Skip to content

පටුනට යන්න

7වෙනි පරිච්ඡේදය

“යේසුස් පිළිබඳ ශුභාරංචිය” පතළ වෙයි

“යේසුස් පිළිබඳ ශුභාරංචිය” පතළ වෙයි

ශුභාරංචිය දේශනා කරන්නෙකු ලෙස ෆිලිප් තැබූ ආදර්ශය

ක්‍රියා 8:4-40

1, 2. දේශනා කිරීම නතර කර දැමීමට දැරූ උත්සාහයට සිදු වුණේ කුමක්ද?

දැන් පීඩා රැල්ල හොඳටම දරුණු වෙලා. සාවුල් ක්‍රිස්තියානීන්ට විරුද්ධව “ඉතා කුරිරු ආකාරයකින්” පීඩා කිරීමට පටන් අරන්. (ක්‍රියා 8:3) ඔහු ක්‍රියා කරන්නේ වියරු වැටුණු මෘගයෙකු ලෙසයි. යෙරුසලමේ සිටින යේසුස්ගේ ගෝලයන් දැන් විවිධ තැන්වලට පලා යමින් සිටිනවා. ඒ නිසා ක්‍රිස්තියානි සභාව සම්පූර්ණයෙන්ම නැති කර දැමීමට සාවුල් ගත් උත්සාහය සාර්ථකයි කියා සමහරදෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් නොසිතූ දෙයක් සිදු වෙනවා.

2 යෙරුසලමෙන් පලා ගිය අය ඔවුන් ගිය ගිය තැන්වල ‘දෙවිගේ පණිවිඩය ඇතුළත් ශුභාරංචිය ප්‍රකාශ කළා.’ (ක්‍රියා 8:4) ඉන් පැහැදිලි වන්නේ විරුද්ධවාදීන් දැරූ උත්සාහය අසාර්ථක වුණා පමණක් නොව ඔවුන් ගෙනා පීඩාවල ප්‍රතිඵලයක් ලෙස ශුභාරංචිය දසත පැතිරුණු බවයි. ඇත්තෙන්ම ශුභාරංචිය ඈත කෙළවර දක්වා ව්‍යාප්ත කිරීමට විරුද්ධවාදීන් නොදැනුවත්වම දායක වුණා කියා පැවසිය හැකියි. මේ කාලයෙත් සිදු වී තිබෙන්නේ ඒ හා සමාන දෙයක්.

“විසිරී ගිය අය” (ක්‍රියා 8:4-8)

3. (අ) ෆිලිප් යනු කවුද? (ආ) සමාරියේ සිටි අයට ශුභාරංචියට සවන් දීමට අවස්ථාවක් නොලැබී තිබුණේ ඇයි? නමුත් පසු කාලයකදී සිදු වන දේ ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

3 එලෙස ‘විසිරී ගිය අයගෙන්’ එක් කෙනෙක් ෆිලිප්. * (ක්‍රියා 8:4; “ ‘ශුභාරංචිය දේශනා කිරීමට ප්‍රසිද්ධ වූ’ ෆිලිප්” නමැති කොටුව බලන්න.) ඔහු ගියේ සමාරියටයි. ඒ නුවරේ සිටි බොහෝදෙනෙකුට ශුභාරංචියට සවන් දීමට අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ. මන්ද යේසුස් එක් අවස්ථාවක තම නියෝජිතයන්ට මෙවැනි උපදෙසක් දී තිබුණා. “සමාරියේ කිසි නුවරකටවත් ඇතුල් වෙන්න එපා. ඒ වෙනුවට ඊශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට නොකඩවාම යන්න.” (මතෙ. 10:5, 6) නමුත් ඔහු ස්වර්ගයට යන්න කලින් පැවසූ මේ වදන්වලින් පැහැදිලි වන්නේ කල් යත්ම සමාරියේ වැසියන්ටත් ශුභාරංචිය ගැන පැහැදිලි සාක්ෂියක් දරනවා කියා ඔහු දැන සිටි බවයි. ඔහු පැවසුවේ, “ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි” කියායි.—ක්‍රියා 1:8.

4. ෆිලිප් ශුභාරංචිය දේශනා කළ විට සමරිතානුවන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඊට හේතුව කුමක් විය හැකිද?

