Skip to content

පටුනට යන්න

8වෙනි පරිච්ඡේදය

“සභාවට ඉතා සාමකාමී කාල පරිච්ඡේදයක් උදා විය”

“සභාවට ඉතා සාමකාමී කාල පරිච්ඡේදයක් උදා විය”

දරුණු විරුද්ධවාදියා උද්‍යෝගිමත් දේවසේවකයෙක් වෙයි

ක්‍රියා 9:1-43

1, 2. සාවුල් දමස්කය වෙතට ගියේ ඇයි?

දුෂ්ට අරමුණක් සඳහා මිනිසුන් කණ්ඩායමක් දමස්කය වෙතට ගමන් කරනවා. ඔවුන්ගේ අරමුණ ඔවුන් දැඩි ලෙස වෛර කරන දමස්කයේ සිටින යේසුස්ගේ ගෝලයන්ව නින්දිත ලෙස නිවෙස්වලින් පිටතට ඇද දමා ඔවුන්ව බැඳ යෙරුසලමේ මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන යෑමයි.

2 එම කණ්ඩායමේ නායකයා වෙන කිසිවෙකු නොව සාවුල්. ඔහු දැනටමත් අහිංසකයෙකුගේ ලේ වගුරුවා තිබෙනවා. * ආගමික උන්මත්තකයන් යේසුස්ගේ විශ්වාසවන්ත ගෝලයෙකු වූ ස්තේපන්ට ගල් ගසා ඔහුව මරා දමන විට සාවුල් එය අනුමත කරමින් ඒ දෙස බලා සිටියා. (ක්‍රියා 7:57–8:1) යෙරුසලමේ සිටි යේසුස්ගේ ගෝලයන්ට දැඩි ලෙස පීඩා කිරීමෙන් සෑහීමට පත් නොවූ ඔහුගේ අරමුණ වුණේ සෑම ප්‍රදේශයකම සිටින “ස්වාමීන්ගේ මාර්ගයට” අයත් අයව නැත්තටම නැති කර දැමීමයි. ඔහු හරියට ගින්නක් විවිධ තැන්වලට පතුරන ගිනිපුපුරක් මෙනි. ඒ ගින්න නම් ක්‍රිස්තියානීන්ට විරුද්ධව පැමිණි මහත් පීඩා රැල්ලයි.—ක්‍රියා 9:1, 2; “ සාවුල් සතුව තිබූ බලතල” නමැති කොටුව බලන්න.

3, 4. (අ) සාවුල්ට සිදු වුණේ කුමක්ද? (ආ) අප සලකා බලන තොරතුරු මොනවාද?

3 එකපාරටම මහත් ආලෝකයක් සාවුල් වටා විහිදී යනවා. ඔහු සමඟ ගමන් කරන අය ඒ මහත් ආලෝකය දැක පුදුමයෙන් ගල් ගැසී ඒ දෙස බලා සිටිනවා. ඒ වේලාවෙම සාවුල්ගේ ඇස් අන්ධ වී ඔහු බිම ඇද වැටෙනවා. “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ ඇයි” කියා පවසන හඬක් ස්වර්ගය දෙසින් ඔහුට ඇසෙනවා. පුදුමයට පත් සාවුල්, “ස්වාමීනි, ඔබ කවුද” කියා අසනවා. “මම යේසුස්. ඔබ පීඩා කරන්නේ මටයි” කියා එම හඬ ඔහුට පිළිතුරු දුන් විට ඔහුට මොන තරම් කම්පනයක් ඇති වන්න ඇද්ද!—ක්‍රියා 9:3-5; 22:9.

4 යේසුස් සාවුල්ට පැවසූ දේවලින් අපට ඉගෙනගත හැක්කේ මොනවාද? සාවුල් යේසුස්ගේ අනුගාමිකයෙකු වූ කාලයේ සිදු වූ දේවල් සලකා බැලීම අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද? සාමකාමී වාතාවරණයක් ඇති වූ ඒ කාලයේදී සභාවේ සිටි අය කටයුතු කළ ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද? එම තොරතුරු දැන් අපි සලකා බලමු.

‘ඔබ මට පීඩා කරන්නේ ඇයි?’ (ක්‍රියා 9:1-5)

5, 6. යේසුස් සාවුල්ට පැවසූ දෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

5 දමස්කයට යන අතරතුරේදී යේසුස් සාවුල්ට දර්ශනය වී ඇසුවේ, “ඔබ මගේ ගෝලයන්ට පීඩා කරන්නේ ඇයි” කියා නොව “ඔබ මට පීඩා කරන්නේ ඇයි” කියායි. (ක්‍රියා 9:4) ඉන් පැහැදිලි වන්නේ තම ගෝලයන් පීඩාකාරී තත්වයන් අද්දකින විට ඔවුන්ගේ දුක වේදනාව යේසුස්ටත් ප්‍රබලව දැනෙන බවයි.—මතෙ. 25:34-40, 45.

