Skip to content

පටුනට යන්න

2වෙනි පරිච්ඡේදය

‘ඔයාලා මං ගැන සාක්ෂි දරයි’

‘ඔයාලා මං ගැන සාක්ෂි දරයි’

දේශනා සේවයේ පෙරමුණ අරන් වැඩ කිරීමට යේසුස් තම නියෝජිතයන්ව සූදානම් කරයි

ක්‍රියා 1:1-26

1-3. යේසුස් ඔහුගේ නියෝජිතයන්ගෙන් වෙන් වෙලා ගියේ කොහොමද? මතු වන ප්‍රශ්න මොනවාද?

 යේසුස්ගේ නියෝජිතයන් දැන් සිටින්නේ මොන තරම් ප්‍රීතියකින්ද! ඔවුන්ගේ ස්වාමියා දැන් නැවත නැඟිටලා! මේ වන විට දින 40ක් පුරා යම් කාරණා උගන්වන්න, දිරිගැන්වීම් ලබා දෙන්න යේසුස් විටින් විට ඔවුන් ඉදිරියේ පෙනී සිටියා. නමුත් අද යේසුස් ඔවුන් ඉදිරියේ පෙනී සිටින්නේ අවසන් වතාවටයි.

2 මේ මොහොතේ ඔලීව කන්දේ යේසුස් වටා එක් රොක් වී සිටින ඔහුගේ නියෝජිතයන්, ඔහු පවසන සෑම වචනයකටම මහත් උනන්දුවෙන් සවන් දීගෙනයි සිටින්නේ. දැන් යේසුස් තම අවසන් වචන ටික පවසමින් අත් ඔසවලා ඔවුන්ට ආශීර්වාද කරනවා. ඔවුන් ඔහු දෙස බලා සිටියදීම ඔහුව ටිකෙන් ටික ඉහළට ඔසවගන්නවා. අන්තිමට ඔහුව වලාකුළකින් සම්පූර්ණයෙන්ම වැසී යනවා. නමුත් ඔවුන් දිගටම අහස දිහාම බලා සිටිනවා.—ලූක් 24:50; ක්‍රියා 1:9, 10.

3 තම ස්වාමියා තමන් ළඟ නැති නිසා දැන් යේසුස්ගේ නියෝජිතයන් සිටින්නේ අසරණ තත්වයකද? කොහෙත්ම නැහැ. තමන් ආරම්භ කළ කාර්යය දිගටම කරගෙන යෑමට යේසුස් ඔවුන්ව සූදානම් කර තිබුණා. ඔහු ඔවුන්ව සූදානම් කළේ කොහොමද? යේසුස් භාර දුන් කාර්යය ඔවුන් සතුටින් භාරගත්තාද? ඒ ගැන දැනගැනීම ක්‍රිස්තියානීන් වන අපට වැදගත් වන්නේ ඇයි? එම ප්‍රශ්නවලට පිළිතුරු ක්‍රියා පළවෙනි පරිච්ඡේදයෙන් සොයාගත හැකියි.

“පැහැදිලි සාක්ෂි ඇතුව” (ක්‍රියා 1:1-5)

4. ලූක් තම දෙවෙනි පොත ආරම්භ කරන්නේ කොහොමද?

4 ලූක් පොත වගේ ක්‍රියා පොතත් ඇරඹෙන්නේ තෙයොෆිලස් නම් පුද්ගලයාව ආමන්ත්‍රණය කරමින්. a ඒ ආමන්ත්‍රණයෙන් පසුව ඒකේ මුලින්ම දකින්න ලැබෙන්නේ ලූක් පොතේ අවසානයේ සඳහන් සිද්ධීන්වල සාරාංශයක්. නමුත් ඒක ලූක් පොතේ ශෛලියට වඩා වෙනස් වන අතර තව අමතර තොරතුරුත් ඒ සාරාංශයේ ඇතුළත් වෙනවා. එතන ඉඳන් ඒකේ වාර්තා කරන්නේ ලූක් පොතේ අවසානයේ සඳහන් සිද්ධීන්වලින් පසුව සිදු වුණ දේවල් ගැනයි.

5, 6. (අ) යේසුස්ගේ අනුගාමිකයන්ට විශ්වාසය ශක්තිමත්ව තියාගන්න උපකාරවත් වුණේ මොකක්ද? (ආ) සැබෑ ක්‍රිස්තියානීන්ගේ විශ්වාසය “පැහැදිලි සාක්ෂි ඇතුව” ගොඩනඟාගෙන තියෙනවා කියලා කියන්න පුළුවන් ඇයි?

