Skip to content

පටුනට යන්න

27වෙනි පරිච්ඡේදය

පාවුල් “ඉතා පැහැදිලි සාක්ෂියක්” දරයි

පාවුල් “ඉතා පැහැදිලි සාක්ෂියක්” දරයි

රෝමයේ සිරගතව සිටියත් පාවුල් දිගටම නිර්භීතව සාක්ෂි දරයි

ක්‍රියා 28:11-31

1. රෝමය බලා ගිය ගමන සාර්ථක වන බවට පාවුල් හා ඔහුගේ මිත්‍රයන් තුළ නිසැකකමක් තිබුණේ ඇයි?

මේ ක්‍රිස්තු වර්ෂ 59වෙනි අවුරුද්දයි. “සියුස්ගේ පුත්‍රයෝ” යන නම දරන ලාංඡනයක් කැටයම් කර තිබෙන ධාන්‍ය රැගත් නැවක් මෝල්ටාවේ සිට ඉතාලිය බලා පිටත් වෙනවා. හේවායන්ගේ භාරයේ සිටින නියෝජිත පාවුල්ද ඔහුගේ මිත්‍රයන් දෙදෙනා වන ලූක් හා අරිස්තාකස්ද මෙම නැවේ සිටිනවා. (ක්‍රියා 27:2) පෙනෙන විදිහට මේ නැවේ ගමන් කරන අය ගමනට රැකවරණය පතන්නේ සියුස් නම් ග්‍රීක දෙවියාගේ නිවුන් පුත්‍රයන් දෙදෙනාගෙනුයි (එනම් කැස්ටර් හා පොලොක්ස්). නමුත් පාවුල් හා ඔහුගේ මිත්‍රයන් නම් එවැනි දෙවිවරුන්ගෙන් රැකවරණය පැතුවේ නැහැ. (ක්‍රියා 28:11) මන්ද පාවුල් රෝමයේදී සාක්ෂි දරන බවත් ඔහු සීසර් ඉදිරියේ පෙනී සිටින බවත් ඔවුන් නමස්කාර කරන සැබෑ දෙවි වන යෙහෝවා ඔවුන්ට පොරොන්දු වී තිබුණා. එසේනම් මේ ගමන සාර්ථක වන බවට ඔවුන් තුළ මහත් නිසැකකමක් තිබීම පුදුමයක් නොවෙයි.—ක්‍රියා 23:11; 27:24.

2, 3. පාවුල් ගිය නැව ගමන් කළේ කුමන මාර්ගයේද? පාවුල්ට ලැබුණේ කාගේ උපකාරයද?

2 දින තුනක ගමනින් පසු සිසිලියේ පිහිටි සිරකූසය නම් අලංකාරවත් නුවර වෙතට ඔවුන් පැමිණියා. එය ඇතන්ස් හා රෝමය මෙන් ඉතා ප්‍රසිද්ධ නුවරක්. එතැනින් පිටත් වූ ඔවුන්, ඊළඟට ළඟා වුණේ ඉතාලියේ දකුණු ප්‍රදේශයේ පිහිටි නුවරක් වූ රෙජියම් වෙතටයි. දකුණු දෙසින් හමා ආ සුළඟ නිසා රෙජියම් සිට කිලෝමීටර් 320ක් ඈතින් පිහිටි පුටෙයෝලිය නම් වරාය වෙතට (අද දින නේපල්ස් ලෙස හඳුන්වන ස්ථානය අසල) සිතුවාටත් වඩා වේගයෙන් යෑමට ඔවුන්ට හැකි වුණා.—ක්‍රියා 28:12, 13.

3 දිගු ගමනින් පසු දැන් පාවුල් ඔහුගේ ගමනාන්තය වන රෝමයට පැමිණීමට ආසන්නයි. එහිදී ඔහු අධිරාජ්‍යයා වූ නීරෝ ඉදිරියේ පෙනී සිටියි. සිසේරියේ සිට රෝමය දක්වා පැමිණි මේ ගමනේදී “සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවාගේ උපකාරය පාවුල්ට ලැබුණා. (2 කොරි. 1:3) දෙවිගේ උපකාරය ඔහුට දිගටම ලැබුණු ආකාරය ගැනත් පාවුල් දිගටම උද්‍යෝගයෙන් සේවය කළ ආකාරය ගැනත් දැන් අපි සලකා බලමු.

සහෝදරයන් දැකීමෙන් මහත් ධෛර්යයක් ලැබූ පාවුල්, දෙවිට ස්තුති කළා (ක්‍රියා 28:14, 15)

4, 5. (අ) සහෝදරයන් පාවුල්ට හා ඔහුගේ මිත්‍රයන්ට ආගන්තුක සත්කාරය පෙන්වූයේ කෙසේද? පාවුල්ට සහෝදරයන් සමඟ කාලය ගත කිරීමට නිදහස ලැබෙන්න ඇත්තේ ඇයි? (ආ) තම යහපත් හැසිරීම නිසා සිරගෙවල්වල සිටියදී පවා ක්‍රිස්තියානීන් ලබා තිබෙන ප්‍රයෝජන මොනවාද?

