Skip to content

පටුනට යන්න

25වෙනි පරිච්ඡේදය

‘මට සීසර්ගෙන් තීන්දුවක් අවශ්‍යයි!’

‘මට සීසර්ගෙන් තීන්දුවක් අවශ්‍යයි!’

පාවුල් ශුභාරංචිය වෙනුවෙන් කතා කරයි

ක්‍රියා 25:1–26:32

1, 2. (අ) පාවුල් සිටින තත්වය විස්තර කරන්න. (ආ) ඔහු සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලා සිටීමට ගත් තීරණය නිසා මතු වන ප්‍රශ්නය කුමක්ද?

මුරකරුවන්ගේ දැඩි විමසිල්ල යටතේ පාවුල් තවමත් සිටින්නේ සිසේරියේ සිරගතවයි. මීට අවුරුදු දෙකකට පෙර ඔහුව මරා දැමීමට යුදෙව්වන් තුන් වරක්ම උත්සාහ කළා. (ක්‍රියා 21:27-36; 23:10, 12-15, 27) මෙතෙක් ඔවුන් දැරූ උත්සාහයන් සියල්ල අසාර්ථක වුණත් පාවුල්ව කෙසේ හෝ මරා දැමීම තවමත් ඔවුන්ගේ අදිටනයි. ඔහුව අල්ලාගැනීමට ඔවුන් නැවතත් උත්සාහ කරනවා. ‘මට සීසර්ගෙන් තීන්දුවක් අවශ්‍යයි’ කියා පාවුල් ඉල්ලා සිටින්නේ එම අවස්ථාවේදීයි.—ක්‍රියා 25:11.

2 පාවුල් එලෙස රෝම අධිරාජ්‍යයාගෙන් තීන්දුවක් ඉල්ලා සිටීමට ගත් තීරණයට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලැබුණාද? මේ අවසාන කාලයේ දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක් දරන අප, එම ප්‍රශ්නයට පිළිතුරු දැනගැනීම ඉතා වැදගත්. මන්ද පාවුල්ට ඒ සඳහා දෙවිගේ අනුමැතිය ලැබුණා නම්, “ශුභාරංචිය වෙනුවෙන් කතා කර එය ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීම” සම්බන්ධයෙන් පාවුල් අපට තබන්නේ කදිම ආදර්ශයක්.—ෆිලි. 1:7.

‘විනිශ්චයාසනය ඉදිරියේ’ (ක්‍රියා 25:1-12)

3, 4. (අ) පාවුල්ව යෙරුසලමට ගෙනැවිත් විනිශ්චය කරන ලෙස යුදෙව්වන් ඉල්ලා සිටියේ ඇයි? පාවුල්ගේ දිවි ගැලවුණේ කෙසේද? (ආ) යෙහෝවා දෙවි අද දිනත් තම සේවකයන්ව ශක්තිමත් කරන්නේ කෙසේද?

3 යූදා පළාතේ ආණ්ඩුකාරයා ලෙස පත් වී දින තුනකට පසු ෆෙස්ටස් යෙරුසලම බලා පිටත්ව ගියා. * එහිදී නායක පූජකයන් හා යුදෙව්වන්ගේ ප්‍රධානීන් ඔහුව හමු වී පාවුල්ට විරුද්ධව බරපතළ චෝදනා ඉදිරිපත් කළා. යුදෙව්වන් හා යුදෙව්වන්ගේ ප්‍රධානීන් සමඟ සාමය පවතින අයුරින් කටයුතු කිරීම අනිකුත් උසස් බලධාරීන් ආණ්ඩුකාරයාගෙන් බලාපොරොත්තු වන බව ඔවුන් දැන සිටියා. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඔවුන්, පාවුල්ව යෙරුසලමට ගෙනැවිත් විනිශ්චය කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා. ඔවුන් එවැනි ඉල්ලීමක් කළේ පාවුල්ව සිසේරියේ සිට යෙරුසලමට ගෙනෙන විට මඟ රැක සිට ඔහුව මරා දැමීමේ අරමුණිනුයි. නමුත් ෆෙස්ටස් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබේ නායකයන්ට පුළුවන් මා සමඟ ඇවිත් ඒ මිනිසාට විරුද්ධව යම් චෝදනාවක් ඇත්නම් ඒවා එහිදී [සිසේරියේදී] ඉදිරිපත් කරන්න.” (ක්‍රියා 25:5) එසේ නැවත වරක් පාවුල්ගේ දිවි රැකුණා!

