Skip to content

පටුනට යන්න

1වෙනි පරිච්ඡේදය

‘ගිහින් මිනිස්සුන්ට මගේ ගෝලයන් වෙන්න උදව් කරන්න’

‘ගිහින් මිනිස්සුන්ට මගේ ගෝලයන් වෙන්න උදව් කරන්න’

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා හා ඒවා අපේ කාලයට අදාළ වන ආකාර

1-6. විවිධ තත්වයන් යටතේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය දේශනා කරනවා කියලා කියන්න උදාහරණ දෙන්න.

 ඝානාවේ ජීවත් වන රෙබෙකා නම් සාක්ෂිකාර දැරිය පාසැල සැලකුවේ ඇයට සාක්ෂි දැරීමට තිබෙන ප්‍රදේශය විදිහටයි. ඇය බයිබලය මත පදනම් පොත් පත් හා සඟරා නිතරම ඇගේ පාසැල් බෑගයේ තබාගත්තේ ඒ නිසයි. විවේක කාලයේදී අනිත් ශිෂ්‍යයන්ට සාක්ෂි දැරීමට අවස්ථාවන් සොයපු ඇයට, මේ වන විට බයිබල් පාඩම් කිහිපයක්ම ආරම්භ කිරීමට හැකි වී තිබෙනවා.

2 අප්‍රිකාවේ ගිනිකොන වෙරළබඩ තීරයේ පිහිටි මැඩගස්කරය නම් දූපතේ ජීවත් වුණ පුරෝගාමි යුවළක් තද අව් රශ්මිය නොතකා කිලෝමීටර් 25ක් දුරින් පිහිටි පිටිසර ගම්මානයක් වෙතට නිතිපතා පයින් ගියා. බයිබලය ගැන ඉගෙනගැනීමට උනන්දුව දක්වන කිහිපදෙනෙක්ම ඒ ගම්මානයේ සිටියා. ඒ යුවළ එතරම් දුරක් ගෙවාගෙන ගියේ ඔවුන් සමඟ බයිබල් පාඩම් පැවැත්වීමටයි.

3 පැරගුවේ හා පැරනා නම් ගංගාවන් අවට ජීවත් වුණ මිනිසුන්ට ශුභාරංචිය දේශනා කිරීම සඳහා පැරගුවේ රටේ සාක්ෂිකරුවන් සමඟ ස්වේච්ඡාවෙන් සේවය කිරීමට තවත් රටවල් 15කින් පැමිණි සාක්ෂිකරුවන් එකතු වුණා. 12දෙනෙකුට ගමන් කළ හැකි ටොන් 45ක් බර බෝට්ටුවක් ඔවුන් සෑදුවා. ඒ බෝට්ටුවේ උපකාරයෙන් කලින් යෑමට නොහැකි වුණ ප්‍රදේශවල සිටින මිනිසුන්ට ශුභාරංචිය දේශනා කිරීමට ඒ උද්‍යෝගිමත් පිරිසට හැකි වුණා.

4 ගිම්හාන කාලයේදී ඇලස්කාවේ පවතින උණුසුම් දේශගුණය නිසා සංචාරකයන් බොහෝදෙනෙක් නැව්වලින් ඇලස්කාවට ආවා. විවිධ රටවලට අයත් මිනිසුන්ට දේශනා කිරීම සඳහා තමන්ට ලැබෙන ඒ මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත සාක්ෂිකරුවන්, විවිධ භාෂාවලින් යුත් සඟරා හා පොත් පත් අතැතිව ඔවුන් එන තුරු වරායේ මඟ බලා සිටියා. ඒ රටේ ජීවත් වන සාක්ෂිකරුවන් ඈත ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්ට ශුභාරංචිය දේශනා කිරීමටත් මහත් වෑයමක් දැරුවා. ඔවුන් ගුවන් යානයකින් ඒ ඈත ප්‍රදේශවලට ගිහින් දේශනා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට උලූට්, ඇතුබැස්කන්, චිම්ෂීයන් හා ක්ලින්කෙට් යන ජන පිරිස්වලටත් ශුභාරංචියට සවන් දීමට හැකි වී තිබෙනවා.

