Skip to content

පටුනට යන්න

13වෙනි පරිච්ඡේදය

‘උණුසුම් විවාදයක්’

‘උණුසුම් විවාදයක්’

චර්මච්ඡේදනය වීමේ පිළිවෙත රැකිය යුතුද කියා පාලක මණ්ඩලය සලකා බලයි

ක්‍රියා 15:1-12

1-3. (අ) ක්‍රිස්තියානි සභාවේ එක්සත්කමට තර්ජනයක් වූ ප්‍රශ්නය කුමක්ද? (ආ) ඒ සම්බන්ධයෙන් ක්‍රියා පොතෙහි සඳහන් වාර්තාව අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

පාවුල් හා බානබස් තම පළමුවෙනි සංචාරය අවසන් කර නැවත සිරියාවේ අන්තියෝකියට පැමිණ සිටිනවා. “දෙවි වෙනත් ජාතීන්ට අයත් අයට පවා සත්‍ය ඉගැන්වීම් පිළිගැනීමට මඟ විවෘත කර ඇති” ආකාරය තමන්ට පෞද්ගලිකව අද්දැකීමට හැකි වීම ගැන ඔවුන් සිටින්නේ මහත් ප්‍රීතියෙනුයි. (ක්‍රියා 14:26, 27) ඇත්තෙන්ම අන්තියෝකිය පුරාත් ශුභාරංචිය පැතිර ගොස් තිබෙන අතර වෙනත් ජාතීන්ට අයත් “බොහෝදෙනෙක්” මේ වන විට ක්‍රිස්තියානි සභාවේ කොටසක් බවට පත්ව තිබෙනවා.—ක්‍රියා 11:20-26.

2 වෙනත් ජාතීන්ට අයත් බොහෝදෙනෙකු යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වන බව යුදයේ සිටින ක්‍රිස්තියානීන්ටත් ආරංචි වෙනවා. නමුත් සියලුදෙනාම ඒ ගැන සතුටු වන්නේ නැහැ. මන්ද යම් කාලයක් පුරා මතභේදයට ලක් වූ දෙයක් මේ ආරංචිය සමඟ නැවතත් ඉස්මතු වෙනවා. එය චර්මච්ඡේදනය වීමේ පිළිවෙත හා සම්බන්ධයි. එම මතභේදය කොතරම් උග්‍ර අතට හැරුණාද කිවහොත් ක්‍රිස්තියානි සභාවේ භේදයක් ඇති වීමට තරම් එය බරපතළ වෙනවා. ඒ නිසා යුදෙව් ක්‍රිස්තියානීන් යුදෙව් නොවන ක්‍රිස්තියානීන්ව සැලකිය යුත්තේ කෙසේද හා යුදෙව් නොවන ක්‍රිස්තියානීන් චර්මච්ඡේදනය වීමේ පිළිවෙත ඇතුළුව මෝසෙස්ට දෙන ලද නීතියේ සඳහන් අනිකුත් පිළිවෙත්වලට යටත් විය යුතුද යන ප්‍රශ්නවලට වහාම විසඳුමක් ලබාගැනීමේ අවශ්‍යතාවක් පැනනඟිනවා. එම ප්‍රශ්නවලට විසඳුමක් ලබාගන්නේ කෙසේද?

3 ඒ සම්බන්ධයෙන් ක්‍රියා පොතෙහි සඳහන් වාර්තාවෙන් අපට වටිනා පාඩම් රැසක් ඉගෙනගත හැකියි. මේ කාලයේදී සභාව තුළ භේද ඇති කරන ප්‍රශ්න මතු වන විට ඥානවන්තව කටයුතු කිරීමට ඒවා අපට ප්‍රයෝජනවත් වෙයි.

‘ඔබ චර්මච්ඡේදනය වුණේ නැත්නම්’ (ක්‍රියා 15:1)

4. සමහර ක්‍රිස්තියානීන් ප්‍රචලිත කළ වැරදි මත මොනවාද? මතු වන ප්‍රශ්නය කුමක්ද?

4 මතභේදයක්ව තිබූ කාරණය විශාල ප්‍රශ්නයක් බවට පත් වූ ආකාරය ලූක් විස්තර කරන්නේ මෙලෙසයි. “යුදයෙන් කිහිපදෙනෙක් [අන්තියෝකියට] ඇවිත්, ‘ඔබ මෝසෙස්ගේ චාරිත්‍රයට එකඟව චර්මච්ඡේදනය වුණේ නැත්නම් ඔබට ගැලවීම ලබාගත නොහැකියි’ කියා පවසමින් සහෝදරයන්ට වැරදි අදහස් ඉගැන්වූවෝය.” (ක්‍රියා 15:1) යුදයෙන් පැමිණි ඒ ‘කිහිපදෙනා’ කලින් පරිසිවරුන්ගේ නිකායට අයත්ව සිටි අයද කියා සඳහන් කර නැහැ. නමුත් පෙනෙන විදිහට එම නිකායට අයත් අයට තිබූ දැඩි මත එම යුදෙව් ක්‍රිස්තියානීන්ට බලපා තිබෙනවා. තමන් යෙරුසලමේ සිටින නියෝජිතයන් හා වැඩිමහල්ලන්ව නියෝජනය කරන බවත් සමහරවිට ඔවුන් එම අවස්ථාවේදී පවසන්න ඇති. (ක්‍රියා 15:23, 24) දෙවිගේ මඟ පෙන්වීමට අනුව පේතෘස්, චර්මච්ඡේදනය නොවූ වෙනත් ජාතීන්ට අයත් අයව ක්‍රිස්තියානි සභාවට පිළිගෙන අවුරුදු 13ක් ගත වී තිබුණත් චර්මච්ඡේදනය විය යුතුයි කියා තවමත් යුදෙව් ක්‍රිස්තියානීන් කියා සිටින්නේ ඇයි? *ක්‍රියා 10:24-29, 44-48.

