Skip to content

පටුනට යන්න

26වෙනි පරිච්ඡේදය

“කාගෙවත් ජීවිත නැති වෙන්නේ නැහැ”

“කාගෙවත් ජීවිත නැති වෙන්නේ නැහැ”

නැව මුහුදුබත් වුණත් පාවුල්ගේ විශ්වාසයවත් අනිත් අය ගැන තියෙන ආදරයවත් අඩු නොවෙයි

ක්‍රියා 27:1–28:10

1, 2. රෝමයට යන්න තියෙන ගමන මොන වගේද? පාවුල් මොන දේවල් ගැන කල්පනා කරන්න ඇද්ද?

 “ඔයාව සීසර් ළඟට යවනවා” කියලා ආණ්ඩුකාර ෆෙස්ටස් පාවුල්ට කිව්වා කියලා ඔබට මතක ඇති. (ක්‍රියා 25:12) ඔහු කියපු ඒ දේ ගැන පාවුල් දිගින් දිගටම කල්පනා කරනවා. මොකද අනාගතයේදී ඔහුට මොනවා වෙයිද කියන එක රඳා පැවතුණේ රෝමයේදී ඔහුට ලැබෙන තීන්දුව මතයි. ඇත්තයි, රෝමයට යන දිග ගමන අවුරුදු දෙකක් පුරා පාවුල් ගත කරපු ජීවිතයෙන් යම් නිදහසක්. නමුත් මුහුදු ගමන් ඔහුට සොඳුරු අද්දැකීමක් වුණේ නැහැ. ඒ නිසා මේ යන දිගු ගමනේදී තමන්ට මොන දේවලට මුහුණ දෙන්න වෙයිද කියලා පාවුල් කල්පනා කරන්න ඇති.

2 පාවුල්ට කිහිප වතාවක්ම ‘මුහුදේදී වෙන අනතුරුවලට මූණ දෙන්න සිද්ධ වුණා.’ අවස්ථා තුනකදීම ඔහු ගමන් කරපු නැව මුහුදුබත් වුණා. එක අවස්ථාවක ඔහුට ගැඹුරු මුහුදේ මුළු රැයකුත් දවාලකුත් ගත කරන්න වුණා. (2 කොරි. 11:25, 26) මේ ගමනට කිලෝමීටර් 3,000කට වඩා දුරක් යන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඔහු මේ ගමන යන්නේ සිරකරුවෙක් විදිහටයි. ඒ නිසා ශුභාරංචිය දේශනා කරන්න ඔහු කලින් ගිය මුහුදු ගමන්වලට වඩා සිසේරියේ සිට රෝමය බලා යන මේ ගමන දුෂ්කරයි. කිසිම අනතුරක් නැතුව මේ ගමන යන්න ඔහුට පුළුවන් වෙයිද? අනතුරක් නැතුව ඔහු රෝමයට ගියත් එහෙදී ඔහුට මොන වගේ තීන්දුවක් ලැබෙයිද? රෝමයේදී ඔහුට තීන්දුවක් ලැබෙන්නේ සාතන් යටතේ ඒ කාලයේ තිබුණ බලවත්ම ආණ්ඩුවෙන් කියලා අමතක කරන්න එපා.

3. පාවුල් අරන් තිබුණ අදිටන මොකක්ද? අපි මේ පරිච්ඡේදයෙන් බලන්නේ මොනවාද?

3 තමා ඉදිරියේ තිබුණ ඒ වගේ අභියෝග ගැන හිතලා පාවුල් කලකිරීමට හෝ කනස්සල්ලට පත් වුණාද? කොහොමටවත් නැහැ. තමන්ට ඉදිරියේදී මොන විදිහේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වෙයිද කියලා ඔහු හරියටම දැනගෙන හිටියේ නැතත් අනිවාර්යයෙන්ම දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වෙනවා කියලා පාවුල් දැනගෙන හිටියා. ඒ නිසා තමාට පාලනය කරන්න බැරි දේවල් ගැන කනස්සලු වෙලා ඔහු තමන්ගේ සතුට නැති කරගත්තේ නැහැ. (මතෙ. 6:27, 34) උසස් බලධාරීන් ඇතුළු හැම කෙනෙක්ටම පුළුවන් හැම අවස්ථාවකදීම ශුභාරංචිය කියන්න දෙවියන් තමන්ව තෝරගත්තා කියලා පාවුල් දැනගෙන හිටියා. (ක්‍රියා 9:15) මොන දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වුණත් දෙවියන් තමන්ට දුන්න පැවරුම ඉටු කරන්න පාවුල් අදිටන් කරගෙන හිටියේ ඒ නිසයි. අපේ අදිටනත් ඒකම නෙවෙයිද? එහෙමනම් රෝමයට පාවුල් ගිය ගමනේදී ඔහුට මුහුණ දෙන්න වුණ දේවල් හා අපට ඔහුගෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් සලකා බලන එක මොන තරම් ප්‍රයෝජනවත්ද!

