Skip to content

පටුනට යන්න

73වෙනි පාඩම

යොහන් මාර්ගය සූදානම් කළා

යොහන් මාර්ගය සූදානම් කළා

සෙකරියාගෙයි එලිසබෙත්ගෙයි පුතා වුණු යොහන් ලොකු වෙලා අනාගතවක්තෘවරයෙක් වුණා. ගැලවුම්කරු එනවා කියලා දේශනා කරන්න යෙහෝවා දෙවි භාර දුන්නේ යොහන්ට. එයා දේශනා කළේ සිනගෝගවලවත් නගරවලවත් නෙමෙයි පාළුකරයේ. යෙරුසලමෙනුත් යුදයෙනුත් හුඟක් අය යොහන්ගෙන් ඉගෙනගන්න ආවා. දෙවිව සතුටු කරන්න නම් නරක වැඩ නවත්තන්න කියලා එයා ඉගැන්නුවා. ඒක අහපු හුඟක් අය තමන්ගේ වැරදි ගැන දුක් වුණා. යොහන් එයාලව යොර්දාන් ගඟේ බව්තීස්ම කළා.

සරල ජීවිතයක් ගත කරපු යොහන් ඇන්දේ ඔටු රෝමවලින් හදපු ඇඳුම්. පළඟැටියන්, වනයේ මීපැණි තමයි එයා කෑමට ගත්තේ. මිනිසුන්ට ඕනෙ වුණා එයා ගැන දැනගන්න. උඩඟු පරිසිවරුත් සද්දුසිවරුත් එයාව බලන්න ආවා. යොහන් එයාලට මෙහෙම කිව්වා. ‘ඔයාලගේ ජීවිත වෙනස් කරගන්න. කරපු වැරදි ගැන දුක් වෙන්න. ඔයාලගේ පියා ආබ්‍රහම් කියලා කිව්වත් ඔයාලා විශේෂ අය වෙන්නේ නෑ. ඒකෙන් ඔයාලා දෙවිගේ දරුවන් වෙන්නෙත් නෑ.’

‘දෙවිව සතුටු කරන්න නම් මොනවද කරන්න ඕනෙ’ කියලා හුඟක් අය අහපුවම යොහන් මෙහෙම කිව්වා. ‘ඔයාලට ඇඳුම් දෙකක් තියෙනවා නම් ඇඳුම් නැති කෙනෙකුට එකක් දෙන්න.’ දෙවිව සතුටු කරන්න නම් අනිත් අයට ආදරේ කරන්න ඕනෙ කියලා එයාගේ ගෝලයන්ට උගන්වන්නයි යොහන් එහෙම කිව්වේ.

යොහන් බදු එකතු කරන අයට කිව්වා ‘අවංක වෙන්න, කාවත් රවට්ටන්න එපා’ කියලා. හමුදාවේ අයට කිව්වා ‘බොරු කියන්නවත් අල්ලස් ගන්නවත් එපා’ කියලා.

පූජකයොයි ලෙවීවරුයි යොහන්ගෙන් ඇහුවා ‘හැමෝම ඔයා ගැන අහනවා, ඔයා කවුද’ කියලා. යොහන් මෙහෙම කිව්වා. ‘පාළුකරයේ ඉඳන් හඬ නඟලා මිනිසුන්ට දෙවි ගැන කියලා දෙන කෙනෙක් ඉන්නවා කියලා යෙසායා කිව්වේ මං ගැන.’

යොහන් ගැලවුම්කරුද කියලා හුඟක් අය කල්පනා කළා. යොහන් එයාලට කිව්වේ මෙහෙමයි. ‘මට වඩා උතුම් කෙනෙක් එනවා. එයාගේ පාවහන් ගලවන්නවත් මං සුදුසු නෑ. මං බව්තීස්ම කරන්නේ වතුරෙන්. ඒත් එයා දෙවිගේ බලයෙන් බව්තීස්ම කරයි.’

“ඔහු පැමිණ ආලෝකය ගැන සාක්ෂි දැරුවේය. ඔහු එසේ කළේ සියලු ආකාරයේ මිනිසුන් තුළ විශ්වාසයක් ඇති කිරීමටය.”—යොහන් 1:7