Skip to content

පටුනට යන්න

7වෙනි පරිච්ඡේදය

මිය ගොස් සිටින අය ගැන අපට බලාපොරොත්තුවක්

මිය ගොස් සිටින අය ගැන අපට බලාපොරොත්තුවක්
  • මිය ගිය අය නැවත නැඟිටින බව අප දන්නේ කෙසේද?

  • මිය ගිය අයව නැවත නැඟිටුවීම ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කෙසේද?

  • නැවත නැඟිටුවනු ලබන්නේ කාවද?

1-3. අප සියලුදෙනා පසුපස හඹා එන සතුරා කවුද? ඒ ගැන බයිබලයේ උගන්වන දෙයින් අපට සහනයක් ලබාගත හැක්කේ කෙසේද?

දරුණු සතුරෙකු ඔබ පසුපස එනවා කියා සිතන්න. ඒ සතුරා ඔබට වඩා බලවත්. මොහොතින් මොහොත ඔහු ඔබ වෙතට තවත් ළං වෙනවා. ඔබේ යහළුවන් කිහිපදෙනෙකුත් ඔහු අතින් මරුමුවට පත් වී තිබෙනවා. ඔබ කොතරම් උත්සාහ කළත් ඒ සතුරාගෙන් ගැලවී යෑමට ඔබට කිසිම මඟක් නැති බවයි හැඟෙන්නේ. ඔබ අසරණ වී සිටින මේ මොහොතේ කෙනෙක් ඔබේ උපකාරයට පැමිණෙනවා. ඒ තැනැත්තා ඔබේ සතුරාට වඩා බොහෝ සෙයින් බලවත්. දැන් ඔබට මොන තරම් සහනයක් දැනෙයිද!

2 ඇත්තටම ඔබ පසුපස පමණක් නොව අප සියලුදෙනා පසුපසත් හඹා එන එවැනි සතුරෙක් සිටිනවා. ඒ සතුරා නම් මරණයයි. අපි කාටවත් ඒ සතුරාගෙන් ගැලවෙන්න බැහැ. අප ආදරය කරන අය ඒ සතුරාගේ ග්‍රහණයට හසු වන ආකාරය අප බොහෝවිට දැක තිබෙනවා. නමුත් අප අසරණයි කියා නොසිතිය යුතුයි. මන්ද සියලු බලැති යෙහෝවා දෙවි අපේ උපකාරයට සිටිනවා. ඔහු මේ සතුරාව තමාට පරාජය කළ හැකි බව දැනටමත් පෙන්වා තිබෙනවා. ඒ නිසයි ඔහු මෙවැනි පොරොන්දුවක් දී තිබෙන්නේ. “අන්තිම සතුරා වන මරණයද නැති කරනු ඇත.” (1 කොරින්ති 15:26) එය අපට මොන තරම් සහනයක්ද!

3 යෙහෝවා දෙවි පොරොන්දු වන්නේ මිය ගොස් සිටින අයට නැවත ජීවත් වීමේ ප්‍රස්තාව ලබා දෙන බවයි. එය බයිබලයේ හඳුන්වන්නේ නැවත නැඟිටීම ලෙසයි. ඒ ගැන සලකා බැලීමට පෙර මරණය නමැති සතුරා අපට බලපාන ආකාරය සලකා බලමු.—යෙසායා 26:19.

අප ආදරය කරන කෙනෙකු මිය ගිය විට

4. (අ) කෙනෙකු මිය ගිය විට යේසුස්ට හැඟුණු ආකාරයෙන් අපට තේරුම්ගත හැක්කේ කුමක්ද? (ආ) යේසුස්ගේ කිට්ටු මිතුරන් වූයේ කවුද?

