Skip to content

පටුනට යන්න

3වෙනි පරිච්ඡේදය

‘දෙවිගේ බලය ක්‍රියාත්මක වෙයි’

‘දෙවිගේ බලය ක්‍රියාත්මක වෙයි’

පෙන්තකොස්ත දවසේ සිට දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් සිදු වූ දේවල්

ක්‍රියා 2:1-47

1. පෙන්තකොස්ත උත්සවය පවත්වන කාලයේ යෙරුසලමේ තිබෙන වාතාවරණය විස්තර කරන්න.

යෙරුසලමේ වීථී අතුරු සිදුරු නැතුව සෙනඟගෙන් පිරිලා. * වීථීවල එහා මෙහා කඩිමුඩියෙන් ඇවිදින සෙනඟ අතර බොහෝ දුර බැහැර සිට පැමිණි ඒලාම්වරුන්, මෙසපොතේමියාවේ හා කපදෝසියේ වැසියන්, පොන්තසයේ, ඊජිප්තුවේ හා රෝමයේ වැසියන් වැනි විවිධ ජන පිරිස් සිටිනවා. * දේවමාලිගාවේ පූජාසනයෙන් දුම් නැඟී යනවා. ලෙවීවරුන්ගේ ගායන කණ්ඩායම් යෙහෝවා දෙවිට මාරුවෙන් මාරුවට ප්‍රශංසා ගී ගයන හඬ අවටින් ඇසෙනවා. (ගීතා. 113 සිට 118) මහත් සෙනඟක් යෙරුසලමේ මෙලෙස එක් රැස් වී සිටින්නේ පෙන්තකොස්ත උත්සවය ලෙසද හඳුන්වන “අස්වැන්නේ ප්‍රථම ඵල” නෙළීමේ උත්සවයට සහභාගි වීමටයි. (ගණන්. 28:26) වාර්ෂිකව මෙම උත්සවය පවත්වන්නේ බාර්ලි අස්වැන්න නෙළීම අවසන් කර තිරිඟු අස්වැන්න නෙළීම ආරම්භ කරන අවස්ථාවෙයි. ඇත්තෙන්ම මෙය හැමෝටම ඉතා ප්‍රීතිමත් අවස්ථාවක්!

2. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී සිදු වන පුදුම දේවල් මොනවාද?

2 දැන් වේලාව උදෑසන නවයට පමණ ඇති. යේසුස්ගේ ගෝලයන් 120දෙනෙකු පමණ මේ අවස්ථාවේ නිවසක රැස්ව සිටිනවා. එකපාරටම මහ පුදුම දෙයක් සිදු වෙනවා. මේ සිදුවීම ක්‍රිස්තියානීන්ට කිසි දිනක අමතක නොවන සිදුවීමක්. අහසින් “තද සුළඟක් හමන්නා සේ” මහත් ශබ්දයක් ඇසෙනවා. (ක්‍රියා 2:2) ඒ ශබ්දය ගෝලයන් සිටින නිවස පුරාම පැතිරෙනවා. එවිට ගිනිදලු මෙන් වූ යමක් සෑම ගෝලයෙකුගේම හිසට ඉහළින් දිස් වෙනවා. * ගෝලයන් තුළ ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වී’ විවිධ භාෂාවලින් ඔවුන් කතා කිරීමට පටන්ගන්නවා. ඔවුන් ඒ නිවසින් පිටතට ඇවිත් වීථිවල මුණගැසෙන සෙනඟ සමඟ ‘ඔවුන් එක් එක් කෙනාට තේරෙන භාෂාවලින් කතා කරනවා.’ ඒ සෙනඟ මහත් පුදුමයෙන් යේසුස්ගේ ගෝලයන් දෙස බලා සිටිනවා.—ක්‍රියා 2:1-6.

