Skip to content

පටුනට යන්න

28වෙනි පරිච්ඡේදය

“පොළොවේ දුර ඈත ප්‍රදේශවලත්”

“පොළොවේ දුර ඈත ප්‍රදේශවලත්”

පළවෙනි සියවසේ යේසුස්ගේ අනුගාමිකයන් ආරම්භ කරපු කාර්යය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දිගටම කරගෙන යයි

1. පළවෙනි සියවසේ හිටිය යේසුස්ගේ අනුගාමිකයන් හා අද ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර තියෙන සමානකම් මොනවාද?

 පළවෙනි සියවසේ හිටිය යේසුස්ගේ අනුගාමිකයන් ලොකු උද්‍යෝගයකින් දේවරාජ්‍යය ගැන සාක්ෂි දැරුවා. දෙවියන් තම බලය මාර්ගයෙන් දුන්න උදව් පිළිගත්ත ඔවුන්, ඒ බලයේ මඟ පෙන්වීමට එකඟව වැඩ කළා. කොයි තරම් පීඩා ආවත් ඔවුන් අත්හරින්නේ නැතුව දිගටම ශුභාරංචිය දේශනා කළා. ඒකෙන් පැහැදිලි වන්නේ ඔවුන්ට දෙවියන්ගේ ආශීර්වාද තිබුණා කියලයි. අද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වැඩ කරන්නෙත් ඒ වගේම නේද?

2, 3. ක්‍රියා පොතේ කැපීපේන සමහර දේවල් මොනවාද?

2 යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා කියන පොතේ තියෙන රසවත් සිදුවීම් සලකා බැලීමෙන් ඔබ ලොකු දිරිගැන්වීමක් ලැබුවා කියලා නිසැකයි. ක්‍රියා පොත බයිබලයේ අනිත් පොත්වලට වඩා වෙනස්. මොකද පළවෙනි සියවසේ ජීවත් වුණ ක්‍රිස්තියානීන් ගැන දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියලා තියෙන එකම පොත ඒකයි.

3 ක්‍රියා පොතේ පුද්ගලයන් 95දෙනෙක් ගැන සඳහන් වෙනවා. ඔවුන් රටවල් 32ක්, නගර 54ක් හා දූපත් 9ක් නියෝජනය කරනවා. සාමාන්‍ය මිනිසුන්, ආගමික උන්මත්තකයන්, අහංකාර පාලකයන් හා දරුණු විරුද්ධවාදීන් සම්බන්ධ වුණ රසවත් සිදුවීම් රැසක් ක්‍රියා පොතේ ඇතුළත් වෙනවා. ක්‍රියා පොතේ සඳහන් සිදුවීම් අපේ හදවතට වඩාත් ළං වෙන්න ප්‍රධාන හේතුව වන්නේ ඒක පළවෙනි සියවසේ හිටිය අපේම සහෝදර සහෝදරියන් ගැන ලියවුණ පොතක් වීමයි. ඔවුන්ට ජීවිතයේ විවිධ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වුණත් ඔවුන් දිගටම උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කළා.

4. පළවෙනි සියවසේ හිටිය ගෝලයන් හා අප අතරේ තියෙන විශේෂ සමානකම මොකක්ද?

4 ක්‍රියා පොත අධ්‍යයනය කරද්දී උද්‍යෝගිමත් නියෝජිතයන් දෙන්නෙක් වුණ පේතෘස් හා පාවුල්, ආදරණීය වෛද්‍යවරයා වුණ ලූක්, පරිත්‍යාගශීලී කෙනෙක් වුණ බානබස්, නිර්භීත ස්තේපන්, කරුණාවන්ත තබිතා හා ආගන්තුක සත්කාරයට ළැදි ලිදියා වගේ හුඟදෙනෙක්ව අප හඳුනගත්තා. ඇත්ත, ඔවුන් ජීවත් වුණේ මීට අවුරුදු 2,000කට විතර කලින්. නමුත් ඔවුන් හා අප අතරේ එක විශේෂ සමානකමක් තියෙනවා. ඒ, ඔවුන් වගේ අපත් උත්සාහ කරන්නේ මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්නයි. (මතෙ. 28:19, 20) අප එක් එක් කෙනාට ඒ කාර්යයේ හවුල් වෙන්න ලැබිලා තියෙන එක මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!