5 එදා සිටි යේසුස්ගේ අනුගාමිකයන්ට තම විශ්වාසය ශක්තිමත්ව තබාගැනීමට උපකාරවත් වුණ දෙයක් ගැන ක්‍රියා 1:3 ලූක් සඳහන් කරනවා. ඔහු යේසුස් ගැන මෙහෙම කිව්වා. “ඔහු ජීවමානව ඉන්නවා කියලා නියෝජිතයන්ට පැහැදිලි සාක්ෂි ඇතුව පෙන්නුවා.” “පැහැදිලි සාක්ෂි” විදිහට පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය බයිබලයේ භාවිත කරන්නේ “ආදරණීය වෛද්‍යවරයෙක්” වන ලූක් විතරයි. (කොලො. 4:14) ඒ ග්‍රීක වචනය වෛද්‍ය විද්‍යාවේ භාවිත කරපු වචනයක්. වෛද්‍ය විද්‍යාවේ යම් තොරතුරක් සම්බන්ධයෙන් “පැහැදිලි සාක්ෂි” තිබෙනවා කියා පැවසූ විට ඒකේ නිවැරදිභාවය ගැන කිසිම සැකයක් මතු වුණේ නැහැ. තමා ජීවමානව සිටින බවට යේසුස් තම අනුගාමිකයන්ට ලබා දුන් සාක්ෂිත් ඒ හා සමානයි. එහෙමනම් ලූක් ඒ වචනය භාවිත කළේ හොඳ හේතු ඇතුවයි. යේසුස් අවස්ථා බොහොමයකදී ඔහුගේ අනුගාමිකයන් ඉදිරියේ පෙනී සිටියා. සමහර අවස්ථාවලදී එක් කෙනෙක් හෝ දෙන්නෙක් ඉදිරියෙත් තවත් අවස්ථාවලදී සියලුම නියෝජිතයන් ඉදිරියෙත් ඔහු දර්ශනය වුණා. එක් වතාවකදී අනුගාමිකයන් 500කට වඩා වැඩිදෙනෙක් ඉදිරියේ ඔහු පෙනී සිටියා. (1 කොරි. 15:3-6) ඒ විදිහට තමා ජීවමානව සිටින බවට තම අනුගාමිකයන්ට ඔහු පැහැදිලි සාක්ෂි ලබා දුන්නා.

6 අද දින සිටින සැබෑ ක්‍රිස්තියානීන්ගේ විශ්වාසයත් පදනම් වී තිබෙන්නේ “පැහැදිලි සාක්ෂි” මතයි. ඇත්තෙන්ම යේසුස් මේ පොළොවේ ජීවිත වුණ බවත් මිනිසුන්ගේ පව්වලට වන්දියක් විදිහට ඔහු තම ජීවිතය පූජා කළ බවත් ඔහු නැවත නැඟිටුණු බවත් විශ්වාස කිරීමට පැහැදිලි සාක්ෂි තිබෙනවා. ඒ දේවල් සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි බයිබලයේ සඳහන් වෙනවා. ඒ සාක්ෂි ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් හා ඒවා තේරුම්ගැනීමට දෙවියන්ගේ උපකාරය ඉල්ලා යාච්ඤා කිරීමෙන් අපේ විශ්වාසය තව තවත් ශක්තිමත් කරගැනීමට අපට හැකියි. කිසි පදනමක් නැතුව යමක් විශ්වාස කරනවාට වඩා සාක්ෂි හොඳින් සෝදිසි කර බලා ගොඩනඟන විශ්වාසය ඉතා ශක්තිමත්. සදාකල් ජීවත් වෙන්න නම් අපට තිබිය යුත්තේ ඒ වගේ විශ්වාසයක්.—යොහ. 3:16.

7. දේශනා කරද්දී හා උගන්වද්දී අපට අනුගමනය කරන්න යේසුස් තිබ්බ ආදර්ශය මොකක්ද?

7 පැහැදිලි සාක්ෂි ලබා දීමට අමතරව යේසුස් තම අනුගාමිකයන්ට ‘දෙවියන්ගේ රාජ්‍යය ගැනත් කියලා දුන්නා.’ ඔහු පැහැදිලි කර දුන් දේවලට මෙසියස් සම්බන්ධයෙන් පවසා තිබුණ අනාවැකි ඉටු වන විදිහ ඇතුළත් වුණා. උදාහරණයකට පොරොන්දු වුණ ගැලවුම්කරු දුක් විඳ මිය යා යුතු බව යේසුස් පැවසුවා. (ලූක් 24:13-32, 46, 47) ඒ ගැලවුම්කරු දේවරාජ්‍යයේ රජු වන බවත් ඔහු පැහැදිලි කර දුන්නා. ඒ දේවලින් පැහැදිලි වන්නේ ඔහුගේ සෑම ඉගැන්වීමකම තේමාව වුණේ දේවරාජ්‍යය බවයි. ඔහුව ආදර්ශයට ගන්න අය විදිහට අපත් උත්සාහ කළ යුත්තේ දේශනා සේවයේදී දේවරාජ්‍යයට ප්‍රධාන තැනක් දීමටයි.—මතෙ. 24:14; ලූක් 4:43.

