Skip to content

පටුනට යන්න

17වෙනි පරිච්ඡේදය

‘ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පහදා දෙයි’

‘ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පහදා දෙයි’

දක්ෂ ලෙස ඉගැන්විය හැකි අයුරු. බෙරීය වැසියන්ගේ කදිම ආදර්ශය

ක්‍රියා 17:1-15

1, 2. ෆිලිප්පියේ සිට තෙසලෝනික නුවර බලා ගියේ කවුරුන්ද? ඔවුන් කුමන දේවල් ගැන කල්පනා කරන්න ඇද්ද?

කඳු හෙල් අතරේ මැනවින් නිමවා ඇති රෝම මහාමාර්ගයක් දිගේ දැන් පාවුල්, සීලස් හා තිමෝති තම ගමන අරඹනවා. වේගයෙන් පදවන අශ්ව රථවල ශබ්දයත් බර උසුලාගෙන යන බූරුවන් නඟන හඬත් අවටින් ඇසෙනවා. සෙබළුන්, වෙළඳුන් හා විවිධාකාර වෘත්තීන්වල නියැලෙන මිනිසුන් මෙම මඟේ ගමන් කරනවා. ටික වේලාවකට කලින් ෆිලිප්පියෙන් පිට වූ මොවුන් තිදෙනා මේ යන්නේ කිලෝමීටර් 130ක් දුර ගමනක්. ඔවුන්ගේ ගමනාන්තය වෙරළබඩ තීරයේ පිහිටි තෙසලෝනික නුවරයි. මේ ගමන එතරම් ලෙහෙසි ගමනක් නොවෙයි. පාවුල් හා සීලස් ෆිලිප්පියේදී කෑ පහරවලින් ඇති වූ තුවාල තවමත් සුව වී නැතුව ඇති. ඒ වේදනාවත් සමඟ මේ දිගු ගමන යෑම විශේෂයෙන් ඔවුන් දෙදෙනාට මොන තරම් අමාරුද!—ක්‍රියා 16:22, 23.

2 මේ දිගු ගමනේ වෙහෙස දුරු කරගැනීමට ඔවුන් එකිනෙකා සමඟ කතාබහ කරමින් යන්න ඇති. ඇත්තෙන්ම ඔවුන්ට කතා කරන්න රසවත් අද්දැකීම් බොහොමයක් තිබුණා. ෆිලිප්පි නුවරේ සිරගෙය භාරව සිටි නිලධාරියා හා ඔහුගේ පවුලේ අය ශුභාරංචිය පිළිගෙන යේසුස්ගේ අනුගාමිකයන් වීම එවැනි එක් රසවත් අද්දැකීමක්. එම අද්දැකීම නිසා ඔවුන් තිදෙනා මොන තරම් දිරිගැන්වීමක් ලබන්න ඇද්ද! මොන තරම් අභියෝග පැමිණියත් ශුභාරංචිය දිගටම ප්‍රකාශ කිරීමට ඔවුන් ගෙන තිබූ අදිටන එමගින් තව තවත් ශක්තිමත් වූ බවට සැකයක් නැහැ. කෙසේවෙතත් තෙසලෝනික නුවර වෙතට ඔවුන් ළඟා වන විට මෙවැනි ප්‍රශ්න ඔවුන්ගේ මනස්වලට නැඟෙන්න ඇති. මෙම නුවරේ සිටින යුදෙව්වන් අපට කෙසේ සලකයිද? ඔවුන් අපට හිරිහැර කරයිද? ෆිලිප්පියේදී මෙන් අපට ගුටිබැට කන්න සිදු වෙයිද?

3. පාවුල් තමාට ඇති වූ චකිතයෙන් ගොඩ ආ ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

3 පාවුල් තුළත් යම් චකිතයක් තිබුණා කියා පසු කාලයක තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානීන්ට ඔහු ලියූ ලිපියක සඳහන් මෙම දෙයින් අපට සිතිය හැකියි. “(ඔබ දන්නා පරිදි) අප ෆිලිප්පියේ සිටි විට බොහෝ වධ වේදනාවලටත් නින්දාවන්ටත් ලක් වීමට අපට සිදු විය. නමුත් ඉමහත් වෙහෙසක් දරමින් නිර්භීතව ඔබට දෙවිගේ ශුභාරංචිය ගැන කතා කිරීමට අපි අපගේ දෙවිගෙන් උපකාර ලැබුවෙමු.” (1 තෙස. 2:2) පාවුල්ට ඇති වූ එම හැඟීම් ඔබට තේරුම්ගත හැකිද? ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය ඉටු කිරීම සඳහා ඇතැම් අවස්ථාවලදී ඔබටත් ඔබේ හැඟීම් සමඟ දැඩි සටනක් කරන්න සිදු වී තිබෙනවාද? එසේනම් පාවුල්ගේ ආදර්ශය සලකා බැලීම ප්‍රයෝජනවත් වෙයි. (1 කොරි. 4:16) තමාට ඇති වූ හැඟීම්වලින් ගොඩ ඒමට ඔහු යෙහෝවා දෙවි මත රඳා සිටියා. දිගටම නිර්භීතව ශුභාරංචිය දේශනා කිරීමට ඔහුට හැකි වුණේ ඒ නිසයි.