3. (අ) ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවස ඉතිහාසගත වන දවසක් ලෙස හැඳින්විය හැක්කේ ඇයි? (ආ) පේතෘස් සෙනඟව ඇමතූ අවස්ථාවේදී, “ස්වර්ග රාජ්‍යයේ යතුරු” භාවිත කළා කියා පැවසිය හැක්කේ ඇයි?

3 එය සැබෑ ක්‍රිස්තියානීන්ට ඉතිහාසගත වන සිද්ධියක්. මන්ද දෙවිගේ ඊශ්‍රායෙල් එනම් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත සභාව පිහිටුවනු ලැබුවේ එදිනයි. (ගලා. 6:16) තවත් බොහෝ දේ ඒ දවසේදී සිදු වුණා. පේතෘස් එදින රැස්ව සිටි සෙනඟව ඇමතූ අවස්ථාවේදී යේසුස් ඔහුට භාර දුන් “ස්වර්ග රාජ්‍යයේ යතුරු” තුනෙන් එකක් ඔහු භාවිත කළා. (මතෙ. 16:18, 19) ඒ යතුරු තුන භාවිත කළේ ජන පිරිස් තුනකට දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ විශේෂ වරප්‍රසාද විවෘත කර දීමටයි. ඔහු භාවිත කළ මුල් යතුරෙන් යුදෙව්වන්ටත් යුදෙව් ආගමට හැරුණු අයටත් ශුභාරංචිය පිළිගෙන දෙවිගේ බලයෙන් අභිෂේක වීමේ ප්‍රස්තාව හිමි වුණා. * එහි ප්‍රතිඵලයක් ලෙස දෙවිගේ ඊශ්‍රායෙල් නම් අලුත් ජාතියේ කොටසක් වීමට ඔවුන්ට හැකිකම ලැබෙන අතර රජවරුන් හා පූජකයන් ලෙස දේවරාජ්‍යයේ පාලනයට හවුල් වීමේ බලාපොරොත්තුව ඔවුන් ඉදිරියේ තිබුණා. (එළි. 5:9, 10) ඉදිරියේදී අනික් යතුරු දෙක භාවිත කරමින් සමරිතානුවන්ටත් ඉන්පසු වෙනත් ජාතීන්ටත් එම ප්‍රස්තාව විවෘත කරනු ලබනවා. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ සිදු වූ එම සිදුවීම්වලින් අද දින ක්‍රිස්තියානීන් වන අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

‘සියලුදෙනාම එක තැනක රැස්ව සිටියා’ (ක්‍රියා 2:1-4)

4. අද දින ක්‍රිස්තියානි සභාව හා ක්‍රි.ව. 33 පිහිටෙවූ ක්‍රිස්තියානි සභාව අතර ඇති සම්බන්ධය කුමක්ද?

4 නිවසේ උඩුමහල් කාමරයේ රැස්ව සිටි, දෙවිගේ බලයෙන් අභිෂේක කරනු ලැබූ එම ගෝලයන් 120දෙනාගෙන් ක්‍රිස්තියානි සභාව බිහි වුණා. (ක්‍රියා 2:1) නමුත් එම දවස අවසන් වන විට ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් දහස් ගණනකින් වැඩි වී තිබුණා. එදින යෙරුසලමේ සිටි බොහෝදෙනෙකු යේසුස්ව පිළිගෙන බව්තීස්ම වීම ඊට හේතුවයි. එලෙස ආරම්භ වූ ක්‍රිස්තියානි සභාව ඉදිරියේදී විශාල වර්ධනයක් අද්දැකීමට නියමිතව තිබුණා. ඇත්තෙන්ම දෙවිට ගරුබිය දක්වන ස්ත්‍රීන්ගෙන් හා පුරුෂයන්ගෙන් සමන්විත එම සභාවේ ප්‍රධාන කාර්යය වුණේ අවසානය පැමිණීමට පෙර ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කිරීමයි.’—මතෙ. 24:14.

5. ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙකු වීමෙන් ලබන ආශීර්වාදය කුමක්ද?

