Skip to content

පටුනට යන්න

19වෙනි පරිච්ඡේදය

“නිර්භීතව දිගටම කතා කරන්න. ඔබේ උත්සාහය අත්හරින්න එපා”

“නිර්භීතව දිගටම කතා කරන්න. ඔබේ උත්සාහය අත්හරින්න එපා”

තම අවශ්‍යතා සපුරාගැනීමට යම් රැකියාවක් කළත් පාවුල් සේවයට මුල් තැන දෙයි

ක්‍රියා 18:1-22

1-3. පාවුල් කොරින්තියට පැමිණි හේතුව කුමක්ද? ඔහු ඉදිරියේ තිබූ අභියෝග මොනවාද?

මේ ගෙවී යන්නේ ක්‍රි.ව. 50 අවසන් මාස කිහිපයයි. පාවුල් දැන් සිටින්නේ කොරින්ති නුවරෙයි. මෙය ඉතා ධනවත් මෙන්ම ප්‍රසිද්ධ වෙළඳ මධ්‍යස්ථානයක්. ග්‍රීකවරුන්, රෝමවරුන් හා යුදෙව්වන් වැනි විවිධ ජාතීන් විශාල සංඛ්‍යාවක් මෙම නුවරේ ජීවත් වෙනවා. * කෙසේවෙතත් පාවුල් මෙම නුවරට පැමිණියේ ව්‍යාපාරයක් කිරීමේ අරමුණින්වත් හොඳ රැකියාවක් සොයාගැනීමේ අරමුණින්වත් නොවෙයි. ඇත්තෙන්ම ඔහු කොරින්තියට පැමිණියේ දේවරාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් ලබා දීමේ අරමුණිනුයි. නමුත් අන් අයට බරක් වී එම සේවය ඉටු කිරීමට ඔහු කැමති වුණේ නැහැ. ඔහු කරන සේවය නිසා ඔහුට අවශ්‍ය දේවල් අන් අය සැපයිය යුතුයි කියා ඔහු සිතුවෙත් නැහැ. ඒ නිසා දැන් ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා.

2 පාවුල් කොරින්තියේ සිටින කාලය තුළදී නවාතැන් ගන්නේ කොහේද? ඔහු තම අවශ්‍යතා සපුරාගන්නේ කෙසේද? ඒ සඳහා ඔහු කුමක් කරයිද? කූඩාරම් සෑදීමේ කර්මාන්තය පාවුල් ඉගෙනගෙන තිබුණා. ඇත්තයි, එය එතරම් ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. නමුත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට කැමැත්තෙන් සිටි පාවුල්, අවස්ථාව ලැබුණොත් තම අවශ්‍යතා සපුරාගැනීම සඳහා එම වැඩය වුණත් කරයි. මෙවැනි ජනාකීර්ණ නගරයක රැකියාවක් සොයාගැනීම, නවාතැන් ගැනීම සඳහා සුදුසු තැනක් සොයාගැනීම වැනි අභියෝග පාවුල් ඉදිරියේ තිබුණත් ඔහු කොරින්ති නුවරට පැමිණි කාර්යය ඉටු කිරීමට ඔහු ඒවා බාධාවක් කරගත්තේ නැහැ.

3 පාවුල් කොරින්ති නුවරේ සෑහෙන කාලයක් ගත කළා. ඔහු එම කාලය තුළදී හොඳ සේවයකුත් ඉටු කළා. කොරින්ති නුවරේදී ඔහු කටයුතු කළ ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

‘ඔවුන් කූඩාරම් සෑදීමේ කාර්යයේ එකට නිරත වුණා’ (ක්‍රියා 18:1-4)

4, 5. (අ) කොරින්තියේදී පාවුල් නවාතැන් ගත්තේ කොහේද? එහිදී ඔහු රැකියාවක් ලෙස කළේ කුමක්ද? (ආ) කූඩාරම් සෑදීම වැනි කර්මාන්තයක් පාවුල් ඉගෙනගෙන තිබුණේ ඇයි?