5 ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් නම් ප්‍රදේශයේ ජීවත් වුණ ලැරීට දේශනා කිරීම සඳහා විශේෂ ප්‍රදේශයක් තිබුණා. ඒ විශේෂ ප්‍රදේශයට අයිති වුණේ ඔහු හිටිය සාත්තු නිවාසයයි. අනතුරකින් ආබාධිතව හිටපු ලැරී, රෝද පුටුවක් ආධාරයෙන් ගමන් කර එහි සිටින අය සමඟ මහත් උද්‍යෝගයෙන් දේවරාජ්‍යය ගැන කතා කළා. ඔහුට තිබෙන බලාපොරොත්තුව ඒ කියන්නේ දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී තමන්ට නැවත ඇවිදින්න හැකි වෙනවා කියන දේ ඔහු මහත් විශ්වාසයකින් අන් අය සමඟ බෙදාගත්තා.—යෙසා. 35:5, 6.

6 මියන්මාරය රටේ සාක්ෂිකාර කණ්ඩායමක් උතුරු මියන්මාරයේ පවත්වන එක්රැස්වීමකට සහභාගි වීම සඳහා මන්ඩලේ නම් ස්ථානයේ සිට දින තුනක් බෝට්ටුවක ගමන් කළා. දේශනා කිරීම සඳහා මහත් උද්‍යෝගයෙන් සිටි ඔවුන්, ගමන අතරතුරේ බෙදා දීම සඳහා සඟරා හා පොත් පත් රැගෙන ගියා. ඔවුන් සමඟ බෝට්ටුවේ ගමන් කළ අනිත් අයට ඔවුන් ඒවා බෙදා දුන්නා. කුඩා නගරයක් අසල හෝ ගම්මානයක් අසල පිහිටි තොටුපොළක බෝට්ටුව නතර කළ හැම වාරයකදීම ඔවුන් බෝට්ටුවෙන් බැහැලා ඉක්මනින්ම ඒ අවට තිබුණ නිවෙස්වලට ගිහින් සඟරා, පොත් පත් බෙදා දුන්නා. ඒ සෑම අවස්ථාවකදීම බෝට්ටුවත් අලුත් මඟීන්ගෙන් පිරුණා. ඔවුන්ටත් දේශනා කිරීමට මේ සාක්ෂිකාර කණ්ඩායම අවස්ථාව උදා කරගත්තා.

7. දේශනා කිරීම සඳහා සාක්ෂිකරුවන් යොදාගන්න ක්‍රම මොනවාද? ඔවුන්ගේ අරමුණ මොකක්ද?

7 ඒ උදාහරණවල හිටපු අය වගේ යෙහෝවාට මහත් උද්‍යෝගයෙන් සේවය කරන ලොව වටා සිටින ඔහුගේ සේවකයන් අන් අයට ‘දෙවියන්ගේ රාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක් දෙනවා.’ (ක්‍රියා 28:23) ඔවුන් ගෙයින් ගෙට ගිහින්, වීථිවලට ගිහින්, ලිපි හා දුරකථනය මාර්ගයෙන් මිනිසුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරනවා. බස් එකක ගමන් කරන විටත් පයින් ගමන්බිමන් යන විටත් රැකියා කරන ස්ථානයේ විවේක කාලයේදීත් දේවරාජ්‍යය ගැන අන් අයට පැවසීමට ඔවුන් අවස්ථාවන් සොයනවා. ශුභාරංචිය දේශනා කිරීමට විවිධ ක්‍රම භාවිත කළත් ඔවුන් සියලුදෙනාටම තිබෙන්නේ එකම අරමුණක්. එය නම් මිනිසුන් සිටින ඕනෑම තැනකදී ඔවුන්ට ශුභාරංචිය දේශනා කිරීමයි.—මතෙ. 10:11.

8, 9. (අ) ශුභාරංචිය ලොව පුරාම ව්‍යාප්ත වී තිබෙන්නේ ආශ්චර්යවත් විදිහට කියලා කියන්නේ ඇයි? (ආ) මතු වන ප්‍රශ්නය මොකද්ද? ඒකට පිළිතුරු සොයාගන්නේ කොහොමද?