4 පුටෙයෝලිය වරායට පැමිණි විට පාවුල්ට හා ඔහුගේ මිත්‍රයන්ට එහි සිටි ‘සහෝදරයන්ව හමු වූ අතර ඔවුන් සමඟ දවස් හතක් නැවතී සිටින මෙන් ඔවුන් පාවුල් හා ඔහුගේ මිත්‍රයන්ගෙන් ඉල්ලා සිටියා.’ (ක්‍රියා 28:14) ආගන්තුක සත්කාරය පෙන්වීම සම්බන්ධයෙන් එම සහෝදරයන් තබන්නේ කදිම ආදර්ශයක්. පාවුල් හා ඔහුගේ මිත්‍රයන් සමඟ එකට කාලය ගත කිරීමෙන් එම සහෝදරයන් මහත් දිරිගැන්වීමක් ලැබූ බව නිසැකයි. නමුත් රෝම නිලධාරියා තමන් භාරයේ සිටින සිරකරුවෙකු වූ පාවුල්ට සහෝදරයන් සමඟ එලෙස කාලය ගත කිරීමට නිදහස ලබා දුන්නේ ඇයි? සමහරවිට පාවුල් කටයුතු කළ ආකාරය දැක රෝම නිලධාරියාට පාවුල් ගැන පූර්ණ විශ්වාසයක් ඇති වන්න ඇති.

5 නවීන කාලයේදීත් යෙහෝවා දෙවිගේ සේවකයන්ට ඔවුන්ගේ යහපත් හැසිරීම නිසා සිරගෙවල්වල හා ගාල් කඳවුරුවල සිටින නිලධාරීන්ගේ විශ්වාසය දිනාගැනීමට හැකි වී තිබෙනවා. උදාහරණයකට මංකොල්ල කෑමක් නිසා අවුරුදු 75ක සිරදඬුවමක් ලැබූ රුමේනියාවේ එක් පුද්ගලයෙකුගේ අද්දැකීම සලකා බලන්න. සිරගෙදර සිටියදී ඔහු බයිබලය පාඩම් කරන්න පටන්ගත් අතර බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ඔහු තම ජීවිතයේ බොහෝ වෙනස්කම් කළා. ප්‍රතිඵලයක් ලෙස සිරගෙදරට අවශ්‍ය බඩු මිල දී ගැනීම සඳහා නගරයට යෑමට නිලධාරීන් ඔහුට අවසර දුන්නා. ඔවුන් ඔහුව කොතරම් විශ්වාස කළාද කියනවා නම් නගරයට යන විට කිසිම නිලධාරියෙකුව ඔහු සමඟ යැව්වේ නැහැ. ඇත්තෙන්ම ඔහුගේ යහපත් හැසිරීම යෙහෝවා දෙවිට ගෙන දුන්නේ මොන තරම් ගෞරවයක්ද!—1 පේතෘ. 2:12.

6, 7. රෝමයේ සිටි සහෝදරයන් තම ප්‍රේමය විශිෂ්ටාකාරයෙන් පෙන්වූයේ කෙසේද?

6 පුටෙයෝලියෙන් පිටත් වූ පාවුල් හා ඔහුගේ මිත්‍රයන්, කිලෝමීටර් 50ක් පමණ පයින් ගමන් කර කැපුවා නම් නුවරට පැමිණියා. ඔවුන් ගමන් කළේ රෝමය දක්වා ගිය ඇපියන් මාර්ගය ඔස්සෙයි. එම මාර්ගය විශාල, පැතලි ගල් අතුරා ඉදි කර තිබුණා. ඇපියන් මාර්ගය ඔස්සේ ගමන් කරන කෙනෙකුට ඉතාලියේ ගම්බද ප්‍රදේශය දැක බලා ගැනීමට හැකි වුණා. එම මාර්ගයේ සමහරක් තැන් මධ්‍යධරණී මුහුද අසලින් වැටී තිබුණා. එහි ගමන් කරන විට වගුරුබිම් සහිත පෙන්සියානෙ නම් ප්‍රදේශයද පසු කිරීමට සිදු වෙනවා. අප්පියස්ගේ වෙළඳපොළ පිහිටා තිබුණේ එතැනයි. රෝමය තිබුණේ එතැන් සිට කිලෝමීටර් 60ක් පමණ දුරිනුයි. පාවුල් හා ඔහුගේ මිත්‍රයන් ‘පැමිණෙන බව ආරංචි වූ රෝමයේ සිටි සහෝදරයන්,’ ඔවුන්ව හමු වීමට අප්පියස්ගේ වෙළඳපොළ දක්වාම පැමිණ සිටියා. තවත් සමහරදෙනෙක් තුන් තානායම නම් ස්ථානයට වී පාවුල් පැමිණෙන තෙක් බලා සිටියා. තුන් තානායම නම් ස්ථානයේ සිට රෝමය පිහිටා තිබුණේ කිලෝමීටර් 50ක් පමණ දුරිනුයි. ඇත්තෙන්ම රෝමයේ සිටි සහෝදරයන් කටයුතු කළ ආකාරයෙන් ඔවුන් තුළ සහෝදරයන් කෙරෙහි මොන තරම් ප්‍රේමයක් තිබුණාද කියා පැහැදිලියි.—ක්‍රියා 28:15.