“හුළඟ අපේ ගමනට බාධා කළා” (ක්‍රියා 27:1-7අ)

4. පාවුල් ගියේ මොන වගේ නැවකද? ඔහු සමඟ ගිය ඔහුගේ මිතුරන් කවුද?

4 පාවුල්ව හා තවත් සිරකරුවන් පිරිසක්ව රෝමයට අරන් යන වගකීම භාර දීලා තිබුණේ ජූලියස් කියන රෝම හමුදා නිලධාරියෙක්ටයි. සිසේරියට ආපු බඩු ගෙනියන නැවකට ඔහු ගොඩ වෙලා ගමන ආරම්භ කළා. ඒ නැව ඇවිත් තිබුණේ කුඩා ආසියාවේ බටහිර වෙරළබඩ තීරයේ තිබුණ අද්‍රාමුත්තිය කියන වරායේ සිටයි. ඒ වරාය තිබුණේ ලේස්වොස් දූපතේ තිබුණ මිතුලේන කියන නගරයට ආසන්නවයි. නැවේ තිබුණ සමහර බඩු බාන්න හා තවත් බඩු පටවගන්න ඒ නැව සිසේරියේ සිට මුලින්ම උතුරු දෙසටත් ඊටපස්සේ බටහිර දෙසටත් ගමන් කරන්න නියමිත වෙලා තිබුණා. ඒ වගේ නැවක ගමන් කරන එක කොයි තරම් අපහසු දෙයක් වෙන්න ඇද්ද! මොකද ඒවා ඉදි කරලා තිබුණේ බඩු ගෙනියන්න මිසක් මඟීන්ගේ සැපපහසුව ගැන හිතලා නෙවෙයි. ඒ නිසා නාවිකයන් නැවේ ගමන් කරපු සිරකරුවන්ගේ පහසුව ගැන සැලකිලිමත් වෙයි කියලා හිතන්න බැහැ. (234වෙනි පිටුවේ “ මුහුදු ගමන්” කියන කොටුව බලන්න.) නැවේ ගිය අපරාධකරුවන් අතරේ පාවුල්ට අමතරව තවත් ක්‍රිස්තියානීන් හිටියා. අඩුම තරමින් අරිස්තාකස් හා මේ වාර්තාව ලියපු ලූක් පාවුල් සමඟ ඒ ගමනට හවුල් වුණා කියලා කියන්න පුළුවන්. කොහොමවුණත් ඒ ආදරණීය සහෝදරයන් දෙන්නා ඒ ගමනට සහභාගි වුණේ මුදල් දීලාද නැත්නම් පාවුල්ගේ සේවකයන් විදිහටද කියලා අපි හරියටම දන්නේ නැහැ.—ක්‍රියා 27:1, 2.

5. සීදොන්වලදී පාවුල්ට මුණගැහුණේ කාවද? ඒ සිද්ධියෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 සිසේරියෙන් පිටත් වුණ නැව දවසක් ඇතුළතදී කිලෝමීටර් 110ක් විතර උතුරු පැත්තට ගමන් කරලා සිරියාවේ වෙරළබඩ තීරයේ සීදොන් කියන නගරයට ආවා. එහෙදී ජූලියස් කියන හමුදා නිලධාරියා නැවෙන් බැහැලා එතනට ඇවිත් හිටිය සහෝදර සහෝදරියන්ව හමු වෙන්න පාවුල්ට අවසර දුන්නා. ඒකෙන් පේන්නේ ඔහු සාමාන්‍ය සිරකරුවන්ට වඩා වෙනස් විදිහකට පාවුල්ට සැලකුවා කියලයි. සමහරවිට ඔහු එහෙම කරන්න ඇත්තේ පාවුල් රෝම පුරවැසියෙක් වුණ නිසාත් ඔහුව වරදකරුවෙක් විදිහට ඔප්පු කරලා තිබුණේ නැති නිසාත් විය හැකියි. (ක්‍රියා 22:27, 28; 26:31, 32) දිගු කාලයක් සිරගතව හිටිය පාවුල්ව හමු වෙලා ඔහුට අවශ්‍ය දේවල් දෙන්න හැකි වුණ එක ගැන සීදොන්වල හිටිය සහෝදරයන් හුඟක් සතුටු වෙන්න ඇති. ආගන්තුක සත්කාරය පෙන්වපු ඒ සහෝදරයන් අද්දැක්ක සතුට අපිටත් අද්දැකිය හැකියි. ඒ නිසා ආගන්තුක සත්කාරය පෙන්විය හැකි අවස්ථාවන් ගැන අපි සිතා බලමු.—ක්‍රියා 27:3.

6-8. සීදොන් සිට කනීදස දක්වා ගිය ගමන විස්තර කරන්න. පාවුල් තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ කොහොමද?