4 සමාරියේ නෙළීමට හොඳ අස්වැන්නක් තිබෙන බව ෆිලිප් දුටුවා. (යොහ. 4:35) ඔහු ඉදිරිපත් කළ පණිවිඩය එහි සිටි වැසියන්ට මහත් සහනයක් ගෙන දුන්නා. මන්ද පරිසිවරුන්ගේ පටු ආකල්ප නිසා යුදෙව්වන් සමරිතානුවන්ව සැලකුවේ පහත් ජාතියක් ලෙසයි. යුදෙව්වන් ඔවුන් සමඟ කිසි ගනු දෙනුවක් කළේ නැහැ. බොහෝදෙනෙක් ඔවුන්ව පිළිකුල් කළා. නමුත් ෆිලිප්ට ඔවුන් ගැන එවැනි පහත් හැඟීමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු මහත් උද්‍යෝගයෙන් හා සතුටින් සමරිතානුවන්ටත් ශුභාරංචිය දේශනා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ශුභාරංචිය මගින් ලබා දෙන බලාපොරොත්තුව තරාතිරම් බැලීමකින් තොරව සෑම කෙනෙකුටම විවෘත බව සමරිතානුවන් තේරුම්ගත්තා. එසේනම් ෆිලිප් ශුභාරංචිය දේශනා කරන විට විශාල පිරිසක් ඊට “ඉතා කිට්ටු අවධානයක්” දීම පුදුමයක්ද!—ක්‍රියා 8:6.

5-7. දරුණු විරුද්ධවාදිකම් ශුභාරංචිය පැතිරවීමට දායක වී තිබෙන්නේ කෙසේද?

5 පළමුවෙනි සියවසේ මෙන් මේ කාලයෙත් දෙවිගේ සේවකයන් කරන වැඩය නතර කිරීමට විරුද්ධවාදීන්ට හැකි වී නැහැ. දරුණු විරුද්ධවාදිකම් නිසා සාක්ෂිකරුවන්ට තම ගම්බිම් අත්හැර වෙනත් ස්ථානවලට යෑමට සිදු වී තිබෙන බව ඇත්තයි. සමහර අයට සිරකඳවුරුවල පවා ජීවත් වීමට සිදු වී තිබෙනවා. නමුත් එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ එම ස්ථානවල වෙසෙන අයටත් ශුභාරංචියට සවන් දීමට අවස්ථාව ලැබීමයි. උදාහරණයකට දෙවෙනි ලෝක මහා යුධ සමයේදී නාට්සි ගාල් කඳවුරුවල සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එහි සිටි අයට කදිම සාක්ෂියක් දැරුවා. ඒ කඳවුරේ සිටි යුදෙව් ජාතිකයෙක් සාක්ෂිකරුවන් ගැන මෙසේ පැවසුවා. “කඳවුරේ සිටි සාක්ෂිකරුවන් ඉතා නිර්භීතයි. ඔවුන්ගේ විශ්වාසය ශුද්ධ ලියවිල්ල මත පදනම් වී තිබීම ඊට හේතුව බව මම වටහාගත්තා. ඒ නිසා මමත් සාක්ෂිකරුවෙක් වුණා.”

6 සමහර අවස්ථාවලදී තමන්ට විරුද්ධවාදිකම් කරන අයටත් සාක්ෂි දැරීමට දෙවිගේ සේවකයන්ට හැකි වී තිබෙනවා. උදාහරණයකට ඔස්ට්‍රියාවේ තිබූ ගූසන් නම් ගාල් කඳවුරට මාරු කළ සහෝදර ෆ්‍රාන්ස් ඩෙෂ්ගේ අද්දැකීම සලකා බලන්න. එහිදී ඔහු නාට්සි ආරක්ෂක නිලධාරියෙකුට සාක්ෂි දැරූ අතර ඔහු සමඟ බයිබල් පාඩමක් ආරම්භ කිරීමටත් ඔහුට හැකි වුණා. අවුරුදු ගණනාවකට පසු ඔවුන් දෙදෙනා සමුළුවකදී මුණගැසුණා. ඒ ආරක්ෂක නිලධාරියා දැන් තමාගේ ක්‍රිස්තියානි සහෝදරයෙකු බව දැනගන්න ලැබුණු විට සහෝදර ඩෙෂ්ට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද!

