Skip to content

පටුනට යන්න

26වෙනි පරිච්ඡේදය

“කාගෙවත් ජීවිත නැති වෙන්නේ නැහැ”

“කාගෙවත් ජීවිත නැති වෙන්නේ නැහැ”

නැව මුහුදුබත් වුණත් පාවුල්ගේ විශ්වාසයවත් අන් අය කෙරෙහි තිබූ ප්‍රේමයවත් අඩු නොවෙයි

ක්‍රියා 27:1–28:10

1, 2. රෝමය බලා යෑමට තිබෙන ගමන මොන වගේද? පාවුල් කුමන දේවල් ගැන කල්පනා කරන්න ඇද්ද?

“ඔබව සීසර් වෙතට යවනවා” කියා ආණ්ඩුකාර ෆෙස්ටස් පාවුල්ට පැවසූ බව ඔබට මතක ඇති. (ක්‍රියා 25:12) ඔහු පැවසූ ඒ දේ ගැන පාවුල් දිගින් දිගටම කල්පනා කරනවා. මන්ද අනාගතයේදී ඔහුට කුමක් සිදු වෙයිද යන කාරණය රඳා පැවතුණේ රෝමයේදී ඔහුට ලැබෙන තීන්දුව මතයි. ඇත්තයි, රෝමය බලා යන දිගු ගමන අවුරුදු දෙකක් පුරා පාවුල් ගත කළ ජීවිතයෙන් යම් මිදීමක්. නමුත් මුහුදු ගමන් සැමවිටම ඔහුට සොඳුරු අද්දැකීමක් වුණේ නැහැ. ඒ නිසා මේ යන දිගු ගමනේදී තමාට කුමන දේවලට මුහුණ දීමට සිදු වෙයිද කියා පාවුල් කල්පනා කරන්න ඇති.

2 ‘මුහුදු ගමන්වලදී පාවුල් විවිධ උවදුරුවලට’ මුහුණ දී තිබුණා. අවස්ථා තුනකදීම ඔහු ගමන් කළ නැව මුහුදුබත් වුණා. එක් අවස්ථාවකදී ඔහුට ගැඹුරු මුහුදේ මුළු රැයකුත් දවාලකුත් ගත කිරීමට සිදු වුණා. (2 කොරි. 11:25, 26) ශුභාරංචිය දේශනා කිරීම සඳහා ඔහු ගිය මුහුදු ගමන්වලට වඩා සිසේරියේ සිට රෝමය බලා යන මේ ගමන තරමක් දුෂ්කරයි. මන්ද මේ ගමනට කිලෝමීටර් 3,000කට වඩා වැඩි දුරක් යා යුතුයි. ඒ විතරක් නොවෙයි, ඔහු මේ ගමන යන්නේ සිරකරුවෙකු ලෙසයි. කිසිදු අනතුරක් නැතුව මේ ගමන යෑමට ඔහුට හැකි වෙයිද? අනතුරක් නැතුව ඔහු රෝමයට ගියත් එහිදී ඔහුට මොන වගේ තීන්දුවක් ලැබෙයිද? රෝමයේදී ඔහුට තීන්දුවක් ලැබෙන්නේ සාතන් යටතේ ඒ කාලයේ තිබූ බලවත්ම ආණ්ඩුවෙන් බව අමතක කරන්න එපා.

3. පාවුල් ගෙන තිබූ අදිටන කුමක්ද? අප මෙම පරිච්ඡේදයෙන් සලකා බලන්නේ මොනවාද?

3 තමා ඉදිරියේ තිබූ එවැනි අභියෝග ගැන සිතා පාවුල් කලකිරීමට හෝ කනස්සල්ලට පත් වුණාද? කොහෙත්ම නැහැ. තමන්ට ඉදිරියේදී කුමනාකාරයේ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වෙයිද කියා ඔහු හරියටම නොදැන සිටියත් අනිවාර්යයෙන්ම දුෂ්කරතාවන්ට මුහුණ දීමට තමන්ට සිදු වන බව පාවුල් හොඳින්ම දැන සිටියා. ඒ නිසා තමාට පාලනය කළ නොහැකි දේවල් ගැන කනස්සලු වීමෙන් ඔහු තම සතුට අහිමි කරගත්තේ නැහැ. (මතෙ. 6:27, 34) උසස් බලධාරීන් ඇතුළු සෑම කෙනෙක්ටම හැකි සෑම අවස්ථාවකදීම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා දෙවි තමාව තෝරාගත් බව පාවුල් දැන සිටියා. (ක්‍රියා 9:15) කුමන දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වුණත් දෙවි තමන්ට දුන් පැවරුම ඉටු කිරීමට පාවුල් අදිටන් කරගෙන සිටියේ ඒ නිසයි. අපේ අදිටනත් එයම නොවෙයිද? එසේනම් රෝමය බලා පාවුල් ගිය ගමනේදී පාවුල්ට මුහුණ දීමට සිදු වූ දේවල් හා අපට ඔහුගෙන් ඉගෙනගත හැකි දේවල් සලකා බැලීම මොන තරම් ප්‍රයෝජනවත්ද!

‘සුළඟ ගමනට බාධා කරයි’ (ක්‍රියා 27:1-7අ)

4. පාවුල් ගමන ඇරඹුවේ මොන වගේ නැවකද? ඔහු සමඟ ගමන් කළ ඔහුගේ මිතුරන් කවුද?

