Skip to content

පටුනට යන්න

14වෙනි පරිච්ඡේදය

‘ඒකමතික තීරණයක්’

‘ඒකමතික තීරණයක්’

පාලක මණ්ඩලය තීරණයකට එළඹෙයි. එය සභාවේ එක්සත්කමට දායක වෙයි

ක්‍රියා 15:13-35

1, 2. (අ) පාලක මණ්ඩලය විසින් විසඳුමක් ලබා දිය යුතුව තිබුණේ කුමන බැරෑරුම් ප්‍රශ්නවලටද? (ආ) නිවැරදි තීරණයකට එළඹීමට ඔවුන්ට උපකාරවත් වුණේ මොනවාද?

දැන් තීරණයක් ගත යුතු බව යෙරුසලමේ රැස්ව සිටි නියෝජිතයන් හා වැඩිමහල්ලන් තේරුම්ගන්නවා. ඇත්තටම මෙය ඉතා වැදගත් අවස්ථාවක්! චර්මච්ඡේදනය සම්බන්ධයෙන් ඇති වූ මතභේදය නිසා අනිවාර්යයෙන්ම විසඳුම් ලබාගත යුතු ප්‍රශ්න කිහිපයක් මතු වුණා. මෝසෙස්ට දෙන ලද නීතියට ක්‍රිස්තියානීන් යටත් විය යුතුද? යුදෙව්වන් හා යුදෙව් නොවන ක්‍රිස්තියානීන් අතර පැහැදිලි වෙනසක් තිබිය යුතුද?

2 වෙනත් ජාතීන්ට අයත් අයට දෙවි ආශීර්වාද කරන බවට ඇසින් දුටු සාක්ෂි රැස්ව සිටි සහෝදරයන් මේ වන විට සලකා බලා තිබුණා. පැනනැඟී තිබෙන මේ ප්‍රශ්නයට අදාළ ශුද්ධ ලියවිල්ලේ තොරතුරුත් ඔවුන්ගේ මනසේ තිබුණා. සාකච්ඡාව අතරතුරේදී මේ කාරණය ගැන තමන්ට හැඟුණු ආකාරය හා තමන් දැන සිටි දේවල් ගැන ඔවුන් විවෘතව අදහස් පළ කළා. ඇත්තෙන්ම මතු වී තිබුණු මේ ප්‍රශ්නය විසඳීමට දෙවි තම බලය මාර්ගයෙන් මඟ පෙන්වන බවට ඕනෑ තරම් සාක්ෂි තිබුණා. රැස්ව සිටින මේ පුරුෂයන් දෙවි ලබා දෙන මඟ පෙන්වීමට එකඟව කටයුතු කරයිද?

3. ක්‍රියා 15වෙනි පරිච්ඡේදයේ තොරතුරු සලකා බැලීම අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

3 මේ කාරණය සම්බන්ධයෙන් දෙවි ලබා දී තිබූ මඟ පෙන්වීමට එකඟව ක්‍රියා කිරීමට ඔවුන්ට දෙවි කෙරෙහි මහත් විශ්වාසයක් හා නිර්භීතකම අවශ්‍ය වුණා. මන්ද චර්මච්ඡේදනය වීම අවශ්‍ය නැහැයි කියා ඔවුන් තීරණය කළොත් යුදෙව් ආගමික නායකයන් ඔවුන්ට තව තවත් වෛර කිරීමට ඉඩකඩ තිබුණා. මෝසෙස්ට දෙන ලද නීතිය අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි කියා පවසන ඇතැම් ක්‍රිස්තියානීන් එම තීරණයට එකඟ නොවෙමින් ඊට විරෝධය පාන්නත් ඉඩ තිබුණා. එසේනම් පාලක මණ්ඩලය කුමන තීරණයකට එළඹෙයිද? ඔවුන් තැබූ ආදර්ශය අද දින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය අනුගමනය කරන්නේ කෙසේද? විවිධ තීරණ ගැනීමට සිදු වන විටත් අභියෝගවලට මුහුණ දීමට සිදු වන විටත් අපට ඔවුන්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

“අනාගතවක්තෘවරුන් පැවසූ දේවලටත් එකඟයි” (ක්‍රියා 15:13-21)

4, 5. සාකච්ඡාව තවත් අර්ථවත් කිරීමට යාකොබ් දේවවචනයෙන් උපුටා දැක්වූයේ කුමන තොරතුරුද?