4 කොරින්තියට පැමිණ ටික කාලයකට පසු පාවුල්ට යුදෙව් ජාතික අකිලා නම් තැනැත්තාව හා ඔහුගේ භාර්යාව වූ ප්‍රිසිලාව (හෝ, ප්‍රිස්කාව) හමු වුණා. ඔවුන් දෙදෙනා කොරින්තියට පැමිණ තිබුණේ ක්ලෝදියස් නම් අධිරාජ්‍යයා ‘සියලු යුදෙව්වරුන්ට රෝමයෙන් පිට වී යන ලෙස අණ කර තිබූ නිසයි.’ (ක්‍රියා 18:1, 2) ඔවුන් අන් අයට උදව් උපකාර කිරීමට කැමැත්තෙන් සිටි යුවළක්. අකිලා හා ප්‍රිසිලා ඔවුන්ගේ නිවසේ නවාතැන් ගන්නා ලෙස පාවුල්ට ආරාධනා කළ අතර ඔවුන් කරමින් සිටි රැකියාවට හවුල් වන ලෙසද පවසා සිටියා. ‘ඔවුන් තමා මෙන් රැකියාව ලෙස කරන්නේ කූඩාරම් සෑදීම බව දැනගත් පාවුල්, ඔවුන්ගේ නිවසේ නැවතී සිටි අතර කූඩාරම් සෑදීමේ කාර්යයේ එකට නිරත වූ’ බව වාර්තාවේ සඳහන් වෙනවා. (ක්‍රියා 18:3) පාවුල් කොරින්තියේ නතර වී සිටි කාලය පුරාම නවාතැන් ගත්තේ ඔවුන්ගේ නිවසෙයි. බයිබලයට ඇතුළත් කර තිබෙන සමහරක් ලිපි පවා ඔහු ලියන්න ඇත්තේ ඔවුන්ගේ නිවසේ සිටි කාලයේදී විය හැකියි. *

5 “ගමාලියෙල්ගේ පාමුල ඉඳගෙන” හොඳ අධ්‍යාපනයක් ලැබූ පාවුල් වගේ කෙනෙක්, කූඩාරම් සෑදීම වැනි කර්මාන්තයක් ඉගෙනගෙන තිබුණේ ඇයි? (ක්‍රියා 22:3) පළමුවෙනි සියවසේ සිටි යුදෙව්වන් තම දරුවන් යම් කර්මාන්තයක් ඉගෙනගැනීම වැදගත් දෙයක් ලෙස සැලකුවා. උසස් අධ්‍යාපනයක් ලබන අය වුණත් යම් කර්මාන්තයක් ඉගෙනගැනීම පහත් දෙයක් ලෙස නොසැලකුවේ ඒ නිසයි. පාවුල් පැමිණියේ කූඩාරම් සඳහා යොදාගන්නා රෙදිවලට ප්‍රසිද්ධ සිලීසියාව නම් පළාතේ ටාසස් නුවරෙන් නිසා ඔහු තරුණ වයසේදීම කූඩාරම් සෑදීමේ කර්මාන්තය ඉගෙනගන්න ඇති. කූඩාරම් සෑදීමේ කර්මාන්තයට ඒ සඳහා යොදාගත් රෙදි විවීම හෝ ඒ ගන රෙදි කොටස්වලට කපා කූඩාරමක් සේ මූට්ටු කිරීම ඇතුළත් වුණා. ඒ කුමන දේ කළත් ඒවා එතරම් ලෙහෙසි පහසු කාර්යයන් නොවෙයි.

6, 7. (අ) තම රැකියාව පාවුල් සැලකුවේ කෙසේද? අකිලාට හා ප්‍රිසිලාට එම ආකල්පයම තිබූ බව පැහැදිලි වන්නේ කුමන තොරතුරුවලින්ද? (ආ) පාවුල්ගේ, අකිලාගේ හා ප්‍රිසිලාගේ ආදර්ශය අද දින ක්‍රිස්තියානීන් අනුගමනය කරන්නේ කෙසේද?

6 කූඩාරම් සෑදීම පාවුල් තම ජීවිතයේ ප්‍රධාන කාර්යය ලෙස සැලකුවේ නැහැ. ඔහු එම කර්මාන්තයේ නියැලුණේ ඔහුගේ ජීවිතයේ ප්‍රධාන වැඩය වූ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය අන් අයට බරක් නොවී ඉටු කිරීම සඳහායි. (2 කොරි. 11:7) එම කර්මාන්තයේ නියැලුණු අකිලා හා ප්‍රිසිලා ගැන පැවසිය හැක්කේ කුමක්ද? මෙම ක්‍රිස්තියානි යුවළටත් තිබුණේ පාවුල්ට තිබූ ආකල්පයම බවට කිසිම සැකයක් නැහැ. ක්‍රිස්තු වර්ෂ 52දී පාවුල් කොරින්ති නුවරින් පිටත්ව ගිය විට ඔවුන් දෙදෙනාත් පාවුල් සමඟ එෆීසයට ගියා. එෆීසයේ පිහිටෙවූ ක්‍රිස්තියානි සභාව රැස් වුණේ ඔවුන්ගේ නිවසෙයි. (1 කොරි. 16:19) පසුව ඔවුන් රෝමයට ගිය අතර නැවතත් එෆීසයට පැමිණියා. මේ යුවළ ශුභාරංචිය දේශනා කිරීම හා සම්බන්ධ කටයුතුවලට මුල් තැන දුන් බවත් අන් අය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සැදී පැහැදී සිටි බවත් ඒ තොරතුරුවලින් පැහැදිලි වෙනවා. ‘විවිධ ජාතීන්ට අයත් සභා බොහොමයක’ සිටි සහෝදර සහෝදරියන් ඔවුන්ට ස්තුතිවන්ත වුණේ ඒ නිසයි.—රෝම 16:3-5; 2 තිමෝ. 4:19.

