12වෙනි පරිච්ඡේදය
‘යෙහෝවාගේ බලය තිබුණ නිසා එයාලා නිර්භීතව දේශනා කළා’
පාවුල් හා බානබස් නිහතමානීව, නිර්භීතව අත් නෑර දේශනා කරයි
1, 2. ලිස්ත්‍රාවේදී පාවුල්ට හා බානබස්ට වුණේ මොනවාද?
ලිස්ත්‍රාව කියන නගරයට ආවාම අමුත්තන් දෙන්නෙක් උපතින්ම කොර මිනිසෙක්ව සුව කරනවා. සුවය ලබපු ඒ මිනිසා එකපාරටම නැඟිටලා මහත් ප්‍රීතියෙන් ඒ මේ අත දුව පැන යනවා. වුණ දේ අදහාගන්න බැරුව ලිස්ත්‍රාවේ වැසියන් නගරයට ආපු අමුත්තන් වන පාවුල් හා බානබස් ළඟට දුවගෙන යනවා. ඔවුන් සිතන්නේ අමුත්තන් දෙන්නා දෙවිවරුන් කියායි. සියුස්ගේ දේවස්ථානයේ පූජකයා ඔවුන් දෙන්නාට පලඳවන්න මල් මාලා සහ ඔවුන්ට පූජා කරන්න ගොනුන් අරන් එනවා. ඔවුන් වටේට එකතු වෙන මිනිසුන්ගේ කාලගෝට්ටිය අතරින් ගොනුන් කෑගහන හඬත් ඇහෙනවා. මිනිසුන් කරන්න හදන දේට පාවුල් හා බානබස් තදින්ම විරුද්ධ වෙලා හයියෙන් කෑගහනවා. ඔවුන් දෙන්නා තම වස්ත්‍ර ඉරාගෙන සෙනඟ මැදට දුවගෙන ගිහින් තමන්ට නමස්කාර කරන්න එපා කියලා කියනවා. නගරයේ අය මොන තරම් කැලඹිලාද කියනවා නම් පාවුල්ට හා බානබස්ට ඔවුන්ව පාලනය කරගන්නත් බැහැ.
2 ඒක වෙලා වැඩි කල් යන්න කලින් පිසිදියේ අන්තියෝකියෙන් හා ඉකෝනියෙන් යුදෙව්වන් පිරිසක් ලිස්ත්‍රාවට එනවා. ඔවුන් එන්නේ පාවුල්ට හා බානබස්ට විරුද්ධව දෙයක් කරන්නයි. පාවුල් හා බානබස් ගැන ලිස්ත්‍රාවේ වැසියන් තුළ තිබුණ හොඳ හැඟීම නැති කරන අරමුණින් ඒ පිරිස ඔවුන් දෙන්නාට අපහාස කරනවා. ඔවුන්ගේ උපක්‍රමය සාර්ථකයි. කලින් ලොකු භක්තියකින්, ගෞරවයකින් ඔවුන්ට සලකපු සෙනඟ දැන් පාවුල්ව වට කරගෙන කේන්තියෙන් ඔහුට ගල් ගහනවා. ඔවුන් කොච්චර දරුණු විදිහට ඔහුට පහර දෙනවාද කියනවා නම් පාවුල් සිහි නැතුව ඇද වැටෙනවා. පාවුල් මැරිලා කියලා හිතලා ඔවුන් ඔහුව නගරයෙන් එළියට ඇදලා දානවා.
3. අප මේ පරිච්ඡේදයේ බලන්නේ මොනා ගැනද?
3 ඒ වගේ දෙයක් වුණේ ඇයි? ශුභාරංචිය දේශනා කරන අපට පාවුල්ට හා බානබස්ට වුණ දේවල්වලින් හා හරිම ඉක්මනින් වෙනස් වුණ ලිස්ත්‍රාවේ වැසියන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? ‘යෙහෝවා එයාලට බලය දීලා තිබුණ නිසා නිර්භීතව දේශනා කරපු’ ඒ විශ්වාසවන්ත පුරුෂයන් දෙන්නාව අද ඉන්න වැඩිමහල්ලන්ට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? අපි දැන් ඒ ගැන බලමු.—ක්‍රියා 14:3.
“විශාල පිරිසක් යේසුස්ගේ අනුගාමිකයෝ වුණා” (ක්‍රියා 14:1-7)
4, 5. පාවුල් හා බානබස් ඉකෝනියට ගියේ ඇයි? එහෙදී ඔවුන් කළේ මොනවාද?
