Skip to content

පටුනට යන්න

28වෙනි පරිච්ඡේදය

‘පොළොවේ දුර ඈත කෙළවරවල්’ දක්වා

‘පොළොවේ දුර ඈත කෙළවරවල්’ දක්වා

පළමුවෙනි සියවසේ යේසුස්ගේ අනුගාමිකයන් ආරම්භ කළ කාර්යය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දිගටම කරගෙන යයි

1. පළමුවෙනි සියවසේ සිටි යේසුස්ගේ අනුගාමිකයන් හා අද දින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර තිබෙන සමානකම් මොනවාද?

පළමුවෙනි සියවසේ සිටි යේසුස්ගේ අනුගාමිකයන් මහත් උද්‍යෝගයෙන් දේවරාජ්‍යය ගැන සාක්ෂි දැරුවා. දෙවි තම බලය මාර්ගයෙන් දුන් උපකාරය පිළිගත් ඔවුන්, දෙවිගේ බලයේ මඟ පෙන්වීමට එකඟව ක්‍රියා කළා. කොතරම් පීඩා පැමිණියත් ඔවුන් අත් නෑර දිගටම ශුභාරංචිය දේශනා කළා. ඉන් පැහැදිලි වන්නේ ඔවුන්ට දෙවිගේ ආශීර්වාද තිබුණු බවයි. අද දින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කටයුතු කරන්නෙත් ඒ හා සමානව නොවේද?

2, 3. ක්‍රියා පොතෙහි කැපීපෙනෙන සමහරක් කාරණා මොනවාද?

2 රසවත් සිදුවීම් රැසක් ඇතුළත් යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා පොත සලකා බැලීමෙන් ඔබ මහත් දිරිගැන්වීමක් ලැබූ බව නිසැකයි. ක්‍රියා පොත බයිබලයේ අනිකුත් පොත්වලට වඩා වෙනස්! මන්ද පළමුවෙනි සියවසේ ජීවත් වූ ක්‍රිස්තියානීන්ගේ ක්‍රියාවන් ගැන දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියා තිබෙන එකම පොත එයයි.

3 ක්‍රියා පොතෙහි පුද්ගලයන් 95දෙනෙක් ගැන සඳහන් වෙනවා. ඔවුන් රටවල් හෝ ප්‍රදේශ 32ක්, නුවරවල් 54ක් හා දූපත් 9ක් නියෝජනය කරනවා. සාමාන්‍ය මිනිසුන්, ආගමික උන්මන්තකයන්, අහංකාර පාලකයන් හා දරුණු විරුද්ධවාදීන් සම්බන්ධ වූ රසවත් සිදුවීම් රැසක් ක්‍රියා පොතෙහි ඇතුළත් වෙනවා. ක්‍රියා පොතේ සඳහන් සිදුවීම් අපේ හදවතට වඩාත් ළං වීමට ප්‍රධාන හේතුව වන්නේ එය පළමුවෙනි සියවසේ සිටි අපේම සහෝදර සහෝදරියන් ගැන ලියැවුණු පොතක් වීමයි. ඔවුන්ට ජීවිතයේ විවිධ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වුණත් ඔවුන් දිගටම මහත් උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කළා.

4. පළමුවෙනි සියවසේ සිටි ගෝලයන් හා අප අතරේ තිබෙන විශේෂ සමානකම කුමක්ද?

4 ක්‍රියා පොත අධ්‍යයනය කිරීමෙන් අප උද්‍යෝගිමත් නියෝජිතයන් දෙදෙනෙකු වූ පේතෘස් හා පාවුල්, ප්‍රේමණීය වෛද්‍යවරයා වූ ලූක්, පරිත්‍යාගශීලී කෙනෙකු වූ බානබස්, නිර්භීත ස්තේපන්, කරුණාවන්ත දොර්කස් හා ආගන්තුක සත්කාරයට ළැදි ලිදියා වැනි සහෝදර සහෝදරියන් බොහෝදෙනෙකුව හඳුනාගත්තා. ඇත්තයි, ඔවුන් ජීවත් වුණේ මීට අවුරුදු 2,000කට පමණ පෙරයි. නමුත් ඔවුන් හා අප අතරේ එක විශේෂ සමානකමක් තිබෙනවා. එනම් ඔවුන් මෙන් අපත් උත්සාහ කරන්නේ මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වීමට උපකාර කිරීමටයි. (මතෙ. 28:19, 20) අප එක් එක් කෙනාට එම කාර්යයේ හවුල් වීමට ලැබීම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!

