Skip to content

පටුනට යන්න

81වෙනි පාඩම

කන්ද උඩ දේශනය

කන්ද උඩ දේශනය

නියෝජිතයන් 12දෙනාව තෝරගත්තට පස්සේ යේසුස් කන්දෙන් පල්ලෙහාට එද්දී ලොකු සෙනඟක් රැස් වෙලා හිටියා. ගලීලය, යුදය, තීර්, සීදොන්, සිරියාව කියන පළාත්වලිනුත් යොර්දාන් ගඟ එගොඩිනුත් තමයි එයාලා ඇවිත් තිබුණේ. අසනීපෙන් ඉන්න අයවත් භූතයන් ආවේශ වෙලා ඉන්න අයවත් එයාලා අරන් ඇවිත් තිබුණා. යේසුස් ඒ හැමෝවම සුව කළා. ඊටපස්සේ යේසුස් එයාලට ඉගැන්නුවා. දෙවිගේ යාළුවන් වෙන්න නම් කරන්න ඕනෙ මොනවද කියලා යේසුස් පැහැදිලි කළා. අපේ ජීවිතේ රඳා පවතින්නේ දෙවි මත කියලා තේරුම් අරන් දෙවිට ආදරේ කරන්න ඕනේ. හැබැයි අපි අනිත් අයට ආදරේ නැත්නම් අපිට බැහැ දෙවිට ආදරේ කරන්න. සතුරන්ටත් අපි කරුණාවෙන් සලකන්න ඕනේ.

යේසුස් මෙහෙම කිව්වා. ‘සතුරන්ටත් ආදරෙන් සලකන්න. වැරදිවලට හදවතින්ම සමාව දෙන්න. කවුරු හරි ඔයා එක්ක තරහින් ඉන්නවා නම් එයාගෙන් සමාව ඉල්ලන්න. අනිත් අය ඔයාට සලකනවට කැමති විදිහටම ඒ අයටත් සලකන්න.’

යේසුස් මෙහෙමත් කිව්වා. ‘හුඟක් සල්ලි හම්බ කරනවාට වඩා වටින්නේ යෙහෝවා දෙවිගේ යාළුවෙක් වෙන එකයි. හොරෙක්ට පුළුවන් ඔයාගේ සල්ලි හොරකම් කරන්න. හැබැයි ඔයාට දෙවිත් එක්ක තියෙන යාළුකම හොරකම් කරන්න කාටවත් බැහැ. කන බොන දේවල් ගැනත් අඳින පළඳින දේවල් ගැනත් කනස්සලු වෙන්න එපා. කුරුල්ලන් දිහා බලන්න. දෙවි උන්ට කෑම දෙනවා. ඔයා කනස්සලු වුණා කියලා දවසක්වත් වැඩිපුර ජීවත් වෙන්න ඔයාට බැහැ. ඔයාට ඕනෙ දේ යෙහෝවා දෙවි දන්නවා කියලා මතක තියාගන්න.’

යේසුස් උගන්වන විදිහ ගැන මිනිසුන් පුදුම වුණා. එයාලගේ ආගමික නායකයන් එයාලට ඒ දේවල් ගැන උගන්වලා තිබුණේ නැහැ. දක්ෂ විදිහට උගන්වන්න යේසුස්ට පුළුවන් වුණේ යෙහෝවා දෙවි යේසුස්ට උගන්වලා තිබුණු නිසයි.

“මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි.”—මතෙව් 11:29