4 දවස් කිහිපයකට කලින් යුදෙව් විරුද්ධවාදීන්ගේ උසිගැන්වීම් නිසා පාවුල්ව හා බානබස්ව රෝම නගරයක් වුණ පිසිදියේ අන්තියෝකියෙන් එළියට ඇදලා දැම්මා ඔබට මතක ඇති. අධෛර්යයට පත් වෙනවා වෙනුවට “ඒ දෙන්නා එයාලාගේ කකුල්වල තියෙන දූවිලි ගසලා දාලා” තමන්ව ප්‍රතික්ෂේප කරපු නගරයෙන් පිටත්ව ගියා. (ක්‍රියා 13:50-52; මතෙ. 10:14) ඔවුන් එහෙන් ගියේ කේන්තියෙන් නෙවෙයි, සමාදානයෙන්. මොකද ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැති අයට දෙවියන්ට ගණන් දෙන්න වෙනවා කියා ඔවුන් දැනන් හිටියා. (ක්‍රියා 18:5, 6; 20:26) ඒ නිසා ඒ මිෂනාරිවරුන් දෙන්නා ප්‍රීතියෙන් ඔවුන්ගේ සංචාරය දිගටම කරගෙන ගියා. ඔවුන් ඊළඟට ගියේ කිලෝමීටර් 150ක් විතර ගිනිකොන දෙසින් පිහිටි ටෝරස් හා සල්ටන් කියන කඳුවැටි අතර තිබුණ සාරවත් ප්රදේශයකටයි.
5 ඔවුන් මුලින්ම ළඟා වුණේ ඉකෝනිය කියන නගරයට. ඉකෝනිය, රෝම පළාතක් වුණ ගලාතියේ පිහිටි ප්‍රධාන නගරයක්. a එහේ ග්‍රීක සංස්කෘතිය හැම තැනම වගේ දකින්න තිබුණා. බලපුළුවන්කාර යුදෙව්වන් හුඟදෙනෙකුත් යුදෙව් ආගමට හැරුණු වෙනත් ජාතීන් හුඟදෙනෙකුත් එහේ ජීවත් වුණා. සුපුරුදු පරිදි පාවුල් හා බානබස් එහේ සිනගෝගයට ගිහින් දේශනා කරන්න පටන්ගත්තා. (ක්‍රියා 13:5, 14) “එයාලා කොච්චර හොඳට ඉගැන්නුවාද කිව්වොත් යුදෙව්වරු සහ ග්‍රීකවරු විශාල පිරිසක් යේසුස්ගේ අනුගාමිකයෝ වුණා.”—ක්‍රියා 14:1.
6. පාවුල්ට හා බානබස්ට හොඳින් උගන්වන්න පුළුවන් වුණේ ඇයි? අපට ඔවුන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
6 පාවුල්ට හා බානබස්ට ඒ තරම් හොඳින් උගන්වන්න පුළුවන් වුණේ කොහොමද? පාවුල්ට ශුද්ධ ලියවිල්ල ගැන හොඳ දැනුමක් හා අවබෝධයක් තිබුණා. අතීතයේ සිදුවීම්, අනාවැකි හා මෝසෙස්ට දුන්න නීතියේ සඳහන් තොරතුරු දක්ෂ විදිහට පාවිච්චි කරලා පොරොන්දු වුණ ගැලවුම්කරු යේසුස් බව ඔහු ඔප්පු කෙරුවා. (ක්‍රියා 13:15-31; 26:22, 23) බානබස්ගේ කෑපීපේන ගුණාංගය වුණේ අනිත් අය ගැන ඔහු දක්වපු සැලකිල්ලයි. (ක්‍රියා 4:36, 37; 9:27; 11:23, 24) ඔවුන් දෙන්නා තමන්ගේ දක්ෂතාවන් මත රඳා සිටියේ නැහැ. “යෙහෝවා එයාලට බලය දීලා තිබුණ නිසා” ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟව ඒ දෙන්නා කතා කළා. දේවසේවයේදී අපට ඔවුන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? දේවවචනය ගැන අපත් හොඳ දැනුමක් හා අවබෝධයක් ලබාගන්න ඕනේ. අපි දේශනා කරන අයගේ හදවතට කාවදින බයිබල් පද තෝරගන්න එකත් වැදගත්. ඒ වගේම සේවයේදී හමු වන අයට විවිධ පැතිවලින් උදව් කරන්නත් නිතරම ලෑස්ති වෙලා ඉන්න ඕනේ. අප උගන්වන දේවල් අපේ නුවණ හා අද්දැකීම් මත පදනම් කරගන්නවා වෙනුවට දෙවියන්ගේ වචනය මත පදනම් කරගන්න ඕනේ.