‘පොළොවේ දුර ඈත කෙළවරවල්’ දක්වා.—ක්‍රියා 1:8

5. යේසුස්ගේ මුල් අනුගාමිකයන් මුලින්ම සාක්ෂි දැරුවේ කොහේද?

5 යේසුස් තම අනුගාමිකයන්ට භාර දුන් කාර්යය ගැන ටිකක් සිතන්න. ඔහු පැවසුවේ, “ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි. ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි” කියායි. (ක්‍රියා 1:8) යේසුස් පැවසූ ලෙස මුලින්ම “යෙරුසලමෙහි” යේසුස් ගැන සාක්ෂි දැරීමට දෙවි තම බලය ඔවුන්ට ලබා දුන්නා. (ක්‍රියා 1:1–8:3) ඉන්පසු දෙවිගේ බලයේ මඟ පෙන්වීමට එකඟව ඔවුන් “මුළු යුදයෙහිද සමාරියෙහිද” යේසුස් ගැන සාක්ෂි දැරුවා. (ක්‍රියා 8:4–13:3) ඔවුන් ශුභාරංචිය රැගෙන ‘පොළොවේ දුර ඈත කෙළවරවල්’ දක්වා ගියේ ඉන් අනතුරුවයි.—ක්‍රියා 13:4–28:31.

6, 7. පළමුවෙනි සියවස සමඟ සසඳන විට අද දින ශුභාරංචිය දේශනා කිරීම පහසුයි කියා පැවසිය හැක්කේ ඇයි?

6 කෙසේවෙතත් දේවරාජ්‍යය ගැන සාක්ෂි දැරීමේ කාර්යය ඔවුන්ට ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැහැ. පළමුවෙනි සියවසේ සිටි අපේ සහෝදර සහෝදරියන්ට සේවයේදී භාවිත කිරීමට සම්පූර්ණ බයිබලය තිබුණේ නැහැ. උදාහරණයකට ඔවුන්ට මතෙව් සුවිශේෂය භාවිත කිරීමට අවස්ථාව ලැබුණේ ක්‍රි.ව. 41දී හෝ ඉන්පසුවයි. ක්‍රියා පොත ලියා අවසන් කිරීමට පෙර එනම් ක්‍රි.ව. 61 පමණ වන විට පාවුල් ලිපි කිහිපයක්ම ලියා තිබුණත් සෑම කෙනෙකුටම ශුද්ධ ලියවිලිවල පෞද්ගලික පිටපත් තිබුණේ නැහැ. ඒ නිසා බොහෝදුරට දේශනා සේවයේදී ලියවිලිවල සඳහන් දේවල් පැවසීමට සිදු වුණේ මතකයෙනුයි. සිනගෝගවලදී හෙබ්‍රෙව් ලියවිලිවලින් කොටසක් කියෙවූ නිසා යේසුස්ගේ අනුගාමිකයන් වීමට කලින් යුදෙව්වන් ඒවාට සවන් දී තිබුණා. (2 කොරි. 3:14-16) නමුත් ශුභාරංචිය බලපෑමෙන් යුක්තව ප්‍රකාශ කිරීම සඳහා ඔවුන්ටත් ශුද්ධ ලියවිලි හොඳින් අධ්‍යයනය කිරීමට සිදු වුණා. ඒ විතරක් නොවෙයි උනන්දුවක් දක්වන අයට ඉදිරිපත් කිරීම සඳහා සඟරා පොත් පත්ද එදා ඔවුන්ට තිබුණේ නැහැ.

7 මේ කාලයේ ජීවත් වන අප සෑම කෙනෙකුටම වගේ බයිබලයක් තිබෙනවා. දේශනා සේවයේදී ඉදිරිපත් කිරීමට ඕනෑ තරම් සඟරා පොත් පත්ද තිබෙනවා. විවිධ භාෂාවලට ඒවා පරිවර්තනය කර තිබෙන නිසා රටවල් 230කට වඩා වැඩි ප්‍රමාණයක සිටින අයට දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කරමින් ඔවුන්ට යේසුස්ගේ ගෝලයන් වීමට උපකාර කිරීමට අපට හැකි වී තිබෙනවා.

