Skip to content

පටුනට යන්න

18වෙනි පරිච්ඡේදය

‘දෙවි වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පැතුවොත් ඔහුට ළං වෙන්න හැකි වෙයි’

‘දෙවි වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පැතුවොත් ඔහුට ළං වෙන්න හැකි වෙයි’

එකඟ විය හැකි කරුණු මත පාවුල් තම පණිවිඩය ගොඩනඟයි

ක්‍රියා 17:16-34

1-3. (අ) ඇතන්ස්හි සිටියදී පාවුල්ට මහත් පිළිකුලක් දැනුණේ ඇයි? (ආ) පාවුල් ඉදිරිපත් කළ කතාව සලකා බැලීමෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

පාවුල් දැන් සිටින්නේ ග්‍රීසියේ ඇතන්ස් නුවරෙයි. එම නුවර සොක්‍රටීස්, ප්ලේටෝ හා ඇරිස්ටෝටල් වැනි ලෝක ප්‍රසිද්ධ දාර්ශනිකයන් ඔවුන්ගේ ඉගැන්වීම් පතළ කළ ශාස්ත්‍රීය මධ්‍යස්ථානයක්. එහි සිටින පාවුල්ට දැනෙන්නේ මහත් පිළිකුලක්. මන්ද ඔහු බලන බලන සෑම තැනක්ම රූපවලින් පිරිලා. දේවස්ථානවල, ප්‍රධාන මංසන්ධිවල හා වීථිවල විවිධ දෙවි දේවතාවන්ගේ රූප දකින්න තිබෙනවා. පෙනෙන විදිහට ඇතන්ස් නුවරේ වැසියන් ආගම දහමට ළැදි දෙවි දේවතාවන් රැසකට වන්දනාමාන කරන පිරිසක්. නමුත් සැබෑ දෙවි වන යෙහෝවා රූප නමස්කාරය හෙළාදකින බව පාවුල් හොඳින්ම දන්නවා. (නික්. 20:4, 5) එසේනම් ඔහු තුළ මහත් පිළිකුලක් ඇති වීම පුදුමයක්ද!

2 දැන් නුවරේ වෙළඳපොළට ඇතුල් වන පාවුල් එහිදී දකින දෙයින් මහත් කම්පනයට පත් වෙනවා. එහි වයඹ කෙළවරේ තිබෙන දොරටුව අසල හර්මීස් දෙවියාගේ රූපය සහිතව නිමවා තිබූ කණු රැසක් සිටුවා තිබෙනවා. එම කණුවල දක්නට තිබුණේ ඔහුගේ මුහුණ හා ලිංගේන්ද්‍රය පමණයි. වෙළඳපොළ පුරා විවිධ දෙවිවරුන්ට කැප කළ දේවස්ථානද පිරී තිබෙනවා. රූප නමස්කාරයට එතරම් ළැදි පිරිසකට පාවුල් ශුභාරංචිය කෙසේ දේශනා කරයිද? තම හැඟීම් පාලනය කරගෙන ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔහු මොන වගේ ක්‍රමයක් යොදාගනියිද? සැබෑ දෙවි වෙතට හැරී ඔහුට ළං වීමට මිනිසුන්ට උපකාර කිරීම සඳහා පාවුල් දරන උත්සාහය සාර්ථක වෙයිද?

3 ක්‍රියා 17:22-31හි සඳහන් වන්නේ ඇතන්ස්හි සිටි උගත් පුරුෂයන් පිරිසක් ඉදිරියේ පාවුල් ඉදිරිපත් කළ කතාවයි. එය ඉතා දක්ෂ ලෙසත් ඥානවන්ත ලෙසත් ඉදිරිපත් කළ කතාවක්. එය සලකා බැලීමෙන් අපට කාරණා කිහිපයක් ඉගෙනගත හැකියි. එනම් අපට හමු වන අයව අවංකව ප්‍රශංසා කළ හැකි කාරණයක් හඳුනාගෙන අප ඉදිරිපත් කරන පණිවිඩය ප්‍රකාශ කිරීමට එය අඩිතාලමක් ලෙස යොදාගත හැකි ආකාරය හා තර්කානුකූලව යම් කාරණා ගැන සිතා බැලීමට ඔවුන්ට උපකාර කළ හැකි ආකාර ගැනයි.

“වෙළඳපොළෙහි ගැවසුණු අයට” පාවුල් උගන්වයි (ක්‍රියා 17:16-21)

4, 5. ඇතන්ස් නුවරේදී පාවුල් දේශනා කළේ කුමන ස්ථානවල සිටද? ඔහුට තිබූ අභියෝගය කුමක්ද?

4 පාවුල් තම දෙවෙනි මිෂනාරි ගමනේදී එනම් ක්‍රි.ව. 50දී පමණ ඇතන්ස් නුවරට ගියා. * ඔහු ඇතන්ස් නුවරේ යම් කාලයක් සිටියේ තිමෝති හා සීලස් බෙරීය නුවරේ සිට පැමිණෙන තුරුයි. ඔවුන් පැමිණෙන තෙක් බලා සිටි ඒ කාලය අතරතුරේදී පාවුල් සුපුරුදු පරිදි සිනගෝගයට ගොස් ‘යුදෙව්වරුන්ට ශුද්ධ ලියවිල්ලේ තොරතුරු තර්කානුකූලව පහදා දුන්නා.’ නුවරේ සිටි යුදෙව් නොවන අයට දේශනා කිරීම සඳහා ඔහු ‘වෙළඳපොළටත්’ ගියා. (ක්‍රියා 17:17) ඇක්‍රොපොලිස් නම් බලකොටුවට වයඹින් පිහිටි මෙම වෙළඳපොළ අක්කර 12ක පමණ භූමි ප්‍රදේශයක් පුරා විහිදී තිබුණා. මෙම වෙළඳපොළ බඩු විකිණීමට හෝ මිල දී ගැනීමට පමණක් තිබූ ස්ථානයක් නොවෙයි. නුවරේ ප්‍රධාන මංසන්ධිය මේ වෙළඳපොළ වූ අතර විවිධාකාර දේවල් එහි සිදු වුණා. එක් පොතක සඳහන් වන්නේ ඇතන්ස් නුවරේ පිහිටි මේ වෙළඳපොළ “ආර්ථික, සංස්කෘතික හා දේශපාලන කටයුතු සිදු කළ ප්‍රධාන මධ්‍යස්ථානයක් වූ” බවයි. විවිධ කාරණා ගැන සාකච්ඡා කිරීම සඳහාද එතැනට පැමිණීමට උගතුන් පුරුදුව සිටියා.