4 ඇත්තෙන්ම පාවුල්ට බොහෝ පීඩාවලට මුහුණ දීමට සිදු වුණා. නමුත් යෙහෝවා දෙවි ඒ සෑම අවස්ථාවකදීම යේසුස් මාර්ගයෙන් ඔහුව ශක්තිමත් කළා. යේසුස් ඔහුට දර්ශනය වී “කිසි දෙයකින් අධෛර්යය වෙන්න එපා” කියා ඔහුට පැවසූ බව ඔබට මතක ඇති. (ක්‍රියා 23:11) දෙවිගේ සේවකයන් වන අපටත් විවිධ අභියෝගවලට හා මිනිසුන්ගේ තර්ජන ගර්ජනවලට මුහුණ දීමට සිදු වෙනවා. අද අපට මුහුණ දීමට සිදු වන එවැනි ප්‍රශ්න ගැටලුවලින් යෙහෝවා දෙවි අපව ආශ්චර්යවත් අයුරින් ගලවාගන්නේ නැති බව ඇත්තයි. නමුත් ඒවාට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය හා ප්‍රඥාව ඔහු අපට ලබා දෙනවා. ඇත්තෙන්ම අපට කුමන දෙයකට මුහුණ දීමට සිදු වුණත් අපේ ප්‍රේමණීය දෙවි යෙහෝවා “සාමාන්‍යය ඉක්මවූ බලය” මාර්ගයෙන් අපව ශක්තිමත් කරන බව නිසැකයි.—2 කොරි. 4:7.

5. පාවුල් හා සම්බන්ධ නඩුව ෆෙස්ටස් විභාග කළේ කෙසේද?

5 දින කිහිපයකට පසු නැවතත් සිසේරියට පැමිණි ෆෙස්ටස්, ‘විනිශ්චයාසනයේ අසුන්ගෙන’ පාවුල්ව හා ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළ අයව ඔහු ඉදිරියට කැඳෙව්වා. * කිසිම පදනමක් නැතුව තමාට විරුද්ධව එල්ල කළ චෝදනාවලට පිළිතුරු වශයෙන් පාවුල් ඒ අවස්ථාවේ මෙසේ පැවසුවා. “මම යුදෙව්වරුන්ගේ නීතියට විරුද්ධවත් දේවමාලිගාවට විරුද්ධවත් සීසර්ට විරුද්ධවත් කිසිම පාපයක් කර නැහැ.” ඊට සවන් දුන් ෆෙස්ටස් කිසිම වරදක් කර නැති මේ නියෝජිතයාව නිදහස් කිරීමට තීන්දු කළාද? නැහැ. ඒ වෙනුවට යුදෙව්වන්ගේ සිත් දිනාගැනීමේ අදහසින් ඔහු පාවුල්ගෙන් මෙසේ ඇසුවා. ‘යෙරුසලමට ගොස් එහිදී මා ඔබව විනිශ්චය කරනවාට ඔබ කැමතිද?’ (ක්‍රියා 25:6-9) එය ඇත්තෙන්ම කිසි තේරුමක් නැති යෝජනාවක්! විනිශ්චය කිරීම සඳහා පාවුල්ව නැවත යෙරුසලමට යැව්වොත් එහිදී ඔහුව විනිශ්චය කරන්නේ ඔහුගේ චෝදනාකරුවන් විසින්මයි. එවිට ඔහුට මරණ දණ්ඩනය ලැබෙන බව නියතයි. ඒ අවස්ථාවේ ෆෙස්ටස් යුක්තිය ඉටු කරනවා වෙනුවට දේශපාලන වශයෙන් තමන්ට වාසියක් වන අයුරින් කටයුතු කළා. කලින් සිටි ආණ්ඩුකාරයෙකු වූ පොන්තියුස් පිලාත්ද යේසුස් හා සම්බන්ධ නඩුවේදී කටයුතු කළේ ඒ හා සමානවයි. (යොහ. 19:12-16) අද දින සිටින සමහරක් විනිසුරුවන්ද අන් අයගේ සිත් දිනාගැනීමේ අරමුණින් අසාධාරණ තීන්දු දිය හැකියි. එසේනම් දෙවිගේ සෙනඟට විරුද්ධව තිබෙන නඩු, විභාග කරන විට ඒවාට අසාධාරණ තීන්දු ලැබීම ගැන අප පුදුම විය යුතු නැහැ.