6 යේසුස්ගේ අනුගාමිකයෙකු නිසා ඔබටත් පීඩාකාරී තත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකියි. ඒ වුණත් යෙහෝවා දෙවි හා යේසුස් ඔබ සිටින තත්වය හොඳින් තේරුම්ගන්නා බවට නිසැක වන්න. (මතෙ. 10:22, 28-31) ඉන් අදහස් කරන්නේ ඔබ අද්දකින පීඩාව සම්පූර්ණයෙන්ම ඉවත් කර දමයි කියා ඔබට බලාපොරොත්තු විය හැකි බව නොවෙයි. මේ ගැන ටිකක් සිතන්න. සාවුල්ගේ අනුමැතිය ඇතුව ස්තේපන්ව ගල් ගසා මරා දැමූ ආකාරය යේසුස් දුටුවා. යෙරුසලමේ සිටි විශ්වාසවන්ත ගෝලයන්ව සාවුල් ඔවුන්ගේ නිවෙස්වලින් පිටතට ඇද දැමූ ආකාරයත් යේසුස් දුටුවා. (ක්‍රියා 8:3) නමුත් ඒ කිසිම අවස්ථාවකදී ඔවුන් මුහුණ දුන් තත්වයෙන් ඔවුන්ව බේරාගැනීමට යේසුස් මැදිහත් වී කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට යේසුස් මාර්ගයෙන් යෙහෝවා දෙවි ස්තේපන්ට හා අනිකුත් ගෝලයන්ට දෙවිට විශ්වාසවන්තව සිටීමට අවශ්‍ය ශක්තිය ලබා දුන්නා.

7. පීඩා විඳදරාගැනීමට අපට උපකාරවත් වන්නේ මොනවාද?

7 පීඩාකාරී තත්වයන්ට මුහුණ දීමට සිදු වන විට ඒවා විඳදරාගැනීමට පහත සඳහන් දේවල් ඔබට උපකාරවත් වෙයි. (1) මොන දේ සිදු වුණත් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට අධිෂ්ඨාන කරගන්න. (2) යෙහෝවා දෙවිගේ උපකාරය අයැදින්න. (ෆිලි. 4:6, 7) (3) යුක්තිය ඉටු කිරීමේ කාර්යය දෙවිට භාර දෙන්න. (රෝම 12:17-21) (4) අප මුහුණ දී සිටින පීඩාකාරී තත්වය අපෙන් ඉවත් කිරීමට සුදුසු කාලය කුමක්ද කියා දෙවි තීරණය කරන තුරු එම පීඩාව විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය දෙවි සපයන බවට නිසැක වන්න.—ෆිලි. 4:12, 13.

‘මගේ සහෝදර සාවුල්, මාව ඔබ ළඟට එව්වේ ස්වාමීන්’ (ක්‍රියා 9:6-17)

8, 9. තමන්ට ලැබුණු පැවරුම ගැන අනනියස්ට හැඟුණේ කෙසේද?

8 තමා කවුද කියා යේසුස් සාවුල්ට එළිදරව් කළ පසු යේසුස් ඔහුට මෙසේ පැවසුවා. “දැන් නැඟිට නුවරට ඇතුල් වන්න. ඉන්පසුව ඔබ කළ යුතු දේ ඔබට දැනගන්න ලැබෙයි.” (ක්‍රියා 9:6) සාවුල් සමඟ ගමන් කළ අය අන්ධව සිටි ඔහුව අතින් අල්ලාගෙන දමස්කයට රැගෙන ගියා. එහිදී ඔහු දවස් තුනක් නිරාහාරව සිටිමින් දෙවිට යාච්ඤා කළා. ඒ අතරතුර යේසුස් දමස්කයේ සිටි අනනියස් නම් ගෝලයාට දර්ශනය වී සාවුල් ගැන පැවසුවා. අනනියස් කියන්නේ, “සියලුදෙනා අතර හොඳ නමක් දිනාගෙන තිබුණු කෙනෙක්.”—ක්‍රියා 22:12.

9 ක්‍රිස්තියානි සභාවේ නායකයා වන නැවත නැඟිටුවන ලද යේසුස් අනනියස්ට කෙළින්ම කතා කළේ විශේෂ පැවරුමක් භාර දීමටයි. දමස්කයේ සිටි සියලු ගෝලයන් අතරින් මේ පැවරුම සඳහා යේසුස් විශේෂයෙන්ම ඔහුව තෝරාගැනීම මොන තරම් මහඟු වරප්‍රසාදයක් වන්න ඇද්ද! නමුත් ඔහුට ලැබුණු එම පැවරුම ලෙහෙසි පහසු පැවරුමක් නොවෙයි. එය අනනියස්ද තේරුම්ගත් බව ඔහු පැවසූ මේ වදන්වලින් පැහැදිලියි. “ස්වාමීනි, ඒ මිනිසා ගැන මට බොහෝ දේවල් ආරංචි වී තිබෙනවා. ඔහු යෙරුසලමේදී ඔබේ ශුද්ධ තැනැත්තන්ට බොහෝ දුෂ්ටකම් කර තිබෙනවා. ඔහු මෙහෙ ආවෙත් ඔබේ නාමයෙන් කන්නලව් කරන සියලුදෙනාව සිරගෙයි දමන්නයි. ඔහු ඒ සඳහා නායක පූජකයන්ගෙන් අවසරත් ලබාගෙන.” (ක්‍රියා 9:13, 14) ඇත්තෙන්ම ඒ අවස්ථාවේදී අනනියස්ට සතුටක් මෙන්ම බියක්ද ඇති වූ බවට සැකයක් නැහැ.