8 මේ වන විට ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට රටවල් 235කට වඩා වැඩි ගාණක සිටින පිරිසක් හවුල් වෙනවා. ඔබත් ඔවුන්ගෙන් කෙනෙක්ද? එහෙමනම් ලොව පුරාම ශුභාරංචිය ව්‍යාප්ත කිරීමේ කාර්යයට ඔබත් හවුල්කරුවෙක්. ඇත්තෙන්ම ශුභාරංචිය ලොව පුරාම ව්‍යාප්ත වී තිබෙන ආකාරය දෙස බලද්දී එය ආශ්චර්යවත් විදිහට සිදු වෙනවා කියා පැවසිය හැකියි. විවිධ අභියෝග හා ප්‍රශ්න ගැටලු මැද සමහර අවස්ථාවලදී තහංචි හා දැඩි විරුද්ධවාදිකම් මැද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේවරාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක් සියලු ජාතීන්ට ලබා දෙනවා.

9 සාතන් විවිධ ප්‍රහාර එල්ල කළත් විවිධ අභියෝග පැමිණියත් ඒ කිසිම දෙයකට දේශනා කිරීමේ කාර්යය නතර කිරීමට නොහැකි වී තිබෙන්නේ ඇයි? ඒකට පිළිතුරු සොයාගන්න අපි පළවෙනි සියවසට යමු. ඇත්තටම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අප කරගෙන යන මේ කාර්යය ආරම්භ වුණේ ඒ කාලයේ.

අපේ කාලය දක්වා දිව එන කාර්යයක්

10. යේසුස් ඔහුගේ මුළු ජීවිතයම කැප කළේ මොකක් වෙනුවෙන්ද? ඔහු ආරම්භ කළ කාර්යය ගැන ඔහු දැනගෙන හිටියේ මොකක්ද?

10 මේ කාර්යය ආරම්භ කළේ ක්‍රිස්තියානි සභාව පිහිටවපු යේසුස් විසින්. ඔහු ඔහුගේ මුළු ජීවිතයම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කිරීම වෙනුවෙන් කැප කළා. ඒ දේ ඔහු පවසපු මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “මං වෙන නගරවලටත් ගිහින් දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න ඕනේ. මාව එවලා තියෙන්නේ ඒක කරන්නයි.” (ලූක් 4:43) තමා ආරම්භ කළ මේ කාර්යය කාගෙවත් උදව්වක් නැතුව අවසන් කරන්න බැහැ කියා යේසුස් හොඳින් දැනගෙන හිටියා. ඔහු මිය යෑමට පෙර රාත්‍රියේදී දේවරාජ්‍යය ගැන ශුභාරංචිය “සියලු ජාතීන්ට” දේශනා කළ යුතුයි කියලා කිව්වේ ඒ නිසයි. (මාක් 13:10) නමුත් මේ කාර්යය ඉටු කරන්නේ කවුද? ඒක කරන්නේ කොහොමද?

“ගිහින් හැම ජාතියකටම අයිති මිනිස්සුන්ට මගේ ගෝලයන් වෙන්න උදව් කරන්න.”—මතෙව් 28:19

11. යේසුස් තම ගෝලයන්ට භාර දුන්න බැරෑරුම් කාර්යය මොකක්ද? ඒක ඉටු කරන්න ඔවුන්ට පුළුවන් වෙන්නේ කොහොමද?