4 පාවුල්ව හා තවත් සිරකරුවන් පිරිසක්ව රෝමයට ගෙන යෑමේ වගකීම භාර දී තිබුණේ ජූලියස් නම් රෝම හමුදා නිලධාරියෙකුටයි. ඔහු සිසේරියට පැමිණ තිබූ බඩු ගෙන යන නැවකට ගොඩ වෙමින් ගමන ආරම්භ කළා. එම නැව පැමිණ තිබුණේ කුඩා ආසියාවේ බටහිර වෙරළබඩ තීරයේ තිබූ අද්‍රාමුත්තිය නම් වරායේ සිටයි. එම වරාය පිහිටා තිබුණේ ලේස්වොස් දූපතේ තිබූ මිතුලේන නම් නුවරට ආසන්නවයි. නැවේ තිබූ සමහරක් බඩු බෑමට හා තවත් බඩු පටවාගැනීම සඳහා එම නැව සිසේරියේ සිට මුලින්ම උතුරු දෙසටත් ඉන්පසු බටහිර දෙසටත් ගමන් කිරීමට නියමිතව තිබුණා. ඇත්තෙන්ම බඩු ගෙන යන නැවක ගමන් කිරීම කොතරම් අපහසු දෙයක් වන්න ඇද්ද! මන්ද ඒවා ඉදි කර තිබුණේ බඩු ගෙන යෑමට මිස මඟීන්ගේ සැප පහසුව ගැන සිතා නොවෙයි. ඒ නිසා නාවිකයන් නැවේ ගමන් කළ සිරකරුවන්ගේ පහසුව ගැන සැලකිලිමත් වෙයි කියා කොහොමටවත් සිතිය නොහැකියි. (234වෙනි පිටුවේ සඳහන්,  “මුහුදු ගමන්” නමැති කොටුව බලන්න.) නැවේ ගමන් කළ අපරාධකරුවන් අතරේ පාවුල්ට අමතරව තවත් ක්‍රිස්තියානීන් සිටියා. අඩුම තරමින් අරිස්තාකස් හා මෙම වාර්තාව ලියූ ලූක්, පාවුල් සමඟ එම ගමනට හවුල් වුණා කියා පැවසිය හැකියි. කොහොමවුණත් එම ප්‍රේමණීය සහෝදරයන් දෙදෙනා එම ගමනට සහභාගි වුණේ මුදල් ගෙවාද නැත්නම් පාවුල්ගේ සේවකයන් දෙදෙනෙකු ලෙසද කියා අප හරියටම දන්නේ නැහැ.—ක්‍රියා 27:1, 2.

5. සීදොන්හිදී පාවුල්ට මුණගැසුණේ කාවද? එම සිදුවීමෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

5 සිසේරියෙන් පිටත් වූ නැව දවසක් ඇතුළතදී කිලෝමීටර් 110ක් පමණ උතුරු දෙසට ගමන් කර සිරියාවේ වෙරළබඩ තීරයේ පිහිටි සීදොන් නම් නුවරට පැමිණියා. එහිදී ජූලියස් නම් හමුදා නිලධාරියා නැවෙන් බැස එතැනට පැමිණ සිටි සහෝදර සහෝදරියන්ව හමු වීමට පාවුල්ට අවසර දුන්නා. ඉන් පෙනී යන්නේ ඔහු සාමාන්‍ය සිරකරුවන්ට සලකන ආකාරයට වඩා වෙනස් ආකාරයකින් පාවුල්ට සැලකූ බවයි. සමහරවිට ඔහු එසේ කටයුතු කරන්න ඇත්තේ පාවුල් රෝම පුරවැසියෙකු වූ නිසාත් ඔහුව වරදකරුවෙකු ලෙස ඔප්පු කර නොතිබීම නිසාත් විය හැකියි. (ක්‍රියා 22:27, 28; 26:31, 32) කෙසේවෙතත් දිගු කාලයක් සිරගතව සිටි පාවුල්ව හමු වී ඔහුට අවශ්‍ය දේවල් ලබා දීමට හැකි වීම ගැන සීදොන්හි සිටි සහෝදරයන් බොහෝ සෙයින් සතුටු වූ බවට නම් කිසිම සැකයක් නැහැ. ආගන්තුක සත්කාරය පෙන්වා ඒ සහෝදරයන් අද්දුටු සතුට අපටත් අද්දැකිය හැකියි. ඒ නිසා ආගන්තුක සත්කාරය පෙන්විය හැකි අවස්ථාවන් ගැන සිතා බලමු.—ක්‍රියා 27:3.

6-8. සීදොන් සිට කනීදස දක්වා පැමිණි ගමන විස්තර කරන්න. පාවුල් තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ කෙසේද?