10. අනනියස් සමඟ කටයුතු කළ ආකාරයෙන් යේසුස් ගැන අපට වැටහෙන්නේ කුමක්ද?

10 අනනියස් තමන්ට ඇති වූ චකිතය ගැන එලෙස යේසුස්ට පැවසූ විට යේසුස් ඔහුට තරවටු කළේ නැහැ. ඒ වෙනුවට ඔහු කළ යුතු දේ සම්බන්ධයෙන් යේසුස් ඔහුට නිශ්චිත මඟ පෙන්වීම් ලබා දුන්නා. අනනියස්ට ඇති වූ හැඟීම් ගැන යේසුස් සැලකිලිමත් වුණා. ඔහුට භාර දුන් අසාමාන්‍ය පැවරුමේ වැදගත්කම ගැන ඔහු අනනියස්ට මෙසේ පැහැදිලි කළේ ඒ නිසයි. “මම මේ මිනිසාව [සාවුල්ව] විශේෂ අරමුණක් සඳහා තෝරාගෙන තිබෙනවා. ඔහු මගේ නාමය ගැන ජාතීන්ටත් රජවරුන්ටත් ඊශ්‍රායෙල්වරුන්ටත් ප්‍රකාශ කරයි. මගේ නාමය නිසා ඔහුට කොතරම් දුක් විඳින්න සිදු වෙනවාද කියා මම ඔහුට පැහැදිලි කරන්නම්.” (ක්‍රියා 9:15, 16) තමන්ට ලැබුණු පැවරුමේ වැදගත්කම තේරුම්ගත් අනනියස්, එය ඉටු කිරීමට විගස ක්‍රියාත්මක වුණා. ඔහු ක්‍රිස්තියානීන්ට විරුද්ධවාදිකම් කළ සාවුල්ව සොයා ගොස් ඔහුට මෙසේ පැවසුවා. “මගේ සහෝදර සාවුල්, මාව ඔබ ළඟට එව්වේ පාරේ ගමන් කරද්දී ඔබට දර්ශනය වූ ස්වාමීන් වන යේසුස්. ඒ ඔබට නැවත පෙනීම ලබා දී ඔබට දෙවිගේ බලය ලබා දෙන්නයි.”—ක්‍රියා 9:17.

11, 12. යේසුස්, අනනියස් හා සාවුල් සම්බන්ධ සිද්ධියෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

11 යේසුස්, අනනියස් හා සාවුල් සම්බන්ධ සිද්ධියෙන් අපට කාරණා කිහිපයක් පැහැදිලි වෙනවා. උදාහරණයකට යේසුස් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙමින් තම පොරොන්දුවට එකඟව ක්‍රියාශීලීව කටයුතු කරන බව අපට එම සිද්ධියෙන් වැටහෙනවා. (මතෙ. 28:20) අද දින යේසුස් පුද්ගලයන්ට කෙළින්ම කතා නොකළත් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට අවශ්‍ය මඟ පෙන්වීම්, තම මෙහෙකරුවන්ව බලා කියා ගැනීම සඳහා ඔහු පත් කළ විශ්වාසවන්ත දාසයා මාර්ගයෙන් ලබා දෙනවා. (මතෙ. 24:45-47) ලොව පුරා සිදු කරන දේශනා සේවය අධීක්ෂණය කරන්නේ පාලක මණ්ඩලය විසිනුයි. ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සභාවල සිටින ප්‍රචාරකයන්, පුරෝගාමීන් හා මිෂනාරීන් යේසුස් ගැන දැනගැනීමට මහත් උනන්දුවක් දක්වන අයව සොයා යෑමේ කාර්යයේ නියැලෙනවා. බයිබලයේ තිබෙන දේවල් තේරුම්ගැනීමට උපකාර ඉල්ලා යාච්ඤා කළ පසු එවැනි අයව හමු වීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගොස් තිබීමෙන් පැහැදිලි වන්නේ දේශනා කිරීමේ කාර්යයට යේසුස් මඟ පෙන්වන බවයි.—ක්‍රියා 9:11.

