Skip to content

පටුනට යන්න

24වෙනි පරිච්ඡේදය

“කිසි දෙයකින් අධෛර්යය වෙන්න එපා”

“කිසි දෙයකින් අධෛර්යය වෙන්න එපා”

පාවුල්ව මරා දැමීමට කළ කුමන්ත්‍රණය අසාර්ථක වෙයි. ඔහු ආණ්ඩුකාර ෆීලික්ස් ඉදිරියේ කතා කරයි

ක්‍රියා 23:11–24:27

1, 2. යෙරුසලමේදී මුහුණ දෙන පීඩා ගැන පාවුල් පුදුම නොවුණේ ඇයි?

පාවුල් දැන් නැවතත් සිටින්නේ සිරභාරයෙයි. ඔහුගේ ජීවිතය අනූනවයෙන් බේරුණා කියා පැවසිය හැකියි. මේ වන තෙක් යෙරුසලමේදී ඔහුට මුහුණ දීමට සිදු වූ විරුද්ධවාදිකම් ගැන ඔහු පුදුම වන්නේ නැහැ. මන්ද මේ නුවරෙදී ඔහුට “සිරදඬුවම් සහ නොයෙකුත් පීඩා” විඳින්න සිදු වන බව කලින්ම දැනුම් දී තිබුණා. (ක්‍රියා 20:22, 23) තමාට කුමක් සිදු වෙයිද කියා පාවුල් හරියටම නොදැන සිටියත් යේසුස්ගේ නාමය නිසා තමන්ට දිගටම පීඩා විඳින්න සිදු වන බව නම් ඔහු දැන සිටියා.—ක්‍රියා 9:16.

2 පාවුල්ව ‘බැඳ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ට භාර දෙන’ බව පාවුල්ගේ කාලයේ සිටි සමහරක් අය දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් ඔහුට අනතුරු අඟවා තිබුණා. (ක්‍රියා 21:4, 10, 11) එම අනතුරු ඇඟවීම් ඉටු වෙමින් තිබුණා. ඔහුව මරා දැමීමට යුදෙව්වන් පිරිසක් උත්සාහ කළා. ඉන් දිනකට පසුව පාවුල් මන්ත්‍රණ සභාව ඉදිරියේ පැවසූ දේ නිසා මහත් ආරවුලක් ඇති වුණා. ඒ ආරවුල කොතරම් දරුණු අතට හැරුණාද කියනවා නම් ඔවුන් “පාවුල්ට දරුණු ලෙස පහර දී ඔහුව මරා දැමීමට” පවා ඉඩ තිබුණා. දැන් ඔහු සිටින්නේ රෝම හේවායන් යටතේ සිරභාරයෙයි. ඉදිරියේදී ඔහුට තවත් නඩුවලට හා බොරු චෝදනාවලට මුහුණ දීමට සිදු වෙනවා. (ක්‍රියා 21:31; 23:10) ඒ නිසා මේ අවස්ථාවේ පාවුල්ට යම් දිරිගැන්වීමක් ලබන්න පුළුවන් නම් එය ඔහුට මොන තරම් ශක්තියක් වෙයිද!

3. දේශනා සේවය දිගටම කරගෙන යෑමට අප දිරිගැන්වීම් ලබන්නේ කෙසේද?

3 ‘ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වන’ බව අවසාන කාලයේ ජීවත් වන අප සියලුදෙනාම හොඳින් දන්නා දෙයක්. (2 තිමෝ. 3:12) ඒ නිසා අප කරන දේශනා සේවය අත් නෑර දිගටම කරගෙන යෑමට අපටත් විටින් විට දිරිගැන්වීම් අවශ්‍යයි. සඟරා පොත් පත් හා රැස්වීම් මගින් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” අපට නියම වේලාවට ලබා දෙන දිරිගන්වනසුලු, ගොඩනංවනසුලු තොරතුරු අපට කොතරම් වැදගත්ද! (මතෙ. 24:45) දේශනා සේවය කඩාකප්පල් කර දැමීමට උත්සාහ කරන කිසිවෙකු සාර්ථක නොවන බව යෙහෝවා දෙවි පැහැදිලිවම පවසා තිබෙනවා. දෙවිගේ සෙනඟව සම්පූර්ණයෙන්ම මේ පොළොවෙන් තුරන් කිරීමටවත් දේශනා සේවය නතර කිරීමටවත් සතුරන්ට නොහැකි වන බව ස්ථිරයි. (යෙසා. 54:17; යෙරෙ. 1:19) දෙවි දී තිබෙන එවැනි පොරොන්දු අපට මහත් දිරිගැන්වීමක් නොවේද! නමුත් පාවුල්ට සිදු වුණේ කුමක්ද? විරුද්ධවාදිකම්වලට මුහුණ දෙමින් සිටි ඔහුට දිගටම දෙවිගේ රාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දීමට අවශ්‍ය දිරිගැන්වීම ලැබුණාද? එසේනම් ඔහුට එය ලැබුණේ කෙසේද? ඔහු ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

‘දිවුරුම් දී කළ කුමන්ත්‍රණය’ අසාර්ථක වෙයි (ක්‍රියා 23:11-34)

4, 5. පාවුල්ව දිරිගැන්වූයේ කවුද? ඒ කෙසේද? එය නියම වේලාවේදී ලැබුණු දිරිගැන්වීමක් කියා පැවසිය හැක්කේ ඇයි?