7 අප්පියස්ගේ වෙළඳපොළ කියන්නේ වෙහෙසට පත්ව පැමිණෙන මඟීන්ට සැප පහසුවට සිටිය හැකි තැනක් නම් නොවෙයි. රෝම ජාතික කවියෙකු වූ හොරස් එම වෙළඳපොළ විස්තර කර තිබෙන්නේ මෙලෙසයි. “එය නැවියන්ගෙන් හා කිසිකමකට නැති තැබෑරුම්කරුවන්ගෙන් පිරුණු ස්ථානයක්. පාවිච්චිය සඳහා එහි තිබූ ජලය ඉතාම අපවිත්‍රයි.” එම ස්ථානයේ සිට ආහාරයක් ගැනීමටවත් හොරස් කැමති වුණේ නැහැ. නමුත් රෝමයෙන් පැමිණි සහෝදරයන් එතරම් අපහසුකම් මැද පාවුල් හා ඔහුගේ මිත්‍රයන් පැමිණෙන තෙක් එතැනට වී බලා සිටියා. ඔවුන්ට වුවමනා වුණේ ඒ ස්ථානයේ සිට රෝමය දක්වා පාවුල් සමඟ එකට ගමන් කිරීමටයි.

8. පාවුල් සහෝදරයන්ව දුටු විට දෙවිට ස්තුති කළේ ඇයි?

8 වාර්තාවේ සඳහන් වන්නේ, “පාවුල් ඔවුන්ව [සහෝදරයන්ව] දුටු විට දෙවිට ස්තුති කළේය. මන්ද ඔවුන්ව දැකීමෙන් ඔහු මහත් ධෛර්යයක් ලැබුවේය” කියායි. (ක්‍රියා 28:15) එතැනට පැමිණ සිටි සමහරක් සහෝදරයන් පාවුල්ව හොඳින් දැන හඳුනන අය වෙන්න ඇති. ඔවුන් සියලුදෙනාවම දැකීමෙන් පාවුල් මොන තරම් සැනසීමක් මෙන්ම දිරිගැන්වීමක් ලබන්න ඇද්ද! පාවුල් සහෝදරයන්ව දැක දෙවිට ස්තුති කළේ ඔවුන් තමන් ගැනවත් නොසිතා එලෙස ප්‍රේමය පෙන්වීමට පෙලඹුණේ දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වූ නිසා බව පාවුල් තේරුම්ගත් නිසයි. ඇත්තෙන්ම දෙවිගේ බලය එම සහෝදරයන් තුළ ක්‍රියාත්මක වන ආකාරය දුටු පාවුල්, ඉන් මහත් ධෛර්යයක් ලැබුවා. (ගලා. 5:22) අන් අයට අවශ්‍ය උපකාර හා සැනසීම ලබා දීමට සැබෑ ක්‍රිස්තියානීන් වන අප පෙලඹෙන්නෙත් දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන නිසයි.—1 තෙස. 5:11, 14.

9. අපට රෝමයේ සිටි සහෝදරයන්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

9 උදාහරණයකට සංචාරක සේවකයන්ට, මිෂනාරීන්ට හා පූර්ණකාලීනව දෙවිට සේවය කරන අනිකුත් සහෝදර සහෝදරියන්ට විවිධ පැතිවලින් උපකාර ලබා දීමට සහෝදර සහෝදරියන්ගේ සිත් පොලඹවන්නේ දෙවිගේ බලයයි. පූර්ණකාලීනව දෙවිට සේවය කරන සහෝදර සහෝදරියන් මොන තරම් කැප කිරීම් කර තිබෙනවාද! එසේනම් අප සෑම කෙනෙක්ම මෙම ප්‍රශ්න ගැන කල්පනා කර බැලීම ඉතා වැදගත්. ‘සංචාරක සේවකයාට හා ඔහු විවාහක නම් ඔහුගේ භාර්යාවට ආගන්තුක සත්කාරය පෙන්වීම හෝ වෙනත් ආකාරයක උපකාරයක් ලබා දීම සම්බන්ධයෙන් මට තව දියුණු විය හැකිද? ඔවුන් සමඟ සේවයේ හවුල් වීම සඳහා මට කලින්ම සැලසුම් යෙදිය හැකිද?’ ඇත්තෙන්ම එසේ කිරීමෙන් ඔබට බොහෝ ආශීර්වාද ලබාගත හැකියි. ටිකක් සිතන්න. පාවුල් හා ඔහුගේ මිත්‍රයන් රෝමයෙන් පැමිණි සහෝදරයන් සමඟ දිරිගන්වනසුලු, ගොඩනංවනසුලු අද්දැකීම් බෙදාගත් විට එම සහෝදරයන් කොතරම් ප්‍රීතියක් ලබන්න ඇද්ද!—ක්‍රියා 15:3, 4.

‘හැම තැනම මිනිස්සු මේ නිකායට විරුද්ධව කතා කරනවා’ (ක්‍රියා 28:16-22)

10. රෝමයේදී පාවුල් සිටි තත්වය විස්තර කරන්න. රෝමයට පැමිණ වැඩි දවසක් යෑමට පෙර පාවුල් කළේ කුමක්ද?