ඔහු ‘ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පහදා දුන්නා’ (ක්‍රියා 17:1-3)

4. පාවුල් සති තුනකට වඩා වැඩි කාලයක් තෙසලෝනිකයේ සිටියා කියා පැවසිය හැක්කේ ඇයි?

4 තෙසලෝනිකයේ සිටියදී පාවුල් සබත් දවස් තුනක් පුරා සිනගෝගයේදී ශුභාරංචිය දේශනා කළා කියා වාර්තාවේ සඳහන් වෙනවා. ඔහු එම නගරයේ සිටියේ සති තුනක් පමණයි කියා ඉන් අදහස් කරනවාද? නැහැ. ඊට වඩා වැඩි කාලයක් ඔහු තෙසලෝනිකයේ සිටියා කියා සිතීමට යම් හේතු තිබෙනවා. ඔහු තෙසලෝනිකයට ඇතුල් වී කොතරම් කාලයකට පසුවද සිනගෝගයට ගියේ ගියා අපට නිශ්චිතවම පැවසිය නොහැකියි. තෙසලෝනිකයේ සිටි කාලයේදී පාවුල්ද ඔහු සමඟ සිටි අනික් අයද ඔවුන්ගේ වියහියදම් පියවාගැනීමට යම් වැඩක නිරත වූ බවත් ඔහු ලියූ ලිපිවල සඳහන් වෙනවා. (1 තෙස. 2:9; 2 තෙස. 3:7, 8) පාවුල් තෙසලෝනිකයේ සිටියදී ෆිලිප්පියේ සිටි සහෝදරයන් ඔහුට අවශ්‍ය දේවල් දෙවරක්ම තෙසලෝනිකයට එවූ බවත් වාර්තාවේ සඳහන් වී තිබෙනවා. (ෆිලි. 4:16) මේ හේතු තුනෙන්ම පැහැදිලි වන්නේ ඔහු සති තුනකට වඩා වැඩි කාලයක් තෙසලෝනිකයේ සිටි බවයි.

5. පාවුල් කාරණා පැහැදිලි කර දුන්නේ කෙසේද?

5 පාවුල් යෙහෝවා දෙවිගේ උපකාරයෙන් නිර්භීතව සිනගෝගයේ රැස්ව සිටි අයට ශුභාරංචිය දේශනා කළා. සුපුරුදු පරිදි ඔහු ‘ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පහදා දුන්නා. ක්‍රිස්තුස් වධ විඳිය යුතු බව සහ මරණයෙන් නැඟිටිය යුතු බව කලින්ම ශුද්ධ ලියවිල්ලේ දක්වා තිබෙන ආකාරය ඔහු පැහැදිලිව පෙන්වූවා. ඔහු පැවසුවේ, “මම ඔබට කතා කරන්නේ මෙහි සඳහන් ක්‍රිස්තුස් ගැනයි. ඔහු තමයි යේසුස්” කියාය.’ (ක්‍රියා 17:2, 3) පාවුල් උත්සාහ කළේ කාරණා තර්කානුකූලව පැහැදිලි කර දීමටයි. මන්ද සිනගෝගයේ රැස්ව සිටි අය ශුද්ධ ලියවිල්ලට ගරු කරන, එහි සඳහන් දේවල් ගැන යම් අවබෝධයක් තිබෙන අය බව ඔහු දැන සිටියා. නමුත් ඔවුන්ට ශුද්ධ ලියවිල්ල ගැන සම්පූර්ණ අවබෝධයක් තිබුණේ නැහැ. උදාහරණයකට ක්‍රිස්තුස් හා සම්බන්ධ කාරණා ඔවුන් වටහාගෙන තිබුණේ නැහැ. ඒ නිසා නාසරෙත් නුවරෙන් පැමිණි යේසුස් පොරොන්දු වූ ගැලවුම්කරු බව ඔප්පු කිරීමට ඔහු ශුද්ධ ලියවිල්ලෙන් කාරණා තර්කානුකූලව පහදා දුන්නා. ඉන් පැහැදිලි වන්නේ ඔවුන් නොදැන සිටි කාරණා ගැන හෙළාදකිනවා වෙනුවට ඔවුන්ට සම්පූර්ණ අවබෝධයක් ලබා දීමට ඔහු ශුද්ධ ලියවිල්ල හොඳින් යොදාගත් බවයි.

