Skip to content

පටුනට යන්න

5වෙනි පරිච්ඡේදය

‘අප කීකරු විය යුත්තේ දෙවිටයි’

‘අප කීකරු විය යුත්තේ දෙවිටයි’

නියෝජිතයන් නිර්භීතව ගත් ස්ථාවරයෙන් සැබෑ ක්‍රිස්තියානීන්ට ඉගෙනගත හැකි දේ

ක්‍රියා 5:12–6:7

1-3. (අ) නියෝජිතයන්ව මන්ත්‍රණ සභාව ඉදිරියට කැඳෙව්වේ ඇයි? ඔවුන් ඉදිරියේ තිබූ තේරීම කුමක්ද? (ආ) එදා ඔවුන් ක්‍රියා කළ ආකාරය ගැන අප දැනුවත් වීම වැදගත් වන්නේ ඇයි?

යේසුස්ගේ නියෝජිතයන් දැන් සිටින්නේ යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියෙයි. එහි සිටින විනිසුරුවන් කෝපයෙන් පුපුරනවා! උත්තම පූජකයා හා මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා වූ යෝසෙප් කායෆස් සැරපරුෂ ලෙස ඔවුන්ව අමතමින් මෙසේ පවසනවා. “ඒ නාමයෙන් තවදුරටත් උගන්වන්න එපා කියා අපි පැහැදිලිවම නුඹලාට අණ කළා. ඒත් බලන්න! නුඹලා උගන්වා ඇති දේවල් යෙරුසලම පුරාම පැතිරිලා. ඒ මිනිසාගේ ලේවලට අප වග කිව යුතුයි කියමින් ඒ වරද නුඹලා කොහොමහරි අප පිට පටවන්න උත්සාහ කරනවා.” (ක්‍රියා 5:28) උත්තම පූජකයාගේ කෝපය මොන තරම්ද කියනවා නම් යේසුස්ගේ නමවත් ඔහු සඳහන් කරන්න කැමති නැහැ. ඔහු නියෝජිතයන්ට පවසන දේ පැහැදිලියි. ‘දේශනා සේවය නතර කරන්න නැත්නම් බලාගෙනයි!’

2 දේශනා කිරීමේ පැවරුම නියෝජිතයන්ට ලැබුණේ ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලු බලය දෙවි ලබා දුන් යේසුස්ගෙනුයි. (මතෙ. 28:18-20) එසේනම් එවැනි බාරදූර කාර්යයක් නතර කිරීමට කළ නියෝගයට නියෝජිතයන් කෙසේ ප්‍රතිචාරය දක්වයිද? මිනිසුන්ට තිබෙන බිය නිසා ඔවුන් එය නතර කරයිද? නැත්නම් නිර්භීතව දිගටම දේශනා සේවයේ නිරත වෙයිද? වෙනත් ආකාරයකින් පවසනවා නම් ඔවුන් දෙවිට කීකරු වෙයිද නැත්නම් මිනිසුන්ට කීකරු වෙයිද? එක සැණින් පේතෘස් සියලුම නියෝජිතයන් වෙනුවෙන් කතා කරනවා. ඔහු කතා කරන්නේ ඉතා නිර්භීතවයි! ඔහු පවසන දේ ඉතාමත් පැහැදිලියි!

3 මන්ත්‍රණ සභාව කළ තර්ජන හමුවේ යේසුස්ගේ නියෝජිතයන් ක්‍රියා කළ ආකාරය ගැන දැනුවත් වීම සැබෑ ක්‍රිස්තියානීන් වන අපට ඉතා වැදගත්. මන්ද ඔවුන්ට එදා භාර දුන් කාර්යය අද අපිත් ඉටු කරනවා. දෙවි භාර දුන් ඒ කාර්යය ඉටු කරන විට ඔවුන්ට මෙන් අපටත් විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වෙනවා. (මතෙ. 10:22) අප කරන සේවයට යම් තහංචි පනවන්න හෝ එය සම්පූර්ණයෙන්ම නතර කර දමන්න විරුද්ධවාදීන් උත්සාහ කළ හැකියි. එවැනි තත්වයන් හමුවේ අප කටයුතු කරන්නේ කෙසේද? එදා යේසුස්ගේ නියෝජිතයන්ව මන්ත්‍රණ සභාව * ඉදිරියට කැඳවීමට හේතු වූ සිද්ධීන් හා ඔවුන් ගත් ස්ථාවරය සලකා බැලීමෙන් අපට ඒ ගැන බොහෝ දේ ඉගෙනගත හැකියි.

‘යෙහෝවා දෙවිගේ දූතයා සිරගෙයි දොරවල් විවෘත කළා’ (ක්‍රියා 5:12-21අ)

4, 5. කායෆස් හා සද්දුසිවරුන් “ඊර්ෂ්‍යාවකින් පෙලඹී” ක්‍රියා කළේ ඇයි?

