Skip to content

පටුනට යන්න

2වෙනි පරිච්ඡේදය

‘ඔබ මා ගැන සාක්ෂි දරයි’

‘ඔබ මා ගැන සාක්ෂි දරයි’

දේශනා සේවයේ පෙරමුණ ගෙන කටයුතු කිරීමට යේසුස් තම නියෝජිතයන්ව සූදානම් කරයි

ක්‍රියා 1:1-26

1-3. යේසුස් ඔහුගේ නියෝජිතයන්ගෙන් වෙන්ව ගියේ කෙසේද? මතු වන ප්‍රශ්න මොනවාද?

යේසුස්ගේ නියෝජිතයන් දැන් සිටින්නේ මොන තරම් ප්‍රීතියකින්ද! ඔවුන්ගේ ස්වාමියා දැන් නැවත නැඟිටලා! මේ වන විට දින 40ක් පුරා යම් කාරණා උගන්වන්න, දිරිගැන්වීම් ලබා දෙන්න යේසුස් විටින් විට ඔවුන් ඉදිරියේ පෙනී සිටියා. නමුත් අද යේසුස් ඔවුන් ඉදිරියේ පෙනී සිටින්නේ අවසන් වතාවටයි.

2 මේ මොහොතේ ඔලීව කන්දේ යේසුස් වටා එක් රොක් වී සිටින ඔහුගේ නියෝජිතයන්, ඔහු පවසන සෑම වචනයකටම මහත් උනන්දුවෙන් සවන් දීගෙනයි සිටින්නේ. දැන් යේසුස් තම අවසන් වචන කිහිපය පවසමින් දෑත් දිගු කර ඔවුන්ට ආශීර්වාද කරනවා. ඔවුන් ඔහු දෙස බලා සිටියදීම ඔහුව ක්‍රමක්‍රමයෙන් ඉහළට ඔසවාගනු ලබනවා. වලාකුළකින් වැසී යන ඔහුව තවදුරටත් පෙනෙන්නේ නැහැ. නමුත් ඔවුන් දිගටම දෑස් අයා අහස දෙස බලා සිටිනවා.—ලූක් 24:50; ක්‍රියා 1:9, 10.

3 තම ස්වාමියා තමන් ළඟ නැති නිසා දැන් යේසුස්ගේ නියෝජිතයන් සිටින්නේ අසරණ තත්වයකද? කොහෙත්ම නැහැ. තමන් ආරම්භ කළ කාර්යය දිගටම කරගෙන යෑමට යේසුස් ඔවුන්ව සූදානම් කර තිබුණා. ඔහු එසේ කළේ කෙසේද? යේසුස් භාර දුන් කාර්යය ඔවුන් සතුටින් භාරගත්තාද? ඒ ගැන දැනගැනීම ක්‍රිස්තියානීන් වන අපට වැදගත් වන්නේ ඇයි? එම ප්‍රශ්නවලට පිළිතුරු ක්‍රියා පළමුවෙනි පරිච්ඡේදයෙන් සොයාගත හැකියි.

“ඉතා පැහැදිලි සාක්ෂි බොහොමයක්” (ක්‍රියා 1:1-5)

4. ලූක් තම දෙවෙනි පොත ආරම්භ කරන්නේ කෙසේද?

4 ලූක් පොත මෙන් ක්‍රියා පොතත් ඇරඹෙන්නේ තෙයොෆිලස් නමැති පුද්ගලයාව ආමන්ත්‍රණය කරමිනුයි. * එම ආමන්ත්‍රණයෙන් පසුව එහි මුලින්ම දක්නට ලැබෙන්නේ ලූක් පොතේ අවසානයේ සඳහන් සිද්ධීන්වල සාරාංශයක්. නමුත් එය ලූක් පොතේ ශෛලියට වඩා වෙනස් වන අතර තව අමතර තොරතුරුද එම සාරාංශයේ ඇතුළත් වෙනවා. එතැන් සිට එහි වාර්තා කර තිබෙන්නේ ලූක් පොතේ අවසානයේ සඳහන් සිද්ධීන්වලින් පසුව සිදු වූ දේවල් ගැනයි.

5, 6. (අ) යේසුස්ගේ අනුගාමිකයන්ට තම විශ්වාසය ශක්තිමත්ව තබාගැනීමට උපකාරවත් වුණේ කුමක්ද? (ආ) සැබෑ ක්‍රිස්තියානීන්ගේ විශ්වාසය පදනම් වී තිබෙන්නේ, “ඉතා පැහැදිලි සාක්ෂි බොහොමයක්” මත බව පැවසිය හැක්කේ ඇයි?