6, 7. පාවුල් සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලා සිටියේ ඇයි? ඔහු කටයුතු කළ ආකාරය අද දින සිටින දෙවිගේ සෙනඟ අනුගමනය කරන්නේ කෙසේද?

6 යුදෙව්වන්ගේ සිත් දිනාගැනීමට ෆෙස්ටස්ට තිබූ වුවමනාව නිසා පාවුල්ගේ ජීවිතයට අනතුරක් වීමට ඉඩකඩ තිබුණා. නමුත් ඒ අවස්ථාවේ පාවුල් රෝම පුරවැසියෙකු ලෙස තමන් සතු අයිතිවාසියක් ප්‍රයෝජනයට ගනිමින් ෆෙස්ටස්ට මෙසේ පැවසුවා. “මම දැන් සිටින්නේ සීසර්ගේ විනිශ්චයාසනය ඉදිරියෙහියි. මාව විනිශ්චය කළ යුතු නියම තැන මෙතැනයි. ඔබතුමන්ට පැහැදිලිව ඔප්පු වී ඇති ආකාරයට යුදෙව්වරුන්ට විරුද්ධව මම කිසිම වරදක් කර නැහැ. . . . මම දැන් කියා සිටින්නේ මට සීසර්ගෙන් තීන්දුවක් අවශ්‍ය බවයි!” සාමාන්‍යයෙන් කෙනෙකු එවැනි ඉල්ලීමක් කළ පසු එය වෙනස් කළ නොහැකියි. “ඔබ සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලා ඇති නිසා ඔබව සීසර් වෙතට යවනවා” කියා ෆෙස්ටස් පැවසුවේ ඒ නිසයි. (ක්‍රියා 25:10-12) විරුද්ධවාදීන් ‘දුෂ්ට අරමුණක් ඇතුව නීති පනවන්න’ උත්සාහ කරන විට පාවුල් කටයුතු කළ ආකාරය අද දින අපට කදිම ආදර්ශයක්. එවැනි අවස්ථාවලදී අපත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීම සඳහා නීතිය මගින් ලබා දී තිබෙන අයිතිවාසිකම් ප්‍රයෝජනයට ගන්නවා. *ගීතා. 94:20.

7 නොකළ වැරදිවලට අවුරුදු දෙකක් පුරා නිරපරාදේ සිරගතව සිටි පාවුල්ට තම නඩුව රෝමයේදී විභාග කරගැනීමට දැන් අවස්ථාව ලැබුණා. නමුත් සිසේරියෙන් පිටත්ව යෑමට පෙර තවත් පාලකයෙකු ඉදිරියේ පෙනී සිටීමට ඔහුට සිදු වුණා.

අසාධාරණ තීන්දුවක් ලැබෙන විට පාවුල් මෙන් අපත් ඉහළ උසාවියකින් තීන්දුවක් ඉල්ලා සිටිනවා

‘මා දුටු දර්ශනය මම නොසලකාහැරියේ නැහැ’ (ක්‍රියා 25:13–26:23)

8, 9. අග්‍රිපා රජු සිසේරියට පැමිණියේ ඇයි?

8 පාවුල් සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලා දින කිහිපයක් ගෙවී ගිය පසු ෆෙස්ටස්ව “නිල වශයෙන් බැහැදැකීමට” අග්‍රිපා රජ හා ඔහුගේ සහෝදරිය වූ බර්නීස් සිසේරියට පැමිණියා. * අනිකුත් නිලධාරීන් අලුතින් නිලයට පත් වූ ආණ්ඩුකාරයන්ව එලෙස බැහැදැකීමට යෑම රෝම චාරිත්‍රයක්. අග්‍රිපා එලෙස ෆෙස්ටස්ට සුබ පැතීමට පැමිණියේ ෆෙස්ටස් සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමේ අරමුණින් බවට සැකයක් නැහැ. එවැනි මිත්‍රත්වයක් ඇති කරගැනීම ඔහුට දේශපාලනික වශයෙන් වාසිදායකයි.—ක්‍රියා 25:13.

