Skip to content

පටුනට යන්න

80වෙනි පාඩම

යේසුස් නියෝජිතයන් දොළොස්දෙනාව තෝරාගත්තා

යේසුස් නියෝජිතයන් දොළොස්දෙනාව තෝරාගත්තා

දේශනා කරන්න පටන් අරන් අවුරුදු එකහමාරකට විතර පස්සේ යේසුස්ට හුඟක් වැදගත් තීරණයක් ගන්න සිද්ධ වුණා. ඒ තමයි තමන් එක්ක කිට්ටුවෙන් වැඩ කරන්නත් ක්‍රිස්තියානි සභාවේ පෙරමුණ අරන් වැඩ කරන්නත් පුහුණු කරන්න ඕන කාවද කියන එක. ඒ වැදගත් තීරණය ගන්න කලින් ඒකට යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම ඕන වුණු නිසා යේසුස් කන්දකට ගිහින් මුළු රැයක්ම තනිවම යාච්ඤා කළා. පහුවෙනිදා උදේ යේසුස් ගෝලයන්ට කතා කරලා එයාලා අතරින් 12දෙනෙක්ව නියෝජිතයන් හැටියට තෝරගත්තා. එයාලගේ නම් ඔයාට මතකද? පේතෘස්, අන්දෘ, යාකොබ්, යොහන්, ෆිලිප්, බාතොලමෙව්, තෝමස්, මතෙව්, අල්ෆෙවුස්ගේ පුත් යාකොබ්, තදියස්, සීමොන්, යූදස් ඉස්කාරියොත්.

අන්දෘ, පේතෘස්, ෆිලිප්, යාකොබ්

ඒ 12දෙනාත් යේසුස් එක්කම ගියා. යේසුස් එයාලව පුහුණු කළාට පස්සේ තනිවම දේශනා කරන්න යැව්වා. භූතාවේශ වුණු අයව, අසනීප වුණු අයව සුව කරන්න යෙහෝවා දෙවි එයාලට බලය දුන්නා.

යොහන්, මතෙව්, බාතොලමෙව්, තෝමස්

යාළුවන් විදිහට සලකපු එයාලව යේසුස් විශ්වාස කළා. පරිසිවරු හිතුවේ එයාලා ඒ තරම් උගත් නැති අය කියලයි. හැබැයි එයාලට භාර දීපු වැඩේ දක්ෂ විදිහට කරන්න යේසුස් එයාලට හොඳ පුහුණුවක් දුන්නා. යේසුස්ගේ මරණය ළං වෙලා තිබුණු කාලයේදීත් ඔහුව නැවත නැඟිටෙව්වාට පස්සෙත් එයාලා යේසුස් එක්කම හිටියා. එයාලා අතරේ හිටිය වැඩිදෙනෙක් ගලීලයෙන් ආපු අය. සමහරු ඒ වෙද්දිත් විවාහ වෙලයි හිටියේ.

අල්ෆෙවුස්ගේ පුත් යාකොබ්, යූදස් ඉස්කාරියොත්, තදියස්, සීමොන්

නියෝජිතයන් අතිනුත් වැරදි වුණා. එයාලා හිතන්නේ නැතුව කතා කළා, වැරදි තීරණ ගත්තා, ඉක්මන් වෙලා දේවල් කළා. ඒ වගේම තමන් අතරින් උතුම් කවුද කියලත් එයාලා වාද කළා. හැබැයි ඒ හැමෝම යෙහෝවා දෙවිට ආදරේ කරපු යහපත් අය. යේසුස් ස්වර්ගයට ගියාට පස්සේ එයාලගෙන් තමයි ක්‍රිස්තියානි සභාව හැදුණේ.

“මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් හැටියටයි. මගේ පියාණන් මට කියා දුන් සෑම දෙයක්ම මම ඔබට කියා දුන්නේ ඒ නිසයි.”—යොහන් 15:15