7 අද දින සැබෑ ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් පාවුල්, අකිලා හා ප්‍රිසිලාගේ ආදර්ශය අනුගමනය කරනවා. අන් අයට බරක් නොවීම සඳහා ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කරනවා. (1 තෙස. 2:9) උදාහරණයකට පූර්ණකාලීනව දෙවිට සේවය කරන බොහෝදෙනෙක් තම අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා අර්ධකාලීනව හෝ යම් කෙටි කාලයකට සීමා වූ රැකියාවල නිරත වෙනවා. තවත් සමහරදෙනෙක් තම නිවෙස් චාරිකා සේවකයන්ට නවාතැන් ගැනීම සඳහා කැමැත්තෙන්ම ලබා දෙනවා. ‘නිතරම ආගන්තුක සත්කාරය පෙන්වීමට පුරුදු වී’ සිටින එවැනි අය අන් අයට උදව් උපකාර කිරීමෙන් මොන තරම් දිරිගැන්වීමක් ලබනවාද!—රෝම 12:13.

‘කොරින්තියේ වැසියන් බොහෝදෙනෙකු තුළ විශ්වාසයක් ඇති වුණා’ (ක්‍රියා 18:5-8)

8, 9. වෙහෙස මහන්සි නොබලා පාවුල් කළ සේවයට යුදෙව්වන් විරුද්ධ වූ විට ඔහු ක්‍රියා කළේ කෙසේද? එම සිද්ධියෙන් පසු ඔහු ශුභාරංචිය දේශනා කළේ කොහේ සිටද?

8 පාවුල් තමා කරමින් සිටි රැකියාවට නොව ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට මුල් තැන දුන් බව සීලස් හා තිමෝති මැසිඩෝනියාවේ සිට පැමිණි පසු සිදු වූ දෙයින් තවත් පැහැදිලි වෙනවා. ඔවුන් පැමිණෙන විට පාවුල්ට අවශ්‍ය දේවල් රැගෙන ආ නිසා ඔහු මුළු කාලයම ශුභාරංචිය දේශනා කිරීම සඳහා යෙදෙව්වා. (2 කොරි. 11:9) ඒ ගැන වාර්තාවේ පවසන්නේ, “පාවුල් ඔවුන් සමඟ එක්ව වෙහෙස මහන්සි නොබලා ඉතා උද්‍යෝගයෙන් දෙවිගේ පණිවිඩය ගැන කතා කරන්න පටන්ගත්” බවයි. (ක්‍රියා 18:5) කෙසේවෙතත් තම මුළු කාලයම යොදවා පාවුල් කළ ඒ සේවයට යුදෙව්වන් බොහෝදෙනෙක් විරුද්ධ වුණා. ඔවුන් ක්‍රිස්තුස් හා සම්බන්ධ වටිනා පණිවිඩය ප්‍රතික්ෂේප කළ නිසා ඔහු තම වස්ත්‍ර ගසා දමා ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබ සම්බන්ධයෙන් මම නිදොස්. ඔබේ ලේවලට වග කියන්න සිදු වන්නේ ඔබටමයි! මෙතැන් පටන් මම යන්නේ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතටයි.”—ක්‍රියා 18:6; එස. 3:18, 19.

9 සිනගෝගයේ සිට ශුභාරංචිය දේශනා කිරීමට සුදුසු වාතාවරණයක් තවදුරටත් නොතිබුණු නිසා දේශනා කිරීමේ කාර්යය සඳහා තම නිවස ලබා දුන් තිතියස් ජස්ටස් නම් තැනැත්තාගේ නිවසට පාවුල් ගියා. තිතියස් ජස්ටස් යුදෙව් ආගමට හැරුණු කෙනෙකු වූ අතර ඔහුගේ නිවස පිහිටා තිබුණේ සිනගෝගයට යාබදවයි. (ක්‍රියා 18:7) එතැන් සිට ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා සම්බන්ධ කටයුතු පාවුල් සිදු කළේ එම නිවසේ සිටයි. නමුත් කොරින්තියේ සිටි කාලය පුරාම පාවුල් නවාතැන් ගත්තේ අකිලා හා ප්‍රිසිලාගේ නිවසෙයි.