4 ඒ අවස්ථාවේදී යේසුස්ගේ සහෝදරයෙකු වූ යාකොබ් සියලුදෙනා වෙනුවෙන් කතා කළා. * පෙනෙන විදිහට එම රැස්වීමේ සභාපති ලෙස කටයුතු කළේ ඔහුයි. රැස්ව සිටි සියලුදෙනා ඒ වන විට එළඹී සිටි නිගමනය ඇත්තෙන්ම ඔහු පැවසූ වදන්වලින් කදිමට සාරාංශ කළා කියා පැවසිය හැකියි. ඔහු තම කතාව මෙසේ ඇරඹුවා. “මීට කලින් සිමියොන් අපට හොඳින් පැහැදිලි කළේ වෙනත් ජාතීන්වල මිනිසුන්ව තෝරාගැනීමට දෙවි මුල් වතාවට පියවර ගත් ආකාරයයි. දෙවි එසේ කළේ තම නාමය දැරීමට සෙනඟක් ඔවුන් අතරින්ද තෝරාගැනීමටයි. ඒ දේ අනාගතවක්තෘවරුන් පැවසූ දේවලටත් එකඟයි.”—ක්‍රියා 15:14, 15.

5 සාකච්ඡා කරමින් සිටි විෂයට අදාළ ශුද්ධ ලියවිල්ලේ සඳහන් තොරතුරු මතකයට නඟාගැනීමට සීමොන් පේතෘස් (නොහොත් සිමියොන්) ඉදිරිපත් කළ කතාවත් පාවුල් හා බානබස් ඉදිරිපත් කළ සාක්ෂිත් යාකොබ්ට උපකාරවත් වූ බවට කිසිම සැකයක් නැහැ. (යොහ. 14:26) මන්ද “ඒ දේ අනාගතවක්තෘවරුන් පැවසූ දේවලටත් එකඟයි” කියා පැවසූ පසු ඔහු ආමොස් 9:11, 12හි සඳහන් වදන් උපුටා දැක්වූවා. ආමොස් පොත හෙබ්‍රෙව් ලියවිලිවල ලැයිස්තුගත කර තිබෙන්නේ “අනාවැකි” ඇතුළත් පොත් අතරෙයි. (මතෙ. 22:40; ක්‍රියා 15:16-18) එදා යාකොබ් උපුටා දැක්වූ වදන් අද අපට ආමොස් පොතෙන් කියවීමට තිබෙන වදන්වලට වඩා ටිකක් වෙනස්. මන්ද ඔහු එම උපුටා දැක්වීම් කළේ ග්‍රීක සෙප්ටූඅජින්ට් පරිවර්තනය යොදාගෙනයි.

6. ශුද්ධ ලියවිල්ලේ තොරතුරු එම සාකච්ඡාවට උපකාරවත් වුණේ කෙසේද?

6 යාකොබ් උපුටා දැක්වූ ආමොස්ගේ අනාවැකියට ඇතුළත් වුණේ මොනවාද? “දාවිත්ගේ ගෘහය” නැවත ගොඩනඟන කාලයක් පැමිණෙන බව එහි යෙහෝවා දෙවි පවසා තිබුණා. ඉන් අදහස් කළේ බිඳ වැටී තිබූ දාවිත්ගේ පෙළපත නැවත ස්ථිර කරනු ලබන බවයි. (එස. 21:26, 27) යෙහෝවා දෙවි ඒ දේ ඉටු කිරීම සඳහා යුදෙව් ජාතිය පමණක් යොදාගනියිද? නැහැ. එම අනාවැකියේම සඳහන් වන්නේ, ‘සියලු ජාතීන්වල මිනිසුන්ව දෙවිගේ නාමය දරන සෙනඟක්’ලෙස එකතු කරන බවයි. පේතෘස්ද එම කාරණය ඊට ටික මොහොතකට කලින් පැවසූ මෙම වදන් මගින් පැහැදිලි කර දුන්නා. “ඔවුන් [වෙනත් ජාතීන්ට අයත් අය] තැබූ විශ්වාසය නිසා දෙවි ඔවුන්ගේ හදවත්ද පවිත්‍ර කළා. එසේ කිරීමෙන් ඔහු පෙන්වා දුන්නේ ඔවුන් හා අප අතර කිසි වෙනසක් නැති බවයි.” (ක්‍රියා 15:9) වෙනත් විදිහකින් පවසනවා නම් යුදෙව්වන් හා යුදෙව් නොවන අය දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වීම දෙවිගේ කැමැත්ත වුණා. (රෝම 8:17; එෆී. 2:17-19) යුදෙව් නොවන යේසුස්ගේ අනුගාමිකයන් චර්මච්ඡේදනය වීමේ පිළිවෙත අනුගමනය කළ යුතුයි කියාවත් යුදෙව් ආගමට හැරිය යුතුයි කියාවත් අඟවන කිසිම අදහසක් අනාවැකියක තිබුණේ නැහැ.