6 ඊටපස්සේ නැව සීදොන්වලින් පිටත් වෙලා උතුරු දෙසට ගමන් කළා. ඒ ගමනේදී ඔවුන් සිලීසියාවේ ටාසස් කියන නගරය පහු කරගෙන ගියා කියලා වාර්තාවේ සඳහන් වෙනවා. ටාසස් කියන්නේ පාවුල් ආපු නගරයයි. සීදොන්වලින් පිටත් වුණාට පස්සේ නැව වෙන කිසිම වරායක නතර කළා කියලා ලූක් වාර්තා කරලා නැහැ. නමුත් “හුළඟ අපේ ගමනට බාධා කළා” කියලා ඔහු කියනවා. ඔවුන් යම් අනතුරුවලට මුහුණ දුන් බව ඒකෙන් පැහැදිලියි. (ක්‍රියා 27:4, 5) ඒ වගේ තත්වයන් මැද වුණත් පාවුල් ශුභාරංචිය දේශනා කරන්න තමන්ට ලැබුණ අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත්තා කියලා නම් නිසැකයි. ඔහු අනිවාර්යයෙන්ම නැවේ හිටිය අනිත් සිරකරුවන්ට, හේවායන්ට හා නැවියන් ඇතුළුව නැව නතර කරපු වරායන්වලදී හමු වුණ සියලුදෙනාට ශුභාරංචිය දේශනා කරන්න ඇති. අපත් පාවුල් වගේ ශුභාරංචිය දේශනා කරන්න අපට ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්නවාද?

7 ඒ විදිහට ගමන්ගත්ත නැව කුඩා ආසියාවේ දකුණු වෙරළබඩ තීරයේ තිබුණ මුරා කියන වරායට ආවා. එහෙදී පාවුල් හා අනිත් අය නැවෙන් බැහැලා ඔවුන්ගේ ගමනාන්තය වන රෝමයට යන වෙන නැවකට නැග්ගා. (ක්‍රියා 27:6) ඒ කාලයේ රෝමයට අවශ්‍ය ධාන්‍ය වැඩි හරියක් ගෙන්වගත්තේ ඊජිප්තුවෙන්. ඒ නිසා ඊජිප්තුවේ සිට රෝමයට යන ධාන්‍ය නැව් සාමාන්‍යයෙන් මුරා වරායට ආවා. පේන විදිහට රෝමයට යන්න ජූලියස්, තම භාරයේ හිටිය සිරකරුවන් හා හේවායන් එක්ක ගොඩ වුණේ ඒ වගේ නැවකටයි. සිසේරියේ ඉඳන් ආපු නැවට වඩා මේ නැව විශාල ඇති. මොකද මේ නැවේ විශාල ධාන්‍ය ප්‍රමාණයක් ගෙන ගියා වගේම නැවියන්, හේවායන්, සිරකරුවන් ඇතුළු මඟීන් 276දෙනෙක් ගමන් කළා. එහෙම එක නැවකින් තවත් නැවකට මාරු වුණ නිසා පාවුල්ට තවත් විශාල පිරිසකට ශුභාරංචිය දේශනා කරන්න අවස්ථාව ලැබුණා. ඔහු ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා කියලා නම් නිසැකයි.

8 ඊටපස්සේ නැව නතර කළේ කනීදස කියන ස්ථානයේ. සාමාන්‍යයෙන් යහපත් කාලගුණික තත්වයන් යටතේ මුරා සිට කනීදස දක්වා ගමන් කරන්න ගත වෙන්නේ එක දවසක් විතරයි. නමුත් ලූක් කියන්නේ මෙහෙමයි. “අපි දවස් ගාණක්ම යාත්‍රා කළේ හරිම හෙමින්. ඊටපස්සේ හුඟක් අමාරුවෙන් අපි කනීදසයට ළං වුණා.” (ක්‍රියා 27:7අ) ඒකෙන් අපට පැහැදිලි වන්නේ ඒ වෙනකොට කාලගුණික තත්වයන් නරක අතට හැරෙමින් තිබුණා කියලයි. (“ මධ්‍යධරණී මුහුද හරහා ගිය ගමන්” කියන කොටුව බලන්න.) සැඩ සුළං හා චණ්ඩ රළ පහරවල් මැදින් නැව ඉදිරියට ඇදෙද්දී ඒකේ හිටිය අය මොන තරම් අපහසුතා අද්දකින්න ඇද්ද!

“කුණාටුව නිසා නැව දරුණු විදිහට ඒ මේ අත ගහගෙන ගියා” (ක්‍රියා 27:7ආ-26)

9, 10. ක්‍රීට් දූපත ළඟ මුහුණ දෙන්න වුණ අපහසුතා මොනවාද?