4 අප ආදරය කරන කෙනෙකු මිය ගිය විට අපට දැනෙන දුක වේදනාව වචනවලින් විස්තර කිරීමට නොහැකි තරම්. එවැනි අවස්ථාවලදී අපට සැනසිල්ලක් ලබාගත හැක්කේ බයිබලයෙන් පමණයි. (2 කොරින්ති 1:3, 4 කියවන්න.) මන්ද යෙහෝවා දෙවිට හා යේසුස්ට මරණය ගැන හැඟෙන ආකාරය තේරුම්ගැනීමට එය අපට උපකාර කරනවා. මරණය නිසා ඇති වන වේදනාව කොතරම්ද කියා යේසුස් හොඳින් දැන සිටි බව බයිබල් වාර්තාවලින් අපට හෙළි වෙනවා. යෙහෝවා දෙවිටත් එවැනිම වේදනාවක් දැනෙන බව ඉන් අපට තේරුම්ගත හැකියි. මන්ද යේසුස්, දෙවිගේ ගතිලක්ෂණ ඒ විදිහටම විදහාපෙන්වූවා. (යොහන් 14:9) එවැනි එක් සිද්ධියක් ගැන දැන් අපි සලකා බලමු. යේසුස් යෙරුසලමේ ජීවත් වූ කාලයේදී ලාසරුස් හා ඔහුගේ සහෝදරියන් වන මරියා හා මාර්තා යේසුස්ගේ කිට්ටුම මිතුරන් වුණා. බයිබලයේ සඳහන් වන්නේ, “යේසුස් මාර්තාටද ඇගේ සහෝදරියටද ලාසරුස්ටද බොහෝ සෙයින් ප්‍රේම කළේය” කියායි.—යොහන් 11:5.

5, 6. (අ) ලාසරුස්ගේ මරණය යේසුස්ට බලපෑවේ කෙසේද? (ආ) එම වාර්තාවෙන් අපට පැහැදිලි වන්නේ කුමක්ද?

5 හදිස්සියේම ලාසරුස් මිය ගියා. ඒ බව දැනගත් යේසුස්, දුකට පත්ව ලාසරුස්ගේ නෑදෑයන් හා මිතුරන් වෙතට ගියා. ඔවුන් කොතරම් දුකින් සිටිනවාද කියා දුටු යේසුස්ට මහත් ශෝකයක් දැනුණා. ඒ අවස්ථාවේදී, “යේසුස්ගේ දෑස් කඳුළින් පිරී ගියේය” කියා වාර්තාවේ සඳහන් වෙනවා. (යොහන් 11:33, 35) යේසුස් ශෝක වුණේ ලාසරුස් සම්බන්ධයෙන් ඔහුට කිසිම බලාපොරොත්තුවක් නොතිබූ නිසාද? කොහෙත්ම නැහැ. තව සුළු මොහොතකින් ආශ්චර්යවත් දෙයක් සිදු වන බව යේසුස් දැන සිටියා. (යොහන් 11:3, 4) ඒ වුණත් තම මිත්‍රයාව අහිමි වීමේ වේදනාව ඔහුට හොඳින් දැනුණා.

6 මේ වාර්තාවෙන් අපට යමක් පැහැදිලි වෙනවා. එනම් යේසුස් සහ ඔහුගේ පියා වන යෙහෝවා දෙවි මිනිසුන් මිය යනවාට කොහෙත්ම කැමති නැති බවයි. මරණය නමැති සතුරාව නැති කර දැමීමට යෙහෝවා දෙවිට හැකියි. යේසුස් ඊළඟට කළ දෙයින් ඒ කාරණය පැහැදිලි වෙනවා.

“ලාසරුස්, පිටතට එන්න”

7, 8. යේසුස්ගේ ඉල්ලීම ගැන බොහෝදෙනෙකු පුදුමයට පත් වුණේ ඇයි? යේසුස් කළේ කුමක්ද?