7, 8. (අ) යාකොබ් ඉදිරිපත් කළ නිගමනය කුමක්ද? (ආ) යාකොබ් පැවසූ දේ අප තේරුම්ගත යුත්තේ කෙසේද?

7 ශුද්ධ ලියවිල්ලේ සඳහන් එවැනි තොරතුරු හා ඉදිරිපත් කළ ඇසින් දුටු සාක්ෂි යාකොබ්ගේ හදවතට කොතරම් ප්‍රබලව කාවැදුණාද කියනවා නම් රැස්ව සිටි අයට සිතා බැලීම සඳහා ඔහු මෙම නිගමනය ඉදිරිපත් කළා. “ඒ නිසා මගේ නිගමනය නම් දෙවි වෙතට හැරී එන වෙනත් ජාතීන්ට අයත් අයට අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීම සුදුසු නොවන බවයි. ඒ වෙනුවට ඔවුන් දේවතා රූප මගින් අපවිත්‍ර වී ඇති දේවලින්, වේශ්‍යාකමින්, බෙල්ල මිරිකා මැරූ සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් සහ ලේවලින් වැළකී සිටීම අවශ්‍ය බව ඔවුන්ට ලියා දැන්විය යුතුයි. ඒ දේවල් මෝසෙස් විසිනුත් සඳහන් කර තිබෙනවා. ඒවා සෑම නුවරකම ඇති සිනගෝගවල සෑම සබත් දවසකම ශබ්ද නඟා කියවනු ලබනවා. එය බොහෝ කාලයක පටන් කරන දෙයක්.”—ක්‍රියා 15:19-21.

8 “මගේ නිගමනය නම්” කියා යාකොබ් පැවසීමෙන් පැහැදිලි වන්නේ සභාපති ලෙස ඔහුට තිබූ අධිකාරිය අනික් සහෝදරයන්ව පාලනය කිරීමට හෝ ඔවුන්ට බලපෑම් කිරීමට යොදාගත් බවද? නැහැ. මන්ද නිගමනයක් කියන්නේ තනි තීරණයක් නොවෙයි. තොරතුරු සලකා බැලීමෙන් පසුව ඉදිරිපත් කරන යම් අදහසක් නිගමනයක් කියා පැවසිය හැකියි. ඇත්තෙන්ම මේ අවස්ථාවේදී යාකොබ් කළේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් තොරතුරු හා ඉදිරිපත් කළ අනිකුත් සාක්ෂි සලකා බැලීමෙන් පසුව අන් අයට සිතා බැලීමට යම් යෝජනාවක් ඉදිරිපත් කිරීම පමණයි.

9. යාකොබ් ඉදිරිපත් කළේ හොඳ යෝජනාවක් කියා පැවසීමට හේතු මොනවාද?

9 යාකොබ් ඉදිරිපත් කළේ හොඳ යෝජනාවක්ද? ඇත්තෙන්ම ඔව්. පසුව නියෝජිතයන් හා වැඩිමහල්ලන්ද ඊට එකඟ වීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. එය හොඳ යෝජනාවක් වීමට හේතු මොනවාද? එකක් නම් මෝසෙස්ට දෙන ලද නීතිය අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි කියා පවසමින් වෙනත් ජාතීන්ට අයත් ක්‍රිස්තියානීන්ට “අනවශ්‍ය ප්‍රශ්න” ඇති කළේ නැහැ. (ක්‍රියා 15:19) එම යෝජනාව මගින් යුදෙව් ක්‍රිස්තියානීන්ගේ හැඟීම්වලට ගරු කරන බවත් පැහැදිලි වුණා. මන්ද යාකොබ් ඉදිරිපත් කළ යෝජනාවට “සෑම නුවරකම ඇති සිනගෝගවල සෑම සබත් දවසකම ශබ්ද නඟා කියවනු” ලැබූ මෝසෙස් විසින් සඳහන් කරන ලද දේවල්ද ඇතුළත් වුණා. * (ක්‍රියා 15:21) ඒ අනුව යාකොබ් යෝජනා කළ දේ ඇත්තෙන්ම යුදෙව් ක්‍රිස්තියානීන් හා යුදෙව් නොවන ක්‍රිස්තියානීන් අතර තිබෙන බැඳීම තවත් ශක්තිමත් කරගැනීමට දායක වෙනවා. වඩා වැදගත් දෙය නම් එම යෝජනාව යෙහෝවා දෙවි එළිදරව් කරමින් සිටි ඔහුගේ අරමුණට එකඟ නිසා එමගින් දෙවිව සතුටට පත් කිරීමට හැකි වීමයි. දෙවිගේ සෙනඟ අද්දකිමින් සිටි සාමය හා සමඟියට තර්ජනයක් වූ ප්‍රශ්නයට එය මොන තරම් කදිම විසඳුමක්ද!