7. (අ) ශුභාරංචිය දේශනා කරන නිසා වෙන්න පුළුවන් මොනවාද? (ආ) දෙවියන්ට කීකරු වෙන්න ඔබ දරන උත්සාහය නිසා ඔබේ පවුලෙත් බෙදීම් ඇති වෙලා නම් මතක තියාගන්න ඕනෙ මොනවාද?
7 නමුත් ඉකෝනියේ හිටිපු හැම කෙනෙක්ම පාවුල් හා බානබස් උගන්වන දේවල් ගැන සතුටු වුණේ නැහැ. “එයාලා කියපු දේවල් විශ්වාස කරපු නැති යුදෙව්වරු, සහෝදරයන් ගැන වැරදි වැටහීමක් ඇති කරලා වෙනත් ජාතීන්ට අයිති අයව එයාලට විරුද්ධව උසිගැන්නුවා” කියලා වාර්තාවේ සඳහන් වෙනවා. ඒ නිසා ශුභාරංචිය ගැන පැහැදිලි සාක්ෂියක් දරන්න තව කාලයක් එහේ ඉන්න ඕනෙ කියලා තේරුම්ගත්ත පාවුල් හා බානබස් ‘සෑහෙන කාලයක් එහේ නතර වෙලා නිර්භීතව’ දේවරාජ්‍යය ගැන දේශනා කළා. ප්‍රතිඵලයක් විදිහට “නගරයේ හිටපු අය අතරේ භේදයක් ඇති වුණා. සමහරු යුදෙව්වන්ගේ පැත්ත ගත්තා. අනිත් අය නියෝජිතයන්ගේ පැත්ත ගත්තා.” (ක්‍රියා 14:2-4) අදත් ශුභාරංචිය දේශනා කරද්දී ඒ හා සමාන දෙයක් වෙනවා. අනිත් අය එක්ක සමාදානයෙන් ඉන්න සමහර අයට ශුභාරංචිය උදව් වෙනවා. නමුත් තවත් අය අතරේ භේද ඇති වෙන්න ඒක හේතු වෙනවා. (මතෙ. 10:34-36) දෙවියන්ට කීකරු වෙන්න ඔබ උත්සාහ කරන නිසා ඔබේ පවුලේ බෙදීම් ඇති වෙලා නම් බොහෝදුරට ඒකට හේතුව සාක්ෂිකරුවන් ගැන පතුරුවලා තියෙන බොරු වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න. නමුත් දිගටම දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්න උත්සාහ කරන්න. යම් දවසක ඔවුන්ගේ වැරදි මත නිවැරදි කරගන්න ඒක ඔවුන්ට උදව් වෙයි.—1 පේතෘ. 2:12; 3:1, 2.
8. පාවුල් හා බානබස් ඉකෝනියෙන් ගියේ ඇයි? අපට ඔවුන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
8 කාලයක් ගත වුණාට පස්සේ ඉකෝනියේ විරුද්ධවාදීන් පාවුල්ට හා බානබස්ට ගල් ගහලා ඔවුන්ව මරලා දාන්න කුමන්ත්‍රණය කළා. ඒ ගැන ආරංචි වුණාම ඒ දෙන්නා එතනින් වෙනත් ප්‍රදේශවලට ගිහින් දේශනා කරන්න තීරණය කළා. (ක්‍රියා 14:5-7) ශුභාරංචිය දේශනා කරන අය හැටියට අපත් කරන්න ඕනෙ ඒ දේමයි. විරුද්ධවාදීන් අප ගැන වැරදි දේවල් කියද්දී අප නිර්භීතව ඔවුන්ව නිවැරදි කරනවා. (ෆිලි. 1:7; 1 පේතෘ. 3:13-15) නමුත් ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන් අවස්ථාවලදී අපේ ජීවිතත් අපේ සහෝදරයන්ගේ ජීවිතත් අනවශ්‍ය විදිහට අවදානමක දාන එකෙන් අපි වළකිනවා. ඒ වගේ අවස්ථාවකදී කරන්න පුළුවන් හොඳම දේ තමයි එතනින් යන එක.—හිතෝ. 22:3.
“ජීවමාන දෙවියන්ට ළං වෙන්න” (ක්‍රියා 14:8-19)
9, 10. ලිස්ත්‍රාව තිබුණේ කොහෙද? එහේ වැසියන් ගැන අප දන්නේ මොනවාද?