“පොළොවේ දුර ඈත ප්‍රදේශවලත්” (ක්‍රියා 1:6-12)

8, 9. (අ) යේසුස්ගේ නියෝජිතයන්ට තිබුණ වැරදි වැටහීම් දෙක මොනවාද? (ආ) යේසුස් ඔවුන්ව නිවැරදි කළේ කොහොමද? ඒකෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 අවසන් වතාවට යේසුස්ගේ නියෝජිතයන් යේසුස් සමඟ ඔලීව කන්දේ රැස් වුණ අවස්ථාවේදී ඔවුන් මහත් උනන්දුවකින් මෙහෙම ඇහුවා. “ස්වාමීනි, ඔබ ඊශ්‍රායෙල් දේශයට රාජ්‍යය ආපහු දෙන්නේ මේ කාලේදීද?” (ක්‍රියා 1:6) ඔවුන් අහපු ඒ ප්‍රශ්නයෙන් ඔවුන්ට තිබුණ වැරදි වැටහීම් දෙකක් හෙළි වුණා. මුලින්ම දේවරාජ්‍යය ඊශ්‍රායෙල් දේශයේ පිහිටුවයි කියා ඔවුන් බලාපොරොත්තු වුණා. ඊළඟට ඒ රාජ්‍යයේ පාලනය “මේ කාලේදී” ඒ කියන්නේ ඒ වෙලාවෙම ආරම්භ විය යුතුයි කියා ඔවුන් සිතුවා. ඔවුන් තුළ තිබුණ ඒ වැරදි වැටහීම් යේසුස් නිවැරදි කළේ කොහොමද?

9 ඔවුන් තුළ තිබුණ පළවෙනි වැරදි වැටහීම ළඟදීම ඔවුන්ට නිවැරදි කරගැනීමට හැකි වන බව යේසුස් දැන සිටි නිසා ඒ අවස්ථාවේදී ඔහු ඒ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. මොකද යෙහෝවා දෙවියන් ඉතාමත් ළඟදී ඊශ්‍රායෙල් ජාතිය ප්‍රතික්ෂේප කර අලුත් ජාතියක් බිහි කරන බව යේසුස් දැන සිටියා. දවස් දහයක් වගේ කෙටි කාලයකින් දෙවියන්ගේ ඊශ්‍රායෙල් විදිහට හඳුන්වන ඒ අලුත් ජාතිය බිහි වන විදිහ ඇස් දෙකෙන්ම දැකගැනීමට ඔවුන්ට හැකි වෙනවා. ඔවුන් තුළ තිබුණ දෙවෙනි වැරදි වැටහීම නිවැරදි කරගැනීමට උපකාරයක් විදිහට යේසුස් කාරුණිකව ඔවුන්ට මෙහෙම කිව්වා. “දේවල් සිද්ධ වෙන්න නියමිත දවස සහ කාලය නියම කරන්න අයිතිය තියෙන්නේ පියාණන්ටයි. ඒවා දැනගන්න ඔයාලට අයිතියක් නැහැ.” (ක්‍රියා 1:7) ඇත්තෙන්ම සෑම දෙයකටම නියමිත වෙලාව තීරණය කරන්නෙත් ඒ දේවල් නියමිත වෙලාවට සිදු කරන්නෙත් යෙහෝවා දෙවියන්. අවසානය පැමිණෙන “දවස හරි පැය හරි” පොළොව මත සිටියදී යේසුස්වත් දැන සිටියේ නැහැ. ඒක දන්නේ “පියාණන් විතරයි” කියාත් වෙන කවුරුත් ඒක දන්නේ නැහැ කියාත් යේසුස් පැවසීමෙන් කාල වකවානු නියම කරන්නේ දෙවියන් යන කාරණය තහවුරු වුණා. (මතෙ. 24:36) යේසුස් තම නියෝජිතයන්ට පවසපු දේ අද දින සිටින අපටත් හොඳ සිහිගැන්වීමක්. පවතින සමාජය අවසන් වෙන්නේ කවදාද කියා සිතමින් අප ඒ ගැන ඕනෑවට වඩා කරදර වෙනවා නම් අප ඇත්තටම කරදර වන්නේ අපට දැනගැනීමට අයිතියක් නැති දේවල් ගැනයි.

10. අපට තියෙන්න ඕනෙ යේසුස්ගේ නියෝජිතයන්ට තිබුණ මොන ආකල්පයද? ඒ ඇයි?

