24වෙනි පරිච්ඡේදය
“හිතට ධෛර්යය ගන්න!”
පාවුල්ව මරන්න කළ කුමන්ත්‍රණය අසාර්ථක වෙයි. ඔහු ආණ්ඩුකාර ෆීලික්ස් ඉදිරියේ කතා කරයි
1, 2. යෙරුසලමේදී මුහුණ දෙන පීඩා ගැන පාවුල් පුදුම නොවුණේ ඇයි?
පාවුල් දැන් නැවතත් ඉන්නේ සිරභාරයේ. ඔහුගේ ජීවිතය අනූනවයෙන් බේරුණා කියලා කියන්න පුළුවන්. යෙරුසලමේදී ඔහුට මුහුණ දෙන්න වුණ විරුද්ධවාදිකම් ගැන ඔහු පුදුම වන්නේ නැහැ. මොකද මේ නුවරේදී ඔහුව “හිරේට දානවා” හා ඔහුට “පීඩා විඳින්න වෙනවා” කියලා කලින්ම කියලා තිබුණා. (ක්‍රියා 20:22, 23) තමාට මොනා වෙයිද කියා පාවුල් හරියටම නොදැන සිටියත් යේසුස්ගේ නම නිසා තමන්ට දිගටම පීඩා විඳින්න සිදු වන බව නම් ඔහු දැන සිටියා.—ක්‍රියා 9:16.
2 පාවුල්ව “බැඳලා වෙනත් ජාතීන්ට භාර දෙයි” කියලා පාවුල්ගේ කාලයේ සිටි සමහර ක්‍රිස්තියානීන් දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ඔහුට අනතුරු අඟවලා තිබුණා. (ක්‍රියා 21:4, 10, 11) ඒ දේ ඉටු වෙමින් තිබුණා. ඔහුව මරා දැමීමට යුදෙව්වන් පිරිසක් උත්සාහ කළා. ඊටපස්සේ පාවුල් මන්ත්‍රණ සභාව ඉදිරියේ කියපු දේ නිසා ලොකු ආරවුලක් ඇති වුණා. ඒ ආරවුල කොතරම් දරුණු අතට හැරුණාද කියනවා නම් ‘සෙනඟ අතරට ගිහින් පාවුල්ව බේරගන්න’ හේවායන්ට සිද්ධ වුණා. දැන් ඔහු ඉන්නේ රෝම හේවායන් යටතේ සිරභාරයෙයි. ඉදිරියේදී ඔහුට තවත් නඩුවලට හා බොරු චෝදනාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. (ක්‍රියා 21:31; 23:10) මේ අවස්ථාවේ පාවුල්ට යම් දිරිගැන්වීමක් ලබන්න පුළුවන් නම් ඒක ඔහුට මොන තරම් ශක්තියක් වෙයිද!
3. දේශනා සේවය දිගටම කරගෙන යන්න අපිට දිරිගැන්වීම් ලැබෙන්නේ කොහොමද?
3 අන්තිම දවස්වල “ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයෙක් විදිහට දෙවියන් ගැන ලොකු භක්තියක් ඇතුව ජීවත් වෙන්න උත්සාහ කරන හැම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම පීඩා, විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙනවා” කියලා අප හොඳින් දන්නවා. (2 තිමෝ. 3:12) ඒ නිසා අප කරන දේශනා සේවය අත් නෑර දිගටම කරගෙන යන්න අපටත් විටින් විට දිරිගැන්වීම් අවශ්‍යයි. සඟරා පොත් පත් හා රැස්වීම් මගින් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” අපට නියම වෙලාවට ලබා දෙන දිරිගන්වනසුලු තොරතුරු අපට කොතරම් වැදගත්ද! (මතෙ. 24:45) දේශනා සේවය කඩාකප්පල් කරන්න උත්සාහ කරන කිසිම කෙනෙක් සාර්ථක නොවන බව යෙහෝවා පැහැදිලිවම කියනවා. දෙවියන්ගේ සෙනඟව සම්පූර්ණයෙන්ම මේ පොළොවෙන් නැති කිරීමටවත් දේශනා සේවය නතර කිරීමටවත් සතුරන්ට නොහැකි බව ස්ථිරයි. (යෙසා. 54:17; යෙරෙ. 1:19) දෙවියන් දීලා තියෙන ඒ වගේ පොරොන්දු අපට ලොකු දිරිගැන්වීමක්! නමුත් පාවුල්ට වුණේ මොනවාද? විරුද්ධවාදිකම්වලට මුහුණ දෙමින් සිටි ඔහුට දිගටම දෙවියන්ගේ රාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දෙන්න අවශ්‍ය දිරිගැන්වීම් ලැබුණාද? ඔහුට ඒක ලැබුණේ කොහොමද? ඔහු ඒකට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?