5, 6. (අ) සමහරක් යුදෙව් ක්‍රිස්තියානීන් චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට ඇලී සිටියේ ඇයි? (ආ) චර්මච්ඡේදනය වීම සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුම හා ඊට පෙර දෙවි ආබ්‍රහම් සමඟ ඇති කරගත් ගිවිසුම අතර සම්බන්ධයක් තිබෙනවාද? පැහැදිලි කරන්න. (පාදසටහන බලන්න.)

5 ඊට හේතු කිහිපයක්ම තිබිය හැකියි. පුරුෂයන්ව චර්මච්ඡේදනය කිරීමේ පිළිවෙත හඳුන්වා දුන්නේ යෙහෝවා දෙවි විසින්මයි. එය යෙහෝවා දෙවි සමඟ විශේෂ බැඳීමක් තිබෙන බවට ලකුණක් වුණා. දෙවි එම පිළිවෙත මුලින්ම හඳුන්වා දුන්නේ ආබ්‍රහම්ට හා ඔහුගේ ගෙයි වැසියන්ටයි. * පසුව එය මෝසෙස්ට දෙන ලද නීතියටත් දෙවි ඇතුළත් කළා. (ලෙවී. 12:2, 3) ඊශ්‍රායෙල්වරුන් සැමරූ උත්සවයන්ට හා ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍රවලට සහභාගි වීමට නම් ඔවුන් සමඟ ජීවත් වූ විදේශිකයෙකු පවා චර්මච්ඡේදනය වීම මෝසෙස්ට දුන් නීතියට අනුව අනිවාර්ය දෙයක් වුණා. (නික්. 12:43, 44, 48, 49) ඒ අනුව චර්මච්ඡේදනය වීමේ පිළිවෙත ඉතා උසස් පිළිවෙතක් ලෙස යුදෙව්වන් සැලකුවා. එසේනම් යුදෙව්වන්, චර්මච්ඡේදනය නොවූ අයව අපවිත්‍ර අය ලෙස සලකා ඔවුන්ව හෙළාදැකීම පුදුමයක් නොවෙයි.—යෙසා. 52:1.

6 නමුත් කාලයක් පුරා ඔවුන් යටත්ව සිටි නීතිය අවලංගු කර දැන් අලුත් ගිවිසුම පිහිටුවා තිබෙනවා. එම ගිවිසුමට අනුව යුදෙව්වන්ව තවදුරටත් දෙවිගේ තෝරාගත් සෙනඟ ලෙස සැලකුවේ නැහැ. ඕනෑම කෙනෙකුට දෙවිගේ තෝරාගත් සෙනඟට අයත් වීමේ ප්‍රස්තාව උදා වී තිබුණා. දෙවි හඳුන්වා දුන් එම අලුත් සැලැස්ම පිළිගැනීමට නම් යුදෙව් ක්‍රිස්තියානියෙකුට දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් හා නිහතමානිකම අවශ්‍ය වුණා. යුදයේ හා යුදෙව්වන් විශාල පිරිසක් ජීවත් වූ ප්‍රදේශවල සිටි යුදෙව් ක්‍රිස්තියානීන්ට ක්‍රිස්තුස්ව ප්‍රසිද්ධියේ පිළිගැනීමටත් චර්මච්ඡේදනය නොවූ වෙනත් ජාතියකට අයත් කෙනෙකුව තමන්ගේ සෙසු සහෝදරයෙකු ලෙස පිළිගැනීමටත් මහත් නිර්භීතකමක්ද අවශ්‍ය වුණා.—යෙරෙ. 31:31-33; ලූක් 22:20.

7. සමහරදෙනෙකුට තේරුම්ගැනීමට නොහැකි වූ කාරණය කුමක්ද?

7 මෝසෙස්ට දෙන ලද නීතිය අවලංගු කර අලුත් ගිවිසුම පිහිටුවා තිබීමෙන් අදහස් වන්නේ දෙවිගේ ප්‍රමිතිවල වෙනසක් වී තිබෙන බව නොවෙයි. දෙවිගේ ප්‍රමිති කිසිදාක වෙනස් වන්නේ නැහැ. ඇත්තෙන්ම අලුත් ගිවිසුම පිහිටුවා තිබෙන්නේ මෝසෙස්ට දෙන ලද නීතිය ගොඩනඟා තිබූ ප්‍රමිති මතයි. (මතෙ. 22:36-40) උදාහරණයකට මෝසෙස්ට දෙන ලද නීතියේ සඳහන් චර්මච්ඡේදනය වීමේ පිළිවෙත හඳුන්වා දීමට මූලික වූ ප්‍රමිතිය අලුත් ගිවිසුම යටතේ සිටින ක්‍රිස්තියානීන්ට අදාළ වන ආකාරය පාවුල් මෙසේ පැහැදිලි කළා. කෙනෙකු “සැබෑ යුදෙව්වෙක් වන්නේ ඔහු හදවතින්ම යුදෙව්වෙකු වන නිසාය. ඔහුගේ චර්මච්ඡේදනයද හදවතේ සිදු වන දෙයකි. එවැනි දෙයක් සිදු වන්නේ ලිඛිත නීති මාලාවක් මගින් නොව දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසාය.” (රෝම 2:29; ද්වි. 10:16) පෙනෙන විදිහට යුදයේ සිට අන්තියෝකියට පැමිණි ‘කිහිපදෙනා’ ඒ කාරණය තේරුම්ගෙන සිටියේ නැහැ. චර්මච්ඡේදනය වීමේ පිළිවෙත දෙවි කොහොමටවත් අවලංගු නොකරන අතර ක්‍රිස්තියානියෙකු වන සෑම කෙනෙකුම එය අනුගමනය කළ යුතුමයි කියා ඔවුන් තරයේ කියා සිටියේ ඒ නිසයි. ඔවුන්ට තිබෙන ඒ වැරදි මතය නිවැරදි කිරීමට උත්සාහ දරන විට ඔවුන් කෙසේ ප්‍රතිචාරය දක්වයිද?