“පොළොවේ දුර ඈත ප්‍රදේශවලත්”ක්‍රියා 1:8

5. යේසුස්ගේ මුල් අනුගාමිකයන් මුලින්ම සාක්ෂි දැරුවේ කොහෙද?

5 යේසුස් තම අනුගාමිකයන්ට භාර දුන් කාර්යය ගැන ටිකක් සිතන්න. ඔහු කිව්වේ මෙහෙමයි. “ඔයාලට දෙවියන්ගේ බලය ලැබුණාම ඔයාලා ශක්තිමත් වෙයි. ඊටපස්සේ ඔයාලා යෙරුසලමෙත් යුදය පුරාමත් සමාරියෙත් පොළොවේ දුර ඈත ප්‍රදේශවලත් මං ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8) යේසුස් කියපු විදිහට මුලින්ම ‘යෙරුසලමේ’ යේසුස් ගැන සාක්ෂි දරන්න දෙවියන් තම බලය ඔවුන්ට දුන්නා. (ක්‍රියා 1:1–8:3) ඊටපස්සේ දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට එකඟව ඔවුන් “යුදය පුරාමත් සමාරියෙත්” යේසුස් ගැන සාක්ෂි දැරුවා. (ක්‍රියා 8:4–13:3) ඔවුන් ශුභාරංචිය “පොළොවේ දුර ඈත ප්‍රදේශවලටත්” අරන් ගියේ ඊටපස්සෙයි.—ක්‍රියා 13:4–28:31.

6, 7. පළවෙනි සියවස එක්ක බලද්දී අද ශුභාරංචිය දේශනා කරන එක පහසුයි කියලා කියන්න පුළුවන් ඇයි?

6 කොහොමවුණත් දේවරාජ්‍යය ගැන සාක්ෂි දරන කාර්යය ඔවුන්ට ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැහැ. පළවෙනි සියවසේ හිටිය අපේ සහෝදර සහෝදරියන්ට සේවයේදී භාවිත කරන්න සම්පූර්ණ බයිබලය තිබුණේ නැහැ. උදාහරණයකට ඔවුන්ට මතෙව් සුවිශේෂය භාවිත කරන්න අවස්ථාව ලැබුණේ ක්‍රි.ව. 41දී හෝ ඊටපස්සෙයි. ක්‍රියා පොත ලියලා අවසන් කරන්න කලින් ඒ කියන්නේ ක්‍රි.ව. 61 විතර වෙනකොට පාවුල් ලිපි කිහිපයක්ම ලියලා තිබුණත් හැම කෙනෙක්ටම ශුද්ධ ලියවිලිවල පෞද්ගලික පිටපතක් තිබුණේ නැහැ. ඒ නිසා බොහෝදුරට දේශනා සේවයේදී ලියවිලිවල සඳහන් දේවල් කියන්න වුණේ මතකයෙන්. සිනගෝගවලදී හෙබ්‍රෙව් ලියවිලිවලින් කොටසක් කියෙව්ව නිසා යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න කලින් යුදෙව්වන් ඒවාට සවන් දීලා තිබුණා. (2 කොරි. 3:14-16) නමුත් ශුභාරංචිය හිතට දැනෙන විදිහට කියන්න ඔවුන්ටත් ශුද්ධ ලියවිලි හොඳින් අධ්‍යයනය කරන්න වුණා. ඒ විතරක් නෙවෙයි උනන්දුවක් දක්වන අයට ඉදිරිපත් කරන්න සඟරා පොත් පතුත් එදා ඔවුන්ට තිබුණේ නැහැ.

7 මේ කාලයේ ජීවත් වෙන අපි හැම කෙනෙක්ටම වගේ බයිබලයක් තිබෙනවා. දේශනා සේවයේදී ඉදිරිපත් කරන්න ඕනෙ තරම් සඟරා පොත් පතුත් තියෙනවා. විවිධ භාෂාවලට ඒවා පරිවර්තනය කරලා තියෙන නිසා රටවල් 240ක ඉන්න අයට දේවරාජ්‍යය ගැන පණිවිඩය කියලා ඔවුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න අපට පුළුවන් වෙලා තියෙනවා.

දෙවියන්ගේ බලයෙන් ශක්තිමත් වී

8, 9. (අ) දෙවියන්ගේ බලයේ උදව්වෙන් යේසුස්ගේ ගෝලයන්ට කරන්න පුළුවන් වුණේ මොනවාද? (ආ) දෙවියන්ගේ බලයේ උදව්වෙන් විශ්වාසවන්ත දාසයාට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මොනවාද?

8 යේසුස් තම අනුගාමිකයන්ට ශුභාරංචිය දේශනා කරන කාර්යය භාර දෙද්දී කිව්වේ “ඔයාලට දෙවියන්ගේ බලය ලැබුණාම ඔයාලා ශක්තිමත් වෙයි” කියලයි. ඒකෙන් පැහැදිලි වන්නේ පොළොවේ දුර ඈත කෙළවර දක්වා දේවරාජ්‍යය ගැන සාක්ෂියක් දරන්න යේසුස්ගේ අනුගාමිකයන්ට පුළුවන් වන්නේ දෙවියන්ගේ බලයේ උදව්වෙන් කියන එකයි. අසනීප වුණ අයව සුව කරන්න, භූතයන්ව එළවන්න, මිය ගිය අයව නැවත නැඟිටුවන්න දෙවියන් තම බලය පේතෘස්ට හා පාවුල්ට ලබා දුන්නා. නමුත් දෙවියන් තම බලය දුන්නේ ඒ වගේ ආශ්චර්යවත් දේවල් කරන්න විතරක් නෙවෙයි. සදාකාල ජීවනය ලබාගන්න උදව් වෙන නිවැරදි දැනුම අනිත් අය සමඟ බෙදාගැනීමේ අතිවැදගත් කාර්යය කරන්න යේසුස්ගේ නියෝජිතයන්ට හා අනිත් ගෝලයන්ට පුළුවන් වුණෙත් දෙවියන්ගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වුණ නිසයි.—යොහ. 17:3.

9 උදාහරණයකට ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී වුණ දේ බලන්න. වාර්තාවේ කියන්නේ මෙහෙමයි. යේසුස්ගේ අනුගාමිකයන් “එක එක භාෂාවලින් කතා කරන්න පටන්ගත්තා. එයාලා එහෙම කළේ දෙවියන්ගේ බලයේ උදව්වෙන්.” ඒ නිසා ඔවුන් “දෙවියන් කරපු පුදුම දේවල් ගැන” සාක්ෂි දැරුවා. (ක්‍රියා 2:1-4, 11) පළවෙනි සියවසේදී වගේ ආශ්චර්යවත් විදිහට එක එක භාෂාවලින් කතා කරන හැකියාව දෙවියන් අද අපට ලබා දීලා නැහැ. නමුත් බයිබලය මත පදනම් විවිධ පොත් පත් හා සඟරා භාෂා ගණනාවකින් නිකුත් කරන්න විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට පුළුවන් වෙලා තියෙන්නේ දෙවියන්ගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වන නිසයි. උදාහරණයකට හැම මාසයකම මුරටැඹ හා පිබිදෙව්! කලාප මිලියන ගාණක් මුද්‍රණය කරනවා. ඒ වගේම jw.org කියන අපේ වෙබ් අඩවියේ බයිබලය මත පදනම් ප්‍රකාශන හා වීඩියෝ භාෂා 1,000කට වඩා වැඩි ප්‍රමාණයකින් තියෙනවා. ඒ නිසා සියලු ජාතීන්ට, ගෝත්‍රවලට අයත් අයට හා විවිධ භාෂා කතා කරන අයට “දෙවියන් කරපු පුදුම දේවල් ගැන” කියන්න අපට හැකි වෙලා තියෙනවා.—එළි. 7:9.

10. 1989 සිට දාසයාගේ විශේෂ ඉලක්කය වෙලා තියෙන්නේ මොකක්ද?

10 1989 සිට විශ්වාසවන්ත නුවණ ඇති දාසයාගේ විශේෂ ඉලක්කය වෙලා තියෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ විවිධ භාෂාවලින් මිනිසුන්ට ලබා දෙන්නයි. ඒක දැනටමත් භාෂා 200කට වඩා වැඩි ගාණකට පරිවර්තනය කරලා තියෙනවා. මේ වෙනකොට ඒකේ පිටපත් මිලියන දහස් ගාණක් මුද්‍රණය කරලා තියෙනවා. ඉස්සරහටත් තවත් විශාල ප්‍රමාණයක් මුද්‍රණය කරනවා. දෙවියන්ගේ බලයේ උදව් විශ්වාසවන්ත දාසයාට තියෙනවා කියලා කියන්න ඒක හොඳ සාක්ෂියක්.