6. යේසුස් ශුද්ධ ලියවිල්ලෙන් දේවල් පහදා දුන්නේ කෙසේද? එහි ප්‍රතිඵල කුමක්ද?

6 පාවුල් අනුගමනය කරමින් සිටියේ යේසුස් තැබූ ආදර්ශයයි. යේසුස් තම ඉගැන්වීම් සඳහා පදනමක් ලෙස යොදාගත්තේ ශුද්ධ ලියවිල්ලයි. උදාහරණයකට ශුද්ධ ලියවිල්ලට අනුව ක්‍රිස්තුස් බොහෝ දුක් විඳ මිය යන බවත් නැවත නැඟිටුවනු ලබන බවත් ඔහු ගෝලයන්ට පැහැදිලි කළා. (මතෙ. 16:21) තම නැවත නැඟිටීමෙන් පසු යේසුස්, ඔහුගේ ගෝලයන් ඉදිරියේ පෙනී සිටියා. තමා පැවසූ දේ සත්‍යය බව ඔප්පු කිරීමට එයම ප්‍රමාණවත් වුණත් යේසුස් එතැනින් නතර වුණේ නැහැ. වාර්තාවේ පවසන්නේ, ‘මෝසෙස් පැවසූ දේවලින් පටන්ගෙන සියලු අනාගතවක්තෘවරුන් ඇතුළුව මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් දේ ඔහු ඔවුන්ට පැහැදිලි කර දුන්නේය’ කියායි. ලියවිල්ලෙහි සඳහන් දේවල් ඔහු කොතරම් හොඳින් පැහැදිලි කළාද කියනවා නම් ඔහුගේ ගෝලයන් ඒ ගැන පැවසුවේ මෙලෙසයි. “අප පාර දිගේ එන විට ඔහු අපට ශුද්ධ ලියවිල්ලේ දේවල් කොතරම් හොඳින් පැහැදිලි කර දුන්නාද! ඔහු කතා කළ විට අපේ සිත් මොන තරම් සතුටකින් පිරී ගියාද!”—ලූක් 24:13, 27, 32.

7. දේශනා සේවයේදී අප යම් කාරණා පැහැදිලි කරන විට බයිබලය යොදාගත යුත්තේ ඇයි?

7 දේවවචනයේ සඳහන් පණිවිඩය ඉතා බලවත්. (හෙබ්‍රෙ. 4:12) යේසුස්, පාවුල් හා අනිකුත් නියෝජිතයන් මෙන් අද දින සැබෑ ක්‍රිස්තියානීන්ද ඔවුන්ගේ ඉගැන්වීම්වලට පදනම ලෙස බයිබලය යොදාගන්නේ ඒ නිසයි. දේශනා සේවයේදී අප අන් අයට යම් කාරණා ඔප්පු කරන්නේ බයිබල් පද පෙන්වීමෙනුයි. ඉන්පසු අප එම පද තර්කානුකූලව ඔවුන්ට පැහැදිලි කර දෙනවා. අප එසේ කරද්දී අපි ඉදිරිපත් කරන තොරතුරුවල පදනම බයිබලය බව ඔවුන්ට පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම අප ඉදිරිපත් කරන්නේ අපේ පණිවිඩයක් නොවෙයි. ඒ නිසා හැමවිටම බයිබලය යොදාගෙන අපි කාරණා පැහැදිලි කර දෙනවා නම් අපි ඉදිරිපත් කරන්නේ අපේම අදහස් නොව දෙවිගේ අදහස් බව අපට සවන් දෙන අයට පැහැදිලි වෙනවා. අප පවසන පණිවිඩය දේවවචනය මත පදනම් විශ්වාසවන්ත පණිවිඩයක් බව අපත් නිතරම මතකයේ තබාගත යුතුයි. අප එසේ කරනවා නම් පාවුල් මෙන් මහත් විශ්වාසයකින් හා නිර්භීතකමකින් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපටත් හැකියි.

‘සමහරදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන් වුණා’ (ක්‍රියා 17:4-9)

8-10. (අ) තෙසලෝනිකයේ සිටි අය ශුභාරංචියට දැක්වූයේ මොන වගේ ප්‍රතිචාරද? (ආ) සමහරක් යුදෙව්වන් පාවුල්ට ඊර්ෂ්‍යා කළේ ඇයි? (ඇ) යුදෙව් විරුද්ධවාදීන් ක්‍රියා කළේ කෙසේද?