වර්ෂ 1998දී පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවක සහෝදර ඇල්බට් ෂ්‍රෝඩර් කතාවක් ඉදිරිපත් කරමින්

10. අද දින පාලක මණ්ඩලය එදා සිටි පාලක මණ්ඩලය තැබූ ආදර්ශය අනුගමනය කරන්නේ කෙසේද?

10 එදා පාලක මණ්ඩලය එම ප්‍රශ්නය නිරාකරණය කළ ආකාරයෙන් අද දින ක්‍රිස්තියානි සභාවට බොහෝ දේවල් ඉගෙනගත හැකියි. අදත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය සෑම කාරණයක් සම්බන්ධයෙන්ම මඟ පෙන්වීම් පතන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගෙන් හා ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස් ක්‍රිස්තුස්ගෙනුයි. * (1 කොරි. 11:3) ඔවුන් ඒ දෙය කරන්නේ කෙසේද? වර්ෂ 1974 සිට 2006 මිය යන තුරු පාලක මණ්ඩලයේ සේවය කළ සහෝදර ඇල්බට් ඩී. ෂ්‍රෝඩර් පැවසූ මේ දේ සලකා බලන්න. “පාලක මණ්ඩලයක් ලෙස අපි සෑම බදාදාවකම විවිධ කාරණා ගැන සාකච්ඡා කිරීමට රැස් වෙනවා. අපි එම රැස්වීම් අරඹන්නේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලා යාච්ඤා කිරීමෙන් අනතුරුවයි. එම රැස්වීම් අතරතුරේදී සාකච්ඡා කරන සෑම කාරණයක්ම හා ගන්නා සෑම තීරණයක්ම බයිබලයට එකඟව සිදු කරන්න අපි මහත් උත්සාහයක් දරනවා.” වර්ෂ 2003දී මිය ගිය පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වූ සහෝදර මිල්ටන් ජී. හෙන්ෂල් 101වෙනි ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වූ අයට පැවරුම් ලබා දුන් අවස්ථාවේ කළ කතාවකදී මෙම වැදගත් ප්‍රශ්නය ඇසුවා. “වැදගත් තීරණයක් ගැනීමට කලින් දේවවචනය මාර්ගයෙන් දෙවිගේ මඟ පෙන්වීම් පතන වෙන කිසිම සංවිධානයක් තිබෙනවාද?” ඇත්තෙන්ම සෑම කාරණයකදීම දෙවිගේ මඟ පෙන්වීම් පැතීම පාලක මණ්ඩලයේ සහෝදරයන් සලකන්නේ ඉතා වැදගත් දෙයක් ලෙසයි.

‘සුදුසුකම් ඇති පුරුෂයන්ව යැවීම’ (ක්‍රියා 15:22-29)

11. පාලක මණ්ඩලය ගත් තීරණය සභාවන්ට දැන්වූයේ කෙසේද?