දෙවිගේ බලයෙන් ශක්තිමත් වී

8, 9. (අ) දෙවිගේ බලයේ උපකාරයෙන් යේසුස්ගේ ගෝලයන්ට කිරීමට හැකි වුණේ මොනවාද? (ආ) දෙවිගේ බලයේ උපකාරයෙන් විශ්වාසවන්ත දාසයාට කිරීමට හැකි වී තිබෙන්නේ මොනවාද?

8 යේසුස් තම අනුගාමිකයන්ට ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය භාර දුන් විට ඔහු පැවසුවේ, “ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි” කියායි. ඉන් පැහැදිලි වන්නේ පොළොවේ දුර ඈත කෙළවරවල් දක්වා දේවරාජ්‍යය ගැන සාක්ෂියක් දැරීමට යේසුස්ගේ අනුගාමිකයන්ට හැකි වන්නේ දෙවිගේ බලයේ උපකාරයෙන් බවයි. අසනීප වූ අයව සුව කිරීමට, භූතයන්ව දුරු කිරීමට, මිය ගිය අයව නැවත නැඟිටුවීමට දෙවි තම බලය පේතෘස්ට හා පාවුල්ට ලබා දුන්නා. නමුත් දෙවි තම බලය ලබා දුන්නේ එවැනි ආශ්චර්යවත් ක්‍රියා සිදු කිරීමට පමණක් නොවෙයි. සදාකාල ජීවනය ලබාගැනීමට උපකාරවත් වන නිවැරදි දැනුම අන් අය සමඟ බෙදාගැනීමේ අතිවැදගත් කාර්යය ඉටු කිරීමට යේසුස්ගේ නියෝජිතයන්ට හා අනිකුත් ගෝලයන්ට හැකි වුණෙත් දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වූ නිසයි.—යොහ. 17:3.

9 උදාහරණයකට ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී සිදු වූ දෙය සලකා බලන්න. වාර්තාවේ සඳහන් වන්නේ, ‘දෙවිගේ බලය යේසුස්ගේ අනුගාමිකයන් තුළ ක්‍රියාත්මක වූ නිසා සියලුදෙනාම විවිධ භාෂාවලින් කතා කරන්න පටන්ගත්’ අතර එදින ඔවුන් “දෙවිගේ බලවත් ක්‍රියා ගැන” සාක්ෂියක් දැරූ බවයි. (ක්‍රියා 2:1-4, 11) පළමුවෙනි සියවසේදී මෙන් ආශ්චර්යවත් ලෙස විවිධ භාෂාවලින් කතා කිරීමේ හැකියාව දෙවි අද දින අපට ලබා නොදෙන බව ඇත්තයි. නමුත් බයිබලය මත පදනම් විවිධ පොත් පත් හා සඟරා භාෂා රැසකින් නිකුත් කිරීමට විශ්වාසවන්ත නුවණැති දාසයාට හැකි වී තිබෙන්නේ දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වන නිසයි. උදාහරණයකට සෑම මාසයකම මුරටැඹ හා පිබිදෙව්! කලාප මිලියන ගණනක් මුද්‍රණය කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සියලු ජාතීන්ට, ගෝත්‍රවලට අයත් අයට හා විවිධ භාෂා කතා කරන අයට “දෙවිගේ බලවත් ක්‍රියා ගැන” ප්‍රකාශ කිරීමට අපට හැකි වී තිබෙනවා.—එළි. 7:9.

10. වර්ෂ 1989 සිට දාසයාගේ විශේෂ ඉලක්කය වී තිබෙන්නේ කුමක්ද?

10 වර්ෂ 1989 සිට විශ්වාසවන්ත නුවණැති දාසයාගේ විශේෂ ඉලක්කය වී තිබෙන්නේ ශුද්ධ බයිබලයනව ලොව පරිවර්තනය නමැති බයිබලය විවිධ භාෂාවලින් මිනිසුන්ට ලබා දීමයි. එය දැනටමත් භාෂා රැසකට පරිවර්තනය කර තිබෙනවා. මේ වන විට එහි පිටපත් මිලියන දහස් ගණනක් මුද්‍රණය කර තිබෙන අතර තවත් බොහෝ ප්‍රමාණයක් මුද්‍රණය කරනු ලබනවා. දෙවිගේ බලයේ උපකාරය විශ්වාසවන්ත දාසයාට තිබෙන බව පැවසීමට එය කදිම සාක්ෂියක්.