8 තෙසලෝනිකයේ සිටි සමහරදෙනෙකු පාවුල් පැහැදිලි කළ දේවල් අසා ඊට එකඟව පියවර ගැනීමට මහත් උනන්දුවක් දැක්වූවා. නමුත් තවත් සමහරදෙනෙක් පාවුල් පැහැදිලි කළ දේවල් පිළිගැනීමට සතුටු වුණේ නැහැ. යේසුස් පැවසූ මෙම වදන්වල සත්‍යතාව ඒ අවස්ථාවේදී පාවුල් අද්දැක්කා. “දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවන බව මා ඔබට පැවසුවා. . . . ඔවුන් මට පීඩා කළා නම් ඔබටත් පීඩා කරයි. ඔවුන් මා පැවසූ දේ පිළිපැද්දා නම් ඔවුන් ඔබ පවසන දේත් පිළිපදියි.” (යොහ. 15:20) පාවුල් පැවසූ දේවලට හොඳ ප්‍රතිචාරයක් දැක්වූ අය ගැන ලූක් මෙසේ පවසනවා. “එය අසා සමහරදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන් වී පාවුල් සහ සීලස්ට එකතු වූහ. එමෙන්ම දෙවිට නමස්කාර කළ ග්‍රීකවරුන් විශාල පිරිසක්ද සමාජයේ ඉහළ පෙළේ ස්ත්‍රීන් බොහෝදෙනෙක්ද එසේ කළෝය.” (ක්‍රියා 17:4) ඉන් පැහැදිලි වන්නේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් කාරණා පැහැදිලිව තේරුම්ගැනීමට හැකි වීම ගැන ඔවුන් බොහෝ සෙයින් සතුටු වූ බවයි.

9 නමුත් පාවුල් පැවසූ දේවල් පිළි නොගත් යුදෙව්වන්ට ඔහු ගැන මහත් කෝපයක් ඇති වුණා. ඇත්තටම “ග්‍රීකවරුන් විශාල පිරිසක්” පාවුල් පැවසූ දේවල් පිළිගන්නවා දකිද්දී ඔවුන් තුළ ඇති වුණේ මහත් ඊර්ෂ්‍යාවක්. ඔවුන් සිතුවේ එම ග්‍රීකවරුන් ඔවුන්ට අයිති අය කියායි. මන්ද හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් දේවල් ග්‍රීකවරුන්ට උගන්වා යුදෙව් ආගමට හැරීමට ඔවුන්ට උපකාර කළේ ඔවුනුයි. දැන් පාවුල් ඇවිත් යුදෙව් ආගමට හැරී සිටි ග්‍රීකවරුන්ව සිනගෝගයේදීම ඔහුගේ පැත්තට නම්මවාගන්නවා කියා ඔවුන්ට හැඟුණා. ඔවුන් පාවුල් සමඟ කෝපයෙන් සිටියේ ඒ නිසයි.

“ඔවුහු රැස්ව සිටි සමූහයා ඉදිරියට පාවුල්ව සහ සීලස්ව ගෙන ඒමේ අදහසින් . . . නිවසට කඩාවැදුණෝය.”—ක්‍රියා 17:5

10 ඉන්පසු සිදු වූ දෙය ලූක් මෙසේ විස්තර කර තිබෙනවා. “යුදෙව්වරු ඔවුන්ට ඊර්ෂ්‍යා කර වෙළඳපොළට වී නිකරුණේ කාලය ගත කරමින් සිටි අය අතරින් මැර පිරිසක් එකතු කරගෙන නගරයේ කෝලහලයක් ඇති කළෝය. ඉන්පසු ඔවුහු රැස්ව සිටි සමූහයා ඉදිරියට පාවුල්ව සහ සීලස්ව ගෙන ඒමේ අදහසින් ජේසන් නම් සහෝදරයාගේ නිවසට කඩාවැදුණෝය. ඔවුන්ව එහි සොයාගත නොහැකි වූ විට ඔවුහු ජේසන්ව සහ සමහර සහෝදරයන්ව නුවරේ පාලකයන් ඉදිරියට ඇදගෙන ගොස් කෑගසමින් මෙසේ කීවෝය. ‘මුළු ලෝකයම පෙරළා දැමූ අර මිනිස්සු මෙහාටත් ඇවිල්ලා. ඒ මදිවට මේ ජේසන් ඔවුන්ට සහයෝගය දක්වනවා. ඔවුන් සියලුදෙනාම කියන්නේ යේසුස් නම් තවත් රජෙක් සිටිනවා කියායි. ඒ කියන්නේ ඔවුන් සීසර් අධිරාජ්‍යයාගේ නියෝගවලට විරුද්ධව කැරලිගසනවා.’” (ක්‍රියා 17:5-7) පාවුල්ටත් අනිකුත් සහෝදරයන්ටත් එය මොන තරම් බිහිසුණු අද්දැකීමක් වන්න ඇද්ද!