5 ක්‍රිස්තියානි සභාව අභිෂේක ලත් අයගෙන් සමන්විත වූ අතර පසුව ඊට “වෙනත් බැටළුවන්ද” ඇතුළත් වුණා. (යොහ. 10:16) යේසුස්ගේ අනුගාමිකයන් වූ ඒ සියලුදෙනාටම අවශ්‍ය දිරිගැන්වීම් ලබා දීමත් ක්‍රිස්තියානි සභාවේ තවත් කාර්යයක් වුණා. සභාව සතු එම කාර්යය මහත් සේ අගය කළ පාවුල් රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා. “ඔබව දැකගැනීමට මා තුළ තිබෙන්නේ දැඩි ආශාවකි. මාගේ එකම ආශාව නම් දෙවි සමඟ ඇති ඔබේ බැඳීම තවත් ශක්තිමත් කිරීමට ඔබට යම් දිරිගැන්වීමක් ලබා දීමය. අපට එකිනෙකාව දිරිගැන්වීමටත් එමගින් හැකියාව ලැබේ. එවිට ඔබ මාගේ විශ්වාසයෙනුත් මා ඔබේ විශ්වාසයෙනුත් දිරිගැන්වීමක් ලබනු ඇත.”—රෝම 1:11, 12.

6, 7. යේසුස් දුන් කාර්යය නවීන දින ක්‍රිස්තියානි සභාව ඉටු කරන්නේ කෙසේද?

6 එදා සිට මේ දක්වා විශාල වර්ධනයක් අද්දැක තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙස හඳුන්වන නවීන දින ක්‍රිස්තියානි සභාවෙන්ද එම කාර්යයන් දෙක ඉටු කරනවා. උදාහරණයකට ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ගැන සිතන්න. යේසුස් දුන් එම කාර්යය ඉටු කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඔහු පැවසුවේ, “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න” කියායි.—මතෙ. 28:19, 20.

7 එය එතරම් අසීරු කාර්යයක් වීමට හේතුවක් වන්නේ සෑම ජාතියකටම අයත් මිනිසුන්ට දේශනා කිරීමට නම් විවිධ භාෂාවලින් එසේ කිරීමට සිදු වන නිසයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය මත පදනම් සඟරා හා පොත් පත් භාෂා 400කට වඩා වැඩි ප්‍රමාණයකින් ලොව පුරා බෙදාහරිමින් එම අසීරු කාර්යය අද ඉටු කරමින් සිටිනවා. ඇත්තෙන්ම එම කාර්යය ඉටු කිරීමෙන් ඔවුන් අද්දකින්නේ මහත් සතුටක්. ඔබත් එම කාර්යයේ උද්‍යෝගයෙන් හවුල් වන කෙනෙකු නම් ඔබටත් සතුටු වීමට හොඳ හේතු තිබෙනවා. මන්ද යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ නාමය ගැන ලොව පුරා පැහැදිලි සාක්ෂියක් ලබා දෙමින් සිටින අතළොස්සෙන් ඔබත් කෙනෙක්.

8. සභාවේ සෑම සාමාජිකයෙකුම පෞද්ගලිකව අද්දකින ආශීර්වාදය කුමක්ද?

8 මේ අවසාන කාලයේදී ප්‍රශ්න ගැටලු මැද වුණත් දිගටම ප්‍රීතියෙන් සිටීමට ලොව පුරා සිටින අපේ සහෝදරයන් අපට කදිම අත්වැලක්. ඇත්තෙන්ම අපේ සහෝදරත්වය යෙහෝවා දෙවිගෙන් අපට ලැබී තිබෙන අනගි සැපයුමක්. පාවුල් එහි වැදගත්කම අවධාරණය කරමින් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා. “අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි. එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු. ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.” (හෙබ්‍රෙ. 10:24, 25) ඉන් පැහැදිලි වන්නේ ක්‍රිස්තියානි සභාව දෙවි අපට ලබා දී තිබෙන්නේ එකිනෙකාව දිරිගැන්වීමට හා අපටත් දිරිගැන්වීම් ලබාගැනීම සඳහා බවයි. ඇත්තෙන්ම අපේ සහෝදර සහෝදරියන් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගෙන එය දිගටම රැකගැනීම මොන තරම් වැදගත්ද! ඒ නිසා එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමට අපි සෑම කෙනෙකුම වගබලා ගනිමු.