7 ලාසරුස්ගේ මළ සිරුර තැන්පත් කර තිබුණේ ගුහාවකයි. යේසුස් එතැනට ගොස් ගුහාව වසා තිබූ ගල ඉවත් කරන්න කියා ඉල්ලා සිටියා. ඒ වන විට ලාසරුස්ගේ මළ සිරුර තැන්පත් කර දවස් හතරක් ගත වී තිබූ නිසා ගල ඉවත් කරනවාට මාර්තා කැමති වුණේ නැහැ. (යොහන් 11:39) එතැන සිටි අනික් අයත් යේසුස් කළ ඉල්ලීම ගැන පුදුම වන්න ඇති.

ලාසරුස්ව නැවත නැඟිටුවීම මහත් ප්‍රීතියකට හේතු වුණා.—යොහන් 11:38-44

8 නමුත් යම් පිරිසක් ගල ඉවත් කළ පසු යේසුස් මහත් හඬින් මෙසේ පැවසුවා. “ලාසරුස්, පිටතට එන්න.” එවිට, “මිය ගොස් සිටි ඒ මිනිසා පිටතට ආවේය” කියා වාර්තාවේ සඳහන් වෙනවා. (යොහන් 11:43, 44) ගුහාවෙන් පිටතට ආවේ වෙන කිසිවෙකු නොව ලාසරුස්මයි. සිදු වූ දෙය එතැන සිටි අයට අදහාගත නොහැකි වුණා. නමුත් වේදනාවෙන් සිටි ඔහුගේ සහෝදරියන්ට, නෑදෑයන්ට, මිතුරන්ට හා අසල්වාසීන්ට ඔහුව දැක මොන තරම් ප්‍රීතියක් දැනෙන්න ඇද්ද! ඔවුන් ඔහුව ආදරයෙන් වැලඳගත්තා. මරණය නමැති සතුරාට අත් වුණේ මොන තරම් පරාජයක්ද!

එලියා වැන්දඹුවගේ පුත්‍රයාව නැවත නැඟිට්ටෙව්වා.—1 රාජාවලිය 17:17-24

9, 10. (අ) ලාසරුස්ව නැවත නැඟිටුවීමට පෙර යේසුස් කළ යාච්ඤාවෙන් පැහැදිලි වුණේ කුමක්ද? (ආ) නැවත නැඟිටුවීම් ගැන බයිබලයේ සඳහන් වාර්තා කියවීමෙන් අප ලබන ප්‍රයෝජන මොනවාද?

9 ලාසරුස්ව නැවත නැඟිට්ටෙව්වේ තමාගේම බලයෙන් කියා යේසුස් කිසිවිටක පැවසුවේ නැහැ. ලාසරුස්ව නැවත නැඟිටුවන්න කලින් ඔහු යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඉන් පැහැදිලි වන්නේ ඒ දේ කිරීමට ඔහු දෙවි මත රඳා සිටි බවයි. (යොහන් 11:41, 42 කියවන්න.) යෙහෝවා දෙවි මරණය නමැති සතුරාව පරාජය කළ එකම අවස්ථාව එය නොවෙයි. එවැනි අවස්ථා නවයක් ගැන බයිබලයේ වාර්තා කර තිබෙනවා. * එම රසවත් වාර්තා අධ්‍යයනය කිරීමෙන් අපට බොහෝ දේ ඉගෙනගත හැකියි. ඒ වාර්තාවලට අනුව බාල මහලු, ස්ත්‍රී පුරුෂ හා ඊශ්‍රායෙල්වරුන් මෙන්ම වෙනත් ජාතීන්ට අයත් අයවද දෙවි නැවත නැඟිට්ටෙව්වා. ඉන් පැහැදිලි වන්නේ දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බවයි. එමෙන්ම නැවත නැඟිටීමක් සිදු වන විට මිනිසුන් මොන තරම් ප්‍රීතියක් අද්දකිනවාද කියා අපට ඒ වාර්තාවලින් තේරුම්ගත හැකියි. උදාහරණයක් ලෙස මිය ගොස් සිටි දැරියකව යේසුස් නැවත නැඟිටෙවූ විට ඇගේ දෙමාපියෝ, “ඉමහත් ප්‍රීතියකින් ඉපිල ගියෝය” කියා බයිබලයේ වාර්තා වෙනවා. (මාක් 5:42) ඒ සිදුවීම ඔවුන්ට කවදාවත් අමතක නොවන්න ඇති.