10 පාවුල් හා පිරිස රෝමයට ඇතුල් වූ විට ‘පාවුල්ට වෙනම ස්ථානයක නතර වෙන්න අවසර ලැබුණු අතර ඔහුව මුර කිරීම සඳහා එක හේවායෙකුවද යෙදෙව්වා.’ (ක්‍රියා 28:16) සාමාන්‍යයෙන් එලෙස අත්අඩංගුවේ සිටින සිරකරුවෙකු පැන යෑම වැළැක්වීම සඳහා ඔහුගේ අත් දම්වැලකින් බැඳ එය ඔහුව මුර කිරීමට සිටි හේවායට සම්බන්ධ කළා. පාවුල්වත් එලෙස දම්වැලකින් බැඳ තිබුණත් ශුභාරංචිය දේශනා කිරීම නම් ඔහු නතර කළේ නැහැ. වාර්තාවේ පවසන්නේ පාවුල් රෝමයට පැමිණ දවස් තුනක් ගත වූ පසු එහි සිටි යුදෙව්වන්ගේ ප්‍රධානීන්ට ඇවිත් තමාව හමු වන්න කියා ඔහු පණිවිඩයක් යැවූ බවයි. පෙනෙන විදිහට දවස් තුනක් වැනි කෙටි කාලයකින් ගමන් මහන්සිය නිවාගත් පාවුල්, යුදෙව්වන්ගේ ප්‍රධානීන්ට තමන්ව හඳුන්වා දී ශුභාරංචිය ගැන ඔවුන්ට සාක්ෂියක් දැරීමට සූදානම් වුණා.

11, 12. තමා ගැන යුදෙව්වන් තුළ යම් වැරදි මතයක් තිබුණා නම් එය බිඳ දැමීමට පාවුල් කළේ කුමක්ද?

11 යුදෙව්වන්ගේ ප්‍රධානීන් පාවුල්ව හමු වීමට පැමිණි විට පාවුල් ඔවුන්ට මෙසේ පැවසුවා. “මගේ සහෝදරයෙනි, මම ජනතාවටවත් අපේ මුතුන්මිත්තන්ගේ චාරිත්‍රවලටවත් විරුද්ධව කිසි දෙයක් කළේ නැහැ. ඒ වුණත් මාව සිරකරුවෙක් හැටියට යෙරුසලමෙන් රෝමවරුන්ට භාර දෙනු ලැබුවා. මාව විභාග කළ පසු මරණ දණ්ඩනය ලබන්න වටින කිසිම දෙයක් මා කර නැති බව ඔවුන්ට පැහැදිලි වූ නිසා ඔවුනුත් කැමති වුණේ මාව නිදහස් කරන්නයි. නමුත් යුදෙව්වරුන් දිගටම ඊට විරුද්ධව කතා කළ නිසා මට සීසර්ගෙන් තීන්දුවක් අවශ්‍යයි කියා ඉල්ලා සිටින්න සිදු වුණා. මා ඒ දේ කළේ මගේ ජාතියට විරුද්ධව කිසිම චෝදනාවක් එල්ල කරන්න නොවෙයි.”—ක්‍රියා 28:17-19.

12 තමාව හමු වීමට පැමිණි යුදෙව්වන්ව පාවුල් ඇමතුවේ, “මගේ සහෝදරයෙනි,” කියායි. ඔවුන්ව එසේ ඇමතීමෙන් පාවුල් කිරීමට උත්සාහ කළේ තමා ගැන ඔවුන් තුළ යම් වැරදි මතයක් තිබෙනවා නම් එය බිඳ දමා ඔවුන්ගේ සිත් දිනාගැනීමටයි. (1 කොරි. 9:20) තමා රෝමයට පැමිණියේ සීසර්ගෙන් තීන්දුවක් ලබාගැනීමට මිස තම ජාතියේ අයට එනම් යුදෙව්වන්ට විරුද්ධව චෝදනා එල්ල කිරීමට නොවෙයි කියාත් ඔහු ඔවුන්ට පැවසුවා. නමුත් පුදුමයට කරුණක් නම් පාවුල් ඒ දේවල් පවසන තෙක් ඔහුගේ නඩුව හා සම්බන්ධ කිසිම දෙයක් එහි සිටි යුදෙව්වන් දැන නොසිටීමයි. (ක්‍රියා 28:21) ඊට හේතුව ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “පාවුල් පැමිණි නැව ශීත කාලය අවසන් වූ පසු ඉතාලියට පැමිණි පළමු නැව්වලින් එකක් නිසා යෙරුසලමේ සිට පැමිණෙන යුදෙව් නියෝජිතයන් හෝ නඩුව ගැන සඳහන් ලිපිය ඒ වන තෙක් රෝමයට පැමිණ නොතිබෙන්න ඇති.”