“කුමන්ත්‍රණයට හවුල් වෙලා දිවුරපු” අය අසාර්ථක වෙයි (ක්‍රියා 23:11-34)
4, 5. පාවුල්ව දිරිගැන්නුවේ කවුද? ඒ කොහොමද? ඒක නියම වෙලාවට ලැබුණා කියලා කියන්න පුළුවන් ඇයි?
4 පාවුල්ට අවශ්‍ය දිරිගැන්වීම් ලැබුණා. “එදා රෑ ස්වාමීන් පාවුල්ට දර්ශනය වෙලා ‘හිතට ධෛර්යය ගන්න! මොකද ඔයා යෙරුසලමේදී මං ගැන හොඳ සාක්ෂියක් දුන්නා වගේ රෝමයේදීත් මං ගැන හොඳ සාක්ෂියක් දෙනවා’ කියලා කිව්වා.” (ක්‍රියා 23:11) යේසුස් කියපු ඒ වචන ඔහුට මොන තරම් දිරිගැන්වීමක් වන්න ඇද්ද! යෙරුසලමේදී ඔහුට කොතරම් පීඩා ආවත් ඔහුගේ ජීවිතයට හානියක් නොවන බව ස්ථිරයි. මොකද යේසුස් ඔහුට කිව්වේ ඔහු රෝමයේදීත් යේසුස් ගැන සාක්ෂි දරන බවයි.
5 පාවුල්ට ලැබුණු දිරිගැන්වීම් නියම වෙලාවේදී ලැබුණා. මොකද ඊළඟ දවසේදී යුදෙව්වන් 40දෙනෙක්ටත් වඩා වැඩි පිරිසක් “එකතු වෙලා පාවුල්ට විරුද්ධව කුමන්ත්‍රණය කළා. එයාලා දිවුරලා කිව්වා පාවුල්ව මරලා දාන කල් එයාලා නොකා නොබී ඉන්නවා කියලා. එයාලා එහෙම කළේ නැත්නම් එයාලට ශාප වෙන්න ඕනෙ කියලත් කිව්වා.” ඒ යුදෙව්වන් කුමන්ත්‍රණය කළාට පස්සේ දිවුරපු එකෙන් පැහැදිලි වෙනවා පාවුල්ව මරලා දාන්න ඔවුන් අරන් තිබුණ අධිෂ්ඨානය කොයි තරම් ප්‍රබලද කියලා. මොන යම් හේතුවක් නිසා ඔහුව මරන්න බැරි වුණොත් ඔවුන් පිටට ශාපයක් එයි කියලත් ඔවුන් හිතුවා. (ක්‍රියා 23:12-15) නායක පූජකයන්ගේ හා වැඩිමහල්ලන්ගේ අනුදැනුම ඇතුව ඔවුන් හරිම කූට විදිහට සැලසුම් කළේ තොරතුරු වඩාත් නිවැරදිව දැනගැනීම සඳහා පාවුල්ව තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍යයි කියලා ඔහුව මන්ත්‍රණ සභාවට නැවත ගෙන්වගන්නයි. ඔවුන් කළේ බොරුවක්. ඔහු මන්ත්‍රණ සභාවට එන අතරතුරේදී පිරිසක් මඟ රැක සිට ඔහුට පහර දීලා ඔහුව මරලා දාන්න සැලසුම් කළා.
6. තමන්ව මරන්න යොදපු කුමන්ත්‍රණය ගැන පාවුල්ට ආරංචි වුණේ කොහොමද? යෞවන යෞවනියන්ට ඒ තරුණයාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
6 යුදෙව්වන් කරපු ඒ කුමන්ත්‍රණය ගැන පාවුල්ගේ සහෝදරියගේ පුතාට ආරංචි වුණාම ඔහු පාවුල් ළඟට ගිහින් ඒ ගැන දැනුම් දුන්නා. පාවුල් ඒ තරුණයා මාර්ගයෙන් හමුදාපති වුණ ක්ලෝදියස් ලිසියස්ට ඒ ගැන දැන්වුවා. (ක්‍රියා 23:16-22) ඒ තරුණයා වගේ අද ඉන්න යෞවන යෞවනියනුත් තමන් ගැන හිතන්නේ නැතුව සහෝදර සහෝදරියන්ගේ යහපත වෙනුවෙන් නිර්භීතව ක්‍රියා කරනවා. ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් හැම දේම ඔවුන් විශ්වාසවන්තව කරනවා. ඔවුන් යෙහෝවා දෙවියන්ගේ ආදරේ නොමදව අද්දකින බවට කිසිම සැකයක් නැහැ.
7, 8. පාවුල්ව ආරක්ෂා කරන්න ක්ලෝදියස් ලිසියස් කළේ මොනවාද?
