවරයෙක්. ඔහු සිටියේ එම දූපතේ ආණ්ඩුකාරයා වූ සර්ජියස් පාවුලස් සමඟයි. සර්ජියස් පාවුලස් ඉතා බුද්ධිමත් මිනිසෙක්.’ * ඒ කාලයේ රෝම වැසියන් අතරේ සිටි සර්ජියස් පාවුලස් වැනි “ඉතා බුද්ධිමත්” අය පවා යම් වැදගත් තීරණයක් ගැනීමට පෙර මන්තර ගුරුකම් කරන්නන්ගෙන් හෝ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගෙන් මඟ පෙන්වීම් පැතුවා. කෙසේවෙතත් සර්ජියස් පාවුලස්ට දේවරාජ්‍යය හා සම්බන්ධ පණිවිඩය ගැන යම් කුතුහලයක් ඇති වුණා. ඒ නිසා ‘දෙවිගේ පණිවිඩය ඇසීමට ඔහු මහත් ආශාවකින් සිටියා.’ ඒ ගැන බාර්-යේසුස් නම් එතරම් සතුටට පත් වුණේ නැහැ. බාර්-යේසුස්ව, “මන්තර ගුරුකම් කරන්නා” යන තේරුම ඇති එලිමස් යන නමින්ද හැඳින්වූවා.—ක්‍රියා 13:6-8.

7 බානබස් හා සාවුල් දේශනා කළ පණිවිඩය පිළිගැනීමට අකමැති වූ බාර්-යේසුස්, ඊට දැඩි ලෙස විරෝධය පෑවා. මන්ද ආණ්ඩුකාරයාගේ උපදේශකයා ලෙස තමන්ට තිබූ තනතුර රැකගැනීමට හැකි වන්නේ ‘ආණ්ඩුකාරයා ශුභාරංචිය ගැන ඇති කරගත් විශ්වාසය කෙසේ හෝ බිඳ දැමීමෙන්’ පමණයි කියා ඔහු දැන සිටියා. (ක්‍රියා 13:8) පාවුලස් තුළ තිබූ උනන්දුව නැති කර දැමීමට මන්තර ගුරුකම් කරන මිනිසෙකු උත්සාහ කරද්දී සාවුල් කිසිවක් නොකර බලා සිටියාද? නැහැ. ඒ ගැන වාර්තාවේ මෙසේ පවසනවා. “පාවුල් යන නමින්ද හැඳින්වූ සාවුල් තුළ දෙවිගේ බලය ප්‍රබල ලෙස ක්‍රියා කරන්න පටන්ගත් විට ඔහු එලිමස් දෙසම බලා, මෙසේ කීවේය. ‘ඔබ මහා ප්‍රෝඩාකාරයෙක්! ඔබ දුෂ්ටකමින් පිරුණු යක්ෂයාගේ පුත්‍රයෙක්! ඔබ ධර්මිෂ්ඨකමට එරෙහි වූ සතුරෙක්! ඔබ උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිගේ යහපත් මඟ පෙන්වීම් අවුල් කර දමන්නයි. ඔබට දැන් සිදු වෙන්න යන දේ ගැන මම කියන්නම්. යෙහෝවා දෙවි ඔබට දැන් පහර දෙන නිසා ඔබ අන්ධයෙක් වෙනවා. ඔබට කාලයක් යන තුරු හිරු එළිය දකින්න බැරි වෙනවා.’ ඒ මොහොතේදීම ගන මීදුමක් හා සමාන දෙයකින් තමා වැසී ඇති බව ඔහුට දැනිණ. ඔහුගේ දෑස්ද අඳුරු විය. තමන්ට මඟ පෙන්වන ලෙස ඉල්ලමින් ඔහු ඒ මේ අත ගියේය.” * ‘සිදු වූ දේ දුටු ආණ්ඩුකාරයා, යෙහෝවා දෙවි ගැන ඉගෙනගත් දේවලින් පුදුමයට පත් වී යේසුස්ගේ අනුගාමිකයෙකු වුණා.’—ක්‍රියා 13:9-12.