9 නැවේ කපිතාන්ට වුවමනා වුණේ කනීදස සිට බටහිර දෙසට යාත්‍රා කරන්නයි. නමුත් ලූක් කියන්නේ ‘සැඩ සුළං ගමනට බාධා කරපු නිසා’ ඒ ගමන් මාර්ගයේ යාත්‍රා කරන්න අපහසු වුණා කියලයි. (ක්‍රියා 27:7ආ) සැඩ සුළං නිසා නැව ගොඩබිමෙන් තව තවත් ඈතට ගහගෙන ගියා. ඒ එක්කම වයඹ පැත්තෙන් ආපු දරුණු සුළං පහරකට නැව වේගයෙන් දකුණු පැත්තට තල්ලු වෙලා ගියා. පාවුල් ගිය පළවෙනි නැව සැඩ සුළඟින් ආරක්ෂා වීමට සයිප්‍රස් දූපතේ පිහිට පැතුව විදිහටම මේ නැවත් සුළං මඟහරින්න ක්‍රීට් දූපතේ පිහිට පැතුවා. ක්‍රීට් දූපතේ නැඟෙනහිර පැත්තෙන් තිබුණ සල්මොනය කියන තුඩුව පහු කළාම යම් ආරක්ෂාවක් ලබාගන්න හැකි වුණා. මොකද නැව ගමන් කළේ ඒ තරම් සැඩ සුළං නැති ක්‍රීට් දූපතේ දකුණු පැත්තටයි. ඒ අවස්ථාවේදී නැවේ හිටිය අයට යම් සහනයක් දැනෙන්න ඇති. ඒත් ශීත කාලය ළං වෙමින් තිබුණ නිසා ඔවුන් ඉදිරියේ තවත් අභියෝගයක් තියෙනවා කියලා නැවියන් දැනගෙන හිටියා.

10 ලූක් කියන්නේ “අපි දිගටම ඒ වෙරළබඩ තීරය දිගේ අමාරුවෙන් යාත්‍රා කරලා ‘සුබ වරාය’ කියන වරායට ආවා” කියලයි. ඒකෙන් පැහැදිලි වන්නේ ක්‍රීට් දූපතේ දකුණු පැත්තට ගිය එකෙන් ඔවුන් යම් ආරක්ෂාවක් අද්දැක්කත් ඒ ගමන් මාර්ගයත් ඒ තරම් පහසු එකක් නෙවෙයි කියලයි. නැවියන් දකුණු වෙරළබඩ තීරයේ උතුරු දෙසට හැරෙන ස්ථානය ළඟ තිබුණ කුඩා වරායේ නැව නවත්තලා තිබ්බේ ඒ නිසයි. වාර්තාවේ කියන්නේ ඔවුන් ඒ වරායේ “සෑහෙන කාලයක් නතර වෙලා හිටියා” කියලයි. නමුත් ඔවුන් ඉදිරියේ තිබුණේ අනතුරුදායක තත්වයක්. මොකද සාමාන්‍යයෙන් සැප්තැම්බර්, ඔක්තෝබර් කියන මාස මුහුදු ගමන්වලට සුදුසු කාලයක් නෙවෙයි.—ක්‍රියා 27:8, 9.

11. පාවුල් දුන්න යෝජනාව මොකක්ද? නමුත් නැවියන් තීරණය කළේ මොනවා කරන්නද?

11 මුහුදු ගමන් ගැන පාවුල්ට අද්දැකීම් තිබුණ නිසා නැවේ හිටිය සමහර අය ඔහුගෙන් අදහස් අහන්න ඇති. ඔහු යෝජනා කළේ මේ තත්වය යටතේ නැව තවදුරටත් යාත්‍රා කිරීම සුදුසු නැහැ කියලයි. මොකද ගමන දිගටම ගියොත් නැවේ තිබුණ බඩුවලට විතරක් නෙවෙයි ඒකේ හිටිය අයගේ ජීවිතවලටත් “ලොකු අනතුරක්” වෙන්න ඉඩ තිබුණා. නමුත් වඩා ආරක්ෂිත වරායකට පුළුවන් ඉක්මනින් යන්න ඕනෙ කියලා හිතපු නැවේ නියමුවාට හා අයිතිකරුට වුවමනා වුණේ ගමන දිගටම යන්නයි. නැවේ හිටිය වැඩිදෙනෙක් යෝජනා කළෙත් ක්‍රීට් දූපතේ වෙරළ තීරය දිගේ ගිහින් ෆීනික්ස් කියන වරායට යන එක සුදුසු බවයි. සමහරවිට ඒ වරාය වඩා විශාල වරායක් වගේම ශීත කාලය ගත කරන්න සුදුසු වාතාවරණයක් ඒකේ තියෙන්න ඇති. ඒ යෝජනාවට ඔවුන් ජූලියස්වත් කැමති කරවගත්තා. දකුණු දෙසින් මද සුළඟක් හමා ආවාම තමන් අරමුණු කරපු විදිහට යාත්‍රා කළ හැකියි කියලා හිතලා ඔවුන් ගමන් ඇරඹුවා.—ක්‍රියා 27:10-13.

12. ෆීනික්ස් කියන වරායට යාත්‍රා කරන්න පටන්ගත්තාම වුණේ මොනවාද? අනතුරකින් බේරෙන්න නැවියන් කළේ මොනවාද?