13, 14. දේවරාජ්‍යය ගැන පණිවිඩය ප්‍රකාශ කිරීමට පාවුල් අඩිතාලම දැමුවේ කෙසේද? අපට ඔහුව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

13 තමා සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලූ හේතුව පැහැදිලි කළ පසු පාවුල් ඔවුන්ට මෙසේ පැවසුවා. “මාව මේ දම්වැල්වලින් බැඳ තිබෙන්නේ ඊශ්‍රායෙල්වරුන් බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තා නිසයි.” (ක්‍රියා 28:20) පාවුල් එවැනි දෙයක් පැවසුවේ දේවරාජ්‍යය ගැන පණිවිඩය ඔවුන්ට ප්‍රකාශ කිරීම සඳහා අඩිතාලමක් දැමීමේ අරමුණිනුයි. ඔහුට අවශ්‍ය වුණේ ඊශ්‍රායෙල්වරුන් බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තා එනම් පොරොන්දු වූ ගැලවුම්කරුව ඔවුන්ට හඳුන්වා දීමටයි. පෙනෙන විදිහට පාවුල්ට පැවසීමට ඇති දේට සවන් දීමට එම යුදෙව්වන් තුළ උනන්දුවක් ඇති වුණා. ඔවුන් ඔහුට මෙසේ පැවසුවේ ඒ නිසයි. “හැම තැනම මිනිස්සු මේ නිකායට විරුද්ධව කතා කරන බව අපි දන්නවා. ඒ නිසා ඔබ ඒ ගැන දරන අදහස් දැනගන්න අපි කැමතියි.”—ක්‍රියා 28:22.

14 අපත් පාවුල්ව ආදර්ශයට ගන්නවා නම් ශුභාරංචිය දේශනා කරන විට සවන් දෙන අය තුළ උනන්දුවක් ඇති කරන අයුරින් අපේ පණිවිඩය ඉදිරිපත් කිරීමට අප උත්සාහ කරනවා. උනන්දුව ඇති කරන යම් කාරණයක් ගැන සඳහන් කිරීමෙන් හෝ යම් ප්‍රශ්නයක් ඇසීමෙන් අපට එසේ කළ හැකියි. ඒ සඳහා කදිම යෝජනා අපට සේවා පාසැල් අත් පොතෙන් හා රාජ්‍ය සේවාවෙන් සොයාගත හැකියි. එසේනම් එවැනි පොත් පත්වල සඳහන් යෝජනා ඔබ සේවයේදී අදාළ කරගැනීම හොඳ දෙයක් නොවෙයිද?

‘දේවරාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්’ දුන් පාවුල්, අපට කදිම ආදර්ශයක්! (ක්‍රියා 28:23-29)

15. පාවුල් සාක්ෂි දැරූ ආකාරයෙන් අපට ඉගෙනගත හැකි කාරණා හතර මොනවාද?

15 පාවුල් සමඟ කතාබහ කිරීමට නියම කරගත් දවසේදී යුදෙව්වන් “විශාල පිරිසක්” ඔහු නවාතැන් ගත් ස්ථානයට පැමිණියා. ‘එදින පාවුල් උදෑසන සිට සවස දක්වාම දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක් ඔවුන්ට ලබා දුන්නා. මෝසෙස්ට දෙන ලද නීතියේ සඳහන් දේවල්ද අනාගතවක්තෘවරුන් ලියූ දේවල්ද යොදාගත් ඔහු, යේසුස් ගැන ඉතා පැහැදිලි තර්ක ඉදිරිපත් කළා.’ (ක්‍රියා 28:23) පාවුල් සාක්ෂි දැරූ ආකාරයෙන් අපට කාරණා හතරක් ඉගෙනගත හැකියි. එකක් නම් ඔහු පණිවිඩය ඉදිරිපත් කරන විට වැඩි අවධානයක් දුන්නේ දේවරාජ්‍යය වෙතටයි. දෙවෙනි කාරණය නම් තමන්ට සවන් දෙන අයගේ හදවතට තොරතුරු කාවැද්දවීම සඳහා ඔහු “ඉතා පැහැදිලි තර්ක” ඉදිරිපත් කළා. තුන්වෙනි කාරණය නම් ඔහු දේවල් පැහැදිලි කර දීමට පදනම ලෙස යොදාගත්තේ ශුද්ධ ලියවිල්ලයි. ඔහු “උදෑසන සිට සවස දක්වාම” සාක්ෂි දැරූ බවත් වාර්තාවේ පවසනවා. ඔහු තමා ගැනවත් නොසිතා තම පැවරුම ඉටු කළ බව ඉන් පැහැදිලියි. එය අපට ඉගෙනගත හැකි හතරවෙනි කාරණයයි. පාවුල්ට සවන් දුන් අය ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ලූක් වාර්තා කර තිබෙන්නේ පාවුල් පැවසූ දේවල් “සමහරුන් විශ්වාස කළ අතර” තවත් සමහරදෙනෙක් විශ්වාස නොකළ බවයි. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අතරේ මතභේදයක් ඇති වූ අතර “ඔවුන් එතැනින් පිටත් වී යන්න සූදානම්” වුණා.—ක්‍රියා 28:24, 25අ.