පේතෘස් ක්‍රිස්තියානි කාන්තාවක වූ දොර්කස්ව නැවත නැඟිට්ටෙව්වා.—ක්‍රියා 9:36-42

10 යේසුස් නැවත නැඟිටෙවූ අය නැවතත් මිය ගියා. ඉන් අදහස් කරන්නේ නැවත නැඟිටුවීමෙන් පලක් වූයේ නැති බවද? කොහෙත්ම නැහැ. ඒ වාර්තාවලින් අපට වැදගත් කාරණා කිහිපයක් ඉගෙනගත හැකි අතර මහත් බලාපොරොත්තුවක්ද ඉන් අපට සපයනවා.

බයිබල් වාර්තාවලින් ඉගෙනගත හැකි දේ

11. ලාසරුස්ගේ සිද්ධියෙන් දේශනාකාරයා 9:5හි සඳහන් දෙය තහවුරු වන්නේ කෙසේද?

11 “මිය ගිය අය කිසිවක් දන්නේ නැත” කියා බයිබලයේ සඳහන් වන බව ඔබට මතක ඇති. (දේශනාකාරයා 9:5) ඔවුන් කොතැනකවත් ජීවත් වන්නේ නැහැ. ලාසරුස්ගේ සිද්ධියෙන් ඒ බව තහවුරු වෙනවා. ඔහුව නැවත නැඟිටුවනු ලැබූ විට තමා ස්වර්ගයට ගියා කියාවත් අපායක වධ හිංසා වින්දා කියාවත් මිනිසුන්ට පැවසූ බව බයිබලයේ වාර්තා වන්නේ නැහැ. ඔහු මිය ගොස් සිටි දවස් හතර තුළදී ඔහුට කිසිම හැඟීමක් දැනීමක් තිබුණේ නැහැ. ඔහු සිටියේ තද නින්දකයි.—යොහන් 11:11.

12. ලාසරුස්ව ඇත්තෙන්ම නැවත නැඟිටෙවූ බව විශ්වාස කිරීමට තිබෙන හේතු මොනවාද?

12 ලාසරුස්ගේ සිද්ධියෙන් අපට තවත් කාරණයක් තහවුරු වෙනවා. එනම් නැවත නැඟිටීම යන ඉගැන්වීම විශ්වාස කළ හැකි දෙයක් බවයි. මන්ද යේසුස් ලාසරුස්ව නැවත නැඟිට්ටෙව්වේ විශාල පිරිසක් ඉදිරියේයි. එමෙන්ම යේසුස්ගේ සතුරන් වූ ආගමික නායකයන්ට පවා යේසුස් ඒ දේ කළ බව පිළිගන්න සිදු වුණා. “මේ මිනිසා [එනම් යේසුස්] බොහෝ පුදුමසහගත දේවල් කරනවා” කියා ඔවුන් එකිනෙකා අතරේ කතා වුණේ ඒ නිසයි. (යොහන් 11:47) බොහෝදෙනෙක් යේසුස් විසින් නැවත නැඟිටුවනු ලැබූ ලාසරුස්ව දැකගැනීමට පැමිණියා. එසේ පැමිණි අයගෙන් වැඩිදෙනෙක් යේසුස් කෙරෙහි විශ්වාසය තැබූ අතර ඔහු දෙවිගේ නියෝජිතයෙකු බව පිළිගත්තා. දුෂ්ට ආගමික නායකයන් යේසුස් සහ ලාසරුස් යන දෙදෙනාවම මරන්න කුමන්ත්‍රණය කළේ ඒ නිසයි. ඒ කාරණාවලින් පැහැදිලි වන්නේ ලාසරුස්ගේ නැවත නැඟිටීමට ඇසින් දුටු සාක්ෂි තිබූ බව හා බොහෝදෙනෙක් එය සැබෑවක් ලෙස පිළිගත් බවයි.—යොහන් 11:53; 12:9-11.