5 එදා සිටි යේසුස්ගේ අනුගාමිකයන්ට තම විශ්වාසය ශක්තිමත්ව තබාගැනීමට උපකාරවත් වූ දෙයක් ගැන ක්‍රියා 1:3හි ලූක් සඳහන් කර තිබෙනවා. ඔහු සඳහන් කළේ, “තමා ජීවමානව සිටින බවට ඔහු [යේසුස්] ඉතා පැහැදිලි සාක්ෂි බොහොමයක් සැපයූ” බවයි. “ඉතා පැහැදිලි සාක්ෂි” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය බයිබලයේ භාවිත කර තිබෙන්නේ, “ප්‍රේමණීය වෛද්‍යවරයා” වන ලූක් විසින් පමණයි. (කොලො. 4:14) ඇත්තෙන්ම එය වෛද්‍ය විද්‍යාවේ භාවිත කරන වචනයක්. වෛද්‍ය විද්‍යාවේ යම් තොරතුරක් සම්බන්ධයෙන් ‘ඉතා පැහැදිලි සාක්ෂි’ තිබෙනවා කියා පවසන විට එම තොරතුරේ නිරවද්‍යතාව ගැන කිසිම සැකයක් මතු වන්නේ නැහැ. තමා ජීවමානව සිටින බවට යේසුස් තම අනුගාමිකයන්ට ලබා දුන් සාක්ෂිද ඒ හා සමානයි. එසේනම් ලූක් එම වචනය භාවිත කළේ හොඳ හේතු ඇතුවයි. යේසුස් අවස්ථා බොහොමයකදී ඔහුගේ අනුගාමිකයන් ඉදිරියේ පෙනී සිටියා. සමහර අවස්ථාවලදී එක් කෙනෙකු හෝ දෙදෙනෙකු ඉදිරියේද තවත් සමහර අවස්ථාවලදී සියලුම නියෝජිතයන් ඉදිරියේද ඔහු දර්ශනය වුණා. එක් වතාවකදී අනුගාමිකයන් 500දෙනෙකු ඉදිරියේ ඔහු පෙනී සිටියා. (1 කොරි. 15:3-6) ඒ ආකාරයෙන් තමා ජීවමානව සිටින බවට තම අනුගාමිකයන්ට ඔහු “ඉතා පැහැදිලි සාක්ෂි” ලබා දුන්නා.

6 අද දින සිටින සැබෑ ක්‍රිස්තියානීන්ගේද විශ්වාසය පදනම් වී තිබෙන්නේ, “ඉතා පැහැදිලි සාක්ෂි බොහොමයක්” මතයි. ඇත්තෙන්ම යේසුස් මේ පොළොව මත සිටි බවත් මිනිසුන්ගේ පව්වලට වන්දියක් ලෙස ඔහු තම ජීවිතය පූජා කළ බවත් ඔහු නැවත නැඟිටුණු බවත් විශ්වාස කිරීමට ඉතා පැහැදිලි සාක්ෂි තිබෙනවා. ඒ දේවල් සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි බයිබලයේ සඳහන් වෙනවා. ඒ සාක්ෂි ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් හා ඒවා තේරුම්ගැනීමට දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කිරීමෙන් අපේ විශ්වාසය තව තවත් ශක්තිමත් කරගැනීමට අපට හැකියි. කිසි පදනමක් නැතුව යමක් විශ්වාස කරනවාට වඩා තිබෙන සාක්ෂි හොඳින් සෝදිසි කර බලා ගොඩනඟා ගන්නා විශ්වාසය ඉතා ශක්තිමත් බව මතක තබාගන්න. සදාකාල ජීවනය ලබාගැනීමට නම් අපට තිබිය යුත්තේ එවැනි විශ්වාසයක්.—යොහ. 3:16.

7. දේශනා සේවයේදී හා ඉගැන්වීමේ කටයුතුවලදී අපට අනුගමනය කිරීමට යේසුස් තැබූ ආදර්ශය කුමක්ද?

7 පැහැදිලි සාක්ෂි ලබා දීමට අමතරව යේසුස්, ‘දෙවිගේ රාජ්‍යය පිළිබඳව බොහෝ දේවල් කියා දුන්නා.’ ඔහු පැහැදිලි කර දුන් දේවලට මෙසියස් සම්බන්ධයෙන් පවසා තිබූ අනාවැකි ඉටු වන ආකාරය ඇතුළත් වුණා. උදාහරණයකට පොරොන්දු වූ ගැලවුම්කරු බොහෝ වධ විඳින බවත් ඔහු මිය යා යුතු බවත් යේසුස් පැවසුවා. (ලූක් 24:13-32, 46, 47) ඒ ගැලවුම්කරු දේවරාජ්‍යයේ රජු වන බවත් ඔහු පැහැදිලි කර දුන්නා. ඒ දේවලින් පැහැදිලි වන්නේ ඔහුගේ සෑම ඉගැන්වීමකම තේමාව වුණේ දේවරාජ්‍යය බවයි. ඔහුව ආදර්ශයට ගන්නා අපද උත්සාහ කළ යුත්තේ දේශනා සේවයේදී දේවරාජ්‍යයට ප්‍රධාන තැනක් දීමටයි.—මතෙ. 24:14; ලූක් 4:43.