9 ෆෙස්ටස් පාවුල් හා සම්බන්ධ නඩුව ගැන අග්‍රිපා රජුට දැන්වූ විට පාවුල්ට පැවසීමට ඇති දේවලට තමන් සවන් දීමට කැමති බව රජු ෆෙස්ටස්ට පැවසුවා. පසු දින ඔවුන් දෙදෙනාම පාවුල්ට සවන් දීම සඳහා විනිශ්චයාසනයේ ඉඳගත්තා. ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනා මහත් හරසරින් ඇවිත් තමන් සතු බලතල ප්‍රදර්ශනය කරමින් රැස්ව සිටි අය තුළ යම් බලපෑමක් ඇති කිරීමට උත්සාහ කළා. නමුත් සියලුදෙනාට ප්‍රබල බලපෑමක් ඇති කළේ පාවුල් ඉදිරිපත් කළ කතාවයි.—ක්‍රියා 25:22-27.

10, 11. පාවුල් අග්‍රිපා රජු සමඟ ගෞරවනීය අයුරින් කටයුතු කළා කියා පැවසිය හැක්කේ ඇයි? තම අතීතය ගැන පාවුල් පැවසුවේ මොනවාද?

10 පාවුල් මුලින්ම තමා නිදොස් බව ඔප්පු කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමට තමන්ට අවස්ථාව ලබා දීම ගැන ඉතා ගෞරවනීයව අග්‍රිපා රජුට ස්තුති කළා. යුදෙව්වන්ගේ සියලු චාරිත්‍ර වාරිත්‍ර ගැනත් ඔවුන් අතර පවතින මතභේද ගැනත් රජුට හොඳ දැනුමක් තිබෙනවා කියා තමා දන්නා බව පාවුල් පැවසුවා. ඉන්පසු පාවුල් තම අතීතය සිහිපත් කරමින් මෙසේ පැවසුවා. “මම යුදෙව් ආගම අකුරටම පිළිපදින පරිසිවරුන්ගේ නිකායේ සාමාජිකයෙක්ව සිටියා.” (ක්‍රියා 26:5) ඉන්පසු ඔහු පැහැදිලි කළේ පරිසිවරයෙකු ලෙස තමන් මෙසියස් එනම්, ගැලවුම්කරුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි බවයි. මහත් බලාපොරොත්තුවෙන් සිටි ඒ ගැලවුම්කරු, යේසුස් ක්‍රිස්තුස් බව දැන් ක්‍රිස්තියානියෙකු ලෙස තමා පිළිගන්නා බවත් ඔහු ඉතා නිර්භීතව පැවසුවා. තමාත් තමාට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළ අයත් එකම දේ ගැන එනම් දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් පොරොන්දුවේ ඉටු වීම ගැන බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු පැවසුවා. නමුත් යුදෙව්වන් තමාට විරුද්ධව චෝදනා එල්ල කර තිබෙන්නෙත් තමාට තිබෙන එම බලාපොරොත්තුව නිසා කියා පාවුල් පැවසුවා. පාවුල් ඉදිරිපත් කළ ඒ කරුණු නිසා ඔහුට දිගටම සවන් දීමට අග්‍රිපා රජුට වුවමනා වුණා. *

11 තමා කලින් යේසුස්ගේ අනුගාමිකයන්ට සැලකූ අන්දම විස්තර කරමින් පාවුල් මෙසේ පැවසුවා. “මමත් කාලයක් සිතාගෙන සිටියේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස්ගේ නාමය දරන කණ්ඩායමට විරුද්ධව පුළුවන් තරම් පීඩා කළ යුතු බවයි. . . . මම ඔවුන් [යේසුස්ගේ අනුගාමිකයන්] කෙරෙහි දැඩි කෝපයකින් සිටි නිසා වෙනත් නුවරවලට පවා ගොස් ඔවුන්ට පීඩා කරන්න පියවර ගත්තා.” (ක්‍රියා 26:9-11) පාවුල් ක්‍රිස්තියානීන්ට මොන තරම් දරුණු ලෙස පීඩා කළාද කියා බොහෝදෙනෙක් දැන සිටියා. ඒ නිසා ඔහු පැවසූ දේවල් සත්‍යය බව විශ්වාස කිරීමට හොඳ හේතු තිබුණා. (ගලා. 1:13, 23) නමුත් ‘ක්‍රිස්තියානීන්ට එලෙස දරුණු ලෙස පීඩා කළ ඔහු, දැන් ක්‍රිස්තියානියෙකු වී සිටින්නේ ඇයි’ කියා අග්‍රිපා රජ සමහරවිට කල්පනා කරන්න ඇති.