13. මිය ගිය අයව නැවත නැඟිටුවන්න යෙහෝවා දෙවිට හැකියි කියා විශ්වාස කළ හැක්කේ ඇයි?

13 අතීතයේ සිදු වුණා වගේ පාරාදීස පොළොවේදීත් මිය ගිය අය නැවත නැඟිටියි කියා විශ්වාස කළ හැකියි. ඒ ගැන යේසුස් එක් අවස්ථාවක පැවසුවේ, “සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනා” යම් දවසක නැවත නැඟිටින බවයි. (යොහන් 5:28) ඒ කාරණය අපට සැකයකින් තොරව විශ්වාස කළ හැකියි. මන්ද සෑම දෙයක්ම නිර්මාණය කළ යෙහෝවා දෙවිට කෙනෙකුව නැවත ජීවත් කරවීම එතරම් අමාරු දෙයක් නොවෙයි. එමෙන්ම යෙහෝවා දෙවිගේ මතක ශක්තියට සීමාවක් නැහැ. බයිබලයේ පවසන්නේ මුළු විශ්වයේම තිබෙන තාරකාවල ගණන දෙවි දන්නවා පමණක් නොව ඒ එක් එක් තාරකාවලට දී තිබෙන නමින් ඒවා කැඳවීමට දෙවිට හැකි බවයි. (යෙසායා 40:26) ඉන් තහවුරු වන්නේ මිය ගිය අයගේ සෑම තොරතුරක්ම මතකයේ තබාගන්න දෙවිට හැකියාව තිබෙන බවයි. ඒ නිසා යෙහෝවා දෙවි මිය ගොස් සිටින අයව අනිවාර්යයෙන්ම නැවත නැඟිටුවන බව අපට විශ්වාස කළ හැකියි.

14, 15. යෝබ් පැවසූ දෙයින් පැහැදිලි වන්නේ කුමක්ද?

14 එමෙන්ම මිය ගොස් සිටින අයව නැවත නැඟිටුවීමට යෙහෝවා දෙවි මහත් ආශාවෙන් බලා සිටින බව බයිබලයේ සඳහන් වෙනවා. දෙවිගේ සේවකයෙක් වූ යෝබ් එක් අවස්ථාවකදී තමා මිය ගිය පසු සිදු වන දේ ගැන ප්‍රශ්න කරමින් මෙසේ ඇසුවා. “මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද?” ඊට ඔහුම පිළිතුරු දෙමින් පැවසුවේ, “ඔබ මට අඬගසන්නෙහිය. මමද උත්තර දෙන්නෙමි. මන්ද ඔබේ අතින් නිමැවූ දේ දැකගන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටිනු ඇත” කියායි.—යෝබ් 14:13-15.

15 ඉන් පැහැදිලි වන්නේ මිය ගොස් සිටින අයව නැවත ජීවත් කරවීමට යෙහෝවා දෙවි මහත් ආශාවකින් සිටින බවයි. ඒ ගැන දැනගන්න ලැබීම ඇත්තෙන්ම මොන තරම් ප්‍රීතියක්ද! අපි දැන් අනාගතයේදී සිදු වීමට නියමිත නැවත නැඟිටීම් ගැන තවත් තොරතුරු සලකා බලමු. එනම් නැවත නැඟිටුවනු ලබන්නේ කාවද, එය සිදු වන්නේ කොහේද යන්නයි.

“සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්”

16. අනාගතයේ සිදු වන නැවත නැඟිටීම්වල විශේෂත්වය කුමක්ද?