4 දේශනා සේවය නතර කරන්න කියා මන්ත්‍රණ සභාව විසින් පළමුවරට නියෝග කළ අවස්ථාවේදී පේතෘස් හා යොහන් පැවසූ මේ දේ ඔබට මතක ඇති. “අප ඇසූ දුටු දේ ගැන කතා කරන එක නතර කරන්න නම් අපට බැහැ.” (ක්‍රියා 4:20) එසේ පැවසූ පේතෘස් හා යොහන් අනික් නියෝජිතයන් සමඟ දිගටම දේවමාලිගාවේදී ඉගැන්වීමේ කටයුතු කරගෙන ගියා. ඔවුන් ලෙඩ රෝග සුව කරමින් භූතයන්ව දුරු කරමින් බොහෝ ලකුණු හා ආශ්චර්යයන් සිදු කළා. මොන තරම් ආශ්චර්යයන් සිදු වුණාද කියනවා නම් රෝගාතුරව සිටි අයව පේතෘස් පසු කරගෙන යන විට ඔහුගේ සෙවණැල්ලෙන් පවා ඔවුන් සුව වුණා. පේතෘස් හා අනිකුත් නියෝජිතයන් මේ දේවල් කළේ යුදෙව්වන් බොහෝදෙනෙකු රැස් වන දේවමාලිගාවේ නැඟෙනහිර පැත්තේ පිහිටි ශාලාවේ එනම් ‘සලමොන්ගේ සක්මන් මළුවේ’ සිටයි. එලෙස ශාරීරික සුවයක් ලැබූ බොහෝදෙනෙක් නියෝජිතයන් ප්‍රකාශ කළ පණිවිඩයද පිළිගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස, ‘ස්වාමීන්ව විශ්වාස කළ පුරුෂයන්ගේ හා ස්ත්‍රීන්ගේ ගණන දිගටම වැඩි වුණා.’—ක්‍රියා 5:12-15.

5 සිදු වූ ඒ දේවල් නිසා කායෆස් හා ඔහු අයිති වූ සද්දුසිවරුන්ගේ නිකායේ සිටි අය “මහත් ඊර්ෂ්‍යාවකින් පෙලඹී” නියෝජිතයන්ව අල්ලා සිරගෙයි දැමුවා. (ක්‍රියා 5:17, 18) සද්දුසිවරුන් නියෝජිතයන් සමඟ එතරම් කෝපයෙන් කටයුතු කළේ ඇයි? ඊට එක් හේතුවක් වන්නේ යේසුස්ව නැවත නැඟිටුවා තිබෙන බව නියෝජිතයන් ප්‍රසිද්ධියේ පැවසීමයි. සද්දුසිවරුන් නැවත නැඟිටීම ගැන විශ්වාස කළේ නැහැ. අනික් හේතුව වන්නේ ගැලවීම ලැබිය හැකි එකම ක්‍රමය යේසුස් කෙරෙහි විශ්වාස තැබීම බව නියෝජිතයන් ඉගැන්වීමයි. එම ඉගැන්වීම නිසා යුදෙව්වන් තමන්ගේ නායකයා ලෙස යේසුස්ව පිළිගත්තොත් රෝම පාලනයෙන් තමන්ට යම් ප්‍රශ්න මතු වෙයි කියා සද්දුසිවරුන් භය වුණා. (යොහ. 11:48) එසේනම් ඔවුන් නියෝජිතයන් කරමින් සිටි වැඩය කෙසේ හෝ සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තැත් කිරීම ගැන පුදුම විය යුතුද!

6. අද දින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව කටයුතු කිරීමට මිනිසුන්ව උසිගන්වන්නේ කවුද? අප ඒ ගැන පුදුම නොවන්නේ ඇයි?

6 අදත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව කටයුතු කිරීමට මිනිසුන්ව උසිගන්වන්නේ ආගමික නායකයන් විසිනුයි. බොහෝ අවස්ථාවලදී ඔවුන් ආණ්ඩු බලධාරීන්ට හා මාධ්‍යයට බලපෑම් කර අප කරන සේවය නතර කිරීමට උත්සාහ කරනවා. ඒ ගැන අප පුදුම විය යුතුද? නැහැ. මන්ද අප ප්‍රකාශ කරන පණිවිඩය මගින් ආගමේ නාමයෙන් ඔවුන් සිදු කරන සියලුම වැරදි දේවල් එළිදරව් වෙනවා. එමෙන්ම අපේ පණිවිඩය පිළිගන්නා අයට ඔවුන් උගන්වන බයිබලයට පටහැනි විශ්වාසයන්ගෙන් හා චාරිත්‍ර වාරිත්‍රවලින් නිදහස් වීමට හැකියාව ලැබෙනවා. (යොහ. 8:32) ඒ නිසා ඔවුන් මහත් ඊර්ෂ්‍යාවකින් හා වෛරයකින් අපට විරුද්ධව කටයුතු කිරීම පුදුමයක් නොවෙයි!

7, 8. දේවදූතයා පැවසූ දෙය නියෝජිතයන්ට බලපෑවේ කෙසේද? අප අපෙන්ම අසාගත යුතු ප්‍රශ්නය කුමක්ද?