11 යෙරුසලමේ රැස් වූ පාලක මණ්ඩලයේ සහෝදරයන් චර්මච්ඡේදනය වීමේ පිළිවෙත ගැන මතු වූ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒකමතික තීරණයකට එළඹුණා. සභාවල සිටි සහෝදරයන් එම තීරණයට එකඟව කටයුතු කිරීමට නම් පැහැදිලිව, ප්‍රේමණීයව හා දිරිගන්වනසුලු අයුරින් එම තීරණය සභාවන්ට දැන්විය යුතු වුණා. එය කළ හැක්කේ කෙසේද? ඒ ගැන වාර්තාවේ පවසන්නේ මෙසේයි. “නියෝජිතයන්, වැඩිමහල්ලන් සහ රැස්ව සිටි මුළු සභාවම තීරණය කළේ පාවුල් සහ බානබස් සමඟ සුදුසුකම් ඇති පුරුෂයන්ව අන්තියෝකියට යැවීම සුදුසු බවයි. ඒ සඳහා ඔවුන් තෝරාගත්තේ තම සහෝදරයන් අතරේ පෙරමුණ ගෙන ක්‍රියා කළ දෙදෙනෙකු වන බාසබස් නමින් හැඳින්වූ යූදස්ව සහ සීලස්වය.” ඊට අමතරව අන්තියෝකියේ, සිරියාවේ හා සිලීසියාවේ පිහිටි සෑම සභාවකම ප්‍රසිද්ධියේ කියවීම සඳහා ගත් තීරණය ඇතුළත් ලිපියක්ද ඔවුන් අත යැවීමට සැලසුම් කළා.—ක්‍රියා 15:22-26.

12, 13. (අ) යූදස්ව හා සීලස්ව යැවීමෙන්, (ආ) පාලක මණ්ඩලයෙන් ලිපියක් යැවීමෙන් අත් වූ ප්‍රයෝජන මොනවාද?

12 පාලක මණ්ඩලයේ නියෝජිතයන් ලෙස ක්‍රියා කිරීමට “සහෝදරයන් අතරේ පෙරමුණ ගෙන ක්‍රියා කළ” යූදස්ට හා සීලස්ට සියලු සුදුසුකම් තිබුණා. පාලක මණ්ඩලය ලබා දුන් පණිවිඩය රැගෙන සහෝදරයන් හතරදෙනෙකු අන්තියෝකියේ සභාවට යෑමෙන් ඔවුන් ගෙනෙන පණිවිඩයට චර්මච්ඡේදනය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයට පිළිතුරකට වඩා වැඩි දෙයක් එනම් පාලක මණ්ඩලය විසින් ලබා දෙන අලුත් මඟ පෙන්වීමක් ඇතුළත් බව සභාවේ සිටි අයට පැහැදිලි වෙනවා. යෙරුසලමේ සහෝදරයන්ව නියෝජනය කරමින් සහෝදරයන් දෙදෙනෙකු පැමිණීම යෙරුසලමේ සිටි යුදෙව් ක්‍රිස්තියානීන් හා පණිවිඩය රැගෙන ගිය ප්‍රදේශවල සිටි වෙනත් ජාතීන්ට අයත් ක්‍රිස්තියානීන් අතර හොඳ මිත්‍රත්වයක් ඇති කරගැනීමටද දායක වෙනවා. දෙවිගේ සෙනඟ අතරේ සාමය හා සමඟියට එය ඉවහල් වන බවට කිසිම සැකයක් නැහැ. එලෙස එම සහෝදරයන්ව සභාවන් වෙතට යැවීමට තීරණය කිරීම මොන තරම් ප්‍රේමණීය මෙන්ම ඥානවන්ත තීරණයක්ද!

13 වෙනත් ජාතීන්ට අයත් සහෝදරයන් චර්මච්ඡේදනය සම්බන්ධයෙන් පමණක් නොව දෙවිගේ අනුමැතිය හා ආශීර්වාද ලබාගැනීමට කළ යුතු දේවල් සම්බන්ධයෙන්ද පැහැදිලි මඟ පෙන්වීම් ඔවුන් රැගෙන ගිය ලිපියේ සඳහන් වුණා. ලිපියේ ප්‍රධාන කොටසේ සඳහන්ව තිබුණේ මෙයයි. “දෙවිගේ බලයේ උපකාරයෙන් අප තීරණය කළේ ඔබ මතට අනවශ්‍ය බරක් පැටවීම සුදුසු නොවන බවයි. ඔබ වැළකී සිටිය යුත්තේ මේ අත්‍යවශ්‍ය දේවලින් පමණි. ඒවා නම් දේවතා රූපවලට පූජා කළ දේවලින්, ලේවලින්, බෙල්ල මිරිකා මැරූ සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් සහ වේශ්‍යාකමින්ය. ඔබ ඒ දේවලින් නිරතුරුවම වැළකී සිටීම අවශ්‍යය. ඔබ සැලකිලිමත් වෙමින් ඒ දේවලින් වැළකී සිටීමට උත්සාහ දරනවා නම් එයින් ඔබට යහපතක් සිදු වනු ඇත. ඔබ සැමට අපගේ සුබ පැතුම්!”—ක්‍රියා 15:28, 29.