7 කුමන්ත්‍රණය ගැන දැනගන්න ලැබුණු ගමන්ම හමුදාපති, පාවුල්ව එදා රෑම යෙරුසලමේ සිට සිසේරියට ආරක්ෂිතව අරන් යන්න සැලසුම් කළා. ඔහු යටතේ මිනිසුන් 1,000ක් සේවය කළ නිසා පාවුල්ව ආරක්ෂා සහිතව සිසේරියට අරන් යන්න 470දෙනෙක්ගෙන් යුත් හමුදා කණ්ඩායමක් ඔහු සූදානම් කළා. ඒ කණ්ඩායමට හේවායන්, හෙල්ල අතැති අය හා අසරුවන් ඇතුළත් වුණා. පාවුල්ව සිසේරියට අරන් ගිහින් ආණ්ඩුකාර ෆීලික්ස්ට භාර දෙන්න කියා හමුදාපති ඔවුන්ට අණ කළා. a රෝමවරුන් යූදා පළාත පාලනය කළේ සිසේරියේ ඉඳන්. යූදා පළාතේ හමුදා මූලස්ථානය තිබුණෙත් ඒ නගරයේ. එහේ යුදෙව්වන් සෑහෙන පිරිසක් ජීවත් වුණත් වැඩිපුර හිටියේ යුදෙව් නොවන අයයි. ඒ නිසා සිසේරියේ යම් දුරකට සාමකාමී වාතාවරණයක් තිබුණා. ඊට වෙනස්ව යුදෙව් ආගමික උන්මත්තකයන් වැඩිදෙනෙක් ජීවත් වුණ යෙරුසලමේ නිතරම කෝලහල ඇති වුණා. හමුදාපති පාවුල්ව සිසේරියට අරන් යන්න තීරණය කළේ ඒ හේතු නිසා විය හැකියි.
8 ඔහු පාවුල් ගැන විස්තර ඇතුළත් ලිපියකුත් ෆීලික්ස්ට යැව්වා. රෝම නීතියට අනුව එහෙම කරන එක අනිවාර්ය දෙයක්. පාවුල් රෝම පුරවැසියෙක් බව තමා දැනගත්තාම ඔහුව ‘අල්ලගෙන මරලා දාන්න හදපු’ යුදෙව්වන්ගෙන් ඔහුව බේරගත්තා කියලා ලිසියස් ඒ ලිපියේ සඳහන් කළා. “මරණ දඬුවම හරි සිරදඬුවම හරි ලබන්න තරම් කිසි වරදක් [පාවුල්] කරලා නැහැ” කියලත් ඔහුව ආණ්ඩුකාරයා ළඟට එව්වේ යුදෙව්වන් පාවුල්ව මරා දැමීමට කුමන්ත්‍රණය කළ නිසා කියලත් ඔහු සඳහන් කළා. ඒ, පාවුල්ට චෝදනා කරපු අය කියන දේ අහලා පාවුල් ගැන තීරණයක් ගන්න ආණ්ඩුකාර ෆීලික්ස්ට අවස්ථාවක් දෙන්නයි කියලත් ඔහු සඳහන් කළා.—ක්‍රියා 23:25-30.
9. (අ) රෝම පුරවැසියෙක් වුණ පාවුල්ගේ අයිතිවාසිකම් උල්ලංගනය කරලා තිබුණේ කොහොමද? (ආ) අපිට අපේ රටේ තියෙන අයිතිවාසිකම් ප්‍රයෝජනයට ගන්න වෙන්නේ මොන හේතු නිසාද?
9 ලිසියස් යවපු ලිපියේ සඳහන් හැම දෙයක්ම සත්‍ය තොරතුරු කියලා කියන්න බැහැ. පේන විදිහට ඔහු ඒ ලිපිය සකස් කළේ තමාට හොඳ නමක් දිනාගන්නයි. ඇත්තටම ඔහු පාවුල්ව යුදෙව්වන්ගේ අතින් බේරගත්තේ පාවුල් රෝම පුරවැසියෙක් කියලා දැනගත්ත නිසා නෙවෙයි. ඒ වගේම තමා පාවුල්ව ‘දම්වැල් දෙකකින් බඳින්න අණ කළා’ කියලවත් ‘එයාට කසයෙන් ගහලා එයාගෙන් ප්‍රශ්න කරන්න කිව්වා’ කියලවත් ඔහු ඒ ලිපියේ සඳහන් කළේ නැහැ. (ක්‍රියා 21:30-34; 22:24-29) ඔහු ඇත්තටම වැඩ කළේ රෝම පුරවැසියෙක් වුණ පාවුල්ගේ අයිතිවාසිකම් උල්ලංගනය වෙන විදිහට. සාතන් අදත් දෙවියන්ගේ සේවකයන්ට විරුද්ධව දරුණු විදිහට වැඩ කරන්න ආගමික උන්මත්තකයන්ව යොදාගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දෙවියන්ට නමස්කාර කරන්න අපට තිබෙන අයිතිය උල්ලංගනය වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ වගේ අවස්ථාවලදී පාවුල් වගේ අපටත් පුළුවන් අපට තිබෙන අයිතිවාසිකම් ප්‍රයෝජනයට අරන් රටේ පවතින නීතියේ උපකාරය පතන්න.