11. අපේ සඟරා පොත් පත් ගැන කියන්න පුළුවන් මොනවාද?

11 රටවල් 150කට වඩා වැඩි ගාණක පරිවර්තකයන් දහස් ගාණක් ස්වේච්ඡාවෙන් පරිවර්තන වැඩවලට හවුල් වෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට මේ තරම් වැඩ කොටසක් කරන්න හැකි වීම ගැන අප පුදුම වෙන්න ඕනෙ නැහැ. මොකද මුළු පොළොව පුරා යෙහෝවා ගැන, ඔහු පත් කරලා තියෙන රජු ගැන සහ ‘දෙවියන්ගේ රාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක් දෙන්න’ දෙවියන් තම බලය ලබා දීලා තියෙන්නේ මේ සංවිධානයට විතරයි.—ක්‍රියා 28:23.

12. පාවුල්ට හා අනිත් ක්‍රිස්තියානීන්ට ශුභාරංචිය දේශනා කරන්න පුළුවන් වුණේ කොහොමද?

12 පාවුල් පිසිදියේ අන්තියෝකියේ හිටිය යුදෙව්වන්ට හා වෙනත් ජාතීන්ට අයත් අයට සාක්ෂි දැරුවාට පස්සේ “සදාකාල ජීවනය ලබා දෙන සත්‍යය පිළිගන්න කැමැත්තෙන් හිටපු හැමෝම යේසුස්ගේ අනුගාමිකයන් වුණා.” (ක්‍රියා 13:48) ලූක් ක්‍රියා පොත ලියලා අවසන් කරද්දී පාවුල් හිටියේ ඒ කාලයේ තිබුණ ලෝක අධිරාජ්‍යයේ අගනුවර වුණ රෝමයෙයි. එහෙදී ඔහු “කිසිම බයක් නැතුව ලොකු උද්‍යෝගයකින් දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කළා. . . . ඒකට එයාට කිසිම බාධාවක් තිබුණේ නැහැ.” (ක්‍රියා 28:31) පළවෙනි සියවසේ හිටිය යේසුස්ගේ අනුගාමිකයන් ශුභාරංචිය දේශනා කරන්න මොන ක්‍රම යොදාගත්තත් ඔවුන් එහෙම කළේ දෙවියන්ගේ බලයේ උදව්වෙන් හා ඒකේ මඟ පෙන්වීමට එකඟව කියලා ඒ තොරතුරුවලින් පැහැදිලියි.

පීඩා ආවත් විඳදරාගනිමින්

13. විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙද්දී අපි දෙවියන්ට කන්නලව් කරන්න ඕනෙ ඇයි?

13 පළවෙනි සියවසේ හිටිය ක්‍රිස්තියානීන් දෙවියන්ගේ බලයේ උපකාරය තවත් විදිහකින් අද්දැක්කා. විරුද්ධවාදීන් ඔවුන්ව නතර කරන්න උත්සාහ කරපු අවස්ථාවලදී ඔවුන් දෙවියන්ට කන්නලව් කරමින් දිගටම නිර්භීතව ශුභාරංචිය දේශනා කරන්න අවශ්‍ය ශක්තිය ඉල්ලුවා. ප්‍රතිඵලයක් විදිහට දෙවියන්ගේ බලය ඉතා ප්‍රබල විදිහට ඔවුන් තුළ ක්‍රියාත්මක වෙලා නිර්භීතව දේශනා කරන්න ඔවුන්ට හැකි වුණා කියලා වාර්තාවේ කියනවා. (ක්‍රියා 4:18-31) අද අපත් නිර්භීතව ශුභාරංචිය දේශනා කරන්න අවශ්‍ය ප්‍රඥාව හා ශක්තිය ඉල්ලලා දෙවියන්ට කන්නලව් කරනවා. (යාකො. 1:2-8) විරුද්ධවාදීන් මොන තරම් දරුණු විදිහට දෙවියන්ගේ සෙනඟට පීඩා කළත් ශුභාරංචිය දේශනා කරන කාර්යය නතර කරන්න ඔවුන්ට බැහැ කියලා ස්ථිරයි. මොකද දේශනා කරන කාර්යය දිගටම කරගෙන යන්න අවශ්‍ය ශක්තිය දෙවියන් තම සෙනඟට ලබා දෙනවා වගේම ඔවුන් දරන උත්සාහයට ඔහු ආශීර්වාද කරනවා. එහෙමනම් විරුද්ධවාදීන්ගෙන් දරුණු පීඩා එල්ල වන අවස්ථාවලදී ඒවාට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය ප්‍රඥාව, ශක්තිය හා නිර්භීතකම ඉල්ලලා අප එක් එක් කෙනා දෙවියන්ට කන්නලව් කරන එක කොතරම් වැදගත්ද!—ලූක් 11:13.