14. මෙතරම් ආරවුල් හා භේද තිබෙන ලෝකයක සාක්ෂිකරුවන් අතරේ එකඟතාවක් හා සමඟියක් තිබීමට හේතු මොනවාද?

14 අද දින සභාවන් ලක්ෂයකට වඩා වැඩි ගණනක සිටින 70,00,000ක් පමණ සාක්ෂිකරුවන් අතරේ එකඟතාවක් පවතිනවා. ඔවුන් විශ්වාස කරන දේවල් පරස්පර විරෝධී නැහැ. ඔවුන් එකා මෙන් කටයුතු කරනවා. මෙතරම් ආරවුල් හා භේද තිබෙන ලෝකයක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට එසේ කටයුතු කිරීමට හැකි වී තිබෙන්නේ කෙසේද? ඊට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස් ක්‍රිස්තුස්, “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන් පැහැදිලි මඟ පෙන්වීම් ලබා දීමයි. (මතෙ. 24:45-47) පාලක මණ්ඩලය ලබා දෙන මඟ පෙන්වීම් ලොව පුරා වෙසෙන සහෝදර සහෝදරියන් සතුටින් පිළිගැනීමත් ඊට උපකාරවත් වී තිබෙනවා.

‘දිරිගැන්වීම් ලබා ඔවුන් ප්‍රීතිමත් වුණා’ (ක්‍රියා 15:30-35)

15, 16. චර්මච්ඡේදනය සම්බන්ධයෙන් ගත් තීරණයට සහෝදරයන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඊට හේතු වන්න ඇත්තේ මොනවාද?

15 යෙරුසලමේ සිට පැමිණි සහෝදරයන් හතරදෙනා අන්තියෝකියේ සභාවේ සිටි, ‘සියලුදෙනාව රැස් කර ඔවුන්ට එම ලිපිය භාර දුන්නා’ කියා වාර්තාවේ සඳහන් වෙනවා. පාලක මණ්ඩලයෙන් ලැබුණු මඟ පෙන්වීම්වලට එහි සිටි සහෝදරයන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ‘ඔවුන් එය කියවා, එයින් දිරිගැන්වීම් ලබා ප්‍රීතිමත් වුණා.’ (ක්‍රියා 15:30, 31) යෙරුසලමෙන් පැමිණි යූදස් හා සීලස් ‘සහෝදරයන්ට බොහෝ දේවල් පැහැදිලි කර ඔවුන්ව දිරිගන්වා ශක්තිමත් කළ’ බවත් වාර්තාවේ සඳහන් වෙනවා. එහි ඔවුන් දෙදෙනාව “අනාගතවක්තෘවරුන්” ලෙස හඳුන්වා තිබෙනවා. සාමාන්‍යයෙන් දෙවිගේ කැමැත්ත අන් අයට දැනුම් දෙන අයව හැඳින්වූයේ එලෙසයි. පාවුල්ව, බානබස්ව හා වෙනත් අයවත් අනාගතවක්තෘවරුන් ලෙස හඳුන්වා තිබෙනවා. ඒ අනුව යූදස්ව හා සීලස්වත් අනාගතවක්තෘවරුන් ලෙස හැඳින්වීම උචිතයි.—ක්‍රියා 13:1; 15:32; නික්. 7:1, 2.

16 පාලක මණ්ඩලයෙන් ලැබුණු මඟ පෙන්වීමට සහෝදරයන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබීමට හේතු වුණේ මොනවාද? එම මඟ පෙන්වීම නියමිත වේලාවට ලැබුණු පැහැදිලි මඟ පෙන්වීමක්. එය දෙවි තම බලය මාර්ගයෙන් ලබා දුන් මඟ පෙන්වීම්වලටත් ශුද්ධ ලියවිල්ලේ සඳහන් තොරතුරුවලටත් එකඟ වුණා. එමෙන්ම ගත් තීරණය දැනුම් දුන්නේ ඉතා ප්‍රේමණීය ආකාරයෙනුයි. ඒ සඳහා පාලක මණ්ඩලය නියෝජනය කරන සහෝදරයන්ව සභාවන් වෙතට යවනු ලැබුවා. ඇත්තෙන්ම පැනනැඟී තිබූ ප්‍රශ්නය යහපත් අයුරින් නිරාකරණය කිරීමට දැරූ උත්සාහයට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය හා අනුමැතිය ලැබුණු බවට කිසිම සැකයක් නැහැ.