7 විරුද්ධවාදිකම් නිසා සාක්ෂිකරුවන්ට එක් රටකින් තවත් රටකට පලා යන්න සිදු වූ අවස්ථාවකත් ඒ හා සමාන දෙයක් සිදු වුණා. වර්ෂ 1970දී මලාවි රටේ සාක්ෂිකරුවන්ට මොසැම්බික් රටට පලා යන්න සිදු වුණා. නමුත් ඔවුන් මොසැම්බික් රටෙත් ශුභාරංචිය දේශනා කළා. පසු කාලයක සාක්ෂිකරුවන්ට විරුද්ධව මොසැම්බික් රටෙත් විරුද්ධවාදිකම් ඇරඹුණත් දේශනා සේවය නොනවත්වා එහි කරගෙන ගියා. ඒ ගැන සහෝදර ෆ්‍රාන්සිස්කෝ කෝආනා මෙසේ පැවසුවා. “දේශනා සේවයේ හවුල් වූ නිසා කිහිප අවස්ථාවකදීම අපව අත්අඩංගුවට ගත්තා. ඒ වුණත් ගොඩක්දෙනෙක් ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා දකිද්දී පළමුවෙනි සියවසේ අයට වගේ යෙහෝවා දෙවිගේ උපකාරය අපටත් තිබෙනවා කියා ස්ථිර වුණා.”

8. දේශපාලන හා ආර්ථික වශයෙන් සිදු වූ වෙනස්කම් දේශනා සේවයට බලපා තිබෙන්නේ කෙසේද?

8 විවිධ දේශවලට ශුභාරංචිය පැතිර ගොස් තිබෙන්නේ පීඩා විරුද්ධවාදිකම් නිසා පමණක් නොවෙයි. මෑත කාලයේදී දේශපාලන හා ආර්ථික වශයෙන් සිදු වූ විවිධ වෙනස්කම්ද ඊට දායක වී තිබෙනවා. යුද්ධ පැවති රටවල හා ආර්ථික වශයෙන් පරිහානියට ලක් වූ රටවල ජීවත් වූ බොහෝදෙනෙක් වඩාත් දියුණු රටවලට ගොස් තිබෙනවා. සමහරදෙනෙක් සරණාගතයන් ලෙසත් විවිධ රටවලට පලා ගොස් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ භාෂා කතා කරන, විවිධ ජාතීන්ට අයත් අයට ශුභාරංචිය දේශනා කිරීමේ අවස්ථාව උදා වී තිබෙන අතර ඔවුන්ගෙන් සමහරදෙනෙක් බයිබලයේ සඳහන් දේවල් තව තවත් ඉගෙනගන්නවා. උදාහරණයකට එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සැන් ඩියාගෝ නම් නගරයේ පමණක් මොන තරම් ජන කොටස් ප්‍රමාණයක් සිටිනවාද කියනවා නම් භාෂා 100කට වැඩි ගණනක් එහි භාවිත කරනවා. ඒ අයට සාක්ෂි දැරීමේ ප්‍රතිඵලයක් ලෙස භාෂා බොහොමයකින් එම නගරයේ සභාවන් බිහි වී තිබෙනවා. ඔබේ ප්‍රදේශයෙත් ජීවත් වන ‘සියලු ජාතීන්ට, ගෝත්‍රවලට හා සියලු භාෂා කතා කරන අයට’ සාක්ෂි දැරීමට ඔබට කළ හැකි උපරිමය ඔබ කරමින් සිටිනවාද?—එළි. 7:9.

“මටත් මේ බලය දෙන්න” (ක්‍රියා 8:9-25)

‘යේසුස්ගේ නියෝජිතයන් තම අත් යම් කෙනෙකු පිට තැබූ විගස ඔහුට දෙවිගේ බලය ලැබුණු ආකාරය දුටු සීමොන් ඔවුන්ට මුදල් දීමට පොරොන්දු වුණා.’—ක්‍රියා 8:18

9. සීමොන් යනු කවුද? ඔහු ෆිලිප් ගැන උනන්දු වුණේ ඇයි?

9 ෆිලිප් සමාරියේදී බොහෝ ආශ්චර්යයන්ද සිදු කළා. ඔහු අසනීපව සිටි අයව හා ආබාධිත අයව සුව කළ අතර භූතයන් ආවේශ වී සිටි අයගෙන් භූතයන්ව දුරු කළා. (ක්‍රියා 8:6-8) මන්තර ගුරුකම්වල යෙදී සිටි සීමොන් නම් තැනැත්තාද ෆිලිප් කළ ආශ්චර්යයන් සියැසින් දුටුවා. සීමොන් මිනිසුන් අතරේ කොතරම් ප්‍රසිද්ධ වී සිටි කෙනෙක්ද කියනවා නම් මිනිසුන් ඔහු ගැන පැවසුවේ, “මේ මිනිසා තමයි ‘දෙවියන්ගේ බලය’” කියායි. නමුත් ෆිලිප් කළ ආශ්චර්යයන් දුටු ඔහුට, සැබෑ දෙවිගේ බලය මොන තරම්ද කියා දැනගැනීමට හැකි වුණා. ඒ ගැන ඔහු තුළ පැහැදීමක් ඇති වූ නිසා ඔහු යේසුස්ගේ අනුගාමිකයෙක් වුණා. (ක්‍රියා 8:9-13) නමුත් ඔහු දෙවිගේ සේවකයෙකු වුණේ කුමන චේතනාවෙන්ද කියා පසුව සෝදිසියට ලක් වුණා.

10. (අ) සමාරියේදී පේතෘස් හා යොහන් කළේ කුමක්ද? (ආ) නියෝජිතයන් දෙදෙනා අලුතින් ගෝලයන් වී සිටි අය පිට අත් තැබූ විට සිදු වූ දේ දුටු සීමොන් කළේ කුමක්ද?

10 සමාරියේ වැසියන් දෙවිගේ පණිවිඩයට දැක්වූ හොඳ ප්‍රතිචාරය ගැන යේසුස්ගේ නියෝජිතයන්ට ආරංචි වූ විට ඔවුන් පේතෘස්ව හා යොහන්ව සමාරියට යැව්වා. (“ පේතෘස් ‘ස්වර්ග රාජ්‍යයේ යතුරු’ භාවිත කරයි” නමැති කොටුව බලන්න.) සමාරියට ගිය ඒ නියෝජිතයන් දෙදෙනා අලුතින් ගෝලයන් වී සිටි අයට දෙවිගේ බලය ලබා දෙන්න කියා දෙවිට යාච්ඤා කළා. ඔවුන් දෙදෙනා එහි සිටි ගෝලයන් පිට අත් තැබූ විට ඔවුන්ට දෙවිගේ බලය ලැබුණා. * එය දුටු සීමොන් විස්මයට පත් වී, “මටත් මේ බලය දෙන්න. එතකොට මටත් පුළුවන් ඕනෑම කෙනෙකු පිට අත් තබා ඔහුට දෙවිගේ බලය ලබා දෙන්න” කියා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියා. ඔහු ඔවුන්ට ඒ වෙනුවෙන් මුදල් පවා දීමට කැමති වුණා. ඇත්තෙන්ම ඔහු සිතුවේ දෙවි ලබා දුන් බලය මුදල් දී ලබාගත හැකි දෙයක් ලෙසයි.—ක්‍රියා 8:14-19.

11. පේතෘස් සීමොන්ට පැවසුවේ කුමක්ද? සීමොන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

11 එවිට පේතෘස් ඉතා තදින් ඔහුට මෙසේ පැවසුවා. “ඔබේ මුදල් ඔබ සමඟම විනාශ වේවා! ඔබ හිතුවාද දෙවිගෙන් නොමිලේ ලැබෙන මේ දීමනාව මුදල් දී ගන්න පුළුවන් දෙයක් කියා? ඔබේ සිත අවංක නැති බව දෙවිට පේනවා. ඒ නිසා මේ සේවයට කිසිම ආකාරයකින්වත් සම්බන්ධ වෙන්න ඔබට බැහැ.” ඔහු කරන්න අදහස් කළ දුෂ්ට දේ ගැන පසුතැවිලි වී දෙවිගෙන් සමාව ඉල්ලා, “දෙවිට කන්නලව් කරන්න” කියා පේතෘස් සීමොන්ට අවවාද කළා. ඔහු එසේ කළොත් “සමහරවිට ඔබට සමාව ලැබෙයි” කියාත් පේතෘස් තවදුරටත් පැවසුවා. සීමොන් ඇත්තෙන්ම දුෂ්ට මිනිසෙක් නොවෙයි. ඔහු එවැනි දෙයක් කිරීමට පෙලඹුණේ ඔහුට නිවැරදි අවබෝධයක් නොතිබුණු නිසයි. හරි දේ කිරීමට ඔහුට අවංක ආශාවක් තිබුණා. ඒ නිසයි ඔහු නියෝජිතයන්ගෙන් මෙවැනි දෙයක් ඉල්ලා සිටියේ. “සහෝදරයෙනි, ඔබ පැවසූ කිසිම දෙයක් මට වෙනවාට මම කැමති නැහැ. ඒ නිසා මා වෙනුවෙන් යෙහෝවා දෙවිට කන්නලව් කරන්න.”—ක්‍රියා 8:20-24.

12. බොහෝ කාලයක සිට ආගමික වරප්‍රසාද ලබාගැනීමේදී සිදු වී තිබෙන්නේ කුමක්ද?

12 පේතෘස් සීමොන්ට දුන් ප්‍රබල උපදෙස අද දින අපට කදිම අනතුරු ඇඟවීමක්. බොහෝ කාලයක සිට ආගමික වරප්‍රසාද මුදලට ලබාගැනීමේ හා මුදලට විකිණීමේ පුරුද්දක් පවතිනවා. කතෝලික සභාව තුළ ඒ ක්‍රියාව බෙහෙවින් සිදු වෙනවා. එක් විශ්වකෝෂයක ඒ ගැන පවසා තිබෙන දේ සැලකිල්ලට ගන්න. “පාප්වරුන්ව පත් කිරීමට පවත්වන රහසිගත රැස්වීම්වල ඉතිහාසය පරීක්ෂා කර බැලීමෙන් පෙනී යන්නේ පූජක වරප්‍රසාද මිල දී ගැනීම හෝ ඒවා මුදලට විකිණීමේ පුරුද්ද සිදු නොවූ අවස්ථාවක් සොයාගැනීමට නොහැකි තරම් බවය. එම රැස්වීම් තුළදී බොහෝදුරට එය සිදු කරන්නේ කිසිම ලැජ්ජා භයකින් තොරව විවෘතවයි.”—The Encyclopaedia Britannica 1878.

13. සැබෑ ක්‍රිස්තියානීන් කුමක් සම්බන්ධයෙන් පරෙස්සම් විය යුතුද?

13 මිලමුදල් දී යම් වරප්‍රසාද ලබාගැනීමෙන් හෝ ලබා දීමෙන් සැබෑ ක්‍රිස්තියානීන් වන අප වැළකී සිටිය යුතුයි. උදාහරණයකට ක්‍රිස්තියානි සභාව තුළ යම් වරප්‍රසාද ලබාගැනීමේ අරමුණින් වගකීම් දරන අයට අනවශ්‍ය ලෙස තෑගිබෝග ලබා දීමෙන් හෝ ඔවුන්ව අනවශ්‍ය ලෙස ප්‍රශංසාවට ලක් කිරීමෙන් වැළකී සිටිය යුතුයි. අනික් අතට වගකීම් දරන අයත් මිලමුදල් වැඩියෙන් තිබෙන අයට අනිසි අනුග්‍රහයක් නොදැක්වීමට වගබලා ගත යුතුයි. එවැනි දේවල් කිරීමට ක්‍රිස්තියානීන් පෙලඹෙනවා නම් ඔවුන්ට තිබෙන්නේ සීමොන්ට තිබුණා හා සමාන ආකල්පයක්. දෙවිගේ බලය ක්‍රියාත්මක වී යම් වරප්‍රසාද ලබා දෙන තුරු දෙවිගේ සියලුම සේවකයන් “නිහතමානීව” බලා සිටිය යුතුයි. (ලූක් 9:48) ඇත්තෙන්ම ‘තමාටම ගෞරවය සෙවීමට’ උත්සාහ කරන අයට දෙවිගේ සංවිධානය තුළ කිසිම ඉඩක් නැහැ.—හිතෝ. 25:27.

‘ඔබ කියවන දේ ඔබට ඇත්තටම වැටහෙනවාද?’ (ක්‍රියා 8:26-40)

14, 15. (අ) “ඉතියෝපියානු නිලධාරියා” ගැන පැවසිය හැක්කේ මොනවාද? ෆිලිප්ට ඔහුව හමු වුණේ කෙසේද? (ආ) ෆිලිප් පැවසූ දේවලට ඔහු ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඔහුගේ බව්තීස්මය වැඩිදුර සිතන්නේ බලන්නේ නැතුව හදිස්සියේ ගත් පියවරක් නොවුණේ ඇයි? (පාදසටහන බලන්න.)

14 යෙරුසලමේ සිට ගාසා දක්වා දිව යන මාර්ගයේ ගමන් කරන්න කියා යෙහෝවා දෙවිගේ දූතයෙක් ෆිලිප්ට මඟ පෙන්වූවා. තමන්ට එවැනි මඟ පෙන්වීමක් දුන්නේ ඇයි කියා සමහරවිට ෆිලිප් කල්පනා කරන්න ඇති. නමුත් ‘අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල හඬ නඟා කියවමින්’ සිටි ඉතියෝපියානු නිලධාරියාව දුටු විට ෆිලිප්ට ඊට පිළිතුරු ලැබෙන්න ඇති. (“ ඉතියෝපියානු නිලධාරියා” නමැති කොටුව බලන්න.) යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමේ ප්‍රතිඵලයක් ලෙස එම නිලධාරියා ගමන් කරමින් සිටි අශ්ව රථය වෙතට ෆිලිප් දිව ගොස්, “ඔබ කියවන දේ ඔබට ඇත්තටම වැටහෙනවාද” කියා ඔහුගෙන් ඇසුවා. එවිට එම නිලධාරියා, “කාගෙවත් මඟ පෙන්වීමක් නැතුව මේ දේවල් මම කොහොමද තේරුම්ගන්නේ” කියා ෆිලිප්ට පැවසුවා.—ක්‍රියා 8:26-31.

15 ඉන්පසු රථයට නැඟ තමන් සමඟ ඉඳගන්න කියා එම නිලධාරියා ෆිලිප්ගෙන් ඉල්ලා සිටියා. ඔවුන් දෙදෙනා අතරේ මොන තරම් රසවත් සාකච්ඡාවක් සිදු වෙන්න ඇද්ද! යෙසායාගේ අනාවැකියේ සඳහන්, ‘බැටළුවා’ නැත්නම් “සේවකයා” කවුද යන කාරණය බොහෝ කාලයක් පුරා අභිරහසක්ව පැවතුණා. (යෙසා. 53:1-12) නමුත් මේ ගමන අතරතුරේදී යෙසායා පැවසූ අනාවැකිය යේසුස් තුළින් ඉටු වූ ආකාරය ෆිලිප් ඉතියෝපියානු නිලධාරියාට පැහැදිලි කර දුන්නා. යේසුස් හා සම්බන්ධ තොරතුරු එලෙස වටහාගත් එම නිලධාරියා, ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ පේතෘස් ඉදිරිපත් කළ කතාවට සවන් දුන් අය මෙන් ඊළඟට තමා ගත යුතු පියවර කුමක්ද කියා විගස වටහාගත්තා. ඔහු ඒ වන විට යුදෙව් ආගමට හැරුණු කෙනෙක් නිසා, “මෙන්න වතුර තිබෙන තැනක්! මට දැන් බව්තීස්ම වෙන්න මොකක්ද තිබෙන බාධාව” කියා ෆිලිප්ගෙන් ඇසුවා. එවිට ෆිලිප් නොපමාව එම නිලධාරියාව බව්තීස්ම කළා. * (64වෙනි පිටුවේ සඳහන්,  “බව්තීස්මය සිදු කරන්නේ කෙසේද?” නමැති කොටුව බලන්න.) එම සිදුවීමෙන් පසු අලුත් පැවරුමක් සඳහා අෂ්දොද් නුවර වෙතට යන ලෙස ෆිලිප්ට මඟ පෙන්වනු ලැබුවා. ඔහු එම නුවරෙහි දිගටම ශුභාරංචිය ප්‍රකාශ කළා.—ක්‍රියා 8:32-40.

16, 17. ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ඉටු කිරීමට අද දින දේවදූතයන් සම්බන්ධ වන්නේ කෙසේද?

16 ෆිලිප් කළා හා සමාන කාර්යයක හවුල් වීමේ වරප්‍රසාදය සැබෑ ක්‍රිස්තියානීන්ට ලැබී තිබෙනවා. ගෙයින් ගෙට සේවයේ හවුල් වෙනවාට අමතරව ගමන්බිමන් යන විට හා වෙනත් අවස්ථාවලදී මිනිසුන්ට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය පැවසීමට අපට අවස්ථා උදා වෙනවා. එවැනි අවස්ථාවලදී සත්‍යය දැනගැනීමට අවංක උනන්දුවක් දක්වන අයව අපට හමු වන්නේ අහම්බෙන් කියා පැවසිය නොහැකියි. මන්ද බයිබලයේ පැහැදිලිවම පවසන්නේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ඉටු කිරීමට දේවදූතයන්ගේ මඟ පෙන්වීම ලැබෙන බවයි. ඔවුන් එසේ කරන්නේ, “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්” එම පණිවිඩය ලැබෙන පිණිසයි. (එළි. 14:6) ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට දේවදූතයන් සම්බන්ධ වන ආකාරය යේසුස්ද තිරිඟු හා කිරිඳි උපමාව මගින් පෙන්වා දුන්නා. එම උපමාවේ ඔහු පැවසුවේ අස්වැන්න නෙළන කාලයේදී එනම් මෙම දුෂ්ට සමාජයේ අවසාන කාලයේදී “අස්වැන්න කපන අය නම් දේවදූතයෝ” කියායි. ඔවුන්, ‘මිනිසුන්ව පාපයට පොලඹවන සියලුදෙනාවද දෙවිගේ නීතියට විරුද්ධව ක්‍රියා කරන පුද්ගලයන්වද ඔහුගේ රාජ්‍යයෙන් පිටතට රැස් කරන’ අතර එම රාජ්‍යයේ පාලකයන් වීමේ අපේක්ෂාව ඇතුව සිටින අයව එක් රැස් කිරීමට පියවර ගන්නවා. ඉන් අනතුරුව ඔවුන් දෙවිගේ සංවිධානයේ කොටසක් වෙනවා දකින්න දෙවි සතුටු ‘වෙනත් බැටළුවන්ට’ අයත් ‘මහත් සමූහයව’ එක් රැස් කරනවා.—මතෙ. 13:37-41; එළි. 7:9; යොහ. 6:44, 65; 10:16.

17 දේවදූතයන් ගැන යේසුස් පැවසූ එම දෙය අද දින ඉටු වෙමින් පවතින බව අපට ස්ථිරවම පැවසිය හැකියි. සමහර අවස්ථාවල අපට හමු වන අය පවසන්නේ අපව හමු වීමට පෙර ඔවුන් යම් උපකාර ඉල්ලා යාච්ඤා කළ බවයි. ඇත්තෙන්ම එවැනි අය වෙතට යෑමට අපට මඟ පෙන්වන්නේ දේවදූතයනුයි. ප්‍රචාරකයන් දෙදෙනෙකු සමඟ කුඩා දරුවෙකු සේවයේ හවුල් වූ විට ඔවුන් ලැබූ මෙම අද්දැකීම සලකා බලන්න. සේවය අවසන් කිරීමට කාලය පැමිණියත් ඊළඟ නිවසටත් යෑමට දරුවා තුළ මහත් උනන්දුවක් තිබුණා. ඔහුට තිබූ උනන්දුව කොතරම්ද කියනවා නම් ඔහු තනිව ගොස් එම නිවසේ දොරට තට්ටු කළා. තරුණ කාන්තාවක් නිවසේ දොර විවෘත කළ විට ප්‍රචාරකයන් දෙදෙනා ඇය සමඟ කතා කිරීමට එතැනට ගියා. බයිබලයේ තිබෙන දේවල් තේරුම්ගැනීමට තමන්ට උපකාර කිරීම සඳහා කාව හරි එවන්න කියා ඒ අවස්ථාවේදී ඇය යාච්ඤා කරමින් සිටි බව ඇය පැවසූ විට ඔවුන් මොන තරම් පුදුම වුණාද! පසුව ඇය සමඟ බයිබලය පාඩම් කිරීමට ඔවුන් සැලසුම් යෙදුවා.