9 ඉකෝනියෙන් ගිය පාවුල් හා බානබස්, නිරිත දෙසින් කිලෝමීටර් 30ක් විතර දුරින් පිහිටි රෝම ජනපදයක් වුණ ලිස්ත්‍රාවට ආවා. ලිස්ත්‍රාව හා පිසිදියේ අන්තියෝකිය අතර කිට්ටු සම්බන්ධකම් තිබුණා. නමුත් පිසිදියේ පිහිටි අන්තියෝකියේ තරම් යුදෙව්වන් විශාල ප්‍රමාණයක් ලිස්ත්‍රාවේ හිටියේ නැහැ. එහේ හිටපු වැසියන් ග්‍රීක භාෂාව කතා කළත් ඔවුන්ගේ මව් භාෂාව වුණේ ලිකෝනිය භාෂාවයි. පේන විදිහට ඒ නගරයේ සිනගෝගයක් තිබුණේ නැහැ. පාවුල් හා බානබස් ප්‍රසිද්ධ තැන්වල ඉඳන් ශුභාරංචිය දේශනා කළේ ඒ නිසයි. පේතෘස් යෙරුසලමේදී උපතින්ම කොර මිනිසෙක්ව සුව කළාම ඒ ආශ්චර්යය දැකපු විශාල පිරිසක් යේසුස්ගේ අනුගාමිකයන් වුණ බව ඔබට මතක ඇති. (ක්‍රියා 3:1-10) නමුත් පාවුල් මේ නගරයේදී උපතින්ම කොර මිනිසෙක්ව සුව කළාම වුණේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්.—ක්‍රියා 14:8-10.
10 අපි කලින් බලපු විදිහට කොර මිනිසාව පාවුල් සුව කරද්දී ඔහු එකපාරටම නැඟිටලා ඇවිදින්න පටන්ගත්තා. නමුත් ඒක දැක්කාම ලිස්ත්‍රාවේ වැසියන් වැරදි නිගමනයකට ආවා. ඔවුන් බානබස්ව ඔවුන්ගේ ප්‍රධාන දෙවියා වන සියුස් විදිහට හැඳින්නුවා. පාවුල්ව සියුස්ගේ පුතා වන හර්මීස් විදිහට හැඳින්නුවා. මිනිසුන් විශ්වාස කළේ දෙවිවරුන් වෙනුවෙන් කතා කරපු දෙවියා හර්මීස් බවයි. (“ මිථ්‍යා වන්දනා ප්රබලව පැවති ලිස්ත්‍රාව” කියන කොටුව බලන්න.) කොහොමවුණත් තමන් ශුභාරංචිය දේශනා කළේ හා ආශ්චර්යයන් කළේ මිථ්‍යා දෙවිවරුන්ගේ බලයෙන් නෙවෙයි සැබෑ දෙවි වන යෙහෝවාගේ බලයෙන් කියලා පාවුල් හා බානබස් සෙනඟට පැහැදිලි කරන්න උත්සාහ කළා.—ක්‍රියා 14:11-14.
11-13. (අ) ලිස්ත්‍රාවේ වැසියන්ට පාවුල් හා බානබස් කිව්වේ මොනවාද? (ආ) ඒකෙන් අපට ඉගෙනගන්න පුළුවන් පළවෙනි දේ මොකක්ද?
11 ඒ අවස්ථාවේදී කලබලකාරී වාතාවරණයක් පැවතුණත් පාවුල් හා බානබස් උත්සාහ කළේ සෙනඟගේ හදවතට කාවදින විදිහට කතා කරන්නයි. ඔවුන් කතා කරපු විදිහ ලූක් වාර්තා කරන්නේ මෙහෙමයි. “සහෝදරයෙනි, ඔයාලා මෙහෙම කරන්නේ ඇයි? අපිත් ඔයාලා වගේම දුර්වලකම් තියෙන මිනිස්සු. අපි ඔයාලට ශුභාරංචිය කිව්වේ මේ වැඩකට නැති දේවල්වලින් අයින් වෙලා ජීවමාන දෙවියන්ට ළං වෙන්න ඔයාලට උදව් කරන්නයි. අහසයි, පොළොවයි, ඒවාවල තියෙන හැම දේමයි හැදුවේ ඔහුයි. ඇත්ත, අතීතයේදී ඔහු හැම ජාතියකටම එයාලට ඕනෙ විදිහට වැඩ කරන්න ඉඩ දුන්නා. ඒත් ඒ කාලයේදීත් ඔහු ගොඩක් යහපත් දේවල් කරලා තමන් මොන වගේ කෙනෙක්ද කියලා පෙන්නුවා. ඔහු ඔයාලට වැසි ලබා දීලා, සරු අස්වැන්නකුත් දුන්නා. ඇති තරම් කෑම දීලා, ඔයාලාගේ හිත් සතුටින් පිරෙව්වා. ඒ හැම දේකින්ම පෙන්නුවේ ඔහුගේ යහපත්කමයි.” (ක්‍රියා 14:15-17) මිථ්‍යා විශ්වාසයන් තියෙන අයගේ හදවතට කාවදින විදිහට කතා කරන්න නම් අප මතක තියාගන්න ඕනෙ වැදගත් කාරණා කිහිපයක් ඒ කොටසින් අපට ඉගෙනගන්න පුළුවන්. ඒ ගැන අපි දැන් බලමු.