6 ඉන්පසු නැව සීදොන් වෙතින් පිටත් වී උතුරු දෙසට ගමන් කළා. එම ගමනේදී ඔවුන් සිලීසියාවේ ටාසස් නම් නුවර පසු කර ගිය බව වාර්තාවේ සඳහන් වෙනවා. ටාසස් කියන්නේ පාවුල් පැමිණි නුවරයි. සීදොන් වෙතින් පිටත් වූ පසු නැව වෙන කිසිම වරායක නතර කළ බව ලූක් වාර්තා කර නැහැ. නමුත් ‘සුළඟ අපේ ගමනට බාධා කළා’ කියා ඔහු වාර්තා කර තිබෙනවා. ඔවුන් යම් අන්තරායන්ට මුහුණ දුන් බව ඉන් පැහැදිලියි. (ක්‍රියා 27:4, 5) එවැනි අහිතකර තත්වයන් මැද පවා පාවුල් ශුභාරංචිය දේශනා කිරීමට තමන්ට ලැබී තිබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් බව නම් නිසැකයි. ඔහු අනිවාර්යයෙන්ම නැවේ සිටි අනිකුත් සිරකරුවන්ට, හේවායන්ට හා නැවියන් ඇතුළුව නැව නතර කළ යම් වරායන්වලදී හමු වූ සියලුදෙනාට ශුභාරංචිය දේශනා කරන්න ඇති. අපත් පාවුල් මෙන් ශුභාරංචිය දේශනා කිරීමට අපට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්නවාද?

7 එසේ ගමන්ගත් නැව කුඩා ආසියාවේ දකුණු වෙරළබඩ තීරයේ පිහිටි මුරා නම් වරායට පැමිණියා. එහිදී පාවුල් හා අනිකුත් අය එම නැවෙන් බැස ඔවුන්ගේ ගමනාන්තය වන රෝමය බලා යන වෙනත් නැවකට නැග්ගා. (ක්‍රියා 27:6) ඒ කාලයේ රෝමයට අවශ්‍ය ධාන්‍ය බහුතරයක් සැපයෙව්වේ ඊජිප්තුවයි. ඒ නිසා ඊජිප්තුවේ සිට රෝමය බලා යන ධාන්‍ය නැව් සාමාන්‍යයෙන් මුරා වරායට පැමිණෙනවා. පෙනෙන විදිහට රෝමය බලා යෑම සඳහා ජූලියස්, තම භාරයේ සිටි සිරකරුවන් හා හේවායන් සමඟ ගොඩ වුණේ එවැනි නැවකටයි. ඔවුන් සිසේරියේ සිට පැමිණි නැවට වඩා මෙම නැව විශාල වන්න ඇති. මන්ද එම නැවේ විශාල ධාන්‍ය ප්‍රමාණයක් ගෙන ගිය අතර නැවියන්, හේවායන්, සිරකරුවන් ඇතුළු මඟීන් 276දෙනෙක් එහි ගමන් කළා. එලෙස එක නැවකින් තවත් නැවකට මාරු වූ නිසා පාවුල්ට තවත් විශාල පිරිසකට ශුභාරංචිය දේශනා කිරීමට අවස්ථාව ලැබුණා. ඔහු එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් බව නම් නිසැකයි.

8 මුරා වරායෙන් පිටත් වූ නැව ඉන්පසුව නතර කළේ කනීදස නම් ස්ථානයෙයි. සාමාන්‍යයෙන් යහපත් කාලගුණික තත්වයන් යටතේ මුරා සිට කනීදස දක්වා ගමන් කිරීමට ගත වන්නේ එක දවසක් පමණයි. නමුත් ලූක් පවසන්නේ, ‘බොහෝ දුෂ්කරතා විඳිමින් දවස් කිහිපයක් ඉතා සෙමින් යාත්‍රා කිරීමෙන් පසු ඔවුන් කනීදස නම් නුවරට’ පැමිණි බවයි. (ක්‍රියා 27:7අ) ඉන් අපට පැහැදිලි වන්නේ ඒ වන විට කාලගුණික තත්වයන් නරක අතට හැරෙමින් තිබූ බවයි. (“ මධ්‍යධරණී මුහුද හරහා ගිය ගමන්” නමැති කොටුව බලන්න.) ටිකක් සිතා බලන්න. සැඩ සුළං හා චණ්ඩ රළ පහරවල් මැදින් නැව ඉදිරියට ඇදෙන විට එහි සිටි අය මොන තරම් අපහසුතාවන් අද්දකින්න ඇද්ද!

‘චණ්ඩ මාරුතයට හසු වූ නැව, දරුණු ලෙස ඒ මේ අත ගසාගෙන යයි’ (ක්‍රියා 27:7ආ-26)

9, 10. ක්‍රීට් දූපත අසලදී පාවුල් හා නැවේ ගමන්ගත් පිරිසට මුහුණ දීමට සිදු වූ අපහසුතා මොනවාද?

9 නැවේ කපිතාන්ට වුවමනා වුණේ කනීදස සිට බටහිර දෙසට යාත්‍රා කිරීමටයි. නමුත් ලූක් පවසන්නේ, ‘සැඩ සුළං නිසා නැවට එම ගමන් මාර්ගයේ යාත්‍රා කිරීමට අපහසු වූ’ බවයි. (ක්‍රියා 27:7ආ) සැඩ සුළං හේතුවෙන් නැව ගොඩබිමෙන් තව තවත් ඈතට ගසාගෙන ගියා. ඒ සමඟම වයඹ දෙසින් හමා ආ දරුණු සුළං පහරකට නැව වේගයෙන් දකුණු දෙසට තල්ලු වී ගියා. පාවුල් හා පිරිස ගමන්ගත් පළමු නැව සැඩ සුළඟින් ආරක්ෂා වීමට සයිප්‍රස් දූපතේ පිහිට පැතූ ලෙසම මෙම නැවද සුළං මඟහැරීම සඳහා ක්‍රීට් දූපතේ පිහිට පැතුවා. ක්‍රීට් දූපතේ නැඟෙනහිර දෙසින් පිහිටි සල්මොනය නම් තුඩුව පසු කළ විට යම් ආරක්ෂාවක් ලබාගැනීමට හැකි වුණා. මන්ද නැව ගමන් කළේ එතරම් සැඩ සුළං නැති ක්‍රීට් දූපතේ දකුණු දෙසටයි. ඒ අවස්ථාවේදී නැවේ සිටි අයට යම් සහනයක් දැනෙන්න ඇති. ඔවුන් යම් සහනයක් අද්දුටුවත් ශීත කාලය ළඟා වෙමින් තිබූ නිසා ඔවුන් ඉදිරියේ තවත් අභියෝගයක් තිබෙන බව නැවියන් දැන සිටියා.