11 නැවත නැඟිටීමෙන් පසු යේසුස් තම ගෝලයන්ට මෙහෙම කිව්වා. “ගිහින් හැම ජාතියකටම අයිති මිනිස්සුන්ට මගේ ගෝලයන් වෙන්න උදව් කරන්න. පියාවත් පුතාවත් දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්න අයව බව්තීස්ම කරන්න. මං ඔයාලට අණ කරපු හැම දෙයක්ම පිළිපදින්න එයාලට උගන්වන්න. මේකත් මතක තියාගන්න. මම අද ඉඳන් පවතින සමාජයේ අවසාන කාලය ඉවර වෙන කල්ම ඔයාලත් එක්ක හැමදාටම ඉන්නවා.” (මතෙ. 28:19, 20) ඔහු ඒ බාරදූර කාර්යය තම ගෝලයන්ට භාර දුන්නා කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කිරීම හා මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උපකාර කිරීම ලේසි කාර්යයක් නෙවෙයි. මොකද කලින් අවස්ථාවක යේසුස් මෙහෙම කියලා තිබුණා. “ඔයාලා මගේ අනුගාමිකයන් නිසා හැම ජාතියකටම අයිති අය ඔයාලට වෛර කරයි.” (මතෙ. 24:9) නමුත් යේසුස් ඔවුන්ට මෙහෙම පොරොන්දු වුණා. ‘මම ඔයාලත් එක්ක හැමදාටම ඉන්නවා.’ ඒ අනුව යේසුස් භාර දුන්න කාර්යය සාර්ථකව ඉටු කිරීමට ඔහුගේ පූර්ණ සහයෝගය ඔවුන්ට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක මොන තරම් දිරිගන්වනසුලු පොරොන්දුවක්ද! තමන්ගේ සහයෝගය විතරක් නෙවෙයි දෙවියන්ගේ බලයේ උපකාරයත් අනිවාර්යයෙන්ම ඔවුන්ට ලැබෙන බව යේසුස් කිව්වා. ඒ නිසයි “පොළොවේ දුර ඈත ප්‍රදේශවලත්” යේසුස් ගැන පැහැදිලි සාක්ෂියක් දරන්න ඔවුන්ට පුළුවන් වන්නේ.—ක්‍රියා 1:8.

12. පිළිතුරු දැනගන්න ඕනෙ වැදගත් ප්‍රශ්න මොනවාද? ඒවාට පිළිතුරු දැනගන්න එක වැදගත් වන්නේ ඇයි?

12 යේසුස් භාර දුන්න මේ කාර්යය ඔහුගේ නියෝජිතයන් හා ඒ කාලයේ සිටිය ඔහුගේ ගෝලයන් ඉතා බැරෑරුම් කාර්යයක් විදිහට සැලකුවාද? කුඩා කණ්ඩායමක් වුණ ඔවුන්ට ප්‍රබල පීඩා මැද පවා දේවරාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දරන්න පුළුවන් වුණාද? මේ කාර්යය ඉටු කිරීමට යේසුස් පොරොන්දු වුණ සහයෝගය හා දෙවියන්ගේ බලයේ උපකාරය ඇත්තටම ඔවුන්ට ලැබුණාද? ඒ ප්‍රශ්නවලට හා ඒ හා සමාන වෙනත් ප්‍රශ්නවලට පිළිතුරු බයිබලයේ ක්‍රියා පොතෙන් සොයාගන්න පුළුවන්. ඇත්තෙන්ම ඒ ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීම ඉතා වැදගත්. මොකද යේසුස් ආරම්භ කළ මේ කාර්යය “පවතින සමාජයේ අවසාන කාලය ඉවර වෙන කල්ම” සිදු වන බව ඔහු පැවසුවා. එයින් පෙනී යන්නේ මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වන සියලුම සැබෑ ක්‍රිස්තියානීන් මේ කාර්යයට හවුල් වන බවයි. ඒ නිසා ක්‍රියා පොතේ තිබෙන තොරතුරු අප සෑම කෙනෙක්ටම ඉතා ප්‍රයෝජනවත්.

ක්‍රියා පොතට කෙටි හැඳින්වීමක්

13, 14. (අ) ක්‍රියා පොත ලිව්වේ කවුද? ඒකේ ලේඛකයා තම වාර්තාවට තොරතුරු ලබාගත්තේ කොහොමද? (ආ) ක්‍රියා පොතේ ඇතුළත් කර තිබෙන තොරතුරු මොනවාද?

