Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලයෙන් ලියුමක්

පාලක මණ්ඩලයෙන් ලියුමක්

ශුභාරංචිය ප්‍රකාශ කරන ප්‍රිය මිතුර:

ඔබ යේසුස්ගේ එක් නියෝජිතයෙකු කියා සිතන්න. අනිකුත් නියෝජිතයන් සමඟ ඔබ දැන් සිටින්නේ ඔලීව කන්දෙයි. යේසුස් දැන් ඔබ සැම ඉදිරියේ දර්ශනය වෙනවා. ඔබ සැමගෙන් සමුගෙන ස්වර්ගයට යෑමට අවස්ථාව පැමිණි විට යේසුස් මෙවැනි දෙයක් පවසනවා. “ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8) යේසුස් පැවසූ ඒ වදන් ගැන ඔබට කෙසේ හැඟෙයිද?

එය මොන තරම් බාරදූර කාර්යයක්ද කියා ඔබට සිතෙයි. අපි වගේ කුඩා කණ්ඩායමක් “පොළොවේ දුර ඈත කෙළවර” දක්වා යේසුස් ගැන සාක්ෂි දරන්නේ කෙසේද කියාත් සමහරවිට ඔබට හැඟෙයි. යේසුස් මිය යන්න පෙර දින රාත්‍රියේ දුන් මෙම අනතුරු ඇඟවීමත් ඔබේ මතකයට නැඟෙයි. ‘දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවන බව අමතක කරන්න එපා. ඔවුන් මට පීඩා කළා නම් ඔබටත් පීඩා කරයි. ඔවුන් මා පැවසූ දේ පිළිපැද්දා නම් ඔවුන් ඔබ පවසන දේත් පිළිපදියි. නමුත් මාව එවූ තැනැත්තාව ඔවුන් හඳුනන්නේ නැති නිසාත් ඔබ මගේ නාමය දරන නිසාත් ඔවුන් ඔබට විරුද්ධව ඒ හැම දෙයක්ම කරනවා.’ (යොහ. 15:20, 21) මෙතරම් විරුද්ධවාදිකම් හා පීඩා මැද පැහැදිලි සාක්ෂියක් ලබා දෙන්නේ කෙසේද කියා ඔබ කල්පනා කරන බවට සැකයක් නැහැ.

‘පොළොවේ දුර ඈත කෙළවරවල්’ දක්වා ගොස් “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට” යේසුස් ගැන පැහැදිලි සාක්ෂියක් ලබා දීමේ වගකීම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපට අද දින පැවරී තිබෙනවා. (මතෙ. 28:19, 20) යේසුස් පැවසූ ලෙස විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට අපටත් සිදු වන නිසා එම වගකීම ඉටු කළ හැක්කේ කෙසේද?

පළමුවෙනි සියවසේ සිටි යේසුස්ගේ නියෝජිතයන් හා ඔවුන් සමඟ එකට සේවය කළ සෙසු ක්‍රිස්තියානීන් දෙවිගේ උපකාරය ඇතුව එම වගකීම ඉටු කළ ආකාරය ගැන රසවත් වාර්තාවක් යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා නමැති පොතේ සඳහන් වෙනවා. ඔබ දැන් කියවන මේ පොත පිළියෙල කර තිබෙන්නේ එම රසවත් වාර්තාවේ තොරතුරු හොඳින් සෝදිසි කර බැලීමට ඔබට උපකාර කිරීම සඳහායි. විවිධාකාර ත්‍රාසජනක සිදුවීම්වලට එදා නිර්භීතව මුහුණ දුන් ඔවුන් තුළ තිබූ උද්‍යෝගය, ඔවුන් අද්දුටු සතුට, ඔවුන් ඇති කරගත් විශ්වාසය ඔබත් අද්දකිනවාට අප කැමතියි. එමනිසා මෙම පොත කියවන විට එම සිදුවීම් ඔබේ මනසින් මවාගැනීමට උත්සාහ කරන්න. ඇත්තෙන්ම එදා සිටි දෙවිගේ සේවකයන් අතර හා අද දින ඔහුට සේවය කරන අප අතර කොතරම් සමානකම් තිබෙනවාද කියා දැකීමෙන් ඔබ පුදුමයට පත් වෙයි. අප සමාන වන්නේ අප ඉටු කරන වගකීම නිසා පමණක් නොවෙයි. අපේ සේවයද සංවිධානය කර තිබෙන්නේ එදා එය සංවිධානය කර තිබූ ආකාරයටයි. අප එවැනි සමානකම් ගැන ගැඹුරින් කල්පනා කරන විට යෙහෝවා දෙවි පොළොව මත පිහිටුවා ඇති තම සංවිධානයට මඟ පෙන්වීම් ලබා දෙන බවට වූ අපේ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙනවාට කිසිම සැකයක් නැහැ.

එසේනම් ක්‍රියා පොත අධ්‍යයනය කිරීමෙන් යෙහෝවා දෙවි කෙරෙහි ඔබේ විශ්වාසය ශක්තිමත් කරගන්න. ඔබට ඔබේ සේවය හොඳින් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය දෙවි තම බලය මාර්ගයෙන් ලබා දෙන බවට වූ ඔබේ විශ්වාසය තවත් වැඩි කරගන්න. “දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්” නොකඩවා දීමටත් අන් අයට ගැලවීම ලබාගැනීමට අවශ්‍ය උපකාර ලබා දීමටත් එය ඔබව පොලඹවන බව නොඅනුමානයි.—ක්‍රියා 28:23; 1 තිමෝ. 4:16.

ඔබේ සහෝදරයෝ,

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය