Skip to content

පටුනට යන්න

6වෙනි පරිච්ඡේදය

‘ස්තේපන් තුළින් දෙවිගේ මහත් කරුණාවත් බලයත් දැකගත හැකි විය’

‘ස්තේපන් තුළින් දෙවිගේ මහත් කරුණාවත් බලයත් දැකගත හැකි විය’

ස්තේපන් මහාධිකරණය ඉදිරියේ නිර්භීතව දැරූ සාක්ෂියෙන් අපට ඉගෙනගත හැකි දේ

ක්‍රියා 6:8–8:3

1-3. (අ) ස්තේපන් මුහුණ දෙමින් සිටින්නේ මොන වගේ බියකරු අවස්ථාවකටද? ඔහු ක්‍රියා කරන්නේ කෙසේද? (ආ) අප සලකා බලන්නේ කුමන කාරණා ගැනද?

දේවමාලිගාව අසල දැවැන්ත ශාලාවක මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් 71දෙනා නඩුවක් විභාග කිරීමට අසුන්ගෙන සිටිනවා. ඔවුන් විභාග කිරීමට යන්නේ ස්තේපන්ට විරුද්ධව නඟා තිබෙන චෝදනායි. මෙහි අසුන්ගෙන සිටින බලපුළුවන්කාර විනිසුරුවන් බොහෝදෙනෙකු තුළ යේසුස්ගේ මේ ගෝලයා ගැන කිසිම ගෞරවාන්විත හැඟීමක් නැහැ. මාස කිහිපයකට ඉහතදී මන්ත්‍රණ සභාව විසින් යේසුස්ට මරණ දණ්ඩනය නියම කළ අවස්ථාවේදී එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ තැනැත්තාමයි අදත් ප්‍රධානියා ලෙස සිටින්නේ. ඒ උත්තම පූජක කායෆස්.

2 මේ බලපුළුවන්කාර මිනිසුන් ඉදිරියේ ස්තේපන් සිටින්නේ බියෙන්ද? ඔහුගේ මුහුණින් නම් ඒ බවක් දකින්න නැහැ. ඔහු දෙස බලා සිටි විනිසුරුවන්ද දුටුවේ ඔහුගේ මුහුණ “දේවදූතයෙකුගේ මුහුණ මෙන් දිස් වූ” ආකාරයයි. (ක්‍රියා 6:15) දේවදූතයන් කියන්නේ යෙහෝවා දෙවිගේ පණිවිඩ ලබා දෙන පිරිසක්. ඔවුන් දෙවි වෙනුවෙන් පෙනී සිටින අය නිසා ඔවුන් නිර්භීතයි, සාමකාමීයි. මේ අවස්ථාවේදී ස්තේපන් කටයුතු කරන්නෙත් ඒ හා සමානවයි. කෝපයෙන් පුපුරමින් සිටින විනිසුරුවන්ද එය පැහැදිලිව දකිනවා. මෙවැනි බියකරු අවස්ථාවක ස්තේපන් මෙතරම් සන්සුන්ව සිටින්නේ කෙසේද?

3 එම ප්‍රශ්නයට පිළිතුරු දැනගැනීම අද දින ක්‍රිස්තියානීන් වන අපට ඉතා ප්‍රයෝජනවත්. නමුත් ඊට පෙර ස්තේපන් කලින් අවස්ථාවකදී තමන් විශ්වාස කළ දේ නිර්භීතව පැහැදිලි කර දුන් ආකාරය හා ඔහුට මෙවැනි බියකරු අද්දැකීමකට මුහුණ දීමට සිදු වුණේ ඇයි යන කාරණය අපි සලකා බලමු. අපට ඔහුව ආදර්ශයට ගත හැක්කේ කෙසේද කියාත් දැනගනිමු.

‘ඔවුන් ජනතාව උසිගැන්වූවා’ (ක්‍රියා 6:8-15)

4, 5. (අ) ස්තේපන් සභාවේ අනර්ඝ සේවයක් ඉටු කළ කෙනෙකු කියා පැවසිය හැක්කේ ඇයි? (ආ) ‘ඔහු තුළින් දෙවිගේ මහත් කරුණාවත් බලයත් දැකගත හැකි වුණේ’ කෙසේද?

4 ස්තේපන් අලුතින් පිහිටෙවූ ක්‍රිස්තියානි සභාවේ අනර්ඝ සේවයක් ඉටු කළ කෙනෙකු බව කලින් පරිච්ඡේදයෙන් අපි දැනගත්තා. සභාවේ යම් අවශ්‍යතාවක් පැනනැඟුණු විට නියෝජිතයන්ට උපකාර කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වූ හත්දෙනා අතරින් ඔහු එක් කෙනෙක්. සමහර නියෝජිතයන්ට මෙන්, “මහත් ලකුණුද ආශ්චර්යයන්ද” සිදු කිරීමේ දීමනාව ඔහුට තිබුණා. නමුත් ඔහු ඉතා නිහතමානී පුද්ගලයෙක් වුණා. බයිබලයේ තවදුරටත් ඔහු ගැන පවසන්නේ, ‘ඔහු තුළින් දෙවිගේ මහත් කරුණාවත් බලයත් දැකගත හැකි විය’ කියායි. එයින් අදහස් කළේ කුමක්ද?—ක්‍රියා 6:8.

5 ස්තේපන් හරිම කරුණාවන්ත, මෘදු පුද්ගලයෙකු වූ නිසා මිනිසුන්ගේ සිත් ඔහු වෙතට ඇදී ගියා. ඔහුට සවන් දුන් බොහෝදෙනෙක් ඔහු අවංක පුද්ගලයෙකු බවත් ඔහු පවසන දේවල් සැබෑ වටිනාකමකින් යුත් දේවල් බවත් තේරුම්ගත්තා. ඒ නිසා ඔහු පැවසූ දේවල් විශ්වාස කරන්න ඔවුන් තුළ මහත් පෙලඹීමක් ඇති වුණා. දෙවිගේ මඟ පෙන්වීම්වලට ඔහු කැමැත්තෙන්ම යටත් වූ නිසා ඔහු තුළ දෙවිගේ බලය ප්‍රබලව ක්‍රියාත්මක වුණා. ඔහු තමන්ට තිබූ හැකියාවන් හා ලැබී තිබූ දීමනාවන් නිසා හිස උදුම්මාගන්නවා වෙනුවට සියලු ගෞරවය හා ප්‍රශංසාව ලබා දුන්නේ දෙවිටයි. ඔහු දේශනා කළ මිනිසුන් කෙරෙහි ඔහුට අවංක උනන්දුවක්ද තිබුණා. එසේනම් තමන්ට තර්ජනයක් ලෙස විරුද්ධවාදීන් ඔහුව සැලකීම පුදුමයක්ද!

6-8. (අ) විරුද්ධවාදීන් ස්තේපන්ට විරුද්ධව නැඟූ චෝදනා දෙක මොනවාද? ඔවුන්ගේ අරමුණ වුණේ කුමක්ද? (ආ) ස්තේපන්ගේ ආදර්ශය අද දින ක්‍රිස්තියානීන්ට ප්‍රයෝජනවත් වන්නේ ඇයි?

6 එක් අවස්ථාවකදී ස්තේපන් සමඟ විවාද කිරීමට පුරුෂයන් කිහිපදෙනෙකු පැමිණියත්, ‘ඔහු ප්‍රඥාවෙන් හා දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව කතා කළ දේට විරුද්ධව කිසිම දෙයක් කීමට ඔවුන්ට නොහැකි වුණා.’ * ඒ නිසා ඔවුන් “රහසින් මිනිසුන් කිහිපදෙනෙකුව කැඳවා” යේසුස්ගේ මේ ගෝලයාට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කරන්න කියා ඔවුන්ව පෙලඹෙව්වා. ඉන්පසු ඔවුන් “ජනතාවද” වැඩිමහල්ලන්වද නීතිය පිටපත් කරන්නන්වද ස්තේපන්ට විරුද්ධව කටයුතු කිරීමට ‘උසිගැන්වූ’ අතර ඔහුව මන්ත්‍රණ සභාව ඉදිරියට බලෙන්ම ඇදගෙන ගියා. (ක්‍රියා 6:9-12) ඔවුන් ස්තේපන්ට විරුද්ධව චෝදනා දෙකක් මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළා. ඇත්තෙන්ම ඔවුන්ට වුවමනා වුණේ එම චෝදනා මත ඔහුව මරා දැමීමටයි.

7 ඔවුන් කියා සිටියේ ස්තේපන් “මේ ශුද්ධ ස්ථානයට” එනම් දේවමාලිගාවට විරුද්ධව කතා කරමින් දෙවිට අපහාස කළා කියායි. ඔවුන් ඔහුට විරුද්ධව එල්ල කළ පළමුවෙනි චෝදනාව එයයි. (ක්‍රියා 6:13) එමෙන්ම ඔවුන් පැවසුවේ මෝසෙස්ට දුන් නීතියට විරුද්ධව ස්තේපන් කතා කරමින් මෝසෙස් හඳුන්වා දුන් චාරිත්‍ර වෙනස් කිරීමට ඔහු උත්සාහ කරනවා කියායි. ඒ නිසා ස්තේපන් මෝසෙස්ට විරුද්ධව අපහාස කරනවා යන චෝදනාවත් ඔවුන් නැඟුවා. ඇත්තෙන්ම ස්තේපන්ට විරුද්ධව තිබූ මේ චෝදනා දෙක ඉතා බරපතළ චෝදනායි. මන්ද ඒ කාලයේ සිටි යුදෙව්වන් දේවමාලිගාවට, මෝසෙස්ට දුන් නීතියට හා පසු කාලවලදී නීතියට එකතු කරන ලද වෙනත් චාරිත්‍ර වාරිත්‍රවලට වැදගත් තැනක් දුන්නා. ඔවුන් එතරම් ගෞරවයෙන් සැලකූ ඒ දේවලට අපහාස කරන කෙනෙකුව ඔවුන් සැලකුවේ මරණ දණ්ඩනය ලැබීමට සුදුසු බරපතළ අපරාධකරුවෙකු ලෙසයි.

8 අද දිනත් ආගමික නායකයන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කරන වැඩයට බාධා කිරීමට ඒ හා සමාන උපක්‍රම යොදාගන්නවා. සමහර අවස්ථාවලදී දෙවිගේ සෙනඟට විරුද්ධව කටයුතු කිරීමට බලතල තිබෙන අයව ඔවුන් උසිගන්වනවා. එවැනි අවස්ථාවලට සාර්ථකව මුහුණ දීමට ස්තේපන් අපට තබා තිබෙන්නේ කදිම ආදර්ශයක්.

“තේජවත් දෙවි” ගැන නිර්භීතව සාක්ෂි දරයි (ක්‍රියා 7:1-53)

9, 10. ස්තේපන් ඉදිරිපත් කළ කතාව ගැන සමහරුන් පවසන්නේ කුමක්ද? අප මතකයේ තබාගත යුතු වැදගත් කාරණා මොනවාද?

9 ස්තේපන්ට විරුද්ධව නඟා තිබූ චෝදනා මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන අවස්ථාවේදී කලින් සඳහන් කළ ලෙස ඔහුගේ මුහුණ දේවදූතයෙකුගේ මුහුණ මෙන් දිස් වුණා. ඔහු සිටියේ ඉතා සන්සුන්වයි. ඉන්පසු කායෆස්, “මේ කියන දේවල් ඇත්තද” කියා ඔහුගෙන් ඇසුවා. (ක්‍රියා 7:1) දැන් ස්තේපන්ට කතා කිරීමේ වාරය පැමිණියා. ඇත්තෙන්ම ඒ අවස්ථාවේදී ඔහු ඉදිරිපත් කළ කතාව මොන තරම් ප්‍රබලද!

10 සමහරුන් පවසන්නේ ස්තේපන් ඉදිරිපත් කළ කතාව ඉතා දීර්ඝ එකක් වුණත් ඔහුට විරුද්ධව නඟා තිබූ චෝදනා නිෂ්ප්‍රභ කිරීමට අවශ්‍ය කරුණු ඔහු ඉදිරිපත් කළේ නැති බවයි. නමුත් ඔහුගේ කතාවේ තොරතුරු දෙස බලන විට අපට පැහැදිලි වන්නේ තමාට නඟා තිබූ චෝදනාවලට ඔහු මොන තරම් කදිම පිළිතුරක් දුන්නාද කියායි. (1 පේතෘ. 3:15) ඔහුගේ කතාවට ඇතුළත් තොරතුරු සලකා බලන විට දේවමාලිගාව සුළු කරමින් දෙවිට අපහාස කිරීම හා නීතිය සුළු කරමින් මෝසෙස්ට අපහාස කිරීම ඔහුට විරුද්ධව ගෙනා චෝදනා බව මතකයේ තබාගැනීම වැදගත්. ඔහුගේ කතාව කොටස් තුනකින් සමන්විතයි. එම කොටස් තුනට ඊශ්‍රායෙල් ඉතිහාසයේ කාල වකවානු තුනක් අයත් වෙනවා. ඒ කාල වකවානුවල සිදු වූ යම් දේවල් ගැන ඔහු කතා කළ විට තමාට විරුද්ධව එල්ල කළ චෝදනා නිෂ්ප්‍රභ කිරීමට අවශ්‍ය තොරතුරු ඔහු මනා ලෙස කාවැද්දුවා. අපි දැන් එම කාල වකවානු තුන වෙන වෙනම සලකා බලමු.

11, 12. (අ) ස්තේපන් ආබ්‍රහම් ගැන පැවසුවේ කුමන කාරණය ඒත්තුගැන්වීමටද? (ආ) ස්තේපන් යෝසෙප් ගැන සඳහන් කළේ ඇයි?

11 ආබ්‍රහම්ගේ සිට මෝසෙස්ගේ කාලය. (ක්‍රියා 7:1-16) ස්තේපන් තම කතාව ආරම්භ කළේ ආබ්‍රහම් ගැන සඳහන් කරමිනුයි. ආබ්‍රහම්ට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය නිසා යුදෙව්වන් ඔහුව මහත් ගෞරවයෙන් සැලකුවා. එලෙස සියල්ලන්ම එකඟ වන කාරණයක් ගැන සඳහන් කරමින් ස්තේපන් කාවැද්දවීමට උත්සාහ කළේ, “තේජවත් දෙවි” වන යෙහෝවා ආබ්‍රහම්ට මුලින්ම දර්ශනය වුණේ ඔහු මෙසපොතේමියාවේ සිටි කාලයේදී බවයි. (ක්‍රියා 7:2) ආබ්‍රහම් පොරොන්දු දේශයේ ජීවත් වුණේ විදේශිකයෙකු ලෙස බවත් ඔහු මතක් කළා. නමස්කාර කිරීම සඳහා ඒ කාලයේදී ඔහුට දේවමාලිගාවක්වත් නීතියක්වත් තිබුණේ නැහැ. ඒ වුණත් දෙවිගේ අනුමැතිය ඔහුට ලැබුණා. එසේනම් දෙවිගේ අනුමැතිය ලබාගැනීම රඳා පවතින්නේ දේවමාලිගාව හෝ නීතිය මත කියා පැවසිය හැකිද?

12 ඉන්පසු යුදෙව්වන් මහත් ගෞරවයෙන් සැලකූ තවත් කෙනෙකු වූ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙකු වන යෝසෙප් ගැන ස්තේපන් කතා කළා. යෝසෙප්ගේ සහෝදරයන් එනම් ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීන්ම ධර්මිෂ්ඨ කෙනෙකු වූ යෝසෙප්ට බොහෝ පීඩා කර ඔහුව වහලෙකු ලෙස විකුණූ බව ඔහු මතක් කළා. ඒ වුණත් දරුණු සාගතයෙන් ඊශ්‍රායෙල් සෙනඟව බේරාගැනීමට දෙවි යොදාගත්තේ යෝසෙප්ව බව ඔහු තවදුරටත් පැවසුවා. යෝසෙප් හා යේසුස් අතර තිබෙන පැහැදිලි සමානකම් ස්තේපන් දැනගෙන සිටි බවට කිසිම සැකයක් නැහැ. නමුත් ඔහු එම තොරතුරු ඔහුගේ කතාවට ඇතුළත් කළේ නැහැ. මන්ද ඔහුට සවන් දෙන අයගේ අවධානය පුළුවන් තරම් වේලාවක් රඳවා තබාගැනීමට ඔහුට අවශ්‍ය වුණා.

13. මෝසෙස් ගැන කතා කිරීමෙන් තමන්ට විරුද්ධව නඟා තිබූ චෝදනාවක් බොරු බව ඔප්පු කිරීමට ස්තේපන්ට හැකි වුණේ කෙසේද? ඔහු ක්‍රමානුකූලව ගොඩනැඟුවේ කුමන කරුණද?

13 මෝසෙස්ගේ කාලය. (ක්‍රියා 7:17-43) ස්තේපන් තම කතාවට මෝසෙස් ගැන බොහෝ තොරතුරු ඇතුළත් කළා. එය ඇත්තටම ඥානවන්ත දෙයක්. මන්ද මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් බොහෝදෙනෙකු සද්දුසිවරුන්. ඔවුන් බයිබලයට අයත් පොත්වලින් පිළිගත්තේ මෝසෙස් විසින් ලියූ පොත් පමණයි. ඉන් පෙනී යන්නේ ඔවුන් මෝසෙස්ව ඉතා ගෞරවනීය කෙනෙකු ලෙස සැලකූ බවයි. කෙසේවෙතත් ස්තේපන්ට විරුද්ධව නඟා තිබූ එක් චෝදනාවක් වුණෙත් ඔහු මෝසෙස්ට අපහාස කළා යන්නයි. නමුත් ඔහු මෝසෙස් ගැන කතා කළ දේවලින් ඒ චෝදනාව බොරුවක් බව ඔප්පු වුණා. ඔහු මෝසෙස්වත් ඔහුට දුන් නීතියත් ඉතා ගෞරවයෙන් සලකන බව ඔහු පැවසූ දේවලින් මනාව පැහැදිලියි. (ක්‍රියා 7:38) මෝසෙස් බේරාගැනීමට උත්සාහ කළ අයම ඔහුව ප්‍රතික්ෂේප කළ බව ස්තේපන් සඳහන් කළා. මෝසෙස්ට වයස අවුරුදු 40දී ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කළ අතර ඊට අවුරුදු 40කට පසුත් ඔහුගේ නායකත්වයට විරුද්ධව අවස්ථා කිහිපයකදීම ඔවුන් කටයුතු කළ බව ස්තේපන් පැවසුවා. * මෙසේ ස්තේපන් ඉතා වැදගත් කරුණක් ක්‍රමානුකූලව ගොඩනැඟුවා. එය නම් යෙහෝවා දෙවි තම සෙනඟව රැකබලා ගැනීමට පත් කළ අයව ඔවුන් කිහිප අවස්ථාවකදීම ප්‍රතික්ෂේප කළා යන කාරණයයි.

14. මෝසෙස් ගැන සඳහන් කිරීමෙන් ස්තේපන් ගෙනහැර දැක්වූ කාරණා මොනවාද?

14 තමා වැනි අනාගතවක්තෘවරයෙකුව ඊශ්‍රායෙල් සෙනඟ අතරින් දෙවි පත් කරන බව මෝසෙස් කලින්ම පැවසුවා කියා ස්තේපන් තම සවන් දෙන්නන්ට මතක් කළා. ඒ අනාගතවක්තෘවරයා කවුද? සෙනඟ ඔහුව කෙසේ පිළිගනීද? ඔහු එම ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ඔහුගේ කතාවේ අවසාන අදියරෙයි. නමුත් මේ අවස්ථාවේදී ඔහු තවත් වැදගත් කරුණක් ගෙනහැර දැක්වූවා. එනම් තමන්ට කැමති ඕනෑම ස්ථානයක් ශුද්ධ භූමියක් ලෙස දෙවිට තෝරාගැනීමට හැකි බව මෝසෙස් තම අද්දැකීමෙන් ඉගෙනගත් බවයි. කටු පඳුර ගිනිගත් අවස්ථාවේදී ඒ කාරණය යෙහෝවා දෙවිම මෝසෙස්ට පැවසුවා. එසේනම් දෙවිට නමස්කාර කළ හැක්කේ යෙරුසලමේ තිබූ දේවමාලිගාවේ එනම් එක ස්ථානයක සිට පමණයි කියා පැවසිය හැකිද?

15, 16. (අ) ස්තේපන් ගොඩනඟමින් සිටි තර්කයට ශුද්ධ කූඩාරම ගැන සඳහන් කිරීම වැදගත් වුණේ කෙසේද? (ආ) ඔහු ඉදිරිපත් කළ තොරතුරුවලට සලමොන්ගේ දේවමාලිගාව සම්බන්ධ කළේ කෙසේද?

15 ශුද්ධ කූඩාරම හා දේවමාලිගාව පැවති කාලය. (ක්‍රියා 7:44-50) යෙරුසලමේ දේවමාලිගාව ගොඩනැඟීමට කලින් ඊශ්‍රායෙල් සෙනඟට නමස්කාර කටයුතු කිරීමට තැනින් තැනට ගෙන යා හැකි කූඩාරමක් සාදන්න කියා දෙවි මෝසෙස්ට අණ කළ බව ස්තේපන් එතැන සිටි අයට සිහිගැන්වූවා. ඇත්තෙන්ම මෝසෙස්ද දෙවිට නමස්කාර කිරීමට එම ශුද්ධ කූඩාරමට ගිය නිසා එය දේවමාලිගාවට වඩා වැදගත්කමින් අඩුයි කියා කිසිම කෙනෙක් සිතුවේ නැහැ.

16 පසු කාලයක සලමොන් යෙරුසලමේ දේවමාලිගාව ගොඩනැඟූ පසු එය දෙවිට කැප කළ අවස්ථාවේ ඔහු කළ යාච්ඤාවට යම් වැදගත් කරුණක් ඇතුළත් කිරීමට දෙවි ඔහුට මඟ පෙන්වූවා. ස්තේපන් ඔහුගේ කතාවේ එය මෙසේ ගෙනහැර දැක්වූවා. “මහෝත්තම දෙවි මිනිසුන් සාදන ගෘහවල වාසය නොකරන බව අප මතක තබාගත යුතුයි.” (ක්‍රියා 7:48; 2 ලේක. 6:18) සෙනඟට නමස්කාර කටයුතු කිරීම සඳහා යම් ස්ථානයක් භාවිත කිරීමට දෙවි අවසර දිය හැකියි. නමුත් දෙවි එම ස්ථානයට පමණක් කොටු වී සිටින බව ඉන් අදහස් වන්නේ නැහැ. ඒ නිසා දෙවිට කරන නමස්කාරය මිනිසුන් විසින් ගොඩනැඟූ ගෘහයක් මත රඳා පවතිනවා කියා සිතීම හරිද? යෙසායාගේ ලියවිල්ලේ සඳහන් මෙම වදන් ගෙනහැර දක්වමින් ස්තේපන් දක්ෂ ලෙස එම තර්කය නිමා කළා. “ඔබ මා සඳහා සාදන්නේ කෙබඳු ගෘහයක්ද? එසේ නැතහොත් මට විවේක ගැනීමට ස්ථානයක් සාදන්නේ කොතැනද කියා යෙහෝවා දෙවි අසයි. මන්ද ස්වර්ගය මාගේ සිංහාසනයය. පොළොව මාගේ පා පුටුවය. ඒ සෑම දෙයක්ම සෑදුවේ මාගේ දෑතින් නොවේද?”—ක්‍රියා 7:49, 50; යෙසා. 66:1, 2.

17. ස්තේපන් ඉදිරිපත් කළ කතාව මගින්, (අ) ඔහුට විරුද්ධව චෝදනා කළ අයට තිබූ මත බොරු බව ඔප්පු කළේ කෙසේද? (ආ) ඔහු ක්‍රියා කළ ආකාරයේ කිසි වරදක් නැති බව පැහැදිලි වුණේ කෙසේද?

17 ස්තේපන්ට විරුද්ධව චෝදනා කළ අයට තිබුණේ බොරු මත බව ස්තේපන් ඉතා දක්ෂ ලෙස අවධාරණය කළා කියා අප මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් පැහැදිලියි. යෙහෝවා දෙවි එක තැනකට සිර වී, චාරිත්‍ර වාරිත්‍රවලට වහල් වී සිටින දෙවි කෙනෙකු නොවන බවත් ඔහු තම අරමුණු ක්‍රමානුකූලව හෙළි කරමින් එය ඉටු කිරීමට ක්‍රියාශීලීව කටයුතු කරන දෙවි කෙනෙකු බවත් ස්තේපන් තම කතාව මගින් පෙන්වා දුන්නා. යෙරුසලමේ තිබූ අලංකාරවත් දේවමාලිගාවට අනවශ්‍ය වැදගත්කමක් දුන් අය හා මෝසෙස්ට දුන් නීතිය වටා ගොඩනඟන ලද චාරිත්‍රවලට වහල් වී සිටි අය ඇත්තටම නීතිය හා දේවමාලිගාව දෙවි ලබා දීමට හේතුව වටහාගත්තේ නැහැ. ඇත්තෙන්ම ස්තේපන් තම කතාව මගින් ‘දේවමාලිගාවට හා නීතියට ගෞරව කළ හැකි හොඳම ආකාරය දෙවිට කීකරු වීමයි’ යන කාරණය ඔවුන්ට නොකියා කිව්වා. ස්තේපන් ක්‍රියා කළ ආකාරයේ කිසි වරදක් නැති බව ඔහු ඉදිරිපත් කළ කතාවෙන් හොඳින් පැහැදිලි වුණා. මන්ද ඔහු කරමින් සිටියේ දෙවි ඔහුගෙන් බලාපොරොත්තු වූ දෙයයි.