7 සතුරන් අතින් තමන්ට මැරුම් කන්න සිදු වෙයි කියා සිරගෙයි සිටියදී නියෝජිතයන්ට සිතෙන්න ඇති. (මතෙ. 24:9) නමුත් රාත්‍රියේදී නොසිතූ දෙයක් සිදු වුණා. “යෙහෝවා දෙවිගේ දූතයා සිරගෙයි දොරවල් විවෘත කර” ඔවුන්ව පිටතට ගෙනැවිත් ඔවුන්ට මෙම විශේෂ මඟ පෙන්වීම ලබා දුන්නා. * (ක්‍රියා 5:19) එනම් “දේවමාලිගාවට ගොස්” දෙවිගේ පණිවිඩය “නොකඩවා කියන්න” යන්නයි. (ක්‍රියා 5:20) මේ වන තෙක් තමන් කරමින් සිටි කාර්යයට දෙවිගේ අනුමැතිය තිබෙන බව දේවදූතයා පැවසූ ඒ දෙයින් ඔවුන්ට සනාථ වුණා. එමෙන්ම ඉදිරියේදී කුමන දේවලට මුහුණ දීමට සිදු වුණත් අත් නෑර දේශනා සේවයේ නියැලීමට ඔවුන් ගෙන තිබූ ස්ථාවරයේ දිගටම සිටීමට එම වදන් ඔවුන්ට මහත් දිරිගැන්වීමක් වුණා. ඒ නිසා ඔවුන් ශක්තිමත් විශ්වාසයක් හා මහත් ධෛර්යයක් ඇතුව ‘උදෑසනින්ම දේවමාලිගාවට ඇතුල් වී ජනයාට උගන්වන්න පටන්ගත්තා.’—ක්‍රියා 5:21.

8 ‘නියෝජිතයන් මුහුණ දුන්නා හා සමාන තත්වයකට මුහුණ දීමට මට සිදු වුණොත් අත් නෑර දේශනා සේවයේ හවුල් වීමට අවශ්‍ය ධෛර්යය හා විශ්වාසය මට තිබෙනවාද’ කියා අප එක් එක් කෙනා අපෙන්ම අසාගැනීම ඉතා වැදගත්. ඇත්තෙන්ම “දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්” දීමේ වැදගත් කාර්යයට දේවදූතයන්ගේ මඟ පෙන්වීම හා උපකාරය තිබෙන බව දැන සිටීම අපට මහත් දිරිගැන්වීමක් නොවෙයිද!—ක්‍රියා 28:23; එළි. 14:6, 7.

“අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි” (ක්‍රියා 5:21ආ-33)

“ඔවුන්ව ගෙනැවිත් මන්ත්‍රණ සභාව රැස් වන ශාලාවේ සිටෙව්වෝය.”—ක්‍රියා 5:27

9-11. මන්ත්‍රණ සභාව කළ නියෝගයට නියෝජිතයන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඔවුන් ගත් ස්ථාවරයෙන් සැබෑ ක්‍රිස්තියානීන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

9 කායෆස් හා මන්ත්‍රණ සභාවේ අනිකුත් විනිසුරුවන් සිරගෙයි දැමූ නියෝජිතයන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සූදානම් වුණා. ඒ වන විට සිරගෙයි සිදු වී තිබෙන්නේ කුමක්ද කියා නොදැන සිටි ඔවුන්, නියෝජිතයන්ව මන්ත්‍රණ සභාව ඉදිරියට කැඳවාගෙන ඒමට නිලධාරීන්ව පිටත් කර හැරියා. එතැනට ගිය විට නියෝජිතයන් සිරගෙයි නැති බව දැක ඔවුන් කොතරම් පුදුම වන්න ඇද්ද! මන්ද “එහි අගුලු දමා තිබුණා. ඒ වගේම දොරවල් ළඟ මුරකරුවන්ද සිටියා.” (ක්‍රියා 5:23) සිරගෙයි දැමූ නියෝජිතයන් නැවතත් යේසුස් ගැන දේවමාලිගාවේ සාක්ෂි දරමින් සිටින බව වැඩි වේලාවක් යෑමට පෙර දේවමාලිගාවේ වැඩකටයුතු භාරව සිටි ප්‍රධානියාට ආරංචි වුණා. ඒ අවස්ථාවේ නියෝජිතයන් කරමින් සිටියේ ඔවුන්ට නොකරන්න කියා අණ කළ දෙයමයි. ඇත්තෙන්ම ඊට දවසකට කලින් ඔවුන්ව සිරගෙට දැමුවෙත් ඒ හේතුව නිසාමයි. ඉක්මනින්ම දේවමාලිගාවේ වැඩකටයුතු භාරව සිටි ප්‍රධානියා හා ඔහුගේ සේවකයන් දේවමාලිගාවට ගොස් එහි සිටි නියෝජිතයන්ව මන්ත්‍රණ සභාව ඉදිරියට රැගෙන ආවා.