“පොළොවේ දුර ඈත කෙළවර” දක්වා (ක්‍රියා 1:6-12)

8, 9. (අ) යේසුස්ගේ නියෝජිතයන් තුළ තිබූ වැරදි වැටහීම් දෙක මොනවාද? (ආ) ඒ වැරදි වැටහීම් යේසුස් නිවැරදි කළේ කෙසේද? ඉන් අපට දෙන සිහිගැන්වීම කුමක්ද?

8 අවසන් වතාවට යේසුස්ගේ නියෝජිතයන් යේසුස් සමඟ ඔලීව කන්දේ රැස් වූ අවස්ථාවේදී මහත් උනන්දුවකින් ඔවුන් ඔහුගෙන් මෙසේ ඇසුවා. ‘ස්වාමීනි, ඔබ ඊශ්‍රායෙල් දේශයට රාජ්‍යයක් ආපසු ලබා දෙන්නේ මේ කාලයේදීද?’ (ක්‍රියා 1:6) ඔවුන් ඇසූ ඒ ප්‍රශ්නයෙන් ඔවුන් තුළ තිබූ වැරදි වැටහීම් දෙකක් අනාවරණය වුණා. පළමු එක නම් දේවරාජ්‍යය ඊශ්‍රායෙල් දේශයේ පිහිටුවයි කියා ඔවුන් බලාපොරොත්තු වුණා. දෙවෙනි එක නම් ඒ රාජ්‍යයේ පාලනය දැන්මම එනම්, “මේ කාලයේදී” ආරම්භ විය යුතුයි කියා ඔවුන් සිතුවා. ඔවුන් තුළ තිබූ ඒ වැරදි වැටහීම් යේසුස් නිවැරදි කළේ කෙසේද?

9 ඔවුන් තුළ තිබූ පළමු වැරදි වැටහීම ඉතාමත් ළඟදී ඔවුන්ට නිවැරදි කරගැනීමට හැකි වන බව යේසුස් දැන සිටි නිසා ඒ අවස්ථාවේදී ඔහු ඒ ගැන කිසිවක් පැවසුවේ නැහැ. මන්ද යෙහෝවා දෙවි ඉතාමත් ළඟදී ඊශ්‍රායෙල් ජාතිය ප්‍රතික්ෂේප කර අලුත් ජාතියක් බිහි කරන බව යේසුස් දැන සිටියා. දවස් දහයක් වැනි කෙටි කාලයකින් දෙවිගේ ඊශ්‍රායෙල් ලෙස හඳුන්වන එම අලුත් ජාතියේ බිහි වීම සියැසින් දැකගැනීමට ඔවුන්ට හැකි වෙනවා. ඔවුන් තුළ තිබූ දෙවෙනි වැරදි වැටහීම නිවැරදි කරගැනීමට උපකාරයක් ලෙස යේසුස් කාරුණිකව ඔවුන්ට මෙසේ පැවසුවා. “ඒ දේවල් සිදු වීමට නියමිත කාල වකවානු නියම කරන්නේ පියාණන්. ඒවා දැනගැනීමේ අයිතිය ඔබට දී නැහැ.” (ක්‍රියා 1:7) ඇත්තෙන්ම සෑම දෙයකටම නියමිත වේලාව තීරණය කරන්නෙත් ඒ දේවල් නියමිත වේලාවට සිදු කරන්නෙත් යෙහෝවා දෙවියි. දුෂ්ට සමාජයේ අවසානය සිදු වන “දවස හා වේලාව” පොළොව මත සිටියදී යේසුස්ද දැන සිටියේ නැහැ. එය “පියාණන් මිස” වෙන කිසිවෙකු නොදන්නා බවත් යේසුස් පැවසීමෙන් කාල වකවානු නියම කරන්නේ දෙවියි යන කාරණය තහවුරු වුණා. (මතෙ. 24:36) යේසුස් තම නියෝජිතයන්ට පැවසූ දේ අද දින සිටින අපටත් හොඳ සිහිගැන්වීමක්. මේ දුෂ්ට සමාජයේ අවසානය පැමිණෙන්නේ කවදාද කියා සිතමින් අප ඒ ගැන ඕනෑවට වඩා කරදර වෙනවා නම් අප ඇත්තටම කරදර වන්නේ අපට දැනගැනීමට අයිතියක් නැති දේවල් ගැනයි.

10. අපට තිබිය යුත්තේ යේසුස්ගේ නියෝජිතයන් තුළ තිබූ කුමන ආකල්පයද? ඒ ඇයි?