11. පාවුල්ට හා අනිකුත් සහෝදරයන්ට විරුද්ධව කළ චෝදනා මොනවාද? චෝදනා කළ අයගේ මනසේ තිබෙන්න ඇත්තේ කුමන නියෝගයද? (පාදසටහන බලන්න.)

11 ‘නගරයේ කෝලහලයක් ඇති කළ’ යුදෙව්වන්, පාවුල් හා සීලස් බරපතළ වරදකරුවන් බව එහි සිටි පාලකයන්ට පෙන්වීමට උත්සාහ කළා. ඔවුන් පාවුල්ට හා සීලස්ට විරුද්ධව බරපතළ චෝදනා දෙකක් ඉදිරිපත් කළා. තෙසලෝනික නගරයේ ඇති වූ කෝලහලයට පාවුල්වත් ඔහු සමඟ සිටි අනික් අයවත් වග කිව යුතු නැහැ. නමුත් පාවුල් හා අනික් සහෝදරයන් ‘මුළු ලෝකයම පෙරළා දමා’ තිබෙන බවට ඔවුන් චෝදනා කළා. ඔවුන් තවදුරටත් කියා සිටියේ පාවුල් හා ඔහු සමඟ සිටි අය යේසුස් නම් තවත් රජ කෙනෙකු සිටිනවා කියා පවසමින් රෝම අධිරාජ්‍යයාට විරුද්ධව කැරලිගසන බවයි. * එය ඇත්තෙන්ම ඉතා බරපතළ චෝදනාවක්.

12. තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානීන්ට විරුද්ධව තිබූ චෝදනා බරපතළයි කියා පැවසිය හැක්කේ ඇයි?

12 ආගමික නායකයන් යේසුස්ටත් ඒ හා සමාන චෝදනාවක් ඉදිරිපත් කළ බව ඔබට මතක ඇති. ඔවුන් ඔහුව පිලාත් ඉදිරියට ගෙන ගොස්, “මේ මිනිසා අපේ ජාතිය අතර භේද ඇති කරනවා. . . . තමා ක්‍රිස්තුස් කියාත් තමා රජ කෙනෙක් කියාත් ප්‍රකාශ කරන ආකාරය අපට ඇහුණා” කියා පැවසුවා. (ලූක් 23:2) අධිරාජ්‍යයාට විරුද්ධව කැරලිගැසූ බවට චෝදනා කර තිබෙන කෙනෙකු සම්බන්ධයෙන් තමන් යම් පියවරක් නොගැනීම නිසා අධිරාජ්‍යයාගෙන් තමන්ට යම් දඬුවමක් ලැබෙයි කියා ඒ අවස්ථාවේදී පිලාත් භය වුණා. යේසුස්ව මරා දැමීමට ඔහු තීන්දු කළේ ඒ නිසයි. ඇත්තෙන්ම තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානීන්ගේ ජීවිත තිබුණෙත් ඒ හා සමාන අනතුරකයි. එක් පොතක සඳහන් මේ දෙයින්ද ඒ බව සනාථ වෙනවා. “සාමාන්‍යයෙන් අධිරාජ්‍යයාට විරුද්ධව යම් කෙනෙකු කැරලිගසා ඇති බවට යම් රාවයක් හෝ පැතිර ගියොත් එම පුද්ගලයාව මරා දමනවා.”

13, 14. (අ) යුදෙව්වන් දැරූ උත්සාහය අසාර්ථක වුණේ ඇයි? (ආ) යේසුස් පැවසූ ලෙස පාවුල් සුපරීක්ෂාකාරීව කටයුතු කළේ කෙසේද? අපට ඔහුව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

13 කෙසේවෙතත් කෝලහලයක් ඇති කරමින් යුදෙව්වන් කිරීමට උත්සාහ කළ දේ සාර්ථක වුණේ නැහැ. තෙසලෝනික නුවරේ කළ දේශනා කිරීමේ කාර්යය නතර කිරීමට ඔවුන්ට නොහැකි වුණා. ඊට එක් හේතුවක් නම් පාවුල්ව හා සීලස්ව ඔවුන්ට සොයාගැනීමට නොහැකි වීමයි. පෙනෙන විදිහට ක්‍රිස්තියානීන්ට විරුද්ධව ඔවුන් නැඟූ චෝදනාවල සත්‍යතාව ගැන පාලකයන් තුළ සැකයකුත් තිබුණා. ඔවුන් ඉදිරියට ගෙනා ජේසන්ව හා ඔහු සමඟ සිටි අනිකුත් සහෝදරයන්ව “ඇප මත” ඔවුන් නිදහස් කළේ ඒ නිසයි. (ක්‍රියා 17:8, 9) ඔබ “සර්පයන් මෙන් සුපරීක්ෂාකාරීව සිටිය යුතුයි. නමුත් පරෙවියන් මෙන් අහිංසක වන්න” කියා යේසුස් දුන් උපදෙස කෝලහලය ඇති වූ අවස්ථාවේදී පාවුල් අනුගමනය කළා. (මතෙ. 10:16) ඔහු දෙවිගේ උපකාරයෙන් නිර්භීතව කටයුතු කළත් අනවශ්‍ය ලෙස තම ජීවිතය පරදුවට තැබීම ඥානවන්ත දෙයක් නොවන බව තේරුම්ගත්තා. තමා වෙනත් ප්‍රදේශවලටත් ගොස් ශුභාරංචිය ගැන දේශනා කළ යුතු බව ඔහු දැන සිටියා. අපට ඔහුව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