12 මිථ්‍යා විශ්වාසයන් තිබුණ ලිස්ත්‍රාවේ වැසියන්ට වඩා තමන් උසස් කියා පාවුල් හා බානබස් හිතුවේ නැහැ කියා ඔවුන් කියපු ඒ දේවලින් පැහැදිලි වෙනවා. තමන් හැම දෙයක්ම හරියට කරන, කිසි වරදක් නොකරන, සම්පූර්ණ අය කියලා බොරුවට පෙන්වන්න ඔවුන් උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ප්‍රසිද්ධියේ කිව්වේ ඔවුනුත් දුර්වලකම් තියෙන සාමාන්‍ය මිනිසුන් බවයි. ඕනෙ නම් එතන හිටපු මිනිසුන්ට වඩා තමන් උසස් කියලා සිතන්න පාවුල්ට හා බානබස්ට හේතු තිබුණා. ඔවුන් දෙන්නාටම දෙවියන්ගේ බලය තිබුණා. ඔවුන් අසත්‍ය ඉගැන්වීම්වලින් නිදහස් වෙලා හිටියා. ඒ විතරක් නෙවෙයි ක්‍රිස්තුස් එක්ක දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වීමේ බලාපොරොත්තුවත් ඔවුන්ට තිබුණා. නමුත් ලිස්ත්‍රාවේ වැසියන් ශුභාරංචිය පිළිගෙන ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වුණොත් ඔවුන්ටත් ඒ හැම වරප්‍රසාදයක්ම ලැබෙන බව පාවුල් හා බානබස් දැනන් හිටියා.
13 අප දේශනා කරන මිනිසුන් ගැන අපට තියෙන්නේ මොන වගේ ආකල්පයක්ද? අප ඔවුන්ට වඩා කිසිම විදිහකින් උසස් නැහැ කියන හැඟීම අපට තියෙනවාද? අනිත් අයට උගන්වද්දී අපි පාවුල්ව හා බානබස්ව ආදර්ශයට අරන් අපිටම අනවශ්‍ය ගෞරවයක්, ප්‍රශංසාවක් ගන්න එකෙන් අප වළකිනවාද? දක්ෂ විදිහට ඉගැන්වීමේ හැකියාව තිබුණ සහෝදර චාල්ස් ටේස් රසල් අපට හොඳ ආදර්ශයක් තිබ්බා. 19වෙනි සියවසේ අගභාගයේදී හා 20වෙනි සියවසේ මුල් කාලයේදී දේශනා සේවයේ පෙරමුණ අරන් වැඩ කරපු ඔහු මේ වගේ දෙයක් කිව්වා. “අපිටවත් අපි ලියන දේවලටවත් අනවශ්‍ය ප්‍රශංසාවක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අතිඋත්තම, අතිපූජ්‍ය, රබ්බි කියන පදවි නම්වලින් අපිව අමතන්න ඕනෙත් නැහැ.” සහෝදර රසල්ට තිබුණ ඒ ආකල්පය පාවුල්ට හා බානබස්ට තිබුණ ආකල්පයට සමානයි. දේශනා සේවයේ හවුල් වෙද්දී අපෙත් අරමුණ වෙන්න ඕනෙ අපට ගෞරවය ලබාගැනීම නෙවෙයි “ජීවමාන දෙවියන්ට ළං වෙන්න” මිනිසුන්ට උදව් කරන එකයි.
14-16. පාවුල්, බානබස් හා ලිස්ත්‍රාවේ වැසියන් සම්බන්ධ සිද්ධියෙන් අපට ඉගෙනගන්න පුළුවන් දෙවෙනි හා තුන්වෙනි කාරණා මොනවාද?