10 මෙම පරිච්ඡේදයේ පළමුවෙනි ඡේදයේ විස්තර කළ ලෙස මහත් කෝපයෙන් සිටි ආගමික නායකයන් දේශනා සේවය සම්පූර්ණයෙන්ම නතර කර දැමිය යුතුමයි කියා නියෝජිතයන්ට දැඩි ලෙස නියෝග කළා. ඊට නියෝජිතයන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? සියලුදෙනා වෙනුවෙන් කතා කළ පේතෘස් ඉතා නිර්භීතව පැවසුවේ, “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි” කියායි. (ක්‍රියා 5:29) ඔවුන් නිර්භීතව ගත් ඒ ස්ථාවරයෙන් සැබෑ ක්‍රිස්තියානීන් වන අපට ඉතා වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. එනම් දෙවි අපට කරන්න කියා පවසා තිබෙන දෙයක් නොකරන්න කියා හෝ දෙවි නොකරන්න කියා අණ කර තිබෙන දෙයක් කරන්න කියා හෝ ආණ්ඩු බලධාරීන් අපට පවසන අවස්ථාවලදී අප ඔවුන්ට කීකරු විය යුතු නැහැ. ආණ්ඩු බලධාරීන්ට කීකරු වන්න කියා දෙවි දී තිබෙන ආඥාවට කීකරු වීමට එවැනි අවස්ථාවලදී අප බැඳී නැහැ. උදාහරණයකට “උසස් බලධාරීන්” අප කරන දේශනා සේවය තහනම් කළොත් දෙවි අපට පවරා තිබෙන එම පැවරුම ඉටු නොකර සිටින්න අපට බැහැ. (රෝම 13:1) ඒ නිසා අන් අයගේ අවධානයට ලක් නොවන ආකාරවලින් ඥානවන්තව දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක් දැරීමට අප උත්සාහ කරනවා.

11 නියෝජිතයන් නිර්භීතව ගත් ඒ ස්ථාවරය නිසා එතැන සිටි විනිසුරුවන්ගේ කෝපය දෙගුණ තෙගුණ වීම පුදුමයක්ද! ඔවුන්, “යේසුස්ගේ නියෝජිතයන්ව මරා දැමීමට” අදහස් කළා. (ක්‍රියා 5:33) පෙනෙන විදිහට නිර්භීත, උද්‍යෝගිමත් නියෝජිතයන් සතුරන් අතින් මැරුම් කන්නයි යන්නේ. නමුත් නොසිතූ ලෙස ඔවුන්ට එම තත්වයෙන් බේරීමට මඟක් විවෘත වුණා.

“ඔබ මොනව කළත් ඔවුන්ව නවත්වන්න ඔබට බැරි වෙයි” (ක්‍රියා 5:34-42)

12, 13. (අ) මන්ත්‍රණ සභාවේ සිටි අයට ගමාලියෙල් දුන් අවවාදය කුමක්ද? ඔවුන් ඊට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? (ආ) අද දින දෙවි තම සේවකයන් වෙනුවෙන් මැදිහත් වී කටයුතු කරන්නේ කෙසේද? ‘ධර්මිෂ්ඨ දේ කරන නිසා දුක් විඳීමට’ අපට සිදු වුණොත් අපට ස්ථිර විය හැක්කේ කුමන කාරණා ගැනද?

12 ‘සියලුදෙනා ඉතා ගෞරවයෙන් සැලකූ නීතිය උගන්වන කෙනෙක් වූ’ ගමාලියෙල් මන්ත්‍රණ සභාව ඇමතුවා. * එහි සිටි අය මේ නීතිවේදියාට කොතරම් ගෞරව කළාද කියනවා නම් සියලුදෙනාම නිහඬ වී ඔහු පවසන දේට සවන් දුන්නා. ඔහු ‘නියෝජිතයන්ව ටික වේලාවකට පිටතට ගෙන යන්න කියා අණ කළා.’ (ක්‍රියා 5:34) ඉන්පසු පාලකයන්ට විරුද්ධව නායකයන් ලෙස ජනතාව අතරින් යම් අය නැඟී සිටියත් ඔවුන් මිය ගිය පසු ඔවුන්ට සහයෝගය දැක්වූ අය විසිර ගිය බව අතීතයේ යම් සිදුවීම් ගෙනහැර දක්වමින් ඔහු පෙන්වූවා. එමගින් ඔහු මන්ත්‍රණ සභාවට අවධාරණය කළේ මේ මිනිසුන්ගේ නායකයා වූ යේසුස්ද මිය ගොස් වැඩි දවස් ගත වී නැති නිසා කෝප නොවී ඔවුන් සමඟ ඉවසිලිවන්තව කටයුතු කරන්න කියායි. ඔහු එම කාරණය තවදුරටත් කාවද්දමින් මෙසේ පැවසුවා. “මම දැන් කියන්නේ, මේ මිනිසුන්ගේ වැඩකටයුතුවලට මැදිහත් වෙන්න එපා කියලයි. පවතින තත්වයට අනුව ඔවුන්ට ඉන්න ඉඩහරින්න. (මන්ද මේ මිනිසුන් කරන්න අදහස් කරන දේවල් ඔවුන්ගේම අදහසක් නම් එය කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. නමුත් ඒ දේ පිටුපස සිටින්නේ දෙවි නම් ඔබ මොනව කළත් ඔවුන්ව නවත්වන්න ඔබට බැරි වෙයි.) ඔබ පරෙස්සම් වුණේ නැත්නම් ඔබ දෙවිට විරුද්ධව සටන් කරන අය විය හැකියි.” (ක්‍රියා 5:38, 39) ඔහු දුන් අවවාදය පිළිගත් එහි සිටි විනිසුරුවන්, යේසුස්ගේ නියෝජිතයන්ව නැවත එතැනට කැඳවා ඔවුන්ට තළා, “යේසුස්ගේ නාමයෙන් තවදුරටත් කතා නොකරන්න” කියා අණ කර ඔවුන්ව නිදහස් කර හැරියා.—ක්‍රියා 5:40.