“උණුසුම් විවාදයක්” (ක්‍රියා 15:2)

8. චර්මච්ඡේදනය සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නය විසඳීම පාලක මණ්ඩලයට භාර කළේ ඇයි?

8 ඉන්පසු සිදු වූ දෙය ලූක් වාර්තා කරන්නේ මෙසේයි. “පාවුල් සහ බානබස් ඔවුන් [යුදයෙන් පැමිණි කිහිපදෙනා] සමඟ එකඟ නොවූ නිසා ඔවුන් අතර උණුසුම් විවාදයක් හටගත්තේය. එහෙයින් පාවුල්ව, බානබස්ව සහ තවත් සහෝදරයන් කිහිපදෙනෙකුව යෙරුසලමට යැවීම සඳහා සැලසුම් යොදන ලදි. එසේ කළේ එහි සිටින නියෝජිතයන් සහ වැඩිමහල්ලන්ව හමු වී ඇති වූ විවාදය ගැන සාකච්ඡා කිරීම සඳහාය.” * (ක්‍රියා 15:2) ඔවුන් අතර ‘උණුසුම් විවාදයක් හටගත්තා’ කීමෙන් පැහැදිලි වන්නේ එම ප්‍රශ්නයට සම්බන්ධ වූ දෙපාර්ශ්වයම තමන් දරන මතය හරියි කියා දැඩි ලෙස විශ්වාස කළ නිසා අනික් පාර්ශ්වය ඉදිරිපත් කරන අදහස් කොහෙත්ම පිළි නොගත් බවයි. ඔවුන් අතර ඇති වූ ප්‍රශ්නය විසඳීමට අන්තියෝකියේ සභාවේ සිටි සහෝදරයන්ට නොහැකි වුණා. ඒ නිසා සභාවේ සාමය හා සමඟිය දිගටම පවත්වාගැනීම සඳහා එම ප්‍රශ්නය විසඳීම ඒ කාලයේ පාලක මණ්ඩලය ලෙස කටයුතු කළ යෙරුසලමේ සිටි ‘නියෝජිතයන්ට හා වැඩිමහල්ලන්ට’ භාර දීමට ඒ සභාවේ සහෝදරයන් තීරණය කළා. එම සිද්ධියෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

“මෝසෙස්ට දෙන ලද නීතිය පිළිපැදීමට ඔවුන්ට [වෙනත් ජාතීන්ට අයත් අයට] අණ කිරීම අවශ්‍ය” බව සමහරුන් පැවසුවා

9, 10. අන්තියෝකියේ සිටි සහෝදරයන්ගෙන්, පාවුල් හා බානබස්ගෙන් අපට ඉගෙනගත හැකි පාඩම් මොනවාද?

9 අපට ඉගෙනගත හැකි පළමු කාරණය නම් යෙහෝවා දෙවිගේ සංවිධානය ලබා දෙන මඟ පෙන්වීම් කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබීමේ වැදගත්කමයි. මේ ගැන ටිකක් සිතන්න. පාලක මණ්ඩලයේ සිටි සෑම සාමාජිකයෙකුම යුදෙව් පසුබිමකින් පැමිණි අය බව අන්තියෝකියේ සිටි වැඩිමහල්ලන් හොඳින්ම දැන සිටියා. ඒ වුණත් චර්මච්ඡේදනය හා සම්බන්ධ ප්‍රශ්නය ඔවුන් ශුද්ධ ලියවිල්ලේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟව විසඳයි කියා වැඩිමහල්ලන්ට මහත් විශ්වාසයක් තිබුණා. පාලක මණ්ඩලය ගැන එවැනි දැඩි විශ්වාසයක් ඔවුන් තුළ තිබීමට හේතුව කුමක්ද? යෙහෝවා දෙවි තම බලය මාර්ගයෙන් හා ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අවශ්‍ය මඟ පෙන්වීම් පාලක මණ්ඩලයට ලබා දෙන බවට ඔවුන් තුළ දැඩි නිසැකකමක් තිබුණා. (මතෙ. 28:18, 20; එෆී. 1:22, 23) අද දිනත් සභාවන් තුළ බැරෑරුම් ප්‍රශ්න පැනනඟින විට අන්තියෝකියේ සභාවේ සිටි සහෝදරයන් මෙන් අපත් යෙහෝවා දෙවිගේ සංවිධානය හා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත පාලක මණ්ඩලය ලබා දෙන මඟ පෙන්වීම් කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබිය යුතුයි.