14 පාවුල් හා බානබස් ලිස්ත්‍රාවේ වැසියන්ට කතා කරපු විදිහෙන් අපට තවත් දෙයක් පැහැදිලි වෙනවා. ඒ, දේශනා කරපු අයගේ පසුබිමට අනුව ඔවුන් දෙන්නා සකස් වුණ බවයි. ඉකෝනියේ හිටපු යුදෙව්වන්ට හා යුදෙව් ආගමට හැරුණු වෙනත් ජාතීන්ට ශුද්ධ ලියවිල්ල ගැන දැනුමක් තිබුණා. ඊට වෙනස්ව ලිස්ත්‍රාවේ වැසියන්ට ශුද්ධ ලියවිල්ල ගැන දැනුමක්වත් දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟ එක්ක වැඩ කරපු විදිහ ගැන ලොකු අවබෝධයක්වත් තිබුණේ නැහැ. නමුත් ලිස්ත්‍රාව කෘෂිකාර්මික නගරයක් නිසා නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියන්න සාක්ෂි ඔවුන් එදිනෙදා ජීවිතයේ ඕනෙ තරම් දැකලා තිබුණා. උදාහරණයකට වගා කටයුතුවලට සුදුසු දේශගුණික තත්වයන් ඔවුන් අද්දැක්කා. ඔවුන්ට තිබුණ සාරවත් බිම් නිසා ඔවුන් හොඳ අස්වැන්නකුත් නෙළාගත්තා. ඒ නිසා පාවුල් හා බානබස් ඒ සාක්ෂි යොදාගෙන ඔවුන්ගේ හදවතට කාවදින විදිහට පණිවිඩය කියන්න උත්සාහ කළා.—රෝම 1:19, 20.
15 පාවුල් හා බානබස් වගේ අපත් දේශනා කරන අයගේ පසුබිමට අනුව සකස් වෙලා අපේ පණිවිඩය කියන්න උත්සාහ කරනවාද? මේ උදාහරණය ගැන හිතන්න. ගොවියෙක් එකම වර්ගයේ බීජ විවිධාකාර වගා බිම්වල පැළ කරනවා. ඔහු පැළ කරන්නේ එකම වර්ගයේ බීජයක් වුණත් ඔහු ඒවා පැළ කරන තැන අනුව පස සකස් කරන විදිහ වෙනස් වෙනවා. බීජ පැළ කරන සමහර තැන්වල තියෙන්නේ බුරුල්, සාරවත් පසක් නම් වැඩි වෙහෙසක් දරලා පස සකස් කරන්න අවශ්‍ය නැහැ. නමුත් සමහර තැන්වල පස තද නම් බීජය පැළ කරන්න කලින් පස හොඳින් කොටලා බුරුල් කරන්න අවශ්‍යයි. ශුභාරංචිය දේශනා කරන අප හැමෝම ඒ ගොවියා වගේ. මිනිසුන්ට අප කියන්නේ දේවරාජ්‍යයේ පණිවිඩයයි. ඒ නිසා ඒ ගොවියා වගේ අපත් පැළ කරන්න උත්සාහ කරන්නේ එකම වර්ගයේ බීජයක්. නමුත් අප ශුභාරංචිය දේශනා කරන මිනිසුන් විවිධ ආගමික පසුබිම්වලට අයත් අය. ඔවුන් හැදුණු වැඩුණු විදිහත් එකිනෙකාට වෙනස්. ඒ නිසා පාවුල් හා බානබස් වගේ මුලින්ම මිනිසුන්ගේ පසුබිම තේරුම්ගෙන ඒ අනුව අපේ පණිවිඩය කියන එක ඥානවන්තයි.—ලූක් 8:11, 15.
16 පාවුල්, බානබස් හා ලිස්ත්‍රාවේ වැසියන් සම්බන්ධ සිද්ධියෙන් අපට තවත් කාරණයක් පැහැදිලි වෙනවා. ඒ, බීජය පැළ කරන්න කොච්චර උත්සාහ කළත් සමහර අවස්ථාවලදී දුෂ්ටයා ඒ බීජය උදුරගන්නවා. නැත්නම් ඒක ගල් බිම්වල වැටෙන්න පුළුවන්. (මතෙ. 13:18-21) ඒ වගේ දෙයක් වුණත් අධෛර්යය වෙන්න එපා. මොකද හැම කෙනෙක්ටම තමන් ශුභාරංචියට දක්වන ප්‍රතිචාරය ගැන දෙවියන්ට ගණන් දෙන්න වෙනවා. ශුභාරංචියට සවන් දෙන අය ඇතුළුව “අපි හැම කෙනෙක්ටම අපි කරන කියන දේවල් ගැන දෙවියන්ට උත්තර දෙන්න වෙනවා” කියලා රෝමයේ හිටපු ක්‍රිස්තියානීන්ට පාවුල් කිව්වේ ඒ නිසයි.—රෝම 14:12.