12, 13. (අ) තමා ක්‍රිස්තියානියෙකු වීමට හේතුව පාවුල් විස්තර කළේ කෙසේද? (ආ) පාවුල් කටයුතු කළ ආකාරය “කෙවිටට පයින් ගැසීමක්” හා සමාන වුණේ කෙසේද?

12 රජු ඒ ගැන කල්පනා කරමින් සිටියා නම් පාවුල් ඊළඟට පැවසූ මේ දෙයින් ඊට පිළිතුරු ලැබුණු බව නිසැකයි. “මම නායක පූජකයන්ගේ අවසර ඇතුව දමස්කය බලා ගමන් කරමින් සිටියා. රජ්ජුරුවනි, ඉර මුදුන් වන වේලාවේදී පමණ අපි ගමන් කරද්දී අහසින් හිරුරැස්වලටත් වඩා දීප්තිමත් ආලෝකයක් මා වටාත් මා සමඟ ගමන් කරමින් සිටි අය වටාත් විහිදී ගියා. අප සියලුදෙනාම බිම ඇද වැටුණා. එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ ඇයි? එසේ කිරීම දිගින් දිගටම කෙවිටට පයින් ගැසීමක් හා සමානයි. එයින් අනතුරක් සිදු වන්නේ ඔබටයි’ කියා හෙබ්‍රෙව් භාෂාවෙන් කියන හඬක් මට ඇහුණා. එවිට මම, ‘ස්වාමීනි, ඔබ කවුද’ කියා ඇසුවා. ස්වාමීන් පිළිතුරු දුන්නේ මෙසේයි. ‘මම යේසුස්. ඔබ පීඩා කරන්නේ මටයි.’” *ක්‍රියා 26:12-15.

13 පාවුල් කටයුතු කළ ආකාරය “කෙවිටට පයින් ගැසීමක්” හා සමාන වුණේ කෙසේද? ඒ කාලයේ බර අදින සතුන්ව දක්කාගෙන යෑම සඳහා තියුණු යකඩ තුඩක් සහිත දිග කෙවිටක් භාවිත කළා. යම් මඟ පෙන්වීමක් ලබා දෙන විට සතා මුරණ්ඩු වී කෙවිටට පයින් ගැසුවොත් ඉන් හානියක් සිදු වුණේ සතාටමයි. යේසුස් දර්ශනය වීමට කලින් පාවුල් දෙවිගේ කැමැත්තට විරුද්ධව ක්‍රියා කරමින් සිටි නිසා ඔහු කටයුතු කළේ ‘කෙවිටට පයින් ගසන’ සතෙකු හා සමානවයි කියා පැවසිය හැකියි. එයින් හානියක් සිදු වුණේ ඔහුටමයි. මන්ද ඔහු කටයුතු කරමින් සිටි ආකාරය නිසා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔහුට නොහැකි වුණා. නමුත් ඔහු අවංකව සිතුවේ ඔහු කටයුතු කරන්නේ දෙවිගේ කැමැත්තට එකඟව කියායි. ඒ නිසා දමස්කය බලා ගමන් කරමින් සිටියදී නැවත නැඟිටුවන ලද යේසුස් ඔහුට දර්ශනය වී ඔහුට තිබූ ඒ වැරදි අවබෝධය නිවැරදි කරගැනීමට උපකාර කළා.—යොහ. 16:1, 2.

14, 15. තම ජීවිතයේ සිදු කළ වෙනස්කම් ගැන පාවුල් පැවසුවේ මොනවාද?