විරුද්ධවාදිකම් හමුවේ පාවුල් මෙන් අපත් බයිබලයේ තිබෙන සත්‍යතාවන් නිර්භීතව ප්‍රකාශ කරනවා

8. පාවුල්ගේ නිර්භීතකම අපට ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

8 එම සිද්ධියෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද? බාර්-යේසුස්ගේ තර්ජන ගර්ජන හමුවේ පාවුල් සැලුණේ නැහැ. ඒ හා සමානව අපිත් අප ගෙන යන පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දක්වන අයගේ උනන්දුව නැති කර දැමීමට උත්සාහ කරන විරුද්ධවාදීන්ට භය විය යුතු නැහැ. අප “නිතරම කාරුණිකව” කතා කළ යුතු අතර අපේ “කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතු” බව ඇත්තයි. (කොලො. 4:6) නමුත් උනන්දුව දක්වන කෙනෙකුට විරුද්ධවාදීන්ගෙන් යම් තර්ජන එල්ල වන විට අපේ විශ්වාසයන් ගැන කතා කිරීමට අප පසුබට වන්නේ නැහැ. එසේ කිරීමෙන් සමහරවිට යම් මතභේද පවා පැනනැඟිය හැකියි. බාර්-යේසුස් කළ ලෙස, ‘යෙහෝවා දෙවිගේ යහපත් මඟ පෙන්වීම් අවුල් කර දමන’ අසත්‍යය උගන්වන ආගම්වල ඉගැන්වීම් හෙළි කිරීමට අප භය වන්නෙත් නැහැ. (ක්‍රියා 13:10) පාවුල් මෙන් අපිත් නිර්භීතව දෙවි ගැන සත්‍යය ප්‍රකාශ කරමින් අවංක හදවත් ඇති අයව සෙවීමට උත්සාහ දරමු. දෙවිගේ උපකාරය අපට තිබෙන බව එදා මෙන් ආශ්චර්යවත් ආකාරවලින් දෙවි අපට නොපෙන්නුවත් සුදුස්සන් සත්‍යය වෙතට ආකර්ෂණය වන්නේ දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් බව අපට නිසැකයි.—යොහ. 6:44.

“යම් දිරිගැන්වීමක් ලබා දෙන්න” (ක්‍රියා 13:13-43)

9. සභාවේ පෙරමුණ ගන්නා අයට පාවුල් හා බානබස් කදිම ආදර්ශයක් තැබුවේ කෙසේද?

9 ක්‍රියා 13:13හි පවසන්නේ, “පාවුල් සමඟ සිටි දෙදෙනා ඔහු සමඟම” පාෆස් නම් නුවරින් නැවකට ගොඩ වී කිලෝමීටර් 250ක් දුරින් පිහිටි කුඩා ආසියාවේ වෙරළබඩ තීරයේ තිබූ පර්ගා නම් නුවරට ගිය බවයි. එහි විශේෂයෙන් පාවුල්ගේ නම සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ එතැන් සිට සංචාරයේ පෙරමුණ ගෙන කටයුතු කළේ ඔහු බවයි. ඒ ගැන බානබස්ට යම් ඊර්ෂ්‍යාවක් ඇති වුණා කියා පැවසීමට කිසිම සාක්ෂියක් නැහැ. ඒ වෙනුවට දෙවිගේ කැමැත්ත ඉටු කිරීමට ඔවුන් දෙදෙනා සහයෝගයෙන් වැඩ කළා. අද දින සභාවේ පෙරමුණ ගෙන කටයුතු කරන සහෝදරයන්ට පාවුල් හා බානබස් තබන්නේ මොන තරම් කදිම ආදර්ශයක්ද! සැබෑ ක්‍රිස්තියානීන් උත්සාහ කරන්නේ, “ඔබ සියලුදෙනාම සහෝදරයෝයි” කියා යේසුස් පැවසූ වදන් නිතරම මතකයේ තබාගැනීමටයි. ඒ නිසා තම සහෝදරයන් සමඟ තරඟකාරී ලෙස කටයුතු කරමින් ඔවුන්ට වඩා කැපීපෙනෙන්න ක්‍රිස්තියානීන් උත්සාහ කරන්නේ නැහැ. ඇත්තෙන්ම “උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.”—මතෙ. 23:8, 12.

10. පර්ගා නුවරේ සිට පිසිදියේ අන්තියෝකියට යන ගමන විස්තර කරන්න.