4 නියෝජිත පාවුල්ට අවශ්‍ය දිරිගැන්වීම ලැබුණු බව වාර්තාවේ සඳහන් මේ දෙයින් පැහැදිලියි. “එදින රාත්‍රියේදී ස්වාමීන් පාවුල් ඉදිරියේ දර්ශනය වී, ‘කිසි දෙයකින් අධෛර්යය වෙන්න එපා. ඇත්තෙන්ම ඔබ යෙරුසලමේදී මා ගැන ඉතා හොඳ සාක්ෂියක් දී තිබෙනවා. ඔබට රෝමයේදීත් මෙවැනි සාක්ෂියක් දරන්න සිදු වෙයි’ කියා කීවේය.” (ක්‍රියා 23:11) යේසුස් පැවසූ ඒ වදන් ඔහුට මොන තරම් දිරිගැන්වීමක් වන්න ඇද්ද! යෙරුසලමේදී ඔහුට කොතරම් පීඩා පැමිණියත් ඔහුගේ ජීවිතයට හානියක් නොවන බව ස්ථිරයි. මන්ද යේසුස් ඔහුට පැවසුවේ ඔහු රෝමයේදීත් යේසුස් ගැන සාක්ෂි දරන බවයි.

‘මිනිසුන් හතළිස්දෙනෙකුට වැඩි පිරිසක් ඔහුව මරා දැමීමට මඟ රැකගෙන සිටිනවා.’—ක්‍රියා 23:21

5 පාවුල්ට ලැබුණු දිරිගැන්වීම නියම වේලාවේදී ලැබුණා කියා පැවසිය හැකියි. මන්ද ඊළඟ දවසේදී යුදෙව්වන් 40දෙනෙකුටත් වඩා වැඩි පිරිසක් “එකට එකතු වී පාවුල්ට විරුද්ධව කුමන්ත්‍රණය කළෝය. ඔවුන් තීරණය කළේ ඔහුව මරා දමන තුරු නොකා නොබී සිටීමටය. ඒ සම්බන්ධයෙන් ඔවුහු දිවුරුමක්ද කළෝය” කියා වාර්තාවේ සඳහන් වෙනවා. ඒ යුදෙව්වන් පාවුල්ව මරා දැමීමට ගෙන තිබූ අධිෂ්ඨානය කොතරම්ද කියනවා නම් ඔවුන් ඒ සම්බන්ධයෙන් දිවුරුමක්ද කළා. මොන යම් හේතුවක් නිසා හෝ ඔවුන්ට ඔහුව මරා දැමීමට නොහැකි වුණොත් ඔවුන් පිටට ශාපයක් පැමිණෙයි කියා ඔවුන් සිතුවා. (ක්‍රියා 23:12-15) නායක පූජකයන්ගේ හා වැඩිමහල්ලන්ගේ අනුදැනුම ඇතුව ඔවුන් ඉතා කූට ලෙස සැලසුම් කළේ තොරතුරු වඩාත් නිවැරදිව දැනගැනීම සඳහා පාවුල්ව තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍යයි කියා පවසා ඔහුව මන්ත්‍රණ සභාවට නැවත ගෙන්වාගැනීමටයි. ඔහු එසේ මන්ත්‍රණ සභාවට එන අතරතුරේදී පිරිසක් රැක සිට ඔහුට පහර දී ඔහුව මරා දැමීමට ඔවුන් සැලසුම් කළා.

6. තමන්ව මරා දැමීමට යෙදූ කුමන්ත්‍රණය ගැන පාවුල්ට ආරංචි වුණේ කෙසේද? යෞවන යෞවනියන්ට ඒ තරුණයාව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

6 යුදෙව්වන් කළ ඒ කුමන්ත්‍රණය ගැන පාවුල්ගේ සහෝදරියගේ පුතාට ආරංචි වූ විට ඔහු පාවුල් වෙතට ගොස් ඒ බව දැනුම් දුන්නා. එවිට පාවුල් එම තරුණයා මාර්ගයෙන් හමුදාපති වූ ක්ලෝදියස් ලිසියස්ට ඒ ගැන දැන්වූවා. (ක්‍රියා 23:16-22) එම තරුණයා හා සමානව අද දින සිටින යෞවන යෞවනියන්ද තමන් ගැනවත් නොසිතා සෙසු සහෝදර සහෝදරියන්ගේ යහපත වෙනුවෙන් නිර්භීතව ක්‍රියා කරනවා. ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය වෙනුවෙන් තමන්ට කළ හැකි දේ ඔවුන් විශ්වාසවන්තව ඉටු කරනවා. එවැනි යෞවන යෞවනියන් යෙහෝවා දෙවිගේ ප්‍රේමය නොමදව අද්දකින බවට කිසිම සැකයක් නැහැ.