10 අපට ඉගෙනගත හැකි තවත් කාරණයක් නම් නිහතමානීව හා ඉවසිලිවන්තව කටයුතු කිරීමේ වැදගත්කමයි. වෙනත් ජාතීන් වෙතට ගොස් ශුභාරංචිය දේශනා කිරීම සඳහා පාවුල්ව හා බානබස්ව තෝරාගත්තේ දෙවි විසින්මයි. ඇත්තෙන්ම එම පැවරුම ඔවුන්ට දෙවිගෙන් කෙළින්ම ලැබුණු පැවරුමක්. ඒ නිසා යම් බලතල ඔවුන්ට තිබුණා කියා පැවසිය හැකියි. නමුත් චර්මච්ඡේදනය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නය විසඳීමට ඔවුන් එම බලතල පාවිච්චි කළේ නැහැ. මන්ද එම ප්‍රශ්නය විසඳීම තමන් සතු කාර්යයක් නොවන බව ඔවුන් තේරුම්ගත්තා. (ක්‍රියා 13:2, 3) ඒ කාරණය සම්බන්ධයෙන් දෙවි ලබා දුන් මඟ පෙන්වීමට ඔවුන් යටත් වූ බවත් පසු කාලයක පාවුල් පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “මා එසේ [යෙරුසලමට] ගියේ යේසුස් ක්‍රිස්තුස් මට යමක් එළිදරව් කළ නිසාය.” (ගලා. 2:2) මතභේදයකට තුඩු දිය හැකි ප්‍රශ්න පැනනඟින විට අද දින වැඩිමහල්ලන්ද ඒ හා සමානව නිහතමානීව හා ඉවසිලිවන්තව කටයුතු කිරීමට උත්සාහ දරනවා. එවැනි අවස්ථාවලදී ඔවුන් තම මතයේම එල්බගෙන අහංකාර ලෙස කටයුතු කරනවා වෙනුවට ඒ සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ලේ තිබෙන ප්‍රතිපත්ති හා විශ්වාසවන්ත දාසයා ලබා දී තිබෙන උපදෙස්, මඟ පෙන්වීම් සෝදිසි කර බලනවා. එසේ කිරීමෙන් ඔවුන් පෙන්වන්නේ කාරණා විසඳීම සඳහා ඔවුන් යෙහෝවා දෙවි මත රඳා සිටින බවයි.—ෆිලි. 2:2, 3.

11, 12. යෙහෝවා දෙවි කාරණා විසඳන තෙක් බලා සිටීම වැදගත් වන්නේ ඇයි?

11 සමහර අවස්ථාවලදී කාරණයක් සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් යෙහෝවා දෙවි ලබා දෙන තුරු යම් කාලයක් බලා සිටීමට අපට සිදු වෙනවා. වෙනත් ජාතියකට අයත් කෙනෙකු වූ කොර්නේලියස්ව දෙවිගේ බලයෙන් අභිෂේක කළේ ක්‍රි.ව. 36දී බව ඔබට මතක ඇති. චර්මච්ඡේදනය හා සම්බන්ධ ප්‍රශ්නය මුලින්ම පැනනැඟුණේ ඒ කාලයෙයි. නමුත් ක්‍රි.ව. 49 පමණ වන තෙක්ම එම ප්‍රශ්නය විසඳී තිබුණේ නැහැ. ඉන් පැහැදිලි වන්නේ එම ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තෙක් අවුරුදු 13ක් පමණ බලා සිටීමට සහෝදරයන්ට සිදු වූ බවයි. දෙවි එතරම් කාලයක් එම ප්‍රශ්නය පැවතීමට ඉඩහැරියේ ඇයි? චර්මච්ඡේදනය වීමේ පිළිවෙත අවුරුදු 1,900ක් පැරණි පිළිවෙතක්. එය යුදෙව්වන් මහත් ගෞරවයෙන් සැලකූ ඔවුන්ගේ මුතුන්මිත්තෙකු වූ ආබ්‍රහම්ට දුන් පිළිවෙතක්. එතරම් භක්තියකින් අනුගමනය කළ පිළිවෙතක් තවදුරටත් වලංගු නොවන බව එකපාරටම පිළිගැනීම යුදෙව්වන්ට පහසු දෙයක් වුණේ නැහැ. ඒ නිසා එම වෙනසට අනුව තම මනස් හැඩගස්වා ගැනීමට අවංක හදවත් ඇති යුදෙව්වන්ට යම් කාලයක් ලබා දීමට යෙහෝවා දෙවි තීරණය කරන්න ඇති.—යොහ. 16:12.

12 ස්වර්ගයේ සිටින අපගේ පියාණන් මොන තරම් කරුණාවන්ත, ඉවසිලිවන්ත දෙවි කෙනෙක්ද! ඒ නිසා දෙවි අපට මඟ පෙන්වීම් ලබා දෙන විට හා අපේ ආකල්ප නිවැරදි කරන විට අප ඒවා සතුටින් පිළිගන්නවා. දෙවි එසේ කරන්නේ අපේ යහපතට හා ප්‍රයෝජනයට කියා අපට විශ්වාසයි. (යෙසා. 48:17, 18; 64:8) ඒ නිසා අප අහංකාර ලෙස අපේ මතයේම එල්බගෙන සිටීමෙන් වැළකී සිටිමු. සංවිධානයේ විවිධ සැලැස්මවල්වල යම් වෙනස්කම් සිදු කරන විට හෝ යම් බයිබල් පද සම්බන්ධයෙන් කලින් තිබූ අවබෝධයේ යම් සකස් කිරීම් කරන විට හෝ ඒ ගැන විවේචනය කරනවා වෙනුවට එම වෙනස්කම් නිහතමානීව පිළිගනිමු. (දේශ. 7:8) සංවිධානයේ දේවල් සිදු වන ආකාරය ගැන වපර ඇසින් බැලීමේ නැඹුරුවාවක් හෝ ආඩම්බර ස්වභාවයක් යම් දුරකට ඔබ තුළ තිබෙනවා කියා ඔබට දැනෙනවා නම් එයින් ගොඩ ඒමට දෙවිගේ උපකාර ඉල්ලා යාච්ඤා කරන්න. ක්‍රියා 15වෙනි පරිච්ඡේදයේ තිබෙන ප්‍රතිපත්ති ගැනද ගැඹුරින් කල්පනා කර බලන්න. *

13. යෙහෝවා දෙවි හා සමානව අපට ඉවසිලිවන්තව කටයුතු කළ හැක්කේ කෙසේද?