10 ඔවුන් පර්ගා නුවරට ගිය විට මාක් යන වාසගම දැරූ යොහන්, පාවුල්ව හා බානබස්ව අත්හැර නැවත යෙරුසලමට ගියා. ඔහු එවැනි හදිසි තීරණයක් ගැනීමට හේතුව බයිබලයේ සඳහන් වන්නේ නැහැ. කෙසේවෙතත් පාවුල් හා බානබස් ඔවුන්ගේ පැවරුම දිගටම කරගෙන ගියා. ඔවුන් පර්ගා නම් නුවරින් පිටත්ව ගලාතිය නම් පළාතේ නුවරක් වූ පිසිදියේ පිහිටි අන්තියෝකියට ගමන් කළා. එම ගමන ලෙහෙසි පහසු ගමනක් වුණේ නැහැ. මන්ද පිසිදියේ අන්තියෝකිය පිහිටා තිබුණේ මුහුදු මට්ටමේ සිට අඩි 3,600ක් පමණ ඉහළිනුයි. ඔවුන්ට ගමන් කිරීමට සිදු වුණේ ඉතා දුෂ්කර පාරවල්වලයි. ඒ පාරවල්වල අවි ගත් සොරුන්ද රැක සිටි නිසා ඔවුන්ගේ ගමන තවත් අවදානම් සහිත වුණා. ඒ මදිවට පාවුල් යම් අසනීප තත්වයන්ටද මුහුණ දෙමින් සිටියා විය හැකියි. *

11, 12. සිනගෝගයේ රැස්ව සිටි අයගේ හදවතට කාවදින අයුරින් පාවුල් තම කතාව ඉදිරිපත් කළේ කෙසේද?

11 සබත් දවසකදී පාවුල් හා බානබස් පිසිදියේ අන්තියෝකියේ පිහිටි සිනගෝගයකට ඇතුල් වුණා. ඉන්පසු සිදු වූ දේ ගැන වාර්තාවේ පවසන්නේ මෙයයි. “නීතියෙන් හා අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලින් කොටසක් ප්‍රසිද්ධියේ කියෙවූ ඒ සිනගෝගයේ සිටි නිලධාරීහු, ඔවුන්ව [පාවුල්ව හා බානබස්ව] කැඳවා ඔවුන්ට මෙසේ කීවෝය. ‘සහෝදරයෙනි, රැස්ව සිටින අයට යම් දිරිගැන්වීමක් ලබා දෙන්න ඔබ කැමති නම් ඔබට පුළුවන් දැන් කතා කරන්න.’” (ක්‍රියා 13:15) එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පාවුල් එහි සිටි සියලුදෙනාවම ඇමතුවා.

12 පාවුල් තම කතාව ඇරඹුවේ, “ඊශ්‍රායෙල් ජනයෙනි, දෙවිට ගරුබිය දක්වන අන් සියල්ලෙනි” කියා පවසමිනුයි. (ක්‍රියා 13:16) එතැන රැස්ව සිටි අය අතර යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අයත් සිටියා. දෙවිගේ අරමුණ ඉටු කිරීමේදී යේසුස්ට තිබූ අතිවැදගත් කාර්යය පිළි නොගත් මේ අයගේ හදවතට කාවදින අයුරින් පාවුල් තම කතාව ඉදිරිපත් කළේ කෙසේද? මුලින්ම පාවුල් යුදෙව් ජාතියේ ඉතිහාසය ගැන කෙටියෙන් සඳහන් කළා. යෙහෝවා දෙවි ඊජිප්තු දේශයේ සිටි ඔවුන්ගේ මුතුන්මිත්තන්ව, ‘ඔවුන් සිටි ඒ පහත් තත්වයෙන් නඟා සිටෙවූ’ බවත් ඔවුන්ව එම දේශයෙන් නිදහස් කළ පසු පාළුකරයේ ගමන් කළ ‘අවුරුදු හතළිහ පුරා ඔවුන් ක්‍රියා කළ ආකාරය ඉවසගෙන සිටි’ බවත් ඔහු පැවසුවා. ඊශ්‍රායෙල් සෙනඟ පොරොන්දු දේශය අත් පත් කරගත් බවත් යෙහෝවා දෙවි එම දේශය “ඔවුන්ට උරුමයක් ලෙස බෙදා දුන්” බවත් ඔහු ඔවුන්ට සිහිගැන්වූවා. (ක්‍රියා 13:17-19) ඒ අවස්ථාවේ පාවුල් යොමු දක්වමින් සිටියේ එදින සිනගෝගයේ ප්‍රසිද්ධියේ කියෙවූ ලියවිල්ලේ කොටස්වලට විය හැකියි කියා සමහරුන් පවසනවා. ඔවුන් පවසන දේ සැබෑවක් නම් පාවුල් “සෑම තරාතිරමකම පුද්ගලයන් වෙනුවෙන් ඒ ඒ අයට ගැළපෙන අයුරින් කටයුතු” කළ බවට එය කදිම සාක්ෂියක්.—1 කොරි. 9:22.