“ලොකු විශ්වාසයකින් මගේ පැත්තෙන් තොරතුරු ඉදිරිපත් කරන්න මට පුළුවන්” (ක්‍රියා 23:35–24:21)
10. පාවුල්ට විරුද්ධව කරපු බරපතළ චෝදනා මොනවාද?
10 සිසේරියට අරන් ආපු පාවුල්ව “හෙරොද්ගේ මාලිගාවේ ආරක්ෂාව යටතේ රඳවලා තියන්න” ආණ්ඩුකාරයා තීරණය කළා. ඒ, පාවුල්ට විරුද්ධව චෝදනා කරපු අය යෙරුසලමේ සිට එන කල් නඩුව විභාග කරන්න බැරි වුණ නිසයි. (ක්‍රියා 23:35) දවස් පහකට පස්සේ උත්තම පූජක අනනියස්, ටෙර්ටුලස් කියන නීතිඥයා සහ වැඩිමහල්ලන් කිහිපදෙනෙක් ආණ්ඩුකාරයා ඉදිරියට ආවා. ආණ්ඩුකාර ෆීලික්ස් යුදෙව්වන්ගේ යහපත වෙනුවෙන් කරන දේවල් ගැන ටෙර්ටුලස් මුලින්ම කියලා ඔහුව ප්‍රශංසා කළා. පේන විදිහට ඔහු මුලින්ම එහෙම කළේ ආණ්ඩුකාර ෆීලික්ස්ව ඔවුන්ගේ පැත්තට නම්මගන්න අරමුණිනුයි. b ඊටපස්සේ ඔහු පාවුල්ට විරුද්ධව තියෙන චෝදනා ඉදිරිපත් කරලා මෙහෙම කිව්වා. “මේ මිනිහා මහ කරදරකාරයෙක්! එයා ලෝකේ පුරාම ඉන්න යුදෙව්වරුන්ව අවුස්සලා කැරලිගහන්න එයාලව පොලඹවනවා. එයා නාසරෙත්වලින් බිහි වුණ නිකායේ ප්‍රධාන නායකයෙක්. එයා දේවමාලිගාව අපවිත්‍ර කරන්නත් හැදුවා. ඒකයි අපි එයාව අත්අඩංගුවට ගත්තේ.” ඊටපස්සේ “එතන හිටපු අනිත් යුදෙව්වරුත් ඒ චෝදනා ඇත්තයි කියකිය පාවුල්ට විරුද්ධව කතා කරන්න පටන්ගත්තා.” (ක්‍රියා 24:5, 6, 9) ඔවුන් පාවුල්ට විරුද්ධව ඉදිරිපත් කළේ හරිම බරපතළ චෝදනා. පාවුල් නිකායක නායකයෙක් කියලත් ඔහු මිනිසුන්ව කැරලිගහන්න අවුස්සන, දේවමාලිගාව අපවිත්‍ර කරන කෙනෙක් කියලත් ඔවුන් චෝදනා කළා. ඒ කාලයේ ඒ වගේ කෙනෙක්ට ලැබෙන දඬුවම මරණයයි.
11, 12. තමන්ට විරුද්ධව එල්ල කරපු චෝදනා බොරු කියලා පාවුල් පෙන්නුවේ කොහොමද?
11 ඊටපස්සේ ආණ්ඩුකාරයා පාවුල්ට කතා කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වෙලාවේ පාවුල් “ලොකු විශ්වාසයකින් මගේ පැත්තෙන් තොරතුරු ඉදිරිපත් කරන්න මට පුළුවන්” කියලා තම කතාව පටන්ගත්තා. තමාට විරුද්ධව ඉදිරිපත් කරපු චෝදනා බොරු බව ඔහු තරයේ කිව්වා. ඔහු කිව්වේ තමා දේවමාලිගාව අපවිත්‍ර කළේවත් ආණ්ඩුවට විරුද්ධව කැරලිගහන්න මිනිසුන්ව පෙලඹුවේවත් නැහැ කියලයි. තමා යෙරුසලමට ආවේ “අවුරුදු ගාණකට පස්සේ” කියලත් ඔහු ආවේ සාගතය හා විවිධ පීඩා නිසා අගහිඟකම්වලින් පෙළුණු ක්‍රිස්තියානීන්ට “සහනාධාර දෙන්න” කියලත් ඔහු පැහැදිලි කළා. තමා දේවමාලිගාවට ඇතුල් වෙන්න කලින් ‘නීතියට අනුව පවිත්‍ර වෙලා හිටිය’ බවත් “කිසි වරදක් නොකර දෙවියන් ඉස්සරහත් මිනිස්සු ඉස්සරහත් නිදොස් හෘද සාක්ෂියක් ඇතුව ඉන්න” තමා නිතරම උත්සාහ කරන බවත් ඔහු කිව්වා.—ක්‍රියා 24:10-13, 16-18.