‘තමන්ට තේරෙන භාෂාවලින් කතා කරන ආකාරය සමූහයාට ඇසුණා’ (ක්‍රියා 2:5-13)

“දෙවිගේ බලවත් ක්‍රියා ගැන අපේම භාෂාවලින් ඔවුන් කතා කරන ආකාරය ඇහෙනවා.”—ක්‍රියා 2:11

9, 10. වෙනත් භාෂාවක් කතා කරන අයට දේශනා කිරීම සඳහා සමහරදෙනෙක් කර තිබෙන්නේ මොනවාද?

9 යේසුස්ගේ ගෝලයන් යෙරුසලමේ සිටි සෙනඟ සමඟ විවිධ භාෂාවලින් කතා කළ අවස්ථාව ගැන නැවත සිතා බලන්න. ‘තමන්ට තේරෙන භාෂාවලින් ඔවුන් කතා කරන ආකාරය සමූහයාට ඇසුණු විට’ සමූහයා බොහෝ පුදුමයට පත් වුණා. (ක්‍රියා 2:6) යේසුස්ගේ ගෝලයන් සෙනඟ සමඟ ග්‍රීක හෝ හෙබ්‍රෙව් භාෂාවලින් කතා කළා නම් ඔවුන්ට එය තේරුම්ගැනීමට හැකිකම තිබුණා. මන්ද ඒ භාෂාවන් පොදුවේ සියලුදෙනාම යම් දුරකට හෝ දන්නා භාෂාවන්. නමුත් තමන්ගේම මව්භාෂාවෙන් ඔවුන්ට ශුභාරංචියට සවන් දීමට හැකි වූ නිසා එය ඔවුන්ගේ හදවතට තදින් කාවදින්න ඇති. අද දින සිටින සැබෑ ක්‍රිස්තියානීන්ට එදා මෙන් විවිධ භාෂාවලින් කතා කිරීමේ දීමනාව ලැබී නැති බව ඇත්තයි. නමුත් විවිධ ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචිය දේශනා කිරීම සඳහා ඔවුන් වෙනත් භාෂා ඉගෙනගෙන තිබෙනවා. ඔවුන්ගෙන් සමහරදෙනෙක් වෙනත් භාෂා කතා කරන සභාවලට ගොස් සේවය කරන අතර තවත් සමහරදෙනෙක් වෙනත් රටවලට පවා ගොස් සේවය කරනවා. ශුභාරංචිය දේශනා කිරීමට ඔවුන් දරන එම වෑයම ඔවුන්ට සවන් දෙන බොහෝදෙනෙකුගේ ඇගයීමට ලක් වෙනවා.

10 ක්‍රිස්ටීන් නම් සහෝදරියගේ අද්දැකීම සලකා බලන්න. ඇය තවත් සාක්ෂිකරුවන් හත්දෙනෙකු සමඟ ගුජරාටි භාෂාව උගන්වන පන්තියකට සහභාගි වුණා. දිනක් ඇය තම රැකියා ස්ථානයේ සිටි ගුජරාටි භාෂාව කතා කරන කාන්තාවකට එම භාෂාවෙන් ආචාර කළා. එවිට ඇය පුදුමයට පත් වූ අතර ගුජරාටි භාෂාව ඉගෙනගැනීමට පෙලඹුණේ ඇයි කියා ක්‍රිස්ටීන්ගෙන් විමසුවා. තමා එම භාෂාව ඉගෙනගැනීමට හේතුව පැහැදිලි කර දෙමින් ක්‍රිස්ටීන් ඇයට හොඳ සාක්ෂියක් දැරුවා. එම කාන්තාව ක්‍රිස්ටීන්ට මෙසේ පැවසුවා. “වෙන කිසිම ආගමක් මෙච්චර අමාරු භාෂාවක් ඉගෙනගන්න උනන්දු කරයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඔයාට අනික් අයට කියන්න තියෙන පණිවිඩය අනිවාර්යයෙන්ම වැදගත් පණිවිඩයක් වෙන්න ඕනේ.”