5 වෙළඳපොළේ ගැවසුණු අයට දේශනා කිරීම එතරම් ලෙහෙසි දෙයක් වුණේ නැහැ. ඔවුන් අතරේ එපිකියුරිය හා ස්ටොයික දාර්ශනිකයන් සිටියා. ඔවුන් එකිනෙකට විරුද්ධ මත දැරූ පිරිස් දෙකක්. * එපිකියුරිය දාර්ශනිකයන් විශ්වාස කළේ ජීවය අහම්බෙන් ඇති වූ දෙයක් බවයි. ඔවුන්ට ජීවිතය ගැන තිබූ ආකල්පය ඔවුන් විශ්වාස කළ මේ දෙයින් මනාව පැහැදිලි වෙනවා. “දෙවියන්ට භය වෙන්න කිසිම හේතුවක් නැහැ. මරණය වේදනාවක් නොවෙයි. නපුර විඳදරාගත හැකියි.” ස්ටොයික දාර්ශනිකයන් හැඟීම්වලට මුල් තැන නොදුන් අතර සෑම දෙයක්ම හේතු හා තර්ක මත ගොඩනැඟිය යුතුයි කියා පවසා සිටියා. දෙවියන් පුද්ගලයෙකු බව ඔවුන් විශ්වාස කළේ නැහැ. ඊට අමතරව ඔවුන් දෙගොල්ලන්ම යේසුස්ගේ අනුගාමිකයන් ඉගැන්වූ නැවත නැඟිටීම ගැන විශ්වාස කළේ නැහැ. ඒ දේවලින් පැහැදිලි වන්නේ ක්‍රිස්තියානි ඉගැන්වීම් හා එම දාර්ශනිකයන් දැරූ මත අතර කිසිම එකඟතාවක් තිබුණේ නැති බවයි.

6, 7. පාවුල් කළ ඉගැන්වීම්වලට ග්‍රීක උගතුන් සමහරදෙනෙකු ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? අද දිනත් ඒ හා සමාන ප්‍රතිචාරයන් අපට ලැබෙන බව පැවසිය හැක්කේ ඇයි?

6 වෙළඳපොළේ සිට පාවුල් කළ ඉගැන්වීම්වලට ඒ ග්‍රීක උගතුන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? එහි සිටි සමහරදෙනෙක් ඔහුව ‘දොඩවන්නෙකු’ ලෙස හැඳින්වූවා. (ක්‍රියා 17:18) දොඩවන්නා ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයේ අදහස ගැන එක් විශාරදයෙක් මෙවැනි දෙයක් පවසා තිබෙනවා. “එම වචනය මුලින්ම භාවිත කළේ තැනින් තැනට ගොස් ධාන්‍ය අහුලාගත් කුඩා කුරුල්ලෙකුව විස්තර කිරීමටයි. පසුව වෙළඳපොළේ ඉතිරි වන කෑම හා එහේ මෙහේ වැටී තිබෙන දේවල් එකතු කරගත් කෙනෙකුව විස්තර කිරීමට එම වචනය යොදාගත්තා. පසු කාලයකදී එම වචනය විවිධ තැන්වලින් ලබාගත් එක එක තොරතුරු කිසිම හරයක් නැතුව ඉදිරිපත් කරන පුද්ගලයෙකුව විස්තර කිරීමටත් භාවිත කළා.” පාවුල්වත් දොඩවන්නෙකු ලෙස හැඳින්වීමෙන් ඒ උගතුන් පවසා සිටියේ වෙනත් අයගෙන් ලබාගත් තොරතුරු සොයන්නේ බලන්නේ නැතුව මෝඩයෙකු මෙන් ඔහු ඉදිරිපත් කරන බවයි. ඔවුන් ඔහුට එසේ සමච්චල් කළත් පාවුල් සැලුණේ නැහැ.

7 අද දින තිබෙන්නෙත් ඒ හා සමාන තත්වයක්. බයිබලය මත පදනම් අපේ විශ්වාසයන් නිසා අපි බොහෝදෙනෙකුගේ සමච්චලයට ලක් වෙනවා. උදාහරණයකට උගතුන් සමහරදෙනෙකු පවසන්නේ පරිණාමවාදය සත්‍යයක් බවයි. බුද්ධිමත් ඕනෑම කෙනෙකු එය පිළිගන්නා බවත් ඔවුන් කියා සිටිනවා. වෙනත් විදිහකින් පවසනවා නම් එය පිළි නොගන්නා අයව මෝඩයන් ලෙස ඔවුන් හංවඩු ගසනවා. ඒ නිසා අප අවට තිබෙන සෑම දෙයක්ම නිර්මාණයක් බව බයිබලයෙන් හා අවට පරිසරයේ ඇති සාක්ෂිවලින් ඔප්පු කර පෙන්වන විට බොහෝදෙනෙකු සිතන්නේ අප මෝඩයන් මෙන් දොඩවන අය කියායි. නමුත් මිනිසුන්ට අප ගැන තිබෙන එවැනි මත නිසා අපි කවදාවත් සැලෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ පොළොව මත තිබෙන සෑම දෙයක්ම ප්‍රඥාවන්ත කෙනෙකුගේ නිර්මාණයක් බවට වූ සත්‍යය අප මහත් විශ්වාසයකින්, අත් නෑර අන් අයට ප්‍රකාශ කරනවා.—එළි. 4:11.