7, 8. පාවුල්ව ආරක්ෂා කිරීම සඳහා ක්ලෝදියස් ලිසියස් කළේ මොනවාද?

7 කුමන්ත්‍රණය ගැන දැනගැනීමට ලැබුණු විගස හමුදාපති, පාවුල්ව එදින රාත්‍රියේම යෙරුසලමේ සිට සිසේරියට ආරක්ෂිතව ගෙන යෑමට සැලසුම් කළා. ඔහු යටතේ මිනිසුන් 1,000ක් සේවය කළ නිසා පාවුල්ව ආරක්ෂා සහිතව සිසේරියට ගෙන යෑම සඳහා 470දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩායමක් ඔහු සූදානම් කළා. එම කණ්ඩායමට හේවායන්, හෙල්ල අතැති අය හා අසරුවන් ඇතුළත් වුණා. පාවුල්ව රැගෙන සිසේරියට ගිය විට ඔහුව ආණ්ඩුකාර ෆීලික්ස්ට භාර දෙන ලෙසට හමුදාපති ඔවුන්ට අණ කළා. * රෝමවරුන් යූදා පළාත පාලනය කළේ සිසේරියේ සිටයි. යූදා පළාතේ හමුදා මූලස්ථානය පිහිටා තිබුණෙත් එම නුවරෙයි. එහි යුදෙව්වන් සෑහෙන පිරිසක් ජීවත් වුණත් වැඩිපුර සිටියේ යුදෙව් නොවන අයයි. ඒ නිසා සිසේරියේ යම් සාමකාමී වාතාවරණයක් පැවතුණා. ඊට වෙනස්ව යුදෙව් ආගමික උන්මත්තකයන් වැඩිදෙනෙකු ජීවත් වූ යෙරුසලමේ නිතරම කෝලහල පැවතුණා. හමුදාපති පාවුල්ව සිසේරියට ගෙන යෑමට තීරණය කරන්න ඇත්තේ ඒ හේතූන් නිසා විය හැකියි.

8 ඔහු පාවුල් ගැන විස්තර ඇතුළත් ලිපියක්ද ෆීලික්ස්ට යැව්වා. ඇත්තෙන්ම රෝම නීතියට අනුව එසේ කිරීම අත්‍යවශ්‍ය දෙයක්. පාවුල් රෝම පුරවැසියෙකු බව තමා දැනගත් විට ඔහුව ‘මරා දැමීමට’ උත්සාහ කළ යුදෙව්වන්ගේ අතින් තමා ඔහුව බේරාගත් බව ලිසියස් එම ලිපියේ සඳහන් කළා. “මරණ දණ්ඩනය හෝ සිරදඬුවමක් හෝ ලැබීමට තරම් කිසි චෝදනාවක්” පාවුල්ට විරුද්ධව තමාට සොයාගැනීමට නොහැකි වූ බවත් ඔහු එහි සඳහන් කළා. ඔහු තවදුරටත් සඳහන් කළේ යුදෙව්වන් පාවුල්ව මරා දැමීමට කුමන්ත්‍රණය කළ නිසා තමා ඔහුව ආණ්ඩුකාරයා වෙතට එවූ බවයි. එවිට ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරන අයට ආණ්ඩුකාරයා ඉදිරියට පැමිණ එසේ කළ හැකි අතර පාවුල් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටද ආණ්ඩුකාර ෆීලික්ස්ට හැකි බවත් ඔහු සඳහන් කළා.—ක්‍රියා 23:25-30.

9. (අ) රෝම පුරවැසියෙකු වූ පාවුල්ගේ අයිතිවාසිකම් උල්ලංගනය කර තිබුණේ කෙසේද? (ආ) අප ජීවත් වන රටේ අපට තිබෙන අයිතිවාසිකම් ප්‍රයෝජනයට ගත හැක්කේ ඇයි?

9 ලිසියස් යැවූ ලිපියේ සඳහන් සෑම දෙයක්ම සත්‍ය තොරතුරු කියා පැවසිය නොහැකියි. පෙනෙන විදිහට ඔහු එම ලිපිය සකස් කළේ තමාට හොඳ නමක් දිනාගැනීමට හැකි වන අයුරිනුයි. ඇත්තටම ඔහු පාවුල්ව යුදෙව්වන්ගේ අතින් බේරාගත්තේ පාවුල් රෝම පුරවැසියෙකු කියා දැනගත් නිසා නොවෙයි. එමෙන්ම තමා පාවුල්ව ‘දම්වැල් දෙකකින් බැඳ තැබූ’ බවවත් ‘කසයෙන් තළා ඔහු ගැන විභාග කරන’ ලෙසට අණ දුන් බවවත් ඔහු එම ලිපියේ සඳහන් කළේ නැහැ. (ක්‍රියා 21:30-34; 22:24-29) ඔහු ඇත්තටම කටයුතු කළේ රෝම පුරවැසියෙකු වූ පාවුල්ගේ අයිතිවාසිකම් උල්ලංගනය වන අයුරිනුයි. සාතන් අද දිනත් දෙවිගේ සේවකයන් වන අපට විරුද්ධව දරුණු ලෙස ක්‍රියා කිරීමට ආගමික උන්මත්තකයන්ව යොදාගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවිට නමස්කාර කිරීම සඳහා අපට තිබෙන අයිතිය උල්ලංගනය වීමට පවා ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවලදී පාවුල් මෙන් අපටත් අපට තිබෙන අයිතිවාසිකම් ප්‍රයෝජනයට ගනිමින් අප ජීවත් වන රටේ පවතින නීතියේ උපකාරය පැතීමට පුළුවන්.