11. කදිම සාක්ෂියක් දැරීමට සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි නමැති පොත්පිංචය යොදාගත හැක්කේ කෙසේද?

11 කෙසේවෙතත් අප හැමෝටම වෙනත් භාෂාවක් ඉගෙනගැනීමට නොහැකි වෙන්න පුළුවන්. නමුත් සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි නමැති පොත්පිංචය යොදාගෙන වෙනත් භාෂා කතා කරන අයට ශුභාරංචිය දේශනා කිරීම සඳහා අපට සූදානමින් සිටිය හැකියි. අප ඉදිරිපත් කරන පණිවිඩය කෙටියෙන් භාෂා කිහිපයකින්ම එම පොත්පිංචයෙහි සඳහන් කර තිබෙනවා. එය මුදාහැරිය අලුත එක් පවුලක් එම පොත්පිංචය යොදාගෙන කදිම සාක්ෂියක් දැරුවා. ඔවුන් සංචාරකයන් පැමිණෙන වනඋද්‍යාන තුනකට ගොස් එහිදී හමු වූ විවිධ භාෂා කතා කරන අයට ඔවුන්ගේම භාෂාවෙන් ශුභාරංචිය ඉදිරිපත් කළා. ඔවුන්ට හමු වූ අය අතර ඉන්දියාවෙන්, නෙදර්ලන්තයෙන්, පකිස්තානයෙන් හා පිලිපීනයෙන් පැමිණි අය සිටියා. ඔවුන් දැරූ ඒ වෑයමේ ප්‍රතිඵල පියා පැවසූ මේ වදන්වලින් පැහැදිලියි. “අපිට හමු වූ බොහෝදෙනෙකුට ඉංග්‍රීසි භාෂාව ටිකක් හරි කතා කරන්න පුළුවන්. ඒ වුණත් අපි අපේ පණිවිඩය ඔවුන්ගේම මව්භාෂාවෙන් පෙන්නුවාම ඔවුන් ගොඩාක් සතුටට පත් වුණා. ඇත්තෙන්ම තමන්ගේ රටෙන් කිලෝමීටර් දහස් ගණනක් ඈත ඉන්න කොට තමන්ගේ භාෂාවෙන් යමක් අහන්න දකින්න ලැබෙද්දී එය මොන තරම් සතුටක්ද! අපි ලොව පුරාම දේශනා කරන්නේ එකම පණිවිඩය කියන කාරණයත් ඔවුන්ට හොඳින් කාවැදුණා.”

‘පේතෘස් නැඟිට’ කතා කළා (ක්‍රියා 2:14-37)

12. (අ) පෙන්තකොස්ත දවසේ සිදු වූ දෙය යෝවෙල් පැවසූ අනාවැකියට සම්බන්ධ වන්නේ කෙසේද? (ආ) යෝවෙල්ගේ අනාවැකිය එම කාලයේදී ඉටු වන බව ගෝලයන් දැන සිටියේ කෙසේද?