10 යේසුස්ගේ නියෝජිතයන් තුළ තිබූ ඒ වැරදි වැටහීම් නිසා අප ඔවුන් ගැන වැරදියට නොසිතිය යුතුයි. ඇත්තෙන්ම ඔවුන්ට දෙවි කෙරෙහි මහත් විශ්වාසයක් තිබුණා. යේසුස් ඔවුන්ව නිවැරදි කළ විට ඔවුන් ඉතා යටහත්ව ඒවා පිළිගත්තා. ඔවුන් යේසුස්ගෙන් එවැනි ප්‍රශ්නයක් ඇසුවේ ඔවුන් තුළ තිබූ වැරදි වැටහීමක් නිසා වුණත් එම ප්‍රශ්නය ඇසීමෙන් ඔවුන් තුළ හොඳ ආකල්පයක් තිබෙන බව පැහැදිලි වුණා. යේසුස් පොළොව මත සිටියදී ඔහුගේ අනුගාමිකයන්ට නිතරම උනන්දු කළේ, “සෝදිසියෙන් සිටින්න” කියායි. (මතෙ. 24:42; 25:13; 26:41) ඔවුන් ඇසූ ප්‍රශ්නයෙන් පැහැදිලි වුණේ ඔවුන් ඒ දේ කරමින් සිටින බවයි. දෙවි තම අරමුණු ඉටු කිරීමට පියවර ගන්නා තුරු ඔවුන් මහත් ආශාවෙන් බලා සිටියා. එසේ කිරීම ඇත්තෙන්ම වැදගත් දෙයක්. අපටත් තිබිය යුත්තේ එවැනිම ආකල්පයක් නොවේද! අද අප ජීවත් වන්නේ, “අවසාන කාලයේ” නිසා දෙවිගේ අරමුණු ඉටු වන කාලය තිබෙන්නේ වැඩි ඈතක නොවෙයි. එසේනම් අප සෝදිසියෙන් සිටීම මොන තරම් වැදගත්ද!—2 තිමෝ. 3:1-5.

11, 12. (අ) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පැවරූ කාර්යය කුමක්ද? (ආ) ඒ ගැන සඳහන් කරන විට දෙවිගේ බලයේ උපකාරය ඔවුන්ට ලැබෙන බවට පොරොන්දු වීම උචිත දෙයක් වුණේ ඇයි?

11 නියෝජිතයන් තුළ තිබූ වැරදි වැටහීම නිවැරදි කළ පසු යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8) යේසුස් එහිදී කතා කළේ ඔවුන් වැඩි අවධානයක් දිය යුතු විශේෂ කාර්යයක් ගැනයි. යේසුස්ව නැවත නැඟිටුවා ඇති බව ඔහුව මරා දැමූ යෙරුසලම නගරයේ මුලින්ම ප්‍රකාශ කිරීම ඊට ඇතුළත් වුණා. ඉන්පසු ඒ පණිවිඩය යූදා දේශය පුරාත් සමාරියෙත් දුර ඈත ප්‍රදේශවලත් දේශනා කළ යුතු වුණා.

12 යේසුස් මේ විශේෂ කාර්යය ගැන සඳහන් කරන විට පැවසූ තවත් දෙයක් ඔබ දුටුවාද? ඔහු ඔවුන්ට පොරොන්දු වුණේ ඔවුන්ගේ උපකාරයට “දෙවිගේ බලය” ලැබෙන බවයි. ඇත්තෙන්ම දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය ගැන ක්‍රියා පොත පුරාම අවධාරණය කර තිබෙනවා. එහි නැවත නැවතත් පැහැදිලි කර තිබෙන්නේ යෙහෝවා දෙවිගේ බලය නොමැතිව අපට ඔහුගේ කැමැත්ත සාර්ථකව ඉටු කළ නොහැකි බවයි. ඒ නිසා දෙවිගේ බලය ඉල්ලා අප නිරතුරුවම යාච්ඤා කළ යුතුයි. (ලූක් 11:13) දෙවිගේ බලයේ උපකාරය ලබාගැනීම වෙන කවරදාකටත් වඩා අද වැදගත්!

13. සාක්ෂි දැරීමේ කාර්යය එදාට වඩා අද වෙනස් වන්නේ කුමන ආකාරයෙන්ද? අප එම සේවයේ මහත් උනන්දුවෙන් නිරත විය යුත්තේ ඇයි?