14, 15. (අ) “ස්තේපන්ගේ මරණයෙන් පස්සේ ඇති වුණ පීඩා නිසා” වුණේ මොකක්ද? (ආ) සයිබීරියාවේ ජීවත් වුණ හුඟක් අය සත්‍යය දැනගත්තේ කොහොමද?

14 සතුරන් අතින් මැරුම් කන්න කලින් ස්තේපන් නිර්භීතව සාක්ෂි දරපු විදිහ ඔබට මතක ඇති. (ක්‍රියා 6:5; 7:54-60) කොහොමවුණත් ස්තේපන්ගේ මරණයෙන් පස්සේ යෙරුසලමේ පිහිටි සභාවට “දරුණු විදිහට පීඩා විඳින්න වුණා.” ඒ නිසා යේසුස්ගේ නියෝජිතයන් හැර අනිත් හැමෝම යුදයේ හා සමාරියේ පළාත් පුරාම විසිරිලා ගියා. නමුත් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය නතර වුණේ නැහැ. උදාහරණයකට ෆිලිප් සමාරියට ගිහින් එහේ හිටිය අයට “ක්‍රිස්තුස් ගැන දේශනා කළ” අතර හුඟක් අය ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. (ක්‍රියා 8:1-8, 14, 15, 25) වාර්තාවේ තවදුරටත් මෙහෙම කියනවා. “ස්තේපන්ගේ මරණයෙන් පස්සේ ඇති වුණ පීඩා නිසා හුඟදෙනෙක් ෆිනීෂියාව, සයිප්‍රසය සහ අන්තියෝකිය දක්වාම විසිරිලා ගියා. ඒ ගිය තැන්වල එයාලා දෙවියන්ගේ පණිවිඩේ කිව්වේ යුදෙව්වන්ට විතරයි. ඒත් සයිප්‍රසයෙන් සහ සිරේනියෙන් ආපු පුරුෂයන් කීපදෙනෙක් අන්තියෝකියට ගිහින් ග්‍රීක භාෂාව කතා කරපු අයට ස්වාමීන් වන යේසුස් ගැන ශුභාරංචිය කිව්වා.” (ක්‍රියා 11:19, 20) ක්‍රිස්තියානි සභාවට ආපු පීඩාවන් නිසා දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය හුඟක් ප්‍රදේශවලට ව්‍යාප්ත වුණා.

15 1950 ගණන්වල සෝවියට් දේශයෙත් ඒ වගේ දෙයක් වුණා. ඒ කාලයේදී සාක්ෂිකරුවන් දහස් ගාණක් සයිබීරියාවේ විවිධ පැතිවලට පිටුවහල් කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ශුභාරංචිය සයිබීරියාව පුරාම පැතිරිලා ගියා. ඇත්තෙන්ම කිලෝමීටර් 10,000ක් විතර දුර ප්‍රදේශවලට ගමන් කරලා ශුභාරංචිය දේශනා කරන්න සෑහෙන මුදලක් වැය වෙනවා. ඒ තරම් විශාල මුදලක් වැය කරන්න තරම් වත්කමක් සාක්ෂිකරුවන් වැඩිදෙනෙක්ට තිබුණේ නැහැ. නමුත් සෝවියට් ආණ්ඩුවම ඔවුන්ව සයිබීරියාව පුරාම විසුරුවාහැරිය නිසා මුදලක් වැය නොකරම ඒ ප්‍රදේශවල හිටිය මිනිසුන්ට ශුභාරංචිය දේශනා කරන්න සාක්ෂිකරුවන්ට අවස්ථාව ලැබුණා. එක සහෝදරයෙක් මෙහෙම කිව්වා. “සයිබීරියාවේ අවංක හදවත් තියෙන දහස් ගාණකට සත්‍යය දැනගන්න මඟ පෑදුවේ සෝවියට් ආණ්ඩුවමයි.”

යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාද නොඅඩුව ලැබෙයි

16, 17. ශුභාරංචිය දේශනා කරන කාර්යයට දෙවියන් ආශීර්වාද කරනවා කියන්න උදාහරණ දෙන්න.

16 පළවෙනි සියවසේ හිටිය ක්‍රිස්තියානීන් ශුභාරංචිය දේශනා කරන්න දරපු උත්සාහයට යෙහෝවා ආශීර්වාද කළා කියලා නිසැකයි. පාවුල් හා අනිත් ක්‍රිස්තියානීන් සත්‍යය කියන බීජ පැළ කරලා ඒවාට වතුර වක් කළා. නමුත් “වර්ධනය දුන්නේ දෙවියන්.” (1 කොරි. 3:5, 6) ඒක ඇත්ත කියලා ක්‍රියා පොතේ සඳහන් වාර්තාවලින් පැහැදිලියි. උදාහරණයකට ක්‍රියා 6:7 කියන මේ දේ බලන්න. “දෙවියන්ගේ පණිවිඩය හැමෝම අතරේ දිගටම පැතිරිලා ගියා. යෙරුසලමේ හිටිය ගෝලයන්ගේ ගාණත් එන්න එන්නම වැඩි වුණා.” ක්‍රියා 9:31 මෙහෙම කියනවා. “යුදය, ගලීලය සහ සමාරිය පුරාම හිටපු ක්‍රිස්තියානීන්ට සාමකාමී කාලයක් උදා වුණා. සභාව දිගටම ශක්තිමත් වුණා. මොකද හැමෝම යෙහෝවා ගැන ගරුබියක් ඇතුව වැඩ කරලා දෙවියන්ගේ බලයෙන් ලොකු සැනසීමක් ලැබුවා. එයාලාගේ ගාණත් එන්න එන්නම වැඩි වුණා.”

17 තවත් අවස්ථාවක නිර්භීත ක්‍රිස්තියානීන් පිරිසක් සිරියාවේ අන්තියෝකියට ඇවිත් එහේ හිටිය යුදෙව්වන්ට විතරක් නෙවෙයි ග්‍රීක භාෂාව කතා කරපු ජනතාවටත් ශුභාරංචිය කිව්වා. “යෙහෝවා එයාලට උදව් කරපු නිසා හුඟදෙනෙක් ස්වාමීන් ගැන විශ්වාසයක් ඇති කරගෙන ඔහුගේ අනුගාමිකයෝ වුණා” කියලා වාර්තාවේ කියනවා. (ක්‍රියා 11:21) දෙවියන් ඔවුන්ගේ උත්සාහයට දිගටම ආශීර්වාද කළා කියලා වාර්තාවේ සඳහන් මේ දෙයිනුත් පැහැදිලියි. “යෙහෝවා දෙවියන්ගේ පණිවිඩය හැමෝම අතරේ දිගටම පැතිරිලා අනුගාමිකයන්ගේ ගාණ තව තවත් වැඩි වුණා.” (ක්‍රියා 12:24) පාවුල් හා අනිත් ක්‍රිස්තියානීන් වෙනත් ජාතීන්ට අයිති ජනයාට දේවරාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දැරීමේ ප්‍රතිඵලයක් විදිහට “දෙවියන්ගේ පණිවිඩය හැමෝම අතරේ පැතිරිලා ගිහින් එයාලාගේ ජීවිතවල ලොකු වෙනසක් ඇති කළා. ඒක පැතිරෙන එක නවත්තන්න කාටවත් බැරි වුණා.”—ක්‍රියා 19:20.

18, 19. (අ) යෙහෝවාගේ උදව් ලැබෙනවා කියලා අපට නිසැක වෙන්න පුළුවන් ඇයි? (ආ) දෙවියන් තම සෙනඟට උදව් කරනවා කියලා පෙන්වන අද්දැකීමක් කියන්න.