“අනේ දෙවියනි, මම ඔබව දන්නේ නැහැ. ඒත් මට ඔබේ උපකාරය අවශ්‍යයි”

18. අපට තිබෙන වරප්‍රසාදය සුළුවට නොගත යුත්තේ ඇයි?

18 වෙන කවරදාකටත් වඩා වැඩි පිරිසක් වෙතට ශුභාරංචිය රැගෙන යෑමේ කාර්යයට දේවදූතයන් සමඟ හවුල් වීමේ වරප්‍රසාදය ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙකු වන ඔබටත් හිමි වී තිබෙනවා. ඔබට තිබෙන ඒ වරප්‍රසාදය කවදාවත් සුළුවට ගන්න එපා. “යේසුස් පිළිබඳ ශුභාරංචිය” ප්‍රකාශ කිරීමට ඔබ දිගටම උත්සාහ කරනවා නම් එයින් ඔබට මහත් ප්‍රීතියක් අත් කරගත හැකි බව නිසැකයි.—ක්‍රියා 8:35.

^ 3 ඡේ. මොහු යේසුස්ගේ නියෝජිතයෙකු වූ ෆිලිප් නොවෙයි. මේ පොතේ පස්වෙනි පරිච්ඡේදයේ අප ඉගෙනගත් ලෙස යෙරුසලමේ සිටි ග්‍රීක බස කතා කළ හා හෙබ්‍රෙව් බස කතා කළ වැන්දඹුවන්ට ආහාර බෙදා දීමේ කාර්යය අධීක්ෂණය කිරීමට පත් කළ ‘හොඳ නමක් දිනා සිටි පුරුෂයන් හත්දෙනා’ අතරේ සිටි ෆිලිප් මොහුයි.—ක්‍රියා 6:1-6.

^ 10 ඡේ. ඒ කාලයේ කෙනෙකු බව්තීස්ම වූ අවස්ථාවේදී ඔහුව දෙවිගේ බලයෙන් අභිෂේක කළා. නැත්නම් එතැන් පටන් දෙවිගේ බලය එම පුද්ගලයා තුළ ක්‍රියාත්මක වුණා. අනාගතයේදී යේසුස් සමඟ රජවරුන් හා පූජකයන් ලෙස කටයුතු කිරීමේ බලාපොරොත්තුව කෙනෙකුට ලැබුණේ එම අවස්ථාවෙයි. (2 කොරි. 1:21, 22; එළි. 5:9, 10; 20:6) නමුත් ශුභාරංචිය මුලින්ම පිළිගත් සමාරියේ මේ වැසියන් බව්තීස්ම වූ අවස්ථාවේදී දෙවිගේ බලයෙන් ඔවුන්ව අභිෂේක කළේ නැහැ. මේ අලුත් ගෝලයන්ව දෙවිගේ බලයෙන් අභිෂේක කරනු ලැබුවේ පේතෘස් හා යොහන් ඔවුන් පිට අත් තැබූ විටයි. ඔවුන්ට ආශ්චර්යයන් සිදු කිරීමේ දීමනාව ලැබුණේ ඉන් අනතුරුවයි.

^ 15 ඡේ. මෙය වැඩිදුර සිතන්නේ බලන්නේ නැතුව හදිස්සියේ ගත් පියවරක් නොවෙයි. ඒ වන විට ඔහු යුදෙව් ආගමට හැරුණු කෙනෙක් නිසා ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි ඇතුළුව ශුද්ධ ලියවිල්ල ගැන මනා දැනුමක් ඔහු සතුව තිබුණා. දෙවිගේ අරමුණ ඉටු කිරීමට යේසුස් සම්බන්ධ වන ආකාරය ගැන දැනුවත් වූ පසු බව්තීස්ම වීමට ඔහු සුදුසුකම් ලැබුවා.