10 යේසුස්ගේ නියෝජිතයන්ට වැරදි වැටහීම් තිබුණත් අප ඔවුන් ගැන වැරදියට නොසිතිය යුතුයි. මොකද ඔවුන්ට දෙවියන් ගැන මහත් විශ්වාසයක් තිබුණා. යේසුස් ඔවුන්ව නිවැරදි කළ විට ඔවුන් ඉතා නිහතමානීව ඒවා පිළිගත්තා. ඔවුන් යේසුස්ගෙන් ඒ වගේ ප්‍රශ්නයක් ඇසුවේ ඔවුන් තුළ තිබුණ වැරදි වැටහීමක් නිසා වුණත් ඒ ප්‍රශ්නය ඇසීමෙන් ඔවුන් තුළ හොඳ ආකල්පයක් තිබෙන බව පැහැදිලි වුණා. යේසුස් පොළොව මත සිටියදී ඔහුගේ අනුගාමිකයන්ට නිතරම උනන්දු කළේ “සෝදිසියෙන් ඉන්න” කියායි. (මතෙ. 24:42; 25:13; 26:41) ඔවුන් අහපු ප්‍රශ්නයෙන් පැහැදිලි වුණේ ඔවුන් ඒ දේ කරමින් සිටි බවයි. දෙවියන් තම අරමුණු ඉටු කිරීමට පියවර ගන්න කල් ඔවුන් මහත් ආශාවෙන් බලා සිටියා. අපටත් තිබිය යුත්තේ ඒ වගේම ආකල්පයක් නෙවෙයිද! අද අප ජීවත් වන්නේ “අන්තිම දවස්වලදී” නිසා දෙවියන්ගේ අරමුණු ඉටු වන කාලය තියෙන්නේ වැඩි ඈතක නෙවෙයි. එහෙමනම් අපත් සෝදිසියෙන් ඉන්න එක මොන තරම් වැදගත්ද!—2 තිමෝ. 3:1-5.

11, 12. (අ) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පවරපු කාර්යය මොකක්ද? (ආ) ඒ ගැන කියද්දී දෙවියන්ගේ බලයේ උපකාරය ඔවුන්ට ලැබෙනවා කියලා යේසුස් කිව්වේ ඇයි?

11 නියෝජිතයන්ව නිවැරදි කළ පසු යේසුස් ඔවුන්ට මෙහෙම කිව්වා. “ඔයාලට දෙවියන්ගේ බලය ලැබුණාම ඔයාලා ශක්තිමත් වෙයි. ඊටපස්සේ ඔයාලා යෙරුසලමෙත් යුදය පුරාමත් සමාරියෙත් පොළොවේ දුර ඈත ප්‍රදේශවලත් මං ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8) යේසුස් ඒ වෙලාවේ කතා කළේ ඔවුන් අවධානය දිය යුතු විශේෂ කාර්යයක් ගැනයි. යේසුස්ව නැවත නැඟිටුවා ඇති බව මුලින්ම ඔහුව මරා දමපු යෙරුසලමේ දේශනා කරන්න ඕනෙ වුණා. ඉන්පසු ඒ පණිවිඩය යුදය පුරාත් සමාරියෙත් දුර ඈත ප්‍රදේශවලත් දේශනා කරන්න ඕනෙ වුණා.

12 යේසුස් මේ විශේෂ කාර්යය ගැන සඳහන් කරන විට පවසපු තවත් දෙයක් තිබෙනවා. ඔහු ඔවුන්ට පොරොන්දු වුණේ ඔවුන්ගේ උපකාරයට “දෙවියන්ගේ බලය” ලැබෙන බවයි. ඇත්තෙන්ම දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වය ගැන ක්‍රියා පොත පුරාම පැහැදිලි කරනවා. ඒකේ නැවත නැවතත් පෙන්වන්නේ යෙහෝවා දෙවියන්ගේ බලය නැතුව අපට ඔහුගේ කැමැත්ත සාර්ථකව ඉටු කළ නොහැකි බවයි. ඒ නිසා දෙවියන්ගේ බලය ඉල්ලා අප නිතරම යාච්ඤා කළ යුතුයි. (ලූක් 11:13) දෙවියන්ගේ බලයේ උපකාරය ලබාගැනීම වෙන කවරදාකටත් වඩා අද වැදගත්!

13. සාක්ෂි දැරීමේ කාර්යය එදාට වඩා අද වෙනස් කියලා කියන්නේ ඇයි? අප සේවයේ මහත් උනන්දුවෙන් හවුල් වෙන්නේ ඇයි?

13 “පොළොවේ දුර ඈත ප්‍රදේශවලත්” දේශනා කරන්න කියද්දී එදාට වඩා අද විශාල ප්‍රදේශයක් ඒකට ඇතුළත් වෙනවා. හැම පසුබිමකටම අයිති මිනිසුන් දෙවියන් ගැනත් දෙවියන්ගේ රාජ්‍යය ගැනත් දැනගන්න එක දෙවියන්ගේ කැමැත්ත බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දන්නවා. (1 තිමෝ. 2:3, 4) ඒ නිසයි පළවෙනි පරිච්ඡේදයේ සඳහන් කරපු විදිහට ඔවුන් ඒ කාර්යයේ මුළු හදවතින්ම හවුල් වෙන්නේ. ජීවිත ගලවන ඒ කාර්යයේ ඔබත් මහත් උනන්දුවෙන් හවුල් වෙනවාද? ඇත්තෙන්ම ඊට වඩා තෘප්තියක් ගෙන දෙන වැඩක් තවත් නැහැ. ඒ කාර්යය සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය දෙවියන් තම බලය මාර්ගයෙන් ඔබට ලබා දෙන බවට නිසැක වන්න. ක්‍රියා පොතේ තොරතුරු අධ්‍යයනය කිරීමෙන් ඒ කාර්යය සාර්ථකව ඉටු කළ හැකි ක්‍රම ගැනත් ඒක කරන්න තිබිය යුතු ආකල්පය ගැනත් ඔබට දැනගත හැකියි.