11. අපේ සඟරා පොත් පත් ගැන පැවසිය හැක්කේ කුමක්ද?

11 බයිබලය පමණක් නොව අපේ සඟරා, පොත් පත් භාෂා 470කට වඩා වැඩි ප්‍රමාණයකට පරිවර්තනය කරනවා. එම කාර්යය ඉටු කිරීමට රටවල් 130කට වඩා වැඩි ගණනක පරිවර්තකයන් 2,800දෙනෙක් පමණ ස්වේච්ඡාවෙන් සේවය කරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට මෙතරම් වැඩ කොටසක් කිරීමට හැකි වීම ගැන අප පුදුම විය යුතු නැහැ. මන්ද යෙහෝවා දෙවි ගැනත් ඔහු පත් කර තිබෙන රජු ගැනත් ‘දේවරාජ්‍යය ගැනත් මුළු පොළොව පුරා පැහැදිලි සාක්ෂියක් දැරීමට’ දෙවි තම බලය ලබා දී තිබෙන්නේ මෙම සංවිධානයට පමණයි.—ක්‍රියා 28:23.

12. පාවුල්ට හා අනිකුත් ක්‍රිස්තියානීන්ට ශුභාරංචිය දේශනා කිරීමට හැකි වුණේ කෙසේද?

12 පාවුල් පිසිදියේ පිහිටි අන්තියෝකියේ සිටි යුදෙව්වන් හා වෙනත් ජාතීන්ට අයත් අය ඉදිරියේ සාක්ෂි දැරූ විට ‘සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති වූ සියලුදෙනාම යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වුණා.’ (ක්‍රියා 13:48) ලූක් විසින් ක්‍රියා පොත ලියා අවසන් කරන විට පාවුල් සිටියේ එවකට තිබූ ලෝක අධිරාජ්‍යයේ අගනුවර වූ රෝමයෙයි. එහිදී ඔහු ‘දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරමින් කාලය ගත කළ අතර ඒ සඳහා ඔහුට කිසිම බාධාවක් තිබුණේ නැහැ.’ (ක්‍රියා 28:31) පළමුවෙනි සියවසේ සිටි යේසුස්ගේ අනුගාමිකයන් ශුභාරංචිය දේශනා කිරීම සඳහා කුමන ක්‍රමය යොදාගත්තත් ඔවුන් එසේ කළේ දෙවිගේ බලයේ උපකාරයෙන් හා එහි මඟ පෙන්වීමට එකඟව බව එම තොරතුරුවලින් අපට පැහැදිලියි.

පීඩා හමුවේ විඳදරාගනිමින්

13. විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වන විට අප දෙවිට කන්නලව් කළ යුත්තේ ඇයි?

13 පළමුවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන් දෙවිගේ බලයේ උපකාරය තවත් ආකාරයකින් අද්දැක්කා. විරුද්ධවාදීන් ඔවුන්ගේ කාර්යය නතර කිරීමට උත්සාහ කළ අවස්ථාවලදී ඔවුන් දෙවිට කන්නලව් කරමින් දිගටම නිර්භීතව ශුභාරංචිය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ඉල්ලා සිටියා. ප්‍රතිඵලයක් ලෙස දෙවිගේ බලය ඉතා ප්‍රබල ලෙස ඔවුන් තුළ ක්‍රියාත්මක වී නිර්භීතව දේශනා කිරීමට ඔවුන්ට හැකි වූ බව වාර්තාවේ සඳහන් වෙනවා. (ක්‍රියා 4:18-31) අද දින අපත් නිර්භීතව ශුභාරංචිය දේශනා කිරීමට අවශ්‍ය ප්‍රඥාව හා ශක්තිය ඉල්ලා දෙවිට කන්නලව් කරනවා. (යාකො. 1:2-8) විරුද්ධවාදීන් මොන තරම් දරුණු ලෙස දෙවිගේ සෙනඟට පීඩා කළත් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය නතර කිරීමට ඔවුන්ට නොහැකි බව ස්ථිරයි. මන්ද දේශනා කිරීමේ කාර්යය දිගටම කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය දෙවි තම සෙනඟට ලබා දෙන අතර ඔවුන් දරන උත්සාහයට දෙවි ආශීර්වාද කරනවා. එසේනම් විරුද්ධවාදීන්ගෙන් දරුණු පීඩා එල්ල වන අවස්ථාවලදී ඊට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ප්‍රඥාව, ශක්තිය හා නිර්භීතකම ඉල්ලා අප එක් එක් කෙනා දෙවිට කන්නලව් කිරීම කොතරම් වැදගත්ද!—ලූක් 11:13.

