95වෙනි පාඩම
එයාලව නවත්තන්න බැරි වුණා
ඇවිදින්න බැරුව හිටපු කෙනෙක් හැමදාම දේවමාලිගාව ළඟ හිඟමන් ඉල්ල ඉල්ල හිටියා. දවසක් එයා පේතෘස්වයි යොහන්වයි දැකලා ‘මට කීයක් හරි දෙන්න’ කියලා කිව්වාම පේතෘස් මෙහෙම කිව්වා. ‘සල්ලිවලට වඩා වටින දෙයක් මං ඔයාට දෙන්නම්. දැන් යේසුස්ගේ නමින් නැඟිටලා ඇවිදින්න.’ එතකොටම එයා ඇවිදින්න පටන්ගත්තා. ඒක දැකලා සෙනඟ කොච්චර සතුටු වුණාද කියනවා නම් හුඟදෙනෙක් යේසුස්ගේ ගෝලයන් වුණා.
ඒත් කේන්තියෙන් හිටිය පූජකයනුයි සද්දුසිවරුයි නියෝජිතයන්ව නඩු අහන තැනට අරන් ගිහින් මෙහෙම ඇහුවා. ‘මේ මනුස්සයාව සුව කරන්න කවුද ඔයාලට බලය දුන්නේ?’ ‘ඔයාලා මරලා දැම්ම යේසුස්’ කියලා පේතෘස් කිව්වාම එයාලා කෑගහලා කිව්වා ‘යේසුස් ගැන කතා කරන්න එපා’ කියලා. ‘යේසුස් ගැන කතා කරන එක අපි කීයටවත් නවත්තන්නේ නැහැ’ කියලා නියෝජිතයන් කිව්වා.
පේතෘස්වයි යොහන්වයි නිදහස් කළාට පස්සේ එයාලා අනිත් ගෝලයන් ළඟට ගිහින් වෙච්ච දේ කිව්වා. එයාලා හැමෝම දෙවියන්ට කිව්වා ‘දෙවියනි, බය නැතුව ඔයාගේ පණිවිඩේ කියන්න අපිට උදව් කරන්න’ කියලා. යෙහෝවා එයාලට බලය දුන්න නිසා දිගටම දේශනා කරන්නත් හුඟක් අයගේ ලෙඩ හොඳ කරන්නත් පුළුවන් වුණා. තව තවත් අය යේසුස්ගේ ගෝලයන් වුණා. ඒ ගැන ඊර්ෂ්යාවෙන් හිටපු සද්දුසිවරු නියෝජිතයන්ව හිරේ දැම්මා. ඒත් එදා රෑ යෙහෝවා දේවදූතයෙක්ව එවලා හිරේ දොරවල් ඇරියා. දේවදූතයා එයාලට කිව්වා ‘දේවමාලිගාවට ගිහින් උගන්නන්න’ කියලා.
පහුවෙනිදා උදේ මන්ත්රණ සභාවට ඒ කියන්නේ ආගමික නායකයන්ගේ අධිකරණයට මෙහෙම දැනගන්න ලැබුණා. ‘හිරගෙදර දොරවල්වල අගුල් දාලයි තියෙන්නේ. ඒත් ඊයේ අල්ලගත්ත අය දැන් හිරේ නෑ. එයාලා දැන් දේවමාලිගාවේ උගන්නනවා.’ එයාලා නියෝජිතයන්ව ආයෙත් අධිකරණයට ගෙනාවා. එතන හිටිය උත්තම පූජකයා
එයාලාගෙන් මෙහෙම ඇහුවා. ‘යේසුස් ගැන කතා කරන්න එපා කියලා අපි ඔයාලට කිව්වා නේද?’ එතකොට පේතෘස් කිව්වා “අපි කීකරු වෙන්න ඕනෙ මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට” කියලා.ආගමික නායකයන්ට ඕන වුණේ නියෝජිතයන්ව මරන්න. ඒත් ගමාලියෙල් කියන පරිසිවරයා මෙහෙම කිව්වා. ‘දෙවියන් මේ මිනිස්සුන්ට උදව් කරනවා ඇති. පරෙස්සම් වෙන්න. ඔයාලට ඕනෙ දෙවියන්ට විරුද්ධව සටන් කරන්නද?’ ඒ නිසා ආගමික නායකයන් නියෝජිතයන්ව මරන්නේ නැතුව එයාලට හොඳටම ගහලා ආයෙත් දේශනා කරන්න එපා කියලා එයාලව නිදහස් කළා. ඒත් එයාලා දිගටම දේවමාලිගාවෙත් ගෙයින් ගෙටත් නිර්භීතව දේශනා කළා.
“අපි කීකරු වෙන්න ඕනෙ මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට.”—ක්රියා 5:29