13. අපට හමු වන අයගේ හදවතට කාවදින අයුරින් අපේ පණිවිඩය ඉදිරිපත් කළ හැක්කේ කෙසේද?

13 අපත් උත්සාහ කළ යුත්තේ අපට හමු වන අයගේ හදවතට කාවදින අයුරින් අපේ පණිවිඩය ඉදිරිපත් කිරීමටයි. උදාහරණයකට කෙනෙකුගේ ආගමික පසුබිම කුමක්ද කියා වටහාගෙන එම පුද්ගලයා උනන්දුවක් දක්වන කාරණා පදනම් කරගෙන අප පවසන පණිවිඩය ගොඩනඟන්න අපට හැකියි. එම පුද්ගලයා බයිබලයේ සඳහන් යම් දේවල් දැනටමත් දන්නවා නම් එම කොටස් උපුටා දක්වමින් අපේ පණිවිඩය ප්‍රකාශ කළ හැකියි. ඔහුට බයිබලයක් තිබෙනවා නම් ඔහුගේම බයිබලය පාවිච්චි කර ඔහුටම එය කියවීමට දීමෙන් අප පවසන දේ විශ්වාස කිරීමට ඔහු තුළ පෙලඹීමක් ඇති විය හැකියි. ඔබට සවන් දෙන අයගේ හදවතට කාවදින අයුරින් පණිවිඩය ඉදිරිපත් කිරීමට එවැනි ක්‍රම ගැන සිතා බලන්න.

14. (අ) යේසුස් ගැන කතා කිරීමට පාවුල් අඩිතාලම දැමුවේ කෙසේද? සවන් දුන් අයට ඔහු දුන් අනතුරු ඇඟවීම කුමක්ද? (ආ) රැස්ව සිටි අය පාවුල් දුන් කතාවට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

14 ඉතිහාසයේ එම සිදුවීම් ගැන සඳහන් කිරීමෙන් පසු ‘ගැලවුම්කරු වූ යේසුස්’ ඊශ්‍රායෙල්හි රාජකීය පෙළපතින් පැමිණි බව පාවුල් පැවසුවා. යේසුස්ගේ පැමිණීමට පෙර යොහන් බව්තීස්ත ඉටු කළ සේවය ගැනත් ඔහු සඳහන් කළා. යේසුස්ව මරණයට පත් කළ බවත් ඔහුව නැවත නැඟිටෙවූ බවත් පැවසූ පාවුල්, මේ ප්‍රබල කාරණය ඔවුන්ට ඒත්තුගැන්වූවා. “ඉතින් සහෝදරයෙනි, මේ දේ දැනගන්න. අපි දැන් ඔබට ප්‍රකාශ කරමින් සිටින්නේ ඒ තැනැත්තා මාර්ගයෙන් පව්වලට සමාව ලබාගත හැකි බවයි. . . . ඒ තැනැත්තා කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම නිදොස් කෙනෙක් බව ප්‍රකාශ කරනු ලබනවා.” ඉන්පසු ඔහු සවන් දෙමින් සිටි අයට අනතුරු අඟවමින් මෙසේ පැවසුවා. “අනාගතවක්තෘවරුන්ගේ පොතේ සඳහන් දේ ඔබ සම්බන්ධයෙන් සැබෑ නොවීමට පියවර ගන්න. එහි සඳහන් වන්නේ මෙයයි. ‘අනුන්ට නින්දා කරන්නෙනි, බලන්න. ඔබ දකින දේ ගැන පුදුම වී මා ඉදිරියෙන් සදහටම නොපෙනී යන්න. මන්ද ඔබ ජීවත් වන කාලයේදී මම යමක් කරන්නෙමි. ඔබ ඒ දේ කිසි ලෙසකින්වත් විශ්වාස කරන්නේ නැත. යමෙකු ඔබට ඒ පිළිබඳව සියලුම විස්තර ලබා දුන්නත් ඔබ එය විශ්වාස කරන්නේ නැත.’” පාවුල් ඉදිරිපත් කළ කතාව ඔවුන්ගේ හදවතට මොන තරම් හොඳින් කාවැදුණාද කියනවා නම්, “ඔවුන් කතා කළ කාරණා ගැන ඊළඟ සබත් දවසේදීද පැමිණ කතා කරන” ලෙස එහි සිටි අය ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. ‘සිනගෝගයේ රැස්ව සිටි සමූහයා විසිර ගිය පසු යුදෙව්වන් බොහෝදෙනෙක්ද යුදෙව් ආගමට හැරී දෙවිට නමස්කාර කළ බොහෝදෙනෙක්ද පාවුල් සහ බානබස් පසුපස ගිය’ බවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වෙනවා.—ක්‍රියා 13:20-43.