“වැඩිමහල්ලන්ව දෙවියන්ගේ රැකවරණයට භාර දුන්නා” (ක්‍රියා 14:20-28)
17. දර්බයෙන් පිටත් වුණ පාවුල් හා බානබස් ආයෙත් ගියේ මොන තැන්වලටද? ඒ ඇයි?
17 මුල් ඡේදවල විස්තර කරපු විදිහට යුදෙව් විරුද්ධවාදීන්ගේ බලපෑම නිසා ලිස්ත්‍රාවේ වැසියන් පාවුල්ට ගල් ගහලා ඔහුව නගරයෙන් එළියට දැම්මාට පස්සේ ගෝලයෝ ඇවිත් ඔහු වටේ එකතු වුණා. ඒ වෙලාවේ සිහි නැතුව සිටි ඔහුට ආයෙත් සිහිය ආවා. එදා රෑ ඔහු ගත කළේ ඒ නගරයෙයි. පහුවදා පාවුල් හා බානබස් කිලෝමීටර් 100ක් දුරින් පිහිටි දර්බයට පිටත් වුණා. ඒ ගමනට පිටත් වෙද්දී පාවුල් දරුණු විදිහට ගල්වලින් පහර කාලා දවසක්වත් ගත වෙලා තිබුණේ නැහැ. ඒ නිසා මේ දුෂ්කර ගමන ඔහු යන්න ඇත්තේ මොන තරම් වේදනාවකින් හා අපහසුතා මැදද කියලා ඔබට හිතාගන්න පුළුවන්ද? ඇත්තෙන්ම ඔහු හා බානබස් තමන්ට පැවරුණු කාර්යය කරන්න හැම දේම විඳදරාගත්තා. දර්බයට ගිය ඔවුන්, ශුභාරංචිය දේශනා කරපු නිසා “සෑහෙන පිරිසක් යේසුස්ගේ ගෝලයන් වුණා.” ඊටපස්සේ ඔවුන් එහේ ඉඳන් සිරියාවේ අන්තියෝකියට කෙටි පාරකින් යනවා වෙනුවට “ආයෙත් ලිස්ත්රාවටයි, ඉකෝනියටයි, [පිසිදියේ] අන්තියෝකියටයි ගියා.” ඔවුන් ඒ නගරවලට නැවත ගියේ ඇයි? වාර්තාවේ මෙහෙම කියනවා. “ඒ නගරවලදී එයාලා ගෝලයන්ට දිරිගැන්නුවා දිගටම ශක්තිමත් විශ්වාසයක් ඇතුව ඉන්න කියලා.” (ක්‍රියා 14:20-22) ඒකෙන් පැහැදිලි වන්නේ ඔවුන් දෙන්නා තමන්ගේ සැප පහසුව ගැන සිතනවාට වඩා සභාවේ අවශ්‍යතාවන් ගැන හිතුවා කියන එක. ඇත්තෙන්ම ඔවුන් දෙන්නා තිබ්බේ මොන තරම් කදිම ආදර්ශයක්ද! අදත් චාරිකා සේවකයන් හා මිෂනාරිවරුන් වැඩ කරන්නේ ඒ හා සමානවයි.
18. වැඩිමහල්ලෙක් විදිහට කෙනෙක්ව පත් කරන්නේ කොහොමද?