10 ලූක් වාර්තා කර තිබෙන්නේ ‘අපි දිගටම ක්‍රීට් දූපතේ වෙරළබඩ තීරය දිගේ අමාරුවෙන් යාත්‍රා කර “සුබ වරාය” ලෙස හැඳින්වූ වරායකට ළඟා වුණා’ කියායි. ඉන් පැහැදිලි වන්නේ ක්‍රීට් දූපතේ දකුණු දෙසට යෑමෙන් ඔවුන් යම් ආරක්ෂාවක් අද්දුටුවත් එම ගමන් මාර්ගයත් එතරම් පහසු එකක් නොවූ බවයි. නැවියන් දකුණු වෙරළබඩ තීරයේ උතුරු දෙසට හැරෙන ස්ථානය අසල තිබූ කුඩා වරායේ නැව නවතා තැබුවේ ඒ නිසයි. වාර්තාවේ පවසන්නේ ඔවුන් එම වරායේ ‘සෑහෙන කාලයක්’ සිටි බවයි. නමුත් ඔවුන් ඉදිරියේ තිබුණේ අනතුරුදායක තත්වයක්. මන්ද සාමාන්‍යයෙන් සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාස මුහුදු ගමන් සඳහා යෝග්‍ය කාලයක් නොවෙයි.—ක්‍රියා 27:8, 9.

11. පාවුල් දුන් යෝජනාව කුමක්ද? නමුත් නැවියන් තීරණය කළේ කුමක් කිරීමටද?

11 මුහුදු ගමන් සම්බන්ධයෙන් පාවුල්ට අද්දැකීම් තිබූ නිසා නැවේ සිටි සමහරදෙනෙක් ඔහුගෙන් අදහස් විමසන්න ඇති. ඔහු යෝජනා කළේ මේ තත්වය යටතේ නැව තවදුරටත් යාත්‍රා කිරීම සුදුසු නැති බවයි. මන්ද ගමන දිගටම ගියොත් නැවේ තිබූ බඩුවලට පමණක් නොව එහි සිටි අයගේ ජීවිතවලටත් “මහත් හානියක්” සිදු වීමට ඉඩ තිබුණා. නමුත් වඩා ආරක්ෂිත වරායක් වෙතට හැකි ඉක්මනින් යෑම අවශ්‍ය බව සිතමින් නැවේ නියමුවාට හා අයිතිකරුට වුවමනා වුණේ ගමන දිගටම යෑමටයි. නැවේ සිටි බහුතරයක් යෝජනා කළෙත් ක්‍රීට් දූපතේ වෙරළ තීරය දිගේ තවත් දුරක් ගොස් ෆීනික්ස් නම් වරාය වෙතට යෑම සුදුසු බවයි. සමහරවිට එම වරාය වඩා විශාල වරායක් මෙන්ම ශීත කාලය ගත කිරීමට තරම් සුදුසු වාතාවරණයක් එහි තිබෙන්න ඇති. එම යෝජනාවට ඔවුන් ජූලියස්වත් කැමති කරගත්තා. දකුණු දෙසින් මද සුළඟක් හමා ආ විට තමන් අරමුණු කළ ලෙස යාත්‍රා කළ හැකියි කියා සිතා ඔවුන් ගමන් ඇරඹුවා.—ක්‍රියා 27:10-13.

12. ෆීනික්ස් නම් වරාය වෙතට යාත්‍රා කිරීමට පටන්ගත් විට සිදු වුණේ මොනවාද? අනතුරකින් බේරීම සඳහා නැවියන් කළේ මොනවාද?

12 නමුත් වැඩි දවසක් යෑමට පෙර දූපතේ ඊසාන දිගින් හමා ආ “චණ්ඩ මාරුතය” නිසා නැව “කෞද යන නමින් හැඳින්වූ කුඩා දූපත” අසලට ගසාගෙන ගියා. එම දූපත පිහිටා තිබුණේ සුබ වරායට කිලෝමීටර් 65ක් පමණ දුරිනුයි. හමා ආ සැඩ සුළං යම් දුරකට මඟහැරීමට එම දූපත ඔවුන්ට උපකාරවත් වුණා. නමුත් ඉන් අදහස් කරන්නේ තත්වය හොඳ අතට හැරුණා කියා නොවෙයි. වාර්තාවේ පවසන්නේ නැවේ කුඩා බෝට්ටුව රැකගැනීම සඳහා එය නැව තුළට ගැනීමට නැවියන්ට මහත් වෙහෙසක් දැරීමට සිදු වූ බවයි. මන්ද ඒ කුඩා බෝට්ටුව සමහරවිට වතුරෙන් පිරී තිබෙන්න ඇති. ඉන්පසු ඔවුන් නැවේ බඳ වටා කඹ නැත්නම් දම්වැල් දමා එය හොඳින් සවිමත් වන ලෙස බැන්දා. පසුව ඔවුන් නැවේ රුවල් බා සුළඟ හමන දිශාවට එරෙහිව නැව ගෙන යෑමට මහත් උත්සාහයක් දැරුවා. ඒ සෑම දෙයක්ම ඔවුන් කළේ නැව තව තවත් දකුණු දෙසට ගසාගෙන ගොස් අප්‍රිකාවේ වෙරළබඩ තීරයේ තිබූ වැලි කණ්ඩිවල ගැටෙයි කියා බිය වූ නිසයි. නමුත් චණ්ඩ මාරුතය නිසා නැව දිගින් දිගටම “දරුණු ලෙස ඒ මේ අත ගසාගෙන” ගියා. තුන්වෙනි දවසේදී නැවේ බර අඩු කිරීම සඳහා ඔවුන් නැවේ තිබූ බඩු මුහුදට වීසි කළා. නැවේ සිටි අය ඒ දින කිහිපය ගෙවන්න ඇත්තේ මොන තරම් බියකින්ද!—ක්‍රියා 27:14-19.