8. (අ) තවත් සමහරදෙනෙකු පාවුල් පැවසූ දේවලට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) ඔහුව ඇරියොපගස් කන්දට ගෙන ගියේ ඇයි? ( පාදසටහන බලන්න.)

8 පාවුල් පවසමින් සිටි දේවල් ඇසුණු වෙළඳපොළේ සිටි තවත් සමහරක් අය වෙනත් ආකාරයක ප්‍රතිචාරයක් දැක්වූවා. “පෙනෙන විදිහට ඔහු වෙනත් දෙවිවරුන් ගැන කතා කරනවා වගෙයි” කියා ඔවුන් පවසා සිටියා. (ක්‍රියා 17:18) ඇත්තටම පාවුල් කරමින් සිටියේ එය නම් එය බරපතළ කාරණයක්. මන්ද සොක්‍රටීස් නම් දාර්ශනිකයාට මරණ දණ්ඩනය නියම වීමට එක් හේතුවක් වුණෙත් අලුත් දෙවිවරුන්ව ඇතන්ස් වැසියන්ට හඳුන්වා දීමේ චෝදනාවයි. පාවුල්ව ඇරියොපගස් කන්දට ගෙන ගොස් ඔවුන්ට අලුත් දෙයක් වූ ඔහුගේ ඉගැන්වීම් පැහැදිලි කර දෙන ලෙස ඔවුන් ඔහුගෙන් ඉල්ලා සිටියේ ඔහු ඇත්තටම කතා කරන්නේ වෙනත් දෙවිවරුන් ගැනද කියා දැනගැනීම සඳහායි. * ශුද්ධ ලියවිල්ල ගැන දැනුමක් නැති ඒ මිනිසුන්ට පාවුල් කෙසේ ශුභාරංචිය ප්‍රකාශ කරයිද?

“ඇතන්ස්හි පුරුෂයෙනි” (ක්‍රියා 17:22, 23)

9-11. (අ) පාවුල් තමාට සවන් දෙමින් සිටි අයට ශුභාරංචිය ඉදිරිපත් කිරීමට අඩිතාලමක් දැමුවේ කෙසේද? (ආ) දේවසේවයේදී අපට පාවුල්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

9 ඇතන්ස් නුවර පුරා තිබූ රූප නිසා පාවුල් තුළ මහත් පිළිකුලක් ඇති වූ බව ඔබට මතක ඇති. නමුත් පාවුල් තම හැඟීම් පාලනය කරගත්තා. ඔහු ඔවුන්ව හෙළාදකින අයුරින් කතා කළේ නැහැ. ඒ වෙනුවට, “ඇතන්ස්හි පුරුෂයෙනි, දෙවි දේවතාවන් ගැන අන් අයට වඩා ඔබ තුළ මහත් භක්තියක් ඇති බව මට පැහැදිලියි. එය ඔබ කරන හැම ක්‍රියාවකින්ම මම දුටුවා” කියා පවසමින් නුවරේදී දුටු දේවල් යොදාගෙන ඔහු ඔවුන්ව අවංකව ප්‍රශංසා කළා. (ක්‍රියා 17:22) වෙනත් විදිහකින් පවසනවා නම් ඇතන්ස් නුවරේ වැසියන් ආගම දහමට ළැදි අය වීම ගැන ඔහු ඔවුන්ට ප්‍රශංසා කළා. තම පණිවිඩය ප්‍රකාශ කිරීමට ඔහු යොදාගත් එම අඩිතාලම නිසා ඔහුට දිගටම සවන් දීමට ඔවුන් පෙලඹෙන්න ඇති. අසත්‍ය ඉගැන්වීම් හා විශ්වාසයන් නිසා ඔවුන් දෙවි අනුමත නොකරන දේවල් කළත් ඔවුන්ගෙන් සමහරදෙනෙකු අවංක අය බව පාවුල් තේරුම්ගෙන සිටියා. තමාද යම් කාලයකදී ‘නොදැනුවත්කමින් හා කිසි විශ්වාසයක් නැතුව’ ක්‍රියා කළ බව ඔහු අමතක කළේ නැහැ.—1 තිමෝ. 1:13.

10 ඔවුන්ව ප්‍රශංසා කිරීමට හේතුව පැහැදිලි කිරීම සඳහා තමා දුටු එක් දෙයක් ගැන ඊළඟට ඔහු සඳහන් කළා. එනම්, “නාඳුනන දෙවි කෙනෙකුට” කැප කර තිබූ පූජාසනයක් ගැනයි. එක් පොතකට අනුව “‘නාඳුනන දෙවිවරුන්ට’ පූජාසන කැප කිරීම ග්‍රීකවරුන් හා වෙනත් අයට සාමාන්‍ය දෙයක් වී තිබුණා. ඊට හේතුව වුණේ ඔවුන් නමස්කාර කටයුතුවල යෙදෙන විට නොදන්නා දෙවිවරුන්ට නමස්කාර නොකිරීම නිසා එම දෙවිවරුන්ගේ ශාපයට තමන් ලක් වෙයි කියා ඔවුන් තුළ බියක් තිබීමයි. ඒ නිසා ඔවුන් නොදන්නා දෙවිවරුන්ට පූජාසනයක් කැප කර එහිදීත් පුදපූජා ඔප්පු කළා.” ඒ අනුව පාවුල් දුටු පූජාසනයෙන් පැහැදිලි වන්නේ තමන් නොදන්නා එක් දෙවි කෙනෙකු හෝ සිටිනවා කියා ඇතන්ස්හි වැසියන් පිළිගත් බවයි. ශුභාරංචිය දේශනා කිරීමට ඔහු එම කාරණය පදනමක් ලෙස යොදාගත් බව ඔහු ඊළඟට පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “මම දැන් ඔබට කියා දෙන්නේ ඔබ මෙතෙක් නොදැන සිටියත් මහත් භක්තියකින් සැලකූ ඒ දෙවි ගැනයි.” (ක්‍රියා 17:23) ඔහු පැවසූ ඒ දෙයින් තවත් කාරණයක් පැහැදිලියි. එනම් සමහරුන් චෝදනා කළ ලෙස පාවුල් අමුතු හෝ අලුත් දෙවි කෙනෙකුව හඳුන්වා නොදුන් බවයි. ඒ වෙනුවට ඔහු කතා කරමින් සිටියේ ඔවුන් නාඳුනන සැබෑ දෙවි ගැනයි.