13 “පොළොවේ දුර ඈත කෙළවර” දක්වා යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය එදාට වඩා මහා පරිමාණයෙන් අද දින සිදු කළ යුතු බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තේරුම්ගෙන සිටිනවා. සෑම තරාතිරමකම සිටින මිනිසුන් දෙවි ගැනත් දෙවිගේ රාජ්‍යය ගැනත් දැනගන්නවා දැකීම දෙවිගේ කැමැත්ත බව ඔවුන් දන්නවා. (1 තිමෝ. 2:3, 4) පළමුවෙනි පරිච්ඡේදයේ සඳහන් කළ ලෙස යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එම කාර්යයේ නිරත වෙමින් සිටින්නේ මුළු හදවතින්මයි. ජීවිත ගලවන එම කාර්යයේ ඔබත් මහත් උනන්දුවෙන් නිරත වෙනවාද? ඇත්තෙන්ම ඊට වඩා තෘප්තියක් ගෙන දෙන වැඩක් තවත් නැහැ. එම කාර්යය සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය දෙවි තම බලය මාර්ගයෙන් ඔබට ලබා දෙන බවට නිසැක වන්න. ක්‍රියා පොතේ තොරතුරු අධ්‍යයනය කිරීමෙන්ද එම කාර්යය සාර්ථකව ඉටු කළ හැකි ක්‍රම ඔබට දැනගත හැකියි. ඒ කාර්යය ඉටු කිරීම සඳහා ඔබට තිබිය යුතු ආකල්පය ගැනත් නිසි අවබෝධයක් ඔබට එමගින් ලබාගත හැකියි.

14, 15. (අ) යේසුස්ගේ පැමිණීම ගැන දේවදූතයන් පැවසුවේ කුමක්ද? ඉන් අදහස් කළේ කුමක්ද? (ආ) යේසුස් ස්වර්ගයට ගිය ආකාරයෙන්ම නැවත පැමිණියේ කෙසේද?

14 කලින් සඳහන් කළ ලෙස යේසුස් ඔහුගේ නියෝජිතයන්ගෙන් සමුගෙන ස්වර්ගයට නැඟී ගිය මොහොතේ වලාකුළකින් ඔහුව නොපෙනී ගියත් ඔහුගේ නියෝජිතයන් 11දෙනා අහස දෙස දිගටම බලාගෙන සිටියා. ඒ අවස්ථාවේදී දේවදූතයන් දෙදෙනෙක් පැමිණ ඔවුන්ට මෙසේ පැවසුවා. “ගලීලයේ මනුෂ්‍යයෙනි, ඔබ මෙතැන සිටගෙන අහස දෙස බලා සිටින්නේ ඇයි? අහසට ඔසවාගනු ලැබූ මේ යේසුස්, ස්වර්ගයට යනවා ඔබ දුටු ආකාරයෙන්ම නැවත පැමිණේවි.” (ක්‍රියා 1:11) දේවදූතයන් පැවසූ ඒ දේ සමහර ආගම්වල උගන්වන්නේ යේසුස් ස්වර්ගයට යනවා ඔහුගේ නියෝජිතයන් දුටුවා සේ ඔහුගේ නැවත පැමිණීමත් ඔහුගේ අනුගාමිකයන් සියැසින් දකින බවයි. ඇත්තටම දේවදූතයන් පැවසූ දෙයින් අදහස් කළේ එයද? කොහෙත්ම නැහැ.

15 දේවදූතයන් පැවසූ දේට තිබෙන්නේ සංකේතාත්මක අර්ථයක්. එය දැනගැනීමට දේවදූතයන් එය පවසන විට යේසුස්ට සිදු වී තිබූ දෙය අප වටහාගත යුතුයි. ඒ අවස්ථාව වන විට යේසුස් නොපෙනී ගොස් තිබුණා. නමුත් යේසුස් පොළොවෙන් සමුගෙන ස්වර්ගයේ තම පියාණන් වෙතට යන බව ඔහුගේ නියෝජිතයන් තේරුම්ගත්තා. ඇත්තෙන්ම එය තේරුම්ගත්තේ ඔවුන් පමණයි. යේසුස් නැවත පැමිණෙන විටත් සිදු වන්නේ ඒ හා සමාන දෙයක්. සිදු වුණෙත් එයමයි. ඔහු දේවරාජ්‍යයේ රජු ලෙස පැමිණ සිටින බව තේරුම්ගත්තේ ශුද්ධ ලියවිල්ලේ තිබෙන කාරණා හා එය අපේ කාලයට අදාළ වන ආකාරය ගැන තේරුම්ගත් අය පමණයි. (ලූක් 17:20) යේසුස් පැමිණ සිටින බවට තිබෙන සාක්ෂි තේරුම්ගැනීමට අපත් උත්සාහයක් දැරිය යුතු අතර අනික් අයටත් එය අවබෝධ කරගැනීමට උපකාර කළ යුතුයි. අපේ කාලයේ වැදගත්කම වටහාගත හැකි වන්නේ එවිටයි.