10. වෙනත් ජාතීන්ට අයත් අයට පමණක් දේශනා කිරීමට පාවුල් තීරණය නොකළ බව පැවසිය හැක්කේ ඇයි?

10 “මෙතැන් පටන් මම යන්නේ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතටයි” කියා පැවසීමෙන් පාවුල් අදහස් කළේ යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අයව ඔහු සම්පූර්ණයෙන්ම අත්හැර දැමූ බවද? එසේ පැවසිය නොහැකියි. උදාහරණයකට “සිනගෝගය භාරව සිටි නිලධාරියා වූ ක්‍රිස්පස්ද ඔහුගේ නිවසේ සිටි සියලුදෙනාද ස්වාමීන්ව පිළිගෙන ඔහුගේ අනුගාමිකයෝ වූ” බව වාර්තාවේ සඳහන් වෙනවා. සිනගෝගයට ගිය තවත් සමහරදෙනෙකුද ක්‍රිස්පස් ගත් ක්‍රියාමාර්ගය අනුගමනය කළ බව පැහැදිලියි. “ශුභාරංචියට සවන් දුන් කොරින්තියේ වැසියන් බොහෝදෙනෙකු තුළද විශ්වාසයක් ඇති වී ඔවුහු බව්තීස්ම වූහ” කියාත් වාර්තාවේ පවසා තිබෙනවා. (ක්‍රියා 18:8) ක්‍රියා පොතෙහි සඳහන් සිද්ධීන් ලූක් වාර්තා කර තිබෙන්නේ ඒවා සිදු වූ අනුපිළිවෙළට අනුව නම් යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරී සිටි ඔවුන්, යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වුණේ පාවුල් තම වස්ත්‍ර ගසා දමා වෙනත් ජාතීන් වෙතට යනවා කියා පැවසීමෙන් පසුව බව සිතිය හැකියි. ඉන් පැහැදිලි වන්නේ, “මෙතැන් පටන් මම යන්නේ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතටයි” කියා පාවුල් පැවසුවත් උනන්දුවක් දැක්වූ යුදෙව්වන්ට යේසුස්ගේ අනුගාමිකයන් වීමට ඔහු උපකාර කළ බවයි. එසේ කොරින්ති නුවරේ පිහිටෙවූ අලුත් ක්‍රිස්තියානි සභාව රැස් වුණේ තිතියස් ජස්ටස්ගේ නිවසෙයි.

11. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පාවුල්ව ආදර්ශයට ගන්නේ කෙසේද?

11 බොහෝ රටවල ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් ස්ථාපිත කර තිබෙන අතර එම ආගම්වල සිටින නායකයන්ට සෑහෙන බලතල තිබෙනවා. තවත් රටවල හා දූපත්වල ජීවත් වන බොහෝදෙනෙකුව ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වලට හරවාගැනීමට මිෂනාරිවරුන් සමත් වී තිබෙනවා. තමන් ක්‍රිස්තියානියයි කියාගන්නා එවැනි අය පළමුවෙනි සියවසේ කොරින්තියේ ජීවත් වූ යුදෙව්වන් මෙන් චාරිත්‍ර වාරිත්‍රවලට වහල් වී සිටිනවා. ඊට හේතුව ශුද්ධ ලියවිල්ල ගැන නිසි අවබෝධයක් ඔවුන්ට නොතිබීමයි. පාවුල් මෙන් අපත් එවැනි අයට ශුද්ධ ලියවිල්ල ගැන නිවැරදි අවබෝධයක් ලබාගැනීමට උපකාර කරනවා. සමහර අවස්ථාවලදී ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වලට අයත් අය හා ඔවුන්ගේ ආගමික නායකයන් අප කරන සේවයට විරුද්ධවාදිකම් එල්ල කරනවා. නමුත් අප කරන වැඩය අප නතර කරන්නේ නැහැ. මන්ද නිවැරදි දැනුමක් නොමැතිකම නිසා තමන්ගේ ආගම දහම වෙනුවෙන් මහත් උද්‍යෝගයෙන් කටයුතු කරන එවැනි අය අතරේ අවංක හදවත් ඇති අය සිටින බව අප දන්නවා. කෙසේ හෝ එවැනි අයව සොයාගැනීම අපේ ආශාවයි.—රෝම 10:2.

“මේ නුවරේ මට එකතු වෙන තවත් බොහෝදෙනෙක් සිටිනවා” (ක්‍රියා 18:9-17)

12. දර්ශනය මාර්ගයෙන් පාවුල්ට ලැබුණු දිරිගැන්වීම කුමක්ද?