11 දේවසේවයේ යෙදෙන විට අපට පාවුල්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද? පාවුල් මෙන් අපත් හොඳ නිරීක්ෂකයන් විය යුතුයි. අප එසේ කරන්නේ අපට හමු වන අයව විනිශ්චය කිරීමේ අරමුණින් නොව පාවුල් මෙන් ඔවුන්ව අවංකව ප්‍රශංසා කිරීම සඳහා යමක් සොයාගැනීමේ අරමුණිනුයි. සේවයේදී අපට හමු වන කෙනෙකු පැළඳ සිටින දෙයක් නිසා හෝ ඔහුගේ නිවසේ නැත්නම් වත්තේ තිබෙන යම් දෙයක් නිසා ඔහු ආගම දහමට ළැදි කෙනෙකු බව අපට පැහැදිලි විය හැකියි. එවැනි අවස්ථාවකදී ඔහුට මෙසේ පැවසිය හැකියි. ‘ඔබ ආගම දහමට ළැදි කෙනෙකු කියලා මට පේනවා. එහෙම කෙනෙකුව හමු වීමට ලැබීම මට සතුටක්.’ කෙනෙකුව එසේ අවංකව ප්‍රශංසා කරන විට අපේ පණිවිඩය ඉදිරිපත් කිරීමට එය හොඳ අඩිතාලමක් වෙනවා. ඇත්තෙන්ම එම ක්‍රමය සාර්ථකයි. මන්ද කලක් අසත්‍ය ආගමික දේවල් මහත් භක්තියකින් ඇදහූ බොහෝදෙනෙක් අද සාක්ෂිකරුවන් වී සිටිනවා.

සවන් දෙන අයගේ පසුබිම තේරුම්ගෙන ඔබේ තර්කය ගොඩනඟන්න

‘දෙවි අපෙන් දුරස්ව සිටින කෙනෙක් නොවෙයි’ (ක්‍රියා 17:24-28)

12. තමන්ට සවන් දෙමින් සිටි අයගේ පසුබිමට අනුව පාවුල් සකස් වුණේ කෙසේද?

12 තමාට සවන් දෙමින් සිටි අයට ග්‍රීක දර්ශන ගැන හොඳ අවබෝධයක් තිබූ බවත් ශුද්ධ ලියවිල්ලේ තිබූ දේවල් ගැන අවබෝධයක් නැති බවත් තේරුම්ගත් පාවුල්, තම පණිවිඩය ඉදිරිපත් කිරීමට විවිධ ක්‍රම යොදාගත්තා. ඔහු යොදාගත් එක් ක්‍රමයක් නම් බයිබලයට කෙළින්ම යොමු දක්වනවා වෙනුවට එහි අදහස ඉදිරිපත් කිරීමයි. තමන් පවසන සමහරක් දේවල් ග්‍රීක පොත්වල සඳහන් වන බව පෙන්වීමට ඔහු ග්‍රීක සාහිත්‍ය පොත්වලින් උපුටා දැක්වීම්ද කළා. “අපි,” “අපේ” වැනි යෙදුම් භාවිත කිරීමෙන්ද තමන් හා ඔවුන් අතර වෙනසක් නැති බව පාවුල් ඇඟෙව්වා. ඔහු තම පණිවිඩය එලෙස ඉදිරිපත් කළ ආකාරය ගැන දැන් අපි සලකා බලමු. එමගින් නාඳුනන දෙවි ගැන ඇතන්ස්හි වැසියන්ට ඔහු එළිදරව් කළ සත්‍යයන් මොනවාද කියා අපට දැනගත හැකියි.

13. විශ්වය ආරම්භ වූ ආකාරය ගැන පාවුල් පැවසුවේ කුමක්ද? ඔහු අවධාරණය කිරීමට උත්සාහ කළේ කුමක්ද?

13 විශ්වයේ නිර්මාතෘ දෙවියි. මේ කාරණය පැහැදිලි කරමින් පාවුල් ඔවුන්ට මෙසේ පැවසුවා. “ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ ඒ දෙවි, ස්වර්ගයෙත් පොළොවෙත් ස්වාමීන් වන නිසා ඔහු මිනිසුන් සාදා ඇති දේවස්ථානවල වාසය කරන්නේ නැහැ.” * (ක්‍රියා 17:24) එසේ පැවසීමෙන් මේ විශ්වය අහම්බෙන් ඇති වූවක් නොව සැබෑ දෙවිගේ නිර්මාණයක් බව ඔහු ඔවුන්ට පෙන්වා දුන්නා. (ගීතා. 146:6) ඇත්තෙන්ම ඒ වගේ ශ්‍රේෂ්ඨ, බලවත් දෙවි කෙනෙකුට මිනිසුන් සාදන දේවස්ථානවල වාසය කළ හැකිද? (1 රාජා. 8:27) එදා ඇතන්ස්හි වැසියන් වන්දනාමාන කළ ඇතීනා නම් දේවතාවියට හා අනිකුත් දෙවි දේවතාවන්ට වඩා සැබෑ දෙවි මොන තරම් වෙනස්ද! එම දෙවි දේවතාවන්ගේ ගෞරවය රඳා පැවතුණේ මිනිසුන් සෑදූ දේවස්ථාන හා පූජාසන මතයි. ඇත්තෙන්ම මෙහිදී පාවුල් අවධාරණය කිරීමට උත්සාහ කළේ මිනිසුන් සෑදූ දේවස්ථානවල හා පූජාසනවල වාසය කරන දෙවි දේවතාවන්ට වඩා සැබෑ දෙවි කොතරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙකුද යන කාරණයයි.—යෙසා. 40:18-26.