14, 15. (අ) “ස්තේපන්ගේ මරණයෙන් පසු හටගත් පීඩාව නිසා” සිදු වුණේ කුමක්ද? (ආ) සයිබීරියාවේ ජීවත් වූ බොහෝදෙනෙක් සත්‍යය දැනගත්තේ කෙසේද?

14 සතුරන් අතින් මැරුම් කෑමට පෙර ස්තේපන් ඉතා නිර්භීතව සාක්ෂි දැරූ ආකාරය ඔබට මතක ඇති. (ක්‍රියා 6:5; 7:54-60) කෙසේවෙතත් ස්තේපන්ගේ මරණයෙන් පසු යෙරුසලමේ පිහිටි සභාවට “දැඩි පීඩා” රැල්ලක් පැමිණියා. ඒ නිසා යේසුස්ගේ නියෝජිතයන් හැර අනිකුත් සියලුදෙනාම යුදයේ හා සමාරියේ පළාත් පුරාම විසිරී ගියා. නමුත් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය නම් නතර වුණේ නැහැ. උදාහරණයකට ෆිලිප් සමාරියට ගොස් එහි සිටි අයට ‘ක්‍රිස්තුස් ගැන දේශනා කළ’ අතර බොහෝදෙනෙක් ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දැක්වූවා. (ක්‍රියා 8:1-8, 14, 15, 25) වාර්තාවේ තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “ස්තේපන්ගේ මරණයෙන් පසු හටගත් පීඩාව නිසා බොහෝදෙනෙක් ෆිනීෂියාව, සයිප්‍රසය සහ අන්තියෝකිය දක්වා විසිර ගියෝය. නමුත් ඔවුන් යුදෙව්වරුන්ට මිස වෙනත් කිසිම කෙනෙකුට දෙවිගේ පණිවිඩය ගැන කතා කළේ නැත. ඔවුන් අතරින් සයිප්‍රසයෙන් සහ සිරේනියෙන් පැමිණි කිහිපදෙනෙක් අන්තියෝකියට ඇවිත්, ග්‍රීක බස කතා කළ ජනතාවට ස්වාමීන් වන යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කරන්න පටන්ගත්තෝය.” (ක්‍රියා 11:19, 20) ඇත්තෙන්ම ක්‍රිස්තියානි සභාවට පැමිණි පීඩාවන් නිසා දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වුණා.

15 එක්දහස් නවසිය පනස් ගණන්වල සෝවියට් දේශයෙත් ඒ හා සමාන දෙයක් සිදු වුණා. ඒ කාලයේදී සාක්ෂිකරුවන් දහස් ගණනක්ව සයිබීරියාවේ විවිධ පැතිවලට පිටුවහල් කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස ශුභාරංචිය සයිබීරියාව පුරාම පැතිර ගියා. ඇත්තෙන්ම කිලෝමීටර් 10,000ක් පමණ දුර ප්‍රදේශවලට ගමන් කර ශුභාරංචිය දේශනා කිරීමට සෑහෙන මුදලක් වැය වෙනවා. එවැනි විශාල මුදලක් වැය කිරීමට තරම් වත්කමක් සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුට තිබුණේ නැහැ. නමුත් සෝවියට් ආණ්ඩුව විසින්ම ඔවුන්ව සයිබීරියාව පුරාම විසුරුවාහැරිය නිසා මුදලක් වැය නොකරම එම ප්‍රදේශවල සිටි මිනිසුන්ට ශුභාරංචිය දේශනා කිරීමට සාක්ෂිකරුවන් විශාල පිරිසකට අවස්ථාව ලැබුණා. එසේනම් එක් සහෝදරයෙක් පැවසූ මේ වදන් සත්‍යයක් නොවේද? “සයිබීරියාවේ සිටි අවංක හදවත් ඇති දහස් ගණනක් දෙනාට සත්‍යය දැනගැනීමට මඟ පෑදුවේ සෝවියට් ආණ්ඩුවයි.”