12 තමන් දිගටම කොරින්තියේ සේවය කරනවාද නැත්නම් වෙනත් ප්‍රදේශයකට යනවාද කියා පාවුල් කල්පනා කරමින් සිටියා නම් ස්වාමීන් වන යේසුස් දර්ශනයක් මාර්ගයෙන් පැවසූ මේ දෙයින් ඔහු කල්පනා කරමින් සිටි දෙයට පිළිතුරක් ලැබෙන්න ඇති. “කිසි දෙයකට භය වෙන්න එපා. නිර්භීතව දිගටම කතා කරන්න. ඔබේ උත්සාහය අත්හරින්න එපා. මම ඔබ සමඟ සිටින බව නිතරම මතක තබාගන්න. ඔබට පහර කන්න සිදු වුණත් එයින් ඔබේ ජීවිතයට අනතුරක් වන්නේ නැහැ. මන්ද මේ නුවරේ මට එකතු වෙන තවත් බොහෝදෙනෙක් සිටිනවා.” (ක්‍රියා 18:9, 10) ජීවිතයට අනතුරක් විය හැකි දේවලින් ඔහුව ආරක්ෂා කරන බවට ස්වාමීන් වූ යේසුස් ඔහුට සහතික වුණා. එම නුවරේ යේසුස්ගේ අනුගාමිකයන් වීමට තව බොහෝදෙනෙකු සිටින බවත් යේසුස් ඔහුට ස්ථිරවම පැවසුවා. තමා දුටු ඒ දර්ශනයෙන් පාවුල් මහත් දිරිගැන්වීමක් ලැබූ බව නිසැකයි. “ඔහු ඔවුන් අතරේ දෙවිගේ පණිවිඩය උගන්වමින් එහි අවුරුද්දකුත් මාස හයක් ගත කළේය” කියා වාර්තාවේ සඳහන් වීමෙන් ඒ බව සනාථ වෙනවා.—ක්‍රියා 18:11.

13. විනිශ්චයාසනය වෙතට ඇදගෙන යන විට පාවුල්ට කුමන සිද්ධිය මතක් වෙන්න ඇද්ද? ඒ දේ තමාට සිදු නොවෙයි කියා සිතීමට ඔහුට තිබූ හේතුව කුමක්ද?

13 කොරින්තියේ අවුරුද්දක් ගත කළ පසු සිදු වූ සිද්ධියකින් යේසුස්ගේ උපකාරය තමන්ට තිබෙන බව පාවුල්ට තවත් තහවුරු වුණා. එම සිදුවීමට මුල් වූ දෙය වාර්තාවේ සඳහන් වන්නේ මෙලෙසයි. ‘යුදෙව්වරු එකා මෙන් පාවුල්ට විරුද්ධව එකතු වී ඔහුව අල්ලාගෙන විනිශ්චයාසනය ඉදිරියට ගෙනාවා.’ (ක්‍රියා 18:12) සමහර අය පවසන්නේ මෙහිදී විනිශ්චයාසනය කියා යොමු දැක්වූයේ නිල් හා සුදු පැහැති කිරිගරුඬින් නිමවා තිබූ, විවිධ කැටයම්වලින් අලංකාර කර තිබූ තරමක් උස් වූ වේදිකාවකට බවයි. එය කොරින්ති නුවරේ තිබූ වෙළඳපොළේ මැදට වෙන්න පිහිටා තිබෙන්න ඇති. පිරිසකට රැස් විය හැකි ඉඩ ප්‍රමාණයක්ද එම වේදිකාව ඉදිරියේ තිබෙන්න ඇති. පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙන තොරතුරුවලට අනුව විනිශ්චයාසනය පිහිටා තිබෙන්න ඇත්තේ සිනගෝගයට නුදුරින් කියා සිතිය හැකියි. එසේනම් එය පිහිටා තිබුණේ ජස්ටස්ගේ නිවසට නුදුරින් කියාත් සිතන්න පුළුවන්. යුදෙව්වන් විනිශ්චයාසනය වෙතට පාවුල්ව ඇදගෙන යන විට ස්තේපන්ව ගල් ගසා මරා දැමූ සිද්ධිය පාවුල්ගේ මතකයට නැඟෙන්න ඇති. ක්‍රිස්තියානීන් අතරින් තම විශ්වාසයන් නිසා දිවි පිදූ පළමු තැනැත්තා වුණේ ස්තේපනුයි. ‘ස්තේපන්ව එලෙස ගල් ගසා මරා දැමීමට’ පාවුල්ගේ සහයෝගයත් ලැබුණා. (ක්‍රියා 8:1) ස්තේපන්ට සිදු වූ දෙය දැන් පාවුල්ටත් සිදු වෙයිද? එසේ සිතිය නොහැකියි. මන්ද “ඔබේ ජීවිතයට අනතුරක් වන්නේ නැහැ” කියා යේසුස් ඔහුට පොරොන්දු වී තිබුණා.—ක්‍රියා 18:10.