“ඔබ තෝරාගෙන තිබෙන්නේ කාවද කියා අපට පෙන්වන්න” (ක්‍රියා 1:13-26)

16-18. (අ) ක්‍රියා 1:13, 14 යන පදවල සඳහන් දේවලින් එකට රැස්වීම ගැන අප ඉගෙනගන්නේ මොනවාද? (ආ) මරියා තැබූ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? (ඇ) අප රැස්වීම් වැදගත් දෙයක් ලෙස සැලකිය යුත්තේ ඇයි?

16 එම සිදුවීමෙන් පසු යේසුස්ගේ නියෝජිතයන්, “යෙරුසලමට ආපසු හැරී ගියේ මහත් ප්‍රීතියකිනි” කියා ලූක් සඳහන් කර තිබෙනවා. (ලූක් 24:52) ඔවුන්ට එසේ ප්‍රීතියෙන් සිටීමට හොඳ හේතු තිබුණා. කෙසේවෙතත් ප්‍රීතියෙන් යෙරුසලමට ගිය ඔවුන් කළේ කුමක්ද? ක්‍රියා පළමුවෙනි පරිච්ඡේදයේ 13 හා 14 යන පදවල පවසන්නේ ඔවුන් ‘උඩුමහල් කාමරයක’ රැස් වූ බවයි. පලස්තීනයේ තිබූ නිවෙස්වල සාමාන්‍යයෙන් උඩුමහල් කාමරයක් තිබූ අතර එම කාමරයට යෑම සඳහා පිටතින් පඩි පෙළක්ද සාදා තිබුණා. ඔවුන් රැස් වූ ඒ උඩුමහල් කාමරය සමහරවිට ක්‍රියා 12:12හි සඳහන් වන මාක්ගේ මවට අයිති නිවසේ උඩුමහල් කාමරය විය හැකියි. කෙසේවෙතත් යේසුස්ගේ අනුගාමිකයන්ට ඒ උඩුමහල් කාමරය රැස් වීම සඳහා යෝග්‍ය ස්ථානයක් වූ බවට සැකයක් නැහැ.

17 එහි රැස් වුණේ යේසුස්ගේ නියෝජිතයන් පමණක් නොවෙයි. එය පුරුෂයන්ට පමණක් තිබූ රැස්වීමක්ද නොවෙයි. ඊට යේසුස්ගේ මව වූ මරියා ඇතුළු “ඇතැම් ස්ත්‍රීන්” සහභාගි වූ බව වාර්තාවේ සඳහන් වෙනවා. බයිබලයේ මරියා ගැන සඳහන් වන අවසන් වතාව එයයි. ඇය එතැනට රැස් වී අන් අය ඉදිරියේ කැපීපෙනෙන්න උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට ඇයට වුවමනා වුණේ යේසුස්ගේ අනිකුත් අනුගාමිකයන් සමඟ දෙවිට නමස්කාර කිරීමේ කටයුතුවලට සහභාගි වීමටයි. ඇත්තෙන්ම නිහතමානිකම සම්බන්ධයෙන් ඇය තබන්නේ මොන තරම් කදිම ආදර්ශයක්ද! එම අවස්ථාව මරියාට මහත් සැනසිල්ලක් ගෙන දෙන්න ඇති. මන්ද ඇය සමඟ ඇගේ අනික් පුතුන් හතරදෙනා එතැනට රැස් වී සිටියා. යේසුස් පොළොව මත සිටියදී ඔවුන් ඔහුගේ අනුගාමිකයන් බවට පත් නොවුණත් යේසුස් මිය ගොස් නැවත නැඟිටුණු පසු ඔවුන් තම ආකල්ප වෙනස් කරගෙන යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වුණා.—මතෙ. 13:55; යොහ. 7:5; 1 කොරි. 15:7.

18 ඔවුන් සියලුදෙනා එසේ රැස් වුණේ කුමක් සඳහාද? ක්‍රියා 1:14හි පවසන්නේ, එහිදී “ඔවුහු සියලුදෙනාම මහත් ඕනෑකමින් නොකඩවා එකට යාච්ඤා කරමින් සිටියෝය” කියායි. ඒ ආකාරයෙන් එකට රැස්වීම දෙවිට කරන නමස්කාරයේ වැදගත් අංගයක් ලෙස ක්‍රිස්තියානීන් සලකනවා. මන්ද අපේ ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවිට එක්ව නමස්කාර කිරීමට එමගින් අපට හැකි වෙනවා. එමෙන්ම අප එසේ එක් රැස් වෙන්නේ උපදෙස් හා මඟ පෙන්වීම් ලබාගැනීමට හා එකිනෙකාව දිරිගැන්වීමටයි. එහිදී ඉදිරිපත් කරන යාච්ඤා හා දෙවිට ප්‍රශංසා කරමින් ගයන ගීත යෙහෝවා දෙවිට ඉතා ප්‍රසන්නයි. දෙවි සමඟ අපට තිබෙන බැඳීමත් එමගින් ශක්තිමත් වෙනවා. ඒ නිසා එවැනි වැදගත් අවස්ථා අතපසු නොකිරීමට අපි වගබලා ගනිමු.—හෙබ්‍රෙ. 10:24, 25.