14, 15. (අ) යේසුස් ආයෙත් එන එක ගැන දේවදූතයන් කිව්වේ මොකක්ද? ඒකෙන් අදහස් කළේ මොකක්ද? (පාදසටහනත් බලන්න.) (ආ) යේසුස් ස්වර්ගයට ගිය “විදිහටම” ආයෙත් එන්නේ කොහොමද?

14 කලින් සඳහන් කරපු විදිහට යේසුස් ඔහුගේ නියෝජිතයන්ගෙන් සමුගෙන ස්වර්ගයට නැඟී ගිය මොහොතේ වලාකුළකින් ඔහුව නොපෙනී ගියත් ඔහුගේ නියෝජිතයන් 11දෙනා අහස දිහා දිගටම බලාගෙන සිටියා. ඒ අවස්ථාවේදී දේවදූතයන් දෙන්නෙක් පැමිණ ඔවුන්ට මෙහෙම කිව්වා. “ගලීලයේ වැසියෙනි, ඔයාලා මෙතනට වෙලා අහස දිහා බලාගෙන ඉන්නේ ඇයි? ස්වර්ගයට ඔසවගත්ත යේසුස්, ස්වර්ගයට යනවා ඔයාලා දැක්ක විදිහටම ආයෙත් එනවා.” (ක්‍රියා 1:11) දේවදූතයන් කියපු ඒ දෙයින් අදහස් වුණේ යේසුස් ස්වර්ගයට යනවා ඔහුගේ නියෝජිතයන් දැක්කා වගේ ඔහු ආයේ එද්දීත් ඔහුගේ අනුගාමිකයන් ඔහුව ඇස් දෙකෙන්ම දකිනවා කියන එකද? කොහෙත්ම නැහැ. ඒත් සමහර ආගම්වල උගන්වන්නේ එහෙමයි.

15 “යනවා ඔයාලා දැක්ක විදිහටම” කියලා දේවදූතයන් කියපු දේට තිබෙන්නේ සංකේතාත්මක අර්ථයක්. b දේවදූතයන් ඒක කියද්දී යේසුස් පේන්න හිටියේ නැහැ. නමුත් ඔහුගේ නියෝජිතයන් තේරුම් අරන් සිටියා යේසුස් පොළොවෙන් සමුගෙන ස්වර්ගයේ තම පියාණන් වෙතට යන බව. ඇත්තෙන්ම ඒ දේ තේරුම්ගත්තේ ඔවුන් විතරයි. ඇත්තටම දේවදූතයන් අදහස් කළේ යේසුස් ගිය විදිහටම ආයෙත් එනවා කියලයි. සිදු වුණෙත් ඒ දේමයි. ඔහු දැනටමත් දේවරාජ්‍යයේ රජු විදිහට පැමිණ ඇති බව තේරුම්ගන්නේ ශුද්ධ ලියවිල්ලේ තිබෙන කාරණා අපේ කාලයට අදාළ වන ආකාරය තේරුම්ගන්න අය විතරයි. (ලූක් 17:20) යේසුස් පැමිණ ඇති බවට තිබෙන සාක්ෂි තේරුම්ගැනීමට අපත් උත්සාහයක් දැරිය යුතු අතර අනිත් අයටත් ඒ දේ අවබෝධ කරගැනීමට උපකාර කළ යුතුයි. ඔවුනුත් ඉක්මනටම යෙහෝවාට සේවය කිරීමේ වැදගත්කම තේරුම්ගන්නේ එතකොටයි.

“ඔබ තෝරගෙන තියෙන කෙනාව අපිට පෙන්නන්න” (ක්‍රියා 1:13-26)

16-18. (අ) ක්‍රියා 1:13, 14 යන පදවල සඳහන් දේවලින් එකට රැස්වීම ගැන අප ඉගෙනගන්නේ මොනවාද? (ආ) මරියාගේ ආදර්ශයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ඇ) අප රැස්වීම් වැදගත් දෙයක් ලෙස සලකන්න ඕනෙ ඇයි?