16 අනාගතයේදී සිදු වන නැවත නැඟිටීම්වල විශේෂත්වක් තිබෙනවා. අප කලින් ඉගෙනගත් ආකාරයට දෙවි ඉදිරියේදී පොළොව පාරාදීසයක් බවට පත් කරනවා. ඒ නිසා මිය ගොස් සිටින අය නැවත නැඟිටින්නේ යුද්ධ, අපරාධ හා ලෙඩ රෝග නැති පාරාදීස පොළොවකටයි. එමෙන්ම ඔවුන්ට සන්තෝෂයෙන් ඒ පොළොව මත සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව තිබෙනවා.

17. නැවත නැඟිටුවන්නේ කාවද?

17 දැන් මතු වන ප්‍රශ්නය නම් නැවත නැඟිටුවනු ලබන්නේ කාවද යන්නයි. යේසුස් පැවසුවේ, ‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ [යේසුස්ගේ] හඬ ඇසී පිටතට එන’ බවයි. (යොහන් 5:28, 29) ඒ හා සමාන අදහසක් එළිදරව් 20:13හි සඳහන් වෙනවා. “මුහුද එහි මිය ගොස් සිටි අයව භාර දුන්නේය. මරණය සහ මිනී වළද එහි මිය ගොස් සිටි අයව භාර දුන්නේය.” ඉන් පැහැදිලි වන්නේ මරණ නින්දේ සැතපී සිටින බිලියන ගණනක් ජනයාව නැවත නැඟිටුවනු ලබන බවයි. * බයිබලයේ ඒ ගැන තවදුරටත් පවසන්නේ, “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින” බවයි.—ක්‍රියා 24:15.

මිය ගොස් සිටින අය පාරාදීසයේදී නැවත නැඟිටින අතර ඔවුන් තම පවුලේ අය හා මිතුරන් සමඟ ප්‍රීතියෙන් කල් ගෙවයි

18. ‘ධර්මිෂ්ඨයන්’ ලෙස නැවත නැඟිටින්නේ කවුද? එම බලාපොරොත්තුව ඔබට බලපාන්නේ කෙසේද?

18 ‘ධර්මිෂ්ඨයන්’ ලෙස නැවත නැඟිටීමට යන අය කවුද? බයිබලයේ සඳහන් වන නෝවා, ආබ්‍රහම්, සාරා, මෝසෙස්, රූත්, එස්තර් වැනි යන එනම්, යේසුස් පොළොවට පැමිණීමට කලින් සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් බොහෝදෙනෙක් ඊට අයත් වෙනවා. ඔවුන් කිහිපදෙනෙකු ගැන හෙබ්‍රෙව් 11වෙනි පරිච්ඡේදයේ සඳහන් වී තිබෙනවා. එමෙන්ම මෑත කාලවල මිය ගිය යෙහෝවා දෙවිගේ සේවකයන්ද ‘ධර්මිෂ්ඨයන්’ ලෙස නැවත නැඟිටින අයට ඇතුළත්. එලෙස දෙවිට විශ්වාසවන්තව සිටින අය අනිවාර්යයෙන්ම නැවත නැඟිටින නිසා අප මරණයට බිය විය යුතු නැහැ.—හෙබ්‍රෙව් 2:15.

19. ‘අධර්මිෂ්ඨයන්’ ලෙස නැවත නැඟිටින්නේ කවුද? එමෙන්ම දෙවි ඔවුන්ට ලබා දෙන අවස්ථාව කුමක්ද?

19 ‘අධර්මිෂ්ඨයන්’ ලෙස නැවත නැඟිටීමට යන අය කවුද? යෙහෝවා දෙවිව දැනගැනීමට අවස්ථාවක් නොලැබුණු නිසා ඔහුට සේවය කිරීමට හෝ ඔහුට කීකරුව ජීවත් වීමට නොහැකි වූ අසංඛ්‍යාත පිරිසක් ‘අධර්මිෂ්ඨයන්’ ලෙස නැවත නැඟිටිනවා. එලෙස නැවත නැඟිටින අයට සැබෑ දෙවි ගැන ඉගෙනගෙන ඔහුට සේවය කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ සඳහා ඔවුන්ට අවුරුදු දහසක කාලයක් ලබා දෙනවා. ඒ කාල පරිච්ඡේදය බයිබලයේ හඳුන්වන්නේ විනිශ්චය දවස කියායි. * ඒ කාලයේදී ඔවුන්ට මොන තරම් ප්‍රීතියක් අද්දැකිය හැකිද!