“මගේ පැත්තෙනුත් තොරතුරු ඉදිරිපත් කරන්න මම ඉතාමත් සතුටුයි” (ක්‍රියා 23:35–24:21)

10. පාවුල්ට විරුද්ධව ඉදිරිපත් කළ බරපතළ චෝදනා මොනවාද?

10 සිසේරියට ගෙනා පාවුල්ව “හෙරොද්ගේ ප්‍රීටෝරියානු මාලිගාවේ ආරක්ෂාව යටතේ රඳවා තැබීමට” ආණ්ඩුකාරයා තීරණය කළා. ඔහු එසේ කළේ පාවුල්ට විරුද්ධව චෝදනා කළ අය යෙරුසලමේ සිට පැමිණෙන තෙක් නඩුව විභාග කිරීමට නොහැකි වූ නිසයි. (ක්‍රියා 23:35) දවස් පහකට පසුව උත්තම පූජක අනනියස්ද ටෙර්ටුලස් නම් නීතිඥයාද වැඩිමහල්ලන් කිහිපදෙනෙක්ද ආණ්ඩුකාරයා ඉදිරියට පැමිණියා. ටෙර්ටුලස්, මුලින්ම ආණ්ඩුකාර ෆීලික්ස් යුදෙව්වන්ගේ යහපත වෙනුවෙන් කරන දේවල් ගැන පවසමින් ඔහුව ප්‍රශංසාවට ලක් කළා. පෙනෙන විදිහට ඔහු මුලින්ම එසේ කළේ ආණ්ඩුකාර ෆීලික්ස්ව ඔවුන්ගේ පැත්තට නම්මවාගැනීමේ අරමුණිනුයි. * ඉන්පසු ඔහු පාවුල්ට විරුද්ධව ඇති චෝදනා ඉදිරිපත් කරමින් මෙසේ පැවසුවා. “මේ මිනිසා මහ කරදරකාරයෙක් බව අපට පෙනී ගියා. ඔහු ලොව පුරා සිටින සියලුම යුදෙව්වරුන් අතර ආරවුල් සහ භේද ඇති කරනවා. ඔහු නාසරෙත් නුවරෙන් බිහි වුණු නිකායේ ප්‍රධාන නියෝජිතයෙක්. ඔහු දේවමාලිගාව අපවිත්‍ර කරන්නත් උත්සාහ කළා. ඒ අවස්ථාවේදී තමයි අපි ඔහුව අත්අඩංගුවට ගත්තේ.” එවිට “අනික් යුදෙව්වරුද එකතු වී එම චෝදනාවලට පදනමක් ඇති බව කියන්න පටන්ගත්තෝය” කියාත් වාර්තාවේ සඳහන් වෙනවා. (ක්‍රියා 24:5, 6, 9) ඔවුන් පාවුල්ට විරුද්ධව ඉදිරිපත් කළේ ඉතා බරපතළ චෝදනායි. ඔවුන් පැවසුවේ පාවුල් ආරවුල් හා භේද ඇති කරන්නෙකු, භයානක නිකායක ප්‍රධානියෙකු හා දේවමාලිගාව අපවිත්‍ර කළ කෙනෙකු බවයි. ඒ කාලයේ එවැනි කෙනෙකුට ලැබෙන දඬුවම මරණයයි.

11, 12. තමන්ට විරුද්ධව එල්ල කර තිබෙන චෝදනා බොරු බව පාවුල් පෙන්වා දුන්නේ කෙසේද?

11 ඉන්පසු ආණ්ඩුකාරයා කතා කිරීම සඳහා පාවුල්ට අවස්ථාව ලබා දුන්නා. එවිට පාවුල්, “මගේ පැත්තෙනුත් තොරතුරු ඉදිරිපත් කරන්න මම ඉතාමත් සතුටුයි” කියා පවසමින් කතාව ඇරඹුවා. තමාට විරුද්ධව ඉදිරිපත් කළ චෝදනා බොරු බව ඔහු තරයේ කියා සිටියා. ඔහු පවසා සිටියේ තමා දේවමාලිගාව අපවිත්‍ර වන අයුරින්වත් ආරවුල් හා භේද ඇති කරන අයුරින්වත් කටයුතු නොකළ බවයි. ඇත්තටම තමා යෙරුසලමට පැමිණියේ “අවුරුදු ගණනාවකට පසු” බවත් එසේ පැමිණියේ සාගතය හා විවිධ පීඩා නිසා අගහිඟකම්වලින් පෙළුණු ක්‍රිස්තියානීන්ට “සහනාධාර ලබා දෙන්න” බවත් ඔහු පැහැදිලි කළා. තමා දේවමාලිගාවට ඇතුල් වීමට පෙර ‘චාරිත්‍රානුකූලව පවිත්‍ර වූ’ බවත් “දෙවිට හා මිනිසාට විරුද්ධව කිසි වරදක් නොකිරීමට” තමා නිතරම උත්සාහ කරන බවත් ඔහු තරයේ කියා සිටියා.—ක්‍රියා 24:10-13, 16-18.