18 හුඟක් අය අපේ පණිවිඩය පිළි අරන් දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට ජීවත් වෙන්න දෙවියන්ට පොරොන්දු වෙනවා. ඔවුන් ඒ කැපවීම බව්තීස්මයෙන් සංකේතවත් කරන්න කැමති වෙනවා. ඒකෙන් පේන්නේ ශුභාරංචිය දේශනා කරන්න යෙහෝවා අපටත් උදව් කරනවා කියලා. පාවුල් හා පළවෙනි සියවසේ හිටිය අනිත් ක්‍රිස්තියානීන් වගේ විරුද්ධවාදිකම් හා දරුණු පීඩා විඳදරාගෙන අපේ කාර්යය දිගටම කරගෙන යන්න අපට හැකි වෙලා තියෙන්නෙත් දෙවියන්ගේ උදව් අපට ලැබෙන නිසයි. (ක්‍රියා 14:19-21) අපට යෙහෝවාගේ උදව් හැමදාටම ලැබෙනවා කියලා ස්ථීරයි. අපට මොන පීඩාවන්ට මුහුණ දෙන්න වුණත් ඔහු අපිව ‘සදහටම තියෙන ඔහුගේ අත් දෙකෙන් උසුලයි.’ (ද්වි. 33:27) යෙහෝවා ඔහුගේ ශ්‍රේෂ්ඨ නම අගෞරවයට පත් වෙන්න කවදාවත් ඉඩහරින්නේ නැහැ. ඒ නිසා ඔහු ඔහුගේ සෙනඟව කවදාවත් අත්හරින්නේ නැහැ කියන දේ අපි කිසිම වෙලාවක අමතක නොකරමු.—1 සාමු. 12:22; ගීතා. 94:14.

19 සහෝදර හැරල්ඩ් ආප්ට් හා ඔහුගේ භාර්යාව දෙවියන් තම සෙනඟට ලබා දෙන උපකාරය පෞද්ගලිකව අද්දැක්ක යුවළක්. සහෝදර හැරල්ඩ් දිගින් දිගටම ශුභාරංචිය ගැන සාක්ෂි දරපු නිසා නාට්සි හමුදාව ඔහුව අත්අඩංගුවට අරන් සාක්සන්හවුසන් කියන ගාල් කඳවුරට යැව්වා. ඒක වුණේ දෙවෙනි ලෝක මහා යුද්ධය තිබුණ කාලයෙයි. 1942 මැයි මාසයේදී නාට්සි රහස් පොලිසිය ඔහුගේ භාර්යාව වන එල්සිවත් අත්අඩංගුවට අරන් ඔවුන්ගේ කුඩා දියණියව ඇගෙන් වෙන් කළා. ඔවුන් සහෝදරි එල්සිව කඳවුරෙන් කඳවුරට මාරු කළා. කඳවුරුවල ගත කරපු කාලය මතක් කරමින් ඇය මෙහෙම කිව්වා. “අපි දරුණු පීඩාවක් අද්දකින කොට ඒක විඳදරාගන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා පුදුම විදිහට අපට ලබා දෙනවා. ඒක මම ජර්මනියේ ගාල් කඳවුරේ ගත කරපු අවුරුදු කිහිපයේදී ඉගෙනගත්තා. මාව අත්අඩංගුවට ගන්න ඉස්සෙල්ලා එක සහෝදරියක් ලියපු ලියුමක් මම කියෙව්වා. අපි දරුණු පීඩාවක් අද්දකින කොට දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් අපි තුළ සාමකාමී හැඟීමක් ඇති කරනවා කියලා ඒ ලියුමේ ඇය කියලා තිබුණා. ඒ ලියුම කියවද්දී මට හිතුණේ ඒ සහෝදරිය සමහර දේවල් ඕනෑවට වැඩිය ලොකු කරලා පෙන්නනවා කියලයි. ඒත් පීඩාවන් මම පෞද්ගලිකව අද්දකින කොට ඒ සහෝදරිය කියපු දේවල් කොච්චර ඇත්තද කියලා මට තේරුණා. දෙවියන් ලබා දෙන සමාදානය ඔබ පෞද්ගලිකව අද්දැකලා නැත්නම් ඒක මොන වගේද කියලා හිතාගන්න ටිකක් අමාරුයි තමයි. හැබැයි මම ඇත්තටම ඒ පුදුමාකාර සමාදානය අද්දැක්කා.”

දිගටම දේවරාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දරන්න!