12 නමුත් වැඩි දවසක් යන්න කලින් දූපතේ ඊසාන දිගින් ආපු “දරුණු කුණාටුවක්” නිසා නැව “කෞද කියලා හඳුන්වපු පොඩි දූපතකට” ගහගෙන ගියා. ඒ දූපත තිබුණේ සුබ වරායට කිලෝමීටර් 65ක් විතර දුරිනුයි. හමා ආපු සැඩ සුළං යම් දුරකට මඟහරින්න ඒ දූපත ඔවුන්ට උදව් වුණා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ තත්වය හොඳ අතට හැරුණා කියලා නෙවෙයි. වාර්තාවේ කියන්නේ නැවේ කුඩා බෝට්ටුව රැකගන්න ඒක නැව ඇතුළට ගන්න නැවියන්ට ලොකු වෙහෙසක් දරන්න වුණා කියලයි. මොකද ඒ කුඩා බෝට්ටුව සමහරවිට වතුරෙන් පිරිලා තියෙන්න ඇති. ඊටපස්සේ ඔවුන් නැවේ බඳ වටේ කඹ නැත්නම් දම්වැල් දාලා ඒක හොඳින් සවිමත් වෙන්න බැන්දා. පස්සේ ඔවුන් නැවේ රුවල් බාලා සුළඟ හමන දිශාවට විරුද්ධ පැත්තට නැව ගෙනියන්න ලොකු උත්සාහයක් දැරුවා. ඒ හැම දෙයක්ම ඔවුන් කළේ නැව තවත් දකුණු දෙසට ගහගෙන ගිහින් අප්‍රිකාවේ වෙරළබඩ තීරයේ තිබුණ වැලි කණ්ඩිවල ගැටෙයි කියලා බය වුණ නිසයි. නමුත් කුණාටුව නිසා නැව දිගටම “දරුණු විදිහට ඒ මේ අත ගහගෙන ගියා.” තුන්වෙනි දවසේදී නැවේ බර අඩු කරන්න ඔවුන් නැවේ තිබුණ බඩු මුහුදට වීසි කළා. නැවේ හිටපු අය ඒ දින කිහිපය ගෙවන්න ඇත්තේ මොන තරම් බයකින්ද!—ක්‍රියා 27:14-19.

13. දරුණු කුණාටුවට මුහුණ දෙද්දී නැවේ හිටිය අයට කොහොම දැනෙන්න ඇද්ද?

13 නැවේ හිටපු හැමෝම බයෙන් හිටියත් පාවුල් හා ඔහුගේ මිතුරන්ගේ මුහුණුවලින් නම් ඒ වගේ බයක් දකින්න තිබුණේ නැහැ. මොකද පාවුල් අනිවාර්යයෙන්ම රෝමයේදී සාක්ෂි දරනවා කියලා ස්වාමීන් ඔහුට කියලා තිබුණා. ඊටපස්සේ දේවදූතයෙක් මාර්ගයෙන් ඒ පොරොන්දුව ස්ථිර කරලත් තිබුණා. (ක්‍රියා 19:21; 23:11) සති දෙකක් ගත වුණත් දිවා රෑ දෙකේම හමපු දරුණු කුණාටුව අඩු වුණේ නැහැ. නොනවත්වා ඇද හැලුණ වර්ෂාව හා ඝන වලාකුළු නිසා හිරු එළියවත් තරුවත් දැකගන්න බැරි වුණා. ඒ නිසා කපිතාන්ට නැව තියෙන ස්ථානයවත් ඒක ගමන් කරන දිශාවවත් හරියට දැනගන්න බැරි වුණා. ඒ අතර නැවේ හිටපු අය හුඟක් වෙහෙසට පත් වෙලා, බය වෙලා, සීතලෙන් ගැහිගැහී ඉන්න ඇති. ඔවුන් මොන තරම් බයෙන් හිටියාද කියනවා නම් බඩගින්නක්වත් ඔවුන්ට නොදැනෙන්න ඇති.

14, 15. (අ) තමා කලින් දුන්න යෝජනාව ගැන නැවේ හිටිය අයට පාවුල් මතක් කළේ ඇයි? (ආ) පාවුල් කියපු දෙයින් අපට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