16 ඒ සිදුවීමෙන් පස්සේ යේසුස්ගේ නියෝජිතයන් “ලොකු සතුටකින් ආපහු යෙරුසලමට ගියා” කියා ලූක් සඳහන් කර තිබෙනවා. (ලූක් 24:52) ඔවුන්ට සතුටින් සිටීමට හොඳ හේතු තිබුණා. සතුටින් යෙරුසලමට ගිය ඔවුන් කළේ මොකක්ද? ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 13 හා 14 යන පදවල පවසන්නේ ඔවුන් “උඩුමහල් කාමරයක” රැස් වුණා කියායි. පලස්තීනයේ තිබුණ නිවෙස්වල සාමාන්‍යයෙන් උඩුමහල් කාමරයක් තිබුණ අතර ඒ කාමරයට යෑම සඳහා පිටතින් පඩි පෙළකුත් සාදා තිබුණා. ඔවුන් රැස් වුණ උඩුමහල් කාමරය සමහරවිට ක්‍රියා 12:12 සඳහන් වන මාක්ගේ මවට අයිති නිවසේ උඩුමහල් කාමරය විය හැකියි. ඒ උඩුමහල් කාමරය යේසුස්ගේ අනුගාමිකයන්ට රැස් වෙන්න සුදුසු ස්ථානයක් වුණා කියා සිතිය හැකියි.

17 එතනට රැස් වුණේ යේසුස්ගේ නියෝජිතයන් විතරක් නෙවෙයි. ඒක පුරුෂයන්ට විතරක් තිබුණ රැස්වීමකුත් නෙවෙයි. ඒකට යේසුස්ගේ මව වුණ මරියා ඇතුළු “කාන්තාවන් කීපදෙනෙකුත්” සහභාගි වුණ බව වාර්තාවේ සඳහන් වෙනවා. බයිබලයේ මරියා ගැන සඳහන් වන අවසන් වතාව ඒකයි. ඇය එතැනට රැස් වී අන් අය ඉදිරියේ කැපීපෙනෙන්න උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට ඇයට වුවමනා වුණේ යේසුස්ගේ අනිත් අනුගාමිකයන් සමඟ දෙවියන්ට නමස්කාර කිරීමටයි. ඇත්තෙන්ම නිහතමානිකම සම්බන්ධයෙන් ඇය තබන්නේ මොන තරම් කදිම ආදර්ශයක්ද! ඒ අවස්ථාව මරියාට මහත් සැනසිල්ලක් ගෙන දෙන්න ඇති. මොකද ඇය සමඟ ඇගේ අනිත් පුතුන් හතරදෙනාත් එතැනට රැස් වී සිටියා. යේසුස් පොළොව මත සිටියදී ඔවුන් ඔහුගේ අනුගාමිකයන් බවට පත් නොවුණත් යේසුස් මිය ගිහින් නැවත නැඟිටුණු පසු ඔවුන් තම ආකල්ප වෙනස් කරගෙන යේසුස්ගේ අනුගාමිකයන් වුණා.—මතෙ. 13:55; යොහ. 7:5; 1 කොරි. 15:7.

18 ඔවුන් සියලුදෙනා එතනට රැස් වුණේ ඇයි? ක්‍රියා 1:14 කියන්නේ “ඒ හැමෝම එකතු වෙලා ලොකු ඕනෑකමකින් එක දිගටම යාච්ඤා කළා” කියායි. ඒ විදිහට එකට රැස්වීම අතීතයේ ඉඳන්ම ක්‍රිස්තියානීන් නමස්කාරයේ වැදගත් අංගයක් විදිහට සලකනවා. මොකද එයින් අපේ ස්වර්ගික පියාණන් වන යෙහෝවාට එක්ව නමස්කාර කිරීමට අපට හැකි වෙනවා. ඒ වගේම උපදෙස් හා මඟ පෙන්වීම් ලබාගැනීමට හා එකිනෙකාව දිරිගැන්වීමටත් හැකි වෙනවා. රැස්වීම්වලදී ඉදිරිපත් කරන යාච්ඤා හා දෙවියන්ට ප්‍රශංසා කරමින් ගයන ගීත යෙහෝවාට ඉතා ප්‍රසන්නයි. දෙවියන් සමඟ අපට තිබෙන බැඳීමත් ඒවායින් ශක්තිමත් වෙනවා. ඒ නිසා ඒ වගේ වැදගත් අවස්ථා අතපසු නොකිරීමට අපි වගබලා ගමු.—හෙබ්‍රෙ. 10:24, 25.