යෙහෝවා දෙවිගේ ආශීර්වාද නොඅඩුව ලැබෙයි

16, 17. ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට දෙවි ආශීර්වාද කරන බවට උදාහරණ දෙන්න.

16 ඇත්තෙන්ම පළමුවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන් ශුභාරංචිය දේශනා කිරීමට දැරූ උත්සාහයට යෙහෝවා දෙවි බොහෝ සෙයින් ආශීර්වාද කළ බව නිසැකයි. පාවුල් හා අනිකුත් ක්‍රිස්තියානීන් සත්‍යය නමැති බීජ පැළ කර ඊට වතුර වත් කළා. නමුත් ඒවා ‘වර්ධනය වුණේ දෙවි නිසයි.’ (1 කොරි. 3:5, 6) එය සත්‍යයක් බව ක්‍රියා පොතෙහි සඳහන් වාර්තාවලින් අපට තහවුරු වෙනවා. උදාහරණයකට ක්‍රියා 6:7හි පවසන මේ දෙය සලකා බලන්න. “දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර ගිය අතර යෙරුසලමේ සිටි ගෝලයන්ගේ ගණනද දිගින් දිගටම වැඩි විය.” ක්‍රියා 9:31හි පවසන්නේ, “යුදය, ගලීලය සහ සමාරිය පුරාම ව්‍යාප්ත වී තිබූ සභාවට ඉතා සාමකාමී කාල පරිච්ඡේදයක් උදා විය. සියලුදෙනාම යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්, දෙවි ලබා දුන් බලයෙන් මහත් සැනසීමක් ලැබූ අතර ඔවුන්ගේ විශ්වාසයද තව තවත් ශක්තිමත් විය. ඔවුහු ගණනින්ද නොකඩවා වැඩි වූ” බවයි.

17 තවත් අවස්ථාවක ඉතා නිර්භීත ක්‍රිස්තියානීන් පිරිසක් සිරියාවේ පිහිටි අන්තියෝකියට පැමිණ එහි සිටි යුදෙව්වන්ට පමණක් නොව ග්‍රීක බස කතා කළ ජනතාවටත් ශුභාරංචිය ප්‍රකාශ කළා. ‘ඔවුන්ට යෙහෝවා දෙවිගේ උපකාරය ලැබුණු අතර බොහෝදෙනෙක් ස්වාමීන්ව විශ්වාස කරමින් ඔහුගේ අනුගාමිකයෝ වුණා’ කියා වාර්තාවේ සඳහන් වෙනවා. (ක්‍රියා 11:21) දෙවි ඔවුන්ගේ උත්සාහයට දිගටම ආශීර්වාද කළ බව වාර්තාවේ සඳහන් මේ දෙයින්ද මනාව පැහැදිලියි. “යෙහෝවා දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර ගියේය.” (ක්‍රියා 12:24) ඇත්තෙන්ම පාවුල් හා අනිකුත් ක්‍රිස්තියානීන් වෙනත් ජාතීන්ට අයත් ජනයාට දේවරාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දැරීමේ ප්‍රතිඵලයක් ලෙස ‘යෙහෝවා දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර ගිය අතර එය යටපත් කිරීමට කිසිවෙකුට නොහැකි වුණා.’—ක්‍රියා 19:20.

18, 19. (අ) යෙහෝවා දෙවිගේ උපකාරය ලැබෙන බවට අපට නිසැක විය හැක්කේ ඇයි? (ආ) දෙවි තම සෙනඟට උපකාර කරන බව පෙන්වන අද්දැකීමක් පවසන්න.