12 අනනියස් කටයුතු කළ ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද? තමන්ට ලැබුණු පැවරුම අමාරු පැවරුමක් කියා අනනියස්ට හැඟුණත් ඔහු යේසුස්ට කීකරු වී එය සාර්ථකව ඉටු කළා. ශුභාරංචිය ගැන පැහැදිලි සාක්ෂියක් ලබා දෙන්න කියා අපට දී තිබෙන ආඥාවට කීකරු වීම සමහර අවස්ථාවලදී අමාරුයි කියා අපට සිතෙන්න පුළුවන්. උදාහරණයකට ගෙයින් ගෙට ගොස් හඳුනන්නේ නැති අය සමඟ කතා කිරීම අපට අභියෝගයක් විය හැකියි. එසේත් නැත්නම් ව්‍යාපාරික ස්ථානවල සිටින අයට, වීථිවල හමු වන අයට හා දුරකථනය මාර්ගයෙන් විවිධ අයට සාක්ෂි දැරීමට අප තුළ චකිතයක් ඇති විය හැකියි. එවැනි අභියෝග මැද වුණත් අපට ලැබී තිබෙන ආඥාවට අනනියස් මෙන් අප කීකරු වෙනවාද? අනනියස්ට යේසුස් කෙරෙහි මහත් විශ්වාසයක් තිබුණා. ඔහු සාවුල්ව විරුද්ධවාදියෙකු ලෙස නොව ඔහුගේ ක්‍රිස්තියානි සහෝදරයෙකු ලෙසද පිළිගත්තා. ඒ නිසා ඔහු තුළ තිබූ බියෙන් හා චකිතයෙන් ගොඩ ඒමට ඔහුට හැකි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ලැබුණු පැවරුම සාර්ථකව ඉටු කරමින් දෙවිගේ බලය ලබාගැනීමට ඔහු සාවුල්ට උපකාර කළා. * ඒ හා සමානව ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට මඟ පෙන්වන්නේ යේසුස් බව අපට විශ්වාස නම්, මිනිසුන් ගැන අනුකම්පාවක් අපට දැනෙනවා නම් හා පෙනුමෙන් කොතරම් බියකරු පුද්ගලයෙකු වුණත් ඔහු කවදා හරි දවසක අපේ සහෝදරයෙකු විය හැකියි කියා අපි සිතනවා නම් අපට තිබෙන අභියෝගවලින් ජය ගත හැකි අතර අපේ පැවරුම සාර්ථකව ඉටු කළ හැකියි.—මතෙ. 9:36.

‘ඔහු නොපමාව යේසුස් ගැන දේශනා කරන්න පටන්ගත්තා’ (ක්‍රියා 9:18-30)

13, 14. ඔබ තවමත් බයිබලය පාඩම් කරන කෙනෙක් නම් සාවුල්ව ආදර්ශයට ගැනීමට ඔබට හැක්කේ කෙසේද?

13 තමන් ඉගෙනගන්නා දේවලට අනුව කටයුතු කිරීමට සාවුල් ඉක්මනින් පියවර ගත්තා. පෙනීම ලැබුණු විගස බව්තීස්ම වූ ඔහු, දමස්කයේ සිටි යේසුස්ගේ ගෝලයන් සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කළා. ‘ඔහු නොපමාව යේසුස් දෙවිගේ පුත්‍රයා බව සිනගෝගවල දේශනා කරන්නද පටන්ගත්තා.’—ක්‍රියා 9:20.

14 ඔබ තවමත් බයිබලය පාඩම් කරන කෙනෙක් නම් සාවුල්ව ආදර්ශයට ගැනීමට ඔබට හැක්කේ කෙසේද? සාවුල්, යේසුස් සිදු කළ ආශ්චර්යයක් පෞද්ගලිකව අද්දුටු කෙනෙක්. ඔහුව ක්‍රියාවට පොලඹවන්න එය උපකාරවත් වූ බවට කිසිම සැකයක් නැහැ. නමුත් ඔහුව ක්‍රියාවට පෙලඹීමට හේතුව එයම නොවෙයි. ටිකක් සිතන්න, යේසුස් සිදු කළ ආශ්චර්යයන් සියැසින් දුටු තව කීදෙනෙක් සිටියාද? අතක් පණ නැති මිනිසෙකුව යේසුස් සුව කළ ආකාරය පරිසිවරුන් කණ්ඩායමක් සියැසින් දුටුවා. යේසුස් ලාසරුස්ව මරණින් නැවත නැඟිටෙවූ බවත් යුදෙව්වන් බොහෝදෙනෙකුට රහසක් වුණේ නැහැ. නමුත් ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට ඔවුන් දුටු දේවල් කිසිම බලපෑමක් වුණේ නැහැ. සමහරදෙනෙක් යේසුස්ට විරුද්ධව කටයුතු කිරීමට පවා පෙලඹුණා. (මාක් 3:1-6; යොහ. 12:9, 10) එසේනම් ඔවුන්ට වඩා වෙනස්ව ක්‍රියා කිරීමට සාවුල් පෙලඹුණේ ඇයි? ඔහුට යෙහෝවා දෙවි කෙරෙහි ගැඹුරු ගරුබියක් තිබුණා. ඔහු මිනිසුන්ට භය වුණෙත් නැහැ. යේසුස් තමන්ට පෙන්වූ දයාව ඔහු මුළු හදවතින්ම අගය කළා. (ෆිලි. 3:8) තමා ඉගෙනගත් දේවලට අනුව විගස පියවර ගැනීමට සාවුල් පෙලඹුණේ ඒ නිසයි. ඔබත් සාවුල්ව ආදර්ශයට ගන්නවා නම් දේශනා සේවයේ හවුල් වීමෙන් හා බව්තීස්ම වීමට අවශ්‍ය සුදුසුකම් අත් කරගැනීමෙන් ඔබව වැළැක්වීමට කිසිම දෙයකට ඉඩ දෙන්නේ නැහැ.