14 ඒ වෙලාවේ පාවුල් සියලුදෙනා මැද සිටගෙන නැව යාත්‍රා කරන එක ගැන ඔහු කලින් දුන්න යෝජනාව මතක් කළා. ඔහු එහෙම කළේ තමන් දුන්න යෝජනාව පිළි නොගත්ත එක ගැන ඔවුන්ට දොස් කියන්න නෙවෙයි. නමුත් ඔහු කියන දේවලට සවන් දීම ප්‍රයෝජනවත් කියලා පෙන්වන්නයි. ඊටපස්සේ ඔහු ඔවුන්ට මෙහෙම කිව්වා. “හිතට ධෛර්යය ගන්න. මොකද අපි කාගෙවත් ජීවිත නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැව විතරයි.” (ක්‍රියා 27:21, 22) ඒක අහලා එතන හිටපු අය සහනයක් ලබන්න ඇති. යෙහෝවා දෙවියන් නැවේ හිටපු අයට ඒ වගේ පණිවිඩයක් කියන්න කියපු එක ගැන පාවුල් මොන තරම් සතුටු වන්න ඇද්ද! අපටත් ඒකෙන් වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඒ, යෙහෝවාට හැම කෙනෙක්ගෙම ජීවිත හුඟක් වටිනවා කියන එක. ඒ දේ අප කිසිවිටක අමතක නොකළ යුතුයි. පේතෘස් යෙහෝවා ගැන මෙහෙම කිව්වා. “ඔහු කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න. ඔහුට ඕනෙ හැමෝටම පසුතැවිලි වෙන්න අවස්ථාව දෙන්නයි.” (2 පේතෘ. 3:9) අද හුඟක් අයගේ ජීවිත තියෙන්නේ අනතුරේ කියලා අපි දන්නවා. එහෙමනම් කල් නොදමා පුළුවන් තරම් දෙනෙක්ට දෙවියන් ලබා දීලා තියෙන බලාපොරොත්තුව ගැන කියන එක හරිම වැදගත්. එහෙම කරලා දෙවියන් අනර්ඝ විදිහට සලකන ජීවිත බේරගන්න අපට හැකි වෙයි.

15 පාවුල් නැවේ හිටිය හුඟක් අයට ‘දෙවියන් දුන්න පොරොන්දුව’ අනිවාර්යයෙන් ඉටු වෙනවා කියන එක ගැන කියලා තිබුණ බවට සැකයක් නැහැ. (ක්‍රියා 26:6; කොලො. 1:5) දැන් මේ භයානක තත්වයෙනුත් දෙවියන් ඔවුන්ව බේරගන්නවා කියන විශ්වාසය ඇති කරගන්න හොඳ හේතුවක් ගැන පාවුල් මෙහෙම කියනවා. “අද අඳුර වැටුණාට පස්සේ මම සේවය කරන මගේ දෙවියන්ගේ දූතයෙක් මං ළඟ හිටගෙන මෙහෙම කිව්වා. ‘පාවුල්, කිසි දේකට බය වෙන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම සීසර් ඉස්සරහට යනවා. ඔයාට දෙවියන්ගේ කරුණාව ලැබිලා තියෙන නිසා ඔහු ඔයාවයි, නැවේ ඉන්න අනිත් හැමෝවමයි බේරගන්නවා.’ ඒ නිසා කිසි කෙනෙක් අධෛර්යය වෙන්න එපා. මොකද දේවදූතයා කියපු දේ ඒ විදිහටම වෙයි. මට දෙවියන් ගැන විශ්වාසයි. අපි මෙහෙම ගිහින් කොහේ හරි දූපතකට ගහගෙන යයි.”—ක්‍රියා 27:23-26.

“හැමෝම කිසි අනතුරක් නැතුව ගොඩබිමට ආවා” (ක්‍රියා 27:27-44)

‘එයා හැමෝම ඉස්සරහා දෙවියන්ට ස්තුති කළා.’—ක්‍රියා 27:35

16, 17. (අ) පාවුල් ප්‍රසිද්ධියේ යාච්ඤා කළේ මොන අවස්ථාවේදීද? ඒකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද? (ආ) පාවුල් කියපු දේ ඉටු වුණේ කොහොමද?

16 සති දෙකක් පුරා හමපු දරුණු කුණාටුව නිසා නැව කිලෝමීටර් 870ක් විතර දුරක් ගහගෙන ගිහින් තිබුණා. නමුත් නැව ගොඩබිමකට ළං වෙනවා කියලා නැවියෝ තේරුම්ගත්තා. සමහරවිට එහෙම හිතන්න ඇත්තේ මුහුදු රළ වෙරළට ගහන හඬ ඔවුන්ට ඇහුණු නිසා විය හැකියි. නැව වෙනතකට ගහගෙන යන්නේ නැති වෙන්න ඔවුන් නැවේ අවරෙන් නැංගුරම් දැම්මා. නැංගුරම් දාලා බලා ඉන්න අතරතුරේ නැවියෝ නැවෙන් පැනලා යන්න උත්සාහ කළා. ඒක දැක්ක පාවුල් “මේ මිනිස්සු නැවේම හිටියොත් විතරයි අපිට බේරෙන්න ලැබෙන්නේ” කියලා හමුදා නිලධාරියාට කිව්වා. හමුදා නිලධාරියාගේ අණ පරිදි හේවායන් ඔවුන්ට පලා යන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වෙනකොට නැව ගහගෙන යන එක යම් දුරකට අඩු වෙලා තිබුණ නිසා කෑම ටිකක් කන්න කියලා පාවුල් හැමෝටම කිව්වා. ඔවුන්ගේ ජීවිතවලට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා ඔහු නැවතත් මතක් කරලා ‘හැමෝම ඉස්සරහා දෙවියන්ට ස්තුති කළා.’ (ක්‍රියා 27:31, 35) වාර්තාවේ කියන්නේ ඔහු දෙවියන්ට ස්තුති කරමින් යාච්ඤා කළාට පස්සේ “අනිත් අයගෙත් හිතට හයියක් ඇවිත් එයාලත් කන්න පටන්ගත්තා” කියලයි. (ක්‍රියා 27:36) ඒ වගේ අවස්ථාවක යාච්ඤා කරලා පාවුල් තිබ්බේ කදිම ආදර්ශයක්. අපට ඒකෙන් වැදගත් කාරණයක් ඉගෙනගන්න පුළුවන්. ඒ, අනිත් අය ඉදිරියේ අප යාච්ඤා කරද්දී ඔවුන්ව සනසන හා දිරිගන්වන විදිහට ඒක කරන්න ඕනෙ කියලයි.