18. ස්තේපන්ව ආදර්ශයට ගත හැකි ආකාර මොනවාද?

18 ස්තේපන් ඉදිරිපත් කළ කතාවෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද? ඔහුට ශුද්ධ ලියවිල්ල ගැන මනා අවබෝධයක් තිබුණා. අපත් “සත්‍යය අඩංගු දේවවචනය” නිසි ලෙස භාවිත කිරීමට නම් බයිබලය ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. (2 තිමෝ. 2:15) ස්තේපන්ට සවන් දුන් අය ඔහුට දැඩි ලෙස සතුරුකම් කළ අයයි. නමුත් පුළුවන් තරම් කාලයක් ඔවුන් එකඟ වන කාරණා ගැන කතා කිරීමට ඔහු උත්සාහ කළා. ඔහු ඔවුන්ව ඇමතුවෙත් ඉතා ගෞරවනීය ආකාරයෙනුයි. ඔහු වයසින් වැඩි අයව ඇමතුවේ, “පියවරුනි” කියායි. (ක්‍රියා 7:2) ඒ දේවලින් පැහැදිලි වන්නේ ස්තේපන් ඒ අවස්ථාවේදී කරුණාවන්තව හා ප්‍රඥාවන්තව කටයුතු කළ බවයි. ඒ හා සමානව අපත් දෙවිගේ වචනය අන් අයට පහදා දිය යුත්තේ, ‘මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක් පෙන්වමිනුයි.’—1 පේතෘ. 3:15.

19. දෙවි විනිශ්චයක් ගෙනෙන බවට වූ පණිවිඩය ස්තේපන් නිර්භීතව ප්‍රකාශ කළේ කෙසේද?

19 කෙසේවෙතත් මිනිසුන්ගේ සිත් රිදෙයි කියා සිතා අප දේවවචනයේ තිබෙන සත්‍යතාවන් පැවසීමෙන් වැළකී සිටින්නේවත් දෙවි විනිශ්චයක් ගෙනෙන බවට වූ පණිවිඩය බාල කර පවසන්නේවත් නැහැ. ඒ සම්බන්ධයෙන්ද ස්තේපන් අපට හොඳ ආදර්ශයක්! මන්ත්‍රණ සභාවට තමන් මොන තොරතුරු ඉදිරිපත් කළත් එය ඔවුන්ගේ සිත්වලට කිසිම බලපෑමක් ඇති නොකරන බව ස්තේපන් තේරුම්ගත්තා. ඒ නිසා ඔවුනුත් යෝසෙප්ව, මෝසෙස්ව හා අනිකුත් සියලු අනාගතවක්තෘවරුන්ව ප්‍රතික්ෂේප කළ ඔවුන්ගේ පියවරුන් හා සමාන බව පවසමින් ස්තේපන් තම කතාව අවසන් කළා. එම සත්‍යය නිර්භීතව ඔවුන්ට පැවසීමට ඔහුට මඟ පෙන්වූයේ දෙවියි. (ක්‍රියා 7:51-53) ඇත්තෙන්ම මෝසෙස් හා අනිකුත් අනාගතවක්තෘවරුන් අනාවැකි ප්‍රකාශ කළ ගැලවුම්කරුව මරා දැමුවෙත් ඒ මන්ත්‍රණ සභාවේ සිටි විනිසුරුවන්මයි. ඒ අනුව මෝසෙස්ට දෙන ලද නීතියට විරුද්ධව ප්‍රබල ලෙස කටයුතු කර තිබුණේ ඔවුනුයි.

“යේසුස් මගේ ස්වාමීනි, මගේ ජීවිතය ඔබට භාරයි” (ක්‍රියා 7:54–8:3)

“ඒ දේවල් ඔවුන්ට ඇසුණු විට ඔවුන් තුළ කොතරම් කෝපයක් ඇති වූවාද කිවහොත් ඔවුහු ඔහුට විරුද්ධව කෝපයෙන් දත්මිටි කෑවෝය.”—ක්‍රියා 7:54

20, 21. ස්තේපන් පැවසූ දේට මන්ත්‍රණ සභාවේ සිටි අය ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? දෙවි ඔහුව දිරිගැන්වූයේ කෙසේද?

20 ස්තේපන් පැවසූ වදන් මොන තරම් සත්‍යයද කියනවා නම් ඊට විරුද්ධව යමක් පැවසීමට මන්ත්‍රණ සභාවේ සිටි අයට නොහැකි වුණා. පරාජය භාරගැනීමට නොහැකි වූ ඔවුන්, කෝපයෙන් දත්මිටි කෑවා. ඔවුන් ඒ අවස්ථාවේ හැසිරුණේ තිරිසනුන් ලෙසයි. තම ස්වාමියා වූ යේසුස්ට මෙන් තමන්ටත් මේ මිනිසුන්ගෙන් කිසි අනුකම්පාවක් නොලැබෙන බව දෙවිගේ මේ විශ්වාසවන්ත සේවකයා තේරුම්ගන්න ඇති.

