Skip to content

පටුනට යන්න

57වෙනි පාඩම

යෙරෙමියා දිගටම දේශනා කළා

යෙරෙමියා දිගටම දේශනා කළා

යෙහෝවා දෙවි අනාගතවක්තෘවරයෙක් විදිහට යෙරෙමියාව තෝරගත්තා. දෙවි එයාට කිව්වා නරක වැඩ අත්හරින්න කියලා යූදා දේශයේ අයට දේශනා කරන්න කියලා. එතකොට යෙරෙමියා කිව්වා ‘යෙහෝවා දෙවියනි, මං තාම තරුණයෙක්. මං කතාවට දක්ෂ කෙනෙක් නෙවෙයි’ කියලා. එතකොට දෙවි මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. මං ඔයාට උදව් කරන්නම්. කියන්න ඕනෙ මොනවද කියලා මං ඔයාට කියන්නම්.’

ඊළඟට යෙහෝවා දෙවි යෙරෙමියාට කිව්වා මැටි භාජනයක් අරන් වැඩිමහල්ලන් ඉස්සරහා ඒක බිඳලා ‘ඒ විදිහටම යෙරුසලමටත් වෙනවා’ කියලා කියන්න කියලා. එහෙම කළාම වැඩිමහල්ලන්ට හුඟක් කේන්ති ගියා. පෂ්හූර් කියන පූජකයා යෙරෙමියාට ගහලා එයාව දඬුකඳේ දැම්මා. ඒ නිසා මුළු රෑම යෙරෙමියාට එකම විදිහකට ඉන්න වුණා. පහුවෙනිදා උදේ එයාව නිදහස් කළාම යෙරෙමියා කිව්වා ‘මං නං ආයෙත් දේශනා කරන්නෑ’ කියලා. හැබැයි එයා ඒ ගැන තව ටිකක් හිතුවට පස්සේ මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවිගේ පණිවිඩය මගේ ඇඟ ඇතුළේ ඇවිළෙන ගින්නක් වගේ. දේශනා කරන එක නවත්වන්න නම් මට බැහැ.’ ඊටපස්සේ යෙරෙමියා දිගටම දේශනා කළා.

අවුරුදු ගාණකට පස්සේ යූදා දේශයේ අලුත් රජ කෙනෙක් පත් වුණා. පූජකයොයි බොරු අනාගතවක්තෘවරුයි යෙරෙමියා කියපු පණිවිඩේ අහන්න කැමති වුණේම නැහැ. එයාලා අධිපතීන්ට කිව්වා ‘මෙයාට මරණ දඬුවම ලැබෙන්න ඕනෙ’ කියලා. එතකොට යෙරෙමියා මෙහෙම කිව්වා. ‘ඔයාලා මරන්න හදන්නේ අහිංසක කෙනෙක්ව. මං කියන්නේ යෙහෝවා දෙවිගේ පණිවිඩයක්.’ එතකොට අධිපතීන් කිව්වා ‘මෙයා මරණ දඬුවම ලබන්න තරම් වරදක් කරලා නෑ’ කියලා.

යෙරෙමියා දිගටම දේශනා කළා. ඒ ගැන අධිපතීන්ට හුඟක් කේන්ති ගිහින් රජට කිව්වා යෙරෙමියාව මරන්න කියලා. එතකොට ශෙදකියා කිව්වා කැමති දෙයක් කරන්න කියලා. පස්සේ අධිපතීන් යෙරෙමියාව මඩ තිබුණු ළිඳකට දැම්මා. එයාලා හිතුවේ යෙරෙමියා ඒක ඇතුළේ මැරෙයි කියලයි. යෙරෙමියා මඩේ එරෙන්න පටන්ගත්තා.

ඒක රජ මාලිගාවේ නිලධාරියෙක් වුණු එබෙද්-මෙලෙක්ට ආරංචි වුණාම එයා රජුට මෙහෙම කිව්වා. ‘අධිපතීන් යෙරෙමියාව ළිඳකට දාලා. එයා මැරෙයි.’ එතකොට රජ කිව්වා මිනිස්සු 30දෙනෙක් එක්ක ගිහින් යෙරෙමියාව ළිඳෙන් එළියට ගන්න කියලා. මොන දේ වුණත් යෙරෙමියා දේශනා කරන එක නතර කළේ නැහැ. අපිත් ඒ වගේ වෙන්න ඕනෙ නේද?

“ඔබ මගේ නාමය දරන නිසා සියල්ලන් ඔබට වෛර කරයි. නමුත් ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.”—මතෙව් 10:22