“විනිශ්චයාසනය ඉදිරියේ සිටි ඔවුන්ව ඔහු වහාම විසුරුවාහැරියේය.”—ක්‍රියා 18:16

14, 15. (අ) යුදෙව්වන් පාවුල්ට විරුද්ධව කළ චෝදනාව කුමක්ද? ගලියෝ නඩුව විසුරුවාහැරියේ ඇයි? (ආ) සොස්තනේස්ට සිදු වුණේ කුමක්ද? එහි ප්‍රතිඵලය කුමක්ද?

14 යුදෙව්වන් පාවුල්ව ගෙනාවේ ඇකේයා පළාතේ ආණ්ඩුකාරයා වූ ගලියෝ නම් විනිසුරු ඉදිරියටයි. ඔහු රෝම දාර්ශනිකයෙකු වූ සෙනෙකාගේ වැඩිමල් සහෝදරයායි. එම විනිසුරුවා ඉදිරියට පාවුල්ව ගෙනා යුදෙව්වන්, පාවුල්ට විරුද්ධව මෙම චෝදනාව ඉදිරිපත් කළා. “මේ මිනිසා රජයේ නීතියට විරුද්ධ වන ආකාරයකින් දෙවිට නමස්කාර කරන්න කියා මිනිසුන්ව පොලඹවනවා.” (ක්‍රියා 18:13) ඔවුන් කියා සිටියේ පාවුල් නීතිය කඩ කරමින් මිනිසුන්ව ආගමකට හරවාගන්නා බවයි. නමුත් පාවුල් කිසි “අපරාධයක් හෝ වැරදි දෙයක්” කර නැති බව ගලියෝ තේරුම්ගත්තා. (ක්‍රියා 18:14) එය යුදෙව්වන් අතරේ තිබූ ප්‍රශ්නයක් නිසා ඊට අත ගසන්න ගලියෝ කැමති වුණේ නැහැ. තමාට විරුද්ධව නඟා තිබූ චෝදනාව සම්බන්ධයෙන් පාවුල් යමක් පැවසීමටත් කලින් ගලියෝ නඩුව විසුරුවාහැරීමෙන් ඒ බව සනාථ වෙනවා. පාවුල්ට විරුද්ධව කිසිම දෙයක් කිරීමට නොහැකි වූ නිසා මහත් සේ උදහසට පත් වූ යුදෙව්වන්, ඔවුන්ගේ කෝපය වෙනත් ආකාරයකින් පිට කළා. වාර්තාවේ පවසන්නේ ක්‍රිස්පස් වෙනුවට සිනගෝගය භාරව සිටි නිලධාරියා වූ සොස්තනේස්ව ඔවුන් අල්ලා ‘විනිශ්චයාසනය ඉදිරිපිටදීම ඔහුට තැළූ’ බවයි.—ක්‍රියා 18:17.

15 යුදෙව්වන් එකතු වී සොස්තනේස්ට පහර දෙන විට ගලියෝ ඔවුන්ව වැළැක්වූයේ නැත්තේ ඇයි? පාවුල්ට විරුද්ධව ක්‍රියා කිරීමට යුදෙව්වන්ව පොලඹවන්න ඇත්තේ සොස්තනේස් කියා සමහරවිට ගලියෝ සිතන්න ඇති. ඒ නිසා යුදෙව්වන් අතින් ඔහු ගුටිබැට කෑම සාධාරණයි කියා ඔහු සිතුවා විය හැකියි. ගලියෝ ඒ අවස්ථාවේදී කිසිවක් නොකර සිටියේ ඒ හේතුව නිසාමද කියා නිශ්චිතවම පැවසිය නොහැකියි. නමුත් එම සිද්ධියෙන් හොඳ දෙයක් සිදු වුණා කියා පැවසීමට හේතුවක් තිබෙනවා. අවුරුදු ගණනාවකට පසු පාවුල් කොරින්ති සභාවට ලියූ පළමුවෙනි ලිපියේ සොස්තනේස් නම් සහෝදරයෙකු ගැන සඳහන් වෙනවා. (1 කොරි. 1:1, 2) ඔහු කොරින්තියේදී යුදෙව්වන් අතින් ගුටි කෑ සොස්තනේස් නම් ඔහු ලැබූ ඒ වේදනාකාරී අද්දැකීම සැබෑ ආගම හඳුනාගැනීමට ඔහුට උපකාර වී තිබෙනවා කියා පැවසිය හැකියි.