13 එදා මෙන් අදත් දෙවිගේ සේවකයන් වෙනුවෙන් මැදිහත් වී කටයුතු කිරීම සඳහා ගමාලියෙල් වගේ උසස් තනතුරු හොබවන අයගේ එනම් බලවත් පාලකයන්ගේ, විනිසුරුවන්ගේ හා නීති සම්පාදකයන්ගේ සිත් පෙලඹවීමට දෙවිට හැකියි. (හිතෝ. 21:1; නෙහෙ. 2:4-8) දෙවි එසේ නොකළත් එනම් ‘ධර්මිෂ්ඨ දේ කරන නිසා දුක් විඳීමට’ අපට සිදු වුණොත් කාරණා දෙකක් ගැන අපට ස්ථිර විය හැකියි. (1 පේතෘ. 3:14) එකක් නම් අපට මුහුණ දීමට සිදු වී තිබෙන පීඩා විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය දෙවි අපට ලබා දෙන බවයි. (1 කොරි. 10:13) දෙවෙනි එක නම් විරුද්ධවාදීන් අපට “මොනව කළත්” දෙවිගේ වැඩය ‘නවත්වන්න ඔවුන්ට බැරි’ බවයි.—යෙසා. 54:17.

14, 15. (අ) පහර කෑම්වලට ලක් වූ නියෝජිතයන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඒ ඇයි? (ආ) අද දින දෙවිගේ සේවකයන් පීඩාවලට ප්‍රීතියෙන් මුහුණ දෙන බවට අද්දැකීමක් සඳහන් කරන්න.

14 නිදහස් කළ පසු නියෝජිතයන් “යුදෙව් මන්ත්‍රණ සභාවෙන් . . . ප්‍රීතියෙන් පිටත්ව ගියෝය” කියා වාර්තාවේ සඳහන් වෙනවා. (ක්‍රියා 5:41) ඉන් පැහැදිලි වන්නේ පහර කෑම්වලට ලක් වුණත් ඔවුන් අධෛර්යයට පත් නොවූ බවයි. ඔවුන් කෑ පහරවලින් වේදනාවක් මිස ප්‍රීතියක් ගෙන නොදුන් බව නිසැකයි. එසේනම් ඔවුන් “ප්‍රීතියෙන්” සිටියේ ඇයි? ඔවුන්ට එම පීඩාවලට මුහුණ දීමට සිදු වුණේ ඔවුන් දෙවිට විශ්වාසවන්තව සිටින නිසාත් ඔවුන්ගේ ආදර්ශකයා වන යේසුස්ව ඔවුන් කිට්ටුවෙන් අනුගමනය කරමින් සිටින නිසාත් බව ඔවුන් දැන සිටියා. ඒ අනුව ප්‍රීති වීමට ඔවුන්ට හොඳ හේතු තිබුණා!—මතෙ. 5:11, 12.

15 අප කරන සේවය නිසා විවිධ තර්ජනවලට, පීඩාවලට හෝ සිරගත කිරීම්වලට මුහුණ දීමට සිදු වන විට ඒවා ප්‍රීතිමත් අද්දැකීම් නොවුණත් අප ඒවාට මුහුණ දෙන්නේ ප්‍රීතියෙන්. මන්ද එදා සිටි අපේ සහෝදරයන් මෙන් අපත් පීඩා ප්‍රශ්න ගැටලු මැද පවා දෙවිට විශ්වාසවන්තව සිටීමට හැකි වීම ගැන ප්‍රීති වෙනවා. (1 පේතෘ. 4:12-14) ඒකාධිපති පාලනය නිසා අවුරුදු ගණනාවක් පුරා නොයෙකුත් කුරිරුකම්වලට මුහුණ දුන් සහෝදර හෙන්රික් ඩෝර්නික්ගේ අද්දැකීම සලකා බලන්න. වර්ෂ 1944 අගෝස්තු මාසයේදී ඔහුවත් ඔහුගේ සහෝදරයාවත් ගාල් කඳවුරකට යැවීමට බලධාරීන් තීරණය කළා. ඒ අවස්ථාවේදී සාක්ෂිකරුවන් ගැන බලධාරීන් පැවසූ මේ දෙය සහෝදර හෙන්රික්ට හොඳට මතකයි. “මේ අය කොහොමටවත් ඔවුන්ගේ ස්ථාවරය අත්හරින්නේ නැහැ. මැරෙන්න සිදු වුණත් ඔවුන් එය භාරගන්නේ සතුටින්.” ඊට හේතුව පැහැදිලි කරමින් සහෝදර හෙන්රික් පැවසුවේ, “පීඩා හමුවේ මම දිගටම නිර්භීතව, නොසැලී සිටියේ දෙවිට විශ්වාසවන්තව ඉන්න මා තුළ ලොකු කැමැත්තක් තිබුණු නිසයි. ඇත්තයි, මම මැරෙන්න කැමති නැහැ. ඒත් දෙවි වෙනුවෙන් ඕනෑම දෙයක් දරාගන්න මම සතුටු වුණා.”—යාකො. 1:2-4.