14 අද දින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව මැර පිරිස් උසිගැන්වීමට ‘ක්‍රිස්තියානි’ ආගමික නායකයන් කටයුතු කර තිබෙනවා. සාක්ෂිකරුවන් රට ජාතියට විරුද්ධව කටයුතු කරනවා කියා පවසා සාක්ෂිකරුවන්ට විරුද්ධව පියවර ගැනීමට ඔවුන් පාලකයන්ට බලපෑම් කර තිබෙනවා. එදා මෙන් අදත් විරුද්ධවාදීන් අපට විරුද්ධව ක්‍රියා කරන්නේ ඊර්ෂ්‍යාව නිසයි. කෙසේවෙතත් සැබෑ ක්‍රිස්තියානීන් වන අපි ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කරන පිරිසක් නොවෙයි. කෝපයෙන් හා අසාධාරණ අන්දමින් ක්‍රියා කරන අය සමඟ ප්‍රශ්නවලට පැටලීමෙන් හැකි තරම් දුරට වැළකී සිටීමට අප උත්සාහ කරනවා. අපේ ආශාව වන්නේ අපේ සේවය සාමකාමීව ඉටු කිරීමයි. අප දේශනා කරන ප්‍රදේශයක යම් අවස්ථාවකදී ප්‍රශ්නයක් ඇති වුණොත් අප එතැනින් පිට වී යන්නෙත් ඒ නිසයි. නමුත් පසු කාලයක සන්සුන් වාතාවරණයක් පවතිනවා නම් අපි නැවත එම ප්‍රදේශයට ගොස් ශුභාරංචිය දේශනා කරනවා.

ඔවුන් ‘සාධාරණව හා පුළුල්ව සිතුවා’ (ක්‍රියා 17:10-15)

15. බෙරීය වැසියන් ශුභාරංචියට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

15 තෙසලෝනිකයේ ඇති වූ කලබලකාරී වාතාවරණය නිසා එහි සිටි සහෝදරයෝ ඊට කිලෝමීටර් 65ක් පමණ දුරින් පිහිටි බෙරීය නම් නුවර වෙතට පාවුල්ව හා සීලස්ව පිටත් කර හැරියා. බෙරීය නුවරට ගිය පාවුල් එහි සිනගෝගයට ගොස් ශුභාරංචිය දේශනා කළා. එහි සිටි අය ගැන ලූක් මෙසේ වාර්තා කර තිබෙනවා. “එහි සිටි අය තෙසලෝනිකයේ සිටි අයට වඩා සාධාරණව හා පුළුල්ව සිතීමට හැකියාව තිබුණු පිරිසකි. මන්ද ඔවුහු තමන් ඇසූ දේවල් සැබෑද කියා බැලීමට දිනපතාම ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කර බැලුවෝය. එහෙයින් ඔවුන් දෙවිගේ පණිවිඩය පිළිගත්තේ මහත් උනන්දුවකිනි.” (ක්‍රියා 17:10, 11) ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන එවැනි අයට දේශනා කිරීමට ලැබීම ගැන පාවුල් මොන තරම් සතුටට පත් වන්න ඇද්ද! කෙසේවෙතත් බෙරීය වැසියන් ගැන ලූක් එවැනි දෙයක් වාර්තා කළේ තෙසලෝනිකයේ දෙවිගේ පණිවිඩය පිළිගත් අයව හෙළාදැකීමට නොව බෙරීය වැසියන් තුළ තිබූ යම් විශේෂත්වයක් පෙන්වීමටයි. පසු කාලයක පාවුල් තෙසලෝනිකයේ අයට පැවසූ මේ දෙයින් ඒ බව සනාථ වෙනවා. “අපි දෙවිට නොකඩවා ස්තුති කරමු. මන්ද දෙවිගේ පණිවිඩය අප ඔබට පැවසූ විට ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගෙන් ලැබුණු දෙයක් ලෙස නොව දෙවිගෙන් ලැබුණු පණිවිඩයක් ලෙසය. දෙවිට සේවය කරන ඔබේ හදවත් තුළ ක්‍රියා කරන්නේ ඒ පණිවිඩයේ තිබෙන බලයයි.”—1 තෙස. 2:13.