21 තව සුළු මොහොතකින් ඔහුට සිදු වන දේට මුහුණ දීමට ධෛර්යය අවශ්‍යයි. යෙහෝවා දෙවි ඒ අවස්ථාවේදී ඔහුට දැකීමට සැලැස්වූ දර්ශනය මගින් ඔහු මහත් දිරිගැන්වීමක් ලැබූ බවට සැකයක් නැහැ. ස්තේපන් ඒ දර්ශනය තුළින් දෙවිගේ තේජසත් දෙවිගේ දකුණු පැත්තේ යේසුස් සිටින ආකාරයත් දුටුවා. ඔහු ඒ අවස්ථාවේ දකිමින් සිටි ඒ දර්ශන විස්තර කරන විට මන්ත්‍රණ සභාවේ සිටි විනිසුරුවන් දෑත්වලින් ඔවුන්ගේ කන් වසාගත්තා. ඔවුන් ඊට සවන් දීමට අකමැති වුණේ ඇයි? මිනිස් වර්ගයාගේ ගැලවුම්කරුව පාවා දී ඔහුව මරණයට පත් කළේ ඔවුනුයි. මීට පෙර අවස්ථාවක යේසුස් මෙම මන්ත්‍රණ සභාවේදීම තමන් පොරොන්දු වූ ගැලවුම්කරු බවත් වැඩි කල් යෑමට පෙර තමන් තම පියාගේ දකුණු පැත්තේ ඉඳගැනීමට යන බවත් පවසා තිබුණා. (මාක් 14:62) යේසුස්ගේ එම වදන් සත්‍යය බව ස්තේපන් විස්තර කළ දර්ශනයෙන් තහවුරු වුණා. ඒ නිසා ඔවුන් සියලුදෙනාම ස්තේපන් වෙතට කඩාපැන ඔහුව පිටතට ඇදගෙන ගියේ ගල් ගසා ඔහුව මරා දැමීමේ අදහසිනුයි. *

22, 23. ස්තේපන් මිය ගිය ආකාරය හා යේසුස් මිය ගිය ආකාරය අතර ඇති සමානකම් මොනවාද? ස්තේපන් මෙන් අපටත් අපේ බලාපොරොත්තුව ගැන නිසැක විය හැක්කේ ඇයි?

22 මිය යෑමට පෙර ස්තේපන්ද තම ස්වාමියා වූ යේසුස් මෙන් දෙවි ලබා දුන් සමාදානය අද්දුටුවා. ඔහු මිය ගියෙත් යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුවයි. තමන්ව මරණයට පත් කරන අය කෙරෙහි ඔහුටත් වෛරසහගත හැඟීමක් තිබුණේ නැහැ. මිය යන අවස්ථාවේදී “යේසුස් මගේ ස්වාමීනි, මගේ ජීවිතය ඔබට භාරයි” කියා ඔහු පැවසුවේ දෙවි සමඟ සිටි යේසුස්ව දර්ශනය තුළින් ඒ මොහොත වන විටත් ඔහු දකිමින් සිටි නිසා විය හැකියි. එලෙස ඔහු තම ජීවිතය යේසුස්ට භාර දුන්නේ, “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි” කියා යේසුස් පැවසූ දිරිගන්වන වදන් ඔහුගේ මතකයේ තිබූ නිසයි. (යොහ. 11:25) ඉන්පසු ස්තේපන් හඬ නඟා මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවියනි, මේ පාපය සඳහා ඔවුන්ට දඬුවම් කරන්න එපා.” (ක්‍රියා 7:59, 60) එසේ පැවසීමෙන් අනතුරුව ඔහු අවසන් හුස්ම හෙළුවා.

23 ක්‍රිස්තියානීන් අතරින් තම විශ්වාසයන් නිසා දිවි පිදූ පළමු තැනැත්තා වූයේ ස්තේපනුයි. (“ සාක්ෂිකරුවන් දිවි පිදීමටත් සූදානම්” නමැති කොටුව බලන්න.) කනගාටුදායක කාරණය නම් එලෙස දිවි පිදූ අවසන් තැනැත්තා ඔහු නොවෙයි. මෑත කාලය දක්වාම යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ව ආගමික හා දේශපාලන වශයෙන් දැඩි මත දරන උන්මත්තකයන් හා වෙනත් කුරිරු මිනිසුන් විසින් ඝාතනය කර තිබෙනවා. අපටත් එවැනි දෙයකට මුහුණ දීමට සිදු වුණොත් අපට තිබෙන බලාපොරොත්තුව ගැන ස්තේපන් මෙන් නිසැකකමකින් සිටිය හැකියි. මන්ද යේසුස් දැන් දේවරාජ්‍යයේ රජුයි. සියලු බලය යෙහෝවා දෙවි ඔහුට දී තිබෙනවා. ඒ නිසා විශ්වාසවන්තව සිට මිය ගිය තම අනුගාමිකයන්ව නැවත නැඟිටුවීමෙන් ඔහුව වැළැක්වීමට කාටවත් බැහැ.—යොහ. 5:28, 29.

24. ස්තේපන්ගේ මරණයට සාවුල් සහයෝගය දැක්වූයේ කෙසේද? ඔහුගේ මරණය සෙසු ක්‍රිස්තියානීන්ටත් පසු කාලයකදී සාවුල්ටත් බලපෑවේ කෙසේද?