16. යේසුස් පාවුල්ට දුන් සහතිකය මතකයේ තබාගැනීම වැදගත් වන්නේ ඇයි?

16 “කිසි දෙයකට භය වෙන්න එපා. නිර්භීතව දිගටම කතා කරන්න. ඔබේ උත්සාහය අත්හරින්න එපා. මම ඔබ සමඟ සිටින බව නිතරම මතක තබාගන්න.” යේසුස් ඒ සහතිකය පාවුල්ට ලබා දුන්නේ ඔහු ප්‍රකාශ කළ ශුභාරංචිය යුදෙව්වන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව බව ඔබට මතක ඇති. (ක්‍රියා 18:9, 10) යේසුස් දුන් ඒ සහතිකය අපත් නිතරම මතකයේ තබාගැනීම වැදගත්. විශේෂයෙන්ම අප ඉදිරිපත් කරන පණිවිඩය මිනිසුන් ප්‍රතික්ෂේප කරන විට එම සහතිකය අපට මහත් අස්වැසිල්ලක්. මිනිසුන්ගේ සිත් සෝදිසි කර බලන්නෙත් දෙවි වෙතට ළං වීමට අවංක හදවත් ඇති අය තුළ ආශාවක් ඇති කරන්නෙත් යෙහෝවා දෙවි බව අප කිසිවිටක අමතක නොකළ යුතුයි. (1 සාමු. 16:7; යොහ. 6:44) එය දැන සිටීම අපට පැවරී තිබෙන කාර්යය අත් නෑර උද්‍යෝගයෙන් ඉටු කිරීමට මහත් දිරිගැන්වීමක් නොවේද! “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියා යේසුස් දුන් ආඥාවට කීකරු වන සෑම කෙනෙකුටම ඔහු මෙම සහතිකය දී තිබෙනවා. “මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා.” (මතෙ. 28:19, 20) සෑම අවුරුද්දකම ලක්ෂ තුනක් පමණ එනම් සෑම දවසකම 800ක් පමණ දෙනෙකු බව්තීස්ම වීමෙන් එය සැබෑවක් බව ඔප්පු වී තිබෙනවා.

“යෙහෝවා දෙවි කැමති නම් . . . ” (ක්‍රියා 18:18-22)

17, 18. ගමන අතරතුරේදී පාවුල් කුමන දේවල් ගැන සිහිපත් කරන්න ඇද්ද?

17 පාවුල්ට විරුද්ධව ක්‍රියා කළ අය සමඟ ගලියෝ ක්‍රියා කළ ආකාරය නිසා කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට සාමකාමී කාලයක් උදා වුණාද නැද්ද කියා හරියටම පැවසිය නොහැකියි. කොහොමවුණත් එම සිදුවීමෙන් පසුවත් පාවුල් “දවස් ගණනාවක්ම” කොරින්තියේ නැවතී සිටියා. ක්‍රිස්තු වර්ෂ 52 වසන්ත සමයේදී ඔහු කොරින්තියට කිලෝමීටර් 11ක් පමණ නැඟෙනහිර දෙසින් පිහිටි සෙන්ක්‍රෙයාය නුවරේ සිට සිරියාව බලා නැවෙන් යෑමට අදහස් කළා. ඔහු සෙන්ක්‍රෙයාය නුවරෙන් පිටත්ව යෑමට පෙර “තම හිසකෙස් කොටට කපාගත්” බව වාර්තාවේ සඳහන් වෙනවා. ‘ඔහු එසේ කළේ ඔහු දෙවිට භාරයක් වී සිටි නිසයි.’ * (ක්‍රියා 18:18) ඉන්පසු ඔහු, අකිලා හා ප්‍රිසිලා සමඟ ඊජියන් මුහුද හරහා කුඩා ආසියාවේ පිහිටි එෆීසය බලා ගමන් කළා.