18 ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය සඳහා “යෙහෝවා දෙවිගේ උපකාරය” අපටත් ලැබෙනවා. බොහෝදෙනෙකු අප ඉදිරිපත් කරන පණිවිඩය පිළිගෙන දෙවි බලාපොරොත්තු වන ආකාරයට ජීවත් වීමට පොරොන්දු වෙමින් ඔවුන්ගේ එම කැපවීම බව්තීස්මය මගින් සංකේතවත් කිරීමට කැමති වීමෙන් ඒ බව අපට තහවුරු වෙනවා. පාවුල් හා පළමුවෙනි සියවසේ සිටි අනිකුත් ක්‍රිස්තියානීන් මෙන් විරුද්ධවාදිකම් හා දරුණු පීඩා විඳදරාගනිමින් අපේ කාර්යය දිගටම කරගෙන යෑමට අපට හැකි වී තිබෙන්නෙත් දෙවිගේ උපකාර අපට ලැබෙන නිසයි. (ක්‍රියා 14:19-21) යෙහෝවා දෙවිගේ ඒ උපකාරය අපට හැමදාටම ලැබෙන බව නොඅනුමානයි. අපට කුමන පීඩාවන්ට මුහුණ දීමට සිදු වුණත් ‘ඔහුගේ සවිමත් දෑතින් ඔහු අපව සදහටම උසුලයි.’ (ද්වි. 33:27) යෙහෝවා දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය අවමානයට ලක් වෙන්න කිසිදා ඉඩහරින්නේ නැහැ. ඒ නිසා ඔහු ඔහුගේ සෙනඟව කවදාවත් අත්හරින්නේ නැති බව අපි කිසිවිටක අමතක නොකරමු.—1 සාමු. 12:22; ගීතා. 94:14.

19 සහෝදර හැරල්ඩ් ආප්ට් හා ඔහුගේ භාර්යාව දෙවි තම සෙනඟට ලබා දෙන උපකාරය පෞද්ගලිකව අද්දුටු යුවළක්. සහෝදර හැරල්ට් දිගින් දිගටම ශුභාරංචිය ගැන සාක්ෂි දැරූ නිසා නාට්සි හමුදාව ඔහුව අත්අඩංගුවට ගෙන සාක්සන්හවුසන් නම් ගාල් කඳවුරට යැව්වා. එය සිදු වුණේ දෙවෙනි ලෝක මහා යුද්ධය පැවති කාලයෙයි. වර්ෂ 1942 මැයි මාසයේදී නාට්සි රහස් පොලිසිය ඔහුගේ භාර්යාව වන එල්සිවත් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගේ කුඩා දියණියව ඇගෙන් වෙන් කළා. ඔවුන් සහෝදරි එල්සිව කඳවුරෙන් කඳවුරට මාරු කළා. කඳවුරුවල ගත කළ කාලය සිහිපත් කරමින් ඇය මෙසේ පැවසුවා. “අපි දරුණු පීඩාවක් අද්දකින කොට ඒක විඳදරාගන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවි පුදුමාකාර අයුරින් අපට ලබා දෙනවා කියන කාරණය මම ජර්මනියේ ගාල් කඳවුරේ ගත කළ අවුරුදු කිහිපයේදී ඉගෙනගත්තා. මාව අත්අඩංගුවට ගන්න ඉස්සෙල්ලා එක සහෝදරියක් ලියපු ලියුමක් මම කියෙව්වා. අපි දරුණු පීඩාවක් අද්දකින කොට දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් අපි තුළ සාමකාමී හැඟීමක් ඇති කරනවා කියලා ඒ ලියුමේ ඇය පවසලා තිබුණා. ඇත්තටම ඒ ලියුම කියවද්දී මට හිතුණේ ඒ සහෝදරිය සමහර දේවල් ඕනෑවට වැඩිය ටිකක් ලොකු කරලා පෙන්නනවා කියලයි. ඒත් පීඩාවන් මම පෞද්ගලිකව අද්දකින කොට ඒ සහෝදරිය පැවසූ දේවල් කොච්චර ඇත්තද කියලා මට වැටහුණා. දෙවි ලබා දෙන සමාදානය ඔබ පෞද්ගලිකව අද්දැකලා නැත්නම් එය මොන වගේද කියලා හිතාගන්න ටිකක් අමාරුයි තමයි. හැබැයි මම ඇත්තටම ඒ පුදුමාකාර සමාදානය අද්දැක්කා.”

දිගටම දේවරාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දරන්න!

20. නිවාස අඩස්සියේ සිටියදී පාවුල් කළේ කුමක්ද? සමහරක් සහෝදර සහෝදරියන්ට ඔහුගේ අද්දැකීම දිරිගැන්වීමක් වන්නේ කෙසේද?