12 නමුත් යුදෙව්වන් “‘නිකායක්’ විදිහට හඳුන්වන කණ්ඩායමේ” තමා සාමාජිකයෙක් කියන එක නම් පාවුල් පිළිගත්තා. ඒ වගේම තම මුතුන්මිත්තන්ගේ දෙවියන්ට තමන් නමස්කාර කරන්නේ ඒකේ ඉගැන්වීම්වලට එකඟවයි කියලත් ඔහු කිව්වා. තමා “නීතියේ තියෙන සහ අනාගතවක්තෘවරුන් ලියලා තියෙන හැම දෙයක්ම විශ්වාස කරන” බවත් තමන්ට චෝදනා කරපු අය වගේ තමනුත් ‘ධර්මිෂ්ඨ අයවත් අධර්මිෂ්ඨ අයවත් මරණයෙන් නැවත නැඟිට්ටවනවා’ කියලා විශ්වාස කරන බවත් ඔහු කිව්වා. ඊටපස්සේ පාවුල් මෙහෙම කිව්වා. “මන්ත්‍රණ සභාව මාව විනිශ්චය කරපු වෙලාවේදී මාව වරදකරුවෙක් කියලා ඔප්පු වුණාද කියලා මෙතන ඉන්න අයගෙන්ම අහන්න පුළුවන්. මම එයාලා අතරේ ඉද්දී ‘අද මාව විනිශ්චය කරන්නේ මං නැවත නැඟිටීම ගැන විශ්වාස කරන නිසයි’ කියලා කෑගහලා කිව්වා. එයාලට මට විරුද්ධව කියන්න පුළුවන් එකම දේ ඒක විතරයි.” (ක්‍රියා 24:14, 15, 20, 21) ඔහුට විරුද්ධව එල්ල කර තිබෙන චෝදනා ආණ්ඩුකාරයා ඉදිරියේ ඔප්පු කර පෙන්වන්න කියලයි ඔහු කිව්වේ.
13-15. බලධාරීන්ට සාක්ෂි දැරීම සම්බන්ධයෙන් පාවුල් කදිම ආදර්ශයක් කියන්නේ ඇයි?
13 අප ආරවුල්, භේද ඇති කරන අය කියලා හෝ ආණ්ඩුවට විරුද්ධව කැරලිගහන අය කියලා හෝ භයානක නිකායක සාමාජිකයන් කියලා හෝ අද අපට විරුද්ධවත් බොරු චෝදනා එල්ල විය හැකියි. ඒ වගේ බොරු චෝදනා නිසා හෝ අපේ විශ්වාසයන් නිසා අපවත් බලධාරීන් ඉදිරියට අරන් යන්න ඉඩ තිබෙනවා. ඒ වගේ අවස්ථාවකදී වැඩ කරන්න ඕනෙ විදිහ ගැන පාවුල් අපට කදිම ආදර්ශයක්. ඔහු ආණ්ඩුකාර ෆීලික්ස්ගේ අනුමැතිය දිනාගැනීමේ අරමුණින් ඔහුව බොරුවට ප්‍රශංසා කළේ නැහැ. ඔහු කේන්ති අරන් අගෞරවනීය විදිහට කතා කළෙත් නැහැ. ඒ වෙනුවට ඔහු ඥානවන්තව හා පැහැදිලිව තමා නිර්දෝෂ බව ඔප්පු කිරීමට නිවැරදි තොරතුරු ඉදිරිපත් කළා. උදාහරණයකට තමා දේවමාලිගාව අපවිත්‍ර කළ බවට චෝදනා කරපු අයම ඒ කියන්නේ “ආසියා පළාතෙන් ආපු යුදෙව්වන් පිරිස” එතනට ඇවිත් නැහැ කියා ඔහු පෙන්නුම් කළා. ඔවුන් ආණ්ඩුකාරයා ඉදිරියට ඇවිත් තමාට විරුද්ධව තිබෙන චෝදනා ඉදිරිපත් කළ යුතු බවත් තමන් නිර්දෝෂයි කියා ඔවුන්ට ඔප්පු කරන්න තමාට අවස්ථාව ලැබිය යුතු බවත් ඔහු කිව්වා.—ක්‍රියා 24:18, 19.
14 පාවුල් තම විශ්වාසයන් ගැන සාක්ෂි දරන්න අදිමදි කළේ නැහැ. අපට පාවුල්ගෙන් ඉගෙනගන්න පුළුවන් වැදගත්ම දේ ඒකයි. ඔහු ඉතා නිර්භීතව තමා නැවත නැඟිටීම විශ්වාස කරන බව කිව්වා. මන්ත්‍රණ සභාව ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේදී ඔවුන් අතරේ ලොකු ආරවුලක් ඇති වෙන්න හේතුව වුණෙත් ඒකමයි. ටිකක් හිතන්න. ඒ කාරණයම නැවත කියන්න ඔහුට මොන තරම් නිර්භීතකමක් අවශ්‍ය වෙන්න ඇද්ද! (ක්‍රියා 23:6-10) ඔහුගේ පැත්තෙන් තොරතුරු ඉදිරිපත් කරද්දී නැවත නැඟිටීම ගැන පාවුල් කිහිප අවස්ථාවකදීම කිව්වේ ඇයි? පාවුල් සාක්ෂි දැරුවේ යේසුස් ගැන හා යේසුස්ව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වා කියන කාරණය ගැනයි. (ක්‍රියා 26:6-8, 22, 23) නමුත් ඔහුගේ විරුද්ධවාදීන් යේසුස් ගැනවත් ඔහුගේ නැවත නැඟිටීම ගැනවත් විශ්වාස කළේ නැහැ. ඔවුන් පාවුල්ට විරුද්ධව දේවල් කරපු මූලික හේතුවත් ඒකයි.