19-21. (අ) ක්‍රිස්තියානි සභාවේ පෙරමුණ අරන් වැඩ කරපු පේතෘස්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ආ) යූදස් වෙනුවට තවත් කෙනෙක්ව පත් කරන්න ඕනෙ වුණේ ඇයි? ඒ නියෝජිතයාව තෝරගත්ත විදිහෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

19 උඩුමහල් කාමරයේ රැස්ව සිටි ඔවුන්ට විශේෂ කාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගන්න තිබුණා. ඒ ගැන සාකච්ඡා කිරීමට පේතෘස් ඉදිරිපත් වුණා. (15-26 පද) ඒ සඳහා පේතෘස් ඉදිරිපත් වුණ එක ගැන ඔබ පුදුම වෙනවාද? තම ස්වාමියාව අඳුරන්නේ නැහැ කියා තුන් වතාවක්ම ඔහු පවසා තිබුණේ ඊට සති කිහිපයකට කලින්. නමුත් මේ වන විට පේතෘස්ගේ ලොකු වෙනසක් දකින්න තිබුණා. ඔහුගේ ඒ වෙනස අපට මහත් දිරිගැන්වීමක් නෙවෙයිද! (මාක් 14:72) අප සෑම කෙනෙක්ම අතින් වැරදි වෙනවා. නමුත් යෙහෝවා “සමාව දෙන්න කැමති, යහපත් දෙවි කෙනෙක්” බව අප අමතක නොකළ යුතුයි. ඇත්තෙන්ම අප අවංකව පසුතැවිලි වෙනවා නම් අපට ඔහුගෙන් සමාව ලබාගත හැකියි.—ගීතා. 86:5.

20 යූදස් වෙනුවට තවත් නියෝජිතයෙක්ව පත් කළ යුතු බව පේතෘස් තේරුම්ගත්තා. ඒ තැනැත්තා යේසුස් සේවය කළ මුළු කාලය පුරාම ඔහුගේ අනුගාමිකයෙක් වෙලා හිටපු, යේසුස්ගේ නැවත නැඟිටීම ඇසින් දුටු කෙනෙක් විය යුතුයි කියලා පේතෘස් කිව්වා. (ක්‍රියා 1:21, 22) ඔහු කිව්ව ඒ දෙය යේසුස් කලින් කියපු මේ දෙයට එකඟයි. “ඔයාලා සිංහාසන 12ක ඉඳගෙන, ඊශ්‍රායෙල්වල ගෝත්‍ර 12 විනිශ්චය කරනවා. ඒ, ඔයාලා මාව අනුගමනය කරපු නිසයි.” (මතෙ. 19:28) පේන විදිහට යෙහෝවා දෙවියන්ගේ අරමුණ වුණේ යේසුස්ව අනුගමනය කරපු නියෝජිතයන් 12දෙනෙක්ව අලුත් යෙරුසලමේ “අත්තිවාරම් ගල් 12” විදිහට යොදාගැනීමයි. (එළි. 21:2, 14) ඒ අනුව “ඔහුට භාර දීලා තියෙන වගකීම වෙන කෙනෙක්ට භාර දෙන්න” කියා කියපු අනාවැකිය යූදස්ට අදාළ වන බව තේරුම්ගැනීමට දෙවියන් පේතෘස්ට උපකාර කළා.—ගීතා. 109:8.

21 යූදස්ගේ අඩුව පිරවීමට නියෝජිතයෙක්ව තෝරගත්තේ කොහොමද? දාදු දැමීමෙන්. ඒ කාලයේ යම් තේරීමක් කරන විට අනුගමනය කළේ ඒ ක්‍රමයයි. (හිතෝ. 16:33) නමුත් තේරීමක් කිරීමට දාදු දැමුවා කියා බයිබලයේ සඳහන් වන අවසන් වතාව එයයි. පෙන්තකොස්ත දවසේ සිට දෙවියන්ගේ බලය යේසුස්ගේ අනුගාමිකයන් තුළ ක්‍රියාත්මක වුණ නිසා ඒ ක්‍රමය අනුගමනය කිරීමට අවශ්‍ය වුණේ නැහැ. මේ අවස්ථාවේදී යේසුස්ගේ නියෝජිතයන් දාදු දැමුවේ යෙහෝවාගේ කැමැත්ත මොකක්ද කියා දැනගැනීමටයි. දාදු දැමීමට පෙර “යෙහෝවා දෙවියනි, හැමෝගෙම හිතේ තියෙන දේ දන්නේ ඔබයි. මේ දෙන්නාගෙන් ඔබ තෝරගෙන තියෙන කෙනාව අපිට පෙන්නන්න” කියා ඔවුන් යාච්ඤා කළේ ඒ නිසයි. (ක්‍රියා 1:23, 24) ඇත්තෙන්ම ඔවුන්ට අවශ්‍ය වුණේ යෙහෝවාම ඒ නියෝජිතයාව තෝරගන්නවා දකින්නයි. ඒ අනුව යේසුස් පොළොව මත සිටියදී දේශනා සේවය සඳහා පිටත් කරපු 70දෙනා අතර සිටි මතියස්ව යේසුස්ගේ නියෝජිතයන් ‘දොළොස්දෙනාගෙන්’ කෙනෙක් විදිහට තෝරගත්තා. cක්‍රියා 6:2.

22, 23. සභාව රැකබලා ගන්න අයට කීකරු වෙන එකත් ඔවුන් දෙන මඟ පෙන්වීම් කැමැත්තෙන්ම පිළිගන්න එකත් වැදගත් ඇයි?