යේසුස්ගේ නියෝජිතයන් මෙන් අපත් “ගෙයින් ගෙට” ගොස් දේශනා කරනවා

16. ඉතා පැහැදිලි සාක්ෂියක් දීමට නියෝජිතයන් තුළ දැඩි අධිෂ්ඨානයක් තිබූ බව පැහැදිලි වුණේ කෙසේද? ශුභාරංචිය දේශනා කිරීමේදී අප ඔවුන්ව ආදර්ශයට ගන්නේ කෙසේද?

16 නිදහස ලැබූ නියෝජිතයන් ඉක්මනින්ම දේශනා සේවය නැවත ආරම්භ කළා. ඔවුන්, ‘යේසුස් පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය දිනපතාම දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස්’ නිර්භීතව ඉටු කළා. * (ක්‍රියා 5:42) සියලුදෙනාටම යේසුස් ගැන ඉතා පැහැදිලි සාක්ෂියක් දීමට ඔවුන් තුළ දැඩි අධිෂ්ඨානයක් තිබූ බව පැහැදිලියි. යේසුස් මඟ පෙන්වූ ලෙස ශුභාරංචිය රැගෙන ඔවුන් මිනිසුන්ගේ නිවෙස්වලටම ගියා. (මතෙව් 10:7, 11-14) ඔවුන් ඉගැන්වූ දේවල් යෙරුසලම පුරාම පැතිර ගියේ එලෙසයි කියා කිසිම සැකයකින් තොරව පැවසිය හැකියි. අද දින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය දේශනා කිරීමට යොදාගන්නෙත් එදා නියෝජිතයන් යොදාගත් ක්‍රමයමයි. අප අන් අය අතරේ ප්‍රසිද්ධව සිටින්නෙත් ගෙයින් ගෙට යන පිරිසක් ලෙසයි. දේශනා කිරීම සඳහා අපට පවරා ඇති ප්‍රදේශයේ තිබෙන සෑම නිවසකටම ශුභාරංචිය රැගෙන යෑමට අප දරන වෑයමෙන් පැහැදිලි වන්නේ සෑම කෙනෙකුටම ශුභාරංචියට සවන් දීමට අවස්ථාවක් දෙන්න අප තුළ මහත් ආශාවක් තිබෙන බවයි. අප දරන එම වෑයමට යෙහෝවා දෙවි ආශීර්වාද කර තිබෙනවාද? ඔව්, අනිවාර්යයෙන්ම. මේ අවසාන කාලයේදී මිලියන ගණනක් දෙනා ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වා තිබීමෙන් එය මනාව පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට ශුභාරංචිය ගැන මුලින්ම අසන්න ලැබී තිබෙන්නේ සාක්ෂිකරුවෙකු ඔවුන්ගේ නිවසට පැමිණි අවස්ථාවෙයි.

‘අත්‍යවශ්‍ය කාර්යයක්’ ඉටු කිරීමට සුදුසුකම් ඇති පුරුෂයන්ව තෝරාගනියි (ක්‍රියා 6:1-6)

17-19. සභාව තුළ පැනනැඟුණු ප්‍රශ්නය කුමක්ද? එය විසඳීම සඳහා නියෝජිතයන් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?

17 අලුතින් පිහිටෙවූ ක්‍රිස්තියානි සභාව තුළ යම් ප්‍රශ්නයක් හටගත්තා. එය විශාල ප්‍රශ්නයක් දක්වා දුර දිග යන්නත් ඉඩ තිබුණා. ඒ ප්‍රශ්නයට මුල් වූ සිද්ධිය කුමක්ද? ඒ කාලයේ බව්තීස්ම වූ අයගෙන් වැඩිදෙනෙක් පිට පළාත්වලින් යෙරුසලමට පැමිණි අයයි. දෙවිගේ අරමුණ ගැන තව තවත් දැනුම ලබාගැනීම සඳහා ඔවුන් තම නිවෙස්වලට නොගොස් ටික කලකට යෙරුසලමෙහිම නැවතී සිටියා. ඒ නිසා යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන හා අනිකුත් දේවල් ලබා දීම සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වී සම්මාදම් ලබා දුන්නා. (ක්‍රියා 2:44-46; 4:34-37) ලැබුණු එම සම්මාදම් භාවිත කරමින් “දිනපතා සියලුදෙනා අතරේ ආහාර බෙදා දෙනු ලැබූ විට” ග්‍රීක භාෂාව කතා කළ වැන්දඹුවන්ව ‘නොසලකාහරිනු ලැබුවා.’ (ක්‍රියා 6:1) නමුත් හෙබ්‍රෙව් භාෂාව කතා කළ වැන්දඹුවන්ට හොඳින් සලකනු ලැබුවා. එලෙස එක පිරිසකට වැඩි අනුග්‍රහයක් ලැබුණු නිසා අනුග්‍රහය නොලැබුණු අය ඒ ගැන ප්‍රශ්නයක් ඇති කළා. ඇත්තෙන්ම සභාව තුළ යම් කොටසකට විශේෂ අනුග්‍රහයක් දැක්වීම විශාල අනතුරකට අත වැනීමක් නොවේද!