13 නිහතමානීව හා ඉවසිලිවන්තව කටයුතු කිරීම අපට තවත් පැත්තකින් ප්‍රයෝජනවත් වෙනවා. අප සමඟ බයිබලය පාඩම් කරන කෙනෙකුට කාලයක් පුරා මහත් භක්තියකින් ඇදහූ යම් දෙයක් හෝ අනුගමනය කළ මිථ්‍යා චාරිත්‍රයක් අත්හැරීම අපහසු දෙයක් විය හැකියි. එවැනි අවස්ථාවලදී ඔහුගේ හදවත තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී ඔහුගේ ආකල්ප නිවැරදි වන තෙක් යම් සාධාරණ කාලයක් බලා සිටීමට අපට සිදු වෙනවා. (1 කොරි. 3:6, 7) අවශ්‍ය වෙනස්කම් කිරීමට ඔහුට උපකාර කරන්න කියා ඒ කාලය තුළදී දෙවිට යාච්ඤා කරන්න අපට පුළුවන්. එවැනි කෙනෙකු සම්බන්ධයෙන් ඥානවන්ත තීරණයක් ගැනීමට නිසි කාලයේදී දෙවි අපට උපකාර කරන බවට නිසැක වන්න.—1 යොහ. 5:14.

ඔවුන් දිරිගන්වනසුලු අද්දැකීම් සෙසු සහෝදරයන් සමඟ බෙදාගත්තා (ක්‍රියා 15:3-5)

14, 15. අන්තියෝකියේ සභාවේ අය යෙරුසලම බලා පිටත්ව ගිය අයට ගෞරවය දැක්වූයේ කෙසේද? පාවුල්, බානබස් හා ඔවුන් සමඟ ගිය සහෝදරයන් සෙසු සහෝදරයන්ට දිරිගැන්වීමක් වුණේ කෙසේද?

14 පාවුල්ව, බානබස්ව හා තවත් සහෝදරයන් කිහිපදෙනෙකුව යෙරුසලමට යැවීමට තීරණය කළ පසු සිදු වූ දෙය ලූක් මෙලෙස විස්තර කර තිබෙනවා. “ඔවුන්ව ඇරලවීමට සභාවේ සහෝදරයෝ ඔවුන් සමඟ යම් දුරක් ගියෝය. ඉන්පසු එම සහෝදරයන්ගෙන් සමුගත් ඔවුහු, ෆිනීෂියාව හා සමාරිය මැදින් ගමන් කළෝය. එසේ ගමන් කරන අතරතුරේදී ඔවුහු වෙනත් ජාතීන්ද දෙවි වෙතට හැරෙන ආකාරය ගැන හමු වූ සහෝදරයන්ට පැවසූහ. එය ඇසූ සියලුදෙනා තුළ ඇති වූයේ ඉමහත් සතුටකි.” (ක්‍රියා 15:3) එම වාර්තාවට අනුව ඔවුන්ව ඇරලවීමට සභාවේ සහෝදරයෝ ඔවුන් සමඟ යම් දුරක් ගියේ ඔවුන්ට දෙවිගේ ආශීර්වාදය සභාවේ අය පතන බව පෙන්වීමටයි. සභාවේ අයගේ සහයෝගය ඔවුන් කිරීමට යන වැඩයට තිබෙන බවත් එමගින් පැහැදිලි වුණා. එය ඇත්තෙන්ම මොන තරම් ප්‍රේමණීය ක්‍රියාවක්ද! නැවතත් අන්තියෝකියේ සභාවේ සිටි සහෝදරයන් අපට තබන්නේ මොන තරම් කදිම ආදර්ශයක්ද! ඔබත් සභාවේ සිටින අයට, ‘විශේෂයෙන්ම දෙවි පවසන දේවල් ගැන කතා කිරීමටත් ඉගැන්වීමටත් මහත් වෙහෙසක් දරන වැඩිමහල්ලන්ට’ සහයෝගය දක්වමින් ගෞරව කරනවාද?—1 තිමෝ. 5:17.

15 යෙරුසලම බලා පිටත්ව ගිය ඔවුන්, ගමන අතරතුරේදී නවාතැන් ගත් ෆිනීෂියාව හා සමාරිය යන ප්‍රදේශවල සිටි සහෝදරයන් සමඟ අද්දැකීම් බෙදාගත්තා. වෙනත් ජාතීන් දෙවි වෙතට හැරෙන ආකාරය ගැන බොහෝ විස්තර ඔවුන් පැවසුවා. ඒ ප්‍රදේශවල ජීවත් වූ සහෝදරයන් අතර ස්තේපන්ගේ මරණයෙන් පසු යෙරුසලමෙන් පලා ආ යුදෙව් ක්‍රිස්තියානීන් සිටින්න ඇති. එහි සිටි සහෝදරයන්ට එම තොරතුරුවලින් මොන තරම් දිරිගැන්වීමක් ලැබෙන්න ඇද්ද! යෙහෝවා දෙවි ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයට ආශීර්වාද කර තිබෙන බව පැහැදිලි වන වාර්තා අද දිනත් අසන්න ලැබෙද්දී අපේ සහෝදරයන්ට, විශේෂයෙන්ම විවිධ පීඩා හා දුෂ්කරතාවලට මුහුණ දෙන අයට එයින් මහත් දිරිගැන්වීමක් ලැබෙනවා. එවැනි වාර්තා හා අද්දැකීම් බෙදාගන්නා රැස්වීම් හා සමුළුවලට සහභාගි වීමෙන් ඔබත් දිරිගැන්වීමක් ලබනවාද? අපේ සඟරා පොත් පත්වල පළ වන සහෝදරයන්ගේ අද්දැකීම් හා ජීවිත කතා කියවා බැලීමෙන්ද ඔබ දිරිගැන්වීමක් ලබනවාද?

16. චර්මච්ඡේදනය හා සම්බන්ධ ප්‍රශ්නය විශාල ප්‍රශ්නයක්ව තිබූ බව පැහැදිලි වන්නේ කෙසේද?