15, 16. සාවුල් සිනගෝගවලට ගොස් කළේ කුමක්ද? දමස්කයේ සිටි යුදෙව්වන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

15 යේසුස් ගැන සාවුල් සිනගෝගවල දේශනා කරන විට සෙනඟ මොන තරම් පුදුමයට, කම්පනයට මෙන්ම කෝපයට පත් වන්න ඇද්ද! ඔවුන් එකිනෙකාගෙන් මෙසේ අසාගත්තා. “යේසුස්ගේ අනුගාමිකයන් වූ අයට යෙරුසලමේදී දරුණු විදිහට පීඩා කළේ මේ මිනිසා නේද?” (ක්‍රියා 9:21) නමුත් සාවුල් ‘යේසුස් යනු ක්‍රිස්තුස් බවට වූ කාරණය තර්කානුකූලව ඔප්පු කර පෙන්වා දෙමින්’ තමන් යේසුස්ගේ අනුගාමිකයෙකු වීමට හේතුව ඔවුන්ට පැහැදිලි කළා. (ක්‍රියා 9:22) යම් කාරණා තර්කානුකූලව පැහැදිලි කළ පමණින් කෙනෙක් සත්‍යය පිළිගනියි කියා පැවසිය නොහැකියි. කාරණා කොතරම් තර්කානුකූලව ඉදිරිපත් කළත් යම් චාරිත්‍ර වාරිත්‍රවලට ඇලී සිටින අය හා උඩඟු ආකල්ප දරන අය තමන් සිතන ආකාරය වෙනස් කරන්නේ නැහැ. ඒ කෙසේවෙතත් සාවුල් තම උත්සාහය අත්හැරියේ නැහැ.

16 අවුරුදු තුනකට පසුවත් දමස්කයේ සිටි යුදෙව්වන්ගේ ආකල්ප වෙනස් වී තිබුණේ නැහැ. ඔවුන්ට ඔහු කෙරෙහි තිබූ වෛරය කොතරම්ද කියනවා නම් ඔවුන් ඔහුව මරා දැමීමට කුමන්ත්‍රණය කළා. (ක්‍රියා 9:23; 2 කොරි. 11:32, 33; ගලා. 1:13-18) ඔවුන් කළ කුමන්ත්‍රණය ගැන ආරංචි වූ විට ඥානවන්තව ක්‍රියා කළ සාවුල්, නුවරින් පිට වී යෑමට තීරණය කළා. ඔහු නුවරින් පිට වී ගිය ආකාරය ලූක් වාර්තා කර තිබෙන්නේ, “ඔහුගේ ගෝලයෝ” රාත්‍රියේදී ඔහුව විශාල කූඩයක දමා පවුරේ හිදැසකින් පහළට බැස්සූ බවයි. (ක්‍රියා 9:25) නුවරින් පිට වී යෑමට ඔහුට උපකාර කළ අය “ඔහුගේ [සාවුල්ගේ] ගෝලයෝ” කියා සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ දමස්කයේදී ඔහු කළ දේශනා සේවයට අඩුම තරමින් කිහිපදෙනෙකු හෝ හොඳ ප්‍රතිචාරයක් දක්වා තිබූ බවයි. ඇත්තෙන්ම යේසුස්ගේ අනුගාමිකයන් වීමට සාවුල් ඔවුන්ට උපකාර කර තිබුණා.

17. (අ) බයිබලයේ තිබෙන සත්‍යයන් ගැන පවසන විට මිනිසුන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? (ආ) අප දිගටම කළ යුත්තේ කුමක්ද? ඒ ඇයි?

17 ඔබ බයිබලය අධ්‍යයනය කරන විට එහි තිබෙන සත්‍යයන් මොන තරම් සරලද තර්කානුකූලද කියා ඔබට වැටහුණා. ඔබ මෙන් අන් අයත් එය වටහාගනියි කියා ඔබ සිතන්න ඇති. ඒ නිසා ඔබේ පවුලේ අයට, මිතුරන්ට හා වෙනත් අයට බයිබලයේ තිබෙන සත්‍යයන් ගැන ඔබ මුලින්ම පවසන විට ඔවුන් ඊට හොඳ ප්‍රතිචාරයක් දක්වයි කියා ඔබ බලාපොරොත්තු වෙන්න ඇති. සමහරවිට කිහිපදෙනෙකු හොඳ ප්‍රතිචාර දැක්වූවත් බොහෝදෙනෙක් එසේ නොකරන්න ඇති. ඔබේම පවුලේ අය ඔබට සතුරෙකු ලෙස සලකනවාත් විය හැකියි. (මතෙ. 10:32-38) කෙසේවෙතත් සාවුල් මෙන් ඔබේ උත්සාහය අත්හරින්න එපා. ශුද්ධ ලියවිල්ලේ තිබෙන දේවල් තර්කානුකූලව පහදා දීමේ හැකියාව ඔබ දිගටම දියුණු කරගනිමින් ඔබේ හැසිරීම යහපත්ව තබාගන්නවා නම් යම් දවසක ඔවුන් තම ආකල්ප වෙනස් කරගැනීමට ඉඩ තිබෙනවා.—ක්‍රියා 17:2; 1 පේතෘ. 2:12; 3:1, 2, 7.

