Skip to content

පටුනට යන්න

67වෙනි පාඩම

යෙරුසලමේ තාප්ප

යෙරුසලමේ තාප්ප

අර්තක්ෂස්තා රජුගේ සේවකයෙක් වුණු නෙහෙමියා ජීවත් වුණේ පර්සියාවේ ෂූෂන්වල. දවසක් එයාගේ සහෝදරයා ඇවිත් මෙහෙම කිව්වා. ‘බැබිලෝනිවරු කඩලා දාපු යෙරුසලමේ තාප්පත් දොරටුත් තාම හදලා නෑ. ඒ නිසා යෙරුසලමට ගිය සෙනඟට කිසිම ආරක්ෂාවක් නෑ.’ ඒ ගැන නෙහෙමියාට හුඟක් දුක හිතුණා. එයාට ඕන වුණා යෙරුසලමට ගිහින් එහේ ඉන්න අයට උදව් කරන්න. ඒ නිසා ඒකට අවසර දෙන්න රජුව පොලඹවන්න කියලා එයා යාච්ඤා කළා.

දවසක් රජට තේරුණා නෙහෙමියා ඉන්නේ දුකින් කියලා. ඒ නිසා රජ එයාගෙන් ඇහුවා ‘ඇයි ඔයා දුකින් ඉන්නේ, මොකක් හරි ප්‍රශ්නයක්ද’ කියලා. එතකොට නෙහෙමියා කිව්වා ‘මගේ නුවර යෙරුසලම විනාශ වෙලා තියෙද්දී මං කොහොමද සතුටින් ඉන්නේ’ කියලා. එතකොට රජ ඇහුවා ‘ඔයාට මගෙන් වෙන්න ඕනෙ මොනවද’ කියලා. ඒ වෙලාවේ නෙහෙමියා හිතින් යාච්ඤාවක් කියලා රජුගෙන් ඇහුවා ‘යෙරුසලමට ගිහින් කැඩිලා තියෙන තාප්ප ගොඩනඟන්න අවසර දෙන්න පුළුවන්ද’ කියලා. එතකොට රජ ඒකට අවසර දීලා එයාගේ ආරක්ෂාවට ඕන කරන දේවලුත් දුන්නා. නුවරේ දොරටු ගොඩනඟන්න ඕන කරන ලීත් දීලා යූදා දේශයේ ආණ්ඩුකාරයා විදිහටත් එයාව පත් කළා.

නෙහෙමියා යෙරුසලමට ගිහින් එහේ තිබුණු තාප්ප දිහා හොඳට බැලුවා. ඊටපස්සේ පූජකයන්ටයි නිලධාරීන්ටයි එන්න කියලා මෙහෙම කිව්වා. ‘ලොකු හානියක් වෙලා තියෙන්නේ. අපිට මොකක් හරි කරන්න වෙනවා.’ ඒක පිළිගත්ත සෙනඟ තාප්ප ආයෙත් ගොඩනඟන්න පටන්ගත්තා.

හැබැයි ඊශ්‍රායෙල් සෙනඟ එක්ක තරහින් හිටිය සමහර අය එයාලට විහිළු කරලා කිව්වා ‘ඔය තාප්පෙට හිවලෙක් නැග්ගත් ඕක කඩන් වැටෙයි’ කියලා. ඒත් සෙනඟ ඒක ගාණකටවත් ගත්තේ නැහැ. එයාලා දිගටම තාප්පේ ගොඩනැඟුවා.

එයාලා එක්ක තරහින් හිටිය අය හිතුවා හොරෙන් ගිහින් නුවර වට කරන්න ඕනෙ කියලා. යුදෙව්වන් ඒක දැනගත්තම හුඟක් බය වුණා. හැබැයි නෙහෙමියා කිව්වා ‘බය වෙන්න එපා, යෙහෝවා දෙවි අපිත් එක්ක ඉන්නවා’ කියලා. එයා වැඩ කරන අයගේ ආරක්ෂාවට මුරකරුවන්ව දැම්මා. ඒ නිසා එයාලට හානියක් කරන්න කිසි කෙනෙක්ට පුළුවන් වුණේ නැහැ.

දවස් 52කින් එයාලා නුවරේ තාප්පත් දොරටුත් හදලා ඉවර කළා. ඊටපස්සේ නෙහෙමියා ඒක කැප කරන්න ලෙවීවරුන් හැමෝටම යෙරුසලමට එන්න කියලා එයාලව ගායක කණ්ඩායම් දෙකකට වෙන් කළා. එයාලා උල්පත් දොරටුව ළඟ තිබුණු පඩි පෙළෙන් තාප්පෙට නැඟලා නුවරේ දෙපැත්තට ඇවිදන් ගියා. යන අතරතුරේදී එයාලා හොරණෑ, අත්තාළම්, වීණා වාදනය කරලා යෙහෝවා දෙවිට ප්‍රශංසා කළා. අන්තිමේදී එස්රාගේ කණ්ඩායමත් නෙහෙමියාගේ කණ්ඩායමත් දේවමාලිගාවේදී මුණගැහුණා. ඇවිත් හිටිය ගැහැනු, පිරිමි, දරුවන් හැමෝම හරිම සතුටින් යෙහෝවා දෙවිට පූජා ඔප්පු කළා. එයාලගේ සද්දේ හුඟක් ඈතට ඇහුණා.

“ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත.”—යෙසායා 54:17