14. දෙවි මිනිසුන්ගෙන් යැපෙන්නේ නැති බව පාවුල් පෙන්වා දුන්නේ කෙසේද?

14 දෙවි මිනිසුන්ගෙන් යැපෙන්නේ නැහැ. මේ කාරණය පැහැදිලි කිරීම සඳහා පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. “ඔහු සියලු දෙයින් සම්පූර්ණ දෙවි කෙනෙක්. ඒ නිසා ඔහුට මිනිසුන්ගේ ඇප උපස්ථාන අවශ්‍ය නැහැ.” පාවුල්ට සවන් දෙමින් සිටි අය ඔවුන් වන්දනාමාන කළ දෙවිවරුන්ට අවශ්‍යයි කියා සිතා කෑම බීම, ඇඳුම් පැළඳුම් හා වටිනා තෑගිබෝග වැනි දේවල් ලබා දුන්නා. නමුත් පාවුල්ට සවන් දෙමින් සිටි සමහර ග්‍රීක දාර්ශනිකයන් පාවුල් පවසමින් සිටි ඒ දේට එකඟ වන්න ඇති. මන්ද දෙවි කෙනෙකුට මිනිසුන්ගෙන් දේවල් අවශ්‍ය නැහැ කියා ඔවුන් විශ්වාස කළා. ඇත්තටම “සියලුදෙනාටම ජීවිතයත් හුස්මත් අන් සියලු දේත්” එනම් හිරු එළිය, වර්ෂාව හා සාරවත් බිම් වැනි දේවල් ලබා දෙන දෙවිට මිනිසුන්ගෙන් කිසිම දෙයක් අවශ්‍ය නැහැ.—ක්‍රියා 17:25; උත්. 2:7.

15. ඇතන්ස්හි වැසියන් තුළ තිබූ වැරදි ආකල්පය පාවුල් හෙළි කළේ කෙසේද? ඉන් අපට උගත හැකි පාඩම කුමක්ද?

15 මිනිසුන්ව සෑදුවේ දෙවියි. දෙවි මිනිසුන්ව සෑදූ බව පැවසූ පාවුල්, මෙම වැදගත් කරුණ ගෙනහැර දැක්වූවා. “ඔහු එක මිනිසෙකුගෙන් සියලුම ජාතීන් බිහි කළා.” (ක්‍රියා 17:26) ඒ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ උත්පත්ති වාර්තාවේ සඳහන් මිනිසුන්ගේ ආරම්භය ගැනයි. (උත්. 1:26-28) ඒ අනුව මුළු මිනිස් වර්ගයාම පැවතෙන්නේ එක් පුද්ගලයෙකුගෙන් එනම් ආදම්ගෙන් නිසා කිසිම ජාතියක් තවත් ජාතියකට වඩා උසස් නැහැ. පාවුල්ට සවන් දෙමින් සිටි අය විශ්වාස කළේ ග්‍රීක නොවන ජාතීන්ට වඩා තමන් උසස් කියායි. තම රට ජාතිය ගැන ආඩම්බර හැඟීමක් ඇතුව සිටීම ශුද්ධ ලියවිල්ලට පටහැනි බව පාවුල් ඉතා දක්ෂ ලෙස ඔවුන්ට කාවැද්දුවා. (ද්වි. 10:17) තමන්ට සවන් දෙමින් සිටි අය තුළ තිබූ වැරදි ආකල්පය එලෙස ඔහු හෙළි කළ ආකාරයෙන් අපටත් යමක් ඉගෙනගත හැකියි. අප දේවසේවයේ හවුල් වන විට අපට හමු වන අයගේ පසුබිමට අනුව සකස් වී අපේ පණිවිඩය කරුණාවන්තව ඉදිරිපත් කළ යුතු බව ඇත්තයි. නමුත් ඔවුන්ව සතුටු කිරීමේ අරමුණින් බයිබලයේ සඳහන් සත්‍යයන් අප කිසිවිටක බාල කරන්නේ නැහැ. පාවුල්ද ක්‍රියා කළේ එලෙසයි.

16. මිනිසුන් සඳහා දෙවිට තිබෙන අරමුණ කුමක්ද?

16 දෙවි කැමති වන්නේ මිනිසුන් තමන් සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නවාටයි. පාවුල්ට සවන් දෙමින් සිටි අය අතරේ ජීවිතයේ අරමුණ කුමක්ද කියා විවිධ මත ඉදිරිපත් කළ දාර්ශනිකයන් සිටියා. ඔවුන් කොතරම් මත ඉදිරිපත් කළත් සෑහීමට පත් විය හැකි අයුරින් ඒවා පැහැදිලි කර දීමට ඔවුන් අපොහොසත් වුණා. ඒ නිසා පාවුල් ඊළඟට පහදා දුන්නේ ජීවිතයේ අරමුණ ගැන දෙවි පවසා තිබෙන්නේ කුමක්ද කියායි. ඔහු පැවසුවේ, ‘දෙවිගේ අරමුණ සියල්ලන්ම දෙවි වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පැතීමයි. ඇත්තෙන්ම ඔවුන් ඒ සඳහා මහත් උත්සාහයක් දැරුවොත් ඔහුට ළං වෙන්නත් ඔවුන්ට හැකි වෙයි. එයට හේතුව ඔහු අපෙන් දුරස්ව සිටින කෙනෙක් නොවෙයි’ කියායි. (ක්‍රියා 17:27) පාවුල් පැහැදිලිවම පවසා සිටියේ ඇතන්ස්හි වැසියන් නාඳුනන දෙවි, ඇත්තටම හඳුනාගත හැකි දෙවි කෙනෙකු බවයි. ඔහු ගැන දැනගැනීමට, ඔහුගෙන් මඟ පෙන්වීම් ලබාගැනීමට ආශාවක් තිබෙන අයගෙන් ඔහු දුරස්ව සිටින දෙවි කෙනෙක් නොවෙයි. (ගීතා. 145:18) ඒ අවස්ථාවේදී පාවුල් “අපෙන්” කියා පැවසීමෙන් දෙවිගෙන් මඟ පෙන්වීම් පැතීමට අවශ්‍ය අය අතරට ඔහුවත් ඇතුළත් කළා.