24 ස්තේපන්ට සිදු වූ සෑම දෙයක්ම සාවුල් නම් තරුණයා බලා සිටියා. ස්තේපන්ව මරා දැමීමට ඔහුත් සහයෝගය දුන්නා කියා පැවසිය හැකියි. මන්ද ස්තේපන්ට ගල් ගැසීමට පිටත්ව ගිය අය ඔවුන්ගේ වස්ත්‍ර තබා ගියේ ඔහු ළඟයි. මේ සිදුවීමෙන් ටික කලකට පසු දරුණු ලෙස ක්‍රිස්තියානීන්ට පීඩා කිරීමට සාවුල් පෙරමුණ ගෙන කටයුතු කළා. නමුත් ඒ දරුණු පීඩා රැල්ල හමුවේ එදා සිටි ක්‍රිස්තියානීන් දිගටම ස්ථිරව සිටියා. මන්ද විශ්වාසවන්තව මිය ගිය ස්තේපන්ගේ ආදර්ශය ඔවුන්ට ප්‍රබල බලපෑමක් ඇති කළා. ඔවුන්ගේ ආශාව වුණේ කුමන පීඩාවකට මුහුණ දීමට සිදු වුණත් ස්තේපන් මෙන් දෙවිට විශ්වාසවන්තව සිටීමයි. ඇත්තෙන්ම ස්තේපන්ගේ මරණය පසු කාලයකදී සාවුල්ටත් ප්‍රබල බලපෑමක් ඇති කළා. ස්තේපන්ගේ මරණයට හවුල් වීම කොතරම් බරපතළ වරදක්ද කියා ක්‍රිස්තියානියෙක් බවට පත් වූ සාවුල් (එනම් පාවුල්) තේරුම්ගත්තා. ඒ බව ඔහු පැවසූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “මා දෙවිට අපහාස කළ කෙනෙකි. මා මිනිසුන්ට පීඩා කළ, කිසි කෙනෙකුටවත් ගරු නොකළ මිනිසෙකි.” (1 තිමෝ. 1:13) ඇත්තෙන්ම ඔහු තමන් කළ වරද ගැන බොහෝ සෙයින් කනගාටු වුණා. (ක්‍රියා 22:20) පාවුල්ට ස්තේපන්වවත් ඔහු මන්ත්‍රණ සභාව ඉදිරියේ දුන් ප්‍රබල කතාවවත් කෙදිනකවත් අමතක වුණේ නැහැ. පාවුල් දුන් සමහර කතාවලට හා ඔහු ලියූ සමහර ලිපිවලට ස්තේපන් ඉදිරිපත් කළ කතාවේ සමහරක් තොරතුරු ඇතුළත් කළා. (ක්‍රියා 7:48; 17:24; හෙබ්‍රෙ. 9:24) “දෙවිගේ මහත් කරුණාවත් බලයත්” විදහාපෙන්වූ ස්තේපන්ගේ නිර්භීත හා විශ්වාසවන්ත ආදර්ශය කිට්ටුවෙන් අනුගමනය කිරීමට කල් යත්ම පාවුල් ඉගෙනගත්තා. ප්‍රශ්නය වන්නේ අපත් ස්තේපන්ව ආදර්ශයට ගන්නවාද යන්නයි.

^ 6 ඡේ. ස්තේපන්ට විරුද්ධව කටයුතු කළ අයගෙන් සමහරදෙනෙකු ‘නිදහස ලැබූවන්ගේ සිනගෝගයට’ අයත් අයයි. ඔවුන් සමහරවිට රෝමවරුන් විසින් අල්ලාගෙන පසුව නිදහස් කළ අය විය හැකියි. එසේත් නැත්නම් ඔවුන් යුදෙව් ආගමට හැරුණු නිදහස ලැබූ වහලුන් විය හැකියි. ඔහුට විරුද්ධව කටයුතු කළ තවත් සමහරදෙනෙක් සිලීසියාවෙන් පැමිණි අයයි. ටාසස්හි සාවුල්ද සිලීසියාවෙන් පැමිණි කෙනෙක්. නමුත් ස්තේපන් කතා කළ දේට විරුද්ධව කිසිම දෙයක් කීමට නොහැකි වූ සිලීසියාවෙන් පැමිණි අය අතරේ සාවුල් සිටියාද නැද්ද කියා වාර්තාවේ නිශ්චිතව පවසා නැහැ.

^ 13 ඡේ. බයිබලයේ වෙන කිසිම තැනකින් සොයාගත නොහැකි තොරතුරු ස්තේපන්ගේ කතාවෙන් සොයාගත හැකියි. උදාහරණයකට මෝසෙස් ඊජිප්තුවේදී ලැබූ අධ්‍යාපනය, ඔහු ඊජිප්තුවෙන් පලා යන විට ඔහුගේ වයස හා ඔහු මිදියන් දේශයේ කොතරම් කාලයක් සිටියාද යන තොරතුරුයි.

^ 21 ඡේ. කෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමේ අයිතිය රෝම පාලනය විසින් යුදෙව් මන්ත්‍රණ සභාවට දී තිබුණා කියා සිතිය නොහැකියි. (යොහ. 18:31) ඇත්තෙන්ම ස්තේපන්ගේ මරණය කලහකාරී පිරිසක් විසින් සිදු කළ මිනී මැරුමක් මිස නඩුවකින් ලැබූ තීන්දුවකට අනුව දුන් දඬුවමක් නොවෙයි.