16 අන්තියෝකියේ සිට කිලෝමීටර් 550ක් පමණ දකුණු දෙසට ගමන් කළ ඔවුන්, ‘යෙරුසලමට ගිය විට සභාවද නියෝජිතයන් සහ වැඩිමහල්ලන්ද ඔවුන්ව සාදරයෙන් පිළිගත්තා. එවිට දෙවි ඔවුන් ලවා සිදු කළ සියලු දේවල් ගැන ඔවුන් ඔවුන්ට පැවසුවා.’ (ක්‍රියා 15:4) නමුත් ‘යෙරුසලමේ රැස්ව සිටි පිරිස අතර කලින් පරිසිවරුන්ගේ නිකායට අයත්ව සිටි යේසුස්ගේ අනුගාමිකයන් කිහිපදෙනෙකු සිටි නිසා ඔවුන් තම අසුන්වලින් නැඟිට කියා සිටියේ, “වෙනත් ජාතීන්ට අයත් අයව චර්මච්ඡේදනය කර මෝසෙස්ට දෙන ලද නීතිය පිළිපැදීමට ඔවුන්ට අණ කිරීම අවශ්‍ය” බවයි.’ (ක්‍රියා 15:5) පෙනෙන විදිහට චර්මච්ඡේදනය හා සම්බන්ධ ප්‍රශ්නයට ඉක්මනින් විසඳුමක් අවශ්‍යව තිබුණා.

‘නියෝජිතයන් හා වැඩිමහල්ලන්’ එකට රැස් වෙයි (ක්‍රියා 15:6-12)

17. ඒ කාලයේ පාලක මණ්ඩලයේ සේවය කළේ කවුරුන්ද? නියෝජිතයන් සමඟ ‘වැඩිමහල්ලන්’ පිරිසක් පාලක මණ්ඩලයේ සේවය කළේ ඇයි?

17 හිතෝපදේශ 13:10හි පවසන්නේ, “එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්‍රඥාවන්තව කටයුතු කළ හැක” කියායි. එම ප්‍රතිපත්තියට එකඟව ක්‍රියා කළ ‘නියෝජිතයන් හා වැඩිමහල්ලන් ඒ කාරණය [චර්මච්ඡේදනය හා සම්බන්ධ ප්‍රශ්නය] ගැන සාකච්ඡා කිරීමට රැස් වුණා.’ (ක්‍රියා 15:6) මුළු ක්‍රිස්තියානි සභාවම නියෝජනය කළ ‘නියෝජිතයන් හා වැඩිමහල්ලන්’ එලෙස රැස් වුණේ මුළු සභාව වෙනුවෙන්ම තීරණයක් ගැනීමටයි. අද දින පාලක මණ්ඩලය ඉටු කරන්නෙත් එවැනිම කාර්යයක්. නියෝජිතයන් සමඟ ‘වැඩිමහල්ලන්’ පිරිසක් පාලක මණ්ඩලයේ සේවය කළේ ඇයි? නියෝජිතයන් සිටියේ අතළොස්සක්. මේ වන විට ඔවුන්ගෙන් එක් කෙනෙකු වූ යාකොබ්ව ඝාතනය කර තිබුණා. නියෝජිත පේතෘස්ද යම් කාලයක් සිරභාරයේ සිටියා. එවැනි දේවල් නියෝජිතයන්ගෙන් ඕනෑම කෙනෙකුට සිදු වීමට ඉඩකඩ තිබුණා. පාලක මණ්ඩලයේ නියෝජිතයන් පමණක් සිටියා නම් ඔවුන් සියලුදෙනාටම එවැනි දේවලට මුහුණ දීමට සිදු වුණොත් ක්‍රිස්තියානි සභාවට අවශ්‍ය නිසි මඟ පෙන්වීම් ලබා දීමේ හා සභාවේ වැඩකටයුතු අධීක්ෂණය කිරීමේ කාර්යය අඩාළ වෙනවා. ඒ නිසා සුදුසුකම් තිබෙන අභිෂේක ලත් වෙනත් පුරුෂයන් පාලක මණ්ඩලයේ සේවය කිරීමෙන් නියෝජිතයන්ට යම් දෙයක් සිදු වුණත් එම කාර්යය දිගටම කරගෙන යෑමට හැකියාව ලැබෙනවා.

18, 19. පේතෘස් පැවසූ වැදගත් කාරණා මොනවාද? ඔහුට සවන් දුන් අය තේරුම්ගත යුතුව තිබුණේ කුමක්ද?

18 රැස් වූ ‘ඔවුන් ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කළා.’ එක් පොතකට අනුව ‘සාකච්ඡා කළා’ ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයට ‘තොරතුරු සොයා බැලීම,’ ‘ප්‍රශ්න කිරීම’ යන අදහස්ද ඇතුළත් වුණා. ඉන් පැහැදිලි වන්නේ රැස් වූ සහෝදරයන් අතරේ විවිධ මත තිබූ නිසා එම කාරණය ගැන ඔවුන් සියලුදෙනාම විවෘතව කතා කළ බවයි. එසේ “සාකච්ඡා කළ පසු පේතෘස් නැඟිට මෙසේ කීවේය. ‘මගේ සහෝදරයෙනි, ඔබ හැමෝම දන්නවා වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ටත් ශුභාරංචියට සවන් දී එය විශ්වාස කරන්න දෙවි අවස්ථාවක් ලබා දී ඇති බව. ඒ සඳහා මුල් වී ක්‍රියා කරන්න දෙවි ඔබ අතරින් තෝරාගත්තේ මාවයි. දෙවි සියලුදෙනාගේ සිත්වල තිබෙන දේ දන්නවා. ඔහු තම බලය අපට ලබා දුන්නා වගේම ඔවුන්ටත් එය ලබා දුන්නා. දෙවි ඔවුන්ව පිළිගත් බවට එය ප්‍රබල සාක්ෂියක්. ඒ වගේම ඔවුන් තැබූ විශ්වාසය නිසා දෙවි ඔවුන්ගේ හදවත්ද පවිත්‍ර කළා. එසේ කිරීමෙන් ඔහු පෙන්වා දුන්නේ ඔවුන් හා අප අතර කිසි වෙනසක් නැති බවයි.’”—ක්‍රියා 15:7-9.