13. චණ්ඩ මාරුතයට මුහුණ දෙන විට නැවේ සිටි අයට කෙසේ හැඟෙන්න ඇද්ද?

13 නැවේ සිටි සියලුදෙනා බියෙන් වෙළී සිටියත් පාවුල් හා ඔහුගේ මිතුරන්ගේ මුහුණින් නම් එවැනි භයක් දකින්න තිබුණේ නැහැ. මන්ද පාවුල් අනිවාර්යයෙන්ම රෝමයේදී සාක්ෂි දරන බවට ස්වාමීන් ඔහුට කලින් අවස්ථාවකදී පවසා තිබුණා. ඉන්පසු තවත් අවස්ථාවකදී දේවදූතයෙකු මාර්ගයෙන් එම පොරොන්දුව ස්ථිර කර තිබුණා. (ක්‍රියා 19:21; 23:11) කෙසේවෙතත් සති දෙකක් ගත වුණත් දිවා රෑ දෙකේම චණ්ඩ මාරුතය අඩු වුණේ නැහැ. නොනවත්වා ඇද හැළුණු වර්ෂාව හා ගන වලාකුළු නිසා හිරු ආලෝකයවත් තරුවත් දැකගැනීමට නොහැකි වුණා. ඒ නිසා කපිතාන්ට නැව තිබෙන නිශ්චිත ස්ථානයවත් එය ගමන් කරන දිශාවවත් හරි හැටි දැනගැනීමට හැකි වුණේ නැහැ. ඒ අතර නැවේ සිටි අය මහත් සේ වෙහෙසට පත්ව, බියෙන් වෙළී, සීතලෙන් ගැහිගැහී සිටින්න ඇති. ඔවුන් කොතරම් බියෙන් සිටියාද කියනවා නම් බඩගින්නක්වත් ඔවුන්ට නොදැනෙන්න ඇති.

14, 15. (අ) තමා කලින් දුන් යෝජනාව ගැන නැවේ සිටි අයට පාවුල් සිහිපත් කළේ ඇයි? (ආ) පාවුල් ඉදිරිපත් කළ පණිවිඩයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

14 ඒ අවස්ථාවේ පාවුල් සියලුදෙනා මැද සිටගෙන නැව යාත්‍රා කිරීම සම්බන්ධයෙන් ඔහු දුන් යෝජනාව ගැන සිහිපත් කළා. ඔහු එසේ කළේ තමන් දුන් යෝජනාව පිළි නොපැදීම ගැන ඔවුන්ට දොස් කීමේ අරමුණින් නොවෙයි. නමුත් ඔහු පවසන දේවලට සවන් දීම ප්‍රයෝජනවත් බව පෙන්වීමටයි. ඉන්පසු ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා. “කිසි කෙනෙක් අධෛර්යයට පත් වෙන්න එපා. කාගෙවත් ජීවිත නැති වෙන්නේ නැහැ. අපට නැති වෙන්නේ නැව විතරයි.” (ක්‍රියා 27:21, 22) එම වදන් අසා එතැන සිටි අය සහනයක් ලබන්න ඇති. නැවේ සිටි අයට පැවසීම සඳහා යෙහෝවා දෙවි තමන්ට එවැනි පණිවිඩයක් ලබා දීම ගැන පාවුල් මොන තරම් සතුටු වන්න ඇද්ද! අපටත් ඉන් වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. එනම් යෙහෝවා දෙවිට සෑම කෙනෙකුගේම ජීවිත බොහෝ සෙයින් වටිනා බවයි. ඒ කාරණය අප කිසිවිටක අමතක නොකළ යුතුයි. නියෝජිත පේතෘස් එක් අවස්ථාවක මෙසේ පැවසුවා. ‘කිසි කෙනෙකු විනාශ වෙනවාට යෙහෝවා දෙවි කැමති නැති අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමටයි.’ (2 පේතෘ. 3:9) අපි අතර සිටින බොහෝ අය අද සිටින්නේ අනතුරුදායක තත්වයක බව අප දන්නවා. එසේනම් කල් නොදමා දෙවි ලබා දී තිබෙන බලාපොරොත්තුව ගැන පුළුවන් තරම් දෙනෙකුට පැවසීම ඉතා වැදගත්. එසේ කිරීමෙන් දෙවි ඉතා අනර්ඝ ලෙස සලකන ජීවිත බේරාගැනීමට අපට හැකි වෙයි.