12 රැස්ව සිටින විශාල සෙනඟව ඇමතීමට ‘පේතෘස් නැඟිට’ සිටියා. (ක්‍රියා 2:14) ආශ්චර්යවත් ලෙස ගෝලයන්ට විවිධ භාෂාවලින් කතා කිරීමට හැකි වුණේ දෙවි යෝවෙල් මාර්ගයෙන් පවසා තිබූ, “මම සියලු ජනයාට මගේ බලය නොඅඩුව දෙන්නෙමි” යන අනාවැකිය ඉටු වූ නිසා බව ඔහු පැහැදිලි කළා. (යෝවෙ. 2:28) ඊට එකඟව ස්වර්ගයට යෑමට පෙර යේසුස්ද මෙවැනි දෙයක් පවසා තිබුණා. “මම පියාණන්ගෙන් තවත් ඉල්ලීමක් කරනවා. එවිට ඔබේ උපකාරයට ඔහු යමක් එවයි.” දෙවි සපයන ඒ උපකාරය දෙවිගේ බලය බවද යේසුස් පවසා තිබුණා.—යොහ. 14:16, 17.

13, 14. පේතෘස් තමන්ට සවන් දුන් අයගේ හදවතටම කතා කළේ කෙසේද? අපට ඔහුව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

13 පේතෘස් ඔහුගේ කතාව අවසන් කළේ මෙම ප්‍රබල වදන් පෙළ සමඟිනුයි. “මුළු ඊශ්‍රායෙල් ජාතියම දැනගත යුතු දෙයක් මම සඳහන් කරන්න කැමතියි. එනම් ඔබ කණුවක ඇණ ගසා මරා දැමූ ඒ යේසුස්ව, දෙවි දැන් ස්වාමීන් සහ ක්‍රිස්තුස් හැටියට පත් කර තිබෙනවා!” (ක්‍රියා 2:36) පේතෘස්ගේ කතාවට සවන් දුන් බොහෝදෙනෙකු යේසුස්ගේ මරණයට පෞද්ගලිකව සම්බන්ධ වී නොසිටියත් ඊට වග කිව යුතු යුදෙව් ජාතියට ඔවුන් අයත්ව සිටියා. ඒ නිසා ඔවුන් යේසුස්ගේ මරණයට යම් දුරකට වග කිව යුතු වුණා. නමුත් පේතෘස් ඔවුන්ව ඇමතුවේ ඉතා ගෞරවනීය ආකාරයකිනුයි. ඒ අවස්ථාවේ පේතෘස් උත්සාහ කළේ ඔවුන්ව හෙළාදැකීමට නොව ඔවුන්ගේ හදවතටම කතා කර පසුතැවිලි වීමට ඔවුන්ව පෙලඹවීමටයි. පේතෘස් පැවසූ දේවලට සෙනඟ ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඔවුන්ට කෝපයක් ඇති වුණාද? නැහැ. “හදවත පැලෙන තරම් වේදනාවක්” ඔවුන්ට ඇති වූ අතර මහත් හැඟීමකින් යුතුව, “අපි දැන් මොනවාද කරන්න ඕනේ” කියා ඔවුන් ඇසුවා. පේතෘස්ගේ කතාව ඔවුන්ගේ හදවතට කොතරම් කාවැදුණාද කියනවා නම් පසුතැවිලි වීමට ඔවුන් තුළ පෙලඹීමක් ඇති වුණා.—ක්‍රියා 2:37.

14 දේශනා සේවයේදී අපටත් පේතෘස්ව ආදර්ශයට ගත හැකියි. අප ශුභාරංචිය ගැන සාක්ෂි දරන විට වැරදි මත තිබෙන සමහරක් අයව අපට හමු වෙනවා. එවැනි අවස්ථාවලදී ඔවුන්ට තිබෙන සෑම වැරදි මතයක්ම අප නිවැරදි කළ යුතු නැහැ. ඒ වෙනුවට ඔවුන් එකඟ වන යම් කාරණයක් ගැන කතා කිරීමෙන් බයිබලයේ ඒ සම්බන්ධයෙන් පවසා තිබෙන දේ ගැන පැහැදිලි කර දීමට අපට හැකි වෙනවා. එලෙස කටයුතු කිරීමෙන් හොඳ ප්‍රතිඵල නෙළාගැනීමට අපට හැකි වෙයි.

