Skip to content

පටුනට යන්න

63වෙනි පාඩම

බිත්තියේ ලියැවුණු අකුරු

බිත්තියේ ලියැවුණු අකුරු

බැබිලෝනියේ අලුත් රජ විදිහට බෙල්ෂසර් පත් වුණා. දවසක් රෑ රජ පවත්වපු ලොකු උත්සවයකට විශේෂ අමුත්තන් දාහකට ආරාධනා කළා. එදා ආපු අමුත්තන්ට සංග්‍රහ කළේ නෙබුකද්නෙෂර් රජ දේවමාලිගාවෙන් ගෙනාපු යෙහෝවා දෙවිට අයිති රත්තරන් කෝප්පවල. ඒගොල්ලෝ ඒවාවලින් බීලා එයාලගේ බොරු දෙවිවරුන්ටත් ප්‍රශංසා කළා. එකපාරටම මිනිසෙක්ගේ අතකින් බිත්තියේ මොනවදෝ වචන වගයක් ලියන්න පටන්ගත්තා.

බෙල්ෂසර් රජ හොඳටම බය වෙලා එයාගේ පේන කියන්නන්ට කතා කරලා මෙහෙම කිව්වා. ‘කවුරු හරි මේ වචනවල තේරුම කිව්වොත් මම ඒ කෙනාව මේ රාජ්‍යයේ තුන්වෙනි තැනට පත් කරනවා.’ ඉතින් හැමෝම ඒ වචනවල තේරුම හොයන්න හැදුවත් එයාලට ඒක කරන්න බැරි වුණා. එතකොට රැජින ඇවිත් මෙහෙම කිව්වා. ‘දානියෙල් කියලා කෙනෙක් ඉන්නවා. එයා තමයි නෙබුකද්නෙෂර් රජුගේ හීන තෝරලා දුන්නේ. එයාට පුළුවන් වෙයි මේ වචනවල තේරුම කියන්න.’

දානියෙල්, රජු ඉස්සරහට ආවා. බෙල්ෂසර් රජ දානියෙල්ට කිව්වා ‘ඔයා මේ වචනවල තේරුම කිව්වොත් මං රත්තරන් මාලයක් දීලා ඔයාව මේ රාජ්‍යයේ තුන්වෙනි තැනටත් පත් කරනවා’ කියලා. එතකොට දානියෙල් මෙහෙම කිව්වා. ‘රජතුමෙනි, මට තෑගි එපා. මං මේ වචනවල තේරුම කියන්නම්. ඔබේ තාත්තා නෙබුකද්නෙෂර් වැඩ කළේ හරිම උඩඟු විදිහට. හැබැයි යෙහෝවා දෙවි එයාගේ උඩඟුකම නැති කළා. ඒ හැම දෙයක්ම දැන දැනත් ඔබ දේවමාලිගාවේ බඩු පාවිච්චි කරලා යෙහෝවා දෙවිට අගෞරව කළා. ඒ නිසයි දෙවි මේ වචන ලිව්වේ: මෙනේ, මෙනේ, තෙකෙල් හා පර්සීන්. ඒකෙන් කියන්නේ මේදියවරුයි පර්සියානුවරුයි ඇවිත් ඔයාගේ රාජ්‍යය යටත් කරගෙන ඔයාව රජකමෙන් අයින් කරලා දානවා කියන එකයි.’

බැබිලෝනිය කාටවත්ම යටත් කරගන්න බැහැ වගෙයි පේන්න තිබුණේ. නගරය වටේ ලොකු බිත්ති වගේම ගැඹුරු ගඟකුත් තිබුණා. හැබැයි එදා රෑ මේදියවරුයි පර්සියානුවරුයි බැබිලෝනිය වට කළා. පර්සියාවේ සයිරස් රජ නගරය ඇතුළට යන්න පුළුවන් වෙන විදිහට ගඟේ වතුර වෙන දිහාවකට හැරෙව්වා. ඊටපස්සේ රජ එයාගේ හමුදාවත් එක්ක ගඟේ බැහැගෙන යද්දී හැම ගේට්ටුවක්ම ඇරලයි තිබුණේ. හමුදාව ලේසියෙන්ම නගරය අල්ලගෙන රජුවත් මැරුවා. ඊටපස්සේ සයිරස් රජ බැබිලෝනියේ පාලකයා වුණා.

දවසක් සයිරස් රජ මෙහෙම නිවේදනය කළා. ‘යෙහෝවා දෙවි මට කිව්වා යෙරුසලමේ දේවමාලිගාව ආයෙත් හදන්න කියලා. කැමති ඕනම කෙනෙක්ට ඒකට උදව් කරන්න පුළුවන්.’ යෙහෝවා දෙවි පොරොන්දු වුණු විදිහටම යෙරුසලම විනාශ වෙලා අවුරුදු 70කට පස්සේ ඊශ්‍රායෙල්වරුන්ට එයාලගේ ගෙවල්වලට යන්න පුළුවන් වුණා. නෙබුකද්නෙෂර් දේවමාලිගාවෙන් ගෙනාපු හැම දෙයක්ම සයිරස් රජ ආයෙත් දුන්නා.

‘ඇය වැටී ඇත. මහ බැබිලෝනිය වැටී ඇත. ඇය භූතයන්ගේ වාසස්ථානයක් බවට පත් වී ඇත.’—එළිදරව් 18:2