18, 19. (අ) සාවුල් ගැන බානබස් ස්ථිරවම පැවසූ දේ නිසා සිදු වූ වෙනස කුමක්ද? (ආ) බානබස්ව හා සාවුල්ව අපට ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

18 සාවුල් යෙරුසලමට ගිය විට තමා යේසුස්ගේ අනුගාමිකයෙකු කියා පැවසුවත් එහි සිටි ගෝලයන්ට එය විශ්වාස කිරීම අමාරු දෙයක් වුණා. නමුත් සාවුල් යේසුස්ගේ ගෝලයෙකු බව බානබස් ස්ථිරවම පැවසූ විට නියෝජිතයන් සාවුල්ව සහෝදරයෙකු ලෙස පිළිගත්තා. පසුව සාවුල් ඔවුන් සමඟ යම් කාලයක් ගත කළා. (ක්‍රියා 9:26-28) සාවුල් සේවයේ නියැලෙන විට යම් ඥානවන්ත ක්‍රියාමාර්ග ගත්තා. නමුත් ඔහු එසේ කළේ භය නිසාවත් ශුභාරංචිය දේශනා කිරීම ගැන ඔහු තුළ ලැජ්ජාවක් තිබූ නිසාවත් නොවෙයි. (රෝම 1:16) කලින් ඔහු යේසුස්ගේ ගෝලයන්ට විරුද්ධව දැඩි පීඩා රැල්ලක් දියත් කළ නුවරේම නිර්භීතව දේශනා කිරීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. යේසුස්ගේ ගෝලයන්ව නැත්තටම නැති කර දැමීමේ කාර්යයේ පෙරමුණ ගෙන කටයුතු කළ තැනැත්තා දැන් වෙනස් වී ඇති බව යෙරුසලමේ සිටි යුදෙව්වන් දැනගත් විට ඔවුන් බොහෝ සෙයින් උදහස් වුණා. ඒ නිසා ඔහුව මරා දැමීමට ඔවුන් කුමන්ත්‍රණය කළා. නමුත් ‘සහෝදරයන්ට ඒ ගැන ආරංචි වූ විට ඔවුන් ඔහුව සිසේරියට ගෙනැවිත් එතැනින් ටාසස් බලා පිටත් කර යැව්වා.’ (ක්‍රියා 9:30) සභාව මාර්ගයෙන් යේසුස් එලෙස ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව සාවුල් කටයුතු කළා. එයින් ඔහුත් සභාවත් ප්‍රයෝජන ලැබුවා.

19 නවක සාමාජිකයෙකු වූ සාවුල්ට උපකාර ලබා දීමට බානබස් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඔවුන් දෙදෙනා අතරේ කිට්ටු මිත්‍රත්වයක් ඇති වීමට එය දායක වූ බවට සැකයක් නැහැ. ඔබත් බානබස් මෙන් සභාවේ අලුත් සාමාජිකයන්ට අතහිත දීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවාද? ඔබ ඔවුන් සමඟ සේවයේ හවුල් වෙනවාද? ක්‍රිස්තියානීන් හැටියට දියුණු වීමට ඔවුන්ට ඔබ උපකාර කරනවාද? ඔබ එසේ කරනවා නම් ඔබට මහත් ප්‍රීතියක් අද්දැකිය හැකි බවට නිසැක වන්න. ඔබ අලුත් ප්‍රචාරකයෙක් නම් සභාවේ අය ඔබට යම් උපකාර කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වන විට සාවුල් මෙන් ඔබ ඒවා පිළිගන්නවාද? අද්දැකීම් වැඩි ප්‍රචාරකයන් සමඟ සේවයේ හවුල් වීමෙන් ශුද්ධ ලියවිල්ල දක්ෂ ලෙස භාවිත කිරීමේ හැකියාව ඔබට දියුණු කරගත හැකියි. සේවයේ හවුල් වීමෙන් ඔබ ලබන ප්‍රීතියද තව තවත් වැඩි වෙයි. සදාකාලික මිත්‍රත්වයන් ගොඩනඟා ගැනීමටද එමගින් ඔබට හැකි වන බව ස්ථිරයි.

‘බොහෝදෙනෙක් ස්වාමීන්ව විශ්වාස කරන අය බවට පත් වුණා’ (ක්‍රියා 9:31-43)

20, 21. අතීතයේදී හා අද දින දෙවිගේ සෙනඟ “සාමකාමී කාල පරිච්ඡේද” ප්‍රයෝජනයට ගෙන තිබෙන්නේ කෙසේද?