15 පාවුල් නැවේ සිටි බොහෝදෙනෙකුට ශුභාරංචිය ගැන එනම් ‘දෙවි දුන් පොරොන්දුවේ ඉටු වීම ගැන’ පවසා තිබූ බවට කිසිම සැකයක් නැහැ. (ක්‍රියා 26:6; කොලො. 1:5) දැන් ඔවුන් මුහුණ දෙමින් සිටි භයානක තත්වය හමුවේ දෙවි කෙරෙහි විශ්වාසය තැබීමට ප්‍රබල හේතුවක් ඉදිරිපත් කරමින් පාවුල් ඔවුන්ට මෙසේ පැවසුවා. ‘අද රාත්‍රියේ දෙවිගේ දූතයෙක් මා ළඟ සිටගෙන “පාවුල්, කිසි දෙයකට භය වෙන්න එපා. ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔබ සමඟ මේ නැවේ සිටින සියලුදෙනා ඔබ නිසා දෙවිගේ කරුණාව ලබා ඔවුන්ගේ ජීවිත බේරාගනියි” කියා මට පැවසුවා. ඒ නිසා කිසි කෙනෙක් අධෛර්යය වෙන්න එපා. මට දෙවි ගැන විශ්වාසයි. මට පැවසූ ලෙසම සිදු වෙයි. අපි මේ විදිහට ගසාගෙන ගොස් කොහේ හරි දූපතකට ළඟා වෙයි.’—ක්‍රියා 27:23-26.

කිසිම අනතුරක් නැතුව ‘සියලුදෙනාම ගොඩබිමට ගියා’ (ක්‍රියා 27:27-44)

‘ඔහු සියල්ලන් ඉදිරියෙහි දෙවිට ස්තුති දුන්නා.’—ක්‍රියා 27:35

16, 17. (අ) ප්‍රසිද්ධියේ යාච්ඤාවක් ඉදිරිපත් කිරීමට පාවුල් යොදාගත්තේ කුමන අවස්ථාවද? එහි ප්‍රතිඵලය වුණේ කුමක්ද? (ආ) පාවුල් පැවසූ දෙය ඉටු වුණේ කෙසේද?

16 සති දෙකක් පුරා දරුණු ලෙස හැමූ චණ්ඩ මාරුතය නිසා නැව කිලෝමීටර් 870ක් පමණ දුරක් ගසාගෙන ගොස් තිබුණා. නමුත් නැව ගොඩබිමකට ළඟා වෙමින් තිබෙන බව නැවියෝ වටහාගත්තා. සමහරවිට ඔවුන් එම නිගමනයට පැමිණෙන්න ඇත්තේ මුහුදු රළ පෙළ වෙරළට ගසන හඬ ඇසුණු නිසා විය හැකියි. නැව එතැනින් වෙනතකට ගසාගෙන නොයෑම සඳහා ඔවුන් නැවේ අවරෙන් නැංගුරම් දැමුවා. නැංගුරම් දමා බලා සිටින අතරතුරේ නැවියෝ නැවෙන් පැන යෑමට උත්සාහ කළා. එය දුටු පාවුල්, “මේ මිනිසුන් නැවේම හිටියේ නැත්නම් අපි කාටවත් බේරෙන්න ලැබෙන්නේ නැහැ” කියා හමුදා නිලධාරියාට පැවසුවා. එවිට හමුදා නිලධාරියාගේ අණ පරිදි හේවායන් ඔවුන්ට පලා යෑමට ඉඩ දුන්නේ නැහැ. ඒ වන විට නැව ඒ මේ අත ගසාගෙන යෑම යම් දුරකට අඩු වී තිබූ නිසා යම් ආහාරයක් ගන්නා ලෙස පාවුල් සියලුදෙනාටම දිරිගැන්වූවා. ඔවුන්ගේ ජීවිතවලට කිසිදු හානියක් නොවන බව ඔහු ඒ අවස්ථාවේ නැවතත් සිහිගන්වමින්, ‘සියල්ලන් ඉදිරියෙහි දෙවිට ස්තුති දුන්නා.’ (ක්‍රියා 27:31, 35) වාර්තාවේ සඳහන් වන්නේ ඔහු දෙවිට ස්තුති කරමින් යාච්ඤා කළ පසු, “සියලුදෙනාම දිරිමත් වී කෑම කෑවෝය” කියායි. (ක්‍රියා 27:36) එවැනි අවස්ථාවක යාච්ඤා කිරීමෙන් පාවුල් තැබුවේ ඉතා කදිම ආදර්ශයක්. අපට ඉන් වැදගත් කාරණයක් ඉගෙනගත හැකියි. එනම් අන් අය ඉදිරියේ අප යාච්ඤා කරන විට ඔවුන්ව සනසන හා දිරිගන්වනසුලු අයුරින් එය ඉදිරිපත් කළ යුතු බවයි.