18 ගමන අතරතුරේදී කොරින්තියේ තමා ගත කළ කාලය ගැන පාවුල් සිහිපත් කරන්න ඇති. ඔහු මාස 18ක් පුරා කොරින්තියේ කළ සේවයෙන් හොඳ ප්‍රතිඵල තිබුණා. ජස්ටස්ට, ක්‍රිස්පස්ට, ඔහුගේ පවුලේ අයට හා තවත් බොහෝදෙනෙකුට යේසුස්ගේ අනුගාමිකයන් වීම සඳහා උපකාර කිරීමට ඔහුට පුළුවන් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තියානි සභාවක් කොරින්තියෙත් පිහිටුවනු ලැබුවා. ජස්ටස්ගේ නිවසේ රැස් වූ මෙම සභාව කොරින්තියේ පිහිටෙවූ පළමුවෙනි ක්‍රිස්තියානි සභාවයි. යේසුස්ගේ අනුගාමිකයන් වීමට තමන් උපකාර කළ මේ නවක ක්‍රිස්තියානීන් සඳහා පාවුල්ට ලොකු ආදරයක් තිබුණා. කොරින්තියේ තමන් කළ සේවයට ඔවුන් “සහතිකපත්” බව පසු කාලයක පාවුල් ඔවුන්ට පවසා සිටියෙත් ඔවුන් පිළිබඳ වාර්තාව තම හදවතේ ලියා තිබෙන බව පැවසුවෙත් ඒ නිසයි. යේසුස්ගේ අනුගාමිකයන් වීමට අප උපකාර කරන අය ගැන අපටත් එවැනි හැඟීමක් ඇති වෙනවා. ඇත්තෙන්ම අප කරන සේවයට ඔවුන් “සහතිකපත්” කියා පැවසිය හැකියි.—2 කොරි. 3:1-3.

19, 20. එෆීසයට පැමිණි වහාම පාවුල් කළේ කුමක්ද? සේවය සම්බන්ධයෙන් අප කරන සැලසුම් ගැන අපට පාවුල්ගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?

19 පාවුල් එෆීසයට ගිය වහාම එහි ශුභාරංචිය දේශනා කිරීමට පටන්ගත්තා. ඔහු ‘සිනගෝගයට ඇතුල් වී යුදෙව්වරුන්ට ශුද්ධ ලියවිල්ලේ තොරතුරු තර්කානුකූලව පහදා දුන්නා.’ (ක්‍රියා 18:19) ඒ අවස්ථාවේදී පාවුල් එෆීසයේ රැඳී සිටියේ කෙටි කාලයකට පමණයි. තව කාලයක් එහි නැවතී සිටින්න කියා එෆීසයේ සිටි අය ඔහුගෙන් ඉල්ලා සිටියත් ‘ඔහු ඊට එකඟ වුණේ නැහැ.’ ඔවුන්ගෙන් සමුගෙන යන අවස්ථාවේදී ඔහු ඔවුන්ට පැවසුවේ, “යෙහෝවා දෙවි කැමති නම් මට පුළුවන් වෙයි ඔබව නැවත හමු වෙන්න” කියායි. (ක්‍රියා 18:20, 21) එෆීසයේ තව විශාල වැඩ කොටසක් කිරීමට තිබෙන බව පාවුල් තේරුම්ගත් බවට කිසිම සැකයක් නැහැ. නැවත එහි පැමිණීමට පාවුල් අදහස් කළේ ඒ නිසයි. නමුත් ඔහු පැවසූ වදන්වලින් පැහැදිලි වන්නේ ඔහු එම කාරණය යෙහෝවා දෙවිට භාර දුන් බවයි. ඒ අවස්ථාවේදී ඔහු කටයුතු කළ ආකාරයෙන් අද දින අපට වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. වැඩි සේවයක් කිරීම සඳහා අපට තිබෙන සැලසුම්වලට එකඟව අප යම් පියවර ගත යුතු බව ඇත්තයි. නමුත් පාවුල් මෙන් අපත් ඒ සම්බන්ධයෙන් යෙහෝවා දෙවිගේ කැමැත්ත කුමක්ද කියා සොයා බැලිය යුතුයි. අපි එසේ කරනවා නම් අපි ඇත්තටම කටයුතු කරන්නේ දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟවයි කියා පැවසිය හැකියි.—යාකො. 4:15.

20 අකිලාව හා ප්‍රිසිලාව එෆීසයේ නතර කර පාවුල් සිසේරියට ගියා. ඉන්පසු ඔහු යෙරුසලමට “ගොස්” එහි සභාවේ අයව හමු වූ අතර නැවතත් සිරියාවේ අන්තියෝකියේ පිහිටි තම සභාව බලා පිටත් වුණා. (ක්‍රියා 18:22) ඔහු තම දෙවෙනි මිෂනාරි ගමන සාර්ථකව නිමා කළේ එලෙසයි. ඔහුගේ අවසන් මිෂනාරි ගමන ගැන අපි ඊළඟ කොටසින් සලකා බලමු.

^ 1 ඡේ. පුරාණ කොරින්ති නුවර” නමැති කොටුව බලන්න.

^ 17 ඡේ. පාවුල් දෙවිට වූ භාරය” නමැති කොටුව බලන්න.