14 නිවැරදි අවබෝධය ලැබුණු පසු පාවුල් තම ජීවිතයේ බොහෝ වෙනස්කම් කළා. ඒ ගැන ඔහු අග්‍රිපා රජුට මෙසේ පැවසුවා. “ස්වර්ගයෙන් මා දුටු ඒ දර්ශනය මම නොසලකාහැරියේ නැහැ. ඒ නිසා මම මුලින්ම දමස්කයටත් ඊළඟට යෙරුසලමටත් පසුව මුළු යුදය පුරාත් වෙනත් ජාතීන් වෙතටත් ගියා. මම එහි සිටි අයට පැවසුවේ පසුතැවිලි වී තම පසුතැවිල්ලට එකඟව ක්‍රියා කිරීමෙන් දෙවි වෙතට හැරෙන්න අවශ්‍ය බවයි.” (ක්‍රියා 26:19, 20) යේසුස් දර්ශනය වූ අවස්ථාවේ ඔහුට භාර දුන් පැවරුම ඔහු අවුරුදු ගණනාවක් පුරා විශ්වාසවන්තව ඉටු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙක් ශුභාරංචිය පිළිගත් අතර ඔවුන් කලින් ගත කරමින් සිටි අනාචාර, වංක ජීවිතය වෙනස් කරගෙන හොඳ පුද්ගලයන් බවට පත් වුණා. ඒ අය රටේ නීතියට ගරු කරන යහපත් පුරවැසියන් වුණා.

15 නමුත් පාවුල්ගේ සේවය නිසා ලැබුණු එවැනි යහපත් ප්‍රතිඵල පාවුල්ගේ විරුද්ධවාදීන් අගය කළේ නැහැ. ඔහු පැවසූ මේ වදන්වලින් ඒ බව පැහැදිලියි. “යුදෙව්වන් මාව දේවමාලිගාවේදී අල්ලා මරා දමන්න තැත් කළේ අන්න ඒ හේතුව නිසයි. නමුත් මට දෙවිගේ උපකාරය ලැබුණු නිසා මෙදින දක්වා සෑම තරාතිරමකම සිටින අයට සාක්ෂි දරන්න මට හැකි වී තිබෙනවා.”—ක්‍රියා 26:21, 22.

16. අපේ විශ්වාසයන් ගැන විනිසුරුවන් හා පාලකයන් ඉදිරියේ කතා කරන විට පාවුල්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

16 සැබෑ ක්‍රිස්තියානීන් වන අපත් ‘අපට තිබෙන බලාපොරොත්තුව ගැන විමසන සියලුදෙනාට පිළිතුරු දීමට නිතරම සූදානම් වී සිටිය යුතුයි.’ (1 පේතෘ. 3:15) විනිසුරුවන් හා රටේ පාලකයන් ඉදිරියේ අපේ විශ්වාසයන් ගැන කතා කිරීමට අපට සිදු වුණොත් අග්‍රිපා රජු හා ෆෙස්ටස් ඉදිරියේ පාවුල් කතා කළ ආකාරය අනුගමනය කිරීමට අපට හැකියි. බයිබලයේ තිබෙන සත්‍යයන් අපේ ජීවිත මෙන්ම ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන අන් අයගේ ජීවිත වෙනස් කරගැනීමට උපකාර කර තිබෙන ආකාර ගැන ඔවුන්ට පැවසීමට අපට පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස එම බලධාරීන්ට අප ගැන තිබෙන වැරදි වැටහීම වෙනස් වීමට පවා ඉඩ තිබෙනවා.

“ඔබ මාවත් ක්‍රිස්තියානියෙක් කරයි” (ක්‍රියා 26:24-32)

17. පාවුල් පැවසූ දේවලට ආණ්ඩුකාර ෆෙස්ටස් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඔහුට තිබූ ආකල්පයට සමාන ආකල්ප තිබෙන අය අද දිනත් සිටිනවා කියා පැවසිය හැක්කේ ඇයි?