17 කෑම කා අවසන් වූ පසු ගොඩබිමට ළඟා වන විට නැවේ බර තවත් අඩු කිරීම සඳහා ඔවුන් එහි ගබඩා කර තිබූ තිරුඟු මුහුදට වීසි කළා. පසු දින ඔවුන් නැංගුරම් කපා දමා සුක්කානම්වල කඹ ලිහා දැමූ අතර වෙරළ දෙසට යාත්‍රා කරන විට නැව යම් දුරකට පාලනය කිරීමට හැකි වීම සඳහා ඉදිරිපස තිබූ කුඩා රුවල ඔසවා තැබුවා. නමුත් නැවේ ඉදිරිපස වැලි කණ්ඩියක නැත්නම් මඩේ එරුණු නිසා රළ පහරට හසු වී නැවේ අවරය කැබලිවලට කැඩී ගියා. ඒ අවස්ථාවේ සිරකරුවන් මුහුදට පැන ගැලවී යයි කියා සිතා හේවායන් ඔවුන්ව මරා දැමීමට උත්සාහ කළා. නමුත් ජූලියස් මැදිහත් වී එසේ කිරීමෙන් ඔවුන්ව වැළැක්වූවා. ඔහු සියලුදෙනාට අණ කළේ මුහුදට පැන ගොඩබිම දෙසට පිහිනන්න හෝ යම් දෙයක් ආධාරයෙන් ගොඩට යන්න කියායි. පාවුල් පැවසූ ලෙසම නැවේ සිටි 276දෙනාම එසේ ‘ගොඩබිමට ගිය අතර කාටවත් අනතුරක් සිදු වුණේ නැහැ.’—ක්‍රියා 27:44.

‘ඔවුන් අපට ඉතා කාරුණිකව සැලකුවා’ (ක්‍රියා 28:1-10)

18-20. මෝල්ටාවේ සිටි වැසියන් දූපතට පැමිණි ආගන්තුකයන්ට ‘ඉතා කාරුණිකව සැලකුවේ’ කෙසේද? ඒ අවස්ථාවේ දෙවි සිදු කළ ආශ්චර්යය කුමක්ද?

18 ඔවුන් පැමිණ තිබුණේ මෝල්ටාව නම් දූපතටයි. ( “මෝල්ටාව” නමැති කොටුව බලන්න.) එහි සිටි වැසියන් කතා කළේ වෙනත් භාෂාවකින්. නමුත් “ඔවුහු අප බලාපොරොත්තු වූවාටත් වඩා අපට ඉතා කාරුණිකව සැලකුවෝය” කියා වාර්තාවේ සඳහන් වෙනවා. (ක්‍රියා 28:2) තෙත් බරිතව සීතලෙන් ගැහීගැහී තම දූපතට පැමිණි මේ ආගන්තුකයන්ට උණුසුම් වීම සඳහා ඔවුන් ගිනිමැලයක් ගැසුවා. ඇත්තටම එම ගිනිමැලය නිසා යම් ආශ්චර්යයක්ද සිදු වුණා.

19 පාවුල් ඔවුන්ට උපකාර කිරීම සඳහා දර මිටියක් අහුලාගෙන ඇවිත් ගින්නට දැමුවා. එවිට දර මිටියේ සිටි පොළඟෙක් එළියට ඇවිත් ඔහුගේ අතට දෂ්ට කරමින් අතේ එල්ලුණා. එය දුටු දූපතේ වැසියන් සිතුවේ පාවුල්ට එසේ සිදු වුණේ දේවශාපයක් නිසා කියායි. *

20 ඔවුන් සිතුවේ පාවුල්ගේ “සිරුර ඉදිමෙයි” කියායි. නමුත් අතේ එල්ලී සිටි විසකුරු සර්පයාව අත ගසා දමා ඉවත් කර දැමූ පාවුල්ට, කිසිම හානියක් සිදු වුණේ නැහැ. එක් පොතක සඳහන් වන්නේ “සිරුර ඉදිමෙයි” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනය වෛද්‍ය විද්‍යාවේ යොදාගන්නා යෙදුමක් බවයි. “ලූක් නම් ප්‍රේමණීය වෛද්‍යවරයා” තම වාර්තාවේ එවැනි යෙදුමක් භාවිත කිරීම ඇත්තෙන්ම පුදුමයට හේතුවක් නොවෙයි.—ක්‍රියා 28:6; කොලො. 4:14.

21. (අ) ලූක්ගේ වාර්තාව නිවැරදියි කියා පැවසීමට හේතු මොනවාද? (ආ) පාවුල් සිදු කළ ආශ්චර්යයන් මොනවාද? එහි ප්‍රතිඵලය කුමක්ද?

21 ඉඩකඩම් හිමි පබ්ලියස් නම් ධනවත් මිනිසෙක් ඒ අවට ජීවත් වුණා. සමහරවිට මෝල්ටාව දූපතේ සිටි ප්‍රධාන රෝම නිලධාරියා ඔහු විය හැකියි. ලූක් තම වාර්තාවේ ඔහුව විස්තර කර තිබෙන්නේ, “දූපතේ ප්‍රධානියා” ලෙසයි. එම දූපතෙන් සොයාගත් ගල් පුවරු දෙකකත් එම යෙදුම භාවිත කර තිබෙනවා. ලූක්ගේ වාර්තාව මොන තරම් නිවැරදිද කියා එයින් මනාව පැහැදිලියි. පබ්ලියස් පාවුල්ව හා පිරිසව සාදරයෙන් පිළිගෙන දවස් තුනක් පුරා ඔවුන්ට ඉතා හොඳින් සැලකුවා. ඒ කාලය අතරතුරේදී ඔහුගේ පියා “උණෙන් සහ අතීසාරයෙන් පෙළී ඇඳට වී සිටියේය” කියා ලූක් වාර්තා කර තිබෙනවා. ඔහු අසනීප වී සිටියා කියා පවසනවා වෙනුවට ලූක් ඔහුගේ අසනීපය පැහැදිලිව විස්තර කර තිබෙන ආකාරය ඔබ දුටුවාද? අසනීපව සිටි ඔහු ළඟට පාවුල් ගොස්, යාච්ඤා කර ඔහු පිට අත් තැබූ විට ඔහු සුව වුණා. ඒ ආශ්චර්යයෙන් පසු දූපතේ අසනීපව සිටි තවත් අයව සුව කරගැනීම සඳහා ඔවුන්ව පාවුල් ළඟට ගෙනාවා. එසේ පැමිණෙන විට ඔවුන් බොහෝ තෑගිබෝගද ගෙනා අතර පාවුල් හා පිරිසට අවශ්‍ය වන තව බොහෝ දේවල්ද ගෙනැවිත් දුන්නා.—ක්‍රියා 28:7-10.