19 පේතෘස් පවසා සිටියේ වෙනත් ජාතියකට අයත් කෙනෙකු වූ කොර්නේලියස්ව හා ඔහුගේ නිවසේ රැස්ව සිටි අයව ක්‍රි.ව. 36දී දෙවිගේ බලයෙන් අභිෂේක කළ අවස්ථාව ඔහු සියැසින් දුටු බවයි. ඔහු එම සිද්ධිය ඔවුන්ට මතක් කර දුන්නේ යුදෙව්වන් හා යුදෙව් නොවන අය අතරේ කිසි වෙනසක් නැති බව දෙවි පැහැදිලිව එළිදරව් කර තිබියදී ඊට වෙනස්ව කටයුතු කිරීමට මිනිසුන්ට අයිතියක් නැති බව පෙන්වීමටයි. ඇත්තෙන්ම කෙනෙකුව දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කරන්නේ ඔහු මෝසෙස්ට දුන් නීතියේ සඳහන් දේවල් කොතරම් දුරට පිළිපදිනවාද යන කාරණය මත නොව ක්‍රිස්තුස් කෙරෙහි ඔහුට තිබෙන විශ්වාසය මතයි.—ගලා. 2:16.

20. චර්මච්ඡේදනය අනිවාර්ය කළ යුතුයි කියා පවසා සිටි අය “දෙවිට විරුද්ධව ක්‍රියා කරන්න උත්සාහ” කළේ කෙසේද?

20 පේතෘස් තවදුරටත් මෙසේ පැවසුවා. “අපේ මුතුන්මිත්තන්ටවත් අපටවත් උසුලන්න බැරි වූ බරක් එම ගෝලයන් මත පැටවීමෙන් ඔබ දෙවිට විරුද්ධව ක්‍රියා කරන්න උත්සාහ කරන්නේ ඇයි? ඇත්තටම අපි විශ්වාසයෙන් බලා සිටින්නේ අපේ ස්වාමීන් වන යේසුස්ගේ මහත් කරුණාව මාර්ගයෙන් ගැලවීම ලබාගැනීමටයි. වෙනත් ජාතීන්ට අයත් අයටත් තිබෙන්නේ ඒ විශ්වාසයමයි.” (ක්‍රියා 15:10, 11) පේතෘස් පැහැදිලි කළේ දෙවි වෙනත් ජාතීන්ට අයත් අයව පිළිගන්නා බවට දෙවිම පැවසූ දේවල් තුළින් හා දෙවිගේ බලය මාර්ගයෙන් ඉතා පැහැදිලි සාක්ෂි ලබා දී තිබෙන බවයි. ඒ නිසා ‘දෙවිට විරුද්ධව ක්‍රියා කිරීම’ ඥානවන්ත දෙයක් නොවන බව ඔහු පැවසුවා. ඇත්තෙන්ම යුදෙව්වන් වෙනත් ජාතීන් මත පැටවීමට උත්සාහ කළේ ඔවුන්ව මරණයට සුදුස්සන් ලෙස නියම කළ, ඔවුන්ටවත් සම්පූර්ණයෙන්ම පිළිපැදීමට නොහැකි වූ නීති මාලාවක්. (ගලා. 3:10) ඒ නිසා චර්මච්ඡේදනය වීමේ පිළිවෙත ඇතුළු දෙවි විසින් අවලංගු කළ නීතියේ සඳහන් වෙනත් පිළිවෙත් අනුගමනය කිරීම නිෂ්ඵල දෙයක් බව ඔහු පැහැදිලිව පැවසුවා. ඇත්තෙන්ම යුදෙව්වන් කළ යුතුව තිබුණේ යේසුස් මාර්ගයෙන් දෙවි පෙන්වා ඇති මහත් කරුණාවට ස්තුතිවන්ත වෙමින් ඊට එකඟව ජීවත් වීමට පියවර ගැනීමයි.

21. පාවුල් හා බානබස් සාකච්ඡාවට දායක වුණේ කෙසේද?

21 පේතෘස් පැවසූ වදන් සියලුදෙනා තුළම ප්‍රබල බලපෑමක් ඇති කළ බව පැහැදිලියි. මන්ද වාර්තාවේ පවසන්නේ එතැන සිටි ‘සියලුදෙනාම නිහඬ වූ’ බවයි. ඉන්පසු පාවුල් හා බානබස් “වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් අතර දෙවි ඔවුන් මාර්ගයෙන් කළ නොයෙකුත් පුදුමාකාර ක්‍රියාවන් හා ආශ්චර්යයන්” ගැන විස්තර පැවසුවා. (ක්‍රියා 15:12) ලැබුණු සියලු සාක්ෂි සලකා බලා මතු වී තිබූ ප්‍රශ්නය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියෝජිතයන්ට හා වැඩිමහල්ලන්ට දැන් පුළුවන්කම තිබුණා. ඇත්තෙන්ම ඔවුන් ගන්නා තීරණය, ඒ සම්බන්ධයෙන් දෙවි ලබා දී තිබෙන මඟ පෙන්වීම්වලට එකඟ වන බව නිසැකයි.

22-24. (අ) අද දින පාලක මණ්ඩලය එදා සිටි පාලක මණ්ඩලය ආදර්ශයට ගන්නේ කෙසේද? (ආ) දෙවි පිහිටුවා තිබෙන සැලැස්මට ගෞරව කරන බව වැඩිමහල්ලන්ට පෙන්විය හැක්කේ කෙසේද?