20 ක්‍රියා පොත අවසන් වන්නේ පාවුල් “මහත් උද්‍යෝගයකින් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරමින්” සිටි බව පවසමිනුයි. (ක්‍රියා 28:31) රෝමයේ ඔහු සිටියේ නිවාස අඩස්සියේ නිසා ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය දේශනා කිරීමට ඔහුට නොහැකි වුණා. නමුත් ඔහුව හමු වීමට පැමිණි සියලුදෙනාට ඔහු දේශනා කළා. අද දිනත් මහලු වයස නිසා හෝ ආබාධිත තත්වයක් නිසා හෝ අසනීපයක් නිසා හෝ අපේ සමහරක් සහෝදර සහෝදරියන්ට තම නිවෙස්වලින් නැත්නම් නතර වී සිටින රෝහලෙන් පිටතට යා නොහැකියි. තවත් සමහරක් අය තමන් සිටින අසනීප තත්වය නිසා ඇඳකට කොටු සිටිනවා විය හැකියි. නමුත් දෙවි කෙරෙහි ඔවුන්ට තිබෙන ප්‍රේමයවත් දෙවි ගැන සාක්ෂි දැරීමට ඔවුන්ට තිබෙන උද්‍යෝගයවත් කිසි ලෙසකින්වත් අඩු වී නැහැ. එසේනම් දෙවි ගැන දැනගැනීමට ආශාවක් තිබෙන මිනිසුන්ව හමු වීමට එවැනි සහෝදර සහෝදරියන්ට අවස්ථාවක් ලබා දෙන්න කියා ඔවුන් වෙනුවෙන් දෙවිට කන්නලව් කිරීම යහපත් දෙයක් නොවේද?

21. කල් නොදමා ශුභාරංචිය දේශනා කළ යුත්තේ ඇයි?

21 කෙසේවෙතත් අපෙන් බොහෝදෙනෙකුට ගෙයින් ගෙට සේවයේ හා ශුභාරංචිය දේශනා කරන වෙනත් අංගවල සහභාගි වීමට හැකිකම තිබෙනවා. එසේනම් ‘පොළොවේ දුර ඈත කෙළවරවල්’ දක්වා දේවරාජ්‍යය පිළිබඳ පැහැදිලි සාක්ෂියක් දැරීමට අපට කළ හැකි උපරිමය කරමු. එය කල් දැමිය හැකි කාර්යයක් නොවෙයි. මන්ද අප ජීවත් වන්නේ ක්‍රිස්තුස් ‘පැමිණ සිටින කාලයේ’ බව පැහැදිලිව දකින්න තිබෙනවා. (මතෙ. 24:3-14) ඒ නිසා කාලය නාස්ති නොකර ‘ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කිරීම’ කොතරම් වැදගත්ද!—1 කොරි. 15:58.

22. දෙවිගේ දවස පැමිණෙන තෙක් බලා සිටින අතරතුරේ අප කුමක් කිරීමට අදිටන් කරගත යුතුද?

22 ‘යෙහෝවා දෙවිගේ බිය උපදවන දවස පැමිණෙන’ තෙක් බලා සිටින අතරතුරේ දේවරාජ්‍යය පිළිබඳ පැහැදිලි සාක්ෂියක් ලබා දීමට අපි අදිටන් කරගනිමු. (යෝවෙ. 2:31) අප නිර්භීතව හා විශ්වාසවන්තව එම සේවයේ හවුල් වෙනවා නම් ‘දෙවිගේ පණිවිඩය මහත් උනන්දුවෙන් පිළිගත්’ බෙරීය නුවරේ වැසියන් හා සමාන මිනිසුන් බොහෝදෙනෙකුව සොයාගැනීමට අපටත් හැකි වන බව නිසැකයි. (ක්‍රියා 17:10, 11) ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ‘ඔබ ඉතා යහපත්ව, විශ්වාසවන්තව ඉටු කළා’ කියා අපේ ස්වාමියා අප ගැන පවසන තෙක් අත් නෑර එම කාර්යය ඉටු කරමු. (මතෙ. 25:23) අප එම කාර්යයේ මහත් උද්‍යෝගයෙන් හවුල් වෙමින් හැමදාටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටිනවා නම් ‘දේවරාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දැරීමට’ අපට ලැබුණු වරප්‍රසාදය ගැන සදහටම සතුටු වීමට අපට හැකියි!