22. (අ) රෝමය බලා ගිය ගමන ලූක් විස්තර කර තිබෙන ආකාරය එක් විශාරදයෙක් පැසසුමට ලක් කර තිබෙන්නේ කෙසේද? (ආ) අප ඊළඟ පරිච්ඡේදයේ සලකා බලන්නේ කුමක් ගැනද?

22 රෝමය බලා පාවුල් ගිය ගමන ගැන අප මෙතෙක් සලකා බැලූ වාර්තාව ඉතා නිවැරදියි. එක් විශාරදයෙක් පවසන්නේ ලූක් එම වාර්තාව සකසන්න ඇත්තේ දින පොතකින් ගත් තොරතුරුවලින් විය යුතුයි කියායි. ඊට හේතුව පැහැදිලි කරමින් ඔහු තවදුරටත් මෙසේ පැවසුවා. “ලූක්ගේ වාර්තාව ඉතාමත් සවිස්තරාත්මකයි. බයිබලයේ අනිකුත් පොත්වලට වඩා එය කැපීපෙනෙනවා. පළමුවෙනි සියවසේ නාවිකයන් නැව ආරක්ෂා කරගැනීම සඳහා යොදාගත් විවිධ ක්‍රම හා මධ්‍යධරණී මුහුදේ සිදුවීම් ඔහු ඉතාමත් නිවැරදි අයුරින් විස්තර කර තිබෙනවා.” ලූක් සමහරවිට පාවුල් සමඟ ගිය ගමන්වලදී අද්දුටු දේවල් දින පොතක සටහන් කරගන්න ඇති. ගමනේ ඉතුරු කොටස සම්බන්ධයෙන්ද ලූක්ට සටහන් කරගැනීමට බොහෝ දේ තිබුණා. අපි ඒ ගැන ඊළඟ පරිච්ඡේදයෙන් සලකා බලමු.

^ 19 ඡේ. පාවුල්ට දෂ්ට කළේ මොන වගේ සර්පයෙක්ද කියා දූපතේ වැසියන් හඳුනාගැනීමෙන් පැහැදිලි වන්නේ ඒ කාලයේ මෝල්ටා දූපතේ පොළඟුන් සිටි බවයි. නමුත් දැන් මෝල්ටා දූපතේ පොළඟුන් නැහැ. ඊට හේතුව සියවස් ගණනාවක් පුරා පරිසරයේ සිදු වී ඇති වෙනස්කම් විය හැකියි. නැත්නම් දූපතේ ජනගහනය වැඩි වෙනවාත් සමඟම පොළඟුන් වඳ වී යන්න ඇති.

වෙරළට ආසන්නයෙන් ගමන් කරන නැවකට අවුරුද්දේ ඕනෑම කාලයකදී පලස්තීනයේ වෙරළබඩ තීරය දිගේ උතුරු දෙසටත් ඉන්පසු පම්ෆිලිය ප්‍රදේශය පසු කරගෙන බටහිර දෙසටත් ගමන් කිරීමට හැකිකම තිබුණා. බටහිර දෙසට ගමන් කරන විට ගොඩබිම දෙසින් හමා ආ මද සුළං හා බටහිර දෙසට ගැසූ මුහුදු රැළි බොහෝ සෙයින් උපකාරවත් වුණා. පාවුල් සිරකරුවෙකු ලෙස රෝමයට ගිය ගමනේ පළමු අදියරයේදී නැවියන් යොදාගත්තේ එම ක්‍රමයයි. නමුත් සමහරක් අවස්ථාවලදී සුළං හමන දිශාව වෙනස් විය හැකියි. (ක්‍රියා 27:4) උදාහරණයකට ලූක් තම වාර්තාවේ විස්තර කරන ධාන්‍ය රැගත් නැව ඊජිප්තුවේ සිට උතුරු දෙසට පැමිණ ඉන්පසු සයිප්‍රස් දූපත හා කුඩා ආසියා ප්‍රදේශය අතරින් ගමන් කළා. කපිතාන්ට වුවමනා වුණේ මුරා සිට දිගටම බටහිර දෙසට ගමන් කර ඉන්පසු ග්‍රීසිය පසු කර ඉතාලියේ බටහිර වෙරළබඩ තීරයට යෑමටයි. (ක්‍රියා 27:5, 6) නමුත් ළඟා වෙමින් තිබූ ශීත ඍතුව හා දැඩි සුළං නිසා ඔවුන්ට ඊට වඩා වෙනස් මඟක ගමන් කිරීමට සිදු වුණා.