17 කෑම කාලා ඉවර වුණාට පස්සේ ගොඩබිමට ළඟා වෙද්දී නැවේ බර තවත් අඩු කරන්න ඔවුන් ඒකේ ගබඩා කරලා තිබුණ තිරිඟු මුහුදට වීසි කළා. පහුවදා ඔවුන් නැංගුරම් කපලා සුක්කානම්වල කඹ ලිහලා දැම්මා. ඒ වගේම වෙරළ දෙසට යාත්‍රා කරද්දී නැව යම් දුරකට පාලනය කරන්න පුළුවන් වෙන්න ඉස්සරහා තිබුණ කුඩා රුවල ඔසවලා තිබ්බා. නමුත් නැවේ ඉදිරිපස වැලි කණ්ඩියක හිර වුණ නිසා නැත්නම් මඩේ එරුණු නිසා රළ පහරට අහු වෙලා නැවේ අවරය කෑලිවලට කැඩිලා ගියා. ඒ අවස්ථාවේ සිරකරුවන් මුහුදට පැනලා ගැලවිලා යයි කියලා හිතලා හේවායන් ඔවුන්ව මරන්න උත්සාහ කළා. නමුත් ජූලියස් මැදිහත් වෙලා එහෙම කරන එකෙන් ඔවුන්ව වැළැක්වුවා. ඔහු හැමෝටම අණ කළේ මුහුදට පැනලා ගොඩබිමට පිහිනන්න හෝ යම් දෙයක් ආධාරයෙන් ගොඩට යන්න කියලයි. පාවුල් කියපු විදිහට නැවේ හිටිය 276දෙනාම “කිසි අනතුරක් නැතුව ගොඩබිමට ආවා.”—ක්‍රියා 27:44.

“එයාලා අපිට හුඟක් ආදරෙන්, කරුණාවෙන් සැලකුවා” (ක්‍රියා 28:1-10)

18-20. මෝල්ටාවේ වැසියන් දූපතට ආපු ආගන්තුකයන්ට “හුඟක් ආදරෙන්, කරුණාවෙන්” සැලකුවේ කොහොමද? ඒ අවස්ථාවේ දෙවියන් කරපු ආශ්චර්යය මොකක්ද?

18 ඔවුන් ඇවිත් තිබුණේ මෝල්ටාව කියන දූපතටයි. (“ මෝල්ටාව” කියන කොටුව බලන්න.) එහේ හිටිය වැසියන් කතා කළේ වෙනත් භාෂාවක්. නමුත් “අපි හිතුවාටත් වඩා එයාලා අපිට හුඟක් ආදරෙන්, කරුණාවෙන් සැලකුවා” කියලා වාර්තාවේ සඳහන් වෙනවා. (ක්‍රියා 28:2) හොඳටම තෙමිලා සීතලෙන් ගැහිගැහී තමන්ගේ දූපතට ආපු මේ ආගන්තුකයන්ට උණුසුම් වෙන්න ඔවුන් ගිනිමැලයක් ගැහුවා. ඒ ගිනිමැලය නිසා යම් ආශ්චර්යයකුත් වුණා.

19 පාවුල් ඔවුන්ට උදව් කරන්න දර අහුලගෙන ඇවිත් දර මිටියක් ගින්නට දැම්මා. එතකොට දර මිටියේ හිටිය පොළඟෙක් එළියට ඇවිත් ඔහුගේ අතට දෂ්ට කරලා අතේ එල්ලුණා. ඒක දැක්ක දූපතේ වැසියන් හිතුවේ පාවුල්ට එහෙම වුණේ දේවශාපයක් නිසා කියලයි. a

20 ඔවුන් හිතුවේ පාවුල්ගේ “ඇඟ ඉදිමෙයි” කියලයි. නමුත් පාවුල් අත ගසලා අතේ එල්ලිලා හිටපු විසකුරු සර්පයාව ඉවත් කරලා දැම්මා. ඔහුට කිසිම හානියක් වුණේ නැහැ. එක පොතක කියන්නේ “ඇඟ ඉදිමෙයි” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය වෛද්‍ය විද්‍යාවේ යොදාගන්න යෙදුමක් කියලයි. “ආදරණීය වෛද්‍යවරයෙක් වන ලූක්” තම වාර්තාවේ ඒ වගේ යෙදුමක් භාවිත කරපු එක පුදුමයට හේතුවක් නෙවෙයි.—ක්‍රියා 28:6; කොලො. 4:14.