17, 18. දෙවිට ළං වීමට මිනිසුන් තුළ පෙලඹීමක් තිබිය යුත්තේ ඇයි? තම පණිවිඩය සිත්ගන්නා ආකාරයෙන් ඉදිරිපත් කිරීමට පාවුල් යොදාගත් ක්‍රමය අපට අනුගමනය කළ හැක්කේ කෙසේද?

17 දෙවිට ළං වීමට මිනිසුන් තුළ පෙලඹීමක් තිබිය යුතුයි. පාවුල් මෙසේ පැවසුවා. “අපේ ජීවිතයත් පැවැත්මත් අප කරන සෑම දෙයක්මත් රඳා පවතින්නේ ඔහු [දෙවි] මතයි.” ඇතැම් විශාරදයන් පවසන්නේ ක්‍රි.පූ. හයවෙනි සියවසේ විසූ ක්‍රීට් ජාතික එපිමෙනිදීස් නම් කවියෙකු පවසා තිබූ දෙයකට පාවුල් එහිදී යොමු දැක්වූ බවයි. එම කවියා ඇතන්ස් වැසියන්ගේ ආගමික චාරිත්‍ර වාරිත්‍රවලට ඉමහත් බලපෑමක් කළ කෙනෙකු බව බොහෝදෙනෙක් පිළිගන්නවා. පාවුල් තවදුරටත් ඔවුන්ට මෙසේ පැවසුවා. ‘ඇත්තෙන්ම ඔබේ ඇතැම් කවිකාරයන් ඒ ගැන පවසා තිබෙන්නේ, “අපි ඔහුගේ දරුවෝ” කියායි.’ (ක්‍රියා 17:28) ඒ අවස්ථාවේදී පාවුල් කාවැද්දවීමට උත්සාහ කළේ කුමක්ද? මුල් මිනිසාව සෑදුවේ දෙවියි. මුළු මිනිස් වර්ගයාම බිහි වුණේ ඒ මිනිසාගෙන්. ඒ නිසා මුළු මිනිස් වර්ගයාම එක පවුලක් හා සමානයි. ඒ පවුලේ පියාණන් දෙවියි. ඒ නිසා අපේ පියාණන් වන දෙවිට ළං වීමට මිනිසුන් තුළ පෙලඹීමක් තිබිය යුතුයි. ඒ කාරණය සිත්ගන්නා ආකාරයෙන් ඉදිරිපත් කිරීමට පාවුල් තමන්ට සවන් දෙමින් සිටි අයට ග්‍රීක සාහිත්‍ය පොත් පත්වලින් තොරතුරු කිහිපයක්ම උපුටා දැක්වූවා. * දේශනා සේවයේ යන විට සමහර අවස්ථාවලදී ඉතිහාස පොත් පත්වල, විශ්වකෝෂවල හා වෙනත් මූලාශ්‍රවල තිබෙන යම් තොරතුරු ඉදිරිපත් කිරීමට අපටත් හැකියි. උදාහරණයකට යම් උත්සවයක් හෝ ආගමික චාරිත්‍රයක මූලාරම්භය කෙනෙකුට පැහැදිලි කර දීම සඳහා පොදුවේ පිළිගත් මූලාශ්‍රයක සඳහන් තොරතුරක් ඉදිරිපත් කිරීමට අපට පුළුවන්.

18 මේ වන තෙක් තමන්ට සවන් දෙමින් සිටි අයට පාවුල් ඉතා දක්ෂ ලෙස දෙවි ගැන සත්‍යයන් පැහැදිලි කර දුන්නා. මෙතෙක් ඉදිරිපත් කළ තොරතුරුවල වැදගත්කම තේරුම්ගැනීමට ඔහු තමන්ට සවන් දෙමින් සිටි අයට උපකාර කළේ කෙසේද? වෙනත් විදිහකින් පවසනවා නම් තමන් සවන් දුන් දේවලට එකඟව ක්‍රියා කළ හැක්කේ කොයි ආකාරයෙන්ද කියා පාවුල් ඔවුන්ට පෙන්වා දුන්නේ කෙසේද? දැන් අපි ඒ ගැන සලකා බලමු.

“පසුතැවිලි වන්න” (ක්‍රියා 17:29-31)

19, 20. (අ) රූපවලට නමස්කාර කිරීම නිෂ්ඵල දෙයක් බව පාවුල් ඉතා දක්ෂ ලෙස පෙන්වා දුන්නේ කෙසේද? (ආ) පාවුල්ට සවන් දෙමින් සිටි අය කළ යුතුව තිබුණේ කුමක්ද?

19 ග්‍රීක සාහිත්‍ය පොත්වලින් තමා උපුටා දැක්වූ දෙය නැවත මතක් කරමින් පාවුල් මෙසේ පැවසුවා. “අප දෙවිගේ දරුවන් නම් රන්, රිදී හෝ ගල් යොදා මිනිසුන් විසින් සාදා ඇති රූපයකට දෙවිව සමාන කිරීම සුදුසු දෙයක් වන්නේ නැහැ.” (ක්‍රියා 17:29) පාවුල් පවසමින් සිටියේ මිනිසුන්ව සෑදූ දෙවි මිනිසුන්ට වඩා උසස් කෙනෙකු වන නිසා ඔහුව මිනිසුන් විසින් සාදන රූපයකට කොහෙත්ම සමාන කළ නොහැකි බවයි. ඇත්තෙන්ම පාවුල් ඉතා දක්ෂ ලෙස පෙන්වා දුන්නේ මිනිසුන් විසින් සාදන ලද රූපවලට නමස්කාර කිරීම කොතරම් මෝඩ, නිෂ්ඵල දෙයක්ද යන්නයි. (ගීතා. 115:4-8; යෙසා. 44:9-20) එහිදී ඔහු “අප” කියා පවසමින් ඔහුවත් සම්බන්ධ කරගත් නිසා පාවුල් ඔවුන්ව හෙළාදකිනවා යන හැඟීම ඔවුන් තුළ ඇති නොවන්න ඇති.