18 එවකට පාලක මණ්ඩලය ලෙස කටයුතු කළ නියෝජිතයන් තේරුම්ගත්තේ, “දෙවි පවසා ඇති දේවල් ගැන ඉගැන්වීමේ කාර්යය නතර කර . . . කෑම බෙදා දීමට” තම කාලය වැය කිරීම ඥානවන්ත දෙයක් නොවන බවයි. (ක්‍රියා 6:2) නමුත් සභාවේ හටගෙන තිබූ එම ප්‍රශ්නය නිසා “දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කරන ප්‍රඥාවන්ත” පුරුෂයන් හත්දෙනෙකුව තෝරාගන්න කියා ඔවුන් ගෝලයන්ට පැවසුවා. ඔවුන් එසේ පැවසුවේ ආහාර බෙදා දීමේ “අත්‍යවශ්‍ය කාර්යය” අධීක්ෂණය කිරීමට ඔවුන්ව පත් කිරීම සඳහායි. (ක්‍රියා 6:3) එම කාර්යය සඳහා සුදුසුකම් ඇති පුරුෂයන්ව අවශ්‍ය වුණේ ඇයි? මෙය නිකම්ම නිකම් ආහාර බෙදා දීමේ කාර්යයක් නොවීම ඊට හේතුවයි. ඊට මුදල් නිසි ලෙස පරිහරණය කිරීම, දේවල් මිල දී ගැනීම හා ගනු දෙනු සම්බන්ධයෙන් නිසි වාර්තා සැකසීම ඇතුළත් වුණා. දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කළ නියෝජිතයන් ගෝලයන් විසින් නිර්දේශ කළ පුරුෂයන් හත්දෙනාගේ සුදුසුකම් සලකා බැලීමෙන් පසු ‘අත්‍යවශ්‍ය කාර්යය වූ’ ආහාර බෙදා දීමේ කටයුත්ත අධීක්ෂණය කිරීම සඳහා ඔවුන්ව පත් කළා. * බයිබල් වාර්තාවෙන් පැහැදිලි වන්නේ මේ කටයුත්ත සඳහා පත් කළ අයට තිබුණේ ග්‍රීක නම් බවයි. ඒ හේතුව නිසා තමන්ට සාධාරණ විසඳුමක් ලැබෙයි යන විශ්වාසය ග්‍රීක භාෂාව කතා කළ වැන්දඹුවන් තුළ ඇති වෙන්න ඇති.

19 මෙම පුරුෂයන් හත්දෙනාට ආහාර බෙදා දීමේ කටයුත්ත අධීක්ෂණය කිරීමේ කාර්යය පැවරුණු නිසා ශුභාරංචිය දේශනා කිරීමේ වගකීමෙන් ඔවුන් නිදහස් වුණාද? කොහෙත්ම නැහැ. මෙම පුරුෂයන් හත්දෙනා අතරේ සිටි ස්තේපන් නම් තැනැත්තාව මෙම කාර්යයට පත් කළ පසුවත් ඔහු නිර්භීතව හා ප්‍රබල අයුරින් යේසුස් ගැන දේශනා කළ බවට සාක්ෂි තිබෙනවා. (ක්‍රියා 6:8-10) ඔවුන් අතරේ සිටි තවත් කෙනෙකු වූ ෆිලිප්ව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ, “ශුභාරංචිය දේශනා කිරීමට ප්‍රසිද්ධ වූ” කෙනෙකු ලෙසයි. (ක්‍රියා 21:8) ඒ දේවලින් පැහැදිලි වන්නේ මෙම පුරුෂයන් හත්දෙනාට සභාව තුළ යම් විශේෂ කාර්යයක් පවරා තිබුණත් ඔවුන් දිගටම ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයේ මහත් උද්‍යෝගයෙන් නිරත වූ බවයි.

20. එදා නියෝජිතයන් ගත් ක්‍රියාමාර්ගය අද දින සැබෑ ක්‍රිස්තියානීන් අනුගමනය කරන්නේ කෙසේද?

20 යම් වගකීම් ඉසිලීමට සහෝදරයන්ව පත් කිරීම සඳහා එදා නියෝජිතයන් ගත් ක්‍රියාමාර්ගය අද දින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද අනුගමනය කරනවා. සභාවේ වගකීම් දැරීමට නිර්දේශ කරන පුරුෂයන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන බව පැහැදිලිව දකින්න තිබිය යුතුයි. දෙවි ලබා දෙන ප්‍රඥාවට අනුව ඔවුන් ක්‍රියා කරන බවත් පැහැදිලි විය යුතුයි. ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් තිබෙන එවැනි පුරුෂයන්ව වැඩිමහල්ලන් ලෙස හෝ සහායක සේවකයන් ලෙස සභාවේ සේවය කිරීමට පත් කරන්නේ පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතෙයි. * (1 තිමෝ. 3:1-9, 12, 13) ඒ නිසා සභාවේ වගකීම් දරන අයව පත් කරනු ලබන්නේ දෙවිගේ බලයේ උපකාරයෙන් කියා පැවසිය හැකියි. එලෙස පත් කරන පුරුෂයන් සභාවේ ‘අත්‍යවශ්‍ය කාර්යයන්’ බොහොමයක් වෙහෙස මහන්සි නොබලා ඉටු කරනවා. උදාහරණයකට දෙවිට විශ්වාසවන්තව සේවය කරන මහලු කෙනෙකුට යම් උපකාර අවශ්‍ය නම් ඒ සඳහා වැඩිමහල්ලන් යම් සැලැස්මක් සංවිධානය කිරීමට පියවර ගන්නවා. (යාකො. 1:27) තවත් සමහරක් වැඩිමහල්ලන් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ කටයුතුවල නිරත වෙනවා. තවත් අය සමුළු හා එක්රැස්වීම් සංවිධානය කිරීමේ කටයුතුවල හා රෝහල් සබඳතා කමිටුවල නියැලෙනවා. සහායක සේවකයන් සභාවේ සාමාජිකයන් රැකබලා ගැනීමේ හෝ ඉගැන්වීමේ කටයුතුවලට කෙළින්ම සම්බන්ධ නැති විවිධ සේවාවන් ඉටු කරනවා. කෙසේවෙතත් ඒ සෑම කෙනෙකුම සභාවේ තමන්ට හිමි වගකීම් හා ලැබෙන අමතර වගකීම් ඉටු කළ යුත්තේ සෑම ක්‍රිස්තියානියෙකුටම දෙවි දී තිබෙන පැවරුම වන ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට බාධාවක් නොවන අයුරිනුයි.—1 කොරි. 9:16.