16. බෙරීය වැසියන්ව “සාධාරණව හා පුළුල්ව සිතීමට හැකියාව” තිබෙන අය ලෙස හැඳින්වීම උචිත වන්නේ ඇයි?

16 බෙරීය වැසියන් තුළ තිබූ විශේෂත්වය කුමක්ද? පාවුල්ගෙන් ඔවුන්ට අසන්න ලැබුණු තොරතුරු අලුත් දේවල් වුණත් ඔවුන් ඒවා ගැන සැක කර ඒවා හෙළාදැක්කේ නැහැ. පාවුල් පැවසූ දේවල් ඔවුන් නිකම්ම පිළිගත්තෙත් නැහැ. ඒ වෙනුවට ඔහු පැවසූ දේවලට ඔවුන් හොඳින් සවන් දුන් අතර ඔහු පැහැදිලි කළ දේවල් සත්‍යයද කියා ශුද්ධ ලියවිල්ලෙන් හොඳින් සෝදිසි කර බැලුවා. ඔවුන් එසේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල් සබත් දවස්වලදී පමණක් නොව දිනපතාම ‘මහත් උනන්දුවකින්’ සෝදිසි කර බැලුවා. ඔවුන් යටහත්පහත්ව තමන් ඉගෙනගනිමින් සිටි දේවලට එකඟව අවශ්‍ය වෙනස්කම්ද කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ‘බොහෝදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වුණා.’ (ක්‍රියා 17:12) එසේනම් බෙරීය වැසියන්ව “සාධාරණව හා පුළුල්ව සිතීමට හැකියාව” තිබෙන අය ලෙස ලූක් විස්තර කිරීම පුදුමයක් නොවෙයි!

17. බෙරීය වැසියන් තැබුවේ මොන වගේ ආදර්ශයක්ද? අප කොතරම් කාලයක් පුරා දෙවිට සේවය කරමින් සිටියත් ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද?

17 තමන් දැක්වූ ප්‍රතිචාරය දෙවිගේ වචනයේ වාර්තා කර තබයි කියා බෙරීය වැසියන් නම් සිතන්නවත් නැතුව ඇති. නමුත් ඔවුන් තැබූ ආදර්ශයෙන් අද දින ක්‍රිස්තියානීන්ට බොහෝ දේ ඉගෙනගත හැකි නිසා දෙවි එය ශුද්ධ ලියවිල්ලට ඇතුළත් කළා. සවන් දෙන අය තමන් පවසන පණිවිඩය ශුද්ධ ලියවිල්ලෙන් සෝදිසි කර බලා එය පිළිගන්නවා දකින්නයි පාවුල් කැමති වුණේ. ඇත්තෙන්ම බෙරීය වැසියන් කළෙත් ඒ දෙයමයි. යෙහෝවා දෙවි සතුටු වන්නෙත් අවංක හදවත් ඇති අය එසේ කටයුතු කරනවා දකින්නයි. අද අපිත් අපට සවන් දෙන අයට දිරිගන්වන්නේ අප පවසන පණිවිඩයේ සත්‍යතාව ශුද්ධ ලියවිල්ලෙන් සෝදිසි කර බලා ඒ දැනුමට එකඟව ඔවුන්ගේ විශ්වාසය ගොඩනඟන්න කියායි. වෙනත් විදිහකින් පවසනවා නම් සාධාරණව හා පුළුල්ව සිතා ස්ථිර පදනමක් මත ඔවුන් තම විශ්වාසය ගොඩනඟනවා දැකීම අපේ ආශාවයි. ඉන් අදහස් කරන්නේ කෙනෙකු දෙවිගේ සේවකයෙකු වූ පසු ඔහු තවදුරටත් එසේ කටයුතු කිරීමට අවශ්‍ය නැති බවද? එසේ පැවසිය නොහැකියි. මන්ද දෙවි අපට දිගටම උගන්වනවා. ඔහු උගන්වන දේවල් පිළිගෙන ප්‍රමාද නොවී ඒවා අපේ ජීවිතවලට අදාළ කරගැනීමට නම් පෙරට වඩා වැඩියෙන් ශුද්ධ ලියවිල්ල හොඳින් සෝදිසි කර බැලීම අත්‍යවශ්‍යයි. අප දිගටම එසේ කරනවා නම් දෙවිට කැමති අයුරින් අපව සකස් කර තම කැමැත්ත ඉටු කිරීමට අපව සූදානම් කිරීමට ඔහුට හැකියි. (යෙසා. 64:8) එහි ප්‍රතිඵලයක් ලෙස දෙවි වෙනුවෙන් හොඳ සේවයක් කිරීමට අපට හැකි වන අතර දෙවිගේ අනුමැතිය ලබාගැනීමටද අපට හැකි වෙනවා.