20 යේසුස්ගේ අනුගාමිකයෙකු වූ සාවුල් අනතුරක් නැතුව යෙරුසලමෙන් පිට වී ගිය පසු, ‘යුදය, ගලීලය සහ සමාරිය පුරාම ව්‍යාප්ත වී තිබූ සභාවට ඉතා සාමකාමී කාල පරිච්ඡේදයක් උදා වුණා.’ (ක්‍රියා 9:31) “හොඳ වාතාවරණයක්” පැවති ඒ කාලයේදී සභාවේ සිටි අය කටයුතු කළේ කෙසේද? (2 තිමෝ. 4:2) නියෝජිතයන් හා සභාවේ වෙනත් වග කිව යුතු සහෝදරයන් සභාවේ සිටි අයගේ විශ්වාසය ශක්තිමත් කිරීමට පියවර ගත්තා. ඔවුන් සභාවේ කටයුතුවලදී පෙරමුණ ගෙන ක්‍රියා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස සභාවේ සිටි, ‘සියලුදෙනාම යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්, දෙවි ලබා දුන් බලයෙන් මහත් සැනසීමක් ලැබූ අතර ඔවුන්ගේ විශ්වාසයද තව තවත් ශක්තිමත් වුණා.’ උදාහරණයකට පේතෘස් ඒ කාලය යොදාගෙන ෂාරොන් තැනිතලාවේ පිහිටි ලිද්දාවේ සිටි ගෝලයන්ගේ විශ්වාසය තව තවත් ගොඩනැංවූවා. ඔහු දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඒ පළාතේ සිටි බොහෝදෙනෙක් “ස්වාමීන් කෙරෙහි” විශ්වාස කිරීමට පටන්ගත්තා. (ක්‍රියා 9:32-35) ඒ තොරතුරුවලින් පැහැදිලි වන්නේ හොඳ වාතාවරණයක් පැවති ඒ කාලයේ ඔවුන් ධන සම්පත්, අධ්‍යාපනය වැනි දේවල් පසුපස හඹා යනවා වෙනුවට ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ඉටු කිරීමට වෙහෙස මහන්සි නොබලා වැඩ කළ බවයි. එකිනෙකාගේ අවශ්‍යතා ගැනද ඔවුන් සැලකිලිමත් වුණා. එසේනම් සභාව ‘ගණනින් නොකඩවා වැඩි වීම’ පුදුමයක්ද!

21 විසිවෙනි සියවසේ අගභාගය වන විට බොහෝ රටවල සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ටද “ඉතා සාමකාමී කාල පරිච්ඡේදයක්” උදා වුණා. අවුරුදු ගණනාවක් පුරා දෙවිගේ සෙනඟට පීඩා කළ පාලන ක්‍රම නොසිතූ ලෙස පහව ගියා. ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට පනවා තිබූ තහංචි සමහරක් රටවල ලිහිල් කළ අතර තවත් රටවල ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබුවා. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් දහස් ගණනක් සාක්ෂිකරුවන් දේශනා සේවයේ උද්‍යෝගයෙන් හවුල් වූ නිසා සභාවල මහත් වර්ධනයක් ඔවුන් අද්දැක්කා. උදාහරණයකට 1991දී රුසියාවේ සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ආගමක් හැටියට නීත්‍යනුකූලව පිළිගත් අවස්ථාවේ එහි සිටියේ ප්‍රචාරකයන් 16,000කට වඩා අඩු පිරිසක්. නමුත් ඊට අවුරුදු 16කට පසු එනම් 2007 වන විට මහත් උද්‍යෝගයෙන් සේවයේ හවුල් වන ප්‍රචාරකයන්ගේ ගණන 1,50,000 ඉක්මවා තිබුණා.

22. ඔබ භුක්ති විඳින නිදහස ප්‍රයෝජනවත් අයුරින් පාවිච්චි කළ හැක්කේ කෙසේද?

22 සීමා තහංචි නොමැතිව සේවය කිරීමට ඔබට ලැබී තිබෙන ප්‍රස්තාවෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගන්නවාද? ඔබ ජීවත් වන්නේ ආගමික නිදහසට ගරු කරන රටක නම් ඔබේ අවධානය දේවරාජ්‍යය වෙතින් වෙනතකට යොමු කිරීමට සාතන් වෙර දරන බව මතක තබාගන්න. ඔහු ඒ සඳහා ධන සම්පත්වලට තිබෙන ආශාව උගුලක් ලෙස යොදාගන්නවා. (මතෙ. 13:22) ඒ නිසා ඔබේ අවධානය දේවරාජ්‍යය වෙතින් වෙනතකට යොමු නොකිරීමට වගබලා ගන්න. ඔබ යම් දුරකට දැන් භුක්ති විඳින නිදහස ප්‍රයෝජනවත් අයුරින් පාවිච්චි කරන්න. යේසුස් ගැන පැහැදිලි සාක්ෂියක් ලබා දීමට හා සභාවේ අයගේ විශ්වාසය ශක්තිමත් කිරීමට එය කදිම අවස්ථාවක් ලෙස සලකන්න. ඔබ සිටින තත්වය ඕනෑම මොහොතක වෙනස් විය හැකි බව අමතක නොකරන්න.

23, 24. (අ) තබිතා හා සම්බන්ධ සිද්ධියෙන් අපට ඉගෙනගත හැකි කරුණු දෙක මොනවාද? (ආ) අපේ අදිටන විය යුත්තේ කුමක්ද?