‘අපි දැන් දෙවිගේ පණිවිඩය ලබා දෙන්නේ වෙනත් ජාතීන්ටයි’ (ක්‍රියා 13:44-52)

15. ඊළඟ සබත් දවසේදී සිදු වුණේ කුමක්ද?

15 ඊළඟ සබත් දවසේදී “නුවරේ සිටි සියලුදෙනාම” වගේ පාවුල්ට සවන් දීම සඳහා රැස් වුණා. සමහරක් යුදෙව්වන් නම් ඒ ගැන එතරම් සතුටට පත් වුණේ නැහැ. ඒ නිසා ඔවුන් ‘පාවුල් පවසමින් සිටි දේවලට විරුද්ධව අපහාසාත්මක ලෙස කතා කළා.’ නමුත් පාවුල් හා බානබස් ඉතා නිර්භීතව ඔවුන්ට මෙසේ පැවසුවා. “මුල්ම පියවර ලෙස දෙවිගේ පණිවිඩය ලබා දෙන්න සිදු වුණේ ඔබටයි. නමුත් ඔබ එය ප්‍රතික්ෂේප කර තමන් සදාකාල ජීවනය ලබාගන්න තරම් සුදුසු අය නොවන බව පෙන්වා ඇති නිසා අපි දැන් ඒ දේ ලබා දෙන්නේ වෙනත් ජාතීන්ටයි. ඇත්තෙන්ම යෙහෝවා දෙවි අපිට මෙලෙස අණ කර තිබෙනවා. ‘මම ජාතීන්ට ආලෝකය දීම සඳහා ඔබව පත් කළෙමි. එසේ කළේ ඔබ මාර්ගයෙන් පොළොවේ ඈත කෙළවර දක්වාම වෙසෙන ජනයාට ගැලවීම ලබා දීම සඳහාය.’”—ක්‍රියා 13:44-47; යෙසා. 49:6.

‘ඔවුහු පාවුල්ට සහ බානබස්ට පීඩා එල්ල කළෝය. නමුත් ගෝලයෝ දිගටම ප්‍රීතියෙන් හා දෙවිගේ බලයෙන් ශක්තිමත් වී සිටියෝය.’—ක්‍රියා 13:50-52

16. පාවුල් හා බානබස් නිර්භීතව පැවසූ දෙයට සමහරක් යුදෙව්වන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? විරුද්ධවාදිකම් හමුවේ ඔවුන් දෙදෙනා කටයුතු කළේ කෙසේද?