20 ඔහුට සවන් දෙමින් සිටි අය යම් දෙයක් කළ යුතු බව ඊළඟට ඔහු පැවසූ දෙයින් පැහැදිලියි. ඔහු මෙසේ පැවසුවා. “මිනිසා මෙතෙක් නොදැනුවත්කමින් [රූපවලට නමස්කාර කිරීමෙන් දෙවිව සතුටු කළ හැකියි කියා සිතා] කළ දේ අමතක කර දමන්න දෙවි කැමතියි. ඒ නිසා දැන් ඔහු මුළු මිනිස් වර්ගයාටම කියන්නේ, පසුතැවිලි වන්න කියායි.” (ක්‍රියා 17:30) පාවුල් පැවසුවේ මොන තරම් ප්‍රබල කාරණයක්ද! එය කොතරම් ප්‍රබල වුණත් සත්‍යය එයයි. එනම් ජීවිතයේ උල්පත සැබෑ දෙවි නිසා මිනිසුන් කරන කියන දේවලට අනිවාර්යයෙන්ම ඔවුන් දෙවිට ගණන් දිය යුතු බවයි. ඇතන්ස්හි වැසියන්ටත් පසුතැවිලි වන්න කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. ඇත්තෙන්ම ඔවුන් කළ නමස්කාරය දෙවි අනුමත කළේ නැහැ. ඒ නිසා දෙවිගේ අනුමැතිය ලබාගැනීමට නම් ඔවුන් කරමින් සිටි නමස්කාර පිළිවෙත්වලින් ඔවුන් ඈත් විය යුතු වුණා. ඉන් අදහස් කළේ දෙවි ගැන සත්‍ය තොරතුරු දැනගෙන දෙවිගේ මඟ පෙන්වීම් පතමින් ඊට එකඟව ඔවුන් තම ජීවිත වෙනස් කරගත යුතු බවයි. පාවුල් පැවසූ දේ අසා ඔවුන්ගෙන් සමහරදෙනෙකු පුදුමයට පත් වුණේ ඒ නිසයි.

21, 22. පාවුල් ඉදිරිපත් කරමින් සිටි තොරතුරු අවසන් කළේ කුමන ප්‍රබල වදන් සමඟින්ද? එය අද දින අපට වැදගත් වන්නේ ඇයි?

21 පාවුල් ඇරියොපගස් කන්දේ සිට ඉදිරිපත් කරමින් සිටි තොරතුරු මේ ප්‍රබල වදන් සමඟින් අවසන් කළා. ‘ධර්මිෂ්ඨ ලෙස මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කිරීමට දෙවි එක්තරා දවසක් නියම කර තිබෙනවා. ඒ විනිශ්චය සිදු කරන්නේ ඔහු විසින්ම පත් කර ඇති මිනිසෙකු විසිනුයි. ඒ වගේම ඒ දේ අනිවාර්යයෙන් සිදු වන බවට සාක්ෂියක් ලෙස දෙවි ඒ මිනිසාව මරණයෙන් පවා නැවත නැඟිටුවා තිබෙනවා.’ (ක්‍රියා 17:31) සැබෑ දෙවි වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පැතීම අත්‍යවශ්‍ය දෙයක් බව පැහැදිලි කිරීමට පැමිණීමට නියමිත විනිශ්චය දවස ගැන පාවුල් සඳහන් කළා. නමුත් විනිශ්චය සිදු කරන්නේ කවුරුන් විසින්ද කියා ඔහු කෙළින්ම පැවසුවේ නැහැ. ඒ වෙනුවට සවන් දෙමින් සිටි අය තුළ කුතුහලයක් ඇති කරමින් ඔහු පැවසුවේ එම තැනැත්තා මිනිසෙකු ලෙස ජීවත් වූ අතර ඔහු මිය ගොස් දෙවි විසින් නැවත නැඟිටුවා තිබෙන බවයි.

22 පාවුල් අවසානයට පැවසූ එම වදන් අද දින අපටත් ඉතා වැදගත්. විනිශ්චය කිරීම සඳහා දෙවි විසින් පත් කර තිබෙන තැනැත්තා නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ක්‍රිස්තුස් බව අප දන්නවා. (යොහ. 5:22) විනිශ්චය දවස අවුරුදු 1,000ක් පුරා දිව යන බවත් අප අවබෝධ කරගෙන තිබෙනවා. ඒ කාලය අත ළඟ බවත් අප හොඳින් දන්නවා. (එළි. 20:4, 6) නමුත් විනිශ්චය දවස ගැන සිතන විට අපට භයක් දැනෙන්නේ නැහැ. දෙවිට විශ්වාසවන්තව සිටින අයට ඒ කාලයේදී ආශීර්වාද රැසක් භුක්ති විඳිය හැකියි. අප ඉදිරියේ තිබෙන දීප්තිමත් අනාගතයට මඟ පාදා තිබෙන්නේ දෙවි විසින් කර තිබෙන ශ්‍රේෂ්ඨතම ආශ්චර්යයයි. ඒ යේසුස්ගේ නැවත නැඟිටීමයි.

‘සමහරුන් යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වුණා’ (ක්‍රියා 17:32-34)

23. පාවුල් පැවසූ දේවලට ලැබුණු ප්‍රතිචාර මොනවාද?