17 සිතට කාවදින අයුරින් පාවුල් ඉදිරිපත් කළ කතාව පාලකයන් දෙදෙනාට බලපෑවේ කෙසේද? එක් පාලකයෙක් ප්‍රතිචාරය දැක්වූ ආකාරය වාර්තාවේ සඳහන් වන්නේ මෙලෙසයි. “පාවුල් තම නිර්දෝෂකම ඔප්පු කිරීමට ඒ දේවල් පවසමින් සිටියදී, ෆෙස්ටස් මහත් හඬකින් මෙසේ පැවසුවේය. ‘පාවුල්, ඔබේ සිහිය විකල් වෙලා! ඔබ ඕනෑවටත් වඩා උගතෙක් වෙන්න ගිහින් ඔබේ සිහිය දැන් නැති වෙලයි තියෙන්නේ.’” (ක්‍රියා 26:24) ආණ්ඩුකාර ෆෙස්ටස් දැක්වූ ප්‍රතිචාරය ගැන අප පුදුම විය යුතු නැහැ. මන්ද එදා මෙන් අදත් බොහෝදෙනෙකු සිතන්නේ බයිබලයේ තිබෙන සත්‍යයන් උගන්වන අය ආගමික උන්මත්තකයන් කියායි. සමාජයේ උගතුන් ලෙස සලකන බොහෝදෙනෙකු පවසන්නේ බයිබලයේ සඳහන් වන නැවත නැඟිටීමේ බලාපොරොත්තුව විශ්වාස කළ නොහැකි බවයි.

18. පාවුල් ආණ්ඩුකාර ෆෙස්ටස්ට පිළිතුරු දුන්නේ කෙසේද? ඊට අග්‍රිපා රජු ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

18 පාවුල් ඒ අවස්ථාවේ ඔහුට මෙසේ පැවසුවා. “අතිගරු ෆෙස්ටස්තුමනි, මගේ සිහිය විකල් වෙලා නැහැ. මම කියන දේවල් ඇත්තයි. ඒවාට සාධාරණ පදනමකුත් තිබෙනවා. රජතුමන්ට මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තිබෙන නිසයි මම කිසි බියක් සැකක් නැතුව එතුමන්ට මේවා ගැන කිව්වේ. . . . අග්‍රිපා රජ්ජුරුවනි, ඔබතුමන් අනාගතවක්තෘවරුන්ව විශ්වාස කරනවාද? ඔබතුමන්ට ඔවුන් ගැන විශ්වාසයක් ඇති බව මම දන්නවා.” එවිට අග්‍රිපා රජ, “වැඩි වේලාවක් යන්න කලින් ඔබ මාවත් ක්‍රිස්තියානියෙක් කරයි” කියා පාවුල්ට පැවසුවා. (ක්‍රියා 26:25-28) ඔහු එසේ පැවසුවේ අවංකවද නැද්ද කියා අප හරියටම දන්නේ නැහැ. නමුත් පාවුල් දැරූ සාක්ෂිය රජුට ප්‍රබලව බලපෑ බව නම් ස්ථිරයි.

19. පාවුල් සම්බන්ධයෙන් අග්‍රිපා රජු හා ආණ්ඩුකාර ෆෙස්ටස් පැමිණි නිගමනය කුමක්ද?

19 ඉන්පසු රැස්වීම අවසන් බව ඇඟවීම සඳහා අග්‍රිපා රජු හා ආණ්ඩුකාර ෆෙස්ටස් අසුන්වලින් නැඟිට සිටියා. වාර්තාවේ පවසන්නේ, “ඔවුහු එතැනින් විසිර යද්දී, ‘මේ මිනිසා මරණ දණ්ඩනය හෝ සිරදඬුවමක් හෝ ලබන්න සුදුසු කිසිම දෙයක් කළ කෙනෙක් නොවෙයි’ කියා එකිනෙකා අතරේ කතා වුණෝය” කියායි. ඒ අතර අග්‍රිපා ෆෙස්ටස්ට මෙසේ පැවසුවා. “මේ මිනිසා සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලා සිටියේ නැත්නම් ඔහුව නිදහස් කර හරින්න තිබුණා.” (ක්‍රියා 26:31, 32) තමන් ඉදිරියේ පෙනී සිටියේ නිර්දෝෂ පුද්ගලයෙකු බව ඔවුන් තේරුම්ගත්තා. යම් දුරකට ක්‍රිස්තියානීන් ගැන හොඳ ආකල්පයක් ඔවුන් තුළ ඇති වෙන්නත් ඇති.

20. පාවුල් උසස් බලධාරීන් ඉදිරියේ සාක්ෂි දැරීමෙන් ලැබුණු ප්‍රතිඵල මොනවාද?