16-18. යුදෙව්වන් දැක්වූ ප්‍රතිචාරය ගැන පාවුල් පුදුම නොවුණේ ඇයි? අප ඉදිරිපත් කරන පණිවිඩයට මිනිසුන් හොඳ ප්‍රතිචාරයක් නොදක්වන විට අප කටයුතු කළ යුත්තේ කෙසේද?

16 එම යුදෙව්වන් ප්‍රතිචාරය දැක්වූ ආකාරය ගැන පාවුල් පුදුමයට පත් වුණේ නැහැ. මන්ද ඒ හා සමාන ප්‍රතිචාරයක් ඔහු කලින් අවස්ථාවලදී අද්දැක තිබූ අතර එවැනි දෙයකට මුහුණ දීමට සිදු වන බව ශුද්ධ ලියවිල්ලේද සඳහන් කර තිබුණා. (ක්‍රියා 13:42-47; 18:5, 6; 19:8, 9) ඔහු පැවසූ දේවල් පිළිගැනීමට අකමැතිව එතැනින් පිටත්ව යෑමට සූදානම් වූ අයට ඔහු මෙසේ පැවසුවා. “දෙවි තම බලයෙන් අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් ඔබේ මුතුන්මිත්තන්ට දැන්වූ දේ මේ අවස්ථාවට හොඳින් ගැළපෙනවා. එහි සඳහන් වන්නේ මෙයයි. ‘මේ ජනතාවට ගොස් මෙසේ කියන්න. “ඇහුම්කන් දෙන නිසා ඔබට ඇසේ. නමුත් ඔබට කිසිවක් වැටහෙන්නේ නැත. බලන නිසා ඔබට පෙනේ. නමුත් ඔබට කිසිවක් අවබෝධ වන්නේ නැත. මන්ද මේ ජනයාගේ සිත් දැඩි වී තිබේ.”’” (ක්‍රියා 28:25ආ-27) ඔවුන්ගේ සිත් කොතරම් “දැඩි වී” තිබුණාද කියනවා නම් දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ඔවුන්ගේ හදවතට කිසිම ආකාරයකින් බලපෑවේ නැහැ. ඔවුන් සිටියේ මොන තරම් භයානක තත්වයකද!

17 දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩයට යුදෙව්වන් හොඳ ප්‍රතිචාරයක් නොදැක්වූවත් ‘වෙනත් ජාතීන් ඊට අනිවාර්යයෙන්ම සවන් දෙන’ බව පවසමින් පාවුල් තම කතාව අවසන් කළා. (ක්‍රියා 28:28; ගීතා. 67:2; යෙසා. 11:10) වෙනත් ජාතීන්ට අයත් බොහෝදෙනෙකු ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන ආකාරය පාවුල් සියැසින්ම දැක තිබුණා. එම වදන් ඔහු මහත් නිසැකකමින් පැවසුවේ ඒ නිසයි.—ක්‍රියා 13:48; 14:27.

18 අප ඉදිරිපත් කරන පණිවිඩයට මිනිසුන් හොඳ ප්‍රතිචාරයක් නොදක්වන විට පාවුල් මෙන් අපත් අනවශ්‍ය ලෙස කනගාටු නොවිය යුතුයි. මන්ද ජීවනය කරා යන පාර සොයාගන්නේ ස්වල්පදෙනෙකු පමණක් බව අප හොඳින් දන්නවා. (මතෙ. 7:13, 14) නමුත් කෙනෙක් ශුභාරංචිය පිළිගෙන සැබෑ දෙවිට නමස්කාර කිරීම සඳහා අප හා එක් වන විට අප කොතරම් සතුටු විය යුතුද! අපේ සහෝදරත්වයට ඔහුව හද පිරි ප්‍රේමයෙන් පිළිගනිමු.—ලූක් 15:7.

පාවුල් දිගටම ‘දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කළා’ (ක්‍රියා 28:30, 31)

19. නිවාස අඩස්සියේ ගත කළ කාලයෙන් පාවුල් උපරිම ප්‍රයෝජන ගත්තේ කෙසේද?

19 නියෝජිතයන්ගේ ක්‍රියා ගැන තමා ලියූ වාර්තාව ලූක් අවසන් කරන්නේ මෙම දිරිගන්වනසුලු වදන් සමඟිනුයි. “පාවුල් තමාටම කියා කුලියට ගත් නිවසක අවුරුදු දෙකක්ම වාසය කළේය. තමාව හමු වීමට පැමිණි සියලුදෙනාව සාදරයෙන් පිළිගත් ඔහු, නිර්භීතව හා මහත් උද්‍යෝගයකින් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරමින්ද ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව දේවල් උගන්වමින්ද කාලය ගත කළේය. ඒ සඳහා ඔහුට කිසිම බාධාවක් තිබුණේ නැත.” (ක්‍රියා 28:30, 31) ආගන්තුක සත්කාරය, විශ්වාසය හා උද්‍යෝගය සම්බන්ධයෙන් පාවුල් තබන්නේ මොන තරම් කදිම ආදර්ශයක්ද!

20, 21. පාවුල් රෝමයේදී කළ සේවයෙන් ප්‍රයෝජන ලැබූ අය ගැන සඳහන් කරන්න.