23 දොර්කස් ලෙසත් හැඳින්වූ තබිතා නම් යේසුස් කෙරෙහි විශ්වාසය තැබූ තැනැත්තියට සිදු වූ දෙය සලකා බලන්න. ඇය ජීවත් වුණේ ලිද්දාවට නුදුරින් පිහිටි යොප්පාව නම් නගරයෙයි. මේ විශ්වාසවන්ත සහෝදරිය ඇගේ කාලය හා ඇයට තිබූ දේවල් නැණවත්ව පාවිච්චි කරමින් “බොහෝ යහපත් දේවල් කළ” අතර ‘නිතරම අනුන්ට කරුණාව පෙන්වූවා.’ හදිස්සියේම ඇය අසනීප වී මිය ගියා. * ඇගේ වියෝව නිසා යොප්පාවේ සිටි යේසුස්ගේ ගෝලයන් මහත් සේ දුකට පත් වුණා. විශේෂයෙන්ම ඇය පෙන්වූ කරුණාවෙන් ප්‍රයෝජන ලැබූ වැන්දඹුවන් ඇය ගැන හඬා වැලපුණා. පේතෘස් යොප්පාවට පැමිණෙන විට ඇගේ මළ සිරුර තැන්පත් කිරීමට සූදානම් කර නිවසක තබා තිබුණා. එතැනට ගිය පේතෘස්, යේසුස්ගේ නියෝජිතයන් මීට කලින් කර නොතිබුණු ආශ්චර්යයක් සිදු කළා. ඔහු යාච්ඤා කර තබිතාව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වා. එහි සිටි වැන්දඹුවන් හා අනික් ගෝලයන් තබිතා නැවත ජීවත් වන බව දැක මොන තරම් සතුටට පත් වන්න ඇද්ද! ඔවුන්ගේ විශ්වාසය එමගින් තවත් ශක්තිමත් වූ බවට කිසිම සැකයක් නැහැ. අනාගතයේ ඔවුන්ට මුහුණ දීමට සිදු වන දුෂ්කරතා ජය ගැනීමට එවැනි සිදුවීම් ඔවුන්ට මහත් දිරිගැන්වීමක් වුණා. ‘එම සිද්ධිය පිළිබඳ ආරංචිය යොප්පාව පුරාම පැතිර ගිය අතර බොහෝදෙනෙක් ස්වාමීන්ව විශ්වාස කරන අය බවට පත් වුණා.’—ක්‍රියා 9:36-42.

ඔබ දොර්කස්ව ආදර්ශයට ගන්නවාද?

24 තබිතා හා සම්බන්ධ සිද්ධියෙන් අපට වැදගත් කරුණු දෙකක් ඉගෙනගත හැකියි. (1) ඕනෑම මොහොතක අපට අපේ ජීවිතය අහිමි විය හැකියි. එසේනම් ජීවත්ව සිටින කාලයේදී දෙවි ඉදිරියේ හොඳ නාමයක් ඇති කරගැනීමට උත්සාහ දැරීම මොන තරම් වැදගත්ද! (දේශ. 7:1) (2) නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම සැබෑ වෙනවා. තබිතා කළ යහපත් දේවල් යෙහෝවා දෙවි බොහෝ සෙයින් අගය කළ අතර ඒ වෙනුවෙන් දෙවි ඇයට ආශීර්වාද කළා. අපටත් අපේ ජීවිතය හර්–මගෙදොන් යුද්ධයට පෙර අහිමි වුණොත් අප දෙවි වෙනුවෙන් කළ සේවය දෙවි කිසිවිටක අමතක කරන්නේ නැහැ. ඔහු අනිවාර්යයෙන්ම අපව නැවත නැඟිටුවයි. (හෙබ්‍රෙ. 6:10) සේවය කිරීම සඳහා දැන් අපට “හොඳ වාතාවරණයක් තිබුණත් නැතත්” දිගටම යේසුස් ගැන පැහැදිලි සාක්ෂියක් දැරීමට අදිටන් කරගනිමු.—2 තිමෝ. 4:2.

^ 2 ඡේ. පරිසිවරයෙක්ව සිටි සාවුල්” නමැති කොටුව බලන්න.

^ 12 ඡේ. සාමාන්‍යයෙන් දෙවිගේ බලයේ දීමනා කෙනෙකුට ලබා දුන්නේ නියෝජිතයන් මාර්ගයෙනුයි. නමුත් පෙනෙන විදිහට මේ අවස්ථාවේදී “විශේෂ අරමුණක් සඳහා තෝරාගෙන” තිබූ සාවුල්ට දෙවිගේ බලයේ දීමනා ලබා දීමේ අධිකාරිය යේසුස් අනනියස්ට දුන්නා. සාවුල් ක්‍රිස්තියානියෙකු වූ පසු යම් කාලයක් ගත වන තුරු ඔහුට යේසුස්ගේ නියෝජිතයන් 12දෙනාව හමු වුණේ නැහැ. නමුත් ඒ කාලය තුළදී ඔහු ක්‍රියාශීලීව යේසුස් ගැන සාක්ෂි දැරූ බවට කිසිම සැකයක් නැහැ. ශුභාරංචිය දේශනා කිරීමට අවශ්‍ය බලය සාවුල්ට අනනියස් මාර්ගයෙන් ලබා දීමට යේසුස් කටයුතු කළේ හොඳ හේතුවක් ඇතුව බව ඉන් පැහැදිලි වෙනවා.