23 පාවුල් පැවසූ දේවලට එතැන රැස්ව සිටි අයගෙන් විවිධ ප්‍රතිචාර ලැබුණා. නැවත නැඟිටීම ගැන පාවුල් සඳහන් කරන විට ‘සමහරු ඔහුට සමච්චල් කළා.’ තවත් සමහරක් අය පාවුල්ගේ සිත රිදෙන අයුරින් කතා නොකළත් ඔහු පැවසූ දේවලට එකඟව ක්‍රියා කිරීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ නිසයි ඔවුන් “ඔබ පැවසූ මේ දේවල් ගැන තවත් විස්තර වෙනත් වේලාවක අහන්න අපි කැමතියි” කියා පැවසුවේ. (ක්‍රියා 17:32) තවත් කිහිපදෙනෙක් ඔවුන්ට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක් දැක්වූවා. ඒ ගැන වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “සමහරු ඔහු සමඟ එකතු වී, යේසුස්ගේ අනුගාමිකයෝ බවට පත් වූහ. ඔවුන් අතරේ ඇරියොපගස් අධිකරණයේ විනිශ්චයකාරයෙකු වූ දියොනිසියස්ද දමරිස් නම් ස්ත්‍රියක්ද තවත් කිහිපදෙනෙක්ද සිටියෝය.” (ක්‍රියා 17:34) දේවසේවයේදී අපටත් ඒ හා සමාන විවිධාකාර ප්‍රතිචාර ලැබෙනවා. සමහරක් අය අපව සමච්චලයට ලක් කරනවා. තවත් සමහරක් අය උදාසීන ප්‍රතිචාරයක් දක්වනවා. නමුත් අපට හමු වන අයගෙන් සමහරදෙනෙක් ශුභාරංචිය පිළිගෙන යේසුස්ගේ අනුගාමිකයන් වීමට කැමැත්තක් දක්වනවා. එවැනි අවස්ථාවලදී අපට දැනෙන්නේ මොන තරම් සතුටක්ද!

24. ඇතන්ස්හි වැසියන්ට පාවුල් තොරතුරු ඉදිරිපත් කළ ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

24 ඇතන්ස්හි වැසියන්ට පාවුල් තොරතුරු ඉදිරිපත් කළ ආකාරයෙන් අපට බොහෝ දේ ඉගෙනගත හැකියි. යම් කාරණයක් සම්බන්ධයෙන් තොරතුරු තර්කානුකූලව ඉදිරිපත් කළ හැකි ආකාරය හා එම තොරතුරු සවන් දෙන පුද්ගලයාට අදාළ වන අයුරු පැහැදිලි කරන්නේ කෙසේද කියා අපට ඉගෙනගත හැකියි. අසත්‍ය ආගමික විශ්වාසයන් මහත් භක්තියකින් අදහන අයව සේවයේදී හමු වන විට අප ඉවසිලිවන්තව කටයුතු කළ යුතු බවත් එවැනි අයට අපේ පණිවිඩය ඥානවන්තව ඉදිරිපත් කළ යුතු බවත් අප ඔහුගේ ආදර්ශයෙන් ඉගෙනගන්නවා. නමුත් අප කවදාවත් අපට සවන් දෙන අයව සතුටු කිරීමේ අරමුණින් බයිබලයේ සඳහන් සත්‍යයන් බාල කරන්නේ නැහැ. පාවුල් කටයුතු කළෙත් එලෙසයි. පාවුල්ව ආදර්ශයට ගැනීමෙන් දේවසේවයේදී අපට හමු වන අයට බයිබලයේ සඳහන් සත්‍යයන් බලපෑමෙන් යුක්තව පැහැදිලි කර දීමට අපට හැකි වෙනවා. සභාවේ පෙරමුණ ගෙන කටයුතු කරන අයටත් ඔහුව ආදර්ශයට ගැනීමෙන් දක්ෂ ගුරුවරුන් විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට ‘දෙවි වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පතා ඔහුට ළං වීමට හැකි වන’ බව නිසැකයි.—ක්‍රියා 17:27.

^ 4 ඡේ. ඉපැරණි ඇතන්ස් නුවර” නමැති කොටුව බලන්න.

^ 8 ඡේ.  ඇතන්ස් නුවරේ සිටි ප්‍රධාන විනිසුරුවන් රැස් වුණේ ඇක්‍රොපොලිස් නම් බලකොටුවට වයඹින් පිහිටි ඇරියොපගස් නම් ස්ථානයෙයි. “ඇරියොපගස්” ලෙස හඳුන්වන්න ඇත්තේ ඔවුන් රැස් වූ එම ස්ථානය හෝ ඇතන්ස්හි පිහිටි කන්ද විය හැකියි. ඒ නිසා පාවුල්ව ගෙන ගියේ එම කන්ද වෙතටද නැත්නම් විනිසුරුවන් රැස් වන, බොහෝදුරට වෙළඳපොළ තුළම පිහිටි ස්ථානයටද යන්න ගැන විශාරදයන් අතර එකඟතාවක් නැහැ.

^ 13 ඡේ. “ලෝකය” ලෙස මෙහි පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය කොස්මොස් යන්නයි. ඊට ‘මුළු විශ්වයම’ යන අදහස ඇතුළත්. ඔහුට සවන් දුන් අයට එය හුරු වචනයක් වූ නිසා ඔහු පවසන දේට කැමැත්තෙන්ම ඔවුන් සවන් දෙන්න ඇති.

^ 17 ඡේ. පාවුල් උපුටා දැක්වූයේ ස්ටොයික දර්ශනය අනුගමනය කළ ඇරේටස් නම් කවියා රචනා කළ ඉතා දීර්ඝ කවියක වදන් පෙළකිනුයි. ඒ හා සමාන වදන් ස්ටොයික දර්ශනය අනුගමනය කළ ලේඛකයෙකු වූ ක්ලියැන්තීස් රචනා කළ සියුස්ට බැති ගීයක් ඇතුළු ග්‍රීක පොත් පත් කිහිපයකම සොයාගත හැකියි.