12 නමුත් ඔවුන් පැවසූ එක් දෙයක් පාවුල් පිළිගත්තා. එනම් “ඔවුන් ‘ආගමික නිකායක්’ කියා හඳුන්වන කණ්ඩායමේ” තමා සාමාජිකයෙකු බවයි. එමෙන්ම තම මුතුන්මිත්තන්ගේ දෙවිට තමන් නමස්කාර කරන්නේ එලෙසයි කියාත් ඔහු පැවසුවා. “නීතියේ සහ අනාගතවක්තෘවරුන් විසින් ලියූ සෑම දෙයක්ම” තමා විශ්වාස කරන බවත් තමන්ට විරුද්ධව චෝදනා කරන අය මෙන් තමන්ද “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින බව” විශ්වාස කරන බවත් ඔහු පැවසුවා. ඉන්පසු පාවුල් මෙසේ පැවසුවා. “මම මන්ත්‍රණ සභාව ඉදිරියේ පෙනී සිටි විට මට කළ චෝදනාවලින් ඔප්පු කළේ කුමන එකද කියා මෙහි සිටින අයට දැන් සඳහන් කරන්න පුළුවන්. ඔවුන්ට මා ගැන කියන්න තිබෙන්නේ එක දෙයක් විතරයි. ඒ මම ඔවුන් අතරේ සිටියදී පැවසූ දෙයක් ගැනයි. එනම්, ‘අද ඔබ මාව වැරදිකරුවෙක් කරන්න හදන්නේ මම නැවත නැඟිටීම ගැන විශ්වාස කරන නිසයි’ කියා මම ඔවුන්ට පැවසූ දේ ගැනයි.” (ක්‍රියා 24:14, 15, 20, 21) ඔහු කියා සිටියේ ඔහුට විරුද්ධව එල්ල කර තිබෙන චෝදනා ආණ්ඩුකාරයා ඉදිරියේ ඔප්පු කර පෙන්වන්න කියායි.

13-15. බලධාරීන් ඉදිරියේ සාක්ෂි දැරීම සම්බන්ධයෙන් පාවුල් කදිම ආදර්ශයක් තබන්නේ කෙසේද?

13 අප ආරවුල්, භේද ඇති කරන අය කියා හෝ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන අය කියා හෝ භයානක නිකායක සාමාජිකයන් කියා හෝ අද දින අපට විරුද්ධවත් බොරු චෝදනා එල්ල විය හැකියි. එවැනි බොරු චෝදනා නිසා හෝ අපේ විශ්වාසයන් නිසා අපවත් බලධාරීන් ඉදිරියට ගෙන යෑමට ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවකදී අප කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පාවුල් තබන්නේ කදිම ආදර්ශයක්. පාවුල් ආණ්ඩුකාර ෆීලික්ස්ගේ අනුමැතිය දිනාගැනීමේ අරමුණින් ඔහුව බොරුවට ප්‍රශංසාවට ලක් කළේ නැහැ. ඔහු කේන්ති ගෙන අගෞරවනීය ලෙස කතා කළෙත් නැහැ. ඒ වෙනුවට ඔහු ඉතා ඥානවන්තව හා පැහැදිලිව තමා නිර්දෝෂ බව ඔප්පු කිරීමට නිවැරදි තොරතුරු ඉදිරිපත් කළා. උදාහරණයකට තමා දේවමාලිගාව අපවිත්‍ර කළ බවට චෝදනා කළ අයම එනම් ‘ආසියා පළාතෙන් පැමිණි යුදෙව්වන් පිරිස’ එහි පැමිණ සිටියේ නැති බව ඔහු පෙන්නුම් කළා. ඔවුන් ආණ්ඩුකාරයා ඉදිරියට පැමිණ තමාට විරුද්ධව තිබෙන චෝදනා ඉදිරිපත් කළ යුතු බව පාවුල් පැවසුවේ තමා නිර්දෝෂ බව ඔප්පු කිරීමටයි.—ක්‍රියා 24:18, 19.