19-21. (අ) ක්‍රිස්තියානි සභාවේ පෙරමුණ ගෙන කටයුතු කළ පේතෘස්ගෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද? (ආ) යූදස් වෙනුවට තවත් කෙනෙකුව පත් කළ යුතු වුණේ ඇයි? එම නියෝජිතයාව තෝරාගත් ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

19 උඩුමහල් කාමරයේ රැස්ව සිටි ඔවුන් යම් විශේෂ කාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුව තිබුණා. ඒ ගැන සාකච්ඡා කිරීමට පේතෘස් ඉදිරිපත් වුණා. (15-26 පද) ඒ සඳහා පේතෘස් ඉදිරිපත් වීම ගැන ඔබ පුදුම වෙනවාද? තම ස්වාමියාව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක්ම ඔහු පවසා තිබුණේ ඊට සති කිහිපයකට පෙරයි. නමුත් මේ වන විට පේතෘස්ගේ ලොකු වෙනසක් දක්නට තිබුණා. ඔහුගේ ඒ වෙනස අපට මහත් දිරිගැන්වීමක් නොවේද! (මාක් 14:72) අප සෑම කෙනෙකු අතින්ද වැරදි සිදු වෙනවා. නමුත් යෙහෝවා දෙවි, “සමාව දීමට කැමති, යහපත්” දෙවි කෙනෙකු බව අප අමතක නොකළ යුතුයි. ඇත්තෙන්ම අප අවංකව පසුතැවිලි වෙනවා නම් අපට ඔහුගෙන් සමාව ලබාගත හැකියි.—ගීතා. 86:5.

20 යූදස් වෙනුවට තවත් නියෝජිතයෙකු පත් කළ යුතු බව පේතෘස් තේරුම්ගත්තා. පේතෘස් පැවසුවේ තෝරාගන්නා එම තැනැත්තා යේසුස් සේවය කළ මුළු කාලය පුරාම ඔහුගේ අනුගාමිකයෙකුව සිටි, යේසුස්ගේ නැවත නැඟිටීම ඇසින් දුටු කෙනෙකු විය යුතු බවයි. (ක්‍රියා 1:21, 22) ඔහු පැවසූ ඒ දෙය යේසුස් කලින් පවසා තිබූ මේ දෙයට එකඟයි. ‘මා අනුව ආ ඔබත් සිංහාසන දොළොසක ඉඳගෙන, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරනවා.’ (මතෙ. 19:28) පෙනෙන ආකාරයට යෙහෝවා දෙවිගේ අරමුණ වුණේ නව යෙරුසලමේ “අත්තිවාරම් ගල් දොළොස” ලෙස යේසුස් අනුව ගිය නියෝජිතයන් 12දෙනෙකුව යොදාගැනීමයි. (එළි. 21:2, 14) ඒ අනුව “අන් අයව රැකබලා ගන්නා කෙනෙකු ලෙස ඔහුට හිමිව තිබූ වගකීම්ද වෙනත් කෙනෙකුට හිමි වේවා” කියා පවසා තිබූ අනාවැකිය යූදස්ට අදාළ වන බව තේරුම්ගැනීමට දෙවි පේතෘස්ට උපකාර කළා.—ගීතා. 109:8.

21 යූදස්ගේ අඩුව පිරවීමට නියෝජිතයෙකුව තෝරාගත්තේ කෙසේද? දාදු දැමීමෙනුයි. ඒ කාලයේ යම් තේරීමක් කරන විට අනුගමනය කළේ එම ක්‍රමයයි. (හිතෝ. 16:33) නමුත් යම් තේරීම් කිරීම සඳහා දාදු දැමූ බවට බයිබලයේ සඳහන් වන අවසන් වතාව මෙයයි. පෙන්තකොස්ත දවසේ සිට දෙවිගේ බලය යේසුස්ගේ අනුගාමිකයන් තුළ ක්‍රියාත්මක වූ නිසා එම ක්‍රමය අනුගමනය කිරීමට අවශ්‍ය වුණේ නැහැ. මේ අවස්ථාවේදී යේසුස්ගේ නියෝජිතයන් දාදු දැමුවේ යෙහෝවා දෙවිගේ කැමැත්ත කුමක්ද කියා දැනගැනීමටයි. දාදු දැමීමට පෙර, “යෙහෝවා දෙවියනි, සියල්ලන්ගේ සිත් දන්නේ ඔබයි. මේ මිනිසුන් දෙදෙනා අතරින් ඔබ තෝරාගෙන තිබෙන්නේ කාවද කියා අපට පෙන්වන්න” කියා ඔවුන් යාච්ඤා කළේ ඒ නිසයි. (ක්‍රියා 1:23, 24) ඇත්තෙන්ම ඔවුන්ට අවශ්‍ය වුණේ යෙහෝවා දෙවිම ඒ නියෝජිතයාව තෝරාගන්නවා දකින්නයි. ඒ අනුව යේසුස් පොළොව මත සිටියදී දේශනා සේවය සඳහා පිටත් කර යැවූ 70දෙනා අතර සිටි මතියස්ව යේසුස්ගේ නියෝජිතයන් ‘දොළොස්දෙනාගෙන්’ කෙනෙකු ලෙස තෝරාගනු ලැබුවා. *ක්‍රියා 6:2.