17. අද දින සිටින සංචාරක සේවකයන් පළමුවෙනි සියවසේ සේවය කළ සහෝදරයන්ව ආදර්ශයට ගන්නේ කෙසේද?

17 ඔවුන්ව ආදර්ශයට ගන්නා අද දින සිටින පාලක මණ්ඩලයත් ලොව පුරා වෙසෙන සාක්ෂිකරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම් නියමිත වේලාවට ලබා දෙනවා. විවිධ කාරණා සම්බන්ධයෙන් ගන්නා තීරණ ඔවුන් ඉතා පැහැදිලිව සභාවන්ට දන්වනවා. අවශ්‍ය මඟ පෙන්වීම් ඔවුන් සභාවන්ට ලබා දෙන්නේ කෙසේද? ඔවුන් ඒ දේ කරන එක් ආකාරයක් වන්නේ සංචාරක සේවකයන් මාර්ගයෙනුයි. සභාවන් වෙතට යන සංචාරක සේවකයන් පාලක මණ්ඩලයෙන් ලැබෙන පැහැදිලි මඟ පෙන්වීම් හා දිරිගැන්වීම් සභාවන්වල සිටින සහෝදරයන්ට ඉතා ප්‍රේමණීයව ලබා දෙනවා. කෙසේවෙතත් ‘බොහෝදෙනෙකු සමඟ එකතු වී, යෙහෝවා දෙවිගෙන් ලැබුණු ශුභාරංචිය ප්‍රකාශ කළ’ පාවුල් හා බානබස් මෙන් ඔවුන්ද වැඩි කාලයක් යොදවන්නේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ඉටු කිරීමටයි. (ක්‍රියා 15:35) ඔවුන් යූදස් හා සීලස් මෙන් වෙහෙස මහන්සිය නොබලා ‘සහෝදරයන්ට බොහෝ දේවල් පැහැදිලි කර ඔවුන්ව දිරිගන්වා ශක්තිමත් කරනවා.’

18. දෙවිගේ සෙනඟට ඔහුගේ ආශීර්වාදය දිගටම ලබාගත හැක්කේ කෙසේද?

18 පාලක මණ්ඩලය ලබා දෙන මඟ පෙන්වීම් පිළිගෙන ඊට සහයෝගය දැක්වීමෙන් ලොව පුරා තිබෙන සභාවන්වලට සාමය හා එක්සත්කම අද්දැකීමට හැකි වී තිබෙනවා. යාකොබ්ද පැවසුවේ, “ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව තිබෙන කෙනෙකු තුළ මුලින්ම දක්නට ලැබෙන්නේ නිර්මලකමය. එසේම ඔහු සාමකාමීය. ඔහු සාධාරණ ලෙස කටයුතු කරන, කීකරු වීමට සූදානම් . . . කෙනෙකි. . . . මීට අමතරව සමාදානය ඇති වන අයුරින් ක්‍රියා කරන අය එම සාමකාමී වාතාවරණය තුළ ධර්මිෂ්ඨකම නමැති පල නෙළාගනු ඇත” කියායි. (යාකො. 3:17, 18) ඔහු ඒ දෙය ලිව්වේ චර්මච්ඡේදනය හා සම්බන්ධ ප්‍රශ්නය නිරාකරණය කළ ආකාරය මනසේ තබාගෙනද නැද්ද කියා නිශ්චිතව පැවසිය නොහැකියි. නමුත් ක්‍රියා 15වෙනි පරිච්ඡේදයේ සඳහන් වාර්තාව සලකා බැලීමෙන් අපට පැහැදිලි වන එක් දෙයක් නම් දෙවිගේ ආශීර්වාදය ලැබෙන්නේ දෙවි ලබා දෙන මඟ පෙන්වීම් එනම් ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව පිළිගෙන ඊට සහයෝගය දැක්වීමෙන් පමණක් බවයි.

19, 20. (අ) අන්තියෝකියේ සභාවේ සිටි අය සාමය හා එක්සත්කම අද්දුටු බවට නිසැක විය හැක්කේ ඇයි? (ආ) පාවුල්ට හා බානබස්ට වැඩි අවධානයක් දීමට හැකි වුණේ කුමන කාර්යයටද?