‘ඔබ සියලුදෙනා බව්තීස්ම වෙන්න’ (ක්‍රියා 2:38-47)

15. (අ) තම කතාවට හොඳ ප්‍රතිචාරයක් දැක්වූ අයට පේතෘස් පැවසුවේ කුමක්ද? එහි ප්‍රතිඵලය කුමක්ද? (ආ) දහස් ගණනක් දෙනා එදා බව්තීස්ම වීමට ගත් තීරණය හිතන්නේ බලන්නේ නැතුව ගත් තීරණයක් නොවෙයි කියා පැවසිය හැක්කේ ඇයි?

15 ඒ සුවිශේෂී දවසේදී තමා පැවසූ දේවලට හොඳ ප්‍රතිචාරයක් දැක්වූ යුදෙව්වන්ට හා යුදෙව් ආගමට හැරුණු අයට පේතෘස් මෙසේ පැවසුවා. “ඔබ සියලුදෙනා පසුතැවිලි වෙන්න. . . . බව්තීස්ම වෙන්න.” (ක්‍රියා 2:38) එහි ප්‍රතිඵලයක් ලෙස යෙරුසලමේ හෝ ඒ අවට තිබූ පොකුණුවල 3,000දෙනෙක් පමණ බව්තීස්ම වුණා. * එසේ බව්තීස්ම වීමට ඔවුන් ගත් තීරණය වැඩිදුර හිතන්නේ බලන්නේ නැතුව ගත් තීරණයක්ද? බයිබලය ගැන ඉගෙනගන්න අයටත් ක්‍රිස්තියානි දෙමාපියන් යටතේ හැදී වැඩෙන දරුවන්ටත් කිසි සූදානමක් නැතුව හදිස්සියේ බව්තීස්ම විය හැකි බව ඉන් අදහස් වෙනවාද? කොහෙත්ම නැහැ. එදා බව්තීස්ම වූ අයට දේවවචනය ගැන හොඳ අවබෝධයක් තිබුණා. එමෙන්ම ඔවුන් ඒ වන විට දෙවිට කැප වූ ජාතියේ සාමාජිකයන්ව සිටියා. දුර බැහැර සිට උත්සවයක් සඳහා යෙරුසලමට පැමිණ සිටීමෙන් දෙවිට නමස්කාර කිරීම සඳහා ඔවුන්ට සැබෑ උද්‍යෝගයක් තිබූ බවත් පැහැදිලි වුණා. නමුත් දෙවිගේ අනුමැතිය ඇතුව දිගටම දෙවිට සේවය කිරීමට නම් දෙවිගේ අරමුණු යේසුස් විසින් ඉටු කරන ආකාරය ගැන ඔවුන් අවබෝධයක් ලබාගත යුතුව තිබුණා. පේතෘස් ඉදිරිපත් කළ කතාවෙන් පසු ඒ ගැන අවබෝධය ලැබූ ඔවුන්, යේසුස්ගේ අනුගාමිකයන් ලෙස බව්තීස්ම වුණා.

16. පළමුවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන් පරිත්‍යාගශීලිත්වය පෙන්වූයේ කෙසේද?

16 “යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වූ [ඒ] සියලුදෙනාම තමන් සතු සියලු දේවල් එකිනෙකා අතරේ බෙදාගත්තෝය. ඔවුහු තමන් සතු ඉඩම්ද වෙනත් දේවල්ද විකුණා, ඉන් ලැබූ මුදල එකිනෙකාගේ අවශ්‍යතා පිරිමසාගැනීම සඳහා සියල්ලන් අතරේ බෙදා දුන්නෝය” කියා වාර්තාවේ තවදුරටත් සඳහන් වෙනවා. * (ක්‍රියා 2:44, 45) යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔවුන්ට ලැබුණු බව ඉන් පැහැදිලි වෙනවා. එදා ඔවුන් එකිනෙකාට පෙන්වූ ප්‍රේමය හා පරිත්‍යාගශීලිත්වය අද දින සිටින ක්‍රිස්තියානීන්ට කදිම ආදර්ශයක්!