‘දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර ගියා’ (ක්‍රියා 6:7)

21, 22. අලුතින් පිහිටෙවූ ක්‍රිස්තියානි සභාවට දෙවිගේ උපකාරය තිබූ බව පැහැදිලි වන්නේ කෙසේද?

21 අලුතින් පිහිටෙවූ ක්‍රිස්තියානි සභාවට පිටතින් පැමිණි පීඩාවලට, විරුද්ධවාදිකම්වලට හා සභාව තුළම ඇති වූ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දීමට හැකි වුණේ දෙවිගේ උපකාරය ඔවුන්ට ලැබුණු නිසයි. දෙවිගේ අනුමැතිය ක්‍රිස්තියානි සභාවට තිබූ බව ක්‍රියා පොතෙහි සඳහන් මෙම වදන්වලින්ද පැහැදිලි වෙනවා. “දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර ගිය අතර යෙරුසලමේ සිටි ගෝලයන්ගේ ගණනද දිගින් දිගටම වැඩි විය. පූජකයන් විශාල පිරිසක්ද යේසුස්ගේ අනුගාමිකයෝ වූහ.” (ක්‍රියා 6:7) මෙය ක්‍රිස්තියානි සභාවේ වර්ධනය ගැන ක්‍රියා පොතෙහි සඳහන් වාර්තා අතරින් එකක් පමණයි. (ක්‍රියා 9:31; 12:24; 16:5; 19:20; 28:31) අද දිනත් අප කරන සේවය ගැන විවිධ රටවලින් වාර්තා ලැබෙන විට අප මොන තරම් දිරිගැන්වීමක් ලබනවාද!

22 පළමුවෙනි සියවසේ සිටි ආගමික නායකයන් යේසුස්ගේ ගෝලයන්ට පීඩා කිරීම අත්හැරියේ නැහැ. පෙනෙන විදිහට පීඩා රැසකට මුහුණ දීමට ගෝලයන්ට සිදු වෙයි. එවැනි එක් අවස්ථාවක ස්තේපන් විරුද්ධවාදීන්ගේ ගොදුරක් වුණා. ඒ ගැන අපි ඊළඟ පරිච්ඡේදයේ සලකා බලමු.

^ 3 ඡේ. යුදෙව් මන්ත්‍රණ සභාව” නමැති කොටුව බලන්න.

^ 7 ඡේ. ක්‍රියා පොතෙහි දේවදූතයන් ගැන කෙළින්ම 20 වතාවක් පමණ සඳහන් වෙනවා. මෙය ඉන් පළමු අවස්ථාවයි. ඊට පෙර අවස්ථාවකත් එනම් ක්‍රියා 1:10හි දේවදූතයන් ගැන කතා කරනවා. නමුත් දේවදූතයන් යන වචනය එහි භාවිත කර නැහැ. ඒ වෙනුවට එහි “සුදු වස්ත්‍ර ඇඳ සිටි මිනිස්සු” ලෙස ඔවුන්ව හඳුන්වා තිබෙනවා.

^ 18 ඡේ. මෙම “අත්‍යවශ්‍ය කාර්යය” සුළුපටු කාර්යයක් නොවූ නිසා එය අධීක්ෂණය කිරීමට පත් කළ පුරුෂයන් හත්දෙනාට වැඩිමහල්ලන්ට තිබිය යුතු සුදුසුකම් තිබෙන්න ඇති. කෙසේවෙතත් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන්ව රැකබලා ගැනීම සඳහා වැඩිමහල්ලන්ව පත් කිරීමට පටන්ගත්තේ හරියටම කොයි කාලයේදීද කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ.

^ 20 ඡේ. හොඳ නමක් දිනාගෙන සිටි පුරුෂයන් හත්දෙනාව අත්‍යවශ්‍ය කාර්යය සඳහා නිර්දේශ කළේ සභාවේ සහෝදරයනුයි. නමුත් ඔවුන්ව ඒ සඳහා පත් කළේ නියෝජිතයනුයි.