14 අපට පාවුල්ව ආදර්ශයට ගත හැකි වඩා වැදගත්ම ආකාරය වන්නේ ඔහු තම විශ්වාසයන් ගැන සාක්ෂි දැරූ ආකාරයි. ඔහු ඉතා නිර්භීතව තමා නැවත නැඟිටීම විශ්වාස කරන බව පැවසුවා. මන්ත්‍රණ සභාව ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේදී ඔවුන් අතරේ මහත් ආරවුලක් ඇති වීමට හේතුව වුණෙත් එයමයි. ටිකක් සිතන්න. ඒ කාරණයම නැවත පැවසීමට ඔහුට මොන තරම් නිර්භීතකමක් අවශ්‍ය වෙන්න ඇද්ද! (ක්‍රියා 23:6-10) ඔහුගේ පැත්තෙන් තොරතුරු ඉදිරිපත් කරන විට නැවත නැඟිටීම ගැන පාවුල් කිහිප අවස්ථාවකදීම පැවසුවේ ඇයි? පාවුල් සාක්ෂි දරමින් සිටියේ යේසුස් ගැන හා ඔහු මරණයෙන් නැවත නැඟිටුණා යන කාරණය සම්බන්ධයෙනුයි. (ක්‍රියා 26:6-8, 22, 23) නමුත් ඔහුගේ විරුද්ධවාදීන් එනම් යුදෙව්වන් යේසුස් ගැනවත් ඔහුගේ නැවත නැඟිටීම ගැනවත් විශ්වාස කළේ නැහැ. ඔවුන් පාවුල්ට විරුද්ධව කටයුතු කිරීමට මූලික හේතුවත් එයමයි.

15 පාවුල් මෙන් අපටත් අපේ විශ්වාසයන් ගැන නිර්භීතව සාක්ෂි දැරිය හැකියි. මන්ද යේසුස් අපට මෙම පොරොන්දුව දී තිබෙනවා. “මිනිසුන් ඔබව අත්අඩංගුවට ගන්නා විට කුමක් කියන්නද කියා සිතමින් කනස්සලු වෙන්න එපා. ඒ පැයේදී ඔබ කතා කළ යුතු දේ දෙවි තම බලය මාර්ගයෙන් ඔබට කියා දෙයි. මන්ද ඔබ කතා කරන්නේ ඔබේ හැකියාවෙන් නොව දෙවිගේ බලයේ උපකාරයෙනුයි.” යේසුස් තවදුරටත් පැවසුවේ, “ඔබ මගේ නාමය දරන නිසා සියල්ලන් ඔබට වෛර කරයි. නමුත් ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තා” කියායි. අත් නෑර සාක්ෂි දැරීමට එය අපට මහත් දිරිගැන්වීමක්.—මාක් 13:9-13.

‘ෆීලික්ස් තුළ යම් බියක් ඇති වුණා’ (ක්‍රියා 24:22-27)

16, 17. (අ) පාවුල්ට විරුද්ධව තිබූ නඩුව ෆීලික්ස් හැසිරුවේ කෙසේද? (ආ) ෆීලික්ස් බියට පත් වුණේ ඇයි? ඔහු කිහිප වතාවක්ම පාවුල්ව කැඳවා කතාබහ කළේ කුමන අරමුණක් ඇතුවද?

16 පෙනෙන විදිහට යේසුස්ගේ අනුගාමිකයන්ගේ විශ්වාසයන් ගැන ආණ්ඩුකාර ෆීලික්ස්ට අසන්න ලැබුණු පළමු අවස්ථාව එය නොවෙයි. මන්ද වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “‘ස්වාමීන්ගේ මාර්ගය’ ගැන ෆීලික්ස්ට සෑහෙන අවබෝධයක් තිබුණු නිසා ඔහු නඩුව කල් දමා, ‘හමුදාපති ලිසියස් පැමිණි විට මේ කාරණය ගැන මම තීන්දුවක් දෙන්නම්’ කියා පැවසුවේය. එසේම මේ මිනිසාව නැවත සිරගෙට දැම්මත් ඔහුට තරමක නිදහසක් ලබා දෙන්න කියාත් ඔහුගේ මිතුරන්ට ඇවිත් ඔහුට යම් උපකාර ලබා දීමට නිදහස ලබා දෙන්න කියාත් ෆීලික්ස් හමුදා නිලධාරියාට අණ කළේය.”—ක්‍රියා 24:22, 23.

17 දවස් කිහිපයකට පසුව ආණ්ඩුකාර ෆීලික්ස් හා ඔහුගේ යුදෙව් ජාතික භාර්යාව වූ දෘසිලා පාවුල්ව කැඳවා, ‘ක්‍රිස්තුස් යේසුස්ව විශ්වාස කිරීම ගැන ඔහු පැවසූ දේවලට සවන් දුන්නා.’ (ක්‍රියා 24:24) නමුත් පාවුල්, “ධර්මිෂ්ඨකම, තමාව පාලනය කරගැනීම සහ මතු පැමිණෙන විනිශ්චය” ගැන කතා කළ විට ආණ්ඩුකාර ෆීලික්ස් බියට පත් වුණා. ඔහු ඉතා දුෂ්ට ජීවිතයක් ගත කළ කෙනෙකු නිසා සමහරවිට ඒ දේවලට සවන් දෙන විට ඔහුගේ හෘදය සාක්ෂිය ඔහුට වධ දෙන්න ඇති. ඒ නිසා ඔහු, “දැන් යන්න. නැවත පැමිණිය යුතු දවස මම ඔබට පසුව දන්වන්නම්” කියා පවසමින් පාවුල්ව එතැනින් පිටත් කර යැව්වා. ඉන්පසුව ඔහු පාවුල්ව කිහිප වතාවක්ම කැඳවා පාවුල් සමඟ කතාබහ කළා. නමුත් ඔහු එසේ කළේ සත්‍යය ගැන තොරතුරු දැනගැනීමට තිබූ අවංක ආශාව නිසා නොව පාවුල් තමාට යම් මුදලක් ලබා දෙයි කියා සිතූ නිසයි.—ක්‍රියා 24:25, 26.