20 පාවුල් නිවාස අඩස්සියේ සිටියදී ඔහුව හමු වීමට පැමිණි අයගෙන් එක් කෙනෙකු වූයේ ඔනෙසිමස් නම් තැනැත්තායි. ඔහු කොලොස්සියේ සිට තම ස්වාමියාව අත්හැර පලා ආ දාසයෙක්. ඔහුට ක්‍රිස්තියානියෙකු වීමට පාවුල් උපකාර කළ අතර ඔහුද පාවුල්ට ‘විශ්වාසවන්ත මෙන්ම ප්‍රේමණීය සහෝදරයෙක්’ වුණා. ඔනෙසිමස් සමඟ ගත කළ කාලය පාවුල්ට මහත් දිරිගැන්වීමක් වූ බව නිසැකයි. ඔනෙසිමස්ව තමා “දරුවෙකු සේ සලකන” බව පාවුල් තම ලිපියක සඳහන් කළේ ඒ නිසයි. *කොලො. 4:9; ෆිලෙ. 10-12.

21 පෙනෙන විදිහට පාවුල්ගේ ආදර්ශයෙන් තව බොහෝදෙනෙක් ප්‍රයෝජන ලැබුවා. ඔහු ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ට පැවසූ මේ දෙයින් ඒ බව පැහැදිලියි. “මට අද්දැකීමට සිදු වූ දේවල් ශුභාරංචියේ දියුණුවට දායක වූවා මිස එයින් කිසි අවාසියක් සිදු වී නැති බව ඔබ දැනගන්නවාට කැමැත්තෙමි. මට විලංගු දමා තිබෙන්නේ මා ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වන නිසා බව මුළු ප්‍රීටෝරියානු ආරක්ෂක බළඇණියේ අය අතරත් අන් සියලුදෙනා අතරත් ප්‍රසිද්ධ වී ඇත. මා සිරභාරයේ සිටියත් ස්වාමීන්ට සේවය කරන සහෝදරයන්ගෙන් වැඩිදෙනෙකුට එය මහත් දිරිගැන්වීමක් වී තිබේ. ඒ නිසා දෙවිගේ පණිවිඩය ගැන නිර්භීතව කතා කිරීමට ඔවුහු තව තවත් පෙලඹෙති.”—ෆිලි. 1:12-14.

22. පාවුල් නිවාස අඩස්සියේ සිටි කාලය යොදාගත්තේ කුමක් කිරීමටද?

22 පාවුල් නිවාස අඩස්සියේ සිටි කාලය අතරතුරේදී ලියූ ලිපි කිහිපයක්ම ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලට ඇතුළත් කර තිබෙනවා. * ඔහු නිවාස අඩස්සියේ ගත කළ ඒ කාලයේදී පවා සෑම දෙයක්ම හොඳින් නිරීක්ෂණය කළ බව ඔහුගේ ලිපිවල තිබෙන තොරතුරුවලින් පැහැදිලියි. උදාහරණයකට ඔහු එෆීසයේ සිටි ක්‍රිස්තියානීන්ට ලියූ ලිපියේ දෙවි ලබා දෙන යුද්ධායුධ කට්ටලය විස්තර කිරීම සඳහා රෝම හේවායෙකුගේ යුද්ධායුධ කට්ටලය යොදාගෙන තිබෙනවා. (එෆී. 6:11-17) එවැනි දෙයක් ලිවීමට සමහරවිට ඔහු පෙලඹෙන්න ඇත්තේ ඔහුව මුර කළ හේවායාව නිරීක්ෂණය කිරීමෙන් විය හැකියි. (ක්‍රියා 28:16) අපත් පාවුල් මෙන් හොඳ නිරීක්ෂකයන් වුණොත් අප අවට තිබෙන දේවල් උදාහරණ ලෙස යොදාගෙන යම් කාරණා ගැන අන් අයට හොඳින් පැහැදිලි කර දීමට අපට හැකියි.

23, 24. මෑත කාලවලදීත් සාක්ෂිකරුවන් පාවුල් මෙන් කටයුතු කර තිබෙන්නේ කෙසේද?

23 පාවුල්ගේ නිදහස් වීම ගැන ක්‍රියා පොතෙහි සඳහන් වන්නේ නැහැ. නමුත් ඔහු අවුරුදු හතරක්වත් එනම් සිසේරියේ අවුරුදු දෙකක් හා රෝමයේ අවුරුදු දෙකක් සිරභාරයේ සිටි බව පැහැදිලියි. * (ක්‍රියා 23:35; 24:27) ඒ කාලය පුරා ඔහු තමාට කළ හැකි උපරිමයෙන් හා ප්‍රීතියෙන් තම පැවරුම ඉටු කළා. දෙවිට විශ්වාසවන්තව සිටීම නිසා යෙහෝවා දෙවිගේ සේවකයන්ව මෑත කාලවලදීත් අසාධාරණ ලෙස සිරගත කර තිබෙනවා. නමුත් ඔවුන්ද පාවුල් මෙන් අත් නෑර ශුභාරංචිය දේශනා කරනවා. තමන් සිටින තත්වය ගැන අනවශ්‍ය ලෙස කනස්සලු වෙමින් ඔවුන් තම ප්‍රීතිය අහිමි කරගන්නේ නැහැ. උදාහරණයකට ස්පාඤ්ඤයේ ජීවත් වූ සහෝදර අඩොල්ෆෝගේ අද්දැකීම සලකා බලන්න. දේශපාලන වශයෙන් පැති ගෙන කටයුතු නොකිරීම නිසා ඔහුව සිරගත කරනු ලැබුවා. එහි සිටි එක් නිලධාරියෙක් දිනක් ඔහුට මෙවැනි දෙයක් පැවසුවා. “අපි නිතරම උත්සාහ කළේ ඔයාගේ ජීවිතේ ඔයාට තිත්ත කරවන්නයි. අපේ උත්සාහය අපි තව තවත් වැඩි කරද්දී ඔයා අපිට තව තවත් කරුණාවන්තව සැලකුවා. ඔයාගේ මුහුණේ හිනාව කවදාවත් අඩු වුණේ නැහැ.”