20 පෙනෙන විදිහට අග්‍රිපා රජුවත් ආණ්ඩුකාර ෆෙස්ටස්වත් ශුභාරංචිය පිළිගත්තේ නැහැ. එසේනම් පාවුල් ඔවුන්ට සාක්ෂි දැරීමෙන් පලක් තිබුණාද? ඔව්. පාවුල්ව යූදා පළාතේ ‘රජුන් සහ ආණ්ඩුකාරයන් ඉදිරියට ඇදගෙන යෑමේ’ ප්‍රතිඵලයක් ලෙස රෝම බලධාරීන්ට දේවරාජ්‍යය ගැන සාක්ෂියක් දැරීමට පාවුල්ට අවස්ථාව ලැබුණා. එසේ නොවුණා නම් රෝම බලධාරීන්ට සාක්ෂියක් දැරීමට අවස්ථාවක් නොලැබෙන්න තිබුණා. (ලූක් 21:12, 13) ඒ විතරක් නොවෙයි, සෙසු සහෝදර සහෝදරියන් පාවුල් මුහුණ දුන් දේවල් ගැන හා පීඩා හමුවේ ඔහු විශ්වාසවන්තව සිටි ආකාරය ගැන අසා මහත් දිරිගැන්වීමක් ලැබුවා.—ෆිලි. 1:12-14.

21. අත් නෑර ශුභාරංචිය දේශනා කිරීමෙන් අද්දැකිය හැකි ප්‍රතිඵල මොනවාද?

21 පීඩා හා විරුද්ධවාදිකම් හමුවේ පවා අත් නෑර ශුභාරංචිය දේශනා කිරීමෙන් අද දින අපටත් ඒ හා සමාන ප්‍රතිඵල අද්දැකිය හැකියි. සමහරවිට හමු වීමට අපහසු උසස් නිලධාරීන්ට සාක්ෂියක් දැරීමට එමගින් අපට අවස්ථාව උදා වෙන්න පුළුවන්. එසේත් නැත්නම් අප විඳදරාගනිමින් කරන සේවය දැක අපටත් වඩා නිර්භීතව ශුභාරංචිය දේශනා කිරීමට සෙසු සහෝදර සහෝදරියන් පෙලඹෙන්න ඉඩ තිබෙනවා. ඇත්තෙන්ම විඳදරාගනිමින් අප කරන සේවය සෙසු ක්‍රිස්තියානීන්ට මහත් දිරිගැන්වීමක්!

^ 5 ඡේ. ‘විනිශ්චයාසනය’ තිබුණේ වේදිකාවක් මතයි. විනිසුරුවා එසේ උස් ස්ථානයක සිට තීන්දුව ලබා දෙන නිසා එය වෙනස් කළ නොහැකි තීන්දුවක් ලෙස සැලකූ අතර සියලුදෙනාම ඊට ගරු කළ යුතුයි. යේසුස්ට විරුද්ධව නඟා තිබූ චෝදනාත් පිලාත් සලකා බැලුවේ විනිශ්චයාසනයක සිටයි.

^ 8 ඡේ. දෙවෙනි හෙරොද් අග්‍රිපා රජ” නමැති කොටුව බලන්න.

^ 10 ඡේ. ක්‍රිස්තියානියෙකු ලෙස පාවුල් පොරොන්දු වූ ගැලවුම්කරු යේසුස් බව පිළිගත්තා. නමුත් යුදෙව්වන් යේසුස්ව ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන් පාවුල්ව සැලකුවේ යුදෙව් ආගමට විරුද්ධව කටයුතු කරන කෙනෙකු ලෙසයි.—ක්‍රියා 21:21, 27, 28.

^ 12 ඡේ. බයිබල් විශාරදයෙක් පවසන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් ගමනක් යන විට “ඉර මුදුන් වන වේලාවේදී” යම් විවේකයක් ගන්නා බවයි. නමුත් පාවුල් පවසන්නේ, “ඉර මුදුන් වන වේලාවේදී” ඔහු ගමන් කරමින් සිටි බවයි. ඉන් පැහැදිලි වන්නේ ඔහුට එම ගමන කොතරම් ඉක්මනින් යෑමට අවශ්‍යව තිබුණාද කියායි. යේසුස්ගේ අනුගාමිකයන්ට විරුද්ධව කටයුතු කිරීමට පාවුල් තුළ මොන තරම් උනන්දුවක් තිබුණාද කියා අපට ඉන් පැහැදිලි වෙනවා.