18. පාවුල් “ධර්මිෂ්ඨකම, තමාව පාලනය කරගැනීම සහ මතු පැමිණෙන විනිශ්චය” ගැන ෆීලික්ස්ට හා ඔහුගේ භාර්යාවට පැවසුවේ ඇයි?

18 ඔවුන් දෙදෙනාට පාවුල්ගෙන් දැනගැනීමට අවශ්‍ය වුණේ ‘ක්‍රිස්තුස් යේසුස්ව විශ්වාස කිරීමට’ ඇතුළත් වන්නේ කුමක්ද කියා බව ඔබට මතක ඇති. එසේනම් පාවුල් “ධර්මිෂ්ඨකම, තමාව පාලනය කරගැනීම සහ මතු පැමිණෙන විනිශ්චය” ගැන ආණ්ඩුකාර ෆීලික්ස්ට හා ඔහුගේ භාර්යාවට පැවසුවේ ඇයි? පාවුල් ඒ අවස්ථාවේ ඔවුන්ට පෙන්වා දුන්නේ යේසුස්ගේ අනුගාමිකයෙකු වීමට කැමති කෙනෙකු ජීවත් විය යුත්තේ කෙසේද කියායි. ආණ්ඩුකාර ෆීලික්ස් හා ඔහුගේ භාර්යාව ඉතා දුෂ්ට, දුරාචාර ජීවිත ගත කළ බව පාවුල් දැන සිටියා. ඒ නිසා ජීවත් වීම සඳහා දෙවි පෙන්වා තිබෙන ධර්මිෂ්ඨ ප්‍රමිති හා ඔවුන් ගත කළ ජීවිතය අතර මොන තරම් වෙනසක් තිබෙනවාද කියා පාවුල් ඔවුන්ට පෙන්වා දුන්නා. සෑම කෙනෙකුටම තමන් සිතන පතන, කියන කරන දේවල් සම්බන්ධයෙන් දෙවි ඉදිරියේ ගණන් දීමට සිදු වන නිසා දෙවිගේ විනිශ්චයට මුහුණ දීමට තමන්ටත් සිදු වන බව තේරුම්ගැනීමට පාවුල් පැවසූ තොරතුරු ඔවුන්ට ප්‍රමාණවත් වුණා. ඇත්තටම ෆීලික්ස් පාවුල්ට ලබා දීමට නියමිත විනිශ්චයට වඩා බරපතළ විනිශ්චයකට ෆීලික්ස්ටත් ඔහුගේ භාර්යාවටත් මුහුණ දීමට සිදු වන බව පැහැදිලියි. එසේනම් පාවුල් පැවසූ දේවල් අසා ‘ෆීලික්ස් තුළ යම් බියක් ඇති වීම’ පුදුමයක්ද!

19, 20. (අ) බයිබලයේ සඳහන් සත්‍යයන් දැනගැනීමට කැමැත්තක් දැක්වූවත් ඊට එකඟව තම ජීවිත වෙනස් කිරීමට කැමැත්තක් නැති අය සමඟ අප කටයුතු කළ යුත්තේ කෙසේද? (ආ) ෆීලික්ස් පාවුල්ගේ යහපත ගැන සිතා කටයුතු කළේ නැති බව අප දන්නේ කෙසේද?

19 අපටත් සේවයේ යන විට ෆීලික්ස් හා සමාන පුද්ගලයන් හමු විය හැකියි. බයිබලයේ සඳහන් සත්‍යයන් දැනගැනීමට සමහරදෙනෙකු යම් කැමැත්තක් පෙන්වූවත් ඊට එකඟව තම ජීවිත වෙනස් කිරීමට ඔවුන් කැමති නැහැ. ඔවුන්ගේ චේතනාව අප හරියටම දන්නේ නැති නිසා එවැනි අයට උපකාර කරන විට අප පරෙස්සම් විය යුතුයි. කෙසේවෙතත් දෙවිගේ අනුමැතිය දිනාගැනීමට නම් ඔවුන් කළ යුත්තේ කුමක්ද කියා ඔවුන්ට කාරුණිකව පැවසීමට පාවුල් මෙන් අපටත් හැකියි. එසේ කිරීමෙන් සමහරවිට බයිබලයේ සඳහන් සත්‍යයන් ඔවුන්ගේ හදවතට කාවැදීමට ඉඩ තිබෙනවා. නමුත් දෙවි පිළිකුල් කරන ක්‍රියාවන් අත්හැරීමට ඔවුන් තුළ කිසිම කැමැත්තක් නැති බව පැහැදිලිව පෙනෙනවා නම් ඔවුන් ගෙන තිබෙන තේරීම වෙනස් කිරීමට අප උත්සාහ නොකළ යුතුයි. ඒ වෙනුවට බයිබලයේ සඳහන් සත්‍යයන් දැනගැනීමට අවංක ආශාවක් තිබෙන අයව සෙවීමට අප අපේ කාලය යෙදවිය යුතුයි.