18, 19. (අ) පාවුල් බෙරීය නුවරින් පිටත්ව ගියේ ඇයි? අත් නෑර සේවය කිරීම සම්බන්ධයෙන් ඔහු අපට තබන්නේ මොන වගේ ආදර්ශයක්ද? (ආ) ඊළඟට ඔහු යන්නේ කොහේද?

18 බෙරීය නුවරේ වැඩි කාලයක් ගත කිරීමට පාවුල්ට හැකි වුණේ නැහැ. ඊට හේතුව වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “පාවුල් බෙරීය නුවරෙහි දෙවිගේ පණිවිඩය ගැන ප්‍රකාශ කරන බව තෙසලෝනිකයේ සිටි යුදෙව්වරුන්ට ආරංචි වූ විට ඔවුහු ජනතාව උසිගන්වා කලබලයක් ඇති කිරීමේ අදහසින් එතැනටත් ගියෝය. එවිට සහෝදරයෝ වහාම පාවුල්ව වෙරළබඩ තීරය දෙසට පිටත් කර යැව්වෝය. නමුත් සීලස් සහ තිමෝති එහි නැවතී සිටියෝය. පාවුල්ව ඇරලීමට ගිය අය ඇතන්ස් දක්වාම ඔහු සමඟ ගියෝය. ඔවුන් ආපසු ඒමට පෙර පාවුල් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් තමා වෙතට සීලස්ව හා තිමෝතිව එවන ලෙසය. ඉන්පසු ඔවුහු නැවත ආවෝය.” (ක්‍රියා 17:13-15) ශුභාරංචිය ප්‍රකාශ කිරීම නතර කර දැමීමට විරුද්ධවාදීන් මොන තරම් ප්‍රබල උත්සාහයක් දැරුවාද කියා එම වාර්තාවෙන් පැහැදිලි වෙනවා. පාවුල්ව තෙසලෝනික නුවරින් පන්නාහැරීමෙන් සෑහීමට පත් නොවූ ඔවුන්, බෙරීය නුවරටත් පැමිණියා. ඔවුන්ට වුවමනා වුණේ එම නුවරෙත් කලබලයක් ඇති කර ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය නතර කර දමන්නයි. නමුත් ඔවුන් දැරූ උත්සාහය අසාර්ථක වුණා. මන්ද දේශනා කිරීම සඳහා තමන්ට විශාල ප්‍රදේශයක් තිබෙන බව දැන සිටි පාවුල්, එක් ප්‍රදේශයක ප්‍රශ්නයක් ඇති වූ විට වෙනත් ප්‍රදේශයකට ගොස් දිගටම ශුභාරංචිය දේශනා කළා. අද දිනත් විරුද්ධවාදීන් අපේ සේවය නතර කිරීමට කොතරම් උත්සාහ දැරුවත් අප පාවුල් මෙන් අපේ සේවය දිගටම කරනවා. එසේ කිරීමෙන් විරුද්ධවාදීන් දරන උත්සාහයන් අසාර්ථක කිරීමට අපට හැකි වෙනවා.

19 ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන නිර්භීතව ශුභාරංචිය දේශනා කිරීමේ වැදගත්කම ගැන තෙසලෝනිකයේදී හා බෙරීය නුවරේදී ලැබූ අද්දැකීම්වලින් පාවුල්ට තවත් තහවුරු වන්න ඇති. එම වාර්තාව සලකා බැලීමෙන් අපටත් එම කාරණය තහවුරු වෙනවා. පාවුල් ඊළඟට පිටත්ව යන්නේ ඇතන්ස් නුවරටයි. එහිදී ඔහු මුහුණ දෙන අභියෝග ගැන ඊළඟ පරිච්ඡේදයෙන් සලකා බලමු.

^ 11 ඡේ. “සිටින රජු වෙනුවට අලුත් රජ කෙනෙකුගේ පත්වීම ගැන හෝ තිබෙන රාජ්‍යය වෙනුවට අලුත් රාජ්‍යයක් පිහිටුවීම ගැන අනාවැකි පළ නොකරන ලෙස සීසර් විසින් නියෝග කර තිබුණා” කියා එක් පොතක සඳහන් වෙනවා. විරුද්ධවාදීන් උත්සාහ කළේ පාවුල් එම නියෝගය කඩ කළ බව පෙන්වීමටයි. ඒ නිසා ඔවුන් ඔහු දේශනා කළ පණිවිඩය ගැන විකෘති අදහසක් ඉදිරිපත් කරන්න ඇති. “ ක්‍රියා පොතේ සඳහන් සීසර්වරු” නමැති කොටුව බලන්න.