20. නිවාස අඩස්සියේ ඉද්දී පාවුල් කළේ මොකක්ද? සමහර සහෝදර සහෝදරියන්ට ඔහුගේ අද්දැකීම දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

20 ක්‍රියා පොත අවසන් වන්නේ පාවුල් “ලොකු උද්‍යෝගයකින් දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කළා” කියලා සඳහන් කරමිනුයි. (ක්‍රියා 28:31) රෝමයේ ඔහු හිටියේ නිවාස අඩස්සියේ නිසා ගෙයින් ගෙට ගිහින් ශුභාරංචිය දේශනා කරන්න ඔහුට බැරි වුණා. නමුත් ඔහුව හමු වෙන්න ආපු හැමෝටම ඔහු දේශනා කළා. අදත් මහලු වයස නිසා, ආබාධිත තත්වයක් නිසා, අසනීපයක් නිසා අපේ සමහර සහෝදර සහෝදරියන්ට තම නිවෙස්වලින් නැත්නම් නතර වෙලා ඉන්න රෝහලෙන් පිටතට යන්න බැහැ. තවත් සමහර අය තමන් ඉන්න අසනීප තත්වය නිසා ඇඳකට කොටු වෙලා ඉන්නවා. නමුත් දෙවියන් ගැන ඔවුන්ට තියෙන ආදරයවත් දෙවියන් ගැන සාක්ෂි දරන්න ඔවුන්ට තියෙන උද්‍යෝගයවත් කිසිම විදිහකින් අඩු වෙලා නැහැ. එහෙමනම් දෙවියන් ගැන දැනගන්න ආශාවක් තියෙන මිනිසුන්ව හමු වෙන්න ඒ වගේ අයට අවස්ථාවක් ලබා දෙන්න කියලා ඔවුන් වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන එක යහපත් දෙයක් නෙවෙයිද?

21. කල් නොදමා ශුභාරංචිය දේශනා කරන්න ඕනෙ ඇයි?

21 ඒ වුණත් අපෙන් හුඟදෙනෙක්ට ගෙයින් ගෙට සේවයේ හා ශුභාරංචිය දේශනා කරන වෙනත් අංගවල සහභාගි වෙන්න හැකිකම තිබෙනවා. එහෙමනම් “පොළොවේ දුර ඈත ප්‍රදේශවලත්” දේවරාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දෙන්න අපට කළ හැකි උපරිමය කරමු. ඒක කල් දාන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. මොකද අප ජීවත් වන්නේ ක්‍රිස්තුස් පැමිණෙන කාලයේ කියලා පෙන්වන “ලකුණ” පැහැදිලිව දකින්න තියෙනවා. (මතෙ. 24:3-14) ඒ නිසා කාලය නාස්ති නොකර ‘ස්වාමීන් වෙනුවෙන් මහන්සි වෙලා සේවය කරන’ එක කොයි තරම් වැදගත්ද!—1 කොරි. 15:58.

22. දෙවියන්ගේ දවස එන කල් අපි අදිටන් කරගන්න ඕනෙ මොනවා කරන්නද?

22 “ගරුබිය ඇති කරවන යෙහෝවාගේ මහත් දවස” එන කල් බලන් ඉන්න අතරේ දේවරාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක් දෙන්න අපි අදිටන් කරගමු. (යෝවෙ. 2:31) අප නිර්භීතව හා විශ්වාසවන්තව ඒ සේවයේ හවුල් වෙනවා නම් “හරිම උනන්දුවෙන්” දෙවියන්ගේ පණිවිඩය පිළිගත්ත බෙරීය නගරයේ වැසියන් වගේ හුඟදෙනෙක්ව හොයාගන්න අපටත් හැකි වන බව නිසැකයි. (ක්‍රියා 17:10, 11) එහෙනම් “මට ඔයා ගැන ගොඩක් සතුටුයි! ඔයා හොඳ, විශ්වාසවන්ත දාසයෙක්” කියලා අපේ ස්වාමියා අපිට කියන කල් අත් නෑර ශුභාරංචිය දේශනා කරමු. (මතෙ. 25:23) අප ඒ කාර්යයේ උද්‍යෝගයෙන් හවුල් වෙමින් හැමදාටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා නම් දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙන්න අපට ලැබුණු වරප්‍රසාදය ගැන සදහටම සතුටු වෙන්න අපට පුළුවන්!