20. කෙනෙකු ගෙහෙන්නාවේ සිටිනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

20 එසේනම් මෙතෙක් ජීවත් වූ සෑම කෙනෙකුවම දෙවි නැවත නැඟිටුවනවාද? බයිබලයේ පවසන්නේ සමහරදෙනෙකුව නැවත නැඟිටුවන්නේ නැති බවයි. ඔවුන් “ගෙහෙන්නාව” නම් ස්ථානයේ සිටින බව එහි පවසනවා. (ලූක් 12:5) කෙනෙකු ගෙහෙන්නාවේ සිටිනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ගෙහෙන්නාව යන නම මුලින්ම භාවිත කළේ පුරාණ යෙරුසලම නගරයෙන් පිටත තිබූ කුණු කසළ දමන ස්ථානයකටයි. මළ සිරුරු හා කුණු කසළ එයට දමා පුලුස්සනු ලැබුවා. එහි දමනු ලැබුවේ නැවත නැඟිටීමක් ලැබීමට වටින්නේ නැතැයි කියා යුදෙව්වන් විසින් සලකනු ලැබූ අයගේ මළ සිරුරුයි. එසේනම් කෙනෙකු ගෙහෙන්නාවේ සිටිනවා කියා පවසන විට ඉන් අදහස් කළේ ඔහුව නැවත කිසිදාක නැඟිටුවන්නේ නැති බවයි. කෙනෙකුව නැවත නැඟිටුවනවාද නැද්ද කියා තීරණය කරන්නේ යෙහෝවා දෙවියි. ඔහුගේ තීරණය ක්‍රියාත්මක කරන්නේ යේසුස්. (ක්‍රියා 10:42) දෙවි දුෂ්ටයන් ලෙස ගණන් ගෙන තිබෙන අයව කවදාවත් නැවත නැඟිටුවන්නේ නැහැ.

ස්වර්ගයේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවීම

21, 22. (අ) බයිබලයේ සඳහන් වන තවත් ආකාරයේ නැවත නැඟිටීම කුමක්ද? (ආ) එලෙස නැවත නැඟිටුවනු ලැබූ ප්‍රථම තැනැත්තා කවුද?

21 තවත් ආකාරයක නැවත නැඟිටීමක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එම නැවත නැඟිටීම ලබන අය ජීවත් වන්නේ ස්වර්ගයේයි. බයිබලයේ සඳහන් වන්නේ එවැනි නැවත නැඟිටීමක් සිදු වූ එක් අවස්ථාවක් ගැන පමණයි. ඒ යේසුස් ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීමයි.

22 යේසුස්ව මරණයට පත් කිරීමෙන් පසු ඔහුට දිගටම මිනී වළෙහි සිටීමට දෙවි ඉඩහැරියේ නැහැ. (ගීතාවලිය 16:10; ක්‍රියා 13:34, 35) දෙවි තම විශ්වාසවන්ත පුත්‍රයාව නැවත නැඟිට්ටෙව්වා. ඔහුව නැවත නැඟිට්ටෙව්වේ මිනිසෙකු ලෙස නොවෙයි. ඒ ගැන බයිබලයේ පවසන්නේ, “ඔහු මිය ගියේ මිනිසෙකු ලෙසය. නමුත් ඔහුව නැවත ජීවත් කරනු ලැබුවේ ස්වර්ගයෙහි ජීවත් විය හැකි කෙනෙකු ලෙසය” කියායි. (1 පේතෘස් 3:18) ඇත්තෙන්ම යෙහෝවා දෙවි කළේ මොන තරම් බලවත් ක්‍රියාවක්ද! (1 කොරින්ති 15:3-6 කියවන්න.) එවැනි තේජවත් නැවත නැඟිටීමක් ලැබූ ප්‍රථම තැනැත්තා යේසුස්. (යොහන් 3:13) නමුත් තවත් පිරිසකට එවැනි නැවත නැඟිටීමක් ලැබෙනවා. ඒ කාටද?