15 පාවුල් වගේ අපටත් අපේ විශ්වාසයන් ගැන නිර්භීතව සාක්ෂි දරන්න පුළුවන්. මොකද යේසුස් අපට මේ පොරොන්දුව දීලා තියෙනවා. “මිනිස්සු ඔයාලව බලධාරීන්ගේ අතට භාර දෙන්න අරන් යද්දී කියන්නේ මොනවාද කියලා හිතලා කරදර වෙන්න එපා. ඔයාලා කියන්න ඕනෙ මොනවාද කියලා ඒ වෙලාවේදී ඔයාලට දැනගන්න ලැබෙයි. මොකද ඇත්තටම කතා කරන්නේ ඔයාලා නෙමෙයි. ඔයාලා කතා කරන්නේ දෙවියන්ගේ බලයේ උදව්වෙන්.” යේසුස් තවදුරටත් කිව්වේ මෙහෙමයි. “ඔයාලා මගේ අනුගාමිකයන් නිසා හැමෝම ඔයාලට වෛර කරයි. ඒත් අවසානය වෙන කල්ම විඳදරාගෙන විශ්වාසවන්තව ඉන්න කෙනා ගැලවෙනවා.” අත් නෑර සාක්ෂි දරන්න ඒක අපට ලොකු දිරිගැන්වීමක්.—මාක් 13:9-13.
“ෆීලික්ස් බය වුණා” (ක්‍රියා 24:22-27)
16, 17. (අ) පාවුල්ට විරුද්ධව තිබුණ නඩුව ෆීලික්ස් හැසිරුවේ කොහොමද? (ආ) ෆීලික්ස් බය වුණේ ඇයි? ඔහු කිහිප වතාවක්ම පාවුල්ව කැඳවලා කතාබහ කළේ ඇයි?
16 පේන විදිහට යේසුස්ගේ අනුගාමිකයන්ගේ විශ්වාසයන් ගැන ආණ්ඩුකාර ෆීලික්ස්ට අහන්න ලැබුණු මුල්ම අවස්ථාව ඒක නෙවෙයි. මොකද වාර්තාවේ මෙහෙම සඳහන් වෙනවා. “ඒත් ‘ස්වාමීන්ගේ මාර්ගය’ ගැන හොඳ අවබෝධයක් තිබුණ ෆීලික්ස් නඩුව කල් දාලා ‘හමුදාපති ලිසියස් ආවාම මේ කාරණය ගැන මම තීන්දුවක් දෙන්නම්’ කියලා කිව්වා. ඒ වගේම පාවුල්ව හිරේට දැම්මත් එයාට තරමක නිදහසක් දෙන්න කියලත් එයාගේ යාළුවන්ට ඇවිත් එයාට උදව් කරන්න ඉඩ දෙන්න කියලත් ෆීලික්ස් හමුදා නිලධාරියාට අණ කළා.”—ක්‍රියා 24:22, 23.
17 දවස් කිහිපයකට පස්සේ ආණ්ඩුකාර ෆීලික්ස් හා ඔහුගේ යුදෙව් ජාතික භාර්යාව වුණ දෘසිලා පාවුල්ව කැඳවලා “ක්‍රිස්තුස් යේසුස් ගැන විශ්වාසයක් ඇති කරගන්න නම් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද කියන එක ගැන පාවුල් කියපු දේවල්වලට ඇහුම්කන් දුන්නා.” (ක්‍රියා 24:24) නමුත් පාවුල් “ධර්මිෂ්ඨකම, තමන්ව පාලනය කරගන්න එක සහ ඉස්සරහට එන විනිශ්චය ගැන කතා කරද්දී ෆීලික්ස් බය වුණා.” ඔහු හරිම දුෂ්ට ජීවිතයක් ගත කරපු නිසා සමහරවිට ඒ දේවලට සවන් දෙද්දී ඔහුගේ හෘදය සාක්ෂිය වධ දෙන්න ඇති. ඒ නිසා ඔහු “දැන් ඔයා යන්න. මට ආයෙත් අවස්ථාවක් හම්බ වුණාම ඔයාට එන්න කියලා මම දන්වන්නම්” කියලා පාවුල්ට කිව්වා. ඊටපස්සේ ඔහු පාවුල්ව කිහිප වතාවක්ම කැඳවලා පාවුල් එක්ක කතාබහ කළා. නමුත් ඔහු එහෙම කළේ සත්‍යය ගැන තොරතුරු දැනගැනීමට තිබුණ ආශාව නිසා නෙවෙයි පාවුල් තමාට යම් මුදලක් ලබා දෙයි කියලා හිතපු නිසයි.—ක්‍රියා 24:25, 26.