16 පාවුල්ට සවන් දෙමින් සිටි වෙනත් ජාතීන්ට අයත් අය තමන්ට අසන්න ලැබුණු දේවල් ගැන සතුටට පත් වූ අතර ‘සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති වූ සියලුදෙනාම යේසුස්ගේ අනුගාමිකයෝ බවට පත් වුණා.’ (ක්‍රියා 13:48) යෙහෝවා දෙවිගේ පණිවිඩය ඒ ප්‍රදේශය පුරාම පැතිර ගියා. නමුත් ඒ ප්‍රදේශයේ සිටි සමහරක් යුදෙව්වන් දැක්වූ ප්‍රතිචාරය වෙනත් ජාතීන් දැක්වූ ප්‍රතිචාරයට වඩා හාත්පසින්ම වෙනස්. පාවුල් හා බානබස් ඔවුන්ට නිර්භීතව පවසා සිටියේ දෙවිගේ පණිවිඩය මුලින්ම ඔවුන්ට ප්‍රකාශ කළත් ඔවුන් ක්‍රිස්තුස්ව ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන් දෙවිගෙන් විනිශ්චයක් ලැබීමට නියමිත බවයි. ඒ නිසා යුදෙව්වන් නුවරේ සිටි ඉහළ පෙළේ ස්ත්‍රීන්ව හා නගරයේ ප්‍රධානීන්ව පාවුල්ට හා බානබස්ට විරුද්ධව උසිගන්වා, ‘ඔවුන් දෙදෙනාට පීඩා එල්ල කර ඔවුන්ව තම ප්‍රදේශයේ මායිම්වලින් පිටතට එළවා දැමුවා.’ ඒ අවස්ථාවේදී පාවුල් හා බානබස් කටයුතු කළේ කෙසේද? වාර්තාවේ පවසන්නේ, ‘ඔවුන් තම පාදවලින් දූවිලි ගසා දමා, එතැනින් පිටත් වී ඉකෝනිය නුවර බලා ගිය’ බවයි. පිසිදියේ අන්තියෝකියේ තිබූ ක්‍රිස්තියානි සභාව එතැන් සිට අඩපණ වුණාද? කොහෙත්ම නැහැ. ඒ වන විටත් යේසුස්ගේ අනුගාමිකයන් වී සිටි නුවරේ වැසියන් ‘දිගටම ප්‍රීතියෙන් හා දෙවිගේ බලයෙන් ශක්තිමත් වුණා’ කියා වාර්තාවේ සඳහන් වෙනවා.—ක්‍රියා 13:50-52.

17-19. පාවුල් හා බානබස් කටයුතු කළ ආකාරය අපට ආදර්ශයට ගත හැක්කේ කෙසේද? එය අපේ ප්‍රීතියට දායක වන්නේ කෙසේද?

17 විරුද්ධවාදිකම් හමුවේ මේ විශ්වාසවන්ත සේවකයන් දෙදෙනා කටයුතු කළ ආකාරයෙන් අපට ඉගෙනගත හැකි දේවල් මොන තරම්ද! සමාජයේ ඉහළ පෙළේ අය අප කරන සේවය නතර කිරීමට කොතරම් උත්සාහ දැරුවත් අප කොහොමටවත් අපේ සේවය නතර කර දමන්නේ නැහැ. අන්තියෝකියේ වැසියන් පණිවිඩය ප්‍රතික්ෂේප කළ විට පාවුල් හා බානබස් “තම පාදවලින් දූවිලි ගසා දමා” එම නුවරින් පිටත්ව ගියේ ඔවුන් සමඟ කෝප වී නොවෙයි. නමුත් එසේ කිරීමෙන් ඔවුන් පෙන්නුම් කළේ එහි සිටි වැසියන්ගේ ජීවිත වෙනුවෙන් තමන් වග කිව යුතු නැති බවයි. ඉදිරිපත් කරන පණිවිඩය පිළිගන්නවාද නැද්ද යන කාරණය තීරණය කිරීම සවන් දෙන තැනැත්තාට අයිති දෙයක් නිසා ඒ සම්බන්ධයෙන් බලපෑම් කිරීමට තමන්ට නොහැකි බව ඔවුන් දෙදෙනා හොඳින් තේරුම්ගෙන සිටියා. අන් අයගේ බලපෑම් නිසා තමන් කරන සේවය නතර කර දැමීමට අවශ්‍ය නැති බවත් ඔවුන් දැන සිටියා. ඔවුන් එතැනින් පිටත්ව ඉකෝනිය බලා ගොස් අත් නෑර දේශනා සේවය කරගෙන ගියේ ඒ නිසයි.

18 ඒ වන විටත් අන්තියෝකියේ යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වී සිටි අය ගැන පැවසිය හැක්කේ කුමක්ද? ඔවුන්ට සේවය කිරීමට සිදු වුණේ දැඩි විරුද්ධවාදිකම් තිබූ ප්‍රදේශයක බව ඇත්තයි. නමුත් ඔවුන්ගේ ප්‍රීතිය රඳා පැවතුණේ ශුභාරංචියට මිනිසුන් දැක්වූ ප්‍රතිචාරය මත නොවෙයි. යේසුස් පැවසුවෙත්, “ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අය” කියායි. (ලූක් 11:28) පිසිදියේ අන්තියෝකියේ සිටි යේසුස්ගේ අනුගාමිකයන් දෙවි පැවසූ දේ පිළිපැදීමෙන් ඒ ප්‍රීතිය අද්දැක්කා.

19 ශුභාරංචිය දේශනා කිරීම අපේ වගකීම බව පාවුල් හා බානබස් මෙන් අපිත් නිතරම මතකයේ තබාගනිමු. අප ඉදිරිපත් කරන පණිවිඩය පිළිගන්නවාද නැත්නම් ප්‍රතික්ෂේප කරනවාද යන්න සවන් දෙන පුද්ගලයාට භාරයි. අපට හොඳ ප්‍රතිචාරයක් නොලැබෙන අවස්ථාවලදී පළමුවෙනි සියවසේ සිටි ගෝලයන් කටයුතු කළ ආකාරය මතක් කරගැනීම අපට ප්‍රයෝජනවත්. දෙවි ගැන සත්‍යය දැනගැනීමට අපට ලැබී තිබෙන අවස්ථාව අප අගය කරනවා නම් හා දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට අප යටත් වෙනවා නම් විරුද්ධවාදිකම් හමුවේ පවා අපට දිගටම ප්‍රීතියෙන් සිටිය හැකියි.—ගලා. 5:18, 22.

^ 2 ඡේ. ඒ කාලය වන විටත් යෙරුසලමට උතුරින් කිලෝමීටර් 550ක් පමණ දුරින් පිහිටි සිරියාවේ අන්තියෝකියේ සභාවන් පිහිටුවා තිබුණා.

^ 3 ඡේ. මුල් සියවසේ ගමනාගමනය” නමැති කොටුව බලන්න.

^ 5 ඡේ. හොඳට සුළං හමන යහපත් කාලගුණයක් පවතින අවස්ථාවල කිලෝමීටර් 150ක් පමණ දුරක් දවසක් ඇතුළත ඒ කාලයේදී නැවෙන් ගමන් කළ හැකියි. නමුත් අයහපත් කාලගුණයක් පවතින අවස්ථාවලදී ඒ සඳහා දවස් ගණනාවක් ගත විය හැකියි.

^ 5 ඡේ. යුදෙව්වන්ගේ සිනගෝග” නමැති කොටුව බලන්න.

^ 6 ඡේ. සයිප්‍රසය තිබුණේ රෝම සෙනෙට් සභාවේ පාලනය යටතෙයි. එම දූපතේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීමට භාර දී තිබුණේ ආණ්ඩුකාරයෙකුටයි.

^ 7 ඡේ. මෙතැන් සිට ක්‍රියා පොතෙහි සාවුල්ව හඳුන්වා තිබෙන්නේ පාවුල් ලෙසයි. සමහරුන් පවසන්නේ ඔහු පාවුල් යන රෝම නම භාවිත කළේ සර්ජියස් පාවුලස්ට ගරු කිරීමක් ලෙස බවයි. නමුත් ඔහු සයිප්‍රසයෙන් පිට වී ගිය පසුවත් එම නම භාවිත කළ නිසා ඒ මතය නිවැරදියි කියා පැවසිය නොහැකියි. ඒ වෙනුවට, “වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතට යවනු ලැබූ නියෝජිතයෙකු ලෙස” තමන්ව පත් කර තිබූ නිසා තම රෝම නම භාවිත කිරීම වඩා යෝග්‍යයි කියා ඔහු සිතන්න ඇති. පාවුල් යන නම භාවිත කිරීමට ඔහුට තවත් හේතුවක් තිබෙන්න ඇති. එය නම් සාවුල් යන හෙබ්‍රෙව් නම අසභ්‍ය අර්ථයක් තිබෙන ග්‍රීක වචනයකට බොහෝදුරට සමාන වීමයි.—රෝම 11:13.

^ 10 ඡේ. මෙම ගමනින් අවුරුදු කිහිපයකට පසුව පාවුල් ගලාතිවරුන්ට ලියූ ලිපියේ මෙසේ සඳහන් කළා. “මා පළමු වරට ඔබට ශුභාරංචිය ප්‍රකාශ කළ අවස්ථාව ඔබට මතක ඇති. ඒ මා අසනීප වී සිටි අවස්ථාවකදීය.”—ගලා. 4:13.