22, 23. සභාව රැකබලා ගන්නා අයට අප කීකරුව යටත්ව සිටිය යුත්තේ ඇයි?

22 ක්‍රිස්තියානි සභාවේ කටයුතු සැලැස්මකට අනුව කිරීමේ වැදගත්කම එම සිද්ධියෙන් අපට සිහිගන්වනවා. ඒ කාලයේ පමණක් නොව අදත් සභාව රැකබලා ගැනීම සඳහා වගකීම් දැරීමට සුදුසු පුද්ගලයන්ව තෝරාගන්නේ යම් සැලැස්මකට අනුවයි. කෙනෙකු සභාවේ වගකීම් දැරීමට සුදුසුද නැද්ද කියා තීරණය කිරීම සඳහා වැඩිමහල්ලන් මුලින්ම බයිබලයේ සඳහන් කර තිබෙන සුදුසුකම් ඔහු ලබාගෙන තිබෙනවාද කියා සෝදිසි කර බලනවා. එසේ කරන විට ඔවුන් දෙවිගේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කරනවා. සභාව රැකබලා ගැනීම සඳහා කෙනෙකුව පත් කළ විට සභාවේ සිටින අය ඔහුව සලකන්නේ දෙවිගේ බලයේ උපකාරයෙන් පත් කර තිබෙන කෙනෙකු ලෙසයි. එසේනම් අප එක් එක් කෙනාත් එවැනි පුරුෂයන්ට කීකරුව යටත්ව සිටීම මොන තරම් වැදගත්ද! එසේ කිරීමෙන් සභාවේ කටයුතු නිසි ආකාරයෙන් සිදු කිරීමට අප සෑම කෙනෙකුටම දායක විය හැකියි.—හෙබ්‍රෙ. 13:17.

සභාව රැකබලා ගන්නා අයට අපි කීකරුව යටත්ව සිටිමු

23 යේසුස් ලබා දුන් දිරිගැන්වීම්වලින් ශක්තියක් ලැබූ නිසාත් සභා සැලැස්මේ තිබූ අඩුව පිරිමැසූ නිසාත් ඊළඟට සිදු වීමට තිබූ දෙයට යේසුස්ගේ ගෝලයන් සූදානම්ව සිටි බව පැවසිය හැකියි. ඒ සුවිශේෂී සිද්ධිය ගැන අප ඊළඟ පරිච්ඡේදයෙන් සලකා බලනවා.

^ 4 ඡේ. ලූක් පොතෙහි ඔහුව ආමන්ත්‍රණය කර තිබෙන්නේ, “ගරු තෙයොෆිලස්තුමනි” කියායි. සමහරවිට ඔහු උසස් නිලයක් දරමින් සිටි නිසා ඔහුව එසේ අමතන්න ඇති කියා ඇතමුන් විශ්වාස කරනවා. ඒ වන විට ඔහු ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු නොවී සිටීමත් එසේ ඇමතීමට හේතුවක් විය හැකියි. නමුත් ක්‍රියා පොතෙහි ලූක් ඔහුව අමතන්නේ, “හිතවත් තෙයොෆිලස්” ලෙසයි. ඊට හේතුව ලෙස ඇතැම් විද්වතුන් පවසන්නේ ලූක් පොත කියවීමෙන් පසු ඔහු ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වූ නිසා තම ක්‍රිස්තියානි සහෝදරයෙකුව අමතන අයුරින් ලූක් ඔහුව ඇමතූ බවයි.

^ 21 ඡේ. පසු කාලයක පාවුල්ව “වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතට යවනු ලැබූ නියෝජිතයෙකු” ලෙස පත් කරනු ලැබුවා. නමුත් ඔහුව කවදාවත් යේසුස්ගේ නියෝජිතයන් 12දෙනාගෙන් කෙනෙකු ලෙස ගණන් ගනු ලැබුවේ නැහැ. (රෝම 11:13; 1 කොරි. 15:4-8) යේසුස් පොළොව මත සේවය කළ කාලයේදී ඔහු යේසුස්ගේ අනුගාමිකයෙකු නොවූ නිසා ඔහුට එම විශේෂ වරප්‍රසාදය හිමි වුණේ නැහැ.