19 අන්තියෝකියේ සිටි සහෝදරයන් දෙවි ලබා දුන් මඟ පෙන්වීම් පිළිගත් බව පැහැදිලියි. පාලක මණ්ඩලය ගත් තීරණය දැන්වීමට පැමිණි සහෝදරයන් සමඟ වාද කරනවා වෙනුවට එම සහෝදරයන්ගේ පැමිණීම ඔවුන් බොහෝ සෙයින් අගය කළා. යූදස් හා සීලස් ‘යම් කාලයක් එහි ගත කළ පසු සහෝදරයෝ ඒ පුරුෂයන්ව නැවත ඔවුන් පැමිණි තැනට සතුටින් පිටත් කර යැවූ’ බව වාර්තාවේ සඳහන් වීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. * (ක්‍රියා 15:33) අන්තියෝකියේ සභාවේ සහෝදරයන් දැක්වූ ප්‍රතිචාරය ගැන යූදස් හා සීලස්ගෙන් විස්තර අසන්න ලැබුණු විට යෙරුසලමේ සිටි සහෝදරයන්ද බොහෝ සතුටට පත් වන්න ඇති. යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව එම සහෝදරයන් දෙදෙනාට තම පැවරුම සාර්ථකව ඉටු කිරීමට හැකි වුණා.

20 අන්තියෝකියේ සභාවේ රැඳී සිටි පාවුල්ට හා බානබස්ට ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට වැඩි අවධානයක් ලබා දී සභාවට හොඳ ආදර්ශයක් වීමට දැන් අවස්ථාව ලැබුණා. තමන්ට භාර දී තිබෙන සභාවන් වෙතට යන සංචාරක සේවකයන්ද උත්සාහ කරන්නේ දේශනා කිරීමේ කාර්යයට වැඩි අවධානයක් දෙමින් සභාවේ සිටින අයට හොඳ ආදර්ශයක් තැබීමටයි. (ක්‍රියා 13:2, 3) ඇත්තෙන්ම ඔවුන් යෙහෝවා දෙවිගෙන් අපට ලැබී තිබෙන ආශීර්වාදයක්! මේ උද්‍යෝගිමත් සේවකයන් දෙදෙනාව යෙහෝවා දෙවි තවදුරටත් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය සඳහා යොදාගත්තේ කෙසේද? දෙවි තම ආශීර්වාදය ඔවුන්ට ලබා දුන්නේ කෙසේද? අපි ඒ ගැන ඊළඟ පරිච්ඡේදයෙන් සලකා බලමු.

පාලක මණ්ඩලය හා එහි නියෝජිතයන් ලබා දෙන සෑම දෙයකින්ම අද දින ක්‍රිස්තියානීන් ප්‍රයෝජන ලබනවා

^ 9 ඡේ. ඒ අවස්ථාවේදී යාකොබ් කටයුතු කළේ ඉතා ඥානවන්තවයි. ඔහු මෝසෙස් විසින් සඳහන් කර ඇති දේවල් කියා පවසද්දී මෝසෙස්ට දෙන ලද නීතියට පමණක් යොමු දැක්වූයේ නැහැ. ඒ වෙනුවට ඔහු යොමු දැක්වූ දේවලට එම නීතිය දීමට පෙර දෙවි තම සේවකයන් සමඟ කටයුතු කළ ආකාරය හා තම කැමැත්ත කුමක්ද කියා දෙවි පෙන්නුම් කළ ආකාරය ඇතුළු මෝසෙස් විසින් ලියූ සෑම දෙයක්ම ඇතුළත් වුණා. උදාහරණයකට රුධිරය, අනාචාරය හා රූප නමස්කාරය ගැන දෙවි දී ඇති මඟ පෙන්වීම් උත්පත්ති වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. (උත්. 9:3, 4; 20:2-9; 35:2, 4) දෙවි එසේ දී ඇති මඟ පෙන්වීම් යුදෙව්වන්ට හා යුදෙව් නොවන අයට එක හා සමානව අදාළයි.

^ 19 ඡේ. සමහර බයිබල් පරිවර්තනවල 34වෙනි පදය ඇතුළත් කර තිබෙනවා. එලෙස ඇතුළත් කර තිබෙන පදයේ සඳහන් වී තිබෙන්නේ සීලස් අන්තියෝකියේ නැවතීමට තීරණය කළ බවයි. නමුත් එවැනි දෙයක් මුල් පිටපත්වල සඳහන් වූ බවට සාක්ෂි නැහැ.