18 පාවුල් හා බානබස් වචනයෙන් හා තම ආදර්ශයෙන් ඒ සභාවල අයව දිරිගන්වලා “ඒ හැම සභාවකම වැඩිමහල්ලන්ව පත් කළා.” ඔවුන් දෙන්නාව මේ සංචාරය සඳහා “පිටත් කළේ දෙවියන්ගේ බලයෙන් ලැබුණ මඟ පෙන්වීමට අනුව” බව ඔබට මතක ඇති. ඒ නිසා සංචාරය අතරතුරේදී ඔවුන් විවිධ දේවල් කළේ දෙවියන්ගේ අනුමැතිය ඇතුව කියලා කියන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී තමන්ට කරන්න තියෙන කාර්යයේ බැරෑරුම්කම තේරුම්ගත්ත පාවුල් හා බානබස් “ඒ වැඩිමහල්ලන්ව දෙවියන්ගේ රැකවරණයට භාර දුන්නේ” නිරාහාරව ඉඳලා යාච්ඤා කළාට පස්සෙයි. (ක්‍රියා 13:1-4; 14:23) වැඩිමහල්ලන්ව පත් කරද්දී අද අනුගමනය කරන්නෙත් ඒ හා සමාන සැලැස්මක්. කෙනෙක්ව වැඩිමහල්ලෙක් විදිහට නිර්දේශ කරන්න කලින් සභාවේ වැඩිමහල් මණ්ඩලය ඒ කෙනාට බයිබලයේ සඳහන් සුදුසුකම් තියෙනවාද කියලා බලනවා. ඔවුන් එහෙම කරද්දී දෙවියන්ගේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කරනවා. (1 තිමෝ. 3:1-10, 12, 13; තීත. 1:5-9; යාකො. 3:17, 18; 1 පේතෘ. 5:2, 3) කෙනෙක් අවුරුදු ගාණක් ක්‍රිස්තියානියෙක් වෙලා හිටියා කියලා වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන්න ඔහු සුදුසුයි කියලා කියන්න බැහැ. කෙනෙක් තුළ කොච්චර දුරට දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියලා පැහැදිලි වන්නේ ඔහුගේ හැසිරීම, කතාබහ හා අන් අය අතරේ ඔහු දිනාගෙන තියෙන නම අනුවයි. ඒ අනුව දෙවියන්ගේ රැළ රැකබලා ගන්න කෙනෙක් සුදුසුද කියලා තීරණය වන්නේ වැඩිමහල්ලන්ට බයිබලයේ දීලා තියෙන සුදුසුකම්වලට එකඟව ඒ කෙනා වැඩ කරනවාද නැද්ද කියන එක මතයි. (ගලා. 5:22, 23) කෙනෙක්ව වැඩිමහල්ලෙක් විදිහට පත් කරන වගකීම තියෙන්නේ චාරිකා සේවකයන්ටයි.—1 තිමෝති 5:22 බලන්න.
19. තමන්ගේ වගකීම් ගැන වැඩිමහල්ලන් තේරුම් අරන් තියෙන්නේ මොනවාද? ඔවුන් පාවුල්ව හා බානබස්ව ආදර්ශයට ගන්නේ කොහොමද?
19 සභාව රැකබලා ගන්න විදිහ ගැන තමන් යෙහෝවාට ගණන් දිය යුතු බව වැඩිමහල්ලන් දන්නවා. (හෙබ්‍රෙ. 13:17) පාවුල් හා බානබස් වගේ දේශනා සේවයේදී ඔවුන් පෙරමුණ අරන් වැඩ කරනවා. සහෝදර සහෝදරියන්ව දිරිගැන්වෙන විදිහට කතා කරනවා. තම සැප පහසුව ගැන සිතනවා වෙනුවට සභාවේ අවශ්‍යතාවන් ඉටු කරන්නත් ඔවුන් මුල් තැන දෙනවා.—ෆිලි. 2:3, 4.
20. අපේ සහෝදරයන් විශ්වාසවන්තව කරන සේවය ගැන සඳහන් වාර්තාවන් කියවද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?
20 පාවුල් හා බානබස් ඔවුන්ගේ සංචාරය අවසන් කරලා ආයෙත් සිරියාවේ අන්තියෝකියට ගිහින් එහේ හිටපු අයට “දෙවියන් එයාලා මාර්ගයෙන් කරපු හැම දෙයක් ගැනම කිව්වා. ඒ වගේම එයාලා ඒ අයට පැහැදිලි කළා දෙවියන් වෙනත් ජාතීන්ට අයිති අයටත් යේසුස් ගැන විශ්වාසයක් ඇති කරගන්න අවස්ථාව දීලා තියෙනවා කියලා.” (ක්‍රියා 14:27) ඒ වාර්තාව අහලා සභාවේ හිටපු අය මොන තරම් දිරිගැන්වීමක් ලබන්න ඇද්ද! අපේ සහෝදරයන් විශ්වාසවන්තව කරන සේවය හා යෙහෝවා දෙවියන් ඔවුන්ට ආශීර්වාද කරන විදිහ ගැන සඳහන් වාර්තා කියවද්දී අපටත් මහත් දිරිගැන්වීමක් ලැබෙනවා වගේම ‘යෙහෝවාගේ බලය තියෙන නිසා නිර්භීතව දේශනා කරන්න’ අප පෙලඹෙනවා.
a “ ෆ්රිජියන්වරුන්ගේ නගරයක් වුණ ඉකෝනිය” කියන කොටුව බලන්න.