21. (අ) ලූක්ගේ වාර්තාව නිවැරදියි කියන්න තියෙන හේතු මොනවාද? (ආ) පාවුල් කරපු ආශ්චර්යයන් මොනවාද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?

21 ඉඩකඩම් හිමි පබ්ලියස් කියන ධනවත් මිනිසෙක් ඒ අවට ජීවත් වුණා. සමහරවිට මෝල්ටාවේ හිටිය ප්‍රධාන රෝම නිලධාරියා ඔහු වෙන්න පුළුවන්. ලූක් ඔහුව විස්තර කරලා තියෙන්නේ “දූපතේ ප්‍රධානියා” විදිහට. ඒ දූපතෙන් හොයාගත්ත ගල් පුවරු දෙකකත් ඒ යෙදුම භාවිත කරලා තියෙනවා. ලූක්ගේ වාර්තාව මොන තරම් නිවැරදිද කියලා ඒකෙන් පැහැදිලියි. පබ්ලියස් පාවුල්ව හා පිරිසව පිළි අරන් දවස් තුනක් ඔවුන්ට හොඳින් සැලකුවා. ඒ කාලයේදී ඔහුගේ තාත්තා “උණ සහ පාචනය හැදිලා ඇඳට වෙලයි හිටියේ” කියලා ලූක් කියනවා. ඔහු අසනීප වෙලා හිටියා කියලා කියනවා වෙනුවට ලූක් ඔහුගේ අසනීපය පැහැදිලිව විස්තර කරලා තියෙන විදිහ ඔබ දැක්කාද? අසනීප වෙලා හිටපු ඔහු ළඟට පාවුල් ගිහින් යාච්ඤා කරලා ඔහු පිට අත් තිබ්බාම ඔහු සුව වුණා. ඒ ආශ්චර්යයෙන් පස්සේ දූපතේ අසනීප වෙලා හිටිය තවත් අයව සුව කරගන්න පාවුල් ළඟට ගෙනාවා. එහෙම එද්දී ඔවුන් තෑගිබෝගත් ගෙනාවා. ඒ වගේම පාවුල් හා පිරිසට අවශ්‍ය වන තව හුඟක් දේවලුත් ගෙනත් දුන්නා.—ක්‍රියා 28:7-10.

22. (අ) රෝමය බලා ගිය ගමන ලූක් විස්තර කරලා තියෙන විදිහ ගැන විශාරදයෙක් කියන්නේ මොනවාද? (ආ) අප ඊළඟ පරිච්ඡේදයේ බලන්නේ මොනවා ගැනද?

22 රෝමයට පාවුල් ගිය ගමන ගැන අප මේ වෙන කල් බලපු වාර්තාව ඉතා නිවැරදියි. එක විශාරදයෙක් කියන්නේ ලූක් ඒ වාර්තාව සකසන්න ඇත්තේ දින පොතකින් ගත්ත තොරතුරුවලින් විය යුතුයි කියලයි. ඒකට හේතුව පැහැදිලි කරමින් ඔහු මෙහෙම කිව්වා. “ලූක්ගේ වාර්තාව හරිම සවිස්තරාත්මකයි. බයිබලයේ අනිත් පොත්වලට වඩා ඒක කැපීපේනවා. පළවෙනි සියවසේ නාවිකයන් නැව ආරක්ෂා කරගන්න යොදාගත්ත විවිධ ක්‍රම හා මධ්‍යධරණී මුහුදේ සිදුවීම් ඔහු ඉතාමත් නිවැරදිව විස්තර කරලා තියෙනවා.” ලූක් සමහරවිට පාවුල් සමඟ ගිය ගමන්වලදී අද්දැක්ක දේවල් දින පොතක සටහන් කරගන්න ඇති. ගමනේ ඉතුරු කොටස ගැනත් ලූක්ට සටහන් කරගන්න බොහෝ දේ තිබුණා. අපි ඒ ගැන ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.

a පාවුල්ට දෂ්ට කළේ මොන වගේ සර්පයෙක්ද කියලා දූපතේ වැසියන් හඳුනගත්ත එකෙන් පේන්නේ ඒ කාලයේ මෝල්ටාවේ පොළඟුන් හිටියා කියලයි. නමුත් දැන් මෝල්ටා දූපතේ පොළඟුන් නැහැ. ඒකට හේතුව සියවස් ගාණක් පුරා පරිසරයේ වෙලා තියෙන වෙනස්කම් විය හැකියි. නැත්නම් දූපතේ ජනගහනය වැඩි වෙනවාත් එක්කම පොළඟුන් වඳ වෙලා යන්න ඇති.