18. පාවුල් “ධර්මිෂ්ඨකම, තමන්ව පාලනය කරගන්න එක සහ ඉස්සරහට එන විනිශ්චය ගැන” ෆීලික්ස්ට හා ඔහුගේ භාර්යාවට කිව්වේ ඇයි?
18 ඔබට මතක ඇති ඔවුන් දෙන්නාට පාවුල්ගෙන් දැනගන්න ඕනෙ වුණේ “ක්‍රිස්තුස් යේසුස් ගැන විශ්වාසයක් ඇති කරගන්න” එකට ඇතුළත් වන්නේ මොනවාද කියන දේ. එහෙමනම් පාවුල් “ධර්මිෂ්ඨකම, තමන්ව පාලනය කරගන්න එක සහ ඉස්සරහට එන විනිශ්චය ගැන” ෆීලික්ස්ට හා ඔහුගේ භාර්යාවට කිව්වේ ඇයි? පාවුල් ඒ අවස්ථාවේ ඔවුන්ට පෙන්වා දුන්නේ යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න කැමති කෙනෙක් ජීවත් වෙන්න ඕනෙ කොහොමද කියායි. ෆීලික්ස් හා ඔහුගේ භාර්යාව හරිම දුෂ්ට, දුරාචාර ජීවිත ගත කළ බව පාවුල් දැනන් හිටියා. ඒ නිසා දෙවියන් පෙන්වලා තියෙන ධර්මිෂ්ඨ ප්‍රමිති හා ඔවුන් ගත කළ ජීවිතය අතර මොන තරම් වෙනසක් තියෙනවාද කියලා පාවුල් ඔවුන්ට පෙන්වලා දුන්නා. හැම කෙනෙක්ටම තමන් හිතන පතන, කියන කරන දේවල් සම්බන්ධයෙන් දෙවියන්ට ගණන් දෙන්න වෙන නිසා ඒ දෙන්නාටත් දෙවියන්ගේ විනිශ්චයට මුහුණ දෙන්න වෙනවා කියලා තේරුම්ගන්න පාවුල් උදව් කළා. ඔහු පෙන්වුවේ ෆීලික්ස් තමන්ට දෙන්න හිටපු විනිශ්චයට වඩා දෙවියන් ෆීලික්ස්ටත් ඔහුගේ භාර්යාවටත් දෙන විනිශ්චයට ඔවුන් අවධානය දෙන්න ඕනෙ කියන එකයි. එහෙමනම් “ෆීලික්ස් බය වුණ” එක පුදුමයක්ද!
19, 20. (අ) බයිබලයේ සඳහන් සත්‍යයන් දැනගන්න කැමැත්තක් දැක්වුවත් ජීවිතේ වෙනස්කම් කරගන්න අකමැති අය එක්ක අපි වැඩ කරන්න ඕනෙ කොහොමද? (ආ) ෆීලික්ස් පාවුල්ගේ යහපත ගැන හිතුවේ නැහැ කියලා අපි දන්නේ කොහොමද?
19 අපටත් සේවයේ යද්දී ෆීලික්ස් හා සමාන පුද්ගලයන් හම්බ වෙනවා. බයිබලයේ සඳහන් සත්‍යයන් දැනගැනීමට සමහරදෙනෙක් යම් කැමැත්තක් පෙන්වුවත් ඒකට එකඟව තම ජීවිත වෙනස් කරන්න ඔවුන් කැමති නැහැ. ඔවුන්ගේ චේතනාව අප හරියටම දන්නේ නැති නිසා ඒ වගේ අයට උපකාර කරද්දී අප පරෙස්සම් විය යුතුයි. කොහොමවුණත් දෙවියන්ගේ අනුමැතිය දිනාගැනීමට නම් ඔවුන් කරන්න ඕනෙ මොනවාද කියලා ඔවුන්ට කාරුණිකව කියන්න පාවුල් වගේ අපටත් හැකියි. එහෙම කරද්දී සමහරවිට බයිබලයේ සඳහන් සත්‍යයන් ඔවුන්ගේ හදවතට කාවදින්න ඉඩ තිබෙනවා. නමුත් දෙවියන් පිළිකුල් කරන ක්‍රියාවන් අත්හරින්න ඔවුන්ට කිසිම කැමැත්තක් නැති බව පැහැදිලිව පේනවා නම් ඔවුන්ට වෙනස්කම් කරන්න බල කරන්න අප උත්සාහ නොකළ යුතුයි. ඒ වෙනුවට බයිබලයේ සඳහන් සත්‍යයන් දැනගැනීමට අවංක ආශාවක් තිබෙන අයව සොයන්න අප අපේ කාලය යොදවන්න ඕනේ.