20 ආණ්ඩුකාර ෆීලික්ස්ගේ සැබෑ චේතනාව කුමක්ද කියා වාර්තාවේ සඳහන් මේ දෙයින්ද පැහැදිලියි. “අවුරුදු දෙකක් ගත වූ පසු ෆීලික්ස්ගේ නිලයට පෝර්ෂස් ෆෙස්ටස් පත් විය. ඒ වන විටත් පාවුල් සිටියේ සිරභාරයේය. මන්ද ෆීලික්ස් යුදෙව්වරුන්ගේ ප්‍රසාදය ලබාගැනීමට කැමති වූ නිසා ඔහු තම නිලයෙන් ඉවත්ව යන තුරුත් පාවුල්ව සිරභාරයේ තබාගත්තේය.” (ක්‍රියා 24:27) ඉන් පැහැදිලි වන්නේ ඔහු පාවුල්ගේ යහපත ගැන සිතා කටයුතු කළ කෙනෙකු නොවූ බවයි. “ස්වාමීන්ගේ මාර්ගයට” අයත් අය ආරවුල්, භේද ඇති කරන අයවත් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන අයවත් නොවෙයි කියා ෆීලික්ස් හොඳින්ම දැන සිටියා. (ක්‍රියා 19:23) පාවුල් රෝම නීතියට විරුද්ධව කිසිම දෙයක් කර නැති බවත් ඔහු දැන සිටියා. නමුත් ඔහු පාවුල්ව දිගටම සිරභාරයේ තබාගත්තා. මන්ද ඔහුට අවශ්‍ය වුණේ ‘යුදෙව්වරුන්ගේ ප්‍රසාදය ලබාගැනීමටයි.’

21. පෝර්ෂස් ෆෙස්ටස් ආණ්ඩුකාරයා ලෙස පත් වූ පසු පාවුල්ට සිදු වුණේ කුමක්ද? පාවුල් දිගටම මහත් දිරිගැන්වීමක් ලැබුවේ කුමකින්ද?

21 ක්‍රියා 24වෙනි පරිච්ඡේදයේ අවසන් පදයේ සඳහන් ලෙස ෆීලික්ස්ගේ නිලයට පෝර්ෂස් ෆෙස්ටස් පත් වන තුරුත් පාවුල් සිටියේ සිරභාරයෙයි. එතැන් සිට පාවුල්ට නඩු විභාගවලට මුහුණ දීමටත් විවිධ බලධාරීන් ඉදිරියේ පෙනී සිටීමටත් සිදු වුණා. මේ නිර්භීත නියෝජිතයාව ‘රජුන් සහ ආණ්ඩුකාරයන් ඉදිරියට ඇදගෙන ගිය’ බව නම් නිසැකයි. (ලූක් 21:12) එහි ප්‍රතිඵලයක් ලෙස එවකට සිටි උසස්ම බලධාරියා ඉදිරියෙත් සාක්ෂි දැරීමට පාවුල්ට හැකි වූ ආකාරය අපි ඉදිරි පරිච්ඡේදවල සලකා බලනවා. ඔහුට කොතරම් අපහසු අවස්ථාවලට මුහුණ දීමට සිදු වුණත් දෙවි කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය නම් කිසි ලෙසකින්වත් අඩු වුණේ නැහැ. ඇත්තෙන්ම “කිසි දෙයකින් අධෛර්යය වෙන්න එපා” කියා යේසුස් ඔහුට පැවසූ වදන්වලින් ඔහු දිගටම මහත් දිරිගැන්වීමක් ලැබූ බව නිසැකයි.

^ 10 ඡේ. ආණ්ඩුකාර ෆීලික්ස්ගේ පාලනය යටතේ යුදෙව්වන් “මහත් සාමයක්” අද්දකින බව ටෙර්ටුලස් පැවසුවා. නමුත් සැබෑ තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. රෝමයට විරුද්ධව කැරැල්ල ඇති වූ කාලය දක්වා යූදා පළාත පාලනය කළ අනිකුත් ආණ්ඩුකාරයන්ගේ කාල වකවානු ෆීලික්ස් පාලනය කළ කාලය සමඟ සන්සන්දනය කර බලන විට ෆීලික්ස්ගේ කාලයේ එතරම් සාමයක් අද්දැක තිබුණේ නැහැ. ෆීලික්ස් කරමින් සිටි ප්‍රතිසංස්කරණ කටයුතු යුදෙව්වන් පිළිගන්නේ ‘හද පිරි කෘතඥතාවකින්’ කියාත් ටෙර්ටුලස් පැවසුවා. එයත් අමූලික බොරුවක්. සැබෑව නම් යුදෙව්වන්ගෙන් වැඩිදෙනෙක් ආණ්ඩුකාර ෆීලික්ස්ව හෙළාදැකීමයි. මන්ද ඔහු ඉතා කුරිරු ලෙස පාලනය කළ අතර යුදෙව්වන්ගේ කැරලිගැසීම් මැඩපැවැත්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ගද අනුගමනය කළා.—ක්‍රියා 24:2, 3.