22 අද දින පාලක මණ්ඩලයේ සාමාජිකයන්ද යම් දේවල් ගැන සාකච්ඡා කිරීමට රැස් වන විට අවශ්‍ය මඟ පෙන්වීම් සඳහා බයිබලය හොඳින් සෝදිසි කර බලන අතර දෙවිගේ උපකාර ඉල්ලා මහත් ඕනෑකමින් යාච්ඤා කරනවා. (ගීතා. 119:105; මතෙ. 7:7-11) යම් කාරණා සාකච්ඡා කිරීම සඳහා ඔවුන් එලෙස එක් රැස් වීමට පෙර සාකච්ඡා කිරීමට නියමිත තොරතුරු ඇතුළත් ලිඛිත ලැයිස්තුවක් සෑම සාමාජිකයෙකුටම ලබා දෙනවා. කල් වේලා ඇතුව එවැනි ලැයිස්තුවක් ඔවුන්ට ලබා දෙන්නේ එහි තිබෙන දේවල් ගැන හොඳින් කල්පනා කර බලා පෞද්ගලිකව ඒ දේවල් ගැන දෙවිට යාච්ඤා කිරීමට අවස්ථාව ලබා දීමටයි. (හිතෝ. 15:28) පසුව එම සහෝදරයන් එකට රැස් වන විට තම අදහස් විවෘතව හා ගෞරවනීය ආකාරයෙන් ඉදිරිපත් කරනවා. එවැනි සාකච්ඡාවලදී ඔවුන් නිතරම බයිබලය සෝදිසි කර බලනවා.

23 එම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය සභාවල සිටින වැඩිමහල්ලන්ද අනුගමනය කළ යුතුයි. සභාවේ වැඩිමහල්ලන් යම් කාරණයක් ගැන එක්ව සාකච්ඡා කළ පසුත් එය නිරාකරණය කිරීමට නොහැකි වුණොත් ශාඛා කාර්යාලයෙන් මඟ පෙන්වීම් පැතිය හැකියි. නැත්නම් ශාඛා කාර්යාලය නියෝජනය කරන සංචාරක සේවකයාගෙන් උපකාර ඉල්ලිය හැකියි. සමහර අවස්ථාවලදී ශාඛා කාර්යාලය අවශ්‍යතාවක් මතු වුණොත් ඒ කාරණය සම්බන්ධයෙන් පාලක මණ්ඩලයෙන්ද මඟ පෙන්වීම් ඉල්ලා සිටිනවා.

24 ක්‍රිස්තියානි සංවිධානය තුළ දෙවි පිහිටුවා තිබෙන සැලැස්මට ගෞරව කරන අයට යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා. එවැනි කෙනෙකු එම සැලැස්මට කැමැත්තෙන්ම යටත් වන අතර වගකීම් දරන සහෝදරයන් ලබා දෙන මඟ පෙන්වීම් මුළු හදවතින්ම පිළිපදිනවා. ඔහු එම සැලැස්මට අනුව යම් කාරණා නිරාකරණය වන තෙක් ඉවසිලිවන්තව බලා සිටිනවා. එසේ කටයුතු කිරීමෙන් දෙවිගේ සෙනඟ සැබෑ සාමය හා එක්සත්කම අද්දකින අතර ඔවුන්ට දෙවි ලබා දෙන පෝෂණයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වෙනවා. ඇත්තෙන්ම ඒ සෑම දෙයක්ම දෙවිගෙන් ලැබෙන ආශීර්වාදයි! අප ඒ ගැන ඊළඟ පරිච්ඡේදයෙන්ද සලකා බලනවා.

^ 5 ඡේ. චර්මච්ඡේදනය වීමේ පිළිවෙත දෙවි හා ආබ්‍රහම් අතර ඇති කරගත් ගිවිසුමක්. නමුත් එම ගිවිසුම, ආබ්‍රහම්ගේ පෙළපතින් සියලු ජාතීන්ට ආශීර්වාද ලැබෙන බව පවසමින් දෙවි ආබ්‍රහම් සමඟ ඇති කරගත් ගිවිසුමට සම්බන්ධ නැහැ. ඒ ගිවිසුම අද දක්වාම වලංගුයි. ඒ ගිවිසුම ඇති කරගත්තේ ක්‍රි.පූ. 1943 ආබ්‍රහම් (ආබ්‍රම්) යුප්‍රටීස් ගඟින් එගොඩ වී කානාන් දේශය බලා ගිය අවස්ථාවෙයි. ඒ වන විට ඔහුට වයස අවුරුදු 75යි. චර්මච්ඡේදනය වීමේ පිළිවෙත හඳුන්වා දුන්නේ ක්‍රි.පූ. 1919දීයි. ඒ වන විට ආබ්‍රහම්ට වයස අවුරුදු 99යි.—උත්. 12:1-8; 17:1, 9-14; ගලා. 3:17.

^ 8 ඡේ. පෙනෙන විදිහට පාවුල් හා බානබස් සමඟ යෙරුසලමට යන අය අතර ග්‍රීක ජාතික සහෝදරයෙක් වූ තීතස්ද සිටියා. පසු කාලයකදී ඔහු පාවුල්ට ඉතා විශ්වාසවන්ත කෙනෙක් වුණා. පාවුල්ගේ උපකාරයට සිටි ඔහු, ඔහුගේ නියෝජිතයෙකු ලෙසත් විවිධ වගකීම් ඉටු කළා. (ගලා. 2:1; තීත. 1:4) චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත් නොවූ වෙනත් ජාතියකට අයත් වූ ඔහුව දෙවිගේ බලයෙන් අභිෂේක කළා. වෙනත් ජාතීන්ට අයත් අයවත් දෙවි පිළිගෙන ඇති බවට ඔහු කදිම සාක්ෂියක්.—ගලා. 2:3.