20 ආණ්ඩුකාර ෆීලික්ස්ගේ සැබෑ චේතනාව මොකක්ද කියලා වාර්තාවේ සඳහන් මේ දෙයිනුත් පැහැදිලියි. “අවුරුදු දෙකක් ගත වුණාට පස්සේ ෆීලික්ස්ගේ තනතුරට පෝර්ෂස් ෆෙස්ටස් පත් වුණා. ඒ වෙනකොටත් පාවුල් හිටියේ හිරේ. මොකද යුදෙව්වරුන්ව සතුටු කරන්න ඕනෙ නිසා ෆීලික්ස් පාවුල්ව හිරේම තියාගත්තා.” (ක්‍රියා 24:27) ඒකෙන් පැහැදිලි වන්නේ ඔහු පාවුල්ගේ යහපත ගැන හිතලා වැඩ කළේ නැහැ කියලයි. “ස්වාමීන්ගේ මාර්ගයට” අයිති අය ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන්නේ නැහැ කියලත් ඒකට වෙනත් අයව පොලඹවන්නේ නැහැ කියලත් ෆීලික්ස් හොඳින්ම දැන සිටියා. (ක්‍රියා 19:23) පාවුල් රෝම නීතියට විරුද්ධව කිසිම දෙයක් කර නැති බවත් ඔහු දැන සිටියා. නමුත් ඔහු පාවුල්ව දිගටම සිරභාරයේ තබාගත්තා. මොකද ඔහුට අවශ්‍ය වුණේ “යුදෙව්වරුන්ව සතුටු කරන්න.”
21. පෝර්ෂස් ෆෙස්ටස් ආණ්ඩුකාරයා විදිහට පත් වුණාට පස්සේ පාවුල්ට වුණේ මොකක්ද? පාවුල් දිගටම ලොකු දිරිගැන්වීමක් ලැබුවේ මොකෙන්ද?
21 ක්‍රියා 24වෙනි පරිච්ඡේදයේ අවසන් පදයේ සඳහන් විදිහට ෆීලික්ස්ගේ නිලයට පෝර්ෂස් ෆෙස්ටස් පත් වෙන කල් පාවුල් හිටියේ සිරභාරයෙයි. එතන ඉඳන් පාවුල්ට නඩු විභාගවලට මුහුණ දෙන්නත් විවිධ බලධාරීන් ඉදිරියේ පෙනී ඉන්නත් සිදු වුණා. කියපු විදිහටම මේ නිර්භීත නියෝජිතයාව ‘ආණ්ඩුකාරයන් සහ රජවරු ඉස්සරහට අරන් ගියා.’ (ලූක් 21:12) ඒ කාලේ හිටපු උසස්ම බලධාරියා ඉදිරියෙත් සාක්ෂි දරන්න පාවුල්ට හැකි වුණ විදිහ අපි ඉදිරි පරිච්ඡේදවල බලනවා. ඔහුට කොතරම් අපහසු අවස්ථාවලට මුහුණ දෙන්න සිදු වුණත් දෙවියන් ගැන ඔහුට තිබුණ විශ්වාසය නම් කිසි ලෙසකින්වත් අඩු වුණේ නැහැ. “හිතට ධෛර්යය ගන්න” කියා යේසුස් ඔහුට කියපු වදන්වලින් ඔහු දිගටම ලොකු දිරිගැන්වීමක් ලබපු බව නිසැකයි.
a “ යූදා පළාතේ ආණ්ඩුකාරයා වුණ ෆීලික්ස්” කියන කොටුව බලන්න.
b ආණ්ඩුකාර ෆීලික්ස්ගේ පාලනය යටතේ යුදෙව්වන් “ලොකු සාමයක්” අද්දකින බව ටෙර්ටුලස් කිව්වා. නමුත් සැබෑ තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. රෝමයට විරුද්ධව කැරැල්ල ඇති වුණ කාලය වෙන කල් යූදා පළාත පාලනය කරපු ආණ්ඩුකාරයන්ගේ කාල වකවානුව එක්ක ෆීලික්ස් පාලනය කරපු කාලය සන්සන්දනය කරද්දී ෆීලික්ස්ගේ කාලයේ ඒ තරම් සාමයක් තිබුණේ නැහැ. ෆීලික්ස් කරපු ප්‍රතිසංස්කරණ වැඩ යුදෙව්වන් පිළිගන්නේ “හද පිරි අගයකින්” කියලත් ටෙර්ටුලස් කිව්වා. ඒකත් අමූලික බොරුවක්. මොකද යුදෙව්වන්ගෙන් වැඩිදෙනෙක් ආණ්ඩුකාර ෆීලික්ස්ව හෙළා දැක්කා. ඔහු හරිම කුරිරු විදිහට පාලනය කළා වගේම යුදෙව් කැරලිකරුවන්ව මැඩපවත්වන්න දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළා.—ක්‍රියා 24:2, 3.