13 ක්‍රියා පොත ලිව්වේ කවුද? ඒක ලියපු තැනැත්තාගේ නම කෙළින්ම සඳහන් වන්නේ නැහැ. නමුත් පොතේ ආරම්භක වදන්වලින් ලූක් පොත ලියපු ලේඛකයාම ක්‍රියා පොතත් ලියූ බව පැහැදිලි වෙනවා. (ලූක් 1:1-4; ක්‍රියා 1:1, 2) තොරතුරු හොඳින් සොයා බලා නිවැරදිව වාර්තා කරන කෙනෙක් විදිහට ප්‍රසිද්ධව සිටි “ආදරණීය වෛද්‍යවරයෙක්” වන ලූක්, ක්‍රියා පොත ලියූ බව අතීතයේ සිටම පිළිගනු ලැබුවා. (කොලො. 4:14) ඒ පොතේ අවුරුදු 28ක පමණ කාල පරිච්ඡේදයක් පුරා ඒ කියන්නේ ක්‍රි.ව. 33 යේසුස් ස්වර්ගයට ගිය අවස්ථාවේ සිට ක්‍රි.ව. 61 පාවුල් රෝමයේ සිරභාරයේ සිටි කාලය දක්වා සිදු වුණ දේවල් වාර්තා කර තිබෙනවා. ක්‍රියා පොතේ සඳහන් වාර්තා කිහිපයකම “එයාලා” කියනවා වෙනුවට “අපි” කියා පවසා තිබීමෙන් පැහැදිලි වන්නේ ඒ දේවල් සිදු වෙද්දී ලූක් එතන සිටි බවයි. (ක්‍රියා 16:8-10; 20:5; 27:1) ලූක් දේවල් වාර්තා කිරීමට කලින් ඒවායේ නිවැරදිබව හොඳින් සෝදිසි කර බැලුවා. ඒ නිසා ඔහු වාර්තා කළ සමහරක් තොරතුරු පාවුල්, බානබස්, ෆිලිප් හා ක්‍රියා පොතේ සඳහන් අනිත් අයගෙන් අසා දැනගන්න ඇති බව නිසැකයි.

14 ක්‍රියා පොතේ ඔහු ඇතුළත් කළේ මොන වගේ තොරතුරුද? ඔහු ලූක් පොතේ ඇතුළත් කළේ යේසුස් කළ කී දේවල්. නමුත් ක්‍රියා පොතේ ඔහු සඳහන් කළේ යේසුස්ගේ අනුගාමිකයන් කළ කී දේවල්. ඇත්තෙන්ම ඔහු ලිව්වේ “ඒ තරම් අධ්‍යාපනයක් ලබලා නැති සාමාන්‍ය” මිනිසුන් පිරිසක් සිතාගන්නවත් නොහැකි කාර්යයක් ඉටු කළ ආකාරය ගැනයි. (ක්‍රියා 4:13) ක්‍රිස්තියානි සභාව ආරම්භ වුණ ආකාරය හා එය ව්‍යාප්ත වුණ ආකාරය ගැනත් පළවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට දේශනා සේවය ගැන තිබුණ ආකල්පය හා ඒ සඳහා ඔවුන් යොදාගත් ක්‍රම ගැනත් ක්‍රියා පොතෙන් දැනගත හැකියි. (ක්‍රියා 4:31; 5:42) ශුභාරංචිය පැතිර යෑමට දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වුණ ආකාරය ගැනත් එයින් තේරුම්ගත හැකියි. (ක්‍රියා 8:29, 39, 40; 13:1-3; 16:6; 18:24, 25) බයිබලයේ ප්‍රධාන තේමාව වන්නේ දෙවියන්ගේ නමට වී තිබෙන කැළල ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ තිබෙන දේවරාජ්‍යයෙන් අයින් කරන එකයි. ඒ දේ ක්‍රියා පොතේ කාවද්දනවා. දැඩි විරුද්ධවාදිකම් මැද පවා ශුභාරංචිය පැතිර ගිය ආකාරය ගැනත් ඒකේ සඳහන් වෙනවා.—ක්‍රියා 8:12; 19:8; 28:30, 31.