22 ක්‍රිස්තියානි සභාවේ සෑම දෙයක්ම සැලැස්මකට අනුව කිරීමේ වැදගත්කම ඒ සිද්ධියෙන් අපට සිහිගන්වනවා. ඒ කාලයේ විතරක් නෙවෙයි අදත් සභාව රැකබලා ගැනීම සඳහා වගකීම් දැරීමට සුදුසු පුද්ගලයන්ව තෝරගන්නේ යම් සැලැස්මකට අනුවයි. කෙනෙක් සභාවේ වගකීම් දැරීමට සුදුසුද නැද්ද කියා තීරණය කිරීම සඳහා වැඩිමහල්ලන් මුලින්ම බයිබලයේ සඳහන් කර තිබෙන සුදුසුකම් ඔහු ලබාගෙන තිබෙනවාද කියා සෝදිසි කර බලනවා. එහෙම කරද්දී ඔවුන් දෙවියන්ගේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කරනවා. සභාව රැකබලා ගැනීම සඳහා කෙනෙක්ව පත් කළ විට සභාවේ සිටින අය ඔහුව සලකන්නේ දෙවියන්ගේ බලයේ උපකාරයෙන් පත් කර තිබෙන කෙනෙක් විදිහටයි. එහෙමනම් අප එක් එක් කෙනාත් ඒ වගේ පුරුෂයන්ට කීකරු වීමත් ඔවුන් දෙන මඟ පෙන්වීම් කැමැත්තෙන්ම පිළිගැනීමත් මොන තරම් වැදගත්ද! එහෙම කරද්දී සභාවේ සෑම කෙනෙක්ටම සහයෝගයෙන් දේවල් කරන්න හැකි වෙනවා.—හෙබ්‍රෙ. 13:17.

සභාව රැකබලා ගන්න අයට කීකරු වී ඔවුන් දෙන මඟ පෙන්වීම් කැමැත්තෙන්ම පිළිගමු

23 යේසුස් ලබා දුන් දිරිගැන්වීම්වලින් ශක්තියක් ලැබුණ නිසාත් සභා සැලැස්මේ තිබුණ අඩුව පිරිමහපු නිසාත් ඊළඟට සිදු වීමට තිබුණ දෙයට යේසුස්ගේ ගෝලයන් සූදානම්ව සිටි බව පැවසිය හැකියි. ඒ සුවිශේෂී සිද්ධිය ගැන අප ඊළඟ පරිච්ඡේදයෙන් සලකා බලනවා.

a ලූක් පොතේ ඔහුව ආමන්ත්‍රණය කරන්නේ “ගරු තෙයොෆිලස්තුමනි” කියායි. සමහරවිට ඔහු උසස් නිලයක් දරපු නිසා ඔහුව ඒ විදිහට අමතන්න ඇති කියා සමහරු විශ්වාස කරනවා. ඒ වන විට ඔහු ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් නොවී සිටීමත් ඒ විදිහට ඇමතීමට හේතුවක් විය හැකියි. (ලූක් 1:1) ඒත් ක්‍රියා පොතේ ලූක් ඔහුව අමතන්නේ “හිතවත් තෙයොෆිලස්” විදිහට. ඒකට හේතුවක් විදිහට සමහර විද්වතුන් පවසන්නේ ලූක් පොත කියවීමෙන් පසු ඔහු ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වුණ නිසා තම ක්‍රිස්තියානි සහෝදරයෙක්ව අමතන විදිහට ලූක් ඔහුව ඇමතූ බවයි.

b එතන පාවිච්චි කරන්නේ “මෝෆේ” (ශරීරය) කියන ග්‍රීක වචනය නෙවෙයි “ත්‍රෝපොස්” (විදිහ) කියන ග්‍රීක වචනයයි. ඒකෙන් තේරෙන්නේ දේවදූතයන් කිව්වේ අනුගාමිකයන් යේසුස් “ගිය විදිහ” දකිනවා මිසක් ඔහුගේ “ශරීරය” ඇස් දෙකෙන් දකිනවා කියන එක නෙවෙයි.

c පසු කාලයක පාවුල්ව ‘වෙනත් ජාතීන්ට අයිති අය ළඟට යවන නියෝජිතයෙක්’ විදිහට පත් කළා. නමුත් ඔහුව කවදාවත් යේසුස්ගේ නියෝජිතයන් 12දෙනාගෙන් කෙනෙක් විදිහට ගණන් ගත්තේ නැහැ. (රෝම 11:13; 1 කොරි. 15:4-8) යේසුස් පොළොව මත සේවය කළ කාලයේදී ඔහු යේසුස්ගේ අනුගාමිකයෙක් නොවූ නිසා ඔහුට ඒ විශේෂ වරප්‍රසාදය හිමි වුණේ නැහැ.