17. බව්තීස්ම වීමට පෙර ගත යුතු පියවර මොනවාද?

17 දෙවිට කැප වී බව්තීස්ම වීමට නම් පියවර කිහිපයක් ගත යුතුයි. ඒවා මොනවාද කියා බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මුලින්ම දෙවිගේ වචනය හොඳින් අධ්‍යයනය කර නිවැරදි දැනුමක් ලබාගත යුතුයි. (යොහ. 17:3) ඉන්පසු ඒ දැනුම පදනම් කරගෙන විශ්වාසය ගොඩනඟා ගත යුතු අතර කලින් තමන් කළ වැරදි ගැන අවංකව පසුතැවිලි විය යුතුයි. (ක්‍රියා 3:19) එසේ පසුතැවිලි වූ පසු ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන දෙවිගේ කැමැත්තට එකඟව ක්‍රියා කළ යුතුයි. (රෝම 12:2; එෆී. 4:23, 24) යාච්ඤාවෙන් දෙවිට කැප වී බව්තීස්ම විය යුත්තේ ඉන් අනතුරුවයි.—මතෙ. 16:24; 1 පේතෘ. 3:21.

18. යේසුස්ගේ අනුගාමිකයෙකු වීම උතුම් වරප්‍රසාදයක් වන්නේ ඇයි?

18 ඔබ කැප වී බව්තීස්ම වූ යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක්ද? එසේනම් ඉතා පැහැදිලි සාක්ෂියක් දරමින් යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීමට ඔබට ලැබී තිබෙන එම ප්‍රස්තාව මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! එදා සිටි ගෝලයන් දෙවිගේ බලයෙන් බලවත් වී සාර්ථක සේවයක් කළා සේම ඔබටත් එම සේවය දෙවිගේ උපකාරයෙන් සාර්ථකව කළ හැකි බව කිසිදා අමතක නොකරන්න.

^ 2 ඡේ. ක්‍රියා පොතේ සඳහන් වන්නේ, “ගිනිදලු” සෑම ගෝලයෙකුගේම ‘හිසට ඉහළින් දැල්වුණු’ බවයි. ඉන් අදහස් කළේ සැබෑ ගිනිදලු නොවෙයි. ගෝලයන්ගේ හිසට ඉහළින් දැල්වුණේ ගිනිදලු හා සමාන පෙනුමකින් හා දීප්තියකින් යුත් යමක්.

^ 15 ඡේ. වර්ෂ 1993 අගෝස්තු 7වෙනිදා යුක්රේනයේ කීව්හි පැවති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවේදී 7,402නෙකුව තටාක හයක බව්තීස්ම කළා. ඒ සියලුදෙනාවම බව්තීස්ම කිරීම සඳහා පැය දෙකයි විනාඩි පහළොවක් ගත වුණා.

^ 16 ඡේ. දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි අය ක්‍රිස්තුස් ගැන තව තවත් තොරතුරු ඉගෙනගැනීම සඳහා යෙරුසලමේ යම් කාලයක් නැවතී සිටි නිසා කෙටි කලකට එවැනි සැලැස්මක් ක්‍රියාත්මක වුණා. ඔවුන් එකිනෙකා අතරේ දේවල් බෙදාගත්තේ සිය කැමැත්තෙන් මිස කොමියුනිස්ට්වාදීන් කරන ආකාරයට නොවෙයි.—ක්‍රියා 5:1-4.

^ 64 ඡේ. මෙම නුවර මෙම්ෆිස් යන නමින්ද හැඳින්වූවා.