24 කාලයක් ගත වූ පසු නිලධාරීන්ට සහෝදර අඩොල්ෆෝ ගැන කොතරම් විශ්වාසයක් ඇති වුණාද කියනවා නම් ඔවුන් ඔහුගේ සිරකුටියේ දොර විවෘත කර තැබුවා. බයිබලය සම්බන්ධයෙන් විවිධ දේවල් දැනගැනීම සඳහා ඔවුන් ඔහුව හමු වීමටත් පැමිණියා. එක් මුරකරුවෙක් බයිබලය කියවීම සඳහා ඔහුගේ සිරකුටිය ඇතුළටම පැමිණි අතර එවැනි අවස්ථාවලදී සහෝදර අඩොල්ෆෝ වෙනත් අය පැමිණෙනවාද කියා විපරමින් සිටියා. ඇත්තටම එවැනි අවස්ථාවලදී සිදු වුණේ සිරකරුවෙක් විසින් මුරකරුව ආරක්ෂා කිරීමයි! දෙවිට විශ්වාසවන්තව සිටින එවැනි සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම් සලකා බැලීමෙන් කුමන දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වුණත් “දෙවිගේ පණිවිඩය ගැන නිර්භීතව කතා කිරීමට” අප තව තවත් පෙලඹෙන්නේ නැද්ද?

25, 26. පාවුල් අද්දුටුවේ කුමන අනාවැකියේ ඉටු වීමද? අප ජීවත් වන කාලයේ එය ඉටු වී තිබෙන්නේ කෙසේද?

25 නිවාස අඩස්සියේ සිටි පාවුල්, තමාව හමු වීමට පැමිණි සියලුදෙනාට මහත් උද්‍යෝගයෙන් ‘දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කළ’ බව සඳහන් කරමින් ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා ඇතුළත් ප්‍රබල වාර්තාව අවසන් වෙනවා. යේසුස් තම අනුගාමිකයන්ට දුන් පැවරුම ගැන ක්‍රියා පොතෙහි පළමුවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඔහු පැවසුවේ, “ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි” කියායි. (ක්‍රියා 1:8) යේසුස් එම පැවරුම භාර දී අවුරුදු 30වත් ගත වීමට පෙර දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය “අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයා අතර දේශනා කර” තිබූ බව පාවුල් පැවසුවා. * (කොලො. 1:23) යේසුස්ගේ අනුගාමිකයන්ට දෙවිගේ බලයේ උපකාරය ලැබුණු බවට එය මොන තරම් ප්‍රබල සාක්ෂියක්ද!—සෙක. 4:6.

26 පොළොව මත ඉතුරු වී සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා ඔවුන්ට සහයෝගය ලබා දෙන වෙනත් බැටළුවන් දෙවිගේ බලයේ උපකාරයෙන් අද දිනත් රටවල් 230කට වඩා වැඩි ප්‍රමාණයක දිගටම “දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්” ලබා දෙමින් සිටිනවා. (යොහ. 10:16; ක්‍රියා 28:23) ඔබත් හැකි උපරිමයෙන් එම කාර්යයට හවුල් වෙනවාද?

^ 20 ඡේ. ඔනෙසිමස්ව තමා ළඟ තබාගැනීමට පාවුල්ට වුවමනා වුණත් එසේ කිරීම රෝම නීතිය මෙන්ම ඔහුගේ ස්වාමියාගේ අයිතීන් කඩ කිරීමක් බව පාවුල් දැන සිටියා. ඒ නිසා ඔනෙසිමස්, තම ස්වාමියා හා ක්‍රිස්තියානි සහෝදරයෙකු වූ ෆිලෙමොන් වෙතට නැවත ගියා. පාවුල් ඔනෙසිමස් අත ෆිලෙමොන්ට ලිපියක්ද යැව්වා. ඔනෙසිමස්ව දාසයෙකු ලෙස නොව ක්‍රිස්තියානි සහෝදරයෙකු ලෙස පිළිගන්නා ලෙසට පාවුල් එම ලිපිය මාර්ගයෙන් ෆිලෙමොන්ට උනන්දු කළා.—ෆිලෙ. 13-19.