Skip to content

පටුනට යන්න

20වෙනි පාඩම

ඊළඟ පීඩා හය

ඊළඟ පීඩා හය

මෝසෙස් ආරොන් එක්ක ගිහින් පාරාවෝට කිව්වා ‘ඔයා මගේ සෙනඟට යන්න දෙන්නේ නැත්නම් ගඩු මැස්සන්ව එවනවා කියලා දෙවියන් කිව්වා’ කියලා. පස්සේ හැම ඊජිප්තුවරයෙක්ගේම ගෙවල්වලට ගඩු මැස්සන් රංචු පිටින් ආවා. මුළු දේශයම ගඩු මැස්සන්ගෙන් පිරුණා. ඒත් ඊශ්‍රායෙල්වරු ජීවත් වුණු ගෝෂෙන් දේශයට ගඩු මැස්සන් ආවේ නැහැ. හතරවෙනි පීඩාවේ ඉඳන් ඊටපස්සේ ආපු හැම පීඩාවක්ම ආවේ ඊජිප්තුවරුන්ට විතරයි. ‘මේ මැස්සන්ව දේශයෙන් යවන්න කියලා යෙහෝවා දෙවිට කියන්න. එතකොට සෙනඟට යන්න දෙන්නම්’ කියලා පාරාවෝ කිව්වා. ඒත් දෙවි ගඩු මැස්සන්ගේ පීඩාව නැවැත්තුවාම පාරාවෝ ආයෙත් වෙනස් වුණා.

‘පාරාවෝ මගේ සෙනඟට යන්න ඉඩ දෙන්නේ නැත්නම් ඊජිප්තුවරුන්ගේ සත්තු ඔක්කොම අසනීප වෙලා මැරෙයි’ කියලා යෙහෝවා දෙවි කිව්වා. පහුවෙනිදාම සත්තු මැරෙන්න පටන්ගත්තා. ඒත් පාරාවෝ සෙනඟට යන්න දුන්නේ නැහැ.

ඊළඟට යෙහෝවා දෙවි මෝසෙස්ට කිව්වා පාරාවෝ ළඟට ගිහින් අළු ටිකක් අරන් උඩ දාන්න කියලා. ඒ අළු දූවිලි වෙලා මුළු ඊජිප්තුවම දූවිලිවලින් පිරුණා. ඒ නිසා ඊජිප්තුවරුන්ගෙත් සත්තුන්ගෙත් ඇඟ පුරාම සැරව ගෙඩි දැම්මා. ඒගොල්ලන්ට ලොකු වේදනාවක් දැනුණා. ඒත් පාරාවෝ ඊශ්‍රායෙල්වරුන්ට යන්න දුන්නේ නැහැ.

යෙහෝවා දෙවි ආයෙත් මෝසෙස්ව පාරාවෝ ළඟට යවලා මෙහෙම කිව්වා. ‘ඔයා තාමත් මගේ සෙනඟට යන්න දෙන්නේ නැද්ද? මම හෙට හිම කැට වැස්සක් එවනවා.’ පහුවෙනිදා යෙහෝවා දෙවි අකුණුයි ගින්දරයි හිම කැට වැස්සකුයි එව්වා. ඒ වගේ කුණාටුවක් ඊට කලින් ඊජිප්තුවට ඇවිත් තිබුණේ නැහැ. පාරාවෝ මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘අනේ, යෙහෝවා දෙවිට කියන්න මේක නවත්වන්න කියලා. මං සෙනඟට යන්න දෙන්නම්.’ ඒත් හිම කැට වැස්ස නතර වුණාට පස්සේ පාරාවෝ ආයෙත් වෙනස් වුණා.

ඊළඟට මෝසෙස් කිව්වා ‘පළගැටියන් ඇවිත් හිම කැට වැස්සෙන් විනාශ වුණේ නැති ගස් ඔක්කොම විනාශ කරයි’ කියලා. මිලියන ගාණක් පළගැටියන් ඇවිත් කෙත්වතුවල ඉතිරි වෙලා තිබුණු හැම ගහක්ම කාලා දැම්මා. ඒ නිසා පාරාවෝ කිව්වා ‘මේ පළගැටියන්ව යවන්න කියලා යෙහෝවා දෙවිට කියන්න’ කියලා. ඒත් පළගැටි පීඩාව නතර වුණාට පස්සේ පාරාවෝ ආයෙත් වෙනස් වුණා.

යෙහෝවා දෙවි මෝසෙස්ට කිව්වා ‘ඔයාගේ අත අහස දිහාට දික් කරන්න කියලා.’ එතකොට මුළු දේශයම අන්ධකාර වුණා. දවස් තුනක් යන කල් ඊජිප්තුවරුන්ට කිසිම දෙයක් පෙනුණේ නැහැ.

අන්තිමට පාරාවෝ ඇවිත් මෝසෙස්ට කිව්වා ‘සෙනඟට යන්න පුළුවන්. ඒත් සත්තුන්ව තියලා යන්න’ කියලා. මෝසෙස් මෙහෙම කිව්වා. ‘අපිට අපේ සත්තුන්වත් අරන් යන්න ඕනේ. එතකොට ඒ සත්තුන්ව අපේ දෙවිට පූජා කරන්න පුළුවන්.’ පාරාවෝ කේන්තියෙන් කෑගහලා කිව්වා ‘මෙතනින් යනවා යන්න, ආයේ ආවොත් මං ඔයාව මරනවා’ කියලා.

“ධර්මිෂ්ඨයා කවුද කියාත් දුෂ්ටයා කවුද කියාත් දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත් පැහැදිලිව දැකගැනීමට හැකි වනු ඇත.”—මලාකි 3:18