23, 24. ‘කුඩා රැළට’ අයත් වන්නේ කවුද? ඔවුන්ට ඇතුළත් වන්නේ කීදෙනෙක්ද?

23 වැඩි කල් නොගොස් තමා ආපසු ස්වර්ගයට යන බව දැන සිටි යේසුස්, තම විශ්වාසවන්ත ගෝලයන්ට පැවසුවේ ස්වර්ගයේ, ‘ස්ථානයක් ඔවුන්ට සූදානම් කරන’ බවයි. (යොහන් 14:2) යේසුස් ඔවුන්ව හැඳින්වූයේ, “කුඩා රැළ” ලෙසයි. (ලූක් 12:32) ඒ කුඩා රැළට කීදෙනෙක් ඇතුළත් වෙනවාද? එළිදරව් 14:1හි සඳහන් වන්නේ, “බලන්න, බැටළු පැටවා සියොන් කන්ද මත සිටගෙන සිටින ආකාරය මම දුටුවෙමි. ඔහු සමඟ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙක් සිටියෝය. ඔවුන්ගේ නළල් මත ඔහුගේ නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ලියා තිබිණ” කියායි.

24 ඒ අනුව යේසුස්ගේ විශ්වාසවන්ත ගෝලයන් ඇතුළු 1,44,000දෙනෙකුව ස්වර්ගයේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවනු ලබනවා. ඔවුන්ගේ නැවත නැඟිටීම සිදු වන්නේ කවදාද? එය සිදු වන්නේ ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදී බව බයිබලයේ පවසනවා. (1 කොරින්ති 15:23) දැන් අප ජීවත් වන්නේ ඒ කාලයේයි. * දැනට 1,44,000දෙනාට අයත් අයගෙන් ජීවතුන් අතර සිටින්නේ ස්වල්ප පිරිසක් පමණයි. ඔවුන්ගෙන් කෙනෙකු දැන් මිය ගිය සැණින් ස්වර්ගයේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවනු ලබනවා. (1 කොරින්ති 15:51-55) කෙසේවෙතත් මිනිස් වර්ගයාගෙන් වැඩිදෙනෙකුට තිබෙන්නේ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීම සඳහා නැවත නැඟිටීමේ බලාපොරොත්තුවයි.

25. ඊළඟ පරිච්ඡේදයේදී සලකා බලන්නේ කුමක්ද?

25 ඇත්තෙන්ම යෙහෝවා දෙවි මරණය නමැති සතුරාව පරාජය කරන බව නිසැකයි. නැවත කවදාවත් ඒ සතුරා හිස ඔසවන්නේ නැහැ. (යෙසායා 25:8 කියවන්න.) නමුත් ඔබ මෙසේ සිතනවා විය හැකියි. ‘ස්වර්ගයට යන අය එහි කරන්නේ මොනවාද?’ ඔවුන් ස්වර්ගයේ පිහිටුවා තිබෙන දෙවිගේ පාලනයට සම්බන්ධ වෙනවා. අපි ඒ පාලනය ගැන ඊළඟ පරිච්ඡේදයේදී සලකා බලමු.

^ 17 ඡේ. වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ “ෂෙයෝලය හා හේදීසය” කියන ලිපිය බලන්න.

^ 19 ඡේ. වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ “විනිශ්චය දවස යනු කුමක්ද?” කියන ලිපිය බලන්න.