15. ක්‍රියා පොතේ සඳහන් තොරතුරු සෝදිසි කර බැලීම අපට ප්‍රයෝජනවත් වන්නේ ඇයි?

15 ක්‍රියා පොතේ සඳහන් වාර්තා සෝදිසි කර බැලීම රසවත් අද්දැකීමක් වන බවට සැකයක් නැහැ. එසේ කිරීමෙන් දෙවියන් කෙරෙහි අපට ඇති විශ්වාසය තව තවත් ශක්තිමත් වන බව නිසැකයි. යේසුස්ගේ අනුගාමිකයන් පෙන්වපු නිර්භීතකම හා ඔවුන් තුළ තිබුණ උද්‍යෝගය අපට මහත් දිරිගැන්වීමක්. ඔවුන් තුළ තිබුණ විශ්වාසය ආදර්ශයට ගන්න ඒ වාර්තා අපව පොලඹවනවා. ‘ගිහින් මිනිස්සුන්ට මගේ ගෝලයන් වෙන්න උදව් කරන්න’ කියලා යේසුස් දුන් පැවරුම සාර්ථකව ඉටු කරන්න ඒ සෑම දෙයක්ම අපව සූදානම් කරනවා. මේ පොත සකස් කර තිබෙන්නේ ක්‍රියා පොතේ සඳහන් ඒ තොරතුරු ගැඹුරින් සෝදිසි කර බැලීමට ඔබට උපකාරයක් විදිහටයි.

අපට අත්වැලක්

16. මේ පොත සකස් කර තිබෙන්නේ මොන අරමුණු තුන ඇතුවද?

16 මේ පොත සකස් කර තිබෙන්නේ ප්‍රධාන අරමුණු තුනක් ඇතුවයි. (1) ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය හා මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උපකාර කිරීමේ කාර්යය ඉටු කරන්න දෙවියන්ගේ බලයේ උපකාර අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන විශ්වාසය තව තවත් ශක්තිමත් කරන්න. (2) පළවෙනි සියවසේ සිටි යේසුස්ගේ අනුගාමිකයන්ගේ ආදර්ශය මඟින් දේශනා සේවය ගැන අපට තිබෙන උද්‍යෝගය තවත් වැඩි කරන්න. (3) දෙවියන්ගේ සංවිධානය ගැන අපට තිබෙන අගය හා දේශනා සේවයේ මෙන්ම සභාවේ පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට තිබෙන ගෞරවය තවත් වැඩි කරන්න.

17, 18. මේ පොතේ තොරතුරු පෙළගස්වා තිබෙන්නේ කොහොමද? පෞද්ගලික අධ්‍යයනයට උපකාරවත් වන්නේ මොන වගේ දේවල්ද?

17 මේ පොතේ පරිච්ඡේද කොටස් අටකට බෙදා තිබෙන බව ඔබ දකින්න ඇති. ඒ සෑම කොටසකින්ම ක්‍රියා පොතේ පරිච්ඡේද කිහිපයක් ආවරණය කරනවා. නමුත් මේකේ පදයෙන් පදය සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වෙනුවට ක්‍රියා පොතේ සඳහන් යම් සිදුවීම් විස්තර කර ඒවායින් අපට ඉගෙනගත හැකි පාඩම් පැහැදිලි කර දෙනවා. එමෙන්ම ඒවා අපේ ජීවිතයට පෞද්ගලිකව අදාළ කරගත හැකි ආකාර තේරුම්ගැනීමටත් උපකාර කරනවා. සෑම පරිච්ඡේදයකම ආරම්භයේදී පරිච්ඡේදයේ අරමුණ හා ක්‍රියා පොතෙන් සාකච්ඡා කරන කොටස සඳහන් වෙනවා.

18 පෞද්ගලික අධ්‍යයනයට උපකාරවත් වන තවත් දේවල් මේ පොතේ ඇතුළත් වෙනවා. මේකේ තියෙන ලස්සන පින්තූර ක්‍රියා පොතේ සඳහන් රසවත් සිදුවීම් සිතින් මවාගැනීමට උපකාරයක්. පරිච්ඡේද බොහොමයකම අමතර තොරතුරු ඇතුළත් කොටු දකින්න තිබෙනවා. ආදර්ශයට ගත යුතු බයිබල් චරිතයක් ගැන විස්තර සමහර කොටුවල ඇතුළත් වන අතර තවත් සමහර කොටුවල ස්ථාන ගැන, සිදුවීම් ගැන, චාරිත්‍ර වාරිත්‍ර ගැන හෝ වෙනත් චරිත ගැන වැඩි විස්තර සඳහන් වෙනවා.

ඔබට පවරා තිබෙන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම කල් නොදැමිය යුතු දෙයක් විදිහට සලකන්න

19. මොන කාරණා සම්බන්ධයෙන්ද අප අපවම සෝදිසි කරලා බලන්න ඕනේ?

19 අපට අපවම සෝදිසි කර බලන්න පෙලඹීමක් ඇති කිරීම මේ පොතේ තවත් විශේෂ ලක්ෂණයක්. අප කොතරම් කාලයක් පුරා යෙහෝවාට සේවය කරමින් සිටියත් අපේ ජීවිතයේ මුල් තැන හිමි වී තිබෙන්නේ මොන දේවලටද කියා විටින් විට සෝදිසි කර බැලීම ඉතා වැදගත්. සේවය සම්බන්ධයෙන් අපට තිබෙන ආකල්පය ගැනත් සෝදිසි කර බැලීම වටිනවා. (2 කොරි. 13:5) ඒ නිසා අප අපෙන්ම මේ වගේ ප්‍රශ්න අසාගැනීම ප්‍රයෝජනවත්. ‘සේවය කල් නොදමා කළ යුතු කාර්යයක් කියා මට හැඟෙනවාද? (1 කොරි. 7:29-31) මම ශුභාරංචිය දේශනා කරන්නේ මහත් උද්‍යෝගයකින් හා ස්ථිර විශ්වාසයකින්ද? (1 තෙස. 1:5, 6) ශුභාරංචිය දේශනා කරන්න හා මිනිසුන්ට ගෝලයන් වීමට උපකාර කරන්න මට කළ හැකි උපරිමය මම කරනවාද?’—කොලො. 3:23.

20, 21. අපට පවරා තිබෙන කාර්යය කල් නොදමා කරන්න ඕනෙ ඇයි? අපේ අධිෂ්ඨානය මොකක්ද?

20 යේසුස් අපට භාර දී තිබෙන්නේ ඉතා බැරෑරුම් කාර්යයක් බව අපි නිතරම මතකයේ තබාගමු. ගෙවී යන සෑම දවසක් දවසක් පාසාම ඒ කාර්යය ඉටු කිරීමේ හදිසිතාවත් වැඩි වෙනවා. මේ දුෂ්ට සමාජයේ අවසානය වේගයෙන් ළඟා වන නිසා බොහෝදෙනෙක්ගේ ජීවිත තිබෙන්නේ අනතුරේ. සත්‍යය පිළිගන්න කැමැත්තෙන් ඉන්න තව කීදෙනෙක් ඉන්නවාද කියා අප දන්නේ නැහැ. (ක්‍රියා 13:48) නමුත් අවසානය පැමිණීමට කලින් එවැනි අයට උපකාර කිරීම අපේ වගකීමයි.—1 තිමෝ. 4:16.

21 එහෙනම් මහත් උද්‍යෝගයෙන් දේශනා සේවයේ හවුල් වුණ පළවෙනි සියවසේ හිටපු අයගේ ආදර්ශය අනුගමනය කිරීම මොන තරම් වැදගත්ද! මේ පොත හොඳින් අධ්‍යයනය කරන්න. නිර්භීතව හා මහත් උද්‍යෝගයෙන් දේශනා සේවයේ හවුල් වීමට ඒක ඔබට උපකාරයක් වන බව නිසැකයි. ‘දෙවියන්ගේ රාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක් දෙන්න’ ඔබ ගෙන තිබෙන අධිෂ්ඨානයත් එමගින් තව තවත් ශක්තිමත් වන